මො+ලේ සහ බ+ලේ

කෙතරම් ජනප්‍රිය වුවද මොලේ ගන්නට බැරිය. සමහරුන්ට මොලය තිබෙන විට බලය නැතිය. බලය තිබෙන විට මොලේ නැතය. වෙනස එයයි. එදා ගමේ බණ්ඩයියාගේ එළ...


කෙතරම් ජනප්‍රිය වුවද මොලේ ගන්නට බැරිය. සමහරුන්ට මොලය තිබෙන විට බලය නැතිය. බලය තිබෙන විට මොලේ නැතය. වෙනස එයයි.

එදා ගමේ බණ්ඩයියාගේ එළදෙන අල්ලපු වත්තේ පොල් පැලයක් කෑවද බැන්නේ සන්ධාන ආණ්ඩුවටය. මෙදා යසපාලනය යටතේ මහ දවල් හිරු කිරණ විකසිත වෙද්දී ඩිපෙන්ඩරයෙන් මිනිහෙක් ඉස්සුවද අමුතු බණක් කියන රටක්ය. හැරගිය සැමියා හෝ පෙම්වතා සැනෙකින් හුලවාලි වශී ගුරුකමක් මගින් ඩිෆෙන්ඩරයකින්ම දෙපා මුලට ගෙන්වා ගැනීමටනම් දැන් කොලොන්නාවේ පත්තිනි හිච්චි මෑණියෝ හමුවිය යුතුය. අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාටය. සුදු වැන් බෝරිංය. කලු ඩිෆෙන්ඩර් මරුය. මේ එජාප මන්ත්‍රීවරුන්ගේ කියුම් කෙරුම්ය. වැඩේ අතේ පත්තුවූ විට රා බොන්න ගහට නැගලා අහුවුණ මිනිසා තණකොළ කපන්න ගියා කිව්වා ව‍ගේ කථා කියා වැඩක් නැත. 

ඇමති හෝ නියෝජ්‍ය ඇමති කමක් නැති නිසා කොටු පනින්නන් ඇල්ලීමේ ජංගම අධිකරණ සේවයක් හෝ මොවුනට ආරම්භ කරදීම සලකා බැලිය යුතුය. පවුල් අවුල් නිවාරණය සඳහා පැහැරගෙන ගොස් පහරදී යුක්තිය පැසදීම වාගේ අමාත්‍යාංශයක් සාදා කංකානම් ඇමතිකමක් දුන්නද වැඩේ නරක නැත. උණ පුරුකේ ඇද හැරිය නොහැකි බව කියන්නේ මේවාටය.

ඇමති ලේකම්ගේ අධෝ මුඛයෙන් කටුනායකදී රන් කැබලි මතුවිය. කෑගල්ලේ ඩිපෝවේ රියදුරෙකුට එජාප හිටපු ප්‍රාදේශීය විපක්ෂ නායක අනුර මංචනායක විසින් පොලුවලින් පහරදී රෝහලේය. හොරෙන් ගෙනා ප්‍රාඩෝ 403ක්ම පස්ස දොරෙන් මුදා හැරියේ ප්‍රබල ඇමතිවරයෙකුගේ නියෝගයකට බදු රහිතවය. එදා කාර් රේස් වලට ගෙනා කාර්වලටද බදු ගැසුවේය. රජයේ විධායක නිලධාරින්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍රය කප්පාදු කල ආණ්ඩුව වෙළෙඳ පොළෙන් මිලදී ගන්නා වාහනයටද අසීමිතව බදු අය කළේය. අයවැයෙන් ෆී ඩේටා නැත. ෆී ලැප්ටොප් නැත. භාණ්ඩාගාරය හිස්ය. රට කම්බස්ය. 

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉදිරිපත්කල සිය ඉල්ලීම් කෙරෙහි යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට 2016 ජනවාරි 4 දක්වා කල්දී ඇත. වෛද්‍යවරුන් සටන් කරන්නේ මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලය ජනසතු කිරීමටය. විශ්‍රාම වැටුප් අහෝසියට එරහිවය. වැටුප් විෂමතාවයට එරෙහිවය. අසාධාරණ වූ උපයනවිට ගෙවීමේ බද්දට එරෙහිවය. මාණ්ඩලික නිලධාරි වරපසාද කපාහැරීමට එරෙහිවය. මුලීක වැටුප දීර්ඝ කාලයකින් වැඩි නොවීමට එරෙහිවය. එහෙත් සම-හරක්ට මේවා ඇසෙන්නේ ප්‍රතිවිප්ලව සටන්පාඨ ලෙසය. රජය මේවා විසදීමට අසමත් වන්නේ නම්, ජනවාරි පළමු සතිය තුළ දිවයින පුරා අනෙකුත් වෘත්තීය සමිති සමග දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා ඇත. සටන් ඉබේ හට නොගනියි. ජනතාවට සටන් කිරීමට උවමනා වූ පමණින් සටන් ඇති නොවේ. එයට නිවැරදි නායකත්වයක් සහ දැක්මක්ද තිබිය යුතුය. 

