කෙටේරියෙන් බෙල්ල කපා වසර 29කට පෙර දයා පතිරණගේ ඝාතනය සිදුවූයේ මෙහෙමයි

 අසූ තුනේ කළු ජූලිය දඩමීමා කරගනිමින් එජාප රජය මගින් ජනතා විමුක්ති පෙරමුණ 1983 ජුලි මස අවසානයේ තහන...

 අසූ තුනේ කළු ජූලිය දඩමීමා කරගනිමින් එජාප රජය මගින් ජනතා විමුක්ති පෙරමුණ 1983 ජුලි මස අවසානයේ තහනම් කරන ලදී. තහනමින් පසු ජවිපෙ ‍තුළ සංවිධාන ව්‍යූහයේ කඩා වැටීම් යළි නඟා සිටුවීමට යම් කාලයක් ගතවිය. එතෙක් නිරාවරණව සිටි ජවිපෙ සාමාජිකයින් 100කට ආසන්න පිරිසක් 1984 නිමවන විට අත්අඩංගුවට ගෙන මර්ධනයට ලක්වූ බැවින් මැතිවරණ දේශපාලනයෙන් ජවිපෙ ඈත්වීමේ ප්‍රවණතාවයක් විය. ජවිපෙ මර්ධනය කිරීම සඳහා අවශ්‍ය දේශපාලන වටපිටාව පියවරින් පියවර ආණ්ඩුව මගින් ඉදිරියට ගෙන යන ලදී. 


සන්නද්ධ අංශයක් පිහිටුවීමේ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් වූයේ 1984 අග භාගයේදීය. දෙමළ බෙදුම්වාදීන් වෙනුවෙන් පෙනීසිටි දකුණේ විකල්ප කණ්ඩායම සහ සමාජවාදී ජනතා ව්‍යාපාරයේ සන්නද්ධ පුහුණුවීම් වලට එරෙහිවද ජවිපෙ මර්දනය කිරීමේ රජයේ වැඩපිළිවෙළට මුහුණදීම සඳහාද සන්නද්ධ අංශයක් සංවිධානාත්මකව බිහි කිරීමට අවශ්‍ය බවට එහිදී යෝජනා විය. 1985 මැදභාගයේදී පැවති ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීමේදී සන්නද්ධ අංශයේ කටයුතු වේගවත් කිරීම පිළිබදව සාකච්ඡාවක් පැවැත්විණි. ඒ අනුව සාමාජිකයින් සඳහා ප්‍රථම සන්නද්ධ පුහුණු වනගත කඳවුර 1986 ජනවාරි 6වැනිදා මාතලේ ලග්ගලදී පැවැත්විණි. දෙවන සන්නද්ධ පුහුණු කඳවුර 1986 පෙබරවාරි 2වැනිදා පොලොන්නරුවේදීද, අප්‍රේල් 30 වැනිදා රත්නපුරයේදීද සැප්තැම්බර් 4 වැනිදා කඩුවෙලදීද පැවැත්විණි. මෙම සන්නද්ධ පුහුණු කඳවුරු සතියකට ආසන්න කාලයක් පැවති අතර එහිදී හමුදාවෙන් පලාආ සෙබළුන් විසින් ටී. 56, ඒ. කේ. 47 වැනි නවීනතම අවි ආයුධ පෙන්වමින් පුහුණුව ලබාදෙන ලදී. එම 1986 වසර තුළ පමණක් ජවිපෙ සන්නද්ධ පුහුණු කඳවුරු 10ක් පමණ රටපුරා විවිධ ස්ථානවල පැවති බවට වාර්තා විය. සන්නද්ධ පුහුණුව වඩා විධිමත්ව ක්‍රියාවට නැගෙනුයේ ඉන්දු ලංකා ගිවිසුම අනුව ඉන්දිය හමුදා 1987 ජුලි මස ලංකාවට පැමිණිමත් සමඟය.



ජවිපෙ අරමුදල් තරකිරීම සඳහා රාගම සෝමේ නොහොත් සමරප්පුලිගේ සෝමසිරි ගේ නායකත්වයෙන් කණ්ඩායමක්ද 1984 වසරේදී පිහිටුවන ලදී.ගම්පහ සුනිල් අබේරත්න 1985දී මිය ගියේ යතුරුපැදියක් පැහැරගැනිමට ගොස් ඇතිවූ සිද්ධියකදී දරුණු ලෙස තුවාල ලබා පොලිසියට හසුවී රෝහලේදීය. ශිෂ්‍ය අංශයේ පූර්ණකාලීනයෙකු වූ අනුරාධපුර සරත් විජේසිංහද මරුමුවට පත්වූයේ මංකොල්ලකෑමකදී හමුදාව තබන ලද වෙඩි පහරකිනි. ජවිපෙ ප්‍රාදේශීය ප්‍රබල නායකයෙකු වූ මාතර තල්පාවිල ධර්මේ ගුරු වැටුප් මංකොල්ලයකදී 1985 අම්බලන්තොට පොලිසියට හසුවීමෙන් පසු ඝාතනයට ලක්විය. තමාගේ රාජකාරිය සාර්ථකව ඉටුකරගත් නමුදු යතුරුපැදිය පණගැන්වීමට නොහැකි වූයෙන් ප්‍රදේශවාසින් විසින් වටකර අල්ලා පහරදී පොලිසියට භාරදෙන ලදී.

