මම දුටුගැමුණුට බයයි මල්ලියේ!!!

මෙම ලිපි පෙළ ‘දෙරණ සිනමා සම්මාන උළෙල 2015’ ට සමගාමීව දෙරණ නාලිකාව ඔස්සේ 2015-09-13 දින විකාශනය වූ...

මෙම ලිපි පෙළ ‘දෙරණ සිනමා සම්මාන උළෙල 2015’ ට සමගාමීව දෙරණ නාලිකාව ඔස්සේ 2015-09-13 දින විකාශනය වූ වැඩසටහනට සම්බන්ධව ය. මෙය එම ලිපි පෙළෙහි පළමු කොටසයි. එය එම වැඩසටහනෙහි සිනමාව්දියෙකි, චිත්‍රපට විචාරකයෙකි, තිර පිටපත් රචකයෙකි යැයි කියා ගන්නා චින්තක ධර්මදාසගේ මුල් වටයේ අදහස් හා සම්බන්ධ වේ. 



ලෝකයේ දේශයෙන් දේශයට සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වන චින්තන විවිධත්වය ගැන අබමල් රේණුවක අවබෝධයක් නැති චින්තක ධර්මදාස තම කථාව ආරම්භ කරන්නේ එසේත් නැති නම් කථිකාවතට සෙට් වෙන්නේ (ඔහුගේ වචනයෙන් කියන්නේ නම්) ඉතිහාසය යන වචනයට ඔහුට වාසිදායක අර්ථකථනයක් ගෙනහැර පාමින්ය. ඔහුටත් සහ ඔහු දන්නා හදුනන අජිත් කුමාරසිරි කියන සංගීතවේදියෙකුටත් අනුව ඉතිහාසය යනු “ඔහුගේ කථාව”යි. එනම් රජුගේ කථාවයි. (බටහිර ඇතැම් උගතුන්ට අනුව ද ‘History’ යනු His+ Story යන්නයි. ඔවුන්ගෙන් ඇතැමුන්ට අනුව ‘ඔහු’ යනු ලෝකයේ එතෙක් මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වූ ජේසුතුමන් ය. සමහරුන්ට අනුව ඇතැම් ස්ත්‍රී භූමිකාවන් හුවා දැක්වීමේ කොණයෙන් ‘History’ යන්න Her+Story යනුවෙන් ද සිටී. එහෙත් චින්තක ධර්මදාසට අනුව ‘History’ යනු රජ කෙනෙකුගේ කථාවයි) නමුත් ඉංග්‍රීසි භාෂාව බිහි වීමට පසුබිම සකසන ග්‍රීක භාෂාවෙහි ‘History’ යන්න “විමර්ශනයෙන් අත්පත් කරගත් දැනුම” ලෙස දක්වයි. කණගාටුවට කරුණක් නම් චින්තක ධර්මදාස ‘ඉතිහාසය’ යන වචනයෙහි අර්ථය ලබා ගන්නේ ඉංග්‍රීසි වචනයට පමණක් සීමා වෙමිනි. එයද නිවරදිව හා සම්පූර්ණයෙන් වටහාගෙන නැත. 

