ජවිපෙ, කොමියුනිස්ට් පක්ෂයේ 41ක් ඝාතනය කළ හැටි

ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය රටේ ඉතිහාසයට විශාල වශයෙන් බලපෑමක් ඇතිකල ලොකු කථාවකි. කම්කරු පන්ති...

ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය රටේ ඉතිහාසයට විශාල වශයෙන් බලපෑමක් ඇතිකල ලොකු කථාවකි. කම්කරු පන්ති ව්‍යාපාරයේ සටන් මෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට සහ රදළවාදයට එරෙහිව කල නිදහස් සටනද එය හා බැදී පවතී. ලංකා සමසමාජ පක්ෂය 1935 දෙසැම්බර් 18වැනිදා බිහිවීම තුළින් කම්කරු පන්ති නායකත්වයෙන් සමාජවාදී ආණ්ඩුවක් ගොඩනගා ගත යුතුය යන අදහස පළමු වරට මෙරට දේශපාලන භූමිය තුළ ජනගත විය.දෙවන ලෝක යුද්ධය 1939 ආරම්භ වීමත් සමඟම අධිරාජ්‍යවාදී යුද්ධය සම්බන්ධයෙන් අනුගමනය කල යුතු ස්ථාවරය ගැන න්‍යායික විවාදයක් සමසමාජ පක්ෂය තුළින් මතුවිය. ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් 3 වන ජාත්‍යන්තරයට ක්‍රියා නොකරන බැවින් එය සමඟ පවත්වන සම්බන්ධතාවලින් ඉවත් විය යුතු බවට යෝජනාවක් සමසමාජ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් විය. එම යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කල වෛද්‍ය එස්.ඒ. වික්‍රමසිංහ, එම්.ඩී. මෙන්ඩිස්, ඩබ්ලිව් ආරියරත්න, ඒ. ගුණසේකර, ඒ රාමනාදන් 5 දෙනා සමසමාජයෙන් නෙරපා දැමීය. එය වාමාංශික ව්‍යාපාරය තුළ ප්‍රථම බෙදීම විය. අතර ඉන් අනතුරුව එම කණ්ඩායමේ පිරිසක් විසින් 1943 ජුලි 3වැනිදා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය බිහිකිරීමට කටයුතු කරන ලදී. එහෙත් එහි ආරම්භය 1930 ගණන් දක්වා ඈතට දිව යයි. සූරියමල් ව්‍යාපාරය(1933), ලංකා සම සමාජ පක්ෂය(1935), කොළඹ කම්කරු සමාජය(1940) සමාජවාදී එක්සත් පක්ෂය(1940) එම අවධින්ය. වසර 2016 වන විට කොමියුනිස්ට් පක්ෂය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වසර 49ක්ද ආණ්ඩු පක්ෂයේ ආණ්ඩු 3 යටතේ වසර 24ක්ද කටයුතු කර තිබේ. එය පරාජයන්, පසුබැසීම් මෙන්ම තහනම් කිරීම් වලටද මුහුණ දුන් පක්ෂයකි.

ජනතා විමුක්ති පෙරමු‍ණේ(ජවිපෙ) ක්‍රියාකාරිත්වය පිළිබදව ප්‍රථම හෙළිදරව්ව සිදුකළේ කොමියුනිස්ට් පක්ෂයේ පුවත්පතක්වූ 1964දී ඇරඹූ ඇත්ත පුවත්පත මගිනි. ජවිපෙ මගින් 1969 අගෝස්තු තරුණයින් 125කට ආසන්න දින 5ක අධ්‍යාපනික සහ අභ්‍යාස පුහුණු කඳවුරක් තණමල්විලදී පවත්වන ලද අතර ඇත්ත පුවත්පත 1969 සැප්තැම්බර් එය අනාවරණය කළේ 'තරුණයන් බා ගැනීමට සී.අයි.ඒ. කෙමනක්' යන ශීර්ෂ පාඨය යොදමිනි. රෝහණ විජේවීර එම 'ඇත්ත' ප්‍රවෘත්තිය හැදින්වූයේ විප්ලවාදී ව්‍යාපාරය මර්ධනය කිරීමට යොදාගත් සූක්ෂම උපායශීලි ක්‍රියාමාර්ගයක් ලෙසිනි. කිරින්ද ගොවිපොලේ කටයුතුවලට සහායවීමට පැමිණි සේපාල නොහොත් පියදාස යාලේගල එම පුවත හෙළිකළ බවට චෝදනාවකි.