 ජවිපෙ සන්නද්ධ අංශය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් හැදින්වූ අතර ජවිපෙ කටයුතු වලට එරෙහිවන්නන් 2වන කැරැල්ලේ දෝහීන් ලෙස හැදින්වූ අතර ඔවුන් සමාජයෙන් ඉවත් කිරීමටද 1986 අවසාන භාගයේදී තීරණය කෙරිණි. ඒ අනුව ප්‍රථම ඝාතනය බවට පත්වූයේ හම්බන්තොට වීරකැටියේ ගෝනදෙණියේ විදුහල්පතිවරයෙකි. දෙවැන්නා වූයේ කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයාවූ දයා පතිරණය. ඉන් පසුව 2වැනි කැරැල්ල ක්‍රියාත්මක වූ 1986/90 කාලය තුළ ජවිපෙ මගින් ඝාතනය කරන ලද මුළු සංඛ්‍යාව 6,577ක් විය. ප්‍රා සංවිධානය මගින් ඝාතනය කල ජවිපෙ සහ ජවිපෙ හිතවාදීන් සංඛ්‍යාව 1,222කි. එම කාලය තුළ ආණ්ඩුවේ නිල සහ අතුරු සන්නද්ධ කණ්ඩායම් මරූ සංඛ්‍යාව 34,014කි. ඒ අනුව ඝාතනයට ලක්වූ සහ අතුරුදහන්වූ මුළු සංඛ්‍යාව 41,813 වේ. නිල නොවන වාර්තා කියන්නේ එය 60,000කට ආසන්න බවය.

වසර 1986 වන විට කොළඹ සරසවිය තුළ ශිෂ්‍ය කණ්ඩායම් 3ක් ක්‍රියාත්මක විය. ඒ දයා පතිරණගේ ස්වාධීන ශිෂ්‍ය සංගමය, ගෙවිදු කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් විද්‍යා පීඨයේ ජාතික චින්තන කණ්ඩායම, ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය වේ. එය එජාප ආණ්ඩුව සමයේ ජවිපෙ සමගින්ම තහනමට ලක්වූ බැවින් එහි සාමාජිකයන් පෙනී සිටියේ වෙනත් කණ්ඩායම් වල නාමයන්ගෙනි. උතුරේ ද්‍රවිඩ තරුණ ප්‍රචණ්ඩත්වය නාගරික ගරිල්ලා ප්‍රහාර මගින් සරසවි ශිෂ්‍ය ව්‍යාපාරයට ඇතුලත් කිරීමට අත්හදා බැලීම් සිදුකරන ලද්දේ රෝහණ රත්නායක ඝාතන සිද්ධිය මුල් කරගෙනය. පද්මසිරි සහ රෝහණ ඝාතනයන්ට නායකත්වය දීම සදහා වෙනත් හේතු නිසා සංගමය කොළඹ කේන්ද්‍ර කරගත් නාගරික ලුම්පන් සහ පහළ මධ්‍යම පාන්තික සිසුන් ජනප්‍රිය විය. ජවිපෙ 1983 ජුලි තහනමත් සමඟම සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරකම් පසුබෑම සහ නිල මට්ටමින් ඇණහිටීම නිසා එහි රික්තයද පිරවීමට ඔවුන්ට හැකිවිය.


ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ සරසවිය තුළ ගෙන ගිය දඩබ්බර ක්‍රියාකාරකම් 1986 වන විට ප්‍රචණ්ඩ ස්වරූපයක් ගනු ලැබිය. දයා පතිරණගේ නායකත්වයෙන් තගරි න්‍යායක් අනුගමනය කරමින් සෙසු කණ්ඩායම්වලට වැට බැන්දේය. ජවිපෙ දේශප්‍රේමි ශිෂ්‍ය ව්‍යාපාරය 1986 ජුනි 20 වැනිදා ජයවර්ධනපුර සරසවියේ පිහිටුවූ අතර එය කිසිදු බාධාවකින් තොරව කැළණිය, රුහුණ, පේරාදෙණිය සහ මොරටු සරසවියන්හිද ආරම්භ විය. දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයේ අදිසි නායකයා වූයේ රංජිත් වීරවංශය. කැළණි සරසවියේ තාරපේරියේ රත්නජෝති හිමි එහි ලේකම්වරයා වූ අතර සභාපති වූයේ කඩවත ඇල්දෙණියේ පදිංචි ජයවර්ධනපුර සරසවියේ සිසු කාරියප්පෙරුම අතුකෝරළාගේ රනිල්ය.

කොළඹ සරසවියේදී දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය 1986 ඔක්තෝබර් 08වැනිදා ස්ථාපිත කිරීමේදී එයට දයා පතිරණගේ නායකත්වයෙන් යුත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් කඩු සහ පොලු වලින් තිරශ්චීන ලෙස පහර දුන්නේය. කොළඹ සහ පිටස්තර සරසවිවල සිසුන් ඇතුළු භික්ෂූන් කිහිප දෙනෙක්ම බරපතල තුවාල ලැබූ අන්දම එය වාර්තා කිරීමට ගිය ලියුම්කරුට දැකගැනීමට හැකිවිය. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සරත් එදිරිසිංහ, හේමන්ත, රොෂාන් ගුණවර්ධන, සමන්, ජිනානන්ද හිමි, තලකොලවැව චන්ද්‍රරත්න හිමි, ධම්මික හිමි ඇතුළු ජවිපෙ සියළු අනුගාමිකයින්ටද සරසවියේ ක්‍රීඩාගාර පෙදෙස එදින සිට තහනම් කලාපයක් ඔවුන් විසින් පත්කරන ලදී.

