කේසවරාජන්ලාගේ බයිස්කෝප් සහ හෙංචයියන්ගේ රාවය

“දවසක් මම ඉස්කෝලේ ගිහින් බයිසිකලයෙන් එනකොට ආමි එකේ කට්ටියක් වාහනයෙන් යන ගමන් කිසිම හේතුවක් නැතිව මගේ පිටිපස්සෙන් ඔළුවට චේන් එකකින් ගහගෙ...

“දවසක් මම ඉස්කෝලේ ගිහින් බයිසිකලයෙන් එනකොට ආමි එකේ කට්ටියක් වාහනයෙන් යන ගමන් කිසිම හේතුවක් නැතිව මගේ පිටිපස්සෙන් ඔළුවට චේන් එකකින් ගහගෙන හිනාවෙවී ගියා. හොඳටම පෙනුනා මම ඉස්කෝලේ ගිහින් එන ලමයෙක් බව. සුදු ඇඳුම පිටින් හිටියේ. ඒ ගහපු පාර මට දරුණු තුවාල ඇඟේ වගේම හිතෙත් ඇති කළා. ඇයි මට ගැහුවේ? මම රෑ නොකා නොබී ඒ ගැන කල්පනා කළා. මං හිතුවේ ඊළම ලැබුණොත් ගුටි කන්නේ නැතුව ඉන්න පුළුවන් වෙයි කියලා. මට මොකටද මුන් ගැහුවේ කියන ප්‍රශ්නෙට අපට දැනුන උත්තරය තමයි ඊළම කියන්නේ. කොටි කියන්නේ ඊළම ලබා ගන්න තිබුණු අඩුවෙන් නරක මාර්ගය.”
කේසවරාජන් නවරත්නම්
“ඒ ළමයාගේ තාත්තා මම එක්ක තරහයි. තාත්තාගෙන් පලිගන්න හොඳම ක්‍රමය තමයි එයා වැඩියෙන්ම ආදරය කරන ළමයාට මොනවා හරි කරන එක කියලා මට හිතුනා. ඒ නිසා මම කාසි වගයක් දෙන්න කියලා ඒ ළමයව පාළු මඩුව
පැත්තට අඬගහන් ගියා. ළමයාට බිම හාරන්න කියලා මම පිටිපස්සෙන් ගිහින් එයාව කපලා කොටලා මැරුවා.”