එහෙත් ‘පාලි-සංස්කෘත’ භාෂාවන්ට සමීප නෑකමක් කියන සිංහල බස තුළ ‘ඉතිහාසය’ යන්න අර්ථ ගැන්වෙන්නේ “ඉති ඉහ ආසීත්” යනුවෙනි. එනම්, “මෙහි මෙසේ සිදු විය” යනුවෙනි. එබැවින් චින්තක ධර්මදාස දක්වන ඒකපාර්ශවීය වූ ‘History’ යන වචනයට ‘ඉතිහාසය’ යන වචනය සමාන කිරීමට තියා ඌනණය කිරීමටවත් නො හැකිය. එහෙත් අප විසින් භාෂාන්තර ගනුදෙනුවේ පහසුව පිණිස ‘History’ යන්නට සිංහල බසෙහි ‘ඉතිහාසය’ යන වචනය දී තිබෙන බව ඇත්තකි. ඇත්තෙන්ම ඉංග්‍රීසි බසෙහි එන බොහෝ වචන වලට සිංහල බසෙහි දෙන වචන සියයට සියයක් නිවැරදි නො වේ. (බටහිරයන්ගේ ඉංග්‍රීසි බසෙහි එන Army යන වචනයෙන් අපේ රණවිරුවාව අර්ථ කථනය කළ නො හැකිය. අපට අපේ රණවිරුවන් යනු වෙනත් දේශයන් හෝ වෙනත් ජාතීන් ආක්‍රමණය කරන්නට යන හමුදාවක් නො වේ. ඔවුන් බුදුන්ව ආරක්ෂා කරන සිංහල ජාතියත් දේශයත් ආක්‍රමණය කරන්නට අවි අත දරන් එන ආක්‍රමණිකයන්ට පමණක් එරෙහිව සටන් වදින බෝසත් පිරිසකි. ඔවුහු ඇමරිකන් හමුදාව මෙන් මැදපෙරදිග රටවල්වල ත්‍රස්තවාදී (ඇමරිකානුවන් විසින්ම නිර්මාණය කරගත්) පිරිසකට එරෙහිව සටන් කරන මුවාවෙන් රටවල් අරාජික කරන්නට සටන් කරන්නෝ නො වෙති. ඉරාකයේ ඇමරිකන් හමුදාව යුද්ධ කළ ආකාරයට අපේ හාමුදාව උතුරේ යුධ වැදුනේ නැත. එබැවින් බටහිරයන්ගේ කුලියට මිනී මරන “Army කාරයාට” කිසිදා අපේ රට ජාතිය ආරක්ෂා කරන රණවිරුවාව සමාන කළ නො හැකිය.) එහෙත් අපේ භාෂාන්තර පහසුව පිණිස ඇතැම් විට ඉතා සුලු සමානකම් සළකා අපි ඒ ඒ භාෂාවේ වචන වලට මේ මේ භාෂාව වචන දෙමු.

චින්තක ධර්මදාසට අනුව ‘ඉතිහාසය’ යනු ඔහුගේ හෙවත් රජුගේ කථාව වන අතර රජවරු ලොකු පොරවල් ය, රජවරුම තමා සෑම දේ කළේ කියා කීමක් ය. ඔහු මේ හරහා පහර එල්ල කරන්නේ මහාවංශයට වන අතර අවසාන වශයෙන් මහා විහාරයට ය. මහානාම හිමියෝ මහාවංශය රචනා කළේ සම්බුද්ධශාසනය මුල් බැසගත් එකම රට වන සීහළ දීපයට සොළී ආක්‍රමණක් සිදු වෙමින් තිබූ පරිසරයක ය. ඉන් රට මුදවා ගැනීමට මහානාම හිමින් විසින් ධාතුසේන කුමාරයාව පුරුදු පුහුණු කරන ලදී. උන්වහන්සේ මහාවංශය රචනා කොට ගැමුණු රජු ක්‍රියා කළ ආකාරය ධාතුසේන කුමාරායට දැනගන්නට සැලැස්වූහ. ඉන් පසු සියලුම රජවරුන් පාහේ ඒ අනුව මතුවට ක්‍රියා කළහ. පසුගිය මානුෂීය මෙහෙයුමට ද මහාවංශයේ බලපෑම කොතරම්ද යන්න දන්නේ දන්නෝමය. එම නිසාය, අද මහාවංශය නොහොත් මෙරට ඉතිහාසය බටහිරයන්ට සහ ඔවුන් පිටුපස කටු ලෙවකන චින්තක ධර්මදාස වැනි අයට ඇහැට කටු අනිනවා සේ වී ඇත්තේ. එම නිසාය මෙරට ඉතිහාස විරෝධයක් පැන නැගී ඇත්තේ. එම නිසාය, පාසල් තුළ ඉතිහාසයට වඩා ඉංග්‍රීසි වැනි විෂයන්ට වැඩි තැනක් දී තිබෙන්නේ. ඒ කෙසේ වෙතත් මහාවංශයට අනුව මහාවංශය යනු රජවරු තැනීම පිණිස රචනා වූවක් මිස රජුන් පොරවල් කිරීමට රචනා කරන ලද්දක් නො වන බව එය ලිවීමට හේතු වූ පසුබිම ගැන සුළුවෙන් හෝ දැනගත් අයට වැටහේ. තවද රටක ඉතිහාසය රජයත් රජය පාලනය කරන රජුත් හා සම්බන්ධ කොට ලියනවා මිස ගැමි ගෙදරක ගහකින් ගෙඩියක් වැටුණත් ඒකත් පෙතේ ලියවෙන්නට අවශ්‍ය නැත. නමුත් චින්තකට අනුව එය ද ලියවිය යුතුවාක් මෙන් ය. ඒ කෙසේ වෙතත් චින්තකගේ පාට කණ්නාඩියට කවුරුන් හෝ පහරක් එල්ලකොට බිදින තුරු මේවා නො වැටහෙන බව අපට පැහැදිලිය. 

