කතානායක ක්‍රියා කරන ආකාරය වැරදී - ඒකාබද්ධ විපක්‍ෂය කියයි

පෙර සිටි කතානායකවරු අනුගමනය කළ ක්‍රියාපටිපාටි අනුගමනය නොකරමින් වත්මන් කතානායක කරු ජයසූරිය මහතා කටයුතු කරන බවත්, ඒකාබද්ධ විපක්‍ෂය ස්වාධීන ...

පෙර සිටි කතානායකවරු අනුගමනය කළ ක්‍රියාපටිපාටි අනුගමනය නොකරමින් වත්මන් කතානායක කරු ජයසූරිය මහතා කටයුතු කරන බවත්, ඒකාබද්ධ විපක්‍ෂය ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගැනීම කතානායකවරයා විසින් ප්‍රමාද කිරීම ඊයේ (09දා) පාර්ලිමේන්තුවේ ඇතිවූ තත්ත්වයට හේතුව බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කීය. ඔහු එසේ ප්‍රකාශ කළේ බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (09දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. එහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන.

මුළු රටම දන්නවා අපි කතානායකවරයාව හමුවෙලා ලිපි භාරදීලා ඉල්ලීමක් කළා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ට හිමි පිළිගැනීම ලබා දෙන්න කියලා. ඒ සම්බන්ධ වරප්‍රසාද ලබා දෙන්න කියලා. පසුගිය මාස 05 තුළ මේ තත්ත්වය විසඳුණේ නැතත් පාර්ලිමේන්තු කටයුතුවලදී අපි සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් හැම වෙලේම සහයෝගයෙන් වැඩ කළා.

මේ පිළිබඳ තීරණයක් ලබාදීම දවසින් දවස කල් දැම්මා. දැනට සතියකට කලින් අවසාන අවස්ථාවේදිත් කතානායකතුමා එකඟ වුණා මේ ගැන තීරණයක් දෙනවා කියලා. ඒ අය පිළිගත්තා අපි වෙනම කණ්ඩායමක් විදියට කටයුතු කිරීමට ඉඩ ලබාදිය යුතුයි කියලා. ඒවා ලබාදෙන්න එකඟතාවක් පළ කළත් වෙනම කණ්ඩායමක් ලෙස පිළිගැනීම ගැන තීරණයක් දුන්නේ නැහැ.

මෙවැනි තත්ත්වයක් තුළ අපි සභාගර්භය තුළ මේ ප්‍රශ්නය යළි යොමු කළා. අපි සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කළා. අග්‍රාමාත්‍යතුමාත් ඊට පස්සේ කිව්වා මෙතැන යම්කිසි ගැටලුවක් තියෙන බව. ඒ වගේම ඒකට සාකච්ඡා කරලා විසඳුමක් ලබාදිය යුතු බව. එවැනි අවස්ථාවකදි පාර්ලිමේන්තුවේ අපිට හිමි වරප්‍රසාද, බලතල ලබා ගන්න තීරණයක් දෙන ලෙසයි අපි කතානායකතුමාගෙන් ඉල්ලා සිටියේ. ඒකට නිසි පිළිතුරු නොලැබුණු නිසා තමයි අපිට ආසනවලින් නැඟිට පාර්ලිමේන්තුවේ සභා ගර්භය මැදට ඇවිත් ඒ ඉල්ලීම කරන්න සිදුවුණේ.

අපි විශේෂයෙන්ම කියන්නෙ අපේ මේ ඉල්ලීම ලබා දෙන්න පුළුවන් දෙයක්. කරන්නේ කොහොමද කියලා කවුරු ප්‍රශ්න කළත් කරන්න පුළුවන් දෙයක් නම් එය තීරණය කිරීමේ බලය තියෙන්නේ කතානායකතුමාට මිස වෙන කෙනකුට නෙවෙයි. කතානායකතුමාට රජය පැත්තෙන් එන බලපෑම නිසා ඒ තීන්දුව ප්‍රකාශ නොකර සිටීම නිසයි එවැනි අර්බුදයක් පාර්ලිමේන්තුව තුළ ඇතිවුණේ.

අපි මතක් කරනවා චමල් රාජපක්‍ෂ, විජමු ලොකු බණ්ඩාර, අනුර බණ්ඩාරනායක කියන කතානායකවරු කටයුතු කරපු විදිය. මේ අය මීට වඩා අර්බුදවලට මුහුණ දුන්නා. හැබැයි වත්මන් කතානායකවරයා වගේ නෙවි. හිතුවක්කාර විදියට පනත් සම්මත කරන්න මේක හන්දියේ මාළු කඩේ නෙවෙයි කියලා මතක් කරනවා යැයි ගුණවර්ධන මන්ත්‍රිවරයා කීය.

එහිදී අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා.
මේ පාර්ලිමේන්තුවට අපි ඇවිත් තව දවස් දහයකින් මාස හයක්. මේ මාස පහහමාරකට අධික කාලය අපි 13න් වතාවක් කතානායකතුමා සහ නියෝජ්‍ය කතානායකතුමා මුණගැසුණා. විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ට කරන කෙණෙහිලිකම් නවත්වාගැනීම සඳහා අපි තුන්වතාවක් ලිපි ලිව්වා. ඒ නිසා අද දවසේ අපට සාමකාමී නිහඬ පරිසරයක් තුළ අද කිසිම දෙයක් සිදු වෙන්නේ නෑ කියලා තේරුම් අරගෙන තමයි අද පාර්ලිමේන්තුව ඇතුළේ මේ විරෝධතා ක්‍රියාමාර්ගය ගන්න සිදු වුණේ. ඒක ගරු අගමැතිතුමා වෙන විදියකට අර්ථ දක්වලා කිව්වා, කාන්තාවන්ට වැඩි අවස්ථාව දෙන්න සූදානම් වුණ වෙලාවේ ඒකාබද්ධ විපක්‍ෂය ඒකට විරුද්ධ වෙලා කියලා. එතුමා එහෙම කියපු එක ගැන මම කනගාටු වෙනවා. ඒක උත්තර දෙන්න තරම්වත් වැදගත්කමක් තිබුණ දෙයක් නෙවෙයි කියලා රටටම තේරෙනවා.