ජවිපෙ 2වැනි කැරැල්ල ආරම්භවීමත් සමඟම කැරළිකරුවන් 7කගේ කණ්ඩායමක් 1987 ඔක්තෝබර් 1වැනිදා පස්වරු 7ට පමණ බොරැල්ලේ ඇත්ත පුවත්පත් කාර්යාලයට කඩා පැන එහි මුද්‍රණාලයට ගිනි තබා අලාභහානි සිදුකර සේවකයින්ද බැද දමා පලා ගියහ. එකල ඇත්ත පුවත්පතේ කතුවරයා කෑගල්ලේ යූ.එම්. අ‍බේරත්නවූ අතර කර්තෘ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික වර්තාකරු බෙනට් රූපසිංහ, විශේෂාංග කර්තෘ සිරිලාල් කොඩිකාර, ප්‍රධාන උප කර්තෘ කුලසිරි රාජපක්ෂ, අධිකරණ වාර්තාකරු ස්ටැන්ලි සමරසිංහ, සුනිල් සිල්වා ඇතුළු කිහිප දෙනෙක්ම විය. පසුව ජනජීවිතයට අතිශයින් හානිකර වූ අභ්‍යන්තර ප්‍රකාශ තහනම් කිරීමේ නියෝගය යටතේ ලේක්හවුස් පුවත්පත් සමඟ ඇත්ත පුවත්පතද ජවිපෙ මගින් 1988 මැයි 20වැනිදා සිට තහනම් කරන ලදී. ඒ යටතේ ලේක්හවුස් සහ ඇත්ත පුවත්පත්වලට ලිපි සැපයීම, මුද්‍රණය කිරීම, බෙදාහැරීම, අළෙවිකිරීම සහ ලඟ තබාගැනීම ඉදිරිපත් වන්නන්ට මරණ දඬුවම නියෝග කරන නිවේදනයක් පනවන ලදී. අනතරුව 1988 ජුනි 1වැනිදා ඇත්ත පුවත්පත් කාර්යාලයට දෙවන වරටද බෝම්බ ප්‍රහාරයක් ජවිපෙ මගින් එල්ල කරන ලදී. 

වසර 1986 සිට 90 දක්වා ජවිපෙ 2වැනි කැරැල්ලේදී දෙමළ බෙදුම්වාදයට, ඉන්දීය ආක්‍රමණයට සහ ඉන්දු ලංකා ගිවිසුමට සහාය දක්වන වාමාංශිකයින් ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසිනි. ඒ අනුව තුන්වන සතුරු හමුදාව අතුගා දැමීම දේශප්‍රේමි අරගලේම කොටසක් බවට 1988 ජනවාරි 18වැනිදා නිකුත් කල නියෝගයක සඳහන් විය. මේ අනුව කොමියුනිස්ට්, සමසමාජ, නව සමසමාජ, ශ්‍රී ලංකා මහජන පක්ෂද ජනතා සංගමය ඇතුළු ජවිපෙන් කැඩී ගිය කණ්ඩායම් සහ කල්ලිද වහාම ක්‍රියාත්මකවන පරිදි ජවිපෙ විසින් තහනම් කල අතර ඒවායේ නායකයින්ට ඉල්ලා අස්වන ලෙසද නොඑසේනම් දැඩි දඬුවම් විදීමට සූදානම් විය යුතු බවද 1988 ජනවාරි 25වැනිදා නියෝගයක් පැනවීය. ඔවුන් අතුගා දමන ලෙස ජනතාව ගෙන් ඉල්ලමින් 1988 පෙබරවාරි 10වැනිදා නිවේදනයක්ද ප්‍රකාශයට පත් කළේය. 

පළාත් සභා මැතිවරණය 1988 පැවැත්වීමේදී එක්සත් සමාජවාදී පෙරමුණෙන් පළාත් සභා මන්ත්‍රීවරුන් 139 තේරී පත්වූ අතර එසපෙ සාමාජික පක්ෂවු කොමියුනිස්ට් පක්ෂයට 25ද, මහජන පක්ෂයට 83ද, නව සමසමාජයට 5ක්ද සෙසු 26 සමසමාජය ඇතුළු අනෙකුත් කණ්ඩායම්වලටද හිමිවිය. කැරැල්ල නිමාවන විට ජවිපෙ මගින් ඝාතනය කරන ලද 6,577ක් අතුරින් 250කට ආසන්න වාමාංශික දේශපාලන පක්ෂවල නායකයින්, ක්‍රියාකාරිකයින් සහ සාමාජිකයින් අතරින් කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයින් 41 විය. කොමියුනිස්ට් පක්ෂයේ මාතර කාර්යාලය ඇතුළු ස්ථාන කිහිපයක්ම කැරළිකරුවන්ගේ බෝම්බ ප්‍රහාරවලට ලක්වූ අතර හිටපු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය බී.වයි. තුඩාවේට පිහියෙන් ඇන ඝාතනය කිරීමට දැරූ ප්‍රයත්නය ව්‍යාර්ථ විය. ඇත්ත පුවත්පතේ නිව්ටන් සෙනෙවිරත්නගේ බොරලැස්ගමුවේ පිහිටි නිවස ඇතුළු කිහිප දෙනෙකුගේ නිවාස ගිනිතබා විනාශ කරන ලදී. කොමියුනිස්ට් පක්ෂයේ බොරැල්ලේ පිහිටි මූලස්ථානය, මාතර පක්ෂ කාර්යාලය, කුරුණෑගල පොල්පිතිගම ප්‍රේමරත්නගේ නිවස ඇතුළු ස්ථාන කිහිපයක්ම ඝාතන තර්ජනවලට ලක්වූ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින්ගේ ආරක්ෂිත කඳවුරු ලෙසින් පවත්වාගෙන යන ලදී. 

