සිසුන්ට පහරදීම ගැන පෙරටුගාමීන්ගෙන් හෙලා දකියි

උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා (එච්.එන්.ඩී.ඒ.) සිසුන් ඊයේ (29) සිදු කළ උද්ඝෝෂණයට පොලීසිය යොදවා පාලකයන් කළ ම්ලේච්ඡ පහර දීමත්, සිසු සිසුවියන් 3...

උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා (එච්.එන්.ඩී.ඒ.) සිසුන් ඊයේ (29) සිදු කළ උද්ඝෝෂණයට පොලීසිය යොදවා පාලකයන් කළ ම්ලේච්ඡ පහර දීමත්, සිසු සිසුවියන් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන දියත් කළ මර්දනයත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව පවසයි. 

ඔවුන් නිකුත් කළ නිවේදනය පහත දැක් වේ.

"ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බවට කප්පරක් පොරොන්දු දෙමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව ජනතාවට ලබා දෙන ප්‍රජාතන්ත්‍රවාදයේ තරම මෙම සිදුවීමෙන් ද පැහැදිලිව පෙනී ගොස් ඇත.

මීට පෙර අධ්‍යාපන පුද්ගලීකරණයට එරෙහි ශිෂ්‍ය අරගලයට, විෂය කප්පාදුවට එරෙහි ශිෂ්‍ය භික්ෂු අරගලයට, දඹුල්ල පැල්වෙහෙර බීජ ගොවිපල පුද්ගලීකරණයට එරෙහිව අරගල කළ දඹුල්ල ගොවීන්ට, බිත්තර වී සහනාධාරය ඉල්ලු දෙහිඅත්තකණ්ඩිය ගොවීන්ට, කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනයන් සිදු කරන්නන්ට දේශපාලන රැකවරණ සැපයීමට එරෙහිව නැගී සිටි යාපනයේ සහ රත්නපුර කොටකෙතනේ ජනතාවට, පරිසර සංහාරයට එරෙහිව හඬ නැගූ හම්බන්තොට බඳගිරිය ජනතාවට ආදී ලෙස යහපාලනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම වත්මන් ආණ්ඩුව විසින් පෙන් වූ අවස්ථා අතරට එච්.එන්.ඩී.ඒ. සිසුන්ට කළ පහරදීම ද එක්වී ඇත.

මෙම සිසුන් අරගල කළේ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් බවත් උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවට 1990දී වාණිජවේදී උපාධිය හා සම තත්වයක් ලබා දුන් අතර එය වසර හතරක පාඨමාලාවක් විය. එහෙත් මහින්ද රාජපක්ෂ පාලනය උපාධිය හා සම තත්ත්වයේ ගණකාධිකරණ ඩිප්ලෝමාවක් නිදහස් අධ්‍යාපනය යටතේ ලබා ගැනීමේ අයිතිය සිසුන්ට අහිමි කරමින් 2014 අප්‍රේල් 23 සිට උපාධි සමානත්වය ඉවත් කරන ලදී. 

එපමණක් නොව සිව් වසරක පාඨමාලා කාලය වසර තුනකට කප්පාදු කර අවසන් වසර "ටොප් අප් උපාධි" නමින් මුදලට විකිණීමට සැලසුම් කරන ලදී. මෙම අධ්‍යාපන සංහාරයට මුල් වූයේ එවකට උසස් අධ්‍යාපන ඇමතිවරයාව සිටි එස්.බී. දිසානායක ය. මෙම අධ්‍යාපන කප්පාදුවට එරෙහිව අරගල කළ සිසුන්ට මර්ධනය එල්ල වූ අතර වඩාත් සමාජ අවධානයට පාත්‍ර වූයේ 2014 දෙසැම්බර් 22 වැනි දා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට දී සිසුන්ට කළ පොලිස් පහර දීමයි. ඒ වනවිට ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ වී තිබුණු අතර මෛත්‍රීපාල සිරිසේන මෙම ප්‍රහාරයේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සිය මැතිවරණ ප්‍රචාරක දැන්වීම්වලට පවා යොදා ගනිමින් අධ්‍යාපන අයිතිය සුරකින බවටත් ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන බවටත් පොරොන්දු විය. නමුත් බලයට පැමිණීමෙන් පසු එච්.එන්.ඩී.ඒ. පාඨමාලාවට අදාළ කිසිදු ප්‍රශ්නයක් නොවිසඳුණු අතර අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කිරීමේ වැඩපිළිවෙළ කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක කෙරිණි. අවසානයේ දී එම විනාශකාරී වැඩපිළිවෙලට එරෙහිව උද්ඝෝෂණ කළ සිසුන්ට මර්ධනය එල්ල කිරීමට ද මේ ඊනියා යහපාලන ආණ්ඩුව පසුබට නොවී ය.

අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කර මුදලාලිකරණය කිරීමටත් එයට එරෙහිවන ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු බලවේග වෙත මර්ධනය මුදා හැරීමටත් පාලකයන් අනුගමනය කරන පිළිවෙත පිලිබඳ දැඩි අවධානය යොමු කරන ලෙස ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටින අපි මෙම ප්‍රහාරය හෙලා දැකීමටත් ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව සහ උද්ඝෝෂණය කිරීමේ අයිතිය සහතික කිරීමටත් එක්වන ලෙසද ඉල්ලා සිටිමු. 

අත්අඩංගුවට ගත් සියලු සිසුන් කොන්දේසි විරහිතව වහා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරන අපි අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කිරීමේ ආණ්ඩුවේ පිළිවෙතට එරෙහිව ශිෂ්‍යයන් පමණක් නොව වැඩකරන ජනතාව ඇතුළු සමස්ත බලවේග පෙළගැස්වීමට එක්වන මෙන් සියලු ප්‍රගතිශීලී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමු."



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8671551870190283199

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item