ඇවන්ගාඩ් ගැන තිලක්‌ මාරපන ඇත්තම කියයි - දිවයින සාකච්චාව

මෑත කාලේ රටේ ඇති වූ ආන්දොaලනාත්මක සිද්ධිය බවට ඇවන්ගාඩ් සිද්ධිය පත්ව ඇත. මෙය මුල්කරගෙන නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති තිලක්...

මෑත කාලේ රටේ ඇති වූ ආන්දොaලනාත්මක සිද්ධිය බවට ඇවන්ගාඩ් සිද්ධිය පත්ව ඇත. මෙය මුල්කරගෙන නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති තිලක්‌ මාරපන මහතා සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌විය. එලෙස ඉල්ලා අස්‌වීමෙන් පසු ඒ සම්බන්ධව "දිවයින ඉරිදා සංග්‍රහය" ඒ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය - ඇවන්ගාඩ් ගැන මේ වනවිට රට තුළ දැඩි ආන්දොaලනයක්‌ ඇතිවී තිබෙනවා මොකක්‌ද මේ ඇවන්ගාඩ්?

පිළිතුර - මෙය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නිත්‍යානුකූලව ව්‍යාපාර කරගෙන යන සමාගමක්‌ බව කිව යුතුයි. 

ප්‍රශ්නය - වර්තමානය වනවිට මේ සමාගම සහ ඔබ අතර තිබෙන සම්බන්ධය මොකක්‌ද?

පිළිතුර - දැන් කිසිම සම්බන්ධයක්‌ නැහැ.

ප්‍රශ්නය - මීට පෙර සම්බන්ධයක්‌ තිබුණාද?

පිළිතුර - ඔව්.

ප්‍රශ්නය- මොනවගේ සම්බන්ධයක්‌ද?

පිළිතුර - ඇවන්ගාඩ් අධිපති ලෙස හඳුන්වන නිශ්ශංක සේනාධිපති නමැත්තා මට මුලින්ම මුණගැසුණේ 1993 දී. එවකට ඔහු හිටපු ජනාධිපති ඩී. බී. විඡේතුංග මහතාගේ ආරක්‍ෂක නිලධාරියකු ලෙස කටයුතු කළා.

ප්‍රශ්නය - ඔබතුමා හඳුනාගත් නිශ්ශංක සේනාධිපති ඇවන්ගාඩ් හිමිකරු බව දැන සිටියාද?

පිළිතුර - නැහැ. ඔහු සාමාන්‍ය පුද්ගලයකු ලෙසයි එදා මා හඳුනා ගත්තේ. එහෙම හඳුනා ගත්තත් ඔහු සමග මගේ සම්බන්ධයක්‌ තිබුණේ නැහැ. ඊට පසු දැක්‌කෙත් නැහැ. දුරකථනයෙන්වත් කතාබහ කළේ නැහැ. ඔහු ඇවන්ගාඩ්හි අයිතිකරු කියා මෑතක්‌ වනතෙක්‌ මා දැන සිටියේ නැහැ.

ප්‍රශ්නය - 1993 දී හඳුනාගත් ඇවන්ගාඩ් හිමිකරු මෑතකදී යළි මුණගැසුණේ මොනවගේ අවස්‌ථාවකදී ද?

පිළිතුර - සේනාධිපති මහතා නීතිඥවරයකු සමග 2015 ජනවාරි මාසයේ අවසන් සතියේදී මාව මුණගැසීමට පැමිණියා. ඒ වනවිට අද සංවාදයට ලක්‌ව තිබෙන ඇවන්ගාඩ් අවි ගනුදෙනු ඇතුළු මේ සිද්ධිය ජනමාධ්‍යවල පළ වී රටේ ආන්දොaලනාත්මක ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබුණා.

ප්‍රශ්නය -නීතිඥ මහතකු සමග පැමිණි සේනාධිපති මහතා ඔබතුමාගෙන් අපේක්‍ෂා කළේ කුමක්‌ද?

පිළිතුර - ඒ වනවිට ඇවන්ගාඩ් නැව් පරීක්‍ෂාවට ලක්‌ කර ඒවායෙහි නීතිවිරෝධී අවි තිබෙන බවටත් අවි පරිහරණය කර ඇති බවටත් විවිධ ප්‍රචාර ජනමාධ්‍ය ඔස්‌සේ දියත් වෙමින් පැවැතුණා. ඔහු පැමිණ මගෙන් පළමුව ඉල්ලා සිටියේ ඔහුට අයත් බැංකු ගිණුqම අත්හිටුවීමට රජය පියවර ගෙන තිබෙන බවත් එහෙම වුණොත් තමා යටතේ සේවය කරන දහස්‌ සංඛ්‍යාත සේවකයන්ට මෙන්ම රටට ද විශාල ප්‍රශ්නයකට මුහුණපෑමට සිදුවන බව දීර්ඝ වශයෙන් කරුණු දක්‌වමින් මගෙන් ඉල්ලා සිටියේ ඒ විනාශය නතර කර ගැනීම සඳහා ගත යුතු නීතිමය පියවර කුමක්‌ද යන්න පිළිබඳවයි. ඔහු මා සමඟ කතා කළ එක ප්‍රශ්නයක්‌ ඒක.

අනෙක්‌ ප්‍රශ්නය තමයි. ඔහු ආරක්‍ෂක අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එක්‌ව නයිජීරියානු රජය සමග ව්‍යාපෘති හතරක්‌ ලබා ගැනීම සඳහා මූලික සාකච්ඡා වට කිහිපයක්‌ පවත්වා තිබෙන බව මට කිව්වා. ඒ ව්‍යාපෘති අතර 1. නයිජීරියානු නාවික හමුදාව විසින් සකස්‌ කරන බෝට්‌ටු අපේ නාවික හමුදාවට ලබා ගැනීම.

2. නයිජීරියාවේ නාවික හමුදාවට අයත් මුහුදු යාත්‍රා නඩත්තු කිරීම.

3. නාවික භටයන් පුහුණු කිරීම සඳහා අපේ නාවික භටයන් එරටට යෑවීම. 

4. නයිජීරියාවේ සමස්‌ත ආරක්‍ෂක භටයන් අපේ යුද අත්දැකීම් ඇති භටයන් යොදවා පුහුණු කිරීම හා යුද්ධයකට මුහුණ දීමට හැකිවන පරිදි හැඩ ගැස්‌වීම.

ඉහත කරුණු අතරින් පළමු කරුණ වන නයිජීරියාවෙන් බෝට්‌ටු ලබා ගැනීම සඳහා වන ගිවිසුමකට එරටදී පෙබරවාරි මාසයේ අත්සන් තැබීමට දින නියම වී තිබුණා. නමුත් අවාසනාවකට මෙන් ඒ වනවිටත් නැව වැටලීමෙන් පසු සේනාධිපති මහතාගේ විදේශ ගමන් අධිකරණය මගින් තහනම් කර තිබුණා. 

මේ තත්ත්වය මත මෙම ගිවිසුම අත්සන් තැබීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත් ඒ සඳහා සහභාගි වීමට පවතින නීතිරාමුව යටතේ අවස්‌ථාව උදාකර ගැනීමට පියවර ගන්නා ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියා. ඊට අවශ්‍ය සියලු ලියකියවිලි ද මට ලබාදුන්නා. ඒ අනුව නීතිපතිවරයාට මා කරුණු දැක්‌වීමක්‌ කළා.

ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබ ඇවන්ගාඩ් සමාගමේ නීතිඥවරයකු ලෙස කටයුතු කළාද?

පිළිතුර - ඔව්. මම නීති උපදෙස්‌ ලබා දුන්නා. ඒ කාලයේ මම ඇමැතිවරයෙක්‌වත්, මන්ත්‍රීවරයෙක්‌වත් නොමෙයි. මම සාමාන්‍ය නීතිඥයෙක්‌. නීතියේ පිළිසරණ පතා මා ළඟට විශාල පිරිස්‌ පැමිණියා. එලෙස පැමිණි අයගෙන් එක්‌ අයෙක්‌ තමයි ඔය සේනාධිපති කියන ඇවන්ගාඩ් හිමිකරු. මම නීතිපතිට කරුණු දැක්‌වීමෙන් අනතුරුව ඔහුට නයිජීරියාව බලා පිටත්ව යැමට හැකියාව ලැබුණා. දෙවැනි වතාවටත් ඔහු විදේශ ගතවීමට උත්සාහ කළ අවස්‌ථාවේ ප්‍රශ්න මතු වුණා. මා ඒවාද නිරාකරණය කර දුන්නා.

