උතුරේ හමුදාව සහ “ජර්මනියේ සහ ජපානයේ” ඇමෙරිකන් හමුදාව

    පසුගියදා ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ සංගමයේ මහලේකම්වරයා සිදු කළ ප්‍රකාශ දෙකක් සම්බන්ධයෙන් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේ...

 
 
පසුගියදා ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ සංගමයේ මහලේකම්වරයා සිදු කළ ප්‍රකාශ දෙකක් සම්බන්ධයෙන් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතා සිය face book ගිණුමේ තැබූ සටහනක් අප වෙත ලැබී ඇත. එය සංස්කරණයකින් තොරව අපි මෙසේ පල කරන්නෙමු.

උතුරේ හමුදාව සහ “ජර්මනියේ සහ ජපානයේ” ඇමෙරිකන් හමුදාව

එක්සත් ජාතීන්ගේ සංගමයේ මහලේකම්වරයා කොළඹ පැවති රැස්වීමකදී පවසා තිබුනේ උතුරේ හමුදා බලය අඩු කළ යුතු බවයි. එහි ජනතාව යුධ මානසිකත්වයෙන් මුදා ගැනීමටත්, සිවිල් ජන ජීවිතය ශක්තිමත් කිරීමටත් එසේ කළ යුතු බව ඒ මහතාගේ අදහසයි. රටේ අන් ප්‍රදේශවලට සාපේක්ෂව උතුරේ වැඩි ඝනත්වයකින් හමුදාව රඳවා ඇත්නම් ඊට හේතුව හමුදා සෙබළු උතුරේ ජීවත් වීමට වැඩි ආශාවක් දැක්වීම නොව ත්‍රස්ත කණ්ඩායමක් ඒ ප්‍රදේශය වෙනම රාජ්‍යයක් ලෙස ලබා ගැනීමට තිස් වසරක සන්නද්ධ අරගලයක නියැලීමයි. එම ත්‍රස්ත කණ්ඩායම පරාජය කර තවම ගත වී ඇත්තේ වසර 7 ක් පමණි. යලි එවන් ත්‍රස්තවාදී ක්‍රියා එම ප්‍රදේශයේ ඇති නොවේයැයි කිසිදු සහතිකයක් නැත. විශේෂයෙන් දෙමළ ජාතිවාදී දේශපාලන නායකයන්ගේ අවකල් ක්‍රියා සහ ප්‍රකාශ නිසා ඒ අවදානම දිනෙන් දින වැඩි වෙමින් ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාම පවසා තිබුනේ තමන් අතින් (එම සංගමය) වූ අඩු පාඩුනොවන්නට සටනේ අවසන් අදියරේ සිදු වූ ජීවිත හානිය අවම කර ගන්නට තිබු බවයි. එනම් ශ්‍රී ලංකාව අරභයා එකී සංවිධානයේ උපාය උපක්‍රම අසාර්ථක බවයි. මේ නිසා තමන්ගේ රාජකාරියක් නොවන උතුරේ හමුදා කඳවුරු ගණන සහ සෙබළු ප්‍රමාණය තීරණය අපටම භාර දීම සුදුසු බව ඒ මහතා තේරුම් ගැනීම මැනවි.

දෙවන ලෝක (යුරෝපා) යුද්ධයේ පරාජිතයන් වූයේ ජර්මනිය සහ ජපානයයි. ජයග්‍රාහකයන් වුයේ ඇමෙරිකා එක්සත් ජනපදය මුල් කර ගත් කඳවුර යි. ඒ අවසන් සටන සිදු වී අදට වසර 70 කි. එනම් අපි ත්‍රස්තයන් පරාජය කළ කාලයට වඩා 10 ගුණයක් පැරණි ය. එහෙත් අදටත් ඇමරිකානු හමුදා සෙබළු වැඩිම පිරිසක් අමෙරිකාවෙන් පිට ස්ථිරව රඳවා ඇත්තේ ජර්මනියේ සහ ජපානයේ ය. ජර්මනියේ සිටින ඇමරිකානු සෙබළු ගණන 36,600 කි. ජපානයේ 52,000 කි. ජපානයේ ඔකිනාවා දිවයිනේ ඇමරිකානු සෙබළුන්ගේ නොමනා ක්‍රියා නිසා ජපනියන්ට ලැබුණු දරුවන් ගැන දකුණු කොරියාවේ උපන් මහලේකම්වරයා නොදන්නවා විය නොහැකි ය (අපේ හමුදා සෙබළුන්ට දාව දෙමළ තරුණියන්ට ඉපදුනු දරුවන් කිහිප දෙනකු ගැනද මම දනිමි. එත් ඒ නොමනා ක්‍රියාවක ප්‍රතිපලයක් නොව දෙපාර්ශවයේ වැඩිහිටියන්ගේ ආශිර්වාදයෙන් මගුල් තුලා කරගෙන හරි ක්‍රමයට වැදූ දරුවන්ය; ඔකිනාවේ එහෙම උනාට කිලිනොච්චියේ මෙහෙමය).

ඇමරිකාව සිය සෙබළු රඳවා ඇත්තේ වෙනත් රටවල ය. අපේ සෙබළු රඳවා ඇත්තේ මාලදිවයිනේ හෝ අන්දමන් දුපතේ නොව මේ රටේම ප්‍රදේශයක ය. යුද්ධය නිම වී වසර 70 කට පසු ජපන් වැසියන්ගේ විරෝධය නොතකා ඇමරිකානු සෙබළු ජපානයේ රඳවා තැබීම ගැන මහලේකම් මහතාට අවශ්‍යනම් ප්‍රකාශ එකක් නොව හැත්තෑවක් වුව කළ හැකිය. එතුමා ජීවත් වන්නේත් නිව්යෝර්ක් නගරයේ ය.

සටනේ අන්තිම භාගයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නොසැලකිල්ල නිසා බේරා ගන්නට තිබූ ජීවිත ගැන එතුමාගේ පශ්චත්තාපය අපගේ ඇගයීමට ලක් විය යුතුය. මොනවා වුනත් මිය පරලොව ගියේ අපේ රටේ මිනිසුන් නිසාය. එහෙත් බැරි වෙලාවත් ඒ මැදිහත්වීම කරන්නට තිබුනේ 2009 මැයි 17,18 නන්දිකඩාල් ප්‍රදේශයට නම්, ඒ මැදිහත්වීමෙන් බේරෙන්නට හිටියේ ත්‍රස්ත නායක කාරකාදීන් නම් පසුගිය වසර 7 ට තව ජීවිත් දහස් ගණනක් අපට නැති වෙන්නට ඉඩ තිබු බව ඒ මහතා දැනුවත් විය යුතු දෙයකි.

මොනවා උනත් වුන දේ උනාය. එක්සත් ජාතීන්ගෙන් සිදු වූ අඩුව වැරැද්ද නිවැරදි කර ගන්නට දැන් මