රට ඉල්ලන නව සන්ධානය බිහි කරන්න අපි සූදානම් - විමල් වීරවංශ

ඉදිරි පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා තම පක්‍ෂ...

ඉදිරි පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා තම පක්‍ෂය එම මැතිවරණයට නව පෙරමුණක් යටතේ තරග වැද වත්මන් ආණ්ඩුව ගෙදර යැවිමේ පළමු වෙඩිමුරය එහිදී තබන බව ද අවධාරණය කළේය.

එම පක්‍ෂයේ බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා එසේ පැවසීය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

‘‘සිරිසේන – රනිල් ආණ්ඩුව මේ රට රැගෙන යමින් තිබෙන්නේ ඉතාම අරාජික සහ අවිනිශ්චිත ගමන් මාර්ගයක බව මේ වන විට ඉතා පැහැදිලියි. ගොඩනැගුණු සාමය සහ ඒකීයභාවය ආරක්‍ෂා කරන දිසාවට රට රැගෙන යන්නේ නැති බව ඉතා පැහැදිලියි. ඒ බව තවදුරටත් තහවුරු වුණා රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයා, චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරිය සමග උතුරට ගොස් තෛපොන්ගල් දිනය සමරන උත්සවයේදී සිදු කළ කතාවෙන්. එහිදී රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියනවා ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න මම ඉදිරි මාස කිහිපය තුළ කටයුතු කරනවා’ කියලා. මේක මේ ආණ්ඩුව ජිනීවාවලදී මානව හිමිකම් කොමසාරිස්වරයාට ලබා දුන් පොරොන්දුවක්. එය මේ ආණ්ඩුව තමන් රූකඩයක් ලෙස නටවන ජාත්‍යන්තර බලවේගවලට දුන් පොරොන්දුවක්.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසියි!

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියන්නේ, ‘ඒ පනත යටතේ අත්අඩංගුවට ගෙන, නඩු අසා දඩුවම් දී තිබෙන සියලූම ත‍්‍රස්තවාදීන් නිදහස් වෙනවා’ කියන එකයි. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ යම් ගැටළුකාරී තැනක් තිබෙනවා නම් එය අහෝසි නොකොට සශෝධනය කළ හැකියි. නමුත් අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ,‘පවතින ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට බි‍්‍රතාන්‍යයේ පවතින ආකාරයේ පනතක් ගෙන එනවා’ කියලයි. එහෙමනම් බි‍්‍රතාන්‍ය පනතෙහි තිබෙන හොඳ දේවල් පවතින පනතට සංශෝධන ලෙස ගෙන ආ හැකියිනේ. නමුත් අගමැතිවරයාගේ අවශ්‍යතාවය එය නොවෙයි. දෙමළ ජාතික සන්ධානයට, බටහිර බලවතුන්ට හා දෙමළ ඩයස්පෝරාවට දුන් පොරොන්දුව අනුව පවතින ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමයි ඔහුගේ අවශ්‍යතාවය. එසේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකර ඒ යටතේ දඩුවම් විඳින කොටි ත‍්‍රස්තවාදීන් නිදහස් කර දීමයි, ‘ආප්ප විප්ලවයට’ පෙර මේ දෙපිරිස පැමිණි රහසිගත එකගතාව.

ඒ විතරක් නොවෙයි උතුරේ තෛපොන්ගල් දින සැමරුම් උත්සව සභාවේදී අග‍්‍රාමාත්‍යවරයා පවසනවා ‘මේ අවුරුද්ද මැද භාගය වන විට උතුරෙන් හමුදා ඉවත් කිරීමටත් කටයුතු කරනවා’ කියලා. මේ කරුණු අප මීට ඉහත දී රට හමුවේ අවධාරණය කර තිබෙනවා. ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්‍ෂ මහතා බලයෙන් පහ කිරීමට එකතු වුණු කල්ලිවලට ඕනෙ වුණේ මේ රට මේ ආකාරයට අරාජික තත්වයකට ඇද දමන්න. අද දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී කල්ලිවලට දෙන්න තිබෙන අල්ලස්, කප්පම් හා සන්තෝෂම් පෝලිමේ දීගෙන යනවා. ඒ අතරම මේ අපේ රට දිනාගත් සාමය සහ ස්ථාවරභාවය පාවා දීගෙන යනවා. ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ ආරක්‍ෂක හමුදාවලට එරෙහි දඩයමක් මේ ආණ්ඩුව සිදුකරගෙන යනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 2015 මාර්තු සැසිවාරයට ප‍්‍රථම මේ ආණ්ඩුව නිසැක ලෙසම එකග වී තිබෙනවා, යුද අපරාධ පිළිබඳ පනතක් පාර්ලිමේන්තුවට රැගෙන ඒමට.