‘History’ යන්න His+story ලෙස පමණක් යැයි සිතන මොහු දෙවනුව “කෝ මේකෙ her story එක?” කියා අපෙන් අසයි. මෙතැන දී ඔහු අසන්නේ ඔහුගේ මොන ගැහැනිය ගැන දැයි මට නම් නො තේරෙයි. එහෙත් ඔහු මේ කියන්නේ අපේ ඉතිිහාසය පුරුෂයා ගැන පමණක් කීමක් පමණක්ම කියා නම්, ඔහු අපේ ඉතිහාසයේ අනුලා රැජිනිය, ලීලාවතී රැජිනිය වැනි රැජිනියන් ගැන නො දනී. එය අපේ වරදක් නො ව ඔහුගේ අධ්‍යාපනයේ වරදකි. (මේ චරිත කිහිපය හැරුණු විට තව උදාහරණ නැතැයි කීමට චින්තක ධර්මදාසට හැකියාව තිබේ. එහෙත් ඔහු නො දන්නවා වුවත් රටකට රජෙක් අවශ්‍ය වනුයේ ප්‍රධාන වශයෙන් රටේ ආරක්ෂාව පිණිසය. ඇතැම් විට පරසතුරු ආක්‍රමණයක් සිදු වූ විට යුද්ධ කිරීමට සිදු වේ. බොහෝ විට යුද්ධ කළ හැක්කේ පිරිමියෙකුට මිස බොහෝ විට ගැහැනියකට නො වේ. එම නිසාය, ගැමුණු කුමරු රටේ ආරක්ෂාව ටිකෙන් ටික නැතිව යද්දී එයට පිළියම යුද්ධයම වන කල යුද නොවැද සිටින තම පියාට ගැහැණු පළදනා යවනුයේ. ඉන් කියවෙන්නේ ස්ත්‍රීහු යනු වැඩකට නැති ජාතියක් කියා නො ව යුද නො කරන්නේ ගැහැණුන් කියා ය. එබැවින් බොහෝ දුරට රටට ආක්‍රමණ සිදුවේ නම් ස්ත්‍රියකට වඩා පුරුෂයෙක් සිටීම වැදගත්ය.) තව ද දඔදිවට ආක්‍රමණික ආර්යයන් ඒමට පෙර අපි බොහෝ දුරට අද දකුණු ආසියාව ලෙස ගන්නා කලාපයේ ස්ත්‍රී මූලික සමාජයක් තිබුණු බව මොහු නො දනී. පසුව එකී ආර්යයන් කියා ගන්නා බ්‍රාහ්මණිකයෝ ඒ her storyයට කළ දේත් ඊටත් පසුව සිංහල බෞද්ධයන් විසින් අදටත් සරණ යන බුදුහාමුදුරුවෝ බ්‍රාහ්මණයන් විසින් නැතිකළ Her storyය නැවත ගොඩ නැගීමට ක්‍රියා කළ විධිහත් ඔහු නොදනී. ඒ තියා, මෙරට සිටි ‘කුවේණි’ නම් යක්ෂ ගෝත්‍රික නායිකාව පිළිබදව වත් මොහු නො දනී ද? මිහිදු හිමියන්ගෙන් බණ අසා මගඵල ලබාගත් ලක්දිව පළමු පුද්ගලයා අනුලා දේවිය බව වත් මොහු නො දනී ද? (මහානාම හිමියන්ට ‘හිස් ස්ටෝරි’ ලියන්නට අවශ්‍ය වූවා නම් අනුලා නමෙහි ‘ආ’ කාරය ඉවත් කොට අනුල කියා හරි ලියන්නට තිබුණි.) මේවා ගැන දන්නේ නම් මේ මනුස්සයා මේ දොඩවන විකාර මොනවාද? ඔහු දහම්පාසල් ගියා යැයි කියන කාලයේ පිස්සු කෙළියා මිස දහම්පාසල් පොතක් නම් කියවා නැති බව පෙනේ. ඔහු ගැමුණු රජුන්ව කියවන්නට පටන්ගෙන තිබෙන්නේ මෑතක දී අලුත් පරපුරේ කණ්නාඩියක් පැළදගත් පසු බව ඔහු මේ දොඩවන දෙයින් ඔප්පු වෙයි. මොහු කෙරෙහි අනුකම්පාවෙන් පිස්සෙක් යැයි කියා කට පියා ගන්නවා හැරෙන්න ඔවුන් සමග වාද විවාද කිරීම අපට ද ලජ්ජාවකි. ඇතැම් විට Her Story ඉතිහාස කථාවල තිබුණ ද මෑත යුගයේ බිහි වූ සිංහල වීර කථා චිත්‍රපටවලට නැතැයි කියා හෝ මොහු කියන්නේ නම් මොහු අපි තරම්වත් අපේ රටේ චිත්‍රපට බලා නැති බව පෙනේ. මහරජ ගැමුණු චිත්‍රපටයේ (මහාවංසයේ සේම) සම්පූර්ණයෙන්ම ගැමුණුව නිර්මාණය කරන විහාර මහා දේවියගේ වීර භූමිකාව මේ මහලොකු සිනමාවේදියාට, චිත්‍රපට විචාරකයාට නො පෙනෙන්නේ ඇයි? සැබෑවටම ඔහු චිත්‍රපට විචාරකයෙක් නො වූවත් ඉංග්‍රීසි චිත්‍රපට ප්‍රචාරකයෙක් ද යන්න සැකයක් මට තිබේ.

