71 'විශ්‍රාමික කැරළිකරුවන්ට' දෝහීන් ලෙස සලකා ජවිපෙන් ප්‍රහාරයක්

ධර්මන් වික්‍රමරත්න ලාංකීය වමේ දේශපාලන පක්ෂ, කණ්ඩායම් හෝ කල්ලි වලින් බහුතරයක්ම වාගේ අවට ලෝකය දෙ...

ධර්මන් වික්‍රමරත්න

ලාංකීය වමේ දේශපාලන පක්ෂ, කණ්ඩායම් හෝ කල්ලි වලින් බහුතරයක්ම වාගේ අවට ලෝකය දෙස බලන්නේ අමුතුම කණ්නාඩියකිනි. ඒ අනුව යමෙකු පක්ෂය හැරගොස් වෙනත් පක්ෂයකට එක්වූයේනම් ඔහු විනාශකල යුතු දෝහියෙකි. පාවාදෙන්නෙක් සහ ප්‍රතිගාමීයෙකි. අතීතයේ කල කැපවීම් වලංගු නැත. ඇතැම් පක්ෂවල සම්ප්‍රධාය සහ සංස්කෘතියේ අංගයක් බවටද එය පත්ව තිබේ. පළමු කැරැල්ලෙන් වසර 16 පසුව රෝහණ විජේවීරගේ ප්‍රධානත්වයෙන් වඩා නිර්භීත සහ සහාසික ආකාරයකින් දියත්කළ ජවිපෙ 2වැනි කැරැල්ලේදී ඔවුන්ගේ දෝහීන් බවට පත්වූ පිරිස අතර 1971 අප්‍රේල් කැරැල්ලේ සිට 1983 ජුලි පක්ෂ තහනම දක්වා අතර කාල වකවානුවේදී ජවිපෙ සමඟ එක්ව කටයුතුකර පසුව  ජවිපෙන් ඉවත්ව වෙනත් දේශපාලන පක්ෂ, කණ්ඩායම් හෝ කල්ලි සාදාගත් හිටපු ජවිපෙ සාමාජිකයින්ද විය. ජවිපෙ කණ්ඩායම් කල්ලි මතුවීම සහ කැඩීයාම ජවිපෙට එරෙහි බොහෝ දෙනාට  ආස්වාදයක් ගෙනදුන් අතර සතුරාගේ සතුරා මිතුරා යන න්‍යායෙන් ඔවුහු වැලඳ ගත්හ.

 ජවිපෙ 2වැනි කැරැල්ලේදී 1986 සිට 1990 දක්වා ඊට ක්‍රියාකාරී ලෙස එරෙහිවූවන් බවට පත්වූයේද 71 කැරැල්ලේ හිටපු සාමාජිකයෝය. ජවිපෙ ඔවුන් හැදින්වූයේ '71 විශ්‍රාමික කැරළිකරුවන්' ලෙසය. ජවිපෙන් ඉවත්ව දේශපාලනයෙන් නිහඬවූ අයට කැරළිකරුවන්ගෙන් ගැටළුවක් නොවීය. සමාජය විප්ලවීය පරිවර්තනයක් සඳහා ‍ඔසවා තැබීමට ජවිපෙ වෙනුවෙන් පුරෝගාමී වැඩ කොටසක් කල 71 අප්‍රේල් අරගලකරුවන් සිය ගණනක්ද ජවිපෙ දෙවැනි කැරැල්ලේදී මියගිය දසදහසක් දෙනා අතර විය. ජවිපෙ 2වැනි කැරැල්ලේ දේශපාලන මණ්ඩල සභිකයින් 13 දෙනාගෙන් 8 දෙනෙකු 1971 අප්‍රේල් කැරළිකරුවන්ය. එමෙන්ම ජවිපෙ 2වැනි කැරළි සමයේ සිටි මධ්‍යම කාරක සභිකයින් 30 දෙනා අතර 1971 අප්‍රේල් කැරැල්ලට සහභාගි වූ 17 දෙනෙකුද ඇතුළත් විය. ජවි‍පෙ විසින් දියත් කරන ලද ප්‍රථම කැරැල්ල වන 1971දී ග්‍රාමීය තරුණයෝද, 2වැනි කැරැල්ල වන 1986 සිට 90 දක්වා ශිෂ්‍ය ව්‍යාපාරයද වැඩි බරක් අදිනු ලැබීය.

ජවිපෙන් ඉවත්වී වෙනත් පක්ෂ හෝ කණ්ඩායම් වලට සෘජුව හෝ වක්‍රව උදව්කල අයද ජවිපෙ විසින් දෝහීන් ලෙස හදුන්වනු ලැබූ සිය ගණනක් අතරින් කිහිප දෙනෙකු ඝාතනය කරන ලදී. ඇතමෙකු ආණ්ඩුවේ මිල්ටරි සහ අsර්ධ මිල්ටරි කණ්ඩායම් සමඟ එක්ව ජවිපෙ සාමාජිකයින් සහ හිතවතුන් හඹාගොස් ඔවුන් ඝාතනයට ලක්කලහ. තවත් පිරිසක් ජවිපෙ තර්ජන වලින් ආරක්ෂාවීම සඳහා පදිංචි ස්ථානයන් තාවකාලිකව වෙනස්කල අතර ඇතමෙක් විදේශයන්හි රැකියාවන්ට සංක්‍රමණය විය. තර්ජනයට ලක්වූ අය සාමූහිකව ආරක්ෂිත ස්ථානයන්හි පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂකයින්ගේ රැකවරණය යටතේ සිටි අවස්ථාද විය. ජවිපෙ මගින් ඝාතනයට ලක්වූ ඇතමුන්ගේ අවසන් කටයුතු සිදුකරනු ලැබුවේද ජවිපෙ තර්ජන හේතුවෙන් කැරළිකරුවන්ගේ නියෝග වලට අනුකූලවය. දේහයන් ඇතැම් අවස්ථාවලදී ගෙනයන ලද්දේද කැරළිකරුවන්ගේ නියෝගය පරිදි දණහිසෙන් පහළට ඔසවා ගෙනය.

