ඩී.අයි.ජී. වාස්‌ගෙන් පාපොච්චාරණයක්‌

හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මෙයට කලකට පෙර අපට ලිපියක්‌ එවීය. එහෙත් මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩුව ඒ වන විට ...

හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මෙයට කලකට පෙර අපට ලිපියක්‌ එවීය. එහෙත් මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩුව ඒ වන විට අධිකරණය ඉදිරියේ තිබුණ බැවින් එම ලිපිය පළ කිරීමෙන් අපි වැළකී සිටියෙමු. ඔහුගේ නඩුව අවසන් බැවින් එම ලිපිය ඉතා දැඩි ලෙස සංස්‌කරණය කර කිසිදු පාර්ශ්වයකට හෝ රජයේ ආයතනයකට හෝ නීතියේ ආධිපත්‍යයට හෝ අපහාසයක්‌ නොකිරීමේ ෙච්තනාවද පෙරදැරි කරගෙන මෙසේ පළකරමු.

ඒ.පී.ජී. ද වාස්‌ ගුණවර්ධන වන මම 1981 වර්ෂයේ ආධුනික උප පොලිස්‌ පරීක්‍ෂකවරයෙක්‌ වශයෙන් සේවයට බැඳුණු අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක සේවය කර ඇත්තෙමි.

මම දිවයිනේ කාලයේ වැලි තලාවට යටවීමට ගිය විශේෂ ගණයේ මිනී මැරුම් විභාග කර විමර්ශනය ගැන හසළ දැනුමක්‌ ඇති අයෙක්‌මි.



මා 2008 වර්ෂයේ සිට 2009 මැයි මාසය දක්‌වා ත්‍රිකුණාමලයේ සේවය කළෙමි. එහිදී අපරාධකරුවන්පිරිසක්‌ විසින් වයස අවු. 5 ක්‌ වූ ජූඩ් රෙජි වර්ෂා පැහැරගෙන ගොස්‌ රු. ලක්‍ෂ 300 ක්‌ ඉල්ලීමෙන් පසු එය නොදුන් නිසා එම දැරිය දූෂණය කර ඝාතනය කිරීම ගැන ඉතාමත් විධිමත් විමර්ශනයක්‌ සිදු කළෙමි. තවද තන්‍යා ප්‍රදේශයේදී යුධ හමුදා නිලධාරීන් 27 දෙනකු ඉතා අමානුෂික ලෙස එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කිරීමේ සිද්ධියේදී එම හමුදා නිලධාරීන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කළේ මා හා මාගේ නිලධාරීන් විසිනි. එසේම 1997 දී පමණ දෙහිවල දුම්රියේ බෝම්බය තැබූ අය යුද්ධ හමුදා බුද්ධි අංශය සමග දෙහිවල කඩවත පාරේදී අත්අඩංගුවට ගන්නා ලද්දේ මා විසින්ය. එල්ටීටීඊ එක සතුව තිබූ විශාල ආයුධ ප්‍රමාණයක්‌ මා හා ඉහත නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගේ ජීව මිසයිලයක්‌ සොයා ගත්තේ මා පමණි. මම එල්ටීටීඊ සංවිධානයේ ඝාතන ලැයිස්‌තුවේ ඉහළින්ම සිටි නිලධාරියෙක්‌මි. පසුව මා කොළඹ අපරාධ මධ්‍යස්‌ථානය භාරව පැමිණියෙමි. ඒ වන විට කොළඹ ප්‍රදේශයේ පාතාල කල්ලි සහ හෙරොයින් ජාවාරම, කසළ තේ වෙළෙ¹ම, ගණිකා නිවාස විශාල වශයෙන් පැවැතිණි. එසේම බස්‌නාහිර පළාතේ ආණ්‌ඩුකාරතුමාගෙන් පවා කප්පම් ඉල්ලීමට පාතාල කල්ලි සූදානම්ව සිටියහ. එසේම වරායේ තිබූ වෙන්දේසි ක්‍රමයද මෙම පාතාල කල්ලිවලට යටත්ව තිබිණ. එසේම රජයේ උසස්‌ නිලධාරීන්ගෙන් කප්පම් ලබා ගැනීමද සිදුවෙමින් පැවතුණි. මා ඒ සියල්ල මැඬ පැවැත්වූ අතර එක්‌තරා සිද්ධියක්‌ සම්බන්ධව මා එම ස්‌ථානයෙන් මාරු කරන ලදි. එසේම එම සිද්ධිය සම්බන්ධව කරගෙන මාගේ පුතාටත්, බිරිඳටත් ඉතා අමානුෂික ලෙස මාධ්‍ය මගින් පහරදුන් අතර එම සිද්ධියට බඳුන්වූ පුද්ගලයාගේ ප්‍රකාශ පමණක්‌ මාධ්‍යවලට යොමු කර ඉතා බැරෑරුම් ලෙස මා හා මාගේ පවුලේ අයව අපහසුතාවට පත්කරන ලදි. මා තව මාස 6 ක කාලයක්‌ කොළඹ සිටියේනම් අපරාධවලින් තොර නගරයක්‌ බවට පත් කිරීමට සැලසුම් කළෙමි. මම ගව ඝාතන නැවැත්වීම සඳහා විශාල හඬක්‌ නැඟූ අයෙක්‌මි. මා කුරුණෑගල ප්‍රදේශයේ සේවය කරන කාලය තුළ එහි මහජනයා සහ ළමයින් සඳහා විශාල සේවයක්‌ සිදුකළෙමි. මා ගාල්ල ප්‍රදේශයේදී සේවය කරමින් සිටියදී එක්‌ දිනක්‌ රත්නපුර ප්‍රදේශය භාරව යන ලෙසටත් කොටකෙතන සිදුවන කාන්තා ඝාතන සම්බන්ධව විමර්ශනය කරන ලෙසටත් මා හට නියෝග ලැබිණි.