එමෙන්ම විනිවිද සඟරාවේ සංස්කාරකවරයෙකු වූ උඩුගොඩ සෝරත හිමියන්ට සරසවියේ කනුවක බැද දවසක් තිස්සේ හිරිහැර කල ස්වාධීන ශිෂ්‍ය සංගමය 1986 නොවැම්බර් 12වැනිදා කොළඹ මහජන පුස්තකාලයේ පැවති වීරසූරිය සිසු සැමරුමේ කටයුතු සඳහා කොළඹ සරසවියට ගිය කැළණි සරසවියේ මච්චාගම සේනාරත්නටද කුරිරු ලෙස පහර දුන්නේය. ඔහු නිදහස් කර ගැනීමට ආචාර්යවරුන්ට පවා මැදිහත් වීමට සිදුවිය. මෙයට පිළිතුරක් ලෙස ජවිපෙ සිදු කලේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරියෙකු වූ රත්නපුරේ ප්‍රදීප් උදයකුමාර තේනුවර ජයවර්ධනපුර සරසවිය ඉදිරිපිටින් යද්දී විමලධර්ම ශාලාවට රැගෙන ගොස් පහරදීමය.

ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ සරසවිය තුළ ආරම්භ 1979 දක්වා දිව ගියද ස්ථාපිත වූයේ 1980 පෙබරවාරි 02වැනිදාය. එහි 1980-82දී සභාපති වූයේ දීප්ති ලමාහේවාය. දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය ඔවුන් පිළිගත්තේය. ද්‍රවිඩ සන්නද්ධ කණ්ඩායම් වන ඊරෝස් කණ්ඩායමේ නායකයෙකු වන ඩේවිඩ්සන් සමඟ 1980 අප්‍රේල් සිටද ඊ.පී.ආර්.එල්.එෆ් කණ්ඩායම සමඟ 1981 පෙබරවාරි සිටද ස්වාධීන ශිෂ්‍ය සංගමය සබදකම් පැවැත්වීය. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ දෙවැනි සභාපතිවරයා වූයේ චම්මි වර්ණකුලසූරියයි. දයා පතිරණ සභාපතිවූයේ 1984-86 කාල වකවානුවේදීය. ඔහු විභාගයට නියමිත පරිදි ලියාපදිංචි නොවීම නිසා ඔහුගේ ශිෂ්‍යභාවය 1986දී අහෝසි විය.

සමසමාජයේ ලංකා ශිෂ්‍ය සංගමය, කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයෙන් මතවාදීව බිදුනු පිරිසක් ස්වාධීන ශිෂ්‍ය සංගමය පෝෂණය කළේය. ද්‍රවිඩ ජනයාගේ ඊළාම් ස්වයං නිර්ණ අයිතිය පිළිගත් කොළඹ සරසවියේ 1981 ආර්ථික විද්‍යා උපාධිධාරියෙකුවූ වාද්දුවේ තිලක් ප්‍රනාන්දු සංගමයේ මතවාදය පෝෂණය කිරීමට බොහෝ දුරට බලපෑවේය. ස්පාට්සිස්ට් ලිග් ට්‍රොස්කිවාදී කණ්ඩායම 1979දී ඇරඹුණු 16 දෙනෙකුගෙන් පමණ සමන්විත සුළු කණ්ඩායමක්වූ අතර එයට පේරාදෙණියේ කෘෂි උපාධිධාරියෙකුවූ සුනිමල් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්වී සිටියහ. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ කොළඹ සරසවියේ 1980 වන විට ද්‍රවිඩ ජාතික සිසුන් 400ක් පමණ පිරිසක් අධ්‍යාපනය ලැබූ අතර ඔවුන්ගේ සහාය ස්වාධීන ශිෂ්‍ය සංගමයට හිමි වන්නේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් තිලක් ප්‍රනාන්දු දැරූ එම මතවාදය අනුවය. එක්සත් ඉන්දියානු සෝවියට් සමූහාණ්ඩුවක් ස්පාට්සිස්ට් ලි‍ග් අරමුණ විය. මුල් කාලයේ තිලක් ප්‍රනාන්දුගේ අනුගාමිකයෙකුවූ දයා පතිරණ පසුව දයාන් ජයතිලකගේ විකල්ප කණ්ඩායමේ මතයට අනුගත විය. කෙටි කලකින් ඉන්ද ඉවත්ව චාල්ස් අබේසේකර ඇතුළු එන්.ජී.ඕ. ව්‍යාපාරයන්ට සහ ජවිපෙ විරෝධී වාමාංශික කණ්ඩායම්වලට නතුවිය.

