'එන්ටර් ද ඩ්‍රැගන්' මෙන් නොව 'එන්ටර් කල්ලතෝනි' ආක්‍රමණය භයානක ය

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ, එක්තරා ආයතනයක ලිපිකරු තනතුරු 368 කට interview එකක් තිබුණා. ඒකට ඉල්ලූම් පත‍්‍ර ලක්ෂ 23ක් ආවා. ඒ අතරින් එක් ල...

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ, එක්තරා ආයතනයක ලිපිකරු තනතුරු 368 කට interview එකක් තිබුණා. ඒකට ඉල්ලූම් පත‍්‍ර ලක්ෂ 23ක් ආවා. ඒ අතරින් එක් ලක්ෂ පණස් දාහක් උපාධිධාරීන්. පශ්චාත් උපාධිධාරීන් 24969 දෙනෙක් හිටියා. පී.එච්.ඩී කාරයෝ 250ක් හිටියා. මේ රස්සාවට ඉල්ලල තිබුණු සුදුසුකම් තමයි සාමාන්‍ය පෙළ හා බයිසිකල් පැදීමේ හැකියාව. මේ කතාව කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්තිය. ඔහු තව දුරටත් කියා සිටියේ ඉන්දියාවේ රෝගීන් මහ පාරේ මැරෙද්දී ලංකාවට ඇම්බියුලන්ස් දෙන්නට තරම් ආදරයක් හදිසියේම මෝඩි ට ඇති වුණේ කොහොමද කියාය. හඳුන්නෙත්ති පමණක් නොව රටට සෑබැ ලෙසම ආදරය කරන පිරිස මේ රජය ඉන්දියාව සමග අස්සන් කරන්නට සැරසෙන ඉට්කා ගිවිසුම ගැන කතා කරති. විරෝධය දක්වති. 

අගමැති රනිල් වික‍්‍රමසිංහ, ඔවුන් සියළු දෙනා දේශ ද්‍රෝහීන් බව පවසයි. දේශ ද්‍රෝහීන් කුමන ආකාරයකින් විරෝධය පල කළ ද තමන් එම වෙළඳ ගිවිසුම අස්සන් කරන බව ඔහු දැඩි ලෙස කියයි. කේ.ඩී ලාල් කාන්තට අනුව අගමැති හැසිරෙන්නේ බජාර් එකේ චණ්ඩියෙක් වගේය. 

ඉට්කා ගැනත් ඊට පරිබාහිරව දැනටමත් අස්සන් කොට ඇති ඇම්බියුලන්ස් සේවාව ගැනත් රට දැනුවත් කිරීමේ මුල් පියවර තැබුවේ වෛද්‍යවරුන්ගේ සංගමයයි. එහි ලේකම් වෛද්‍ය නලින්ද හේරත් ඇම්බියුලන්ස් කතාවේ ඇත්ත හෙළි කලේය. කොළඹට හා දකුණු පලාතට සීමාවන ඇම්බියුලන්ස් ලබා දෙන්නේ ඉන්දීය රජයයි. එය භාර දී ඇත්තේ ඉන්දීයාවේ GVK EMRI නම් පුද්ගලික ආයතනයකටය. මෙවැනි සේවයක් ආරම්භ කරන විට එය රටට අවශ්‍ය දැයි සොයා බලා ශක්‍යතා වර්තාවක් ඉදිරිපත් කළ යුතුය. එය සකස් කොට ඇත්තේ අපේ සෞඛ්‍ය අමාත්‍යංශය නොවේ. ඉහත කී EMRI සමාගමය. 

ඒ පිළිබඳ කැබිනට් පත‍්‍රිකාවක් පෙබරවාරී මස මුලදී සම්මත විය. ඇම්බියුලන්ස් සේවය සඳහා සේවකයින් බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්විමට නියමිත දැන්වීම ලංකාදීප පුවත් පතේ පළ වී තිබුණේ පෙබරවාරි 9 වැනිදාය. ඊට පසුදාම 10 වැනිදා සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි. මේ සේවකයින් සඳහා ගෙවීම් ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන් හා අනෙකුත් සේවාවන් සඳහා ලැබෙන ගෙවීම් වලට අඩු මුදලකි. මේ කරුණු දෙකෙන්ම පෙන්නුම් කරන්නේ මේ රටේ සේවකයන් ඇම්බියුලන්ස් රැකියාවලට ඉල්ලූම් කිරීම අධෛර්යමත් කිරීමකි. කැබිනට් පත්‍රිකාවේ සඳහන් පරිදි මේ සේවාවන් සඳහා පැමිණෙන ඉන්දියානුවන්ට Working Visa ලබා දීම ශ්‍රී ලංකා රජයේ වගකීමකි. මේ සේවාවේ මුළු පාලනයම සිදු කෙරෙන්නේ EMRI සමාගම මඟිනි. ඔවුන් ශ්‍රී ලංකාවේ රජයට හෝ සෞඛ්‍ය අමාත්‍යංශයට වග කියන්නේ නැත. 

ETCA මගින් ඉන්දියාව අපේ රට දැවැන්ත උගුලක අටවන බව ප‍්‍රකාශ කරන්නේ තොරතුරු තාක්ෂණ වෘත්තියවේදීන්ගේ සංසදයයි. එහි ලේකම් ලසන්ත වික‍්‍රමසිංහ කියා සිටියේ ශ්‍රී ලංකාවේ වඩා වේගවත්ම, වර්ධනය වන ක්ෂේත‍්‍රය IT ක්ෂේත‍්‍රය බවයි. 2013 ඇමරිකානු ඩොලර් මිලියන 700ක අපනායන අදායමක් රටට උපයා දුන් මේ ක්ෂේත‍්‍රයෙන් 2020 දී ඩෝලර් බිලියන පහක අපනායන අදායමක් අපේක්ෂිතය. ශ‍්‍රී ලංකා IT කේෂත‍්‍රයේ උසස් කුසලතාවයන් හා සාධාරණ පිරිවැය නිසා දැනටමත් IT විදේශ ආයෝජකයින් ශ‍්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති. IT ක්ෂේත‍්‍රය ඉන්දියානු රැකියා වෙළඳපොලට විවෘත කිරීම රටේ අනාගතයටත් රටේ ආරක්ෂාවටත් බරපතල තර්ජනයක් විය හැකි බව ඔහු කියයි.

1998 දී අස්සන් කොට දැනට ක‍්‍රියාත්මක වෙන ඉන්දු ලංකා භාණ්ඩ ගිවිසුමට අනුව පසුගිය වසරේ දත්ත සළකා බැලූව ද බිලියන 7.4 ක වෙළඳාමෙන් අපට ඇත්තේ දශම 7ක් බවත් ඉතිරි 90% ඉන්දියාවට වාසිදායක බවත් පවසන්නේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙණියයි. මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන දැන්වීමක් ජාතික පුවත් පත්වල පවා පල කිරීමට ඉඩක් ලබා ගත නොහැකි වු බව ඔහු කියන්නේය. ජනතාව ETCA ඇත්ත දැන ගැනීම වැළැක්වීම සඳහා දැවැන්ත රාජ්‍ය ව්‍යාපාරයක් දියත් වෙයි. මේ විරෝධය පිළිබඳ එ.ජා.ප රජය කෙතරම් වියරු වැටි ඇත් දැයි පෙන්නුම් කරන්නේ ඇමති හරීන් ප‍්‍රනාන්දු වෛද්‍ය පාදෙණිය පාදඩයෙක් ලෙස ප‍්‍රසිද්ධියේ හඳුන්වා දෙමින් අපහාස කරන ආකාරයෙනි. 

පසුගිය යුධ සමයේ අපේ රටට පළාත් සභා බලෙන් පටවන ලද්දේ රජීව් ගාන්ධි විසිනි. ඉන්දියානු සාම සාධක හමුදාව බොහෝ කාලයක් ශ්‍රී ලංකාවේ නැවතී සිටියහ. ජනපති ප්‍රේමදාස ඔවුන් රටෙන් පිටමං කළේ බලවත් අසීරුතා මැද්දේය. ඉන්දියානු ධීවරයින් අපේ මුහුදු සිමාවේ මාළු ඇල්ලීම පසුගිය රජයට හෝ මේ රජයට නැවැත්වීමට නොහැකි වී තිබේ. ඉන්දියානු ධීවර ආක‍්‍රමණය බොහෝ දෙනා සිතනවාට වඩා බලවත් අකාරයෙන් සිදුවෙයි. ලංකා මුහුදේ අපට අයත් මාළු සම්පත මුළුමනින්ම ඉන්දියාවට නතු වන ආකාරය බියජනකය.