අනිච්චානුපස්සීව ලොව දෙස බලන සිංහල බෞද්ධයන් වූ අපට පරමාර්ථ වශයෙන් ගැමුණු රජු, විහාර මහා දේවිය, මහාවිහාරය හෝ මහාවංශය කියා දෙයක් නැත. අඩුම තරමේ බුදුහාමුදුරුවෝ කියා කෙනෙක්වත් නැත. එහෙත් ඒ සියල්ල පටිච්චසමුප්පන්න ධර්ම ලෙස දක්නට ලැබේ. ප්‍රධාන වශයෙන් විහාර මහා දේවිය නමැති වීර චරිතයත් කාවන්තිස්ස වැනි චරිතයත් නො තිබෙන්නට ගැමුණු කියා කෙනෙක් කිසිදා බිහි නො වන්නට තිබුණි. චින්තක ධර්මදාසට තේරෙන භාෂාවෙන් කියන්නේ නම් විහාර මහා දේවියගේ Her Storyය නො තිබෙන්නට ගැමුණු රජුගේ His Storyය ද බිහි නො වේ. එනම් ගැමුණු රජු යනු ආකස්මිකව පහළ වූ හිස් ස්ටෝරියක් නො ව වීර විහාර මහා දේවියගේ හර් ස්ටෝරියේ ප්‍රතිඵලයකි.(https://www.facebook.com/558913074256273/videos/577164082431172/-https://www.facebook.com/558913074256273/videos/577181589096088/) එබැවින් චින්තක ධර්මදාසට අපට කියන්නට තිබෙන්නේ පටිච්චසමුප්පන්නව ලෝකය දෙස බලන සිංහල බෞද්ධයන්ට බටහිර හිස්ටෝරි උගන්වන්නට විත් හොම්බ බිම අතුල්ලා නො ගෙන සිටින ලෙසය. 

එසේම මොහු ඉතිහාස කථා වල එන රජවරුන්ගේ රාජත්වය, වීරත්වය, පිරිමිකම චිත්‍රපට හරහා ඉදිරිපත් කොට වෙන දේශපාලනික බල කිරීමක් කරන බව කියයි. එම කාරණාව ඔවුන්ගෙන් සගවන්නට නො හැකි බව කියයි. ඔහු මෙතැන දී තෙපරබාන්නේ අපේ ඉතිහාසය හෝ ඉතිහාසය හරහා නිර්මාණය වූ චිත්‍රපට තුළ සගවපු මහා ලොකු දෙයක් සොයා ගත් කෙනෙකු ලෙස ය. නමුත් එය සගවන ලද දෙයක් නො වේ. නමුත් එය කිය යුතුම දෙයකුත් ද නො වේ. එහෙත් එය චින්තක ධර්මදාස කියන්නා වැනි බලකිරීමක් නො ව පෙළඔවීමකි. මහාවංශය ලියූ මහානාම හිමියන් ධාතුසේන කුමාරයාටත් ජනතාවටත් දේශපාලනික පෙළඹවීමක් කරන බව සැබෑය. එහෙත් ඒ බව දැඩිව දැනෙන සේ කියා නැත. එසේ නො කියා සිටීම එය සැගවීමක්ම බව කෙනෙක් කියන්නේ නම් ඔහුගේ මොළය ටිකකට පරික්ෂා කළ යුතුය. මහානාම හිමියෝ “මම මෙය ලියන්නේ ධාතුසේන කුමාරයව පුරුදු කිරීමට” යැයි නො කීම මහානාම හිමියන්ගේ ධාතුසේන රජු ඇතුලු ඉදිරි රජවරු තැනීමේ උපාය විය. එය රැවටීමක් නො ව තික්ත බෙහෙත් ගුලියක් මී පැනියෙන් තවරා දීමක් වැනිය. එබැවින් බුදු දහමේ චිරපැවැත්ම මිනිසුන්ගේ යහපතම බැවින් එය ආරක්ෂා කිරීමේ උපායයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අවශ්‍ය වන්නේ නැත. මහාවංශයේ එන රාජ චරිත චිත්‍රපට වලට නගා දේශපාලන පෙළඔවීමක් කිරීමත් එය ජාතියේ ආරක්ෂාව පිණිස වන්නේත් නම් එහි වරද කුමක්ද? ඇමරිකාව හෝ බ්‍රිතාන්‍යය ගසන පදේට නටන ජනාධිපති වරයෙක් වෙනුවට මහාවංශයේ එන වීර රාජ චරිතයක් චිත්‍රපටයට නගා “දැන් සිටින පාලකයාත් මෙසේ විය යුතුයැ”යි කියා ජනතාවත් පාලකයාත් නිවැරදි දිශාවට යාමට පොළඔවන චිත්‍රපට වල ඇති වරද කුමක්ද? ඒ ඇරත්, මහරජ ගැමුණු චිත්‍රපටයේ දේශපාලන පෙළඔවීමේ දොස් දකින මේ නිවට චින්තක ධර්මදාස අද නදීශා හේමමාලිගේ රංගනය හරහා කරන අපව වෙනත් සංස්කෘතිකට පෙළඔවීමේ දෝෂයක් දකිනවා කියා ඔබ සිතනවා ද? මොහුගේ පරපුරට අද ඇත්තේ එකම ප්‍රශ්නයකි. එනම් මෙරට මුල් බැසගත් සිංහල බෞද්ධ කමත් එහි හරය වූ ථෙරවාදී බුදු දහමත්ය. ඔවුන්ට පෙන්නන්නටම බැරි පුද්ගලයා වන්නේ මෙරටට ව්‍යවස්ථාව නිර්මාණය කළ ගැමුණු රජු ය. බොරු සුදුකොඩි කථාවලින් වසන්නට උත්සාහ කළ ද ගැමුණු ව්‍යවස්ථාවේ ලක්ෂණ උතුරේ මානුෂීය මෙහෙයුමෙන් ද ප්‍රකට විය. මේ නිසා ගැමුණු රජු දැන් මොවුන්ට මහ හිසරදයකි. ඒ බව ඔවුන් ප්‍රකාශ කරන වචන වලින්ම එළියට පනී. අද ගැමුණු රජුට “නහරවැඩි එකා” ය, “රුවන්මැලි සෑය මහා පව් ගොඩක ප්‍රතිඵලයක් ය” කියන මොවුන් හෙට ගැමුණු රජුට කුණුහරුපෙන් බැණ වදිමින් මහා ථූපය බිදින්නට කථා කරනු ඇත.

තව ද, චින්තක ධර්මදාස “game of thrones” චිත්‍රපට මාලාවට මාර කැමති බව කියයි. එයට හේතුව එම චිත්‍රපටයේ රජවරු මාර චාටර් යැයි කියන බැවිනි. ඔහුට අනුව රජවරු කවදාවත් මාර වෙන්නේ නැත. සෑම රජෙක්ම චාටර් බව කියන මොහුගේ බුද්ධිය පරික්ෂා කළ යුතු අතර ඔහුගේ චිත්‍රපට විචාරයට ඇලුම් කරන්නන්ගේ හිස් මුදුන් අතගා බැලිය යුතු ද වේ. සමහර විට මොහුට මෙවැනි රාජ විරෝධයක් ඇති වන්නට හේතුව ඔහු ඉපදුණ සෑම ආත්මයකම (මනුෂ්‍ය ආත්මයේ ඉපදුනේ නම්) කොහොමටත් රජුගේ නෑයෙක් උප්පත්තිය ලැබීමට පිනක් නොමැති නිසා ලබු වවන් කන ගැමියෙක් වීමය. ඉන් පසුව ඔහුගේ ගෑනිව එකල රජු විසින් දූෂණය වීමය. එසේත් නැත්නම් එකල ලෝකයේ සිටි සෑම රජවරුන් විසින් ඔහුගේ ගෑනිව සමූහ දූෂණයට ලක්වුණා යැයි හෝ සිතීම හේතු වී ඇති බව මට සිතේ. 