මාස හයකට ආසන්න කාලයකට පස්සේ තමයි අපි තීරණය කළේ පාර්ලිමේන්තුව කියන ආයතනයත් එක්ක ගැටුමකට යන්න. අපි මාස හයකට ආසන්න කාලසීමාවක් උත්සාහ ගත්තේ පාර්ලිමේන්තුව කියන ආයතනයත් එක්ක ගැටුමක් ඇති කරගන්නේ නැතිව අතිශය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග හරහා විසඳුමක් හොයාගන්න. නමුත් ඒක පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්‍ෂේප කළා. ඒ නිසා අපිට මේ ක්‍රියාමාර්ගය ගන්න වුණා. ඒක අදට විතරක් නෙවෙයි ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ගේ අනන්‍යතාව පිළිගන්නා තෙක් අඛණ්ඩව අපි මේ අරගලය ක්‍රියාත්මක කරනවා.

අපි කතා කරන්නේ මේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. එකී කාලය ගැන තියෙන ප්‍රශ්නයක ලඝු කරන්නත් පාර්ලිමේන්තුව නොමඟ යවන්නත් එපා කියලා කතානායකතුමාට කියනවා. කතාව කියන්නේ පාර්ලිමේන්තු ගර්භය ඇතුළේ එකක් විතරයි. මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඔබ පුදුමයට පත්වේවි සභාව කල් තබන අවස්ථාවේ විවාද දෙකයි අපිට ලැබිලා තියෙන්නේ. ඊළඟට කමිටුවල තත්ත්වයත් ඒ වගේමයි. පාර්ලිමේන්තුවේ වැදගත්ම කමිටු වන කෝප් කමිටුවේ සහ ගිණුම් කාරක සභාවේ ජ.වි.පෙ. හය දෙනාගෙන් හතරක්. නමුත් ඒකාබද්ධ විපක්‍ෂයේ පනස් දෙකෙන් දෙන්නයි. අඛණ්ඩව කරපු කෙණෙහිලිකම්වල ප්‍රතිඵලය තමයි අද ලැබුණේ. කරු ජයසූරිය මැතිතුමා කතානායක වෙනකොට අපිට නැවුම් බලාපොරොත්තුවක් ඇති වුණා. නමුත් අද අපිට ඒ බලාපොරොත්තු කඩ වෙලා. ඉස්සර කිව්වා ආවොත් කරු, පායයි හිරු කියලා. නමුත් අද අපිට තරු පෙනිලයි තියෙන්නේ. මම කනගාටු වෙනවා මේ තත්ත්වය ඇතිවීම ගැන. ඒ වගේම මේ තමයි පාර්ලිමේන්තුවේ විපක්‍ෂ මන්ත්‍රිවරුන්ගේ අඳුරුම සමය. ඉස්සර තිබුණේ විපක්‍ෂයේ අය ආණ්ඩුවට යන සම්ප්‍රදායක්. නමුත් අද ආණ්ඩුවේ අය යන සම්ප්‍රදාය අශීලාචාරයි කියලා මන්ත්‍රිවරු පනස් දෙකක් විපක්‍ෂයේ ඉන්න ඉල්ලනවා. මේක පාර්ලිමේන්තුවට අලුත් අර්ථකථනයක් යැයි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා කීය.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා
අපිට වගකීමක් තියෙනවා. අපි වෙනුවෙන් ඡන්දය දුන්නු ජනතාව වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. එහිදී අපි විපක්‍ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස පිළි නොගැනීමෙන් අපිට කරපු අසාධාරණය තක්සේරු කරන්න අමාරුයි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරන්නයි මේ අරගලය කරන්නේ. අපේ ජාතික ප්‍රමුඛතා හා හීලෑ වූ විපක්‍ෂයේ ජාතික ප්‍රමුඛතා අතර බරපතළ වෙනසක් තියෙනවා යැයි බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා කීය.

එහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා
ආණ්ඩුවත් එක්ක රහසේ ගනුදෙනු කරන ව්‍යාජ විපක්‍ෂයට සියලු වරප්‍රසාද ලැබෙනවා. ඒකෙන් ආණ්ඩුව කියන්නේ ඔබ අපිට හීලෑ වෙන්න අපි වරප්‍රසාද දෙන්නම් කියලයි. ඒ හීලෑ වීමට අපි සූදානම් නැති නිසා තමයි අපේ අයිතිවාසිකම් උදෙසා අපේ අයිතීන් අපිට දෙන්න කියලා අපි සටනට බැස්සේ.

අපිත් ඉන්නේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ යා යුතුයි කියනා ස්ථාවරයේයි. හැබැයි සාරියට මුවා වෙලා අපේ අයිතිවාසිකම් උදුරා ගන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නැහැ. අද මේ ඇරැඹුණු සටන ජයග්‍රහණයකින් තොරව නතර කරන්නේ නැහැ. අදට වඩා දරුණු දිනක් හෙට ලබනවා කියන අනතුරු ඇඟවීම අපි ආණ්ඩුවට දෙනවා යැයි ගම්මන්පිල මන්ත්‍රිවරයා කීය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රාදේවී වන්නිආරච්චි අදහස් දැක්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සාලින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, සිසිර ජයකොඩි යන අයද සහභාගි වී සිටියහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7016243446958808169

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item