පාර්ලිමේන්තු කාලය දීර්ඝ කර ගැනීම සඳහා එජාප ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට පිටුපාමීන් ජනමත විචාරණයක් පැවැත්වූ අතර එහිදී රජය වැඩි ඡන්ද 532,240කින් ජයගනු ලැබීය. ජනමත විචාරණයේදී රජයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 3,141,223වූ අතර මැතිවරණ ආසන 168න් 48ක් එජාප ආණ්ඩුව පරාජයට පත්වූ අතර ඉන් 19ක් තිබුණේ උතුරු සහ නැගෙනහිරය. ඉතිරිවූ ආසන 29න් 18ක අතුරු මැතිවරණ 1983 මැයි 18වැනිදා පැවැත්වීමට රජය තීරණය කළේය. එම ආසන 18න් ආසන 5කට ජවිපෙ තරඟ කල අතර හබරාදූවේදී ස්වාධීන අපේක්ෂක ප්‍රින්ස් ගුණසේකරට සහාය ලබාදෙන ලදී. ඒ අනුව ජවිපෙ තංගල්ලට විජිත රණවීරද, බෙලිඅත්තට ආරියසේන ඊෂ්වරගේද, ‍දෙව්නුවරට කේ.එච්. ජයන්තද, කඹුරුපිටියට ප්‍රේමචන්ද්‍ර මුණසිංහද, රත්ගමට වෛද්‍ය කේ.එස්.නන්දසේන ප්‍රනාන්දුද ඉදිරිපත් කරන ලදී. අතුරු මැතිවරණ පැවති ආසන 18න් එජාපය 14ක් ජයග්‍රහණය කල අතර ශ්‍රිලනිප 4ක් ජය ගත්හ. ජවිපෙ තරඟ කල ආසන 5ම තෙවන ස්ථානය හිමිවිය. ජනමත විචාරණය ප්‍රෝඩාවක් බව කියමින් ජවිපෙ එයට එරෙහිව  නෛතික ක්‍රියාමාර්ග වලට යොමුවූ අතර උද්ඝෝෂණයක්ද ගෙන යන ලදී.

රත්ගම ආසනයට ජවිපෙන් එම අතුරු මැතිවරණයට තරඟකල වෛද්‍ය නන්දසේන ප්‍රනාන්දු 1983 පක්ෂ තහනමට පෙර ජවිපෙන් ඉවත්ව නව සමසමාජ පක්ෂයට බැදුණේය. ගාල්ල අක්මීමන උපන් ඔහු ජවිපෙ සාමාජිකයින් සහ හිතවතුන් සමඟ සබදතා වෛද්‍යවරයෙකු වශයෙන් දිගටම පවත්වාගෙන ගියේය. එජාප රජය මගින් දේශපාලන දඬුවමක් වශයෙන් ඔහු වව්නියාවට මාරුකල අතර වව්නියාවේදී පුරවැසි කමිටුවක් ගොඩනගමින් සිවිල් අයිතීන් රැකගැනීමට පෙරමුණ ගත්හ. එම කටයුතුවලට මැදිහත්වීම නිසා වරෙක රජය මගින් ඔහුගේ සේවයද අත්හිටුවන ලදී. ගාල්ල හපුගල්ල නිවස ඉදිරිපිට පුතු සමඟ සිටියදි 1988 මැයි 12වැනිදා ජවිපෙ මගින් වෛද්‍ය ප්‍රනාන්දු ඝාතනය කරන ලදී. එහිදී වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ වෛද්‍ය නන්දසේනගේ 17හැවිරිදි පුතු නිමල්ද 1988 අගෝස්තු 30වැනිදා මරුමුවට පත්විය.

කියුබාවේ හවානා නුවර 1978දී ලොව පුරා නියෝජිතයෝ 13,000කගේ සහභාගිත්වයෙන් පැවති ලෝක තරුණ සහ ශිෂ්‍ය උළෙලට ලංකාවෙන් සහභාගිවූ නියෝජිතයින් 100කට ආසන්න පිරිස අතර ජවිපෙ නියෝජනය කරමින් රෝහණ විජේවීර, කෙලී සේනානායක, වාස් තිලකරත්න, සෝමවංශ අමරසිංහ සහ සුනිලා අබේසේකරද විය. දේශපාලන මණ්ඩල සභික කෙලී සේනානායකට විනය හේතූන් මත ජවිපෙන් 1979දී ඉවත්වීමට සිදුවූ අතර ඒ සමඟම සුනිලා අබේ‍සේකරද පක්ෂය අතහැර ගියාය. බලපිටියේ උපන් කෙලී සේනානායක ධර්මාශෝක විද්‍යාලයේ ජේෂ්ඨය 1965දී සමත්වීමෙන් පසු රංජිත් කුලකුලසූරිය මගින් ජවිපෙට 1968දී බැදිණි. විජේවීර සමඟ 1971 මාර්තු 13 වැනිදා අම්පාරේදී අත්අඩංගුවට පත්වූ කෙලී 1977 නිදහස් වීමෙන් පසු ජවිපෙ යළි නඟාසිටුවීම සඳහා පුරෝගාමි මෙහෙයක් කල අයෙකි. ජවිපෙන් ඉවත්වීමෙන් පසු ජවිපෙ විරෝධීන් අතර පෙරමුණේම සිටි කෙලී, ජවිපෙ ප්‍රධාන ඝාතන ඉලක්කයක් බවටද පත්විය.