ඒ ඇරත් මොහු ලංකාවේ බිහි වූ ‍වීරකථා සහිත චිත්‍රපට, ලෝකයේ අනෙක් රටවල් වල නිශ්පාදනය වන Epic stories සමග ගළපන්නට කැමති නැති බව කියයි. ඉතින් අපට කම් නැත. ඒත් මොහු නො කියා කියන්නේ අපේ වීර කථා මාර වන්නේ ලෝකයේ අනෙක් Epic චිත්‍රපටත් එක්ක ගැළපුණ විට බවයි. මොහු මේ කියන්නේ තාක්ෂණික අඩුපාඩු ගැන ද? නැත. අවසාන වශයෙන් මොහු මේ කියන්නේ අපේ තාක්ෂණික දුර්වල කම් තිබුණ ද ලෝකයේ අනෙක් Epic චිත්‍රපට වලින් ජනතාවට දෙන පණිවුඩයත් අපේ වීර කථා සහිත චිත්‍රපටවලින් දෙන පණිවුඩයත් සමාන විය යුතුයැයි කියා නො වේද? මොහුගේ නිවටකම නම් මාරය. මෙවැන්නෝ වැරදිලා හෝ පාලකයන් වුවහොත් රට හමාරය. 

මහින්දාභිනන්දන සිනමාවක් ගැන තෙපරබාන මොහුට ඇමරිකන් ආධිපත්‍ය පතුරුවන චිත්‍රපට නො පෙනේ ද? ඔබ කවදා හෝ ඉරාක හමුදාව ඇමරිකාවට ගොස් එහි ත්‍රස්තවාදීන් විනාශ කරන චිත්‍රපටයක් දැක තිබේ ද? අද අපි නරඹන සෑම ඉංග්‍රීසි චිත්‍රපටයකම පාහේ වීරයා බොහෝ දුරට ඇමරිකන් ජාතිකයෙක් වන්නේ නො වේද? ඇමරිකන් චිත්‍රපට හරහා මැදපෙරදිග ලෝක ත්‍රස්තයින්ගේ කලාපයක් බවත් ඇමරිකාව ප්‍රමුඛ යුරෝපීය රටවල්වල හමුදාව ලෝකයේ ආරක්ෂකයින් බවත් නො දැනුවත්වම අපේ මනසට කාන්දු කරන්නේ නො වේද? පාට කණ්නාඩි වලට මේවා ‍පෙනෙන්නේ නැත. 