මේ කටයුතු සඳහා මා සේනාධිපති වෙනුවෙන් අධිකරණයටවත් ගියේ නැහැ. මොකද ඔහුට ආයතන රැසක්‌ තිබෙනවා. ඒවායෙහි නීතිඥයන් සිටිනවා. මා ඔහුට නීති උපදෙස්‌ ලබාදීම පමණක්‌ සිදු කළා. මගේ කාර්යභාරය එතැනින් අවසන් වුණා.

ප්‍රශ්නය - දැනටත් ඔබ ඇවන්ගාඩ් සමාගමේ නීති උපදේශක ලෙස කටයුතු කරන බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා.

පිළිතුර - ඒ චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා. දැන් මම එහි නීති උපදේශකයෙක්‌ නොවෙයි.

ප්‍රශ්නය - එහෙම නම් නීතිපතිවරයාත්, ඇවන්ගාඩ් සමාගමත් සුද්ධ කරමින් ඔබ පාර්ලිමේන්තුවේදී ආන්දොaලනාත්මක ප්‍රකාශයක්‌ කළේ කාගේ උවමනාවටද?

පිළිතුර - පාර්ලිමේන්තුවේදී කාගේවත් උවමනාවට මා කතා කළේ නැහැ. ජනතාව වෙනුවෙන් මගේ යුතුකම මා ඉටු කළා පමණයි.

ප්‍රශ්නය - යුතුකම කිව්වේ.

පිළිතුර - ඇවන්ගාඩ් නැවෙහි තිබුණ අවි ආයුධ සියල්ල නීත්‍යානුකූල බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින්වත් නඩු පැවරිය නොහැකි බව නීතිපතිතුමා ප්‍රකාශකර තිබුණා. එතුමාට මගේ ප්‍රකාශය හරහා මා සාධාරණය ඉටු කළා. අනෙක පාර්ලිමේන්තුවේ මේ සත්‍ය හෙළිකිරීම තුළින් මන්ත්‍රීවරයකු ඇමැතිවරයකු වශයෙන් ජනතාවට මගේ යුතුකම මං ඉටුකළා.

නීතිපතිගේ ප්‍රකාශය කිරීමට පෙර මා මේ තත්ත්වය දැන සිටියා මොකද ඇවන්ගාඩ් හිමිකරු මීට ඉහත මා හමුවෙන්න පැමිණෙන විට ඔහුගේ ලිපිගොනු සියල්ල මා පරීක්‍ෂා කළා. ඒ අවස්‌ථාවලදී නැව් පරිහරණය වන ආකාරය, එය ගාලු වරායට ගෙන ඒමට අවසරය ලබාගත් ආකාරය, අවිවලට විදේශ රටවලින් බලපත්‍ර ලබාදී ඇති ලියකියවිලි ආදී සියලු කරුණු මට දැනගන්න ලැබුණා. ඒ කරුණත් ඇතිවයි මා පාර්ලිමේන්තුවේදී සත්‍ය හෙළිකළේ.

ප්‍රශ්නය - ඔබතුමා ප්‍රකාශ කරන පරිදි ජනතාව වෙනුවෙන් යුතුකම ඉටුකරමින් පාර්ලිමේන්තුවේදී සත්‍ය හෙළි කිරීම නිසා ඇමැති ධුරයෙන් පවා ඉල්ලා අස්‌වීමට සිදුවුණා. ඇත්තටම දැන් මොකද ඒ ගැන හිතෙන්නේ, දුක්‌ වෙනවාද?

පිළිතුර - අපෝ නැහැ. කිසිම දුකක්‌ නැහැ. සත්‍ය හෙළි කිරීමට හැකිවීම ගැන හදවතින් මා සතුටු වෙනවා. 

ප්‍රශ්නය - ඔබතුමා කියනවා නැවේ තිබෙන ආයුධවලට බලපත්‍ර නිකුත් කළේ විදේශ රටවලින් කියා එලෙස සාමාන්‍ය පුද්ගලයන්ටත් පුළුවන්ද විදේශ රටකින් බලපත්‍ර දුන් අවියක්‌ ලංකාවට අරගෙන එන්න.

