ෆිදෙල් කැස්ත්‍රෝ 90 වන උපන් දිනය සමරයි

ෆිදෙල් 2016 අප්‍රේල් කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේදී (සේයා රුව ඔමාරා ගාර්ෂියා - රොයිටර්ස්) කියුබාවේ සමාජවාදී විප්ලවයේ නායක ෆිදෙල් කැස්ත්‍...

ෆිදෙල් 2016 අප්‍රේල් කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේදී (සේයා රුව ඔමාරා ගාර්ෂියා - රොයිටර්ස්)
කියුබාවේ සමාජවාදී විප්ලවයේ නායක ෆිදෙල් කැස්ත්‍රෝ ඊයේ සිය 90 වන උපන් දිනය සැමරීය​.

1959 ජනවාරි මාසයේ ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ පාලනය බිඳ වැටීමෙන් පසු එරට නායකත්වයට පත් ෆිදෙල් 2008 පෙබරවාරිය වන තුරු එරට පාලනය කළේය​. එමෙන්ම කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස ඔහු 2011 තෙක් කටයුතු කළේය​. 2008 දී රාජ්‍ය නායකත්වය සිය සහෝදර රාවුල් කැස්ත්‍රෝට පැවරූ ෆිදෙල් 2011 දී පක්ෂ තනතුරුවලින් ද ඉවත් වූ පසු දේශපාලන කටයුතුවලින් ඈත් වූයේය​.

1926 අගෝස්තු 13 වනදා උපන් ෆිදෙල් කැස්ත්‍රෝ මුල් වරට ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ පාලනයට එරෙහිව කැරලි ගැසුවේ 1953 දී මොන්කාඩා බැරැක්කයට පහර දීමෙනි. එම ප්‍රහාරය අසාර්ථක වූ පසු ඔහු අත් අඩංගුවට ගන්නා ලද අතර පසුව පැවති නඩු විභාගය ඔහු සිය චතුර කථිකත්වය සහ තර්කන හැකියාව ප්‍රදර්ශනය කිරීමට මැනැවින් යොදා ගත්තේය​. එම නඩු විභාගය කියුබානු රජය සහ හමුදාව දැඩි අපහසුතාවකට පත් කළේය​. නඩු විභාගය අවසානයේදී කැස්ත්‍රෝ කළ කතාව පසු කාළයක දී "ඉතිහාසය විසින් මා නිවැරදි කරනු ඇත​" නම් පොත් පිංචක් ලෙස මුද්‍රණය කොට ලොව වටා බෙදා හැරිණ​.


වසර 15 කට බන්ධනාගාරයට නියම වූ කැස්ත්‍රෝ පසුව රටින් පිටුවහල් කරන ලදී. 1956 දී සිය සහෝදර රාවුල් සහ මෑතකදී හමුවූ ආර්ජන්ටිනා ජාතික විප්ලවවාදියකු වූ චේ ගුවේරා ඇතුලු පිරිසක් සමඟ ග්‍රැන්මා නම් බෝට්ටුවකින් යළි කියුබාවට ගොඩබට කැස්ත්‍රෝ බැටිස්ටාට එරෙහි ගරිල්ලා සටනක් ඇරඹීය​.

දරුණු දූෂණ චෝදනා එල්ලවූ බැටිස්ටා පාලනය කෙරෙහි මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයද කළකිරෙමින් සිටියේය​. මේ හේතුවද කැස්ත්‍රෝගේ විප්ලවයට ආධාරයක් විය​. 1959 ජනවාරි 1 වනදා බැටිස්ටා රටින් පළා ගිය අතර කැස්ත්‍රෝ ජයග්‍රාහී ලෙස හවානා අගනුවරට ඇතුලු විය​.


කැස්ත්‍රෝ කිනම් ආකාරයේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇත්දැයි එකවර පැහැදිලි වූයේ නැත​. ඔහු නායකත්වය දුන්නේ ජූලි 26 ව්‍යාපාරය නම් වූ සංවිධානයකට ය​. ඔහුගේ ප්‍රතිපත්ති වාමාංශික වුවද කෙලින්ම සෝවියට් දේශයට ඔහු නැඹුරු වනු ඇතැයි එකවර පැහැදිලි නොවීය​. බලයට පැමිණ සුලු කලෙකින් ඔහු ඇමරිකාව ඇතුලු රටවල් කිහිපයකම සංචාරය කළ අතර ඇමරිකාවේදී උප ජනාධිපති රිචර්ඩ් නික්සන් පවා හමු විය​.

කැස්ත්‍රෝ සහ කැමිලෝ හවානාවට (සේයා රුව ලුවී කෝර්ඩා)
ඇමරිකා එක්සත් ජනපදය සහ කියුබාව අතර සබඳතා කෙටි කලකින්ම පලුදු වන්නට විය​. සී. අයි. ඒ. සංවිධානයේ ආධාර ඇතිව කළ "බේ ඔෆ් පිග්ස්" ආක්‍රමණය සහ කියුබානු මිසයිල අර්බුධය එම රටවල් එකිනෙකාගෙන් ඈත් කළේය​. 1961 සිට ඉතා මෑතක් වනතුරු ම දෙරට අතර තානාපති සබඳතා පැවතියේ නැත​.

කැස්ත්‍රෝ යටතේ කියුබාව සමාජවාදී මාවතකට යොමු වූ අතර ආර්ථිකය මධ්‍යගත කෙරිණ​. කලාපයේ මෙන්ම ඉන් පිටත ද සමාජවාදී විප්ලව සඳහා ආධාර දීම ද කියුබානු ප්‍රතිපත්තියක් බවට පත් විය​. කියුබානු හමුදා ඇන්ගෝලාවේදී කළ කාර්යභාරය මෙහිදී ප්‍රධාන වශයෙන් කැපී පෙනුණි.

සෝවියට් දේශයේ වැටීමෙන් පසු කැස්ත්‍රෝ යම් යම් වෙනස්කම් ආර්ථිකය තුළ ඇති කළ ද​, වඩා පුලුල් ප්‍රතිසංස්කරණ සඳහා කියුබාව යොමු වූයේ ඔහුගේ සහෝදර රාවුල් කැස්ත්‍රෝ බලයට පත්වීමෙන් පසුව ය​.

අයහපත් සෞඛ්‍යය තත්ත්වය හේතුවෙන් ෆිදෙල් කැස්ත්‍රෝ වර්තමානයේදී මහජනයා ඉදිරියේ පෙනී සිටින්නේ ඉතා අඩුවෙනි. පසුගිය අප්‍රේල් මාසයේදී පැවති කියුබානු කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය ඔහු අවසන් වරට ප්‍රසිද්ධ කතාවක් පැවැත්වූ අවස්ථාව විය​. ඉතාම හැඟීම්බර කතාවක් වූ එය ඇතැම් කොමියුනිස්ට් පාක්ෂිකයන්ගේ දෙනෙත් නිතැතින්ම තෙත් කළේය​.

"ළඟදීම මට වයස අවුරුදු අනූවක් වෙනවා. වැඩි කල් නොගොසින් මමත් අනෙක් අය වගේ වේවි. අපි හැමෝටම අපේ කාළය එනු ඇති" ඔහු අප්‍රේල් පක්ෂ සමුලුවේදී ප්‍රකාශ කළේය​.
Castro and Nixon

90 වන උපන් දින සැමරුම​

කැස්ත්‍රෝගේ 90 වන උපන් දින සැමරුම සඳහා කියුබාවෙහි සංගීත සංදර්ශන සහ වෙනත් උත්සව සංවිධානය කර තිබුණි. සැමරුම් උත්සව සිකුරාදා රාත්‍රියේ ඇරඹි අතර මධ්‍යම රාත්‍රිය එළඹි විට ගිණිකෙළි සංදර්ශන ද පැවැත්විණ​.

කෙසේ වෙතත් රජය විසින් මහා පරිමාණ රැළි සංවිධානය කර නොතිබූ අතර බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ කැස්ත්‍රෝ ප්‍රසිද්ධියේ පෙනී නොසිටිනු ඇත බවය​. නමුත් කැස්ත්‍රෝ එම සැක සංකා දුරු කරමින් සිය සහෝදර රාවුල් සහ වෙනෙසුවේලා ජනධිපති නිකුලස් මදුරෝ සමඟ හවානාවේ කාල් මාක්ස් රංග ශාලාවේ පැවති උපන් දින උත්සවයට සහභාගී වූයේය​.


සිය උපන් දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කළ ෆිදෙල් බටහිර රටවල් විසින් රුසියාවට සහ චීනයට න්‍යෂ්ඨික අවි තර්ජන සිදු නොකළ යුතු බව ප්‍රකාශ කළේය​. මෙම ප්‍රකාශය ඔහු සිදු කරනුයේ රුසියාව සහ නේටෝව අතර සබඳතා පලුදු වූ සමයක වීම මෙහිදී සැළකිය යුතුය​.

තවද කැස්ත්‍රෝ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා හිරෝෂිමාවේදී කළ කතාව ද විවේචනය කළේය​. "ඒ සා විශාල මනුශ්‍ය ඝාතනයකට සමාව ගැනීමට ඔහු සතුව වචන තිබුණේ නැත​" කැස්ත්‍රෝ සිය ප්‍රකාශයෙන් කියා සිටියේය​.

ඔබාමා හිරෝෂිමා නගරයට සංචාරය කර එහි සාම ස්මාරකය දැක බලා ගත්ත ද පරමාණු බෝම්බ හෙළීම සම්බන්ධව ජපානයෙන් සමාව ඉල්ලා සිටියේ නැත​.


අසිදිසිමානය බ්ලොග් අඩවියෙනි 
https://asidisimaanaya.blogspot.com/2016/08/90.html



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 9121980255820599720

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item