ළමා ඝාතනයක සැකකරුවෙක්
මෙහි පළමුව දැක්වෙන්නේ සිනමාකරුවෙක් යැයි කියාගන්නා පුද්ගලයෙකුගේ ප්‍රකාශයකි. ඔහු වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීප මිත්‍රයෙක් බවද කියැවෙයි. මෙම ප්‍රකාශය පළව තිබුණේ ජාතිවාදයට හා යුධවාදයට එරෙහිව දිවා රෑ පොළවේ පස් කන බව කියන රාවය පුවත්පතේය. (2015.11.22) පුවත්පත ඔහු හඳුන්වා ඇත්තේ දෙමළ සිනමාකරුවෙකු ලෙස නොව දෙමළ ඊළාම් සිනමාවේ පුරෝගාමියා ලෙසය. අසෝක හඳගමගේ චිත්‍රපටයක් බලන ලෙස ප්‍රභාකරන් තමන්ට නිර්දේශ කළ ආකාරය ගැනද ඊළාම් පුරෝගාමියා මෙහිදී කරුණු සඳහන් කරයි.
දෙවැන්න පසුගියදා දස හැවිරිදි දරුවෙකු කපා කොටා ඝාතනය කළ බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ ප්‍රකාශයක සාරාංශයයි. එය ඒ දිනවල විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි. ඊනියා කවියන්, කලා කරුවන් යැයි කියාගන්නා අයට බොරු සාටෝප වචන හරඹ ඔස්සේ කොතෙක් තක්කඩිකම් කළ හැකිද යන්න වටහා ගැනීමට මේ ප්‍රකාශ දෙක අතර වන අනුරූපීතාව සිහිබුද්ධියෙන් සසදා බැලීම මනාය. පහත දැක්වෙන්නේ එවන් ප්‍රකාශයක් පිළිබඳ තවත් සැබෑ උදාහරණයකි.
මට බිරිඳගෙන් කිසිම තෘප්තියක් නෑ. ඒකට මට දැනුනු උත්තරේ තමයි අලුතින් යාළුකරගත්ත ගෑනිව කසාද බඳින එක. ඒ නිසා මම බිරිඳවයි දරුවෝ දෙන්නවයි ගේ ඇතුළට දාලා ගෙට ගිනි තිබ්බා.
දරුණු අපරාධකරුවන්ගේ පාපොච්චාරණ තුළ අවශ්‍ය නම් මෙවන් ප්‍රකාශ කොතෙකුත් සොයා ගත හැකිය. පෙරකී ඊනියා සිනමාකරුවාගේ ප්‍රකාශය ඒවා සමඟ අනුරූප වන්නා සේම, සාහසිකබව හා මිලේච්ඡත්වය අතින් එය ඒ ප්‍රකාශ සියල්ලම අභිභවා යයි. එය ඔහුගේ අදහස් සමස්ථයක් ලෙස නියෝජනය නොකරන බවට ඇතමුන් නැගිය හැකි තර්කය පුස්සක් බව වටහා ගැනීමට නම් කේසවරාජන්ගේ සම්පූර්ණ සාකච්ඡාව කියවා බැලිය යුතුය. එය ප්‍රශ්නයේ ඇත්ත ස්වරූපය කෙතරම් දුර්දාන්ත ලෙස විකෘති කරමින්, කෙතරම් දුර්දාන්ත ලෙස මිලේච්ඡ ත්‍රස්තවාදය ඔසවා තබන්නේද යන්න වටහාගත නොහැක්කේ රාවය වැනි පත්තර ඔස්සේම සකසා ගත් කළු සුදු ඔළුවක් සහිත පෙරාපු ඔල්මාද කාරයන්ට පමණි.
කෙසේ හෝ වේවා එවන් ඔල්මාදකාරයන්ට අද මේ ප්‍රකාශය මහත් රස මසවුලක් වී තිබේ. ඔවුන් ඒ කොටස උපුටා සමාජ ජාලා ඔස්සේද බෙදා හරිමින් යළි යළි වින්දනය කරන්නේ ඒ නිසාය. ඔවුන්ට තම දේශපාලන අභිමානය වඩවා ගත හැකි වන්නේම මෙවැනි අන්ත ව්‍යාජ හා මහපොළවේ ප්‍රශ්න සමඟ කිසිදු සම්බන්ධයක් නැති බොල් භාව ප්‍රකාශ මඟිනි. ලෙයින් පිසගත් කිරිබත්, වර්ග සංහාරයට පසුවත් ලියවෙන කවි, උතුරේ විමුක්ති අරගලය, ආදී එවන් ව්‍යාජ කාව්‍යමය යෙදුම් ගනනාවක් තිබේ. කවියන් හෝ සිනමාකරුවන් වෙසින් සිටින නරුමයන් ලවා එවැනි ව්‍යාජ ප්‍රකාශ කීපයක් කරවා ගත්විට ඔවුන්ට කාලයක් තම දේශපාලන එදාවේල පිරිමසා ගැනීම සඳහා එම ප්‍රකාශ ප්‍රමාණවත් වෙයි. රාවයට ලිපි ගණනාවක් ලිවීමෙන් පසුවත් දෙමළාට ඇති ප්‍රශ්නය දෙමළ වීමය වැනි වාගාලාපයෙන් ඔබ්බට යමක් කියාගත නොහැකි වූ නිවට න්‍යායාචාර්යවරුන් අතරේ, මෙවන් ප්‍රකාශවල පිළිසරණ පතන්නට සිංහල ඊළාම්වාදීන්ට සිදුවීම පුදුමයක් නොවේ.
මීළඟට අප පියවි සිහියෙන් මේ ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ කෙසේද? කල්ලිවාදයේ හා මමත්වයේ හැඟීමට පහසුවෙන් අවනත වන මිනිසුන් අතරේ සිංහලයාවත්, දෙමළාවත් කිසිවිටක සර්ව සාධාරණ හැසිරීමක් පෙන්වන්නේ නැත. ජාතිවාදී නොරිස්සීම් අතරේ දෙපාර්ශවයෙන්ම එකිනෙකාට යම් යම් කෙනහිලි කම් සිදුවී ඇති බවද බැහැර කළ නොහැකි ඇත්තක් විය හැකිය. ඒ පිළිබඳ දෙපාර්ශවයටම තම තමන්ගේ සාධාරණ හෝ අසාධාරණ දුක් ගැනවිලි රාශියක් තිබිය හැකිය. ජාතිවාදී ප්‍රශ්නවලදී ලෝකයේ ඊනියා ශිෂ්ට යැයි කියාගන්නා රටවලට සාපේක්ෂව ලාංකේය අශිෂ්ඨයන්ගේ තත්ත්වය බෙහෙවින් වාසනාවන්ත වුවද ප්‍රශ්න මෙන්ම ප්‍රශ්න ලෙස වර නැගිය හැකි දේද කොතෙකුත් පවතින බව බැහැරලිය හැක්කක් නොවේ. ඒ නිසාම කේසවරාජන් පන්නයේ අවනඩු ගැන සලකා බලන්නට ගියහොත් ඒ පිළිබඳ වැඩිපුරම සහ බලවත්ම දුක් ගැනවිලි ඉදිරිපත් කළ හැකි වන්නේ ඔවුන්ට නොව ඔවුන්ගේ ඊනියා විමුක්ති අරගලයෙන් තිස් වසරක් බැට කෑ මේ රටේ පොදු ජනතාවටය. ඒ දුක් ගැනවිලිවලට හෙංචයියන්ගේ කළු සුදු පත්තරවල ඉඩක් නොතිබීම අපට නම් එතරම් පුදුමයක් නොවේ.
දැන් ඒ සමස්ථ චිත්‍රය මඳකට පසෙක තබා පීඩක සිංහලයා නිසා පීඩිත දෙමළාට ඇතිවී යැයි කියන දැවෙන ප්‍රශ්න කන්දරාව ඇත්තක් යැයි මඳකට පිළිගනිමු. එසේවුවද ඒ පිළිගැනීම ඔස්සේ දෙමළ ඊළම හෝ ඒ උදෙසා වූ අන්ත තිරස්චීන ක්‍රියාමාර්ග හෝ ඒ පසුපස ඇති ගෝලීය දේශපාලන වියරුව හෝ සාධාරණ වන්නේ කුමන පදනමක් යටතේද? හමුදා භටයෙක්ගෙන් ගුටියක් කෑම නිසා රටෙන් කෑල්ලක් ඉල්ලා තොග ගනනේ මිනීමැරීම අනුමත කිරීමට මේ තක්කඩි බයිස්කෝප්කාරයා පෙළඹෙන්නේ නම් ඔහුගේ කලණ මිතුරා විසින් රටේ සියලු ජාතීන් මත වගුරුවන ලද ලේ ගංගාව වෙනුවෙන් අප ඔවුන්ගෙන් ඉල්ලා සිටිය යුතු වන්දියේ තරම කෙතරම් විය හැකිද? ඊනියා දෙමළ විමුක්තිකාමීන් රටේ අහිංසක සිවිල් වැසියන්ගෙන් පලිගත් ප්‍රමාණයට සමගාමීව, අහිංසක දෙමළ සමාජයෙන් පළිගැනීමට හෝ වෙනම සිංහල රටක් ඉල්ලා ලේ වැගිරවීමට සිංහලයා හෝ වෙනත් ජාතියක් හෝ පෙළඹෙන්නේ නම් ඇති විය හැක්කේ කෙබඳු තත්ත්වයක්ද? දෙමළාට ඇති ප්‍රශ්න නිසා දෙමළ ඊළාම් වියරුව සාධාරණීකරණය කළ හැකි නම්, තමාගේ ලිංගික පීඩාව වෙනුවෙන් ගෑනු සීයක් දූෂණය කොට පාටියක් දමන්නට කිසිවෙකුට ඇති අයිතියද ඊට වඩා දසලක්ෂ වාරයක් සාධාරණය. මේ වනාහී හෙංචයියන්ගේ රාවය කියවා එලොව මෙලොව මාරුවී සිටින නොමේරූ ලදරුවන් විසින් විවේක බුද්ධියෙන් අවධානයට ගත යුතු ප්‍රශ්න කීපයකි.
අපට නම් සිංහලයාගේ ජීවිත පමණක් නොව දෙමළාගේ ජීවිතද ජීවිතය. එපමණක් නොව මිලේච්ඡ ත්‍රස්තවාදීන් බවට පත්වූ දමිළ තරුණයන්ගේ ජීවිතද අපට අනුව නම් ජීවිතය. විනාශකාරී දේශපාලන ප්‍රවණතා ඔස්සේ නොමඟ ගියද ඔවුහුද මේ රටේ දරුවෝය. ත්‍රස්තවාදය මැඩලීම මේ සියලු දෙනා වෙනුවෙන්, මනුෂ්‍යත්වය වෙනුවෙන්, ගතයුතු සාපේක්ෂව වඩා සාධාරණම තීරණය වන්නේද ඒ නිසාය. එසේ වුවද හෙංචයියන්ගේ යුධ විරෝධය හා ජාතිවාද විරෝධය සිංහලයාට පමණක් පුදුමාකාර ලෙස සීමාවෙයි. එතැනින්ද නොනැවතී ජාතිවාදයේ සාහසිකම ප්‍රකාශනයන් වන කොටි ත්‍රස්තවාදය හා මුස්ලිම් අන්තවාදය සමඟ ඔවුන්ට ඇත්තේ සදාතනික ගජමිතුරු බැඳීමකි. කොටි ත්‍රස්තවාදයට එරෙහි සිනමාකරුවන් ලෝකයේ ලොකුම අපරාධකරුවන් ලෙස පතුරු ගැසෙන කළු සුදු පත්තරය තුළ කේසවරාජන්ලා දැවැන්ත වීරයන් ලෙස ඔසවා තැබෙන්නේ ඒ නිසාය.
ජාතිවාදය ගැන කිසිදු විචාරයකින් විමසීමකින් තොරව රෙඩිමේඞ් කළු සුදු වාගාලාප දොඩවන නව පරපුරේ හිතන මතන තරුණ පිරිස් මේ විශමතා මැදහත් සිතින් විමසා බලනු මනාය.
ඉසුරු ප්‍රසංග



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 512057271313976813

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item