වාන් දොරටු ඇරීමට පෙර | ඉන්දීය - ශ්‍රී ලංකා රැකියා ගිවිසුම් ගැන කලකට පෙර දැක්ම

වසර 2003 දී මම යුනෙස්කෝ ආයතනයේ සහයෙන් ජාත්‍යන්තර වැඩමුළුවක් ලංකාවේ සංවිධානය කලෙමි. එය අවසාන වුයේ ...

වසර 2003 දී මම යුනෙස්කෝ ආයතනයේ සහයෙන් ජාත්‍යන්තර වැඩමුළුවක් ලංකාවේ සංවිධානය කලෙමි. එය අවසාන වුයේ පේරාදෙණිය උද්භිද උද්‍යානයට කල සංචාරයක් සමගිනි. උද්‍යානයේ වූ අතු පතර විසිරී ගිය සුවිසල් වෘක්ෂයක් අභියසදී ඉන්දියානු විද්‍යාඥයෙක් කියා සිටියේ එම ගස දුටු විට ඔහුට ඉන්දියාව සිහිවන බවයි. ඔහු අදහස් කර තිබුණේ එබඳුම වෘක්ෂයක් ඔහුගේ නිවස අසලත් තිබෙනවා යන්නයි. 

මේ අසාගෙන සිටි වැඩසටහනට සහභාගී වූ නේපාල ජාතිකයෙකුගේ (අද අප දෙදෙනා ඉතා කුළුපඟ මිතුරන්ය) මුවගින් ඉබේටම පිට වුයේ, "අරක දකින විට මට නේපාලය සිහිවෙනවා" යන්නය.


ඔහු ඇඟිල්ල දිගු කර පෙන්වන දෙස බැලූ අප දුටුවේ සුවිසල් වෘක්ෂයේ වදුල නිසා කනාටු වී, පත්‍ර කහ පැහැ ගැන්වුණ කුඩා ගසකි. 

එදා එතන සිටි බොහෝ දෙනෙකුට මෙම සිද්ධිය තවමත් මතක ඇතැයි මම සිතමි. සියල්ලෝම සිනහවකින් එම සිදුවීම අවසන් කලත්, එහි යටි අරුත අවට සිටි දකුණු ආසියාතිකයින් සැම දෙනාටම ඉතා තදින් හිතට වැදුන බව නම් මට සහතිකය.

ලොව පුරා 70-80 දශක ගෙවුණේ සිනමා තිරයේ රජකළ ඇමරිකානු වීරයාත් සමගය. ඊළඟ දශක කිහිපයේදී ගෙන ඒමට තිබු ඇමරිකානු ආක්‍රමණවාදය ආදරයෙන් වැළඳ ගැනීමට ඇමරිකාව විසින් ලෝ වැසියන්ගේ හදවත් සකස් කලේ හොලිවුඩ් තිරය සහ කොකා කෝලා බෝතලය හරහාය. ලොස් ඇන්ජලීස් නුවර සිට බංග්ලාදේශයේ හද්දා පිටිසර පැල් කොටය තෙක් තාරුණ්‍ය ඇමරිකන් ගැති කලේ මේ කාරණා දෙකයි.


අනූව දශකයේදී මේ ආක්‍රමණ යාන්ත්‍රණයේ අයිතිය පැහැදිලිවම නව හිමිකරුවෙකු අතට මාරුවිය. ඒ හිමිකරු ඉන්දියාවයි. මේ වන විට ලොව බොහෝ රටවල ධනපති පන්තිය අතරට පැමිණීමට සංක්‍රමණික ඉන්දියානුවෝ සමත් වී සිටියහ. ඔවුන් හරහා ආසියාවෙන් පිටත රටවලටද, ඉන්දියානු සම්භවයක් ඇති ව්‍යාපාරිකයන් හරහා දකුණු ආසියාතික රටවලටද ඉන්දියාව තම සංස්කෘතිය අපනයනය කළේය. 


ඔවුන්ගේ අභිප්‍රාය ඇමරිකාවට වඩා ගව් ගණනක් ඉදිරියෙන් විය. ඇමරිකාව තම බාහුවේ සවිය ලොවට පෙන්වන කවටයාගේ තත්වයට ඇද වැටෙද්දී ඉන්දියාව තම සංස්කෘතියේ අපනයනය හරහා විශාල ව්‍යාපාර අධිරාජ්‍යයක් ගොඩ නගා ගත්තේය. 


ඔබ ලංකාව දෙස පමණක් බලන්න.......