කොමියුනිස්ට් පක්ෂය ඉතිහාසයේ මුහුණ දුන් දුෂ්කරතම කාල පරිච්ජේදය 1988/89 විය. එවකට පක්ෂ ලේකම් මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළේ පීටර් කේනමන්, කේ. පී. සිල්වා, ඩී. ඊ. ඩබ්ලිව්(ඩිව්) ගුණසේකර, සී. කුමාරස්සාමි, රාජා කොල්ලුරේ සහ එස්. සුදසිංහය. කැරළිකරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් වූයේ බැද්දගානේ පදිංචි ඩිව් ගුණසේකර සහ පැලවත්තේ පදිංචි එස්. සුදසිංහය. රක්වානේ ඉපිද වසර 1962දී කොමියුනිස්ට් පක්ෂයට බැදුනු එස්. සුදසිංහ 1966 සිට එහි පූර්ණකාලීනයෙකු වන අතර වර්තමානයේ ශ්‍රී ලංකා දේශපාලන පක්ෂයක සිටින ජේෂ්ඨතම පූර්ණකාලීන ක්‍රියාකාරිකයාද වේ. බොහෝ ස්ථානයන්හි කොමියුනිස්ට් පාක්ෂිකයින් උපාය උපක්‍රමයන් භාවිතා කිරීම නිසා ජීවිත රැසක් බේරා ගැනීමට හැකිවිය. 

කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය සංගමය වූයේ 1943 ජුලි 3වැනිදා ආරම්භ වූ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය වූ අතර මූලික අඩිතාලම 1942 මාර්තු 8වැනිදා ෂන්මුගදාසන් විසින් දමන ලදී. ප්‍රථම ලේකම්වරයා එල්. ආරියවංශ වූ අතර 1961 මාර්තු මස 10 වැනිදා ශිෂ්‍ය සංවිධානය දෙකඩවී ආරියවංශ පිළ එහි තීරක බලවේගයක් බවට පත්වෙමින් කොමියුනිස්ට් පක්ෂයට එහි බලය 1961දී ලබා දෙන ලදී. කොමියුනිස්ට් පක්ෂය 1942දි ආරම්භ වූවද එහි කටයුතු 1934 දක්වා දිව යයි. ධර්මසිරි සේනානායක සහ රාජා කොල්ලුරේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් ජාත්‍යන්තර ශිෂ්‍ය සංගමයේ විධායක සභාවටද වරෙක පත්විය. එමගින් 1969 හයිඩ්පාර්ක් පිටියේදී රැස්වීමක්ද පවත්වන ලදී. කොළඹ ගිල්බට් අබේසේකර, පේරාදෙණියේ ඩබ්ලිව්. ඩී. කරුණාරත්න, කැළණියේ සේන යද්දෙහිගේ, වසන්ත ජයසිංහ ඇතුළු සරසවි ශිෂ්‍ය නායකයින් වශයෙන් එකල කැපී පෙනිණි. වීරසූරිය ශිෂ්‍ය ඝාතනය 1976 නොවැම්බර් සිදුවීමත් සමඟම කොමියුනිස්ට් ශිෂ්‍ය සංගමයේ බලය සරසවි වලින් වියැකී ගොස් ජවිපෙ ශිෂ්‍ය සංගමය සරසවි බලය ක්‍රමයෙන් තහවුරු කර ගත්හ. 

ජවිපෙ 2වැනි කැරළි සමයේදී ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් 6 දෙනෙකුද ජවිපෙ විසින් ඝාතනය කරන ලද කොමියුනිස්ට් පක්ෂ ක්‍රියාකාරිකයින් 41දෙනා අතර විය. රුසියාවේ ලුලුම්බා වැනි සරසවි වලින් නොමිලේ අධ්‍යාපනය ලැබීමට වාර්ෂිකව ශිෂ්‍යත්ව 54ක් පමණ ශ්‍රී ලංකාවට වෙන්වූ අතර ඒවා හිමිවූයේ කොමියුනිස්ට් පක්ෂයේ නාමයෝජනා අනුමතවු ශිෂ්‍යයින්ට පමණි. සෝවියට් දේශය සහ නැගෙනහිර යුරෝපයේ සමාජවාදී අකෘතිය 1991දී බිඳ වැටීමත් සමඟම ලංකා ජාතික ශිෂ්‍ය සංගමය බිඳ වැටුණු අතර එහි ශිෂ්‍ය සංගමය අහෝසිකර එය තරුණ සංවිධානය යටතේ ක්‍රියාත්මක කිරීම 2006දී සිදුවිය. 

ජවිපෙ මගින් ඝාතනයට ලක්කල කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයින් 41 දෙනා මෙසේය. කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකුවූ එල්. ඩබ්ලිව් පණ්ඩිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෘත්තීය සමිති නායකයින්වූ බාල තම්පෝ, ඊ. ඒ ගුණසිංහ, එම්. ජී මෙන්ඩිස්, ජී. ජී විලියම්, ජැක් පෙරේරා, පියදාස ආදි‍පොල ආදීහු සමඟ සමකල හැකි වෘත්තීය සමිති නායකයෙකි. කොමියුනිස්ට් පක්ෂයේ 1950 පැවති 4වැනි ජාතික සම්මේලනයේ ගනු ලැබූ අධිරාජ්‍ය විරෝධී, ප්‍රගතිශීලි පුළුල් පෙරමුණක් සදහාවූ මූලෝපායික දේශපාලන තීරණ නිවැරදිබව පිළිගනිමින් 1955දී පක්ෂයට එක්විය. වැඩකරන ජනතාව වර්තමානයේ භුක්ති විදින පැය 8 වැඩ දිනය, සේවක අර්ථසාධක අරමුදල, ස්ත්‍රී පුරුෂ සම වැඩ අයිතිය ලබාදීමට මුල්වූ පිරිස අතර ක්‍රියාකාරිකයෙකුවූ පණ්ඩිත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම්ය. කොළඹ නගර සභාවේ කෙසෙල්වත්තේ නාගරික මන්ත්‍රීවරයෙකුවූ ඔහු 1983 කළු ජූලියේදී එජාප ආණ්ඩුව මගින් සිරභාරයටද ගනු ලැබීය. කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී 1986 කම්කරු සම්මේලනයකදී ජවිපෙ සාමාජිකයින්ගේ ශාරිරික ප්‍රහාරයකටද ලක්වූ එල්. ඩබ්ලිව් පණ්ඩිත ජවිපෙ මගින් ‍පිහියෙන් ඇන ඝාතනය කරන ලද්දේ 1988 ජුනි 26වැනිදා රාත්‍රී දෙමටගොඩදීය. 

ශ්‍රී ලංකා ජාතික ගුරු සම්මේලනයේ සභාපතිවරයාවූ ජෝර්ජ් රත්නායක කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභිකයෙකි. හබරාදූව අහංගම උපන් ජෝර්ජ් ගුරුවරුන්ගේ අයිතීන් වෙනුවෙන් සුවිශේෂි කාර්යභාරයක් කල අතර 1988 ජුනි 09 පැවති දකුණු පළාතේ ඡන්දයේදී කොමියුනිස්ට් පක්ෂයද ඇතුළත් එසපෙ පළාත් සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්විය. ජවිපෙ විසින් 1988 සැප්තැම්බර් 14 අහංගමදී වෙඩිතබා ඝාතනය කරන ලදී. සූරියමල් ව්‍යාපාරයෙන් දේශපාලන ව්‍යාපාරයට එක්වූ අතුරුගි‍රියේ හබරකඩ ජේ.ඊ ගුණසේකර වෘත්තියෙන් ගුරුවරයෙකි. ජනප්‍රිය ලේඛකයෙකි. කෘතහස්ත පරිවර්තකයෙකි. ඇත්ත පුවත්පතේ නිදහස් මාධ්‍යවේදියෙකි. ළමා සාහිත්‍ය නංවාලීමේ පුරෝගාමියෙකුවූ ඔහුගේ ළමා කථාවල පරිවර්තනයන් රුසියන් භාෂාවටද නගා තිබිණි. ස්වයංක්‍රීය තුවක්කුවකින් කැරලිකරුවන් ඔහුට වෙඩි තබා ඝාතනයකර තිබිණි. 