ලිබරල් ප්‍රතිපත්තිවලට බර දේශපාලන මණ්ඩල සභික උපාලි රන්දෙනිය 1982 පක්ෂය හැරගිය අතර වසර 1982 අවසානය වන විට ජනාධිපතිවරණය සහ ජනමත විචාරණයේ ප්‍රතිඵල තුළින් ඇතිවූ ජවිපෙ පසුබෑම තුළ පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුම් දළුලා වැඩිණි. එහි ප්‍රතිඵලයක් ලෙස මුදල්, විනය පිරිහීම්, මහජන නියෝජිතයන් ලෙස ‍වගකීම් පැහැරහැරීම් ඇතුළු හේතු මත ජවිපෙන් කිහිප දෙනෙකු ඉවත්කල අතර එහි ප්‍රධාන දෙදෙනෙකු වූයේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වාස් තිලකරත්න සහ මධ්‍යම කාරක සභික මහින්ද පතිරණය. දෙදෙනාම පසුව ජවිපෙට එරෙහිව සතුරු කණ්ඩායම් ලෙස ක්‍රියා කරන එජාපය සහ වාම ක්‍රියාකාරි කණ්ඩායම්, දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් ‍වලට යොමුවිය. ඒ. ඩී. පී රත්නායක නොහොත්  පොඩි රත්නේ උතුරේ දෙමළ බෙදුම්වාදය පිළිගනිමින් දේශපාලන මණ්ඩලයෙන් 1983 ජුලි 21 ඉවත් විය. ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේද එම මතයට අනුගත වුවද ජවිපෙ බහුතර තීරණය පිළිගත් අතර පක්ෂ තහනමින් පසු 1983 දෙසැම්බර් මස සිට ‍නිල‍ නොවන මට්ටමින් ඉවත්වීමෙන් පසු ජවිපෙ විරෝධීන්ගේ මිතුදමේ දිගුවක් ලෙස ජවිපෙට එරෙහිව 1984 සිට ක්‍රියා කරන තත්ත්වයකට තල්ලුවී තිබිණි.

සුළු ව්‍යාපාරිකයෙකුවූ වැලිගම වල්ලිවල ජෙරමියෙස්ගේ සහ රොස්ලින්ගේ දරුවන් 5 දෙනෙකුගෙන් අයෙකුවූ 1944දී උපන් ලයනල් බෝපගේ මාතර රාහුල සහ ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨ සිසුවෙකු වශයෙන් සිටියදී 1968දී සරත් විජේසිංහ මගින් විජේවීර හදුනාගත් ලයනල් බෝපගේ 1971 අප්‍රේල් කැරැල්ල සම්බන්ධයෙන් මහනඩුවේ දෙවැනි විත්තිකරු විය. පානදුර සරික්කාමුල්ල පන්සලේ සැඟව සිටියදී 1971 අප්‍රේල් 10වැනිදා පානදුර පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. සිරගෙදර සිටින සමයේදී ඉංජිනේරු උපාධියට ලියා සමත් විය. වසර 12ක දිගුකාලීන සිරදඬුවම්වලට යටත් කලද පසුව 1977දී නිදහස් විමෙන් පසු ජවිපෙ ගොඩනැගීම සඳහා දායක විය.  ගාල්ල දිසා සංවර්ධන මැතිවරණයට 1981දී ඉදිරිපත්වී එහි සභිකයෙක් ද විය. විමුක්ති ගී ගායිකාවක් වශයෙන් කටයුතු කල කතෝලික සභාවේ තිඹිරිගස්යාය පල්ලියේ කන්‍යා සොහොයුරියක්වූ චිත්‍රා මුදලිගේ සමඟ අවාහවු බෝපගේ 1980 සිට 1983 ජුලි 29වැනිදා ජවිපෙ තහනම් වන විට ප්‍රධාන ‍ලේකම් වශයෙන් සිටි අතර පසුව අක්‍රීයවී කෙටි කලකින් ඉල්ලා අස්විය. ජවිපෙ 2වැනි කැරැල්ලේ ජීවිත තර්ජන හමුවේ විදේශගතවූ බෝපගේ සිය දරු පවුල සමඟ වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වේ.

නන්දන මාරසිංහ 71 කැරළිකරුවන් අතර සිටි සුවිශේෂි චරිතයක් වන අතර විමුක්ති ගී සාර්ථක කරගැනීම සඳහා කැපවී ක්‍රියාකල අයෙකි. ඔහුගේ පියා විදුහල්පතිවරයෙකි. දක්ෂ තබ්ලා වාදකයෙකුවු නන්දන අනුරාධපුර මධ්‍ය මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන විට ගුරුවරයෙකුවූ මුණසිංහ මගින් 1968දී ඔක්තෝබර් මස ජවිපෙට සම්බන්ධවී පූර්ණකාලිනකයෙකු විය. ඔහු ප්‍රථමවරට  අධ්‍යාපන කඳවුරට සම්බන්ධවූයේ 1968 දෙසැම්බර් මිද්දෙණියේදී වන අතර පොලිස් අත්අඩංගුවට ප්‍රථමවරට පත්වූයේ 1970 මින්නේරියේදීය. අප්‍රේල් කැරැල්ලේදී විජේවීර නිදහස්කර ගැනීම සඳහා කරාටේ සැම්සන්, අම්බලන්ගොඩ තිලකසිරි, කොටවල දේවසිරි හිමි යන අයගේ නායකත්වයෙන් විද්දෝදය සරසවියේ සිට යාපනයට බස් රථයකින් ගිය 60 දෙනාගේ කණ්ඩායමට අනුරාධපුරයෙන් එක්වූවෙකි. ප්‍රහාරය අසාර්ථක වීමෙන් පසුව පළාගිය නන්දන පසුව අනුරාධපුර හිරගෙදර 1972 ඔක්තෝබර් 7 වැනිදා ප්‍රහාරයක් එල්ලකර ජවිපෙ සාමාජිකයින් 31 දෙනෙකු නිදහස්කර ගත්තේය. ඒ සමඟම සිරගෙදර සිටි මරුසිරා, හිතුමතේ ජීවිතේ ඇතුළු සාමාන්‍ය සිරකරුවන් 108 දෙනකු ප්‍රහාරයට මුවාවී පලායෑමට සමත්විය. පසුව 1973 මරදාන ටෙක්නිකල් හංදියේදී ගාමිණී බාස්ගේ පාවාදීමක් මත පොලිස් අත්අඩංගුවට පත්විය. යාපනය හිරගෙදරින් 18දෙනෙකු සමඟ පැනගිය මාරසිංහ නැවත අත්අඩංගුවට ගත් අතර නඩුවට ගෙනයන අතරතුරදී කලාවැව දුම්රිය ස්ථානයේදී නැවත පැනගොස් පොල්ගස්ඕවිටදී නැවත අත්අඩංගුවට පත්විය.

