"ඊළමයි දේශපාලන හිරකරුවන්ට නිදහසයි" ඉල්ලමින් කෝච්චියට පැන්න සෙන්දුරන් - දිවයින ලිපිය

  මේ විපත දැක්‌ක ඕනෑම කෙනෙක්‌, මනුස්‌සයෙක්‌ නම් ඇඬෙනවම තමයි. ඉස්‌කෝල ඇඳුමින් සැරසුණු පාසල් ශිෂ්‍යයෙක්‌ තමයි කෝච්චියට පැනලා තිබුණේ. හිත්පි...

 
මේ විපත දැක්‌ක ඕනෑම කෙනෙක්‌, මනුස්‌සයෙක්‌ නම් ඇඬෙනවම තමයි. ඉස්‌කෝල ඇඳුමින් සැරසුණු පාසල් ශිෂ්‍යයෙක්‌ තමයි කෝච්චියට පැනලා තිබුණේ. හිත්පිත් නැති මහා යකඩ රෝදවලට අහුවෙලා ශිෂ්‍යයාගේ සිරුර කීතු කීතු කෑලිවලට වෙන්වෙලා තිබුණත් ඔහුගේ පාසල් ටයි පටිය විතරක්‌ කිsසිදු අන්තරාවක්‌ නැතුව මළ සිරුර කෙළවරක තිබුණා.

මේ අතර එතැනට ආව පොලිසියට මළ සිරුරට මඳක්‌ ඈතින් තිබුණු අභ්‍යාස පොතක්‌ හම්බ වුණා. ඒකෙමේ ශිෂ්‍යයා ලියපු ලියුමකුත් තිබුණා.

ලියුමෙ සඳහන් වෙලා තිබුණේ දෙමළ දේශපාලන සිරකරුවන් වහාම නිදහස්‌ කළ යුතුයි කියලයි. ඊළාම් දේශයට නිදහස ඕනේ කියලත් ඒ ලියුමෙම තිබුණා. මේ ඉල්ලීම කරන්නේ එල්. ටී. ටී. ඊ. ය කියලා ලියලා තිබුණා. ඔහු ඊට යටින් ඉංගී්‍රසියෙන් අත්සන් කරලා තිබුණේ ආර්. සෙන්දුරන් කියලයි.

මේ සියලු තොරතුරු අනුව මියගිය පාසල් ශිෂ්‍යයා රාෙ-ස්‌වරන් සෙන්දුරන් බවට හඳුනා ගත්තේ පොලිසියයි. ඔහු වයස අවුරුදු 18 ක පාසල් ශිෂ්‍යයෙක්‌. අධ්‍යාපනය හැදෑරුවේ යාපනයේ කොකුවිල් හින්දු විද්‍යාලයේ අ.පො.ස. උසස්‌ පෙළ පන්තියේ.

සෙන්දුරන්ගේ ඉස්‌කෝලේ ශිවා ටීචර් සෙන්දුරන් ගැන කතා කළා.

"මම සෙන්දුරන්ට කාලයක්‌ උගන්වලා තියෙනවා. එයා හරිම කීකරුයි. ගුරුවරු සැර කළාම මගෙ ළඟට එන්නේ අඬාගෙන. ඇවිල්ලා ඉකිබිඳ බිඳ එයාගේ දුක කියනවා. එයා අතින් වැරදි වෙනවා බොහෝ ම අඩුයි. සෙන්දුරන් බොහෝ ම නිවිච්චි ළමයෙක්‌. හරිම සංවේදීයි.

කෝච්චියට පැනලා මැරුණේ සෙන්දුරන් කිව්වම මට අදහාගන්න බැරි වුණා. එයා මැරිච්ච තැනට යන්න මගෙ හිත ඉඩ දුන්නෙම නෑ. ආරංචිය ලැබුණු ගමන් මගේ කකුල් දෙක පණ නැතුව වගේ ගියා. මම කවදාවත් ම විශ්වාස කරන්නේ නෑ සෙන්දුරන් මෙහෙම හිතලා දරුණු තීරණයක්‌ ගනියි කියලා. කාගේ හරි කීමකට හරි කාගේ හරි කතාබහකට හරි සෙන්දුරන් රැවටෙන්න ඇති කියලයි මම හිතන්නේ.

ශිවා ටීචර් මේ ටික කිව්වේ බොහෝම හැඟුම් බරවයි. ඒ එක්‌කම ඉඳහිට ඇයට ඉකිගසමින් ඇඬුනෙත් සෙන්දුරන් කෙරෙහි තිබූ කරුණාවටමයි.