ඒ අනුව කහවත්ත කොටකෙතන සිදුවන ඝාතන සම්බන්ධ විමර්ශන සිදුකරන ලද අතර එහි සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන එක්‌ කණ්‌ඩායමක්‌ විසින්ම සිදුකරන ලද බව මම සොයා ගත්තෙමී. මෙහිදී වඩාත්ම වැදගත් සිද්ධිය වන්නේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් බොහොමයක්‌ ඉතා අහිංසක පුද්ගලයන් වීමයි. මේ සඳහා ඔවුන් විසින් කතා ගොතා එම සැකකරුවන් දූෂිතයන් කර දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත. මේ සම්බන්ධව එක්‌ උදාහරණයක්‌ පමණක්‌ මම පෙන්වා සිටිමි. මට ඇගේ නම මතක නැත. එම කාන්තාව සමග තම මුණුපුරා සිටි අතර ඇය ඉතා වයස්‌ගත කාන්තාවකි. ඇය ඉහත සැකකරු හදා වඩා ගන්නා ලද මිත්තණියයි. සැකකරු මන්දබුද්ධික අයකු වන අතර ඔහු සොරා කෑමට පුරුදුව සිටි අයෙකි. මොහු බත් මුට්‌ටියක්‌ සොරා ගන්නා ලද අතර එම අවස්‌ථාවේදී ඔහු ගම්වාසීන්ට කොටුවිය. එම අවස්‌ථාවේදී ඉහත කොළඹ අපරාධ කොට්‌ඨාසය හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉහත සැකකරුට පහරදී ඔහු මෙම කාන්තා ඝාතන 3 ක්‌ සිදුකළ බවට ඔහුගේ ප්‍රකාශ සටහන් කර ඇත. එම ප්‍රකාශයේ ඔහු ඉහත මිත්තණිය සමග ලිංගිකව හැසුරුණු බවත් දැන් එය ඉටු නොවන නිසා මෙම වියපත් කාන්තාවන් මරා දූෂණය කරන බවටත් ප්‍රකාශ සටහන් කර ඇත. එහෙත් එම මිත්තණිය ඉතා අහිංසක බව මම දනිමි. එසේම අත්අඩංගුවට ගෙන ඇති සැකකරුද ඉතා අහිංසක නිවැරදි පුද්ගලයකු බවද මම වගකීමෙන් ප්‍රකාශ කර සිටිමි. මේ ආකාරයෙන් අනෙක්‌ නඩුද ගොතා සමහර අය අත්අඩංගුවට ගෙන ඇති බව මා නැවත වගකීමෙන් ප්‍රකාශ කරමි.