ලංකාව කියන්නේ අමුතු රටක්ය. පෞද්ගලික කියා ගන්නා වෛද්‍ය විද්‍යාල වලට සායනික පුහුණුව දෙන්නේ රජයේ රෝහලෙන්ය. රජයෙන් සායනික පුහුණුව දෙන්නේනම් එය ජනසතු කලවිට වැඩේ ඉවරය. සයිටම් එකේ මුදලට අවිස්සාවේල්ල මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය ‍අළෙවි නොවීම ජාතියේ වාසනාවකි. 

අගමැති රණසිංහ ප්‍රේමදාස කාලයේ සංකල්පයක් වුයේ දශලක්ෂයක් නිවෙස් සෑදීමය. අවසානයේදී ලක්ෂයක්වත් නිවෙස් සාදා නැතැයි විපක්ෂය එදා අභියෝග කළේය. නිවාස ඇමති සජිත් ප්‍රේමදාස දැන් කියන්නේ නිවාස 35,000ක් සැදීමට 2015 වසරේ ඔහු රුපියල් ලක්ෂ 33,000ක් වැයකල බවය. මේවා සමෘද්ධියෙන් අරගෙන බෙදාදුන් සල්ලි වන්නට බැරි නැත. එක් නිවසක් සෑදීමට වැයවූ මුදල ලක්ෂයටත් වඩා අඩුය. මේ නිවාස 35,000 සෑදූ ස්ථානයන් පිළිබද ලේඛනය ආසන මට්ටමින් ලිපිනයන්ද සහිතව පාර්ලිමේන්තුවේ සභාගත කලහොත් වැඩේ මරුය. ආණ්ඩුව මගින් නිවාසයක් සෑදීම යනු පුවක් ගසෙන් බහින්නා වාගේ වැඩක් නොවේ. මේ කථා උගුරට හොරා බෙහෙත් බොනවා වගේ වැඩක්ය. 

සීපා වෙනුවට එන අලුත් ගිවිසුම අනුව ඉන්දියාවේ වෘත්තිකයින්ට ලංකාවට ඒමට හැකිය. ලංකා වෘත්තිකයින්ට ඉන්දියාවට යාමටද හැකිය. ඉන්දියාවේ රැකියා වියුක්තිය සියයට 4.9කි. එනම් ලක්ෂ 447කි. ශ්‍රී ලංකාවේ රැකියා වියුක්තිය 4.4කි. එනම් ලක්ෂ 4කි. අධ්‍යාපනයට දළ ජාතික ආදායමෙන් සියයට 6ක් ඉල්ලා මාස කිහිපයක් සරසවි වසා ඩෙඟා නැටූ සරසවි මාස්ටර්ලා අලුත් අයවැයෙන් අධ්‍යාපනයට එයටත් වඩා අඩු මුදලක් වෙන්කිරීම ගැන දතකට පූට්ටුවී සිටිති. අයවැය සම්මත වූවද ගැසට් නිවේදන තවමත් නැත. කොටි නිදහස්ය. හමුදාව ගස්ය. ගොවියන්ට අමුඩය. ඩෙනිම් ඔවුන්ටය. 

සන්ධාන පාක්ෂිකයින්ට සුහඳ කොකා පෙන්වමින් ආණ්ඩුවේ ඇමතිකම් සහ වරදාන ලබමින් උඩු පිනුම් යටි පිනුම් ගසන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේශපාලන ජීවිත හරියටම විසි කරපු එඬරු දඬු වාගේය. දළු ආවද මුල් නැත. ඊළඟ ඡන්දයේදී ඇඩ්‍රස්ද නැතිවනු ඇත. ජනතාව ඉදිරියේ ඡන්දයෙන් පරාජය වූ සහ ජාතික ලැයිස්තුවෙන් පත්වූ දේශපාලනඥයෝ ඇතැමුන් මහින්ද රාජපක්ෂට අවලාද නඟන ෆැක්ටරියේ ගාස්තුවකට රඟපාන නළුවන්ය. කැපුවත් මහින්ද යැයි කියා ගාලු පුරවරයෙන් දියවන්නාවට ආ මාර පුත්‍රයා දැන් ‍ඔළු හෝදා ඉවරය. ඉතිරිව ඇත්තේ පශ්චාත් භාගයන් සේදීම පමණය. අර අදින්නේ ඒ රාජකාරියකට බව පොල් පැළය කෑමට ගොනා හැරෙන විට කිව හැකිය. 