මාරසිංහ 1978 නිදහස් වීමෙන් පසු කලාව මගින් සමාජය වෙනස්කර ගැනිම ජවිපෙ විමුක්ති ගී ප්‍රසංගයට වැඩි බරක් යොදමින් සමාජවාදී කලා සංගමය හරහා ප්‍රබල දායකත්වයක් ලබා දුන්නේය. පසුව 1981 ජවිපෙන් මතවාදීව ඉවත්වී රජරට කේන්ද්‍ර කරගනිමින් ජනතා කලා කේන්ද්‍රය නමින් රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ගනිමින් කලාව හා සාහිත්‍යයට බරතබා ක්‍රියා කළේය.  ජනතා කලා කේන්ද්‍රය පසුව නුවර සහ කුරුණෑගලටද ව්‍යාප්ත කරන ලදී. විමුක්ති ගී බවට විකල්පයක් ලෙස කාලයේ රාවය ප්‍රසංගය බිහිවූයේ ඒ අනුවය. සුනිලා අබේසේකරද එහි ගී ගැයුවාය. අගනුවර කේන්ද්‍ර කරගත් ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂපාතී එන්.ජී.ඕ සංවිධානවල අනුරාධපුර සම්බන්ධීකාරකවරයා වූයේද ඔහුය. ඉන්දු ලංකා ගිවිසුමත් සමඟ 1987 අනුරාධපුර දිස්ත්‍රික් පුරවැසි කමිටුව පිහිටුවා එහි කැඳවුම්කරු විය. ජවිපෙ මගින් අනුරාධපුර පොළ භූමියේදී 1987 නොවැම්බර් 27 ඔහු වෙඩි තබා ඝාතනය කරන ලදී.

නන්දන මාරසිංහගේ ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රාජපක්ෂ ආරච්චිලාගේ ෂෙල්ටන් රාජපක්ෂ නොහොත් සමන් වීරසිංහ ගම්පහ පහළගම පදිංචිකරුවෙකු වූ අතර මුල්පෙළේ සන්නද්ධ නායකයෙකි. ගම්පහ බණ්ඩාරනායක විදුහලෙන් 1982 අපොස උසස් පෙළ විද්‍යා විෂයෙන් සමත්වූ ඔහු බළල් ඇස්වැනි විශේෂ ලක්ෂණයකින් හෙබි ඔහු ශ්‍රී ලංකාවේ සිටින දුර්ලභ පුද්ගලයෙකු ලෙස 1989 අනුරාධපුර විලච්චියේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු හඳුනාගත් ජාතික බුද්ධ කාර්යාංශයේ පොලිස් නිළධාරි පෙරේරා විසින් වාර්තාකර තිබිණි. ෂෙල්ටන් කොස්ඕවිට, ගම්පහ, අනුරාධපුර පොලිසි සහ බන්ධනාගාරවලද සිටි අතර මැගසින් බන්ධනාගාරයෙන් පලායෑමටද වරෙක සමත් විය. දෙබරවැව සරත්ද ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතර පසුව දෙදෙනාම නිදොස් කොට නිදහස් විය. දෙබරවැව සරත් පසුව අවාහ වූයේ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකුවූ 1990 මුල් භාගයේදී ආරක්ෂක හමුදා අතින් ඝාතනයට ලක්වූ සිසිර රන්දෙනියගේ වැන්දඹු බිරිඳ සමඟය. ජවිපෙන් අනුරාධපුර දිසා සංවර්ධන සභිකයෙකු ලෙස 1981දී පත්වූ සිසිර, පක්ෂ නායක විජේවීර 1983 ජුලී යටිබිම් ගතවූ විට  ඔහු සමඟ සමීපව කටයුතු කල 71 කැරළිකරුවෙකි.