පිළිතුර - මේ නැවේ ආයුධ ලංකාවට අරන් ආවේ නැහැ. මේක සිදුවෙන්නේ බෝන්ඩඩ් වෙයාර් හවුස්‌ කියන ක්‍රමයටයි. මේ නැවට ලංකාවට එන්න අවසරයක්‌ ආරක්‍ෂක අමාත්‍යාංශය දී තිබෙනවා. ඒ අනුව වරායේ රෙගුලාසිවලට අනුකූලවයි. මේ නැව ඇවිත් තිබෙන්නේ මේ නැව වරාය අසලට ගෙනාවේ ඒ නීතිරීති සියල්ල සපුරා ගැනීමෙන් පසුවයි. ඒ සියලුම අවසර පත් මා දැක්‌කා. මේක ජාත්‍යන්තර නීතියට අනුකූලව කළයුතු දෙයක්‌. පාවෙන අවි ගබඩාවක්‌ පවත්වාගෙන යන්න ඕනෑම කෙනෙකුට බැහැ. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මෙයට අවසර දිය යුතුයි. ඒකට වෙනම නීති තිබෙනවා. මේ ටික මහජනයා දන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ප්‍රශ්නය ඇති වුණේ.

ප්‍රශ්නය - ආණ්‌ඩුවේ ඇතැම් මැති ඇමැතිවරු පවා ඇවන්ගාඩ් නැවේ නීති විරෝධී ගිනි අවි තිබෙන බවට විශාල හඬක්‌ නැඟුවා මේ සියලු දෙනා කිව්වේ බොරු කියලද ඔබ කියන්නේ?

පිළිතුර - නීතිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසු ඒ සියල්ල බොරු හා කටකතා බවට පත්වුණා. ඇවන්ගාඩ් පිළිබඳව හඬ නැඟුනේ ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්‍ෂ මහතා ගෙදර යැමත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ඊට පෙර කෑගැහුවේ හිටපු ජනාධිපති හා ඔහුගේ ආණ්‌ඩුව සිදුකළ බව කියන මහා පරිමාණ දූෂණ ගැනයි.

ප්‍රශ්නය - නීතිපති හා ඔබ ප්‍රකාශ කරන පරිදි ඇවන්ගාඩ් නැව නීත්‍යානුකූල නම් එහි නීති විරෝධී ගිනි අවි තිබුණේ නැතිනම් සිදුවූ හානියේ වගකීමත් බාරගත යුත්තේ ආණ්‌ඩුව නේද?

පිළිතුර - නීතිපතිතුමාගේ උපදෙස්‌ පිළිගෙන රජය නඩු දාන්න ක්‍රියා කළේ නැහැ. නමුත් පැත්තක ඉන්න එවුන් කෑගහන්න ගත්තා නීතිපති පගාව ගත්තා, අරය පගාව ගත්තා, මෙයා පගා ගත්තා කියමින් බොරුවට කිසිවක්‌ සොයන්නේ බලන්නේ නැතිව කෑගැහුවා.

මේ ගොඩේ අපේ අයත් සිටියා. ජනවාරි 8 වැනිදාට පෙර අපි මහජනයට කිව්වේ මහා පරිමාණ දූෂණ හෙළිකරනවා කියා. නමුත් ඒවා කරන්නේ නැතුව ඒ සියල්ල පැත්තකට දාලා කිසිම පදනමක්‌ නැතුව ඇවන්ගාඩ් හම ගහන්න ගත්තා මේක මහ ගොන් වැඩක්‌.

ජනතාව අද ප්‍රශ්න කරන්නේ ඡන්දයට පෙර පොරොන්දු වූ පරිදි උඹලා හොරු ඇල්ලුවද කියායි. ඒ ප්‍රශ්නයට විසඳුමක්‌ නොදී ඇවන්ගාඩ් තමයි ලොකුම හොරා කියමින් යනවා. ඇතැම් අය අපටත් චෝදනා කරනවා.

ප්‍රශ්නය - නීතිපතිතුමාගේ මතය පිළිනොගෙන රජයට ක්‍රියාකළ හැකියාවක්‌ තිබෙනවාද?

පිළිතුර - නුවණක්‌කාර රාජ්‍යයක්‌ නම් නීතිපතිතුමාගේ උපදෙස්‌ පිළිගන්නවා. නුවණක්‌කාර නොවේ නම් නොව සේය.

ප්‍රශ්නය - ඔබතුමා ඇමැතිධුරයෙන් ඉවත් වුණේ ඒ චෝදනා නිසාද?