දැනටමත් සංචාරක වීසා වලින් ලංකාවට පැමිණෙන ඉන්දියානු ජාතිකයින් වෙළඳාමට අමතරව විවිධ රැකියාවල නිරත වෙති. මෙරටට පැමිණෙන ඉන්දීය ජාතිකයන්ට කටුනායකදී වීසා ලබා ගත හැකිය (Visa on arrival). සමහර ඉන්දියානු ජාතිකයින් ත්‍රි රෝද රථ රියැදුරන් ලෙස කටයුතු කරන බව ත්‍රි රෝද රථ රියැදුරන්ගේ සංගමය ප‍්‍රකාශ කරයි. අම්පාර වැනි ප‍්‍රදේශවල කුඹුරු වැඩ වල යෙදෙන කුලී ඉන්දියානුවන් ගැන ද වාර්තා වේ. 

රජයේ මැති ඇමතිවරු කියන්නේ රාජපක්ෂ පාලන සමයේ දි චීන ජාතිකයින් ලංකාවේ සේවා සදහා යොදා ගත් බවයි. විවිධ ව්‍යාපෘති සඳහා මෙරටට පැමිණෙන චීන්නු ආපසු යති. එහෙත් ඉන්දියානුවන්, විශේෂයෙන්ම තම්ල්නාඩුවේ ඉන්දියානුවන් ගැන ඒ සහතිකය දෙන්නට නොහැකිය. මේ පිළිබඳ උපහාසාත්මක අදහස් දැක් වු බුද්ධිමතෙක් කියා සිටියේ "එන්ටර් ද ඩ‍්‍රැගන්" මෙන් නොව "එන්ටර් කල්ලතෝනි" ආපසු යවන එක බොරු බවය. අතීතයේ ලංකාවට නිතී විරෝධි ලෙස පැමිණෙන ඉන්දියානුවන් හැඳින්වීමට යොදා ගත් වචනය "කල්ලතෝනි"ය. යටත් විජීත සමයේ තේ වතුවල කුලීි වැඩවලට ගෙන ආ ඉන්දියානුවන් වෙනම ජන කොටසක් ලෙස සලකා ඔවුන්ට පුරවැසි කම දෙන්නට පසු කාලීන රජයන්ට සිදු විය. "ඉන්දියානු ව්‍යාප්තවාදය" හා එහි භයනකත්වය රටට හඳුන්වා දුන්නේ රෝහණ විජේවීරය. එය ජනතා විමුක්ති පෙරමුණේ පංති පහෙන් එකක තේමාව විය. හඳුන්නෙත්ති පංති පහ ඉගෙන ගත්, පසුව පංති පහ ඉගැන්වු ජවිපෙ සහෝදරයෙක් බව සිතමි. ඝාතනය වු තම නායකයාට දැන් කෘතගුණ දක්වන්නට නම් හඳුන්නෙත්ති, ලාල් කාන්ත, අනුර කුමාර දිසානායක ආදීහු දිවි පරදුවට තබා හෝ ETCA පරාජය කළ යුතුය. 

සුනිල් හඳුන්නේත්ති මේ රජයේ ප‍්‍රබල අමාත්‍යවරයෙකුට අපුරු යෝජනාවක් කළේය. අපට අනුකාම්පාවෙන් පිනට දෙන මෝඩි ගේ ඇමිබියුලන්ස්වලට උපහාරයක් ලෙස ඉන්දියාවට ශ්‍රි ලංකාව විසින් වැසිකිළි තනා දෙමු කියාය. එවිට අපේ ඇමතිවරුන්ට ඒවා විවෘත කොට ඔවුන්ගේ නම් එම සමරු ඵලක සටහන් කරන්නට පුළුවන් බවය. ඒ වැසිකිළි වලට යෙදිය යුත්තේ කාගේ නමද කියා ඔහු කීවේ නැත. 

මෙය වැසිකිළි සටනකින් ඔබ්බට ගෙන යාම ජවිපෙ ඇතුළු අප සියළු දෙනාගේම වගකීමයි. "එන්ටද ද ඩ‍්‍රැගන්" මෙන් නොව "එන්ටර් කල්ලතෝනි" ආක‍්‍රමණයට ඉඩ දුන්නොත් අපේ රටේ වැදගත් වෘත්තීන් රැසක්ම වැසිකිළි වලවල්වලට තල්ලූ වන බව නම් සැබෑය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

කාලීන 2133107536157964193

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item