‘සංඝ භේදය ඇති කිරීම’

ඒ වගේම යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ අද මේ ආණ්ඩුව පටන් අරන් තිබෙනවා, සංඝ භේදය ඇති කරන්න. මේ රටේ මහා සංඝරත්නය පිළිබඳ යම් නීතියක් ගෙනනවා නම් අපි විශ්වාස කරනවා, ‘ඒ නීතිය කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට රැගෙන එන්න කලින් සියලූම නිකායවල කාරක සංඝ සභාවල අනුමැතියට අනිවාර්යෙන්ම ඉදිරිපත් කරන්න ඕනේ’ කියලා. ඒක නීතියක් ලෙස නොවෙයි සම්ප‍්‍රදායක් ලෙස ඉටු කළ යුතු දෙයක්. කාරක සංඝ සභාවල ගරුතර නායක ස්වාමීන් වහන්සේලා එම නීතියට සංශෝධන සහිතව හෝ රහිතව අනුමැතිය ලබාදුන්නට පසුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබුණා. සම්මුතිවාදය ගැන උදේ, දවල්,? ‘බණ’ කියන මේ ආණ්ඩුව ඉහත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට රැගෙන ආවේ කාරක සංඝ සභාවන් සමග කිසිදු සම්මුතියක් ඇතිකර ගෙන නොවෙයි.

සංඝ සමාජයේ යම් විනය විරෝධී කටයුතු පාලනය කිරීමට මෙවැනි පනත් කොටුම්පතක් ගෙන ආ බවට බොරු හේතු දක්වන මේ ආණ්ඩුවේ සැබෑ අරමුණ තමයි සංඝයා වහන්සේලා පන්සලේ හතර මායිමට කොටු කරලා රටේත්, ජාතියෙත් හතර මායිම් වෙනුවෙන් ක‍්‍රියාත්මක වන එක නතර කිරීම. ඒ නිසා අපි විශ්වස කරනවා, ‘මේ රටේ මහා සංඝරත්නය, ජාතික බලවේග මේ පාපතර පනත් කෙටුම්පත පරාජය කිරීමට ක‍්‍රියාත්මක වේවි’ කියලා. මහා සංඝරත්නය පන්සලේ හතර මායිමට කොටු කිරීමට එවැනි පනත් කෙටුම්පතක් ගෙන ආවා වගේම, ජාතිවාදය වැළැක්වීමට යැයි කියමින් තවත් පනත් කෙටුම්පතක් ද මේ ආණ්ඩුව රැගෙනවිත් තිබෙනවා. අද දෙමළ පුවත්පතක් ගත්තොත් බලාගන්න පුළුවන් ඒවායේ කෙතරම් ජාතිවාදය උසිගන්වන දේවල් පළ වෙනවාද කියා. නමුත් තමන් විසින් ‘ජාතිවාදීන්’ යැයි අර්ථ ගන්වා ඇති, තමන්ට සතුරු විපක්‍ෂ බලවේග සහ ජාතික බලවේග මර්දනයට තමයි ඉහත කී ආකාරයේ පනත් කෙටුම්පතක් ගෙනවිත් තිබෙන්නේ.