දැනට වසර 20ක පමණ සිට අපි සන්ධ්‍යා කාලයෙන් වැඩි වෙලාවක් කා දමන්නේ කුමකටද? ඒ ඉන්දියන් සංස්කෘතිය සිප වැළඳ ගැනීමට නොවේද? එකකට පසු එකක් දිග හැරෙන සිංහල හඬ කැවූ ඉන්දියානු බොල් ටෙලි වෘතාන්ත අපගේ නිවස වෙලාගෙන ඇත. ඉන්දියානු සම්භවයක් සහිත ව්‍යාපාරිකයෙකුගේ නාලිකාවකින් මෙම ඇබ්බැහිය ලබා දුන් අතර එය ශීග්‍රයෙන් වෙනත් නාලිකා අතරද පැතිර ගියේය. 


මෙහි ද්විතික අවස්ථාව වුයේ මෙම ටෙලි නාටක ලංකාවේ නිපදවීමයි. ඒවායේ රඟන්නේ ලංකාවේ නළු නිළියන්ය. කතා බස් කරන්නේ සිංහලෙනි. එහෙත් ඇඳුම් පැළදුම් වල සිට දෑසින් කරන ඉඟි බිඟිය දක්වා සියලුම නාටක ඉන්දියන් පිටපතේ කාබන් කොපිය. 


මෙහි ප්‍රතිඵලය කුමක්ද?


මේ ආනයනිත ඉන්දියන් සංස්කෘතිය හරහා පිරිහෙන ලාංකීය අනන්‍යතාවයත්, කා දමන කාලයත්, මන:කල්පිත චරිත මුහුණ දෙන කරදර කම්කටොළු තමන්ගේ කරගෙන මනස විකල් කරගන්නා කාන්තා පක්‍ෂයත් අපි මදකට අමතක කරමු. 




අද මධ්‍යම පන්තියේ විවාහ උත්සවයක් දෙස බලන්න. එය තනිකරම ඉන්දියන් බසාර් එකකි. සමහරුන් ඉන්දියාවටම ගොස් ඉතා මිල අධික සාරි මිලදී ගෙන එති. ගුජරාටි, මරාටි, පන්ජාබ් ආදී නම් යොදා ගත් නොයෙකුත් විකාර ඇඳුම් සඳහා විශාල මුදලක් ඉන්දියාවට පුද දෙති. 


ගැහැණු පිරිමි දෙපක්ෂයම එකසේ මේ කාර්යට දායක වෙති. එදා ජපානෙන් හෝ වෙනත් රටකින් පැමිණෙන රෙද්දක් මිලදී ගෙන හන්දියේ ටේලර්ගෙන් කලිසම මසාගත් මනමාලයා අද ඉන්දියන් රෙද්දක් මිලදී ගෙන වැල්ලවත්තේ හෝ පිටකොටුවේ සිටින ඉන්දියන් ටේලර්වරු සොයාගෙන යයි. අද මා දන්නා තරමින් බොහෝ ප්‍රධාන පෙළේ ඇඳුම් මසන ආයතන විශාල පඩියක් ගෙවා ඉන්දියන් ටේලර්වරුන් මෙරටට ගෙන්වාගෙන සිටිති. නොඑසේ නම් ඔවුනට ඉල්ලුමක් නැත.


බොහෝ කලක සිට ලංකාවේ කෙරෙන විශාල වරදක් මම දකිමි. ශ්‍රී ලාංකික කාන්තාවගේ නිල ඇඳුම ලෙස සළකන්නේ සාරියයි. රජයේ සේවය කරන සියළුම කාන්තාවන්ට (විශේෂ තත්ත්ව යටතේ නොවේ නම්) සාරිය අනිවාර්ය වේ. පෞද්ගලික ආයතන බොහොමයකද තත්වය එසේමය. පන්සලටත්, මගුලටත්, අවමගුලටත් පිළිගත් ඇඳුම සාරියයි.


එහෙත් 77 න් පසු ලංකාවේ කිසිඳු තත්වයක සාරියක් නිෂ්පාදනය වුවා යැයි මම නොසිතමි (ඊට කලින් නිපදවුයේද භූමිතෙල් සුවඳ හමන බාල වර්ගයේ සාරිය). තමන්ගේ රටේ නිපදවන්නේ නැති ඇඳුමක් සාමාජීය ලෙස ප්‍රමිතිගත කරගත් එකම රට ලංකාව විය හැක. ලංකාවට ගෙන්වන සාරි වලින් 99% පැමිණෙන්නේ ඉන්දියාවෙනි (සුළු ප්‍රමාණයක් බංග්ලාදේශයෙන් පැමිණේ).


සාරි ඇඳගෙන ඉන්දියන් විරෝධී බැනර් ඔසවාගෙන ගිනි අව්වේ කෑගසමින් පෙළපාලි යන කාන්තාවන් දෙස මම බල සිටින්නේ සංවේගයෙනි.