එසේම චින්තක ධර්මදාස කියන පරිදි ජැක්සන් ඇන්තනීට වීරකථා චිත්‍රපට තුළ රජ පොරක් නො කර චිත්‍රපටය නිශ්පාදනය කිරීමේ දී යම් ලිහිලක් දෙන්නට ජැක්සන්ට හැකියාව තිබුණ ද එය නො කිරීම නිසා චින්තක ධර්මදාසලාට අවාසියක් සිදු වී තිබේ. ඔවුන්ට සිදු වූ අවාසිය නම් රජවරු පොරක් කිරීමය. ඔහුට වාසියක් වන්නේ රජුව චාටර් කළ පසුවය. ජැක්සන් ඇන්තනී වීරකථා චිත්‍රපට රැල්ලේ ආරම්භ ලෙස රජවරු චාටර් නො කිරීම නිසා ඉතුරු අය කොරහත් බිදගෙන ගිය බව කියයි. මොහු මේ කියන ආකාරයට මහරජ ගැමුණු චිත්‍රපටයේ නිශ්පාදක ජයන්ත චන්ද්‍රසිරි මහතා කොරහ බින්ද පුද්ගලයා යැයි මට සිතේ. මෙරට ජයන්ත චන්ද්‍රසිරි ප්‍රමුඛ ඇතැම් චිත්‍රපට නිශ්පාදකවරුන් බටහිරට ගැති චිත්‍රපට නිශ්පාදන ආකෘතියේ කොරහත් බිදගෙන සිංහල බෞද්ධ මතවාදී චිත්‍රපට නිශ්පාදනයට යෑම දෝෂයක් ලෙස දකින මේ අචින්තක අධර්මදාස යම් පමණකට හෝ මෙරට දෘශ්‍ය ගීත සංස්කෘතියට ලිහිලක් නො දුන් ඉරාජ් නමැත්තා ප්‍රමුඛ කණ්ඩායමේ ආරම්භය කුමක්දැයි නො දන්නේ ද? සිංහල බෞද්ධ සංස්කෘතියේ කොරහ බිදගෙන යාමට මොවුන් සැරසෙන විට අපි නිහඩ වී උප්පැන්නෙන් බෞද්ධ වූ ඔලුගෙඩි විතරක් ආරක්ෂා කිරීමෙන් පලක් නැත. මොවුන් අපට කියන්නේ මොවුන්ගේ මේ හැම දේම දැක දැක සියල්ල අනිත්‍යයි කියා සිතා බවුන් වැඩීමට ය. එවිට උන්ට එය කිරීමට තවත් පහසුය. 

අවසාන වශයෙන් සිංහල බෞද්ධ භික්ෂුවක් වශයෙන් මට කීමට යමක් ඇත. සීහලද්වීපය යනු බුදුන්ට පූජාකළ දේශයයි. එනම් බුදුන්ගේ දේශයයි. එහි මිත්‍යාව වැපිරීමට පහසු නො වේ. අද වුව ද චින්තකයන් යැයි කියා ගන්නා චින්තක ධර්මදාස වැනි මන්ද බුද්ධිකයන්ට මාධ්‍ය විවර වුව ද, ඔවුන්ට ගැළපෙන පාලන තන්ත්‍ර නිර්මාණය වුව ද, ඔවුන්ව සරණ යන කොලු කුරුට්ටන් නිර්මාණය වුව ද සිංහල බෞද්ධයන්ට ඒ කිසිවක් නො තිබුණ ද සිංහල බෞද්ධ කම මෙරටින් තවම අතුගා දමන්නට නොහැකි වී තිබීම පුදුමයකි. එය බුද්ධානුභාවයක්ම වේ. සිංහල බෞද්ධ කම මෙරටින් තුරන් කිරීමට නම් අපේ ඔලු වලින් බුදු හාමුදුරුවන්ව අයින් කළ යුතු ය. මහාවිහාරය අයින් කළ යුතු ය. ගැමුණු රජුව අයින් කළ යුතු ය. මොවුන් මූලික වශයෙන් අධ්‍යාපනය හා ජනමාධ්‍යය හරහා එසේ කිරීමට උත්සාහ කළ ද තාම නොහැකි වී තිබේ. එල් ටී ටී ඊයේ පරාජයත් සමග තාමත් අපගේ ඔලුවලින් මේ ගැමුණුව තුරන් කිරීමට බැරි වුණ බව දැනගත් මොවුන් නැවත භූමිතෙල් ගා ගත් ගැරඩින් සේ කලබල වී මහාවංශයට පහර ගහන්නට පටන්ගෙන තිබේ. සිංහල බෞද්ධයන් වූ අප මේ සියල්ල උපේක්ෂාවෙන් විද දරා ගනිමු. රට ජාතිය ආගම සහ අපි සිතන පතන විධි හා බෝසත් ගැමුණු රජු, රුවන්මැලි සෑය, මහාවිහාරය ද ඇතුලුව මේ සියල්ල අනිත්‍ය බව අපි දනිමු. එහෙත් අපට ඒවා වතුරට සේදී යන දුහුවිල්ලක් ලෙසට අනිත්‍ය වීමට ඉඩ දීමට නො හැකිය. අපි ඒවා ද වහලයකින් ආරක්ෂාව සපයන ලද ගලින් නිර්මාණය කළ සමාධි බුදුපිළිමය සේ අනිත්‍ය වනවා දකින්නට කැමති වෙමු. - ඔබට තෙරුවන් සරණයි!

 උපුල්වෙහෙරේ ධම්මාවාස හිමි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

කාලීන 4178895529111365975

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item