ජවිපෙන් 1982 ඉවත්කල පසු රතු භටයෝ සහ ජවිපෙ නව ප්‍රවණතාවය යන මැයින් සන්නද්ධ වාම කණ්ඩායමක් පිහිටුවීමට ප්‍රයත්න දැරූ හිටපු දේශපාලන මණ්ඩල සභික ඊ.එෆ් ද වාස් තිලකරත්න තෙවරක් ජවිපෙ ඝාතන වලින් බේරී බරපතල තුවාල ලැබූ අයෙකි. ජවිපෙන් ඉවත්වූ පසු නිකවැරටිය බැංකු මංකොල්ලයේ සැලසුම්කරුවෙකු ලෙස කටයුතු කල බවට චෝදනා ලැබීය. පෞද්ගලික බස් රථයකින් ගමන් ගනිමින් සිටියදී වෙඩිතැබූ අතර පසුව තුවාල ලබා බදුල්ල මහ රෝහළට ඇතුල් විය. පසු දින රාත්‍රී මහ රෝහළට පැමිණ වෙඩි තැබුවද ඇදේ සිටියේ වෙනත් රෝගියෙකි. රාත්‍රී කාලයේ ආරක්ෂිත පියවරයක් ලෙස ‍ඔහු වෙනත් රෝගියෙකු සමඟ ඇදන් මාරුකරගෙන තිබිණි. යළිත් කොළඹදී වෙඩි තැබුවද ජීවිතය බේරාගැනිමට ඔහු සමත් විය. හැටේ දශකයේ අවසාන භාගයේදී පේරාදෙණිය සරසවියේ උපාධිය හදාරමින් සිටියදී පූර්ණකාලීනව ජවිපෙට එක්වි 71 අප්‍රේල් සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දිගුකාලීනව සිර දඬුවම් වින්දේය.සමාජවාදී තරුණ සංගමයේ ප්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කල  ඔහු 1981දී ගම්පහ සංවර්ධන සභාවට තරඟකර ජවිපෙ කණ්ඩායම මෙහෙයවා එහි සභිකයෙකු වශයෙන්ද කටයුතු කරන ලදී. විමුක්ති ගී ප්‍රසංගය සඳහාද අනගි සහායක් ලබාදුන් වාස් සමඟ එක්වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ පූර්ණකාලීනයින් අතර මීරිගම සමන්, අස්ගිරියේ පියල්, බන්දු, ගනේමුල්ලේ කපිල, කිංස්ලි, සියනෑ පාරේ ජයතිලක, වේයන්ගොඩ සිරිමෙවන්, උදය පොත්හලේ සමන්, අකරවිට සමන්, කොල්වින් ඇතුළු කිහිපදෙනෙක්ද විය.

ජවිපෙන් ඉවත්වූ වාස් තිලකරත්න ජවිපෙ මුළුනුපුටා දැමීමේ ක්‍රියාමාර්ගයකට කෑගල්ලේ විල්ෆඩ් රංජිත් පීරිස්ගේද සහාය ඇතිව ආරක්ෂක හමුදා සමඟ පසු කලෙක එක්විය. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික පී.බි. විමලරත්න නොහොත් ටින්කෝ විමල් ඇතුළු ජවිපෙ සාමාජිකයින් විශාල පිරිසක් ඒ යට‍තේ ඝාතනය විය. පසුකාලයේ රංජිත් පීරිස් විසින් පණ ඇති දෙවිවරු නමින් ස්වයං චරිතාපදානයක් බඳුවූ භීෂණ යුගයට අදාළව අත්පිටපතක්ද ලියා තිබිණි. වාස් තිලකරත්න ඝාතනය කිරීමට තැත් කිරීම පිළිබඳව චෝදනා ලැබුවේ පොතුහැර උපාලි සහ සපුගස්කන්දේ තිලක්ය. රාගම සෝමේගේ උපදෙස් අනුව ජවිපෙන් කැඩී  ගොස් ජවිපෙට එරෙහිවූ අය ඝාතනය කිරීමේ සැලසුම් භාරව සිටි බව කියනුයේ  ගුවන් හමුදා කාර්මික නිලධාරියෙකු වූ කොටුගොඩ පදිංචි 35 හැවිරිදි කෙහෙල්වත්ත ගමරාලලාගේ සිරිපාලය. කඩුවෙල පිට්ටුගල කහන්තොට උපන් සිරිපාල, පන්නිපිටිය ධර්මපාල විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර අපොස උසස්පෙළ සමත්වීමෙන් පසු ගුවන් හමුදාවට බැදෙනවිටද ජවිපෙ සාමාජිකයෙකි. පසුව වාස් අවසානයේ මියගියේ හෘදයාබාධයකිනි.

ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු සහ කොළඹ දිස්ත්‍රික් ජවිපෙ සංවර්ධන සභා සභිකයෙකුවූ ජයසිංහගේ මහින්ද පතිරණ ජවිපෙන් 1982 ඉවත් කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයට එක්වී ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව වැඩ කළේය. කොළඹ දිසා ඇමති සහ කොලොන්නාව මන්ත්‍රී විරසිංහ මල්ලිමාරච්චිගේ ඉතා සමීපතම දේශපාලන සගයෙකු බවට පත්විය. මහින්ද ජවිපෙ හැටේ දශකයේ අවසාන භාගයේදී සම්බන්ධවූ අතර 1971 අප්‍රේල් කැරැල්ල සම්බන්ධයෙන් දිගු කාලීන සිර දඬුවම්වලට ලක්වුවෙකි. සිරෙන් නිදහස්වූ දා පටන් ජවිපෙ ගොඩනැගීමට ඇප කැප වී කටයුතු කල ඔහු සමාජවාදී කම්කරු සංගමයේ නියෝජ්‍ය ලේකම්වරයාද විය. ජවිපෙ විසින් 1987දී වැල්ලම්පිටිය වෙන්නවත්තේ සිය නිවසේදී මහින්ද පතිරණ වෙඩිතබා ඝාතනය කරන ලදී. ඔහු‍ගේ ඝාතනය පිළිබඳව කම්පාවට පත් ඇමති වීරසිංහ මල්ලිමාරච්චි අවමංගල කටයුතු සඳහා පූර්ණ අනුග්‍රහයද දක්වන ලදි.ජවිපෙ 1983 තහනමට පෙර රෝහණ විජේවීරට අමතරව ජවිපෙ ප්‍රධාන පෙළේ ජනප්‍රිය කථිකයින් වූයේ  උපතිස්ස ගමනායක, වාස් තිලකරත්න, මහින්ද පතිරණ, ශාන්ත බංඩාර, එම්.ටී.එම් ඊබ්‍රා ලෙබ්බේ, ගනේෂපිල්ලේ, යූ.එන්.නන්දසීලී, ඒ. එම්. එස්. අයුබ්, අබ්දුල් මුබාරක් ඇතුළු කිහිප දෙනෙකි.