වීරකැටිය බුද්ධියගමදී 1939 ජුනි 18වැනිදා උපන් ‍නීතිඥ ජේ. ඇම්. දේශප්‍රිය බණ්ඩාර වලස්මුල්ල ගම්කාර්ය සභාවේ වසර 18ක් සභාපතිවරයා වශයෙන් කටයුතු කල 1981දී මියගිය ෆැන්සිස් බණ්ඩාරගේ ප්‍රත්‍රයාය. ෆැන්සිස් බණ්ඩාරගේ මවවූයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ‍ගේ එකම නැන්දාවූ දෝන කතිරිනා රාජපක්ෂය. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමෙන් පසු ගල්ඹය ව්‍යාපාරයේ සිවිල් ඉංජිනේරුවෙකු වශයෙන් සේවය කල දේශප්‍රිය බණ්ඩාර දේශපාලන පලිගැනීම් හේතුවෙන් ඉන් ඉවත්ව 1973 නීති විද්‍යාලයට ඇතුල් විය. ඇඹිලිපිටිය කොලොන්න ආසනයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාවූ දේශප්‍රිය, ඇඹිලිපිටියේ අධිකරණයේ සේවය කල ප්‍රකට නීතිඥයෙකි. නීතිඥ සරත් මුත්තෙට්ටුවගේ පොදුජන දේශපාලනයේ නොසැලෙන ගමන් සගයෙකුවූ දේශප්‍රිය ඔහු යටතේ නීතිඥයෙකු වශයෙන්ද කලක් සේවය කළේය. 

දකුණේ ජනයාගේ මානව හිමිකම් අයිතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දේශප්‍රිය බණ්ඩාර සිය ඥාතියෙකුවූ නීතිඥ විජේදාස ලියනාරච්චි පොලිසිය මගින් පැහැරගෙන යෑමෙන් පසු ලියනාරච්චිගේ පියාවූ දොන් ජුවානිස් අප්පුහාමි සමඟ තංගල්ල පොලිස් අධිකාරි කරවිටගේ ධර්මදාසට ඒ පිළිබදව පැමිණිලි කර තිබිණි. සිය ඉඩමේ පිහිටි පියාගේ සොහොන වෙත වන්දනා කිරීම දෛනික කාර්යයක් බවට පත්කරගෙන තිබූ නීතිඥ දේශප්‍රිය එසේ කරමින් සිටියදී 1989 අප්‍රේල් 25වැනිදා ජවිපෙ මගින් පස්වරු 7.30ට ටී 56 ස්වයංකීය ගිණි අවියකින් වෙඩිතබා ඝාතනය කර තිබිණි. නීතිඥ දේශප්‍රිය බණ්ඩාර සයදරු පියෙකු වූ අතර දෙවැන්නා වූයේ පසුකලෙක මහේස්ත්‍රාත්වරයෙකු සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවූ ජානක බණ්ඩාරය. 

සමූපාකාර ව්‍යාපාරයට විශාල සේවාවක්කල අකුරැස්ස හේනේගම පදිංචි කේ.ඒ.ඩී. සද්ධාතිස්ස(69) දෙමාපියන් වූයේ පළාතේ ප්‍රභූවරයෙකුවූ කේ. ඒ. දොන් මතෙස් ඔපිසර සහ එම්. එල්. හීංහාමිය. වැලිගම සහ අකුරැස්ස සමුපාකාරවල ආරම්භක සභාපති ලෙස කටයුතු කල සද්ධාතිස්ස ගුරුවරයෙකු ලෙස ගලහිටියාව, වීරකැටිය, මොරවක, ගොඩපිටිය යන මධ්‍ය මහා විද්‍යාලවල සේවයකර විදුහල්පතිවරයෙකු ලෙස විශ්‍රාමගත් අයෙකි. සද්ධාතිස්සගේ සොහොයුරාවූ කේ. ඒ සමරතුංගද කොමියුනිස්ට් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායකයෙකුව සිටියදී එජාප ආණ්ඩුව මගින් 1967දී ඝාතනයට ලක්කර තිබිණි. හිටපු මධ්‍යම කාරක සභිකයෙකුවු සද්ධාතිස්ස අංශභාග රෝගයට ගොදුරුව නිවසේ සිටියදී 1988 ජනවාරි 5 ජවිපෙ විසින් ගල්කටස් තුවක්කුවකින් හිසට වෙඩිතබා ඝාතනය කරන ලදී. ඔහුගේ පුත්‍රයාවූ කොමියුනිස්ට් තරුණ සංගමයේ මාතර දිසා නායක උපුල් සද්ධාතිස්සද(29) තේ දළු එකතු කිරීම සඳහා පැතෑටියනට ලොරිය පදවාගෙන යන අවස්ථාවේදී ජවිපෙ මගින් 1988 ජනවාරි 5 පස්වරුවේදී වෙඩිතබා ඝාතනය කරන ලදී. කේ.ඒ.ඩී. සද්ධාතිස්සගේ බාල පුත් චම්පාද පසු කළෙක අකුරැස්ස ප්‍රාදේශීය සභා මන්ත්‍රී විය. 

