මේක ප්‍රතිපත්තිමය එක`ගතාවක්‌ නැති ආණ්‌ඩුවක්‌ ඩිව් කියයි

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීමට ආණ්‌ඩුව ගන්නා උත්සාහය පිළිබඳව මහජනතාව තුළ බියක්‌ හා සැකයක්‌ ඇතිවී තිබෙන්නේ ආණ්‌ඩුව මේ ප්‍රශ්නය...

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීමට ආණ්‌ඩුව ගන්නා උත්සාහය පිළිබඳව මහජනතාව තුළ බියක්‌ හා සැකයක්‌ ඇතිවී තිබෙන්නේ ආණ්‌ඩුව මේ ප්‍රශ්නයට ප්‍රවේශ වී ඇති වැරදි ආකාරය නිසා බවත් ආණ්‌ඩුව මුලින්ම කළ යුතුව තිබුණේ ව්‍යවස්‌ථා යෝජනාව ගෙන ඒමට පෙර සියලු පක්‍ෂ සමඟ සාකච්ඡා කිරීම බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි.

දිවයින සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව පැවසූ ඒ මහතා මෙහිදී අසනු ලැබූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ මෙසේය.

ප්‍රශ්නය - වර්තමාන යහපාලන ආණ්‌ඩුව ගැන ඔබගේ විග්‍රහය කොහොමද?

පිළිතුර - මේ ආණ්‌ඩුවේ සාධනීය ලක්‍ෂණත් තිබෙනවා. කලින් ආණ්‌ඩුවත් සමග සංසන්දනය කරන විට මේ ආණ්‌ඩුව යටතේ අනවශ්‍ය වියදම් අඩුකරල තියෙනවා. විශාල සංදර්ශන නතර වෙලා, මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව කාලේ ප්‍රදර්ශනාත්මක විධියට යම් යම් දේවලට මුදල් වැය කළා. දැන් ඒක නැවතිලා තිබෙනවා. 

ඒ වගේම සාපේක්‍ෂ වශයෙන් නීතියේ ආධිපත්‍යය යම් ප්‍රමාණයකින් ක්‍රියාත්මක වෙනවා. ඒක පිළිගත යුතුයි. මේවා තමයි රාජ්‍ය නායකයාගේ පැත්තෙන් මා දකින සාධනීය ලක්‍ෂණ.

නිශේධාත්මකව බලන විට මේ රටේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයයි, එක්‌සත් ජාතික පක්‍ෂයයි හවුල් ආණ්‌ඩුවක්‌ හැදූ පළමුවැනි අවස්‌ථාව මෙයයි. මෙය පළමුවැනි අත්දැකීම මෙන්ම පළමුවැනි අත්හදා බැලීම ලෙසත් ගත හැකියි. මෙහිදී ජනතාවට තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එකතු වෙලා ආණ්‌ඩු වෙනසක්‌ ඇතිවෙලත් පළමුවැනි අවුරුද්දේ රට ඉස්‌සරහට යන්නෙ නැත්තෙ ඇයි කියලා. මේකට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ මේ ආණ්‌ඩුව ප්‍රමුඛතාව දුන්නෙ හොරු ඇල්ලීමටයි. වංචා දූෂණ සෙවීමටයි. ඒවා කරන්න ගිහිල්ල ගත්තු මෝඩම තීරණය තමයි ක්‍රියාත්මක වෙමින් තිබූ සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවීම. පරීක්‍ෂණයක්‌ සිදු කරනවා නම් ඒවා එම ව්‍යාපෘතිවල වැඩ කෙරීගෙන යන අතරතුර කරන්නට පුළුවන්. කාර්යාලවල තියෙන ලිපි ලේඛනවලින්නේ ඒවා හොයන්නෙ. නමුත් ආණ්‌ඩුවෙ මේ ක්‍රියාකලාපය නිසා අවුරුද්දක්‌ම සංවර්ධන ව්‍යාපෘති ඇනහිටියා. තාමත් ඇනහිටලා. හොඳම උදාහරණය තමයි "ෙµdaට්‌ සිටි" වරාය නගර ව්‍යාපෘතිය. ඒක නතර වීමෙන් දහස්‌ ගණනකට රැකියා නැතිව ගියා. සමස්‌තයක්‌ වශයෙන් ගත්විට මුලු ආර්ථිකයටම එය බලපෑවා. දැන් තීරණය කරල තියෙනවා පෝට්‌ සිටි ව්‍යාපෘතියේ වැඩපළ ආරම්භ කිරීමට. මෙය අත්හිටුවීමෙන් සිදුවුණේ ආණ්‌ඩුවට විශාල පිරිවැයක්‌ දරන්නට සිදුවීමයි. මේවායින් පෙනී යන්නේ ආණ්‌ඩුව තුළ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවක්‌ නැති බවයි. එක්‌සත් ජාතික පක්‍ෂයත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් ආණ්‌ඩුව පිහිටුවීම සඳහා එක්‌වුණාම ඒ එක්‌වීම සිදුවුණේ නායක මට්‌ටමෙන් පමණයි. සාමාජිකත්ව මට්‌ටමෙන් එක්‌වීමක්‌ නැහැ. අනික ප්‍රතිපත්ති වශයෙනුත් එජාප - ශ්‍රීලනිප අතර විශාල වෙනසක්‌ තිබෙනවා. ඉතින් ඒ ප්‍රතිවිරෝධයන් නිසා තීරණ ගන්නට නොහැකිව වැඩකටයුතු ප්‍රමාද වෙනවා.