සෙන්දුරන් 26 වැනිදා උදේම පුරුදු විදිහට ඉස්‌කෝලේ එන්න ගෙදරින් පිටත් වුණා. ඒ හැමදාම ඔහු ඉස්‌කෝලෙට එන පාපැදියෙන්. කෝපායි පොලිස්‌ වසමට අයත් කොකුවිල් ගම්මානේ ඉඳලා හැමදාම සෙන්දුරන් පාසල් ආවේ මේ විදිහටයි. එදත් ඔහු පාපැදියෙන් පාසල් ආවත් කොණ්‌ඩාවිල් දුම්රිය ස්‌ථානය කිට්‌ටුවදි පාපැදියෙන් බැහැලා ඒක තල්ලු කරගෙන තමයි ඇවිත් තියෙන්නේ. සෙන්දුරන් පාපැදිය තල්ලු කරගෙන ඇවිත් දුම්රිය පාර අයිනේ නතර වුණා.

ඉන්දියානු සමාගමක්‌ අති නවීන පහසුකම් එක්‌ක සම්පූර්ණයෙන්ම අලුතින් ඉදිකළ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වෙන්නේ පවනට බඳු වේගයෙන්. සමහර තැන්වලදී පැයට කිලෝමීටර් 110 වේගයටත් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය වෙනවා. සෙන්දුරන් හිටගෙන හිටියේ කොණ්‌ඩාවිල් දුම්රිය ස්‌ථානයට තරමක්‌ නුදුරින් නිසා කන්කසන්තුරේ ඉඳලා කොළඹ කොටුවට එන දුම්රිය ගමන් කළේ තරමක්‌ බාල වේගයකින්.

සෙන්දුරන් තමන්ගේ පාපැදිය දුම්රිය මාර්ගය අයිනේ තැනකට පෙරළල දැම්මා. දුම්රිය එන දිසාවටම මද දුරක්‌ ගිය ඔහු දුම්රිය මාර්ගයේ හරහට පැන්නේ තමන්ගේ හිස කොටස දුම්රිය මාර්ගයෙන් ඉවතට ඇදෙන ඉරියව්වෙන්. තත්පර පහක්‌ වගේ පොඩි වේලාවකින් සෙන්දුරන්ගේ සිරුර දුම්රියට බිලිs වුණා. උදරයට පහළ කොටස සම්පූර්ණයෙන්ම පුංචි පුංචි කෑලිගොඩක්‌ බවට පත්වුණා. සෙන්දුරන්ගේ ශරීරයේ ඉහළ කොටසට ඒ තරම්ම හානියක්‌ වෙලා තිබුණේ නෑ. සෙන්දුරන්ගේ බෙල්ලෙ ගැටගහලා තිබුණු ඉස්‌කෝලෙ ටයි පටිය සෙන්දුරන් අතඇරලා ගිහිං තිබුණේ නෑ.

කොල්ලෙක්‌ කෝච්චියට පැන්න අති බිහිසුණු සිද්ධිය කීපදෙනෙක්‌ම සියෑසින් දැකලා තිබුණා. ඔවුන්ගේ සාක්‍ෂි පොලිස්‌ පොතේ මෙහෙම සටහන් වෙලා තිබුණා.

"අපි ඉස්‌කෝල ළමයෙක්‌ දුම්රිය පාර දිහාවට යනවා දැක්‌කා. උදේට ඉස්‌කෝල ළමයි ඕනේ තරම් එහෙම යන හන්දා අපි ගණන් ගත්තේ නැහැ. නිකමට ඒ පැත්ත බලනකොට තමයි ඒ ළමයා එකපාරටම කෝච්චියට පැන්නේ. අපිට බේරගන්න තියා හිතන්නවත් වෙලාවක්‌ තිබුණේ නැහැ. වහාම අපි එතැන්ට දුවගෙන ගියා. යනකොට වෙන්න ඕනේ හැම දෙයක්‌ම වෙලා අවසන්. සිද්ධිය ආරංචිය වෙනවත් එක්‌කම මිනිස්‌සු එතෙන්ට දුවගෙන එන්න පටන් ගත්තා. මිනිස්‌සු බයේ කෑගහන හන්දා එතැන හිටපු කෙනෙක්‌ගේ අතේ තිබුණු පත්තරෙන් මියගිය කෙනාගේ මළසිරුර වැහුවා. පත්තර පිටු සුqළඟට යන්න පටන් ගත්ත නිසා රේල් පාරෙන් ම ගල් කීපයක්‌ අහුලලා තියල මළ සිරුර වැහුවා. පොලිසියත් ආවා. ඊට පස්‌සෙ එතැන හිටිය කෙනෙක්‌ අලුත්ම වේට්‌ටියක්‌ දුන්නා මළ සිරුරට පොරවන්න.

කොකුවිල් හින්දු විද්‍යාලයේ විසිහය වැනිදාට වාර විභාගේ පවත්වන්න නියමිතව තිබුණත් මොන වාර විභාගයක්‌ද? එක ළමයෙක්‌වත් ඉස්‌කෝලෙ නැහැ. ඔක්‌කොම ටික සෙන්දුරන්ගේ මරණය ගැන බලන්න දුවලා.