විල්පත්තු රක්ෂිතයේ නිවාස සෑදීම බෙල්ලන්විල වගුරු බිමේ අනවසරයෙන් නිවාස තනනවා වැනි සරළ කාරණයක් නොවේ. 'වෙනසක්' වෙනුවෙන් පෙනී සිටි ඇතැම් පරිසර සංවිධාන සිය නැතිවූ ජනප්‍රියත්වය යළි ඔසවන්නට තැත් කිරීම ඔවුන්ගේම ඛේදවාචකයකි.සෙනසුරාදා විල්පත්තු වෙනුවෙන් පෙනී සිටින ඔවුහු සඳුදා සාකච්ඡාවලින් පසු නිහඬවීම කණගාටුදායකය. රැවුලත්, කැඳත් දෙකම බේරා ගැනීමේ මෙම පරිසර සටනට අවසානයේදී සිදුවනු ඇත්තේ ගලේ පහරපු බළළාට සිදුවූ දේමය.

එදා ලංකාවට ලංකාවට ඇගිලි ගැසීමට අවශ්‍යව සිටි සියළු බටහිර අධිරාජ්‍යවාදී රටවලට නෝ-වේය. ව්‍යවස්ථා සංශෝධනයට නෝර්වේ එන්නට තටමමින් සිටී. හමුදා ප්‍රතිසංවිධානයට බ්‍රිතාන්‍යයෙන් කොළ එළියකි. දෙමුහුන් අධිකරණය ස්ථාපිත කිරීමට පිඹුරුපත් සකසමින් සිටී. එදා කියූ ජාත්‍යන්තර කුමන්ත්‍රණ වර්තමානයේ සැබෑවක් බවට පත්වෙමින් තිබේ. 

බස්නාහිර පළාත් සභාවේ ජාතික හෙළ උරුමය නියෝජනය කරන ඇමතිවරයාවූ නිශාන්ත ශ්‍රි වර්ණසිංහගේ වැය ශීර්ෂය 45ට 23ක් ලෙස බස්නාහිර පලාත් සභාවේදී පරාජයට පත්විය. මෙය ශ්‍රිලනිප වර්තමාන නායකත්වයට බස්නාහිර සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන් එල්ල කල අතුල් පහරකි. ගුරුවරියන්ගේ ඉසුර සොයා වරෙක පියෑඹූ බස්නාහිර මහ ඇමතිවරයාද ප්‍රමාද වී පැමිණ පල නොකියා ඇමති වර්ණසිංහට පලා බෙදුවේය. බත්මුහුණින් ඇත්මුහුණ බිඳින්නට සිදුවිය. 

දේශප්‍රේමීහු මර්ධනයට ගෙන ආගමික හා ජාතික අසමගිය ඇති කරන වෛරී ප්‍රකාශ කරන පුද්ගලයන්ට වසර දෙකක සිර දඬුවම් ලබාදීම නීතිගත කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අපරාධ නඩු විධාන සංග්‍රහය සහ දණ්‌ඩ නීති සංග්‍රහයට අදාළ සංශෝධන පනත් කෙටුම්පත් ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සිවිල් සංවිධානවල බලපෑම මත හකුලා ගැනීමට කටයුතු කලද තවමත් එම අනතුර පහල වී ගොස් නැත. භාෂිත, ලිත හෝ කියවීමට අදහස්‌ කරනු ලැබූ වචනයෙන් හෝ සංඥවලින් හෝ දැකිය හැකි නිරූපණවලින් හෝ අන්‍යාකාරයෙන් ජන කොටස්‌ අතර හෝ වෙනත් පන්තිවල තැනැත්තන් අතර හෝ වෙනස්‌ වාර්ගික හෝ ආගමික කණ්‌ඩායම් අතර දරුණු ක්‍රියා හෝ ආගමික, වාර්ගික හෝ ජාතික අසමගිය හෝ අසන්තෝෂය හෝ සතුරු බව ඇති කරන හෝ තැත් කරන නැතහොත් ඊට පොලඹවන හෝ තැත් කරන යමෙකුට දඬුවම් නියම කිරීම වෙනුවෙන් මෙම පනත් දෙක සංශෝධනය කර ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ව්‍යවස්ථාදායක බලය හිමි උත්තරීතර ආයතනය වන්නේ පාර්ලිමේන්තුවයි. වසර 1833 ප‍්‍රතිෂ්ඨාපිත ප‍්‍රථම ව්‍යවස්ථාදායක සභාවේ සිට හදුන්වා දෙනු ලැබූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණවල ප‍්‍රතිඵලයක් වශයෙන් ව්‍යවස්ථාදායකයේ නමද කිහිපවරක්ම වෙනස් විය. එය 1833 සිට 1931 දක්වා ව්‍යවස්ථාදායක සභාව විය. වසර 1931 සිට 1947දක්වා රාජ්‍ය මන්ත‍්‍රණ සභාව විය. නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලය ලෙස හැදින්වූවේ 1947 සිට 1972 දක්වාය. අනතුරුව 1972 සිට 1978 දක්වා ජාතික රාජ්‍ය සභාව ලෙසද 1978 සිට පාර්ලිමේන්තුව ලෙසද හදුන්වා දෙනු ලබයි.

