අභිමානවත් මව්බිමේ අපරාජිත දේශපාලනඥයා

ජිවිතය ඇරඹෙන්නේ 40දී යැයි කථාවක් තිබේ. එහෙත් මහින්ද රාජපක්ෂගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ජීවිතය ඇරඹූවේ ඔහු 24 හැවිරිදි වියේදීය. අ...

ජිවිතය ඇරඹෙන්නේ 40දී යැයි කථාවක් තිබේ. එහෙත් මහින්ද රාජපක්ෂගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ජීවිතය ඇරඹූවේ ඔහු 24 හැවිරිදි වියේදීය. අද සිය 70 වැනි ජන්ම දිනය සමරන මහින්ද රාජපක්ෂ සිය දේශපාලන ජීවිතය ඇරඹුවේ බහ තෝරන වියේ සිට සිය පියාවූ පසුකලෙක වැඩබලන ඉඩම් ඇමතිවරයාද වශයෙන් කටයුතු කල ඩී. ඒ. රාජපක්ෂය සමඟය.

සිරිමා බණ්ඩාරනායක රජය මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් 1972 ඉදිරිපත් කිරීමේදී එම යෝජනාව පිළිබද මුල් යෝජනාව 1970 ජුලි මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂය. වර්තමාන පාර්ලිමේන්තුවේ ජේෂ්ඨතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේද ඔහුය. පාර්ලිමේන්තු ඉතිහාසයේ ලාබලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූයේ හම්බන්‍තොටින් 1947දී පත්වූ 21 හැවිරිදි ලක්ෂ්මන් රාජපක්ෂ, නිකවැරටියෙන් 1956දී පත්වූ 22 හැවිරිදි මුදියන්සේ තෙන්නකෝන්, හේවාහැටින් 1977දී පත්වූ 22හැවිරිදි අනුර ඩැනියල්ය.

මහින්ද රාජපක්ෂ‍ගේ දේශපාලන ජීවිතයේ සුවිශේෂි ලක්ෂණයක් වන්නේ කිසිදු තීරණාත්මක අවස්ථාවකදී ඔහු චිත්ත ‍ධෛර්ය අහිමිකර නොගැනිමය. බාධාවන්හිදි අපේක්ෂා සුන්කර නොගැනීමය. ඔහුගේ ජීවිතය යනු රිද්මයකි. ජීවිතයේ ගලා බැස්ම දියඇල්ලකට සමානය. ගලා බසින්නේ සැඩවය. අහිංසකවය. නිහඩවය. ප්‍රචණ්ඩය. එහෙත් රිද්මයානුකූලය. එමෙන්ම එය මී වදයක් සේ ඉමිහිරිද නැත. කොහොඹ දළු සේ තිත්තද නැත.

හැටේ දශකයේ නාලන්දාවේ විදුහල්පති වශයෙන් සේවයකල ලියුම්කරුගේ පියාවූ ගුණපාල වික්‍රමරත්න සමඟ නාලන්දේ ආදි සිසුවෙකුවූ මහින්ද රාජපක්ෂගේ සම්බන්ධය පසුකලෙක සිදුවිය. ඉනික්බිති අසූව සහ අනූව දශකයන්හි මාධ්‍යවේදියෙකු වශයෙන් ඔහු සමඟ කටයුතු කිරීම පිළිබදව ලියුම්කරුට ඇත්තේ අසිරිමත් මතකයකි. භගවත් ගීතාවේ සඳහන් කල පරිදි ඔහු වැඩකළේ ඉන් ලබන ප්‍රතිඵලය බලා නොවේ. ඔහු තමන් තේරුම් ගත්තේය. තම සතුරා තේරුම් ගත්තේය. සටන් දහසක් කර ජයග්‍රහණ දහසක්ද ලබා ගත්තේය. ‍එහෙත් ඔහුට මිතුරු වෙසින් සිටි සතුරන් හඳුනා ගැනීමට නොහැකි විය. ගුරු මුෂ්ටිකයෙක් නොවන නිසා මූසිලයන් බවට පත්වූ ගෝලයින් පිළිබදව කම්පාවක්ද ඔහුට නොමැත. පැරණි කියමනකට අනුව සංසාරය නැමති විෂ ගසේ මිහිරි ගෙඩි දෙකකි. ඉන් එකක් කියමන්වල රස විදිමය. අනෙක හොද මිනිසුන් සමඟ ඇසුරය.