ස්වාධීන ශිෂ්‍ය සංගමය 1982 කොළඹ සරසවියේ නිලවරණය සඳහා උපරිම ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වූවද මහා ශිෂ්‍ය සංගමයේ බලය ලබාගැනීමට අවස්ථාව අහිමිවී ගියේය. ජවිපෙ ඇතුළු දෙමළ බෙදුම්වාදයට එරෙහි ශිෂ්‍ය සංවිධාන එකට එකතු වී ශිෂ්‍ය සභාවේ බලය ලබාගෙන සභාපති තනතුර ජවිපෙටද ලේකම් තනතුර ශිලනිපයටද භාණ්ඩාගාරික තනතුර එජාපයටද බෙදා ගන්නා ලදි. දයා පතිරණ සරසවි දේශපාලනය ආරම්භ කරන්නේ මෙම නිලවරණයට විද්‍යා පීඨයෙන් තරඟ වැදීමෙනි. සංගමයේ න්‍යායාත්මක පසුබිම පසු කාලයේ ඉදිරියට ගෙන යන්නේ දයා පතිරණ මගිනි. යාපනයේ සරසවි ශිෂ්‍ය අප්පුතුරෙයි විමලරාසා වසරකට වැඩි කාලයක් ත්‍රස්තවාදී චෝදනා යටතේ රඳවා ගෙන සිටි අතර ඔහු නිදහස් කර දෙන ලෙස ඉල්ලමින් 1982 මැයි 14වැනිදා සංකේත පන්ති වර්ජනයට යාපනය සහ මඩකලපු සරසවි ශිෂ්‍යයන් හැරුණු විට එයට සහභාගි වූයේ කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් පමණි.

ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් 05දෙනෙක් ප්ලොට් සංවිධානයේ වව්නියා සන්නද්ධ නායක තාසන් යටතේ නැගෙනහිරදී අවි පුහුණුවද ලබාගෙන තිබිණි. එය සම්බන්ධීකරණය කළේ සිවරාම් විසිනි. ලියුම්කරු 1988 අප්‍රේල් 16 ප්ලොට් නායක උමා මහේෂ්වරන්ගේ වැල්ලවත්තේ රොක්සි සිනමාහලට යාබද ස්ථානයේදී හමුවූ අතර ජවිපෙට මුදල්වලටද සහ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ කණ්ඩායමකට නොමිලේද අවි පුහුණුව දුන් බව පිළිගත්තේය. ප්‍රභාකරන්ගේ කොටි සංවිධානයට එරෙහි ඕනෑම අයෙකු සමඟ ප්ලොට් සංවිධානය කොන්දේසි විරහිතව සහාය දෙන බව ඔහු එහිදී අවධාරණය කළේය. සිවරාම් සහ ෂර්ලිද එම අවස්ථාවට එක්වී සිටියහ. ප්ලොට් සංවිධානය මගින් 1985 අප්‍රේල් 26 වැනිදා නිකවැරටිය ලංකා බැංකුවට ප්‍රහාරයක් එල්ලකර රුපියල් කෝටියකට අධික මුදල් සහ රන්බඩු කොල්ලකෑ අතර එම කණ්ඩායමට එක්වූ සිංහල ජාතිකයින් දෙදෙනා අතර පතිරණද වූ බවට ජවිපෙ චෝදනා කළේය.



කොළඹ සරසවියේ උද්ගතවී ඇති ප්‍රශ්න වලට විසදුමක් වශයෙන් එහි ජවිපෙ ශිෂ්‍ය අංශය 1986 මුල්භාගයේ සිට ‍කොළඹ දිසා ලේකම් ලලිත් විජේරත්නට පැවරිණි. ඔහු අරවින්ද, කපිල සහ ජයන්ත නමින්ද හැදින්වේ. දිවුලපිටියේදී 1958 ජනවාරි 2වැනිදා උපන් හුණුමුල්ල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් ලලිත් පේරාදෙණි සරසවි විද්‍යා පීඨ සිසුවකුව සිටියදී 1983 ශිෂ්‍යභාවය අහෝසි වීමෙන් පසු පූර්ණ කාලීනව දේශපාලනයට යොමුවිය. ඔහුගේ පියා ගොවියෙකි.(මධ්‍යම කාරක සභාව හරහා 1988දී ජවිපෙ දේශපාලන මණ්ඩලයට එක්වූ ලලිත් ජවි‍පෙ තෙවැනි නායකයා වශයෙන් පත්වූයේ සමන් පියසිරි ප්‍රනාන්දු ඝාතනයෙන් පසු 1989 දෙසැම්බර් 31වැනිදාය. ඔහු ජවිපෙ 3වැනි නායකයා ලෙස සිටියදී 1990 ජනවාරි 23වැනිදා ඝාතනයට පත්විය.)



පතිරණ ඝාතනය සැලසුම් කල සමරවික්‍රම සේනානායක ඊශ්වරගේ ආරියසේන ‍නොහොත් රාළහාමි බෙලිඅත්ත ගොඩකුඹුරේ පදිංචිකරුවෙකු වන අතර මරදාන පොලිසියේ සේවය කරමින් සිටියදී 1971 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ විය. කැරැල්ලෙන් පසු 1974දී නිදහස් වු ආරියසේන ජවිපෙ නායක විජේවීර නිදහස් වීමෙන් පසු 1978දී පූර්ණකාලීනයෙකු විය.ජනමත විචාරණයෙන් 1982දී එජාපය පැරදුණු ආසන 18කට අතුරු මැතිවරණ පැවැත්වූ අතර ඉන් 5කට ජවිපෙ තරඟ කිරීමේදී බෙලිඅත්ත ආසනයට තරඟ කළේ ආරියසේනය. මාතර අමරේට පෙර වීජේවීරගේ පෞද්ගලික ආරක්ෂක ලෙස කලක් කටයුතු කළේය.(2වැනි කැරැල්ලේදී සන්නද්ධ අංශය වෙනුවෙන් පුරෝගාමි වැඩ කොටසක් කල ඔහු කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් අවි පැහැර ගැනීමේ ඇතුළු ප්‍රහාරයන්හි නායකයෙකු විය. ඌව පළාතේ ප්‍රධාන නායකයෙකු වූ ඔහු 1989 අගෝස්තු මස ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්වී 1989 නොවැම්බර් 1වැනිදා ඝාතනයට ලක්විය.)