පාර්ලිමේන්තුව යනු ජනතා පරමාධිපත්‍යය මුර්තිමත් කරන්නා වූ දේශයේ උත්තරීතර ස්ථානයද වේ. ජනතා නියෝජිතයින්ට නිදහසේ සිට අදහස් උදහස් හුවමාරු කිරීම මෙන්ම සාමුහික තීරණ ගැනීමටද එය අවකාශය සලකා දේ. නිදහස සහ ප‍්‍රජාත‍්‍රන්තවාදය අගය කරන සැමටම උක්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කි‍්‍රයාකාරි බව ඇසෙනුයේ පාර්ලිමේන්තුවෙනි. දැන් එය උඩුකුරුඤ්ඤංය. වර්තමානයේ ආණ්ඩුවත් ඔවුන්ගේය. විපක්ෂයත් ඔවුන්ගේය. කථානායකත් ඔවුන්ගේය. තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේවාටය. මව් කිරිල්ලකට වුවද පැටවුන් පලවා හැරීමටද මොහොතක් උදාවනු ඇත. එහෙත් ඒ එළවා දැමීමම නවමු ජීවිතයක උපතක් වනු ඇත. 

එක්සත් ජාතින්ගේ ජිනීවා ක්‍රියාදාමය යනු කෝට්ටේ රජු පෘතුගීසින්ට කොළඹ කොටුවක් හදන්නට දුන්නා වාගේ වැඩක්ය. ඉන් පසුව සිංහල රජුට පෘතුගීසින් පලවා හැරීමට ලන්දේසින් ගෙන්වා ගැනීමට සමානය. උඩරට ගිවිසුම 1815දී අත්සන් කලා හා සමානය. ඉන්දීය රාජ්‍යයට ඉන්දු ලංකා ගිවිසුම 1987 අත්සන් කර ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රිකව පාවාදුන්නා හා සමානය. නෝර්වේ සරණ ගොස් 2002 පෙබරවාරි මස ද්‍රවිඩ කොටි සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුමක් අත්සන් කලාට සමානය. මෙම ජිනීවා බරපතල අභියෝගය ජය ගැනීම සඳහා සිංහ‍ලේ සමඟිය අවශ්‍යය. 

මො+ලේ සහ බ‍+ලේ වෙනුවට සිංහ+ලේ ආදේශ කලහොත් ඇපත් නැත. සිංහලේ වෙනුවට සිංහ ලේ දුෂ්ඨ පරමාර්ථයකි. එය අළෙවි කරනුයේ සිංහලයින් භේද භින්න කිරීමටය. අන් ජාතින්ට එරෙහි වෙමින් උසි ගන්වන්නටය. කිසිවෙකු අන්තවාදීන්ට හසුවිය යුතු නැත. ජාතිය නඟා සිටුවා තුන් සිංහ‍ලයම ජයග්‍රහණය කරන්නට හැකි නැකත ලඟ ලඟම එනු ඇත. ඒ සඳහා අවශ්‍ය වන්නේ සිංහලේ මොලය සහ බලය පමණි. මාතෘ භූමියේ ප්‍රපාතවත් හඬ යළි අවදිකල හැක්කේ එමගිනි. අප්‍රිකානු කියමනක් අනුව සිංහයා සිතන්නට ඉගෙනගන්නා තුරු සෑම කතාන්දරයකම ජයග්‍රාහකයා දඩයක්කාරයා වනු ඇත.

(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 8891293367858500993

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item