‘ජනතාවට සහන නොලැබෙන්නේ රාජපක්‍ෂ පවුල හොරා කන නිසයි. අපි බලයට ආපු ගමන් ඇති පදම් සහන දෙනවා’ කියපු මේ ආණ්ඩුව දැන් මොකද කරන්නේ? ජනතාවට මෙතෙක් ලැබී තිබුණු සහන ද එකින් එක කප්පාදු කිරීම. පොහොර සහනාධාරය, විශ‍්‍රාම වැටුප් අයිතිය, විධායක නිලධාරීන්ගේ වාහන බලපත‍්‍රය, පාසල් නිල ඇඳුම් කප්පාදු කළා. අද පවතින්නේ ඉතිහාසයේ අඩුම තෙල් මිල. බොරතෙල් බැරලයක් ඩොලර් 26යි. නමුත් 2009දී බොරතෙල් බැරලයක් ඩොලර් 46කට පවතින විට රාජපක්‍ෂ පාලනය පෙට්රල් හා ඞීසල්වලට නියම කළ මිල තමයි අද පවතින්නේ. මේ ආණ්ඩුව හදන්න ඍජුව සහ වක‍්‍රව කටයුතු කරපු පාඨලී චම්පික රණවකලා, අනුර දිසානායකලා අද ‘කට බලියන්’ බලා ඉන්නවා ‘මේ සහගහන ආර්ථික මෙහෙයුම’ ඉදිරියට ගෙන යන්න ඉඩ දීලා.

ඒ විතරක් නොවෙයි රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ජෝර්ජ් සෝරෝස් නැමති මූල්‍ය ජාවාරම්කරුවා කැඳවා ගෙනවිත් තබපු ආර්ථික සමුළුවේදී පැහැදිළිව කියනවා ‘දෙමළ ඩයස්පෝරාව සතු මුදල් ශ‍්‍රී ලංකාවට රැගෙන එන්න ඕනෙ’ කියලා. දෙමළ ඩයස්පෝරාව සතු මුදල් කියන්නේ අවි ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් කොටි ත‍්‍රස්තවාදීන් උපයපු මුදල්. ඒ මුදල් ගෙන එන්න තමයි පසුගිය අය-වැයෙන් ප‍්‍රාග්ධන ගිණුම විවෘත කළේ. ප‍්‍රාග්ධන ගිණුම විවෘත කළා කියන්නේ ඕනෑම කෙනෙකුට මුදල් තැන්පත් කරන්නත් අවශ්‍ය විටක රැගෙන යන්නත් පුළුවන්. ඒ පිළිබඳව මහ බැංකුව දන්නේ නැහැ. මහ බැංකුවේ අධීක්‍ෂණයක් නැහැ. මූල්‍ය ජාවාරම්කරුවන්ට සහ කොටින්ට තම මුදල් රැගෙන එන්න තමයි ප‍්‍රාග්ධන ගිණුම විවෘත කළේ. ඒ මගින් සෝරෝස්ලාටත් ‘කොටි මුදල්වලටත්’ මේ රටේ ආර්ථිකය ‘බ්ලැක්මේල්’ කිරිමේ ඉඩකඩ සලසා දී තිබෙනවා. එදා ‘ආලාපාලූ ආර්ථිකයක්’ ගැන කෑ මොර දීපු පා.ච. රණවකලා මේ කාපාලූ ආර්ථිකය ගැන වචනයක්වත් නොකියා කට බලියන් බලා ඉන්නවා.

අපි දකිනවා මේ රට දවසින් දවස යන්නේ වියවුලකට. අද මේ ආණ්ඩුවට ඡන්දය දීපු මිනිහෙක් බෙහෙතකටවත් සොයා ගන්න බැහැ. ‘රට දවසින් දවස අස්ථාවර කරන, විදේශික බලවේගවල පදයට නටන මේ කාපාලූ ආණ්ඩුව පරාජයට පත් කිරීම සඳහා වන සටන මේ වසරේ ආරම්භ කිරීම සඳහා සූදානම් වෙන්න’ කියන ඉල්ලීම අපි මේ රටේ ජනතාවගෙන් කරනවා.’’

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා ද සහභාගී විය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5206584670457766008

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item