මෙම අපරාධ සියල්ලම පුද්ගල කණ්‌ඩායමක්‌ විසින් සිදුකරන ලද ඒවා බව මා හට ඔප්පු කළ හැක. ඒ වෙනුවෙන් මට අවස්‌ථාව සලසා දෙන්නේ නම් කොළඹ විසින් සිදුකර ඇති ඉතා බරපතළ අපරා සම්බන්ධව මට උදාහරණ එකින් එක ගෙන විස්‌තර කළ හැක. එසේම මෙම නිලධාරීන් රත්නපුර ප්‍රදේශයේ ඉතා බලවත් දේශපාලනඥයක්‌ මේ අපරාධවලට සඳහා උදව් කරන බවට අසත්‍ය ප්‍රකාශයක්‌ කර ඒ සඳහා ඔහුගේ පවුලේ අයගේද නම ඉතාමත් කැත ආකාරයට පටලවා ඇති බවද ප්‍රකාශ කරමි. අතිගරු ජනාධිපතිතුමනි යම් හෙයකින් ඉහත සැකකරුවන් වරදකරුවන් වූ විට මරණීය දණ්‌ඩනය ක්‍රියාත්මක කරන්නට වුවහොත් ඔබතුමා ඒ අවස්‌ථාවේ සිදුකරන්නේ අහිංසක පුද්ගලයන් කීප දෙනෙකු එල්ලා මැරීමට නියම කිරීමයි. ඔබතුමා කිසිත් නොදැන මෙම පාපකර්මයට සහභාගි කරවාගෙන ඇත. එම නිසා මාගේ ප්‍රකාශය කෙරෙහි ඉතා ඕනෑ කමින්ම අවධානය යොමුකර මෙම අහිංසක ජීවිත බේරා ගැනීම සඳහා ජනාධිපති කොමිසමක්‌ හෝ පත් කරන ලෙස ඉල්ලමි. ඒ සඳහා විවිධ ආයතන සාක්‍ෂි දීමට කැඳවිය හැක. මේ සම්බන්ධව විධිමත් විභාගයක්‌ සිදු කරන්නේ නම් ඔවුන් කවුද යන්න ප්‍රකාශ කරමි.

කහවත්ත සිද්ධීන් මෙන්ම අපගේ නඩුවද එක සමාන ආකාරයට ගොතා ඇත. මට එය ඔප්පු කළ හැක. කහවත්තේ සිද්ධීන්වලට අදාළ සැකකරුවන් කීප දෙනෙක්‌ අහිංසක අය වන අතර මා ගරු නීතිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ අහිංසකයන් වැරදිකරුවන් කිරීමට ඉඩ නොදෙන ලෙසය. බියගම විලේඡ්හි අයිතිකරු ඝාතනය කිරීම සම්බන්ධව අහිංසක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහුට බෝම්බ දමා ඔහුව මාස 3 ක්‌ රඳවා තබාගෙන පසුව නිකම්ම නිදහස්‌ කරන ලදි. ඒ වෙනුවෙන් කිසිම මාධ්‍යයක්‌ හඬ නඟා එයා වැරදි යෑයි ප්‍රකාශ කළේ නැත. ඒ සඳහා ක්‍රියාකළ පොලිස්‌ අපරාධකරුවන් අද නිදැල්ලේ සිටිති. දිවයින පත්‍රය මගින් මේ සම්බන්ධව හඬක්‌ නඟා ඉහත අයට සාධාරණය ඉටුකරාවි යෑයි මා සිතමි. මා හා මාගේ නිලධාරීන් සම්බන්ධව විමර්ශනය කරන්නේ ඉහත සඳහක්‌ අකටයුතු සඳහා සහභාගි වූ නිලධාරීන් බව ප්‍රකාශ කරමි.

අප අත්අඩංගුවට ගෙන ඇති නඩුවේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අද වන විට රජයේ සාක්‍ෂිකරුවන් කර ඇත. මෙම අපරාධය සිදුකළ අය ඔවුන්ය. මේ සම්බන්ධව මාගේ නීතිඥ මහතුන් ප්‍රකාශ කළේ මේ ආකාරයට අපරාධකරුවන් නිදහස්‌ කර නිවැරදි පුද්ගලයන්ට නඩු පවරන්නේ නම් "ශ්‍රී ලංකාවේ නීතියට දෙවියන්ගේම පිහිට බවයි" මේ සම්බන්ධව ජාතික පුවත්පත්වල පළවිය.

මා හා මාගේ නිලධාරීන් මේ රටට ඉතාම අවංකව සේවය කර ඇත. ඉතා නොබියව අවදානම් ගෙන මාගේ පවුලේ අයවලුන්ගේ ආරක්‍ෂාව නොතකා මා සහ ඉහත නිලධාරීන් මේ රටට සේවය කර ඇත. එසේ සේවය කිරීමෙන් මට අහිමිවූ දේ බොහෝය. මා විසින් මේ රටට සේවය කළ ආකාරය දැන් බොහෝ දෙනකුට අමතක වී ඇත.

* වාස්‌ ගුණවර්ධන



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7242419949744017247

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item