ස්වාධීන ශිෂ්‍ය සංගමය සමඟ ශිෂ්‍ය සංගම් ගැටළු පිළිබදව සාකච්ඡා කිරීම ජයවර්ධනපුර සරසවියේ හේවාහෙට්ටිගේ නිමල් ජයරත්න සහ කෑගල්ලේ උපාලි දෙවන වරටද දෙසැම්බර් 15වැනිදා පැමිණෙන්නේ පස්වරු 3.30ටය. දයා පතිරණ ඒ වන විට උසස් පෙළ පාසැල් ශිෂ්‍යාවන්වූ තනූජා ධර්මපාල සහ දෙනියායේ පද්මිණී ශ්‍රියාකාන්ති කලූපලගේට සරසවියේදී අතිරේක විෂය දැනුම ලබාදෙමින් සිටියේය.(පතිරණ ඝාතකයින් හදුනා ගැනීමේ පෙරට්ටුවටද 1987 ජුලි 17වැනිදා ඔවුන් සහභාගිවූවාය.) නිමල් සහ උපාලි කොළඹ සරසවියට පැමිණියේ ධර්මසිරි හමුවීමට වුවද ඔහු නොමැති හෙයින් සෝමසිරි ඔවුන්ව පතිරණට යොමු කරන ලදී. ඔවුන්ගේ අරමුණ වුයේ සංවිධානාත්මකව පැහැර ගැනීමේ කල්ලියට පතිරණ හෝ ධර්මසිරි කොටුකර දීමටය.

තුන්මුලලේ හන්දිය අසළ ඔවුන් වෑන් රථය තබාගෙන රැදීසිටි අතර එහි හෙට්ටිහේවාගේ ජයතිස්ස නොහොත් ගාමිණී, කොඩිප්පිලි තන්ත්‍රිගේ මහිපාල, වැලිසර යුස්ටස් දිලිප් චන්ද්‍ර ප්‍රනාන්දු, තිලක් කුමාර හෙවත් සුදු මල්ලී, කොස්තා සිටියේය. සාකච්ඡාව තවදුරටත් කරගෙන යෑමට එකඟවී උපුල් සහ නිමල් සමඟ පතිරණ සරසවියෙන් එලියට පැමිණියේය. ඩිස්ප්‍රින් පෙත්තක් ගැනීමට අවශ්‍ය බව පවසමින් සෝමසිරි සමඟ ගමන් කලේ උපාලිය. පතිරණ සමඟ ගමන් කළේ නිමල්ය. රහීමා හෝටලයේදී ඔවුන් තේ පානය කළෝය. ශාන්ති විහාරයට මීටර් 25ක් පමණ දුර තිබියදී වෑන් රථයක් ඔවුන් අසල නතර කෙරුණි. වෑන් රථයට ඒ සදහා ඔත්තු ලබාදුන්නේ ඉදිරිපස යතුරු පැදියෙන් පැමිණි සරත්ය.

තමන් සී.අයි.ඩී එකෙන් යැයි කියා ගත් පිරිස පිස්තෝලයක් පෙන්වා 04 දෙනාටම වෑන් රථයට නගින ලෙසට නියෝග කළෝය. ඔවුන් අත කෙටේරියක්ද, ගල්කටස් එකක්ද පිස්තෝලයක්ද, පිහියක්ද තිබූණි. සැලැස්මට අනුව සරත් වාහනය පිටුපසිින් යතුරු පැදියෙන් පැමිණිය යුතුය. ඓහෙත් එය එසේ සිදු නොවීය. ඒ අනුව කොට්ටාව දෙසට ඇදුනු වාහනය පසුව ධාවනය කළේ මත්තේගොඩටය. අනතුරුව ජපුරේ සිසුන් වූ නිමල් ජයරත්නද, උපුල්ද වාර දෙකකට අතරමගදී බස්සන ලදී. එවිට වේලාව පස්වරු 7.30 පමණ විය.

දයා පතිරණ ඝාතනය කලේ 1986 දෙසැම්බර් 15 වැනිදා පස්වරු 8.30ට බණ්ඩාරගම හිරණ තොටුපොල අසළදීය. ප්‍රථමයෙන් පිහියෙන් බෙල්ලට ඇන කෙටේරියෙන් බෙල්ල කපා තිබිණි. තිබූ ඔරුවක හිමිකරු වූ ලබුගම රාලලාගේ ගිල්බට් පීරිස් විසින් ඒ පිළිබදව බණ්ඩාරගම පොලිසියට දැනුම්දුන් අතර පොලිසිය පැමිණිමෙන් පසු මරණීය තුවාල සහිතව වැටී සිටි පුංචිරාලගේ සෝමසිරි පානදුර රෝහලටද අනතුරුව ‍කොළඹ මහ රෝහලේ වාට්ටු අංක 52, ඇද 21ටද ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලදී. පතිරණ ඝාතනයෙන් දින කිහිපයකට පසු ජනක, සරත්, සුගත්, කොස්තා, මහීපාල, ගාමිණී සහ කුමාර මල්ලී හෝකන්දර නිවසකදී යළි හමුවිය. පොරොන්දු වූ පරිදි යතුරු පැදියෙන් මඟ පෙන්වීමට නොපැමිණිවීම පිළිබදව සරත්ට එහිදී චෝදනාව එල්ල විය.