ජවිපෙ ඝාතන තර්ජනවලට මැදිවී ජීවිත බේරා ගැනීමට සමත්වූ 71 අරගලය වෙනුවෙන් සිරබත්කෑ විප්ලවීය අරමුණු වෙනුවෙන් කටයුතු කල කිහිපදෙනා අතර බේරුවල උපන් ඩී.අයි.ජී ධර්මසේකර සහ හබරාදූව උපන් නීතිඥ කල්යානන්ද තිරාණගමද වේ. මෘතෘභූමි ආරක්ෂක සංමයේ නායකයාවූ ධර්මසේකර ජවිපෙට සම්බන්ධ වූයේ 1967 රැකියා විරහිත සමස්ථ ලංකා උපාධිධාරි සංගමයේ සභාපති ලෙසය. මතභේද හේතුකොට ගෙන ජවිපෙන් 1970 මාර්තු මස ඉවතට යන ධර්මසේකර ජවිපෙ විරෝධී මතයක සිට තම මත‍වාදය වෙනුවෙන් පෙනී සිටියෙකි. ඔහුගේ ක්‍රියාකලාපය නිසා ජවිපෙ විසින් ඔහු 1970 සිටම ජවිපෙ විරෝධියෙකු ලෙස හඳුන්වනු ලැබුවෙකි. බේරුවල සිය නිවස අසළ මාර්ගයේ ධර්මසේකර ගමන් කරමින් සිටියදී 1989 ජුලි 6වැනිදා බයිසිකල් දෙකකින් පැමිණි ජවිපෙ කැරළිකරුවන් තිදෙනෙකු මන්නා පිහියක් සහ රිවෝරලයක් අතැතිව ඔහු ඝාතනය කිරීමට පැමිණියද ප්‍රතිප්‍රහාර එල්ල කරමින් මාරාන්තික සටනකින් ජීවිතය බේරාගැනීමට ධර්මසේකරට හැකිවිය. ධර්මසේකර වර්තමානයේ පාරමීදම් පුරමින් උතුරු කළුතර අනගාරික ආශ්‍රමයේ සිටින අනගාරික ධර්මසේකරතුමාය. 

ගිණි පුපුර කණ්ඩායමේ ආරම්භකයාවූ නව ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙකුවූ හබරාදූව හප්පේ පදිංචි නීතිඥ කල්යානන්ද තිරාණගම ඝාතනය කිරීමට කැරළිකරුවන් 1988දී දෙවරක් ප්‍රයත්න දැරූවද එය අසාර්ථක විය. එහෙත් ඔහුගේ ඥාතියෙකුවන වාම ක්‍රියාකාරි නන්දසේන තිරාණගම 1988 නොවැම්බර් 25වැනිදා ඝාතනයට ලක්විය. මානව හිමිකම් සහ නීතිවේදී සංවිධානයේ අධ්‍යක්ෂකවරයාද වන කල්යානන්ද තිරාණගම ඒ වන විට අත්අඩංගුවට ගත් තරුණයින් වෙනුවෙන් හබයා කෝපූස් නඩු අධිකරණයට ඉදිරිපත් කල ප්‍රකට නීතිඥයෙකි. ජවිපෙ 2වැනි කැරළි සමයේදී අත්අඩංගුවට ගත් 1,123ක් වෙනුවෙන් ඔහු විසින් 1986 සිට 1990 දක්වා හබයා ‍කෝපූස් නඩු ඉදිරිපත්කර තිබිණි.

ජවිපෙ 71 කැරැල්‍ලට එක්වී සැමදෙනාගේම ගෞරවයට පත්වූ නොමළ මිනිසුන් ලෙස හැදින්විය හැකි රංජිත් දිසානායක හෙවත් කළු රංජිවැනි අයටද ආරක්ෂිත උපක්‍රම භාවිතා කිරීමට සිදුවිය. රංජිත් දිසානායකගේ ව්‍යාපාරික ස්ථානය රත්මලානේ පිහිටා තිබූ අතර ජවිපෙ මගින් එය සම්බන්ධීකරණ තිප්පොලක් ලෙස භාවිතයට ගෙන තිබිණි. එහිදී ජවිපෙ ජතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ දකුණු සහ බස්නාහිර පළාත් නායකයාවූ අකුරැස්ස ඇල්ගිරියේ උපන් ප්‍රේමචන්ද්‍ර මුණසිංහ හෙවත් ජයතිලක සහ තවත් ජවිපෙ ක්‍රියාකාරිකයෙක් ප්‍රා සංවිධානය මගින් වෙඩිතබා ඝාතනය කරන ලදී. හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ලට ක්‍රියාකාරිව එක්වු මුණසිංහ, වීරවිල එළිමහන් කඳවුරේ සිටියදී 1972 මැයි 8දා පළාගිය අතර යළි නොවැම්බර් 14වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. කුසුමා බුද්ධිකෝරාලගේ සැමියාවු මුණසිංහ 1982 කඹුරුපිටිය අතුරු මැතිවරණයටද ජවි‍පෙ වෙනුවෙන් තරඟකල අයෙකි. මෙම ඝාතනයන් රංජිත් දිසානායකගේ දැනුවත් කමින් සිදුවූවක් බවට කැරළිකරුවන් සැකකල අතර ඔහු සහ ඔහුගේ දරුපවුලට ජීවිත රැකගැනීම සඳහා ඉතාලියට සංක්‍රමණය වීමට සිදුවිය.