අකිල් තමයි සෙන්දුරන්ගේ හොඳම යාළුවා. යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට අකිල් කිව්වේ සෙන්දුරන් මෙහෙම කරගනියි කියලා කවදාවත් තමන් හිතුවේ නෑ කියලයි.

"අපි මේ සිද්ධිය වෙන්න කලින් දවසෙත් හම්බ වුණා. ඒ ටියුෂන් පන්තියේදී. ඒත් සෙන්දු මේ ගැන මොනවත් කිව්වෙ නෑ.

සෙන්දුගෙ හැසිරීම්වල වෙනසක්‌ තිබුණෙත් නෑ. අපි වෙන්වෙනකොට සෙන්දු කිව්වෙ හෙට ඉස්‌කෝලේ එනවා කියලා. ඒත් උදේ ඉස්‌කෝලෙට ආවේ නෑ.

අපේ මළ ගෙවල්වල ශෝක ප්‍රකාශ වෙනුවට සෙන්දුරන්ගේ මළ ගෙදර බෙදා හැරුණේ සෙන්දුරන් ලියලා තිබුණු ලිපියේ ඡායා පිටපත්.

සෙන්දුරන් තමන්ගේ මරණය සැලසුම් කළා කියලා අපිට හිතෙනවා. ඒකට හේතුව තමයි තමන් ලියපු ඉල්ලීම්වලට යටින් සෙන්දුරන් තමන් ගැන "මයිසෙල්ෆ්" (My self) කියලා එයාගේ තොරතුරුත් ලියලා තිබුණා.

සෙන්දුරන් තමන්ගේ මරණය වෙනුවෙන් තෝරාගෙන තිබුණේ ප්‍රභාකරන්ගේ උපන්දිනය දවසමයි. සෙන්දුරන් තමන්ගේ ලිපියේ "තමිල් ඊළමක්‌ ගැනත් සඳහන් කරලා තිබුණා. මිනිස්‌සුන්ගේ ලේ ධාතුව කුපිත වෙන දේවලුත් වැරදි පාඩම් නිසාත් තමයි මරාගෙන මැරෙන බෝම්බකාරයොත් අතීතයේදී බිහි වුණේ. සෙන්දුරන්ගේ ලිපියේ තිබුණ වගේ අදහස්‌ උතුරේ තවත් පාසල් ළමුන් කීයක්‌ අතරේ සංසරණය වෙනවද කියලත් හිතන්න වෙනවා.

සෙන්දුරන් තමන්ගේ අභ්‍යාස පොතේ එහෙම ලියලා තිබුණත් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරී රුවන් ගුණසේකර මහත්තයා කිව්වේ ඒක ලිව්වේ සෙන්දුරන්ම ද කියලා හොයාගන්න පොලිසිය තවමත් පරීක්‍ෂණ පවත්වනවා කියලයි.

හසලක ගාමිණී කුලරත්න සෙබළා සිය ජීවිතය කැප කළේ අලිමංකඩ හමුදා කඳවුර සතුරු එල්. ටී. ටී ඊ. බලවේගවලින් බේරගන්න වුණත් අද වෙනකොටත් අලිමංකඩ හමුදා කඳවුර තිබුණු තැන නැහැ. සිද්ධ වුණේ ගාමිණී කුලරත්න සෙබළා වීරයෙක්‌ විදියට මියගිය එක විතරයි.

මේ වගේම සෙන්දුරනුත් වීරයෙක්‌ විදිහට සැමරෙයිද?

මේ නීතිවිරෝධී කටයුත්තට අකාලයේ තමන්ගේ ජීවිතය පූජා කළ සෙන්දුරන් නිවැරැදියි කියලා යාපනය විශ්වවිද්‍යාලයේ උගත් ශිෂ්‍ය පිරිසක්‌ අනුමත කළා. සෙන්දුරන් මියගිහිල්ලා මළ මිනිය ගෙදරට ගේන්නත් කලින් යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් උද්ඝෝෂණ කළේ තවත් කෙනෙක්‌ මෙහෙම මැරෙන්න කලින් දේශපාලන සිරකරුවෝ නිදහස්‌ කරන්න කියලා ඉල්ලමින්.

කළු කොඩි ඔසවාගෙන එහෙම විරෝධතා දැක්‌වූයේ අධිකරණයට එරෙහිවයි. ඇත්තෙන්ම ඔවුන්ගේ හඬනැඟීම සෙන්දුරන් වගේ තවත් අහිංසකයෙක්‌ අකාලයේ මියෑදෙන්න රුකුල් දීමක්‌ කියලයි අපිට හිතුණෙ. ඒත් මේ වගේ මෝඩ වැඩ සෙන්දුරන්ගෙන්ම කෙළවර වෙන්න ඕනේ.

දිනසේන රතුගමගේ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3098295537499370709

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item