රජයේ සේවයෙකුට වසරකට වැඩ කිරීමට තිබෙන්නේ දින 365කි. ඉන් රජයේ නිවාඩු දින සහ සෙනසුරාදා, ඉරිදා අතහැරි විට ඉතිරි වන්නේ දින 261කි. එයින්ද දින 42 අනුමත නිවාඩු ඇත. එවිට හැම රජයේ සේවකයෙකුටම වැඩ කල යුත්තේ දින 219කි. ඒ අනුව වැඩ කර යුත්තේ සියයට 60කි. සියයට 40ක් නිවාඩුය. ලෝක බැංකු උපදේශය වූයේ රාජ්‍ය සේවය රටට බරක් බැවින් එය කප්පාදු කල යුතු බවය. අලුතින් බඳවා නොගත යුතු බවය. එහෙත් අලුයම ලූ කෙල පිඩක් මෙන් මහින්ද එම උපදෙස් බැහැරලීය. ලක්ෂ 7 රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ 13කින් ඉහළ නැංවිණි. රැකියා විරහිත උපාධිධාරියෙකු බෙහෙතකටත් සොයා ගැනීම අසීරු විය.

ලංකාවේ සම්පත් බහුල බවද ජනතාව බුද්ධිමත් බවද මහින්දගේ දැක්ම විය. රාජ්‍ය සේවය පුළුල්වූයේ ජනතාවට වඩා ගුණාත්මක සේවයක් ලබාදීමය. එහෙත් දැන් යළිත් රැකියා විරහිත උපාධිධාරින් 35,000කට ආසන්න ප්‍රමාණයක් සත්‍යග්‍රහ, පිකට්, පෙළපාලි යති. මුල්වරට 1971දී නිකුත්වූ ආයතන සංග්‍රහය ප්‍රතිව්‍යුහාත්මක වෙනසක් කිරීමට මහින්ද සමත්වූයේනම් මැදි ආදායම් රටකට ගැ‍ලපෙන පරිදි රටේ සංවර්ධන අපේක්ෂාවන් තවත් ඉහළින්ම ඔප් නැංවිමට ඉඩ තිබිණි.

රටේ සංවර්ධනයට සැම කොටසක්ම එක්කර ගත්හ. උඩරට හත්මාලුවද, මාතර ඇඹුල්තියල්ද, පුත්තලමේ බටු මෝජුවද, යාපනයේ එලුමස් වරුවල්ද, කැකිරාවේ කුරක්කන් පිටිද අනුභව කරන්නෝ එක පවුලක කොටස්කරුවන් බවට පත්විය. දෙමළ බෙදුම්වාදය සුනු විසුනු කළේය. තිස් වසරක යුද්ධයට තිත තැබුවේය. එහෙත් දෙමළ බෙදුම්වාදීන්ද ඔවුන්ගේ ගැත්තන් සහ ඉත්තන්ද, බටහිර අධිරාජ්‍යවාදීන් සහ ඔවුන්ගේ ඔඩොක්කු කුක්කන්ද එයට කැමතිවූයේ නැත. ඒ සිය ආයුධ ජාවාරමට තිත වැටී තිබූ නිසාය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයවීම ප්‍රතිගාමී බලවේගයන්ට දැනුණේ අසීමිත සතුටක් වූවාට සැක නැත. මහින්ද සිය විශිෂ්ඨත්වය උදාකර ගත්තේ සිය ජීවිත කාලයේදීය. අන්ධකාරය වනාහි අරුණෝදයේම කොටසකි. කිසිවෙකුට රාත්‍රී මාවතේ ගමන් නොකොට අරුණෝදය කරා ගමන් කල නොහැක.

වසර 2005දී දිළිදුකමේ අනුපාතය සියයට 15.2ක් විය. එය 2012 වසරේදී සියයට 6.5ක් දක්වා අඩුවිය. විරැකියා අනුපාතය 2005 වසරේදී සියයට 7.2ක් විය. එය 2012 වසරේදී සියයට 4 දක්වා පසුබැසීය. වතුකරයේ දුප්පත්කම් වසර 2005දි සියයට 32ක් වූ අතර එය 2012 සියයට 6.2 දක්වා අඩුවිය. මේවා මහින්දගේ නායකත්වයෙන් රටට හිමිවූ ප්‍රතිලාභයන්ය. දුෂණ පිළිබදව කන්දක් මෙන් මහින්දගේ පාලනයට එරෙහි නැගුණු චෝදනා හිස් ප්‍රලාපයන් බවට පත්වෙමින් පවතී. යහපාලනය යසපාලනයක් බවට පත්වී ඇත. දැන් මණ්ඩලේ කචල්ය. තෙවන කැලෑසියේ දරුවන් මෙන් මැති ඇමතිවරුන්ද ගොඩින් නොව මඩින් බැස සටනේය. 'මහත්තයෝ අපිට වැරදුනා' කියා මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසා ඇතැයි කියනු ලබන්නේද එබැවිනි. හිරු අවරගිරින් බැස යන බව සැබෑය. එහෙත් යළි හෙට උදේ පායනු ඇත්තේ නැගෙනහිරින්මය.