දයා පතිරණ ඝාතන සැලසුම ක්‍රියාවට නැගූ කණ්ඩායමේ නායකයා වූයේ ගම්පහ දිස්ත්‍රික් සන්නද්ධ නායකයෙකුවූ යුස්ටස් දිලිප් චන්ද්‍ර ප්‍රනාන්දුය. වැලිසර පදිංචි ඔහු කතෝලිකයෙකි. පියා විදුහල්පතිවරයෙකුවූ අතර පවුලේ සිව් දෙනෙකි. ජවිපෙ සමඟ 1984 සිට පූර්ණ කාලීනව කටයුතු කළේය. කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් අවි පැහැර ගැනීමේදී අත්අඩංගුවට පත් අතර පසුව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදී 1988 දෙසැම්බර් 13 ජවිපෙ සැකකරුවන් 221ක් සමඟ පලා ගියේය. පලා යෑමෙන් පසු කොළඹ දිස්ත්‍රික් සන්නද්ධ නායකයා විය. දීප්ති, පතී, සුගත්, සොයිසා යන නම් වලින්ද හැඳින්විණි.

සමාජවාදී විප්ලවය හැර කිසිදු අරමුණක් හෝ බලාපොරොත්තුවක් නොතිබූ පතී ඒ සඳහා උපරිමයෙන් ජවිපෙ වෙනුවෙන් දිවා රෑ වෙහෙසුනු අයෙකු ලෙස ජවිපෙ ක්‍රියාකාරිකයෝ පිළිගත්තෙකි. ගම්පහ 5 දෙනාගේ කමිටුවට 1986/87දී අයත් වූයේ රණසිංහ, ෂෙල්ටන් රාජපක්ෂ, ගාමිණී. පියල් විජේසිංහ සමඟ පතීය. රාගම සෝමේ, ෂෙල්ටන් රාජපක්ෂ, ලයනල් රණසිංහ, ගුනේ, විනී, අම්පාරේ දිසා, වව්නියාවේ තිලක් ඇතුළු පිරිසක් සමඟ කොළඹ, ගම්පහ, හෝමාගම, කැස්බෑව, කොට්ටාවේදී සම්බන්ධකම් පැවැත්වූ පතී 1989 දෙසැම්බර් මස ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්විය. පසුව ජවිපෙ දෙවැනි නායකයා වූ සමන් පියසිරි ප්‍රනාන්දු, රාගම සෝමේ, දකුණු පළාත් සන්නද්ධ නායකයෙකුවූ රත්නායක සමගින් පතීද 1989 දෙසැම්බර් 29වැනිදා ඝාතනයට ලක්විය.

දයා ආනන්ද පියසිරි හේවා පතිරණගේ පියා මාතර දීයගහ පොල්ගස් අද්දර පදිංචි හුංගංගොඩ පතිරණගේ හෙන්ද්‍රික් අප්පුහාමිය(70). දරුවන් සය දෙනෙක් සහිත පවුලේ වැඩිමලා වූයේ දයා පතිරණය. මව කරුණාහේවා හතරසිංහය. කොටිකාවත්තේ බැස්ටියන් විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනය ලත් දයා පතිරණ පසුවදියගහ නැගෙනහිර විද්‍යාලයටද උසස් පෙළ සඳහා රාහුල මහා විද්‍යාලයටද ඇතුලත් විය. සරසවි ප්‍රවේශයේදී රුහුණු සරසවියට තේරුණද ඔහුගේ මනාපය අනුව කොළඹ සරසවියට මාරුවක් ලබාගෙන තිබිණි.

දයා පතිරණගේ ඝාතනයෙන් පසු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපතිධූරයට 1986 දෙසැම්බර් 17 වැනිදා පත්වූයේ කේ. එල්. ධර්මසිරිය. පතිරණ ඝාතනයෙන් පසු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් අතර නිල්මිණී, පරාක්‍රම, නිර්මාල් රංජිත් දේවසිරි, සී.ඒ. චන්ද්‍රප්‍රේම, නිහාල් හපුආරච්චි, නිමල්වීර බෝපගේ, සාලිය කුමාර, චාන්දනී සෙනෙවිරත්න, තිසරණී ගුණසේකර, අසංක කරුණාරත්න, ජෙරා, පේරාදෙණියේ ධම්මික බන්ඩාර, ජෝජා ඇතුළු කිහිප දෙනෙක්ම විය. ඉස්ක්‍රා, ස්වාධීන, රණහඩ මැයින් පුවත්පත්වල කලාප කිහිපයක්ද පලකරන ලදි.