ඊළඟ කාරණාව එක්‌සත් ජාතික පක්‍ෂය බලයට එන්නේ අවුරුදු 20 කට පස්‌සෙ. ඒ නිසා ඇමැති මණ්‌ඩලේ අත්දැකීම් අඩුයි. ඒ වගේම ආණ්‌ඩුව තීරණ ගන්න ඕන ඒවා ගැන තීරණ ගන්නේ නැහැ. ආර්ථික කරුණු පැත්තකට දාලා දේශපාලන තීරණ තමයි ගන්නේ. රැකියා සැපයීම සඳහා විධිමත් සැලැස්‌මක්‌ නැතිව බොහෝ ඇමැතිවරු රජයේ ආයතන සංස්‌ථාවලට තමන්ගේ මිනිස්‌සු රැකියාවලට දානවා.

මේ වගේ කරුණු නිසා ආණ්‌ඩුවත් ජනතාවත් අතර තිබෙන ප්‍රතිවිරෝධයත් තවත් පුළුල් වී තිබෙනවා.

ප්‍රශ්නය - පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්කළේ රටේ යහපාලනයක්‌ ඇතිකිරීමට නේද?


පිළිතුර - ඔව්. පසුගිය ජනාධිපතිවරණයේදී උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන් හා මධ්‍යම පාන්තිකයන් ඡන්දය දුන්නේ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහායි. යහපාලනය සඳහායි. ඔවුන් එහිදී ආර්ථික කරුණුවලට දුන්නේ දෙවැනි තුන්වැනි තැනයි. ඒ අනුව බලයට පත්වීමෙන් පසු ආණ්‌ඩුවත් කළේ ආර්ථික ප්‍රතිසංස්‌කරණ වෙනුවට හොරු ඇල්ලීමට මුල්තැන දීමයි.


ප්‍රශ්නය - ඒත් තාමත් හොරු අල්ලලා නැහැනේ?


පිළිතුර - හොරකම්, දූෂණ, වංචා ඇල්ලීමට කාලයක්‌ යනවා. ඒ සඳහා පරීක්‍ෂණ පවත්වන්න ඕන. සාක්‍ෂි ගොනුකරන්න ඕන. නමුත් ඇතැම් ඇමැතිවරු කියන්න ගත්තා අද අල්ලනවා හෙට අල්ලනවා කියා. ඒ අනුව මිනිස්‌සුත් ඒ ගැන උනන්දුවක්‌ද දැක්‌වූවා. දැන් අවුරුද්දක්‌ තිස්‌සේ මේ කතාව කියනවා. මේ අයට මේ පිළිබඳව එක්‌කො දැනුමක්‌ නැහැ, අවබෝධයක්‌ නැහැ, හොරු ඇල්ලීමත් සාර්ථක නැහැ.

මේ තත්ත්වය යටතේ මිනිස්‌සුන්ට කලකිරීමක්‌ තිබෙනවා. ආර්ථිකය පැත්තෙන් යමක්‌ සිදු නොවීම ගැනත් කලකිරීමක්‌ තියෙනවා.

ප්‍රශ්නය - මේ ආණ්‌ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ඔබ මොකද කියන්නේ?

පිළිතුර - මේ ආණ්‌ඩුවෙ හවුල්කරුවන් වන එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රතිපත්තිවල විශාල වෙනසක්‌ තිබෙනවා.

අගමැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව එක්‌සත් ජාතික පක්‍ෂයේ තිබෙන්නේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක්‌. යූඇන්පියටයි රනිල් වික්‍රමසිංහ මහතාටයි අවශ්‍ය වී තිබෙන්නේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටයි. නමුත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ තිබෙන්නේ රාජ්‍ය අංශයේ ශක්‌තිමත් කරන ආර්ථික ප්‍රතිපත්තියක්‌. එක්‌සත් ජාතික පක්‍ෂයේ බලාපොරොත්තුව වුණේ රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව ලක්‍ෂ 3 දක්‌වා අඩු කරන්නටයි. නමුත් පසුගිය මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව කළේ රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්‍ෂ 13 දක්‌වා වැඩිවුණා. රාජ්‍ය ආයතන රාශියක්‌ ඒකාලෙ ඇති වුණා. රජය මැදිහත් වීමෙන් එකල රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුණා.

ඒ කාලේ (2008 - 2013) පැවැති ලෝක ආර්ථික අවපාතය අපේ රටට බලපෑවෙ නැත්තේ ආර්ථිකයට තිබූ රාජ්‍ය මැදිහත්වීම නිසයි.

ප්‍රශ්නය(- නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ හදන්න යනවානේ. ඒ ගැන සමාජවාදී ජනතා පෙරමුණේ අදහස කුමක්‌ද?

පිළිතුර(- 1978 ව්‍යවස්‌ථාව වෙනස්‌ කරලා අලුත් එකක්‌ ගේන්නනේ මේ යන්නෙ. අපි 78 ව්‍යවස්‌ථාව ගෙන ආදා සිට එයට විරුද්ධව සිටි පක්‍ෂයක්‌ හැටියට ඒ ව්‍යවස්‌ථාව සංශෝධනය කරනවාට විරුද්ධත් නැහැ. අලුත් ව්‍යවස්‌ථාවක්‌ ගේනවාටත් විරුද්ධ නැහැ. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය.

විවාදයට ලක්‌වෙලා තිබෙන්නෙ ඒ කාරණය නෙවෙයි. මේක සම්පාදනය සඳහා වූ ක්‍රමවේදය පිළිබඳව තමයි අර්බුදයක්‌ ඇති වී තිබෙන්නේ. ආණ්‌ඩුව මේ ප්‍රශ්නයට ප්‍රවේශ වෙච්ච ආකාරයම වැරදි නිසා මිනිස්‌සු තුළ සැකයක්‌ බියක්‌ ඇතිවෙන්න පටන් ගත්තා.

තාම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගැන වාඩිවෙලා කතා කරන්න පටන් ගත්තෙත් නැහැ. නමුත් රටේ කතාවෙන්නෙ උතුරු නැගෙනහිර එකතු කරන්න යනවා. රට බෙදන්න යනවා. ෙµඩරල් දෙන්න යනවා ආදී කතා. ජනතාව හුඟක්‌ ඈතට ගිහින්.

මේකට හේතුව සොයන විට අපි පළමුවෙන්ම තේරුම්ගන්න ඕන මේක යූඇන්පී ආණ්‌ඩුව හදපු ව්‍යවස්‌ථාවක්‌ බව. මේකට විරුද්ධ වුණේ ශ්‍රීලනිපය හා වමේ පක්‍ෂ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ හදනකොට අතීත අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගන්න ඕන. 72 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගැන අපි ස්‌වයං විවේචනාත්මකව කරන කතාවක්‌ තමයි එදා ඒක හදනකොට දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ ඒක වර්ජනය කළා. ඔවුන් වර්ජනය කළත් ආණ්‌ඩුව පැත්තෙනුත් උත්සාහයක්‌ ගත්තෙ නැහැ. ඔවුන් කොහොම හරි කැඳවලා ව්‍යවස්‌ථා සම්පාදන නටයුතුවලට සම්බන්ධ කර ගැනීමට. දෙමළ ජනතාවට ප්‍රශ්නයක්‌ තිබෙන බව තේරුම් ගෙන ඒවාට මේ මගින් විසඳුම් දීමට වත් එම ආණ්‌ඩුව බැලුවේ නැහැ. ඒක එදා ඒ ආණ්‌ඩුව කළ බරපතළ වරදක්‌.

