මෛත්‍රී තනපටය අස්සේ හැංගුවේ මොනවාද?

මෛත්‍රීපාල සිරිසේන මහතා අමුතු නැටුමකට සැරසෙනු පෙනේ. දැන් වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ විජාතික තුරුලේ සනීපයට නිදියගත් සිරිසේන මහතාට හිටි අඩි...

මෛත්‍රීපාල සිරිසේන මහතා අමුතු නැටුමකට සැරසෙනු පෙනේ. දැන් වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ විජාතික තුරුලේ සනීපයට නිදියගත් සිරිසේන මහතාට හිටි අඩියේ අපේකම - සදාචාරය - සම්ප්‍රදාය මතක් වී තිබේ. විජාතිකත්වය දෝතින් ගත්තවුන්ට මඩු වලිගෙන් තැලිය යුතු බවටත් තව දුරටත් කිසිවෙකුටත් "තනපට අහසට විසි කිරීමට" ඉඩ නොදෙන බවටත් සිරිසේන මහතා මවාගත් ස්වරයෙන් පවසද්දී අපට නම් සිහියට ආවේ මීට වසකරකට පෙර 'බකිංහැම් මාලිගයෙන් අශ්වයන් , ලැම්බෝගිනි , 1000% කොමිස් ආදී පුස් කෑ විහිළු කළ සිරිසේන මහතාය.

බැලූ බැල්මට මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට ජනාධිපතිවරණයේදී සහය පළකළ මතවාදී පෙරමුණ සමග ගැටුමකට ගොස් තිබේ. කතිකාචාර්‍ය මහින්ද පතිරණ මහතාගේ 'තනපට විසිකිරීම මෛත්‍රී කඳවුරේ තාර්කික අවසානයයි' ලිපියේ මේ කාමවාදය ඔසවා තබන පෙරමුණ ගැන පැහැදිලි කිරීමක් අඩංගුය. සිරිසේන මහතාට ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා තීරණාත්මක සහාය ලබාදුන්නේ මේ සමාජ කණ්ඩායම බව සිරිසේන මහතා නොදැන සිටින්නට හේතුවක් නැත. සිරිසේන මහතාට යෂ්ඨිය ලැබුනේම සිංහල ජාතිකත්වය තීරණාත්මකව පරාජය කිරීමේ මෙහෙයුමේ ඊලඟ රවුම දුවන්නටයි. (ඒ කෙසේද යන්න වැඩි විස්තර නිර්මාල් රංජිත් දේවසිරි මහතාගෙන් අසා දැනගත හැක . සිංහල ජාතිකවාදය පැරදවීමේ මෙහෙයුමේ මුල් රවුම් සෝභිත හිමියන් සමග එක්ව අමාරුවෙන් දිව්වේ නිර්මාල් දේවසිරිලාය. >>> ) පසුගිය අවුරුද්ද පුරාවටම සිරිසේන මහතා මහත් උජාරුවෙන් දිව්වේ ඒ රවුමේ කොටසකි . එහිදී ඔහුට "අපේකමක්" නිකමටවත් මතක් වූ බවක් පෙනුනේ නැත. එසේ වූවේනම් මහරැජිණ මේස් ගලවා අතට අත දීම මහත් උජාරුවට හිරිකිතයක් නැතිව ප්‍රසිද්ධිය පම්පෝරි ගසන්නේ නැත.