'ඉතිහාසය විසින් මා නිදොස් කරනු ඇතැයි' කිවේ ෆිදෙල් කැස්ත්‍රෝය. ඔහු මේ බව පැවසුවේ ලතින් ඇමරිකාවේ අතිශයින් දරුණු ආඥාදායක පාලකයාව සිටි බැටිස්ටාගේ මර්ධන යාන්ත්‍රණයට බද්දව පැවති මොන්කාඩා බැරක්කයට ප්‍රහාර එල්ල කලැයි විත්ති කූඩුවට නැංවූ අවස්ථාවේදීය. මහින්ද රාජපක්ෂටද ඉල්ලවූ චෝදනාවලින් ඉතිහාසය විසින් දැන් නිදොස් කරමින් සිටී. ස්වාධීන රූපවාහිනියේ රුපියල් දසලක්ෂ 101ක් අපහරණය කලැයි පැවරූ නඩුව රුපියල් දසලක්ෂ 4කට බැස ඇත. එය රින ගණනක් වූවද පුදුමයක් නැත. ඇතැම් වාමාංශිකයින්ගේ නවීන සමාජවාදයේ අලුත්ම පන්තිය ලෙස ධනේශ්වර ක්‍රමයේ අර්බුදය වෙනුවට දැන් පත්ව ඇත්තේ ඇවන්ට්ගාඩ් අර්බුදයවීම වාම ඉතිහාසයේම ඛේදවාචකයකි.

ලොව ප්‍රධාන නායකයින් දෙකොටසකි. එක් වර්ගයක් අයත්වන්නේ තමන් ගෙන ගිය වැඩ කොටස ඉවත්වීමෙන් පසුවද අනුප්‍රාප්තිකයන් ඒවා ක්‍රියාත්මක කරන්නන්ය. සිංගප්පූ‍රුවේ ලී ක්වාන් යූ, දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩේලා, මලයාසියාවේ මහතිර් මොහොමඩ් මෙන්ම මහින්ද රාජපක්ෂද එම ගණනයට අයත්ය. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, නුවර අධිවේගි මාර්ගය, ග්‍රාමීය යටිතල පහසුකම් සකස්කිරීම වැනි මහින්දගේ සෑම ව්‍යාපෘතියක්ම අදටද වලංගුය. එම වැඩසටහහන්හි නාමයන් වෙනස්වූවද ජහුටා කෝලම රඟදැක්වූවද අවසාන ප්‍රතිඵලය එකමය. බුදුන් වහන්සේගේ කියමනක් අනුව දිගුකාලීනව සැඟවිය නොහැකි 3කි. ඒ ඉර, හඳ සහ සත්‍යය වේ. සත්‍යය තේරුම් ගෙන ඇති රට වැසියෝ අදටද මහින්ද රාජපක්ෂ වෙනුවෙන් බාධක සහ අභියෝගවලට මුහුණ දෙමින් පෙනී සිටින්නේ එබැවිනි. 'මහින්ද මහත්තයාට ජයවේවායැයි' කියමින් මහින්ද රාජපක්ෂ සැදූ අධිවේගි මාර්ගය ආරාධිත ප්‍රභූවරුන් ඉදිරියේ අම්මාවරුන් විවෘත කරන්නේ හිරේ විලංගුවේ වැටෙන බව නොදැන නොවේ. ඒ ඔබ අභිමානවත් මව්බිමේ අපරාජිත දේශපාලඥයා බවට දැන් පත්වී තිබෙන බැවිනි.

අලුත් ජීවයකින් මහපොළොව ප්‍රබෝධවත් වන්නේ වැසි වැටෙන තරමටය. එවිට අලුත් පැළ ඉපදේ. කුඩා පැළ අතු රිකිලි දරා නැගී සිට මහා රුක්ෂයක් බවට පත්වේ. මේ මහපොළොව අලුත් කල යුතුමය. ඒ සඳහා තව තවත් වැසි ඇවැසිමය. අලුත් අනාගතයක පෙරවදන වන්නේද එයයි. ඒ සදහා අභිමානවත් මව්බිමේ අපරාජිත දේශපාලනඥයා වශයෙන් පියවර දස දහසක් ඉදිරියට තබන්නට මහින්ද රාජපක්ෂට හැකියි. හැත්තෑවිය සපුරණ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ප්‍රගතිශීලින්ගේ පැතුම එය වනු ඇත.

ධර්මන් වික්‍රමරත්න



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 4148041726873949682

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item