78 ව්‍යවස්‌ථාව කලින්ම හදලා තිබුණේ. 1977 මැතිවරණයෙන් ජයගත් වහාම එජාප ආණ්‌ඩුව එය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගෙන ක්‍රියාත්මක කළා. ජනතාවගෙන් ඇහුවෙත් නැහැ. කිසිම පක්‍ෂයකින්වත් ඇහුවේ නැහැ. හයෙන් පහක ඡන්දයෙන් ඒක පැය 24 න් සම්මත කරගත්තා. බලය පාවිච්චි කරලා. ඒක නිසානේ අර්බුදයක්‌ තිබුණේ. ඒ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පළවෙනි අවුරුදු 10 දී 16 වතාවක්‌ සංශෝධනය කරන්නට සිදුවුණා. දැන් ඒක ගෙනාපු එක්‌සත් ජාතික පක්‍ෂයම කියනවා මේක වෙනස්‌ කරන්න ඕන කියලා.

ඒ නිසා දැන් අලුත් ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ හදනවා නම් සියලු පක්‍ෂවල අදහස්‌ විමසා සියලු පක්‍ෂවල දායකත්වය ලබා ගන්න ඕන. හැකිතාක්‌ දුරට පොදු එකඟතාවක්‌ ඇතිකර ගත යුතු වෙනවා.

මෙහිදී විධායක ජනපති ක්‍රමය අශෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම හා ජාතික ප්‍රශ්නය කැන කරුණුවලට මුල්තැන දිය යුතුයි.

මේ කරුණු අනුව නව ව්‍යවස්‌ථාව සකස්‌ කිරීම පාර්ලිමේන්තුව මගින් සිදුකරන අතරතුර ආණ්‌ඩුවටත් වගකීමක්‌ තිබෙනවා අනිකුත් පක්‍ෂ සමඟ සාකච්ඡා කරන්න. මෙසේ අනෙකුත් පක්‍ෂ සමඟ සාකච්ඡා කරන්නේ නැතිව ජාතික ගැටලුව පාර්ලිමේන්තුව තුළින් පමණක්‌ විසඳන්නට පුළුවන්ද?

අතීතය දෙස බලමු. බණ්‌ඩාරනායක- චෙල්වනායගම් ගිවිසුමට, යූඇන්පී එක විරුද්ධ වුණා. ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුමට ශ්‍රීලනිපය විරුද්ධ වුණා. ඡේ. ආර්. රජීව් ගිවිසුමට ඔක්‌කොම විරුද්ධ වුණා. ආණ්‌ඩුව එදා 5/6 ක බලයක්‌ තිබූ නිසා එය සම්මත කර ගත්තා. මේ අනුව ව්‍යවස්‌ථාව කියන්නේ එක පක්‍ෂයක අවශ්‍යතා මතම පමණක්‌ ක්‍රියාත්මක කරන්න පුළුවන් එකක්‌ නොවෙයි. ආණ්‌ඩුව නව ව්‍යවස්‌ථාවක්‌ ගේන්න යනවා නම් මේ වන විට මේ ප්‍රධාන ප්‍රශ්න ගැන අනිත් පක්‍ෂත් සමඟ සාකච්ඡා කරන්නයි තිබුණෙ. එසේ සාකච්ඡාකොට ඇතිකර ගන්නා පොදු එකඟතාවකින් පමණයි පාර්ලිමේන්තුවේදී නව ව්‍යවස්‌ථාවක්‌ සම්මත කරන්න හැකිවෙන්නේ.

හැබැයි තවත් ප්‍රශ්නයක්‌ තිබෙනවා 78 ව්‍යවස්‌ථාවේ ජනමත විචාරණයක්‌ ගැන සඳහන් වෙනවා. යම් ප්‍රශ්නයකදී ඔව්, නැහැ කියන පිළිතුරු ලබාගන්නයි ජනමත විචාරණයක්‌ පවත්වන්නේ. මේ නව ව්‍යවස්‌ථාව ගැන ජනමත විචාරණයක්‌ පැවැත්වුවොත් ප්‍රධාන කරුණු 3 ක්‌ ගැන විමසන්නට වෙනවා. විධායක ජනාධිපති ක්‍රමය, නව මැතිවරණ ක්‍රමය සහ ජාතික ගැටලුව යම් අයකු පළමුවැනි කරුණු දෙකට ඔව් කියල තුන්වැනි කරුණට විරුද්ධ නම් එයට නැහැ කියල ජනමත විචාරණයේදී ඡන්දය දෙන්නේ කොහොමද? මේක බරපතළ ගැටලුවක්‌. එක ප්‍රශ්නයක්‌ ගැන මත විමසන්න පුළුවන්. ප්‍රශ්න 3 ක්‌ ගැන විමසීම ප්‍රශ්නයක්‌.

සාකච්ඡා කළේ - දයා ලංකාපුර



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

දේශපාලන 7420091338221059026

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item