අද සංස්කෘතිය - සදාචාරය - සභ්‍යත්වය ගැන ලොරි ගනනින් දේශන දෙන සිරිසේන මහතා ඒ කිසිවක් විශේෂයෙන් පසුගිය වසර පුරා තම භාවිතයෙන් පෙන්වා ඇතිද? තමාගේ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ම යෝජනා කර සම්මත කළ අපේක්ෂකයාට එරෙහිව විරුද්ධ පිළ සමග එක්ව චන්ද කරන්නට හැක්කේ , තමන් දෝහී වූ පක්ෂයේ සභාපතිධූරය නැවත බලහත්කාරයෙන් ගත හැක්කේ , මහ මැතිවරණයේදූ තමන්ගේ සෘජු මැදිහත්වීමෙන් පරාජය කරවූ අගමැතිධූර අපේක්ෂකයා වෙනුවෙන් ලැබුණු ජාතික ලැයිස්තුව මහ දවල් මංකොල්ල කා ජනතාව විසින් පරාජය කර ගෙදර යැවූ ජනතා ද්‍රෝහීන් යළි පාර්ලිමේන්තුවටත් ඉන් නොනැවතී කැබින්නට්ටුවේ ලොකු පුටුවලටත් දක්කාගෙන යා හැක්කේ සදාචාරය - සම්ප්‍රදාය -ජනතා මතය බල්ලට දැමූ බල ලෝභි තක්කඩියෙකුට මිස වෙක කාටද?

එපමණක් නොවේ
  • ජිනීවා පාවාදීම හරහා රටේ ස්වෛරීභාවයත් අභිමානයත් රණවිරුවන්ගේ සහ රටේ ආරක්ෂාවත් තුට්ටු දෙකකට මායිම් නොකර අනතුරේ හෙළද්දී.
  • රණ විරුවන් සහ බුද්ධි අංශ විරුවන් ත්‍රස්තවාදය පැරදවීමේ වරදට අභූත චෝදනා නගා සිර කඳවුරු වල ගාල් කරමින් දරුණු ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කොටි ත්‍රස්තවාදීන් රජයේ සෘජු මැදිහත්වීමෙන් නිදහස් කරද්දී.
  • ත්‍රස්ත මර්දන සටනේ ඉදිරිපෙළ සිටි හමුදා නාකකයින් දූෂණ චෝදනා නගා නීති විරෝධී පරීජ්ෂණ කොමිෂන් සභා ගානේ රස්තියාදු කර අවමන් කරද්දී.
  • විල්පත්තුව වැනි මුස්ලිම් ජාතිවාදයේ ඇහැට පෙනෙන බලහත්කාරී විනාශය නෑසූකන්ව එහි චූදිත බදියුදීන් ඇමතිවරයා ආදීන්ට පෙරටත් වඩා ඇමති වරදාන පිරිනමා විල්පත්තුව හිඟන්නාග තුවාලයක් කර ගනිද්දී.
  • කැසිනෝ , රුජිනෝ ආදී සූදු බද්ද අඩු කරමින් සූදුවටත් විදේශීය මත්පැනට තිබූ බද්දත් අඩු කර මතටත් ඉඩ සැලසූ අයවැය තම පඹ ඇමතිවරුන් ලවා 2/3 කටත් වඩා වැඩි චන්දයෙන් සම්මත කරගනිද්දී සිරිසේන මහතා ඒවාට එරෙහිව හ්ම්ම් සද්දයක් නැගුවේ නැත. ඒ වෙනුවට ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයා ඒ ලැජ්ජාසහගත ක්‍රියාකාරකම්වලට අවශ්‍ය බලය ලබාදුන්නේස් ඔහුය.
මේ ලැයිස්තුව මීට වඩා දිගය. මේ සියලු සදාචාර විරෝධී - අපේකමට එරෙහි - සම්ප්‍රදාය විරෝධී ජඩකම් හමුවේ අඳ ගොලු බිහිරිව නිවට නියාලුව සිටි සිරිසේන මහතා ( මේ සමහර සිදුවීම් එතුමා දැනගත්තේ පත්තරේ ගියාටත් පසුව බව ඔහුම මීට පෙර කිහිප වරක් පවසා තිබිණ ) මේ නොමේරූ තරුණියක විසි කළ තන පටයකට එරෙහිව මාරාන්තික සටනකට ආවේ ඇයි? පසුගීය වසර පුරාවටම යටකරගෙන සිටි පොලොන්නරුවේ ගැමි උරුමය යළි මතු වී ඇතැයි අප සැනසුම් සුසුම් හෙළන්නද? අපට එසේ සිතන්නට ඉඩක් සිරිසේන මහතා ඉතිරි කර නොමැත. එසේ වූයේ නම් රට රැකි රණවිරුවන් ත්‍රස්තවාදීන් පැරදවීමේ වරදට හිරේ විලංගුවේ දමද්දී , කොටි ත්‍රස්තයන්ට නීති සහන හිමිවෙද්දී ගොලුවකු බිහිරකු ලාදුරු රෝගියකු ලෙස හිඳින්න නැත. එසේ වූයේ නම් කැසිනෝ /රුජිනෝ බදු අඩු කර කැසිනෝ ප්‍රවර්ධනය කරද්දී , විදේශීය මත්පැනට ගැසූ බද්ද අඩු කර ගිනි වතුර ලාබ කරද්දී කිසිවෙකු කිසිම හොඳක් නොදකින තරමේ ජනතා විරෝධී එහෙව් අයවැයකට ශ්‍රීලනිප චන්ද කුට්ටිය දොළපිදේනියක් ලෙස පූජ කරන්නේ නැත.