ජවිපෙ මගින් උපක්‍රමික ක්‍රියාමාර්ගයන් වශයෙන් 71 අප්‍රේල් කැරළිකරුවන් කිහිප දෙනෙකු සමඟ අවබෝධතා එකඟත්වයක් ඇති කරගත් අතර වික්ටර් අයිවන් සහ ගාමිණී යාපා ඇතුළු කිහිප දෙනෙක්ම ඒ අතර විය. රාවය මාසික සඟරාවේ කතුවරයාවූ වික්ටර් අයිවන් ගාල්‍ලේ අක්මීමන උපන් අතර 1967 ජවිපෙට බැදී ආයුධ අංශය භාරව ක්‍රියාකල නායකයෙකි. පෙරදිග සුළඟ ව්‍යාපාරයේ නායකයෙකුවූ 1942 උපන් ගාමිණී යාපා ගුරු යුවලකගේ 5 දෙනෙක්ගෙන් යුත් පවුලක වැඩිමලාය. කොළඹ සරසවියේ විද්‍යා උපාධිධාරියෙකුවූ ඔහු 1961දී ලංකා කොමියුනිස්ට් පක්ෂයට බැදී දේශපාලනයට එක්විය. මහජන චීන කොමියුනිස්ට් පක්ෂයේ පූර්වාදර්ශ සහිත විප්ලව ක්‍රියාමාර්ගික මතය ඇතිව කටයුතු කල යාපා 1974දී අත්අඩංගුවට පත්විය. සමස්ථ ලංකා ගොවි සම්මේලනය මධ්‍යම පළාත් සංවිධායකවරයෙකු ලෙස 1980 අනුරාධපුරයේදී පත්වූ ඔහු ඒ හරහා මධ්‍යම පළාතේද ගැමි කාන්තා සමිති සම්මේලනය හරහා දකුණු පළාතේද විශාල සම්බන්ධකම් ප්‍රමාණයක් 1986වන විට ගොඩ නඟාගෙන තිබිණි.

ජවිපෙන් ඉවත් කල සහ ඉවත්වු පුද්ගලයින් සහ කණ්ඩායම් ජවිපෙ පක්ෂ තහනමින් පසු බිහිවූ දෙමළ බෙදුම්වාදයට පක්ෂපාතී වාම සන්නද්ධ ව්‍යාපාර ලෙස පෙනී සිටි සමාජවාදී ජනතා ව්‍යාපාරයට සහ විකල්ප කණ්ඩායමට සෘජුවම සහාය දුන්හ. සමාජවාදී ජනතා ව්‍යාපාරයේ කණ්ඩායමට කොමියුනිස්ට් පක්ෂයේ තරුණ නායකයින්ව සිටි ඉන්දික ගුණවර්ධන,  ජයතිලකද සිල්වා, ගුරු සමිති නායක පෝලියර් ගුණවර්ධන, වාස් තිලකරත්න ඇතුළු 44දෙනෙකු අයත් විය. මොවුන්ට එරෙහිවද රජය මගින් 1987 ජුලි 15වැනිදා කොළඹ මහාධිකරණය මගින් නඩු පවරණ ලදී. විකල්ප කණ්ඩායමට ජෝ සෙනෙවිරත්න, සී.ජේ. සෙනෙවිරත්න, ඊ.පී.ආර්.එල්.එෆ් නායක පද්මනාභ, ඩී. ජයතිලක, දයාපාල තිරානගම ඇතුළු 23 දෙනෙක් අයත් විය. මෙම 23 කණ්ඩායමටද එරෙහිව රජය පෙරළීමට තැත්කිරීම සම්බන්ධයෙන් 1987 මාර්තු මස නඩු පවරණ ලදී. මෙම කණ්ඩායම් සියල්ල ජවිපෙ සමඟ එක පෙළට දිවීමට තැත් කිරීම නිසා අවසාන ප්‍රතිඵලය වුයේ අන්ත සාවද්‍ය උපක්‍රම මත පිහිටමින් විප්ලවිය දේශපාලනයේ විකාරයක් බවට පත් විමය. ජවිපෙ අභිබවා යාමට තරුණයින්ට ආයුධ පෙන්විම පමණක් ප්‍රමාණවත් නොවන බව එම කණ්ඩායම් තේරුම් නොගත්හ.  

උඩුවරගේ හෙන්රි පෙරේරාගේ රතු භටයෝ කණ්ඩායමට වසර 1984 අප්‍රේල් 1වැනිදා සිට සැප්තැම්බර් 3 දක්වා මාස 6ක කාලය තුළ ජවිපෙන් ඉවත්වූ කිහිපදෙනෙකුගේ සහාය හිමිවිය. ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී උප පොලිස් අධිකාරි චන්ද්‍රා ජයවර්ධනට දීර්ඝ කටඋත්තරයක්දි තිබිණි. උඩුවරගේ හෙන්රි පෙරේරාට ‍එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණ විනිසුරු එච්. ඩබ්ලිව් සේනානායක ඉදිරියේ 1986 අවසානයේදී නඩු පවරන ලදී. ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක කිරීමත් සමඟම එහි කොන්දේසියක් වශයෙන් සමාජවාදී ජනතා ව්‍යාපාරය, විකල්ප කණ්ඩායම, රතු භටයෝ ඇතුළු දකුණේ ජවිපෙ නොවන වාම සන්නද්ධ සංවිධානවල නඩු පැවරූ සහ අත්අඩංගුවට ගෙන තිබූ සියළු චූදිතයින් රජය මගින් 1988 අප්‍රේල් 22වැනිදා නිදොස් කොට නිදහස් කරන ලදී.

