ශ්‍රී ලංකා ආර්ථිකය දැඩි අවදානමේ.. අනාගතය අවිනිශ්චිතයි.. – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල [IMF]

ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික තත්වය අවිනිශ්චිත බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ඊයේ අනතුරු අඟවා සිටියේ ය. අරමුදල අවධාරණය ...

ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික තත්වය අවිනිශ්චිත බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ඊයේ අනතුරු අඟවා සිටියේ ය. අරමුදල අවධාරණය කර සිටින්නේ පවතින ආර්ථික තත්වයන් වඩාත් ගැටළුකාරී පරිසරයක් නිර්මාණය කොට ඇති බව හා 2014 වසරේ අග භාගයේ ඇරඹි සාර්ව මූල්‍ය අසමානතා දැන් තීව්‍ර තත්වයකට පෙරලී ඇති බව ය. මේ අනුව, සමස්ත ගෙවුම් ශේෂ පැතිකඩෙහි ගරාවැටීම, මහබැංකුව සතු විදෙස් සංචිත සීඝ්‍ර ලෙස සිඳීයාම, දුර්වල රාජ්‍ය මූල්‍ය තත්වය හා වර්ධනය වන රාජ්‍ය ණය ප්‍රමාණය යන හේතු ඉහත තත්වයට බලපා ඇති බව ගෝලීය ණය දෙන්නා අවධාරණය කර සිටියි.

මේ වසර මුල සිටම ආර්ථිකයේ නැගෙනමින් තිබෙන අසුබවාදී ස්වභාවය අපිදු මෙහි දී වරින් වර අවධාරණය කර සිටියෙමු. එහෙත්, රජය නිරන්තරයෙන් ම කියා සිටියේ ආර්ථිකයට අනතුරක් නොමැති බවත් ඇතැමුන් දේශපාලන හේතුමත එවැනි චිත්‍රයක් නිර්මාණය කෙරෙමින් පවතින බවත් ය. එහෙත් ඇත්ත ම තත්වය වූයේ වත්මන් රජය පත්වූ දින සිට ඔවුන් විසින් ආර්ථිකය මත තැබිය යුතු වූ නිරන්තර බර දේශපාලන වෛරය මත තබමින් රාජපක්‍ෂ පසුපස හඹා යන මාධ්‍ය සංදර්ශයක් බවට රට පත්කළ බව ය. මැතිවරණ සමයන්හි කොතරම් දේශපාලන අවලාද හුවමාරු වූව ද ඕනෑම රජයක් බලයට පත්වීමෙන් පසු ඒ සියල්ල අතහැර දමා කරනු ලබන්නේ නැවතුන තැනින් යළිත් රටකරවීම වහා පටන් ගැනීම ය. එහෙත් වත්මන් රජය දිගටම කටයුතු කළේ තමන් මැතිවරණ වේදිකාවක සිටින ලෙස ය. පුරවැසි බලය, සෝභිත හිමියන්ගේ සංවිධානය, ෆූටා වැනි සංවිධානවල දුෂ්ට අරමුණුවලට වත්මන් රජය අසුවුනාදොයි අපට සිතේ. පුද්ගලික ව සෝභිත හිමි පසෙක තැබූවිට, ඉහත සියළු සංවිධාන ක්‍රියා කළේ ශ්‍රී ලංකා රාජ්‍ය දුර්වල තැනකොට කොටුකොට එම සංවිධාන පිටුපස සිටින බෙදුම්වාදී සංවිධාවල අවශ්‍යතාවන් ඉටුකොට ගත හැකි ලංකාවක් නිර්මාණය කිරීම ය. දැන් නිමවෙමින් යන්නේ ඔවුන්ට අවශ්‍ය ඒ දුර්වල ලංකාව ය.