පිළිතුර - චෝදනා නිසා නොවෙයි. චෝදනාවලට මම බය නැහැ. මම කරන්නේ සත්‍යයක්‌ නම් චෝදනා කොපමණ එල්ලවුණත් මට කමක්‌ නැහැ.

නැවේ තිබුණ ගිනි අවි නීත්‍යානුකූලද නැද්ද යන්න පිළිබඳව නැවත විමර්ශනය කළ යුතු බව ඔබ කෑගහන අය කියනවා. පොලිසිය භාර ඇමැතිවරයා ලෙස මා මේ පරීක්‍ෂණය යටගසාවි කියන සැකයක්‌ මේ අයට තිබෙනවා. ඒ සැකය දුරු කරමින් නිසි පරීක්‍ෂණයකට අවකාශය ලබාදීම සඳහා මා ඇමැති ධුරයෙන් ඉවත් වුණා. දැන් තියෙන්නේ නිසි පරීක්‍ෂණයක්‌ සිදු කිරීමටයි.

ප්‍රශ්නය - ඔබේ පක්‍ෂයේ අයගෙනුත් ඇමැති ධුරයෙන් ඉවත් වන ලෙස ඔබට බලපෑම් එල්ල වුණා නේද? මේ ගැන මොකද හිතෙන්නේ?

පිළිතුර - මෙය හරි අවාසනාවක්‌. මම ඒ ගැන කම්පා වෙනවා. ඔවුන්ට සැකයකින් තොරව පරීක්‍ෂණ කිරීමට මගේ ඉවත්වීම හරහා අවස්‌ථාව ලබාදී තිබෙනවා.

ප්‍රශ්නය - ඔව් දැන් ඔබ ඇමැතිවරයෙක්‌ නොවෙයි. මතු දිනයක ඇවන්ගාඩ් සමාගම ඔබෙන් නීති උපදෙස්‌ අපේක්‍ෂා කළොත් එයට එකඟ වෙනවද?

පිළිතුර - නැහැ. එහෙම වුණොත් හිටපු ඇමැති ලෙස බලපෑමක්‌ කළ හැකි යෑයි කාටහරි සිතිය හැකියි. ඒ නිසා එවැනි නීති උපදෙස්‌ දීමට මගේ බලාපොරොත්තුවක්‌ නැහැ.

ප්‍රශ්නය - ඔව්.. ඔබතුමා ඇවන්ගාඩ්හි හිටපු සේවා දායකයෙක්‌. ඇමැති ධුරය හෙබවූ කාලයේ ඇවන්ගාඩ් පරීක්‍ෂණවලට කිසියම් බලපෑමක්‌ ඔබ විසින් කළ බවට චෝදනාවක්‌ එල්ල වුණොත් එය බැහැර කිරීමේ හැකියාවක්‌ ඔබට නැහැ නේද?

පිළිතුර - ඇවන්ගාඩ්හි සේවාදායකයෙක්‌ව සිටියේ බොහෝ කලකට පෙර ඇමැති ධුරයට පත්කරන විට කිසිදු සම්බන්ධයක්‌ ඇවන්ගාඩ් සමඟ තිබුණේ නැහැ. අනෙක ඇමැතිකම පාවිච්චි කරලා කිසි විටෙකත් මම බලපෑම් කර නැහැ. නීති ක්‌ෂේත්‍රයේ හොඳ අවබෝධයක්‌ මට තිබෙනවා. ප්‍රතිපත්ති තීන්දු ගන්නවා මිසක්‌ නඩුවලට ඇඟිලි ගහන්න යන්නේ නැහැ.

ප්‍රශ්නය - ඔබේ ඉදිරි බලාපොරොත්තුව මොකක්‌ද?

පිළිතුර - ඒ ගැන මම තවම තීරණය කර නැහැ. සමහර විට උසාවි යන්නත් පුළුවන්. ඒ ගැන ඉදිරියේ බලමු.

ප්‍රශ්නය - ඇවන්ගාඩ් අර්බුදය නිරාකරණය කර ගැනීමෙන් පසු ඔබට ඇමැති ධුරයක්‌ හෝ වෙනත් තනතුරක්‌ ලබාදීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා තීරණය කළොත් එය බාර ගන්නවාද?

පිළිතුර - ඒක ඒ වෙලාවට කල්පනා කර බලමු.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7430070009509415617

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item