පතිරණ ඝාතනයෙන් පසුවද ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ සරසවියේ දිගින් දිගටම පවත්වාගෙන ආ දඩබ්බර ක්‍රියාකාරකම් බහුතර සරසවි සිසුන්ට තවදුරටත් දරා ගත නොහැකි විය. ඒ අනුව චින්තන පර්ෂදයේ අධ්‍යක්ෂක සහ කාලය සඟරාවේ නියෝජ්‍ය සංස්කාරක ගෙවිදු කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය එයට එරෙහිව පොදු සිසුන්ට නායකත්වය දුන්නේය. ඒ අනුව ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැර ක්‍රියාකාරිකයින් වූ සිව් දෙනෙකු ගස් බැද මධ්‍යස්ථ 500කට ආසන්න සිසුන් පිරිසකගේ දායකත්වයෙන් සංවිධානාත්මක ප්‍රහාරයක් 1987 මාර්තු 24වැනිදා එල්ල කිරීම තුළින් ස්වාධීන ශිෂ්‍ය සංගමය මුළුමනින් පරාජයකර දෙමළ බෙදුම්වාදය පලවා හැර කොළඹ සරසවියේ බලය ලබාගන්නා ලදී. ගස් බැදී සෙනරත් ජයවර්ධන ඇතුළු සිව් දෙනා බේරා ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ 100කට අධික පිරිසක් කොළඹ සරසවියට එකවර කඩා වැදීමෙනි.

ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකත්වයට පත් බොරැල්ලේ දූගී පවුලක උපන් කේ. එල්. ධර්මසිරි ජවිපෙට එරෙහිව ප්‍රා සංවිධානය සමඟ එක්ව මුළු ශක්තියම යොදවන්නට විය. ජවිපෙ වනසා දැමීමට ඔවුන් ඝාතනය කිරීමේ සංහාරයේදී තීරණාත්මක කාර්යභාරයකට ස්වාධීන ශිෂ්‍ය සංගමය යොමු විය. අර්ධ මිල්ටරි කණ්ඩායම්වලින් ඔවුනට ආයුධ, හැඳුනුම්පත්, වාහන, මුදල් ලක්ෂ ගණනින් නොඅඩුව ලැබිණි. ප්‍රා සංවිධානයෙන් ඝාතනය කරන ලද සංඛ්‍යාව 1,200ක් වූ අතර ඒ අතර සිටි සරසවි සිසුන් 200කට ආසන්න පිරිසක් මරා දැමුවේ ධර්මසිරිගේ නායකත්වයෙන් යුත් ස්වාධීන ශිෂ්‍ය සංගමය මගිනි. අත් පා කපා දරුණු වධ දී ඔවුන් මරා දැම්මේය. හංසයින්ට ජලයෙන් කිරි වෙන්කර හැක්කේ යම් සේද ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ඝාතකයින්ට සමස්ත සරසවි සිසුන් අතරින් ජවිපෙ සිසුන් හඳුනාගැනීමට හැකි විය. සිය ගණනක් අමු අමුවේ ඝාතනය කල කොළඹ සරසවියේ නීති පීඨ වධකාගාරයේ නිල නොවන පරිපාලකයා වූයේද ස්වාධීන ශිෂ්‍ය සංගමයයි.

ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ. එල්. ධර්මසිරි 1989දී ඔක්තෝබර් 20 වැනිදා කොළඹ වයි. එම්.සී. ඒ ගොඩනැගිල්ලට ගොස් යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කොටහේන කොච්චිකඩේදී ජවිපෙ විසින් ඝාතනය කරන ලදී. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ආරූඪ නමක් වූ ජයකාන්ති විජේවික්‍රම නමින් 1989 දෙසැම්බර් 28වැනිදා නිවේදනයක් නිකුත් කරමින් 1989 දෙසැම්බර් 15 එය විසුරුවා හැරි බව ප්‍රකාශ කළේය. ඒ වන විට දයා පතිරණ ඝාතනයට ලක්වී වසර දෙකක් මෙන්ම ධර්මසිරි ඝාතනය වී මාස දෙකක් ගතවී තිබිණි.

වසර 1986 දෙසැම්බර් 15වැනිදා ඝාතනය වූ දයා පතිරණ නඩුව විභාග වූයේ පානදුර මහාධිකරණයේදී විනිසුරු ටී. බී. විරසූරිය ඉදිරියේය. විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නඩුව පවරා තිබිණි. එහිදී පලවෙනි විත්තිකරු වූයේ හේවා හෙට්ටිගේ ජයතිස්ස හෙවත් ගාමිණීය. දෙවැන්නා කොඩිප්පිලි තන්ත්‍රිගේ මහිපාලය. තෙවැන්නා වැලිසර යුස්ටස් දිලීප් චන්ද්‍ර ප්‍රනාන්දුය. සිව්වැන්නා හේවාහෙට්ටිගේ නිමල් ජයරත්නය. ඒ වන විට ජයතිස්ස හෙවත් ගාමිණී, මහීපාල සහ දිලිප් ප්‍රනාන්දු ඝාතනයට ලක්වී තිබිණි. එහිදී දෙවන සහ තෙවන විත්තිකරුවන්ට පළමුවන චෝදනාවට වසර 05 බැගින්ද දෙවන චෝදනාවට වසර 07 බැගින්ද තෙවන චෝදනාවට වසර 08 බැගින්ද දඬුවම් නියම කරන ලදී. ශ්‍රී ලංකාවේ ජීවත්ව සිටි සිව්වන විත්තිකරුවූ ජයවර්ධනපුර සරසවියේ සිසුවෙකුවූ හේවාහෙට්ටිගේ නිමල් ජයරත්න සියළු අධිචෝදනාවන්ට නිවැරදිකරු බවට තීරණය කර නිදොස්කර නිදහස් කරන ලදී. පැමිණිලි පක්ෂයෙන් බර්නාඩි සුනිල් කාරියවසම් සහ කුරුප්පු මුදියන්සේලාගේ මහින්ද කිංස්ලි ඇතුළු සාක්ෂි 15ක් විය.