දික්වැල්ලේ ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයෙකුවු ඊ.ජී.ජේ. පතිරත්න 1988 පෙබරවාරි 18වැනිදා ඝාතනය කරන ලදී. මිය යන විට පතිරත්න ශ්‍රිලනිප සාමාජිකයෙකු විය. ගුණසේන මහානාමගේ එක්සත් සමාජවාදීයෝ කණ්ඩායමේ එච්.ඩී.ඒ. චන්ද්‍රසිරි කොස්ගස් හන්දියේ 1988 නොවැම්බර් 17වැනිදා පැවති මහජන පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියට ජවිපෙ කල බෝම්බ ප්‍රහාරයෙන් මියගිය තිදෙනා අතර විය. රජයේ ලිපිකරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයාවූ එක්සත් සමාජවාදීයෝ ආරම්භකයෙකුවූ එම්.කේ. මෙත්තානන්ද 1989 මැයි 31වැනිදා දෙයියන්දර සිය නිවසේදී ඝාතනය ලදී. තංගල්ල උප දිසාපති කාර්යාලයේ ලිපිකරුවෙකුවූ 45 හැවිරිදි මෙත්තානන්ද ඝාතනය කරන විට කුඩා දරුවාගේ වයස මාස 5කි. කෘෂිකාර්මික උපදේශකවරයෙකුවූ ප්‍රබුද්ධ සමාජය සංවිධානයේ සභාපති වීරකෝන් බණ්ඩාර 1989 පෙබරවාරි 9වැනිදාද ග්‍රාමීය ජනතාවගේ අරගලයන්හිදී යුක්තිය වෙනුවෙන් පෙනී සිටි වාම ක්‍රියාකාරිකයෙකුවූ ජනප්‍රිය විද්‍යා ගුරු බී.එම්. විජේසිංහ 1989 පෙබරවාරි 9වැනිදාද ඝාතනයට ලක්විය.

ජවිපෙ මගින් විවිධ වාමාංශික පක්ෂ වලට පමණක් නොව කණ්ඩායම් සහ කල්ලි වලට එරෙහිව සිය ප්‍රහාරය දියත් කිරීම යටතේ විප්ලවාදී කොමියුනිස්ට් පක්ෂයේ කම්කරු මාවත සාමාජිකයන්(වර්තමානයේ සමාජවාදී සමානතා පක්ෂයේ) ති‍දෙනෙක් ඒ අනුව ඝාතනයට ලක්කරන ලදී. ඌව පරණගම පාසැල් ගුරුවරයෙකුවූ ආර්. ඒ. පිටවෙල 1988 නොවැම්බර් 12 වැනිදා වැලිමඩ හඟුන්නාවේද, පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ සේවක පී.එම්. ගුණපාල 1988 දෙසැම්බර් 23 වැනිදා පේරාදෙණිය රජවත්තේද, හලාවත ගීකියනගේ ග්‍රේෂන් ලියෝ ඇන්තනි 1989 ජුනි 24වැනිදාද වෙඩිතබා ඝාතනය කරන ලදී. පිටවෙල ඝාතනය කර ලයිට් කනුවක එල්ලා තිබූ අතර, ගුණපාල ඝාතනය කර තිබුණේ නේවාසිකාගාරයට පැමිණෙමින් සිටියදී මහමඟය. පිටවෙල රජයේ හේවුඩ් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේදී නැටුම් කලාව පිළිබද ඉගෙන 1975දී රජයේ නැටුම් ගුරුවරයෙකු ලෙස පත්විය. අසූවේ ජුලි වැඩවර්ජනයෙන් පසු ඔහුගේ රැකියාව වසර 7කට අහිමි විය. 

 විවේචන අත්‍යාවශ්‍යය. එය ඕනෑම සමාජ සංවිධානයක දියුණුවට අත්‍යාවශ්‍ය වූවකි. එහෙත් එකී පුද්ගලයාට හෝ සංවිධානයට එකී විවේචනය අවශෝෂණය කරගත හැකි පරිදි එකී විවේචනයේ විවෘතභාවය රැදී තිබිය යුතුය. ද්වේෂ සහගත විවේචනයකින් අනෙකා යටපත් වනවා මිසෙක ගොඩනැගීමක් වන්නේ නැත. වමේ ‍දේශපාලනය යනු වීරයන් නිර්මාණය කර නොගත යුතුම කලාපයකි. මක් නිසාද යත් ඔවුහු භෞතිකව ජීවත්ව සිටියදී පවා දේශපාලනිකව මිය යා හැකි නිසා බැවිනි. ජවිපෙන් කැඩී ගොස් ජවිපෙම දෝහීන් බවට පත්වූ කලක් එහි ආරක්ෂකයින්වූ 71 කැරළිකරුවන් දෙමළ බෙදුම්වාදි සන්නද්ධ සංවිධානවලද සහාය ඇතිව ජවිපෙ විරෝධී විකල්ප වාමාංශික කණ්ඩායම් ගොඩනඟන විට ඇතමුන්ට එය ප්‍රබෝධජනක අපේක්ෂාවක් විය. ‍එහෙත් එම අපේක්ෂාවන්ට කිසිදු අර්ථයක් ලැබුණේ නැත. අවසානයේ එම කණ්ඩායම්ද කැඩී බිදී වෙන්ව පඹගාලක් බවට පත්වී සියතින්ම 'සියදිවි' නසා ගත්හ.

(1986/90 සමයේ ඝාතනයට ලක්වූ ජවිපෙන් ඉවත්කල සහ ඉවත්වූ පුද්ගලයින් පිළිබදව ඔබ දන්නා ඡායාරූප සහ තොරතුරු පහත ආකාරයට යොමුකල හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර.දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: ejournalists@gmail.com) The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 8379741659148334933

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item