ලංකා අශෝක් ලේලන්ඩ් කියා බෝඩ් ලෑල්ලක් ගසා තිබුනාට හැමදෙනාම යන ලංගම බසයට ලංකාවේදී කෙරෙන්නේ බෝඩියට ඇණ රිවට් කිරීම පමණි. පාරේ අඩියක් අඩියක් ගානේ බජාජ් ත්‍රි රෝද රථ, හීරෝ හොන්ඩා යතුරු පැදි, මරුටි වාහන, ටාටා ලොරි හා බස් රථ පිරිලාය. උදැසන නැගිට බුරුසුවට මිරිකන දන්තාලේපයේ සිට රාත්‍රී නින්දට පෙර කට සේදීමට වතුර ටික දාගන්නා ප්ලාස්ටික් කෝප්පය දක්වා අපගේ දෛනික ජිවිතයේ බොහෝ දේවල් ලැබෙන්නේ ඉන්දියාවෙනි (නැතහොත් චීනයෙනි). 

දහසකුත් වැඩ අතර මට මේ ලිපිය ලියන්න සිතුනේ ආන්දෝලනයකට තුඩු දී ඇති වෙළඳ හා සේවා හුවමාරු ගිවිසුම මේවන විට නැවතත් කරලියට පැමිණ ඇති නිසාවෙනි. 

වසර 2004 සිට 2009 දක්වා කාලය තුල මා කලාපීය වැඩසටහනක නායකත්වය දැරූ බැවින්, සියලු දකුණු ආසියාතික රටවලට නිතර ආගිය හැකි විය. නේපාලයේදී, භූතානයේදී, පකිස්ථානයේදී මට නිතරම අසන්නට ලැබුනේ එක දෙයකි.


"ඔබ හරිම වාසනාවන්තයි. ඔබට ඉන්දියාව සමග ගොඩබිම් දේශ සීමාවක් නැහැ. අපිටත් එහෙම වුනා නම් මේ කරදර කිසිවක් නැහැ".


පකිස්ථානයේදී මම එහි රාජ්‍ය නායකයන් ඇතුළු ඉහල පෙලේ නිලධාරින් කිහිප දෙනෙකු සමගම කතා බස් කර ඇත්තෙමි. ඔවුන් සියලු දෙනාගේම මතය වුයේ "අපට ඉන්දියාව සමග මිතුරු කමක් අවශ්‍ය නැහැ. සතුරු කමක් නොතිබුනාම හොඳටම ඇති" යන්නය.

මෙහි අදහස නේපාලීය හා භූතාන ජාතිකයන්ට හොඳින්ම වැටහෙන බව මම දනිමි. ඉන්දියානු මිතුරු හස්තය සමග පැමිණෙන ව්‍යාපාරික ගංවතුරෙන් ඔවුන් හොඳටම යටවී ඇත. ගොඩබිම් දේශ සීමා නිසා ඔවුන්ට මේ ජල ගැලීම පාලනය කරගැනීම අසීරුය. 

ඉංදීය වෙළඳපොළ ඉතා විශාලය. එහෙත් එයට අලුතෙන් කෙස් ගසක්වත් රිංගවීමට ලංකාවට හැකියාවක් ඇතැයි මම නොසිතමි. ඔවුන්ට එක ගඩොලක් වුවමනා වන විට ගොඩොල් දහසක් තැනීමට මැටි අනා ගත් කුසගිනි හමුදාවක් බලා සිටින බව අප අමතක නොකළ යුතුය. ඉන්දියාවේ වසරකට තනන ගෙවල් ප්‍රමාණය ගණනය කර මුළු මීගමුවේම මැටි කැපුවත් මේ ඉල්ලුම සැපයිය නොහැකි යැයි පවසන ආර්ථික විශේෂඥයන්ද ලංකාවේ සිටින බව නම් කිව මනාය. 


සේවා සැපයීම ගැනද තත්වය මෙසේමය. ලංකාවේදී ඔබට රුපියල් අසුදහසක පඩියකට සේවය ලබාගත හැකි පරිගණක සැලසුම් කරුවෙක් ඉන්දියාවේදී ඔබට රුපියල් 8000 කට බඳවා ගත හැක. ඒ සඳහාද ඔබ අයදුම්පත් ලක්ෂ ගණනක් අතරින් එකක් කුසපත් ඇදීමේ ක්‍රමයට තෝරා ගත යුතුය. 

ස්වභාව ධර්මයා විසින් කුමක් හෝ හේතුවක් නිසා වසර දහස් ගණනක් පුරාවට අපව වෙන් කර ඇත. වාන් දොරටු හැරීමට පෙර ඒ ගැන සිතුවොත් යහපත්ය. 


ආචාර්ය - චන්දිම ගෝමස් ගේ වෙබ් අඩවියෙනි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

කාලීන 8270244455687107193

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item