පළමු විත්තිකරුවූ හේවාහෙට්ට්ගේ ජයතිස්ස නොහොත් ගාමිණි 1980දී ජවිපෙට එක්වූ අතර කලක් රෝහණ විජේවීරගේ ආරක්ෂකයෙකු වශයෙන්ද කටයුතු කළේය. දයා පතිරණ පැහැරගෙන ගිය වාහ‍නයේ රියදුරු වූයේ ගාමිණිය. ජවිපෙ සිදුකල ගල්ගමුව බැංකු මංකොල්ලයෙන් පසු මුදල් සහ රන්බඩු පැහැරගෙන ගිය වාහනයේ රියදුරු වූයේද ගාමිණිය. ගාමිණී වාහන මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් 1987 මැයි 25වැනිදා නුගේගොඩදි අත්අඩංගුවට ගත් අතර පසුව 1988 දෙසැම්බර් 13 ජවිපෙ සැකකරුවන් 221 ක් සමඟ මැගසින් බන්ධනාගාරයෙන් පලා ගියේය. පසුව ජවිපෙට අයත් පිළියන්දල කැස්බෑවේ පිහිටි ගොවිපලකදී 1989 ඔක්තෝබර් 3 වැනිදා ගාමිණීද එවකට ඇමතිනී සුනේත්‍රා රණසිංහ ඝාතනය කිරීමට උස්සාහ කල බවට චෝදනා ලත් වීරසිංහද ආරක්ෂක හමුදා මගින් අත්අඩංගුවට ගත් අතර ඝාතනයට ලක්වූහ.

දෙවන විත්තිකරු වූ කොඩ්ප්පිලි තන්ත්‍රිගේ මහීපාල 1987 ජුනි 18වැනිදා වාහන මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් නුගේගොඩදී අත්අඩංගුවට ගනු ලැබුවේ සහකාර පොලිස් අධිකාරි මොහො‍මඩ් රියාල්ඩීන්ය. කැස්බෑවේ පදිංචි මහීපාල ජවිපෙ පූර්ණකාලීනයෙකුවූ අතර ඔහු අවි පුහුණුව ලබාගෙන තිබුණේ ශ්‍රී පාද රක්ෂිතය ආශ්‍රිතවය. පසුව අත්අඩංගුවට ගත් ඔහුද 1989දී ඝාතනයට ලක්විය.

දයා පතිරණ සාකච්ඡාව සඳහා කැඳවාගෙන ගිය සිව්වන විත්තිකරු බවට පත්වෙ‍මින් පසුව නිදහස්වූ හේවාහෙට්ටි‍ගේ නිමල් ජයරත්න නොහොත් සමන් 1963 නොවැම්බර් 18 කරවනැල්ලේදී උපන් අතර ඔහුගේ ජීවන වටපිටාව මෙසේය. නිමල් රුවන්වැල්ලේ අම්පාගල පදිංචිකරුවෙකි. පියා සුගතසිංඥෝ ජනවසම විශ්‍රාමික මුරකරුවෙකි. මව වන නෝනහාමි ගෘහනියකි. පවුල් සොයුරු සොයුරියන් 6 දෙනකු වූ අතර සත්වැන්නා වන බාලයා නිමල්ය. නිමල් පන්නල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 1984දී ජයවර්ධනපුර සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයට ඇතුල් විය. ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් බවට පත්ව සිටි නිමල්ගේ සොහොයුරිය සෝමාවතී තාවකාලික වතු කම්කරුවෙකි. එක් සොහොයුරෙකු විජේරත්න වඩු කාර්මිකයෙකි, තවත් සොහොයුරෙක් වන ලීලාරත්න මේසෙන්වරයෙකි. අනෙක් සොහො‍යුරා දෛනික වැටුප් ලබන කම්කරුවෙකි. අන් සියලු දෙනා විරැකියාවෙන් පසු වූහ. කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් අවි පැහැර ගැනීමේ ප්‍රහාරයට එක්වූ ඔහු පසුව අත්අඩංගුවට ගෙන මැගසින් බන්ධනාගාරයේ සිටියදී 1988 දෙසැම්බර් 13වැනිදා ජවිපෙ සැකකරුවන් 221ක් සමඟ පලා ගියෝය.

අසූව දශකයේ මුල් භාගයේ සිට අවසානය දක්වා ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ක්‍රියාත්මකවූ ස්වාධීන ශිෂ්‍ය සංගමය අසූව දශකය අවසානයේදී(1987/90) මෙම සියවසේ ආසියාවේ සරසවියක ක්‍රියාත්මක වූ ම්ලේච්ඡතම සහ කෘරතම ශිෂ්‍ය සංවිධානය බවට අවසානයේදී පත්විය. ඉන්පසු එහි ඉතිරිවූ ක්‍රියාකාරිකයින් ගෙන් බහුතරයම වාගේ එජාපයට පසුකාලයේ එක්විය.
 
ධර්මන් වික්‍රමරත්න
(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 5419702622350929992

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item