ගෝලීය හේතූන් මත බොර තෙල් මිළ අඩු නොවුනේ නම් අප ආර්ථිකය මේ වන විටත් කඩා වැටීමට ආසන්න මට්මක ය. බොරතෙල් අඩුවීම නිසා අපගේ ඩොලර් පිටර‍ට යෑම සෑහෙන දුරකින් අඩුවූවේ ය. එහෙත්, එසේ තිබිය දීත් මහබැංකුව සතු විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන දෙකකටත් වඩා වැඩි ප්‍රමාණයකින් පසුගිය වසර තුල අඩු වූවේ වත්මන් රජයේ කළමනාකරණ දුර්වලතා හා දේශපාලන හේතුමත අවධානය වෙනතක යොමුව තිබීම නිසා ය.

වත්මනෙහි වන් දැඩි තරඟකාරී ගෝලීය පසුබිමක, ආර්ථිකයන් පවත්වාගෙන යාමට රනිල් වික්‍රමසිංහගේ හණමිටි ඇමරිකා ගැති ලිබරල් දැනුම අසමත් ය. මහින්ද විසින් ආර්ථිකය පවත්වාගෙන ආවේ ඔහුට ම ආවේනික රැඩිකල් මූලෝපක්‍රම මත මිස සාම්ප්‍රදායික ආර්ථික න්‍යාය මත නොවේ. මන්ද තත්වයන් වහා වෙනස්වලසුළු පරිසරයක න්‍යාය පොත් යනු හුදු කඩදාසි ගොඩක් පමණක් නිසා ය.

මේ සියල්ල කරන අතරතුර මහින්ද පිටුපසින් චීනය දැවැන්තයෙක් ලෙස නැගී සිටියේ ය. ලොව දෙවැනි විශාලතම ආර්ථිකය විසින් මෙරට මුදාහල මුදල් කන්දරාව රටේ සෑම අස්සක් මුල්ලක් නෑර ම ගලා යමින් අවපීඩන තත්වයක් ඇති නොවන පරිදි ආර්ථික නලයේ පීඩනය එකසේ පවත්වාගෙන යාමට සහාය විය. රටක් ස්ථාවර වනතුර ඕනෑම රටක් පිටුපසින් තල්ලු කරන එවැනි දැවැන්තයෙකු අත්‍යාවශ්‍ය වේ. එහෙත් වත්මන් රජය පැමිණි විගස කළේ, සියළු චීන ව්‍යාපෘථි නවතා දැමීම හෝ අධෛර්යමත් කිරීම පමණි. කෙසේ වෙතත් එම හිඩැස පිරවීමට යහපාලන රජය පිටුපස සිටින බටහිර රටවල් මැදිහත් වන බවක් ද දක්නට නොලැබුණි.

පොහොර සහනාධාරය කපා දැමීම, තේ කර්මන්තයේ වැටීම වැනි කාරණා මත එන වසරේ දෙස් හා විදෙස් ආදායම්වල අඩුවීමක් මිස වැඩීවීමක් අපේක්‍ෂා කළ නොහැකි ය. වත්මන් රජය පත් වූ පසු ඍජු විදෙස් ආයෝජකයින් රටහැර ගියා මිස එකෙකුදු රටට ආවේ නැත. ඒ අනුව, ඔවුන්ගෙන් ද අප ආර්ථිකයට ඩොලර් එක්වීම අපේක්‍ෂ කළ නොහැකි ය. 2016 අයවැය මගින් යෝජිත දැඩි බදුබර තුලින් ද අවසානයේ සිදුවනු පරිභෝජනය අඩු වී කර්මාන්ත හැකිලීම මිස පිබිදීම නම් නොවේ.ඒ හරහා ද ආර්ථිකය අවපීඩනය වීමට නියමිත ය. මේ සියල්ල තුළින් පැහැදිළි වන්නේ,අනූගණන්වලට ලංකාව ආපසු ගෙනයන එජාපයේ හණමිටි ආර්ථික න්‍යා එහෙම් පිටින්ම අසමත් බව ය.

– මහින්ද පතිරණ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9191710610009404750

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item