එසේ නම් මේ හදිසි වෙස් පෙරළියට හේතුව කුමක්ද?
විම්සිලිමත්ව බැලීමේදී සිරිසේන මහතා වරින් වර මෙවැනි ජනතා අවධානය එකවර මුඛ්‍ය අර්බුදයෙන් වෙනතකට යොමු කරන උත්සාහයන් ගෙන ඇති බව පෙනේ.

ජනවාරි 9 සිහියට එන්නේ එවිටයි.
ජනාධිපතිධූරයේ අහෝසිය ඉදිරියට දමා ජිනීවා පාවාදීමට අදාළ බෙදුම්වාදය පිනවන ව්‍යවස්ථා සංශෝධනයට මුල පුරන්නේ එදාටය. සහජීවනයේ නාමයෙන් රටේ ඒකීයභාවයට බුද්ධාගමට ආදියට එහිදී හිමිවන තැන ගැන චන්ද්‍රිකා මහත්මිය වැන්නවුන් දැනටමත් ඉඟි පළ කර තිබේ. මෙරට ඉතිහාසයේ දැවැන්තම දේශපාලන ජඩකම මෙය වනු ඇති. ඒ වස ගුලිය ජනාධිපති බලතල අඩු කිරීම යන රසවත් දවටනයේ ඔතා ගිල්ලවන්නට සිරිසේනලා මග බලා සිටී.ඒ වෙද්දී සම්ප්‍රදාය විරෝධියෙකු ලෙස සදාචාර විරෝධියෙකු ලෙස අපේකමට එරෙහිවූවකු ලෙස හංවඩුවක් වැදී තිබීම ඒ ක්‍රියාමාර්ගයට බාධාවකි. සිරිසේන මහතාගේ හදිසි වෙස් පෙරළිය ඒ සඳහා අවශ්‍ය වේදිකාව සකසාගැනීමට වීමට වැඩි ඉඩකඩක් පවතී. සිංහල ගොනා මෙවැනි ප්‍රයෝගවලින් රැවටිය හැකි බව සිරිසේන මහතා පසුගිය ජනවාරි 8 සිට ප්‍රත්‍යක්ෂයෙන්ම තහවුරු කර ගෙන ඇතිවාට සැක නැත.
එන්රික් වෙත අර තරුණිය විසිකළ තනපට සිරිසේන මහතා ඉමහත් උද්යෝගයෙන් අල්ලාගන්නේ ඒ වෙනුවෙනි .සිරිසේනලා ඒ තනපටය අස්සේ සඟවන්නට හදන්නේ ජනාධිපතිධුර අහෝසිය නැමති පැනි තැවරූ දෙමළ බෙදුම්වාදය එහි ජයග්‍රණයේ සීමාවට කැන්දන ව්‍යවස්ථා සංශෝධන නැමති හලාහළ විෂ ගුලිය නොවේද?

-යටියන ප්‍රදීප් කුමාර



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

කාලීන 5496431429618095539

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item