මහරගම පමුණුවේදී 1938 මාර්තු 1වැනිදා උපන් හෙන්රි පමුණුව මහරගම සහ ඒ අවට සමාජසේවා සංවිධාන 36කින් සමන්විත මහරගම සමාජසේවා බල මණ්ඩලයේ ලේකම්ය. කොමියුනිස්ට් පක්ෂයේ දිසා සභිකයෙකුවූ ඔහු ඇත්ත පුවත්පතේ මුද්‍රණ අංශය භාරව සිටි අතර නිදහස් මාධ්‍යවේදියෙකි. පන්නිපිටිය සණස සංගමය සහ මහරගම පොදු සේවා සංගමයේ සමාරම්භක සභාපතිවරයාවූ ප්‍රදේශයේ ජනප්‍රිය සමාජසේවකයෙකුවූ හෙන්රි ජවිපෙ මගින් 1988 ඔක්තෝබර් 1වැනිදා සිය නිවස ඉදිරිපිටදී රාත්‍රී 7.30ට ඝාතනය කරන ලදී. සිව් දෙනෙකුගෙන් සමන්විත ඝාතක කණ්ඩායම හෙන්රිට වෙඩි තැබීමෙන් අනතුරුව සිරුරේ 21ක් පොලකට පිහි පහරවල් ඇන තිබිණි. මහරගම ජනාධිපති විදුහලේ ගුරුවරියක සමඟ අවාහ වී සිටි හෙන්රි තිදරු පියෙකු වු අතර වැඩිමලාවූ චතුර දිවයින පුවත්පතේ වර්තමාන ප්‍රවෘත්ති කර්තෘවරයෙකි. හෙන්රිගේ සොහොයුරෙකු වන්නේ ඡායාරූප ශිල්පි සරණපාල පමුණුවය. 

කොමියුනිස්ට් තරුණ සම්මේලනයේ මධ්‍යම කාරක සභිකයෙකු වූ නුවර වත්තේගෙදර උපන් ගාමිණී මැදගෙදර පොළොන්නරුවේ පදිංචිකරුවෙකි. එජාප ආණ්ඩුව 1977දී බලයට පත්වීමත් සමඟම ඔහුගේ නිවස ගිණිබත්කර රැකියාව අහිමි කළේය. උන්හිටි තැන් සහ ජීවන මාර්ගය අහිමිවුවද ගාමිණී ධනපති විරෝධී අරගලය අත්හරිනු නොලැබීය. දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයෙකුවූ ඔහු කොළඹ සරසවියේ නීති උපාධිධාරියෙකුද වූ අතර නොබෝ කලකින් නීති වෘත්තියට පිවිසීමටද සූදානම්ව සිටියේය. සිව් හැවිරිදි දරුවෙකුගේ පියෙකුවූ ගාමිණි, සොයුරු සොහොයුරියන් 11 යුත් පවුලේ වැඩිමලා වශයෙන් එම යුතුකම්ද නොපිරිහෙලා ඉටුකල අයෙකි. ජවිපෙ 2වැනි කැරැල්ලේ පුද්ගල ඝාතන දේශපාලනයේ 3වැනි ගොදුර වශයෙන් 1988 පෙබරවාරි 12 මහමගදි වෙඩි තැබීමෙන් ඝාතනට පත්වූ ගාමිණීගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විජය කුමාරතුංගද පැමිණි අතර ඉන් සිව්දිනකට පසු විජයද ඝාතනය විය. ජවිපෙ තර්ජන හේතුවෙන් මරණ පරික්ෂණය කිරීමට පො‍ළොන්නරුවේ මරණ පරික්ෂකවරයා පසුබටවූ හෙයින් මාතලෙන් මරණ පරික්ෂකවරයෙක් ගෙන ඒමට සිදුවිය. දේහය තැන්පත් කිරීම සදහා පෙට්ටියද ගෙන යන ලද්දේ කොළඹිනි. ආගමික වතාවන් පොළොන්නරුව නිවසේදී කිරීමෙන් අනතුරුව දේහය මිහිදන් කරන ලද්දේ සීදුවේදීය. 

ලංකා කොමියුනිස්ට් තරුණ සංගමයේ මුල්පෙළේ ක්‍රියාකාරිකයින්වූ මාතර දිසා ‍ලේකම් ගාමිණී තුඩාව 1988 ජුලි 16ද, දිසා සංවිධායක හක්මන කේ.ඒ. උපුල් රංජිත් 1988 ජනවාරි 4ද, මාතර දිසා සභිකයෙකුවූ කේ.එච්. විමලසේන 1988 ඔක්තෝබර් 26ද දිසා සංවිධායක මාතර ගාමිණී රණවීර 1988 අගෝස්තු 28ද, කුරුණෑගල ජිනදාස, සරත්චන්ද්‍ර අතුරලිය, ඩී. වීරසිංහ සහ ඩබ්ලිව් කරුණාරත්න 1988 සහ 1989දී ඝාතනයට ලක්විය. රුහුණු සරසවියේ ප්‍රථම වසරේ(කණිෂ්ඨ) කණ්ඩායමේ සිසුවෙකුවු මාතර වසන්ත සේනාධීර ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකුව සිටියදී 1988 ඝාතනයට ලක්විය. කොමියුනිස්ට් පක්ෂයේ ඝාතනයට ලක්වූ 41 අතරට ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් 6ක් ඇතුලත් විය. සෙසු අයවූ අබේසේකර 1988දීද, පුත්තලමේ අමිල දුල්ෂාන් 1989දීද මාතර ප්‍රසන්න ලංකාතිලක 1988දීද ඝාතනය විය. 

විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකුවූ දිවුලපිටියේ ටී. අමරදාස කොමියුනිස්ට් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් භාණ්ඩාගාරික මෙන්ම දිවුලපිටිය ශාඛා ලේකම්ය. එක්සත් සමාජවාදී පෙරමුණේ මැතිවරණ රැස්වීමක් අමතමින් සිටියදී 1988 මැයි 8 ඝාතනය කරන ලදී. ඇඹිලිපිටිය එච්. ජී. ජිනදාස දිසා සභිකයෙකුවූ අතර ජවිපෙ මගින් 1988 ජුලි 20වැනිදා වෙඩිතබා ඝාතනය කරන ලදී. සූරියවැව හත්පෝරුවේ පදිංචි ජිනදාස දෙවන ලෝක යුද්ධයේ සේවා මුක්ත භටයෙකුවූ අතර ඔහුට වෙඩි තැබීමට ආ ඝාතකයින් දෙදෙනාගෙන් එක් අයෙකු එම ස්ථානයේදීම ජිනදාස විසින් වෙඩිතබා ඝාතනය කල අතර අනෙකාට වෙඩි වැදීමෙන් බරපතල තුවාල සිදුවිය. තමා අතවූ පිස්තෝලයට යළිත් ජිනදාස මූනිස්සම් පිරවීමේදී තුවාල ලැබූ කැරළිකරු තැබූ වෙඩි පහරකින් ජිනදාස මරමුවට පත්විය. කැරළිකරුගේ දේහයද කිසිවෙකු භාර නොගත් බැවින් එය පොලිසිය මගින් වළලා දමන ලදී. ජිනදාසගේ දේහය විප්ලවීය ආචාර මැද මිහිදන්කර තිබිණි. 

කොමියුනිස්ට් පක්ෂයේ මාතර දිස්ත්‍රික් මුල් පෙළේ ක්‍රියාකාරිකයෙකුවූ පී.ජී. ප්‍රේමපාල වෘත්තියෙන් හෙද නිලධාරියෙකුවූ අතර තිදරු පියෙකි. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකු සහ මාතර රෝහලේ ශාඛා කමිටුවේ සංවිධායකවරයා විය. මාතර රෝහලේ බාහිර රෝග අංශයේ රෝගීනට හෙද සේවය ඉටුකරමින් සිටියදී 1988 දෙසැම්බර් 18වැනිදා දහවල් වෙඩිතබා ඝාතනය කරන ලදී. හිටපු ගම්පතියෙකු වූ මාතර ටී. ධනපාල කඹුරුපිටිය කිරින්ද පුහුල්වැල්ලේ පදිංචිකරුවෙකු වූ අතර කැරළිකරුවන් ඔහු කුඹුරට රැගෙන ගොස් පිහියෙන් ඇන මරාදා තිබුණේ 1988 ජුනි 5වැනිදාය. කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව මාතර ගම්සභාවේ සභාපතිවරයාද ලෙස කටයුතු කල පී. ඒ ජයවර්ධන අකුරැස්ස වැලිදූව සිය නිවසේ ‍සිටියදී 1988 අප්‍රේල් 22වැනිදා වෙඩිතබා ඝාතනය කරන ලදී. ඝාතනය වන විට මාතර ශාඛා ලේකම් විය.

ජවිපෙ මගින් ඝාතනය කරන ලද කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයින් 41 දෙනා අතර දිසාසභික හක්මන ක.ගි. දහම්සිරි 1988 ජුලි 15ද, දිසාසභික වේයන්ගොඩ සමරවර්ධන රාජපක්‍ෂ 1989 සැප්තැම්බර් 22ද, ගම්පහ කේ.ඒ. ගුරුසිංහ 1988 සැප්තැම්බර් 22ද, මාතර ලුවිස් ප්‍රතාපසිංහ 1988 ඔක්තෝබර් 13ද, කැලණිය අතපත්තු ධර්මදාස 1988 දෙසැම්බර් 2ද, වසර 1988 තුළදී මාතර ජී.මී. කුලතුංග, බූස්ස සුදත් ලාල් ගමගේ, මාතර ශාඛා ලේකම්වරයෙකුවූ නන්දසේන ප්‍රතාපසිංහ, මාතර දිසා සභිකයෙකුවූ එන්.ජී. ඒබ්‍රහම්, මාතර ඩබ්ලිව් පියසේන සහ මාතර බෙම්පිසිංඤෝ පියසේන යන අයද විය. යාපනයේ දිසා ලේකම් වශයෙන් කටයුතු කල මධ්‍යම කාරක සභික කේ. විජයානන්දන් නල්ලූරුවේ පිහිටි සිය නිවසේදී 1988දී ඝාතනය කරන ලද්දේ දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය මගිනි. 

කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයින්වූ එකම පවුලේ තිදෙනෙක්ද ජවිපෙ මගින් 1989 ජනවාරි 4වැනිදා තිරස්චීන ලෙස ඝාතනය කරන ලදී. ඒ අනුරාධපුර රාජාංගනයේ යාය 17 ප්‍රදේශයේදීය. අනුරාධපුර කොමියුනිස්ට් පක්ෂ දිසා සංවිධායකවරයාවන එක්දරු පියෙකු වූ නාරංදෙණියවත්තගේ විජේරත්න(43), ඔහුගේ මස්සිනාවරුන් දෙදෙනාවූ කොමියුනිස්ට් තරුණ සම්මේලනයේ සංවිධායකවරයෙකුවූ කංකානම්ගේ වීරරත්න(24) සහ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකුවූ කංකානම්ගේ තිලකරත්න(20)ය. කැලණි සරසවියේ උපාධිධාරියෙකුවූ විජේරත්න යාය 13/14 මහසෙන් විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාවූ අතර වීරරත්න, ‍හොරවිල රජයේ විදුහලේ ගණිත ගුරුවරයෙකු වශයෙන්ද, තිලකරත්න මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයේ ප්‍රවේශය ලැබූ සිසුවෙකු විය. 

නිවසේ දොර කඩාගෙන පැමිණි ජවිපෙ කැරළිකරුවන් නිවසේ සිටි නැගණියන්වූ සුමනා, නිශාන්ති, දිල්රුක්ෂි ඇතුළු නිවසේ අය කාමරයක සිරකර විජේරත්න, වීරරත්න සහ තිලකරත්න යන අයගේ දෙපා සහ දෑත් බැද බෙල්ලේ ලනුවක් ගැටගසා කිලෝමීටර් දෙකක් පමණ බිම දිගේ ඇදගෙන ‍ගොස් තිදෙනාම පහල මාරගහවැව බස්නැවතුම්පොල අසළදී වෙඩිතබා ඝාතනය කරන ලදී. මොවුන්ට එයට දින 14කට පෙර කොමියුනිස්ට් පක්ෂයෙන් ඉල්ලා අස්වී නිවස ඉදිරිපිට බැනරයක් දමා පෝස්ටරයක් අතැතිව නගරයේ සමාව ඉල්ලමින් දවස පුරා සිටගෙන සිටින ලෙස දන්වා තිබිණි. විජේරත්නගේ බිරිඳ ප්‍රේමලතාට ආරක්ෂාව සඳහා සිය දියණිය සහ නැගණියන් සමඟ ප්‍රදේශය අතහැර යාමට පසුව සිදුවූ අතර දියණිය වර්තමානයේ උපාධිධාරි ගුරුවරියකි. 

යහපත් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් අරගලයක නිරතව සිටියදී මියගිය අය සැමරිය යුත්තේ ඔවුන්ට කෘතවේදීත්වය පළකිරීමට පමණක් නොව එම චරිත වලින් සහ දේශපාලන ගමන් මගෙන් අවශ්‍ය පාඩම් ඉගෙන ගැනීමටය. එමෙන්ම එදා දුටු දේශපාලන ප්‍රපංචය සහ වර්තමානයේ පවතින දේශපාලන යථාර්ථය විමසුමට ලක්කොට ඉදිරි ගමන්මග සකස්කර ගැනීමටය. කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයින් 41 දෙනෙකුගේ මෙම ඝාතන දේශපාලන ඝාතනවලට වඩා ඔබ්බට ගිය ඝාතන දේශපාලනය තුළින් සිදුවූ ඛේදවාචයකි. ඔවුහු මියගියේ තමන් විශ්වාස කරන යහපත් සමාජයක් වෙනුවෙන් අරගලයක් කල, කැපකිරීමක් කල, මිනිසුන් හැටියට ප්‍රබෝධජනක අපේක්ෂාවෙන් බවට සැකයක් නොමැත.(1986/90 සමයේ ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයින් පිළිබදව ඔබ දන්නා ඡායාරූප සහ තොරතුරු පහත ආකාරයට යොමුකල හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර.දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: ejournalists@gmail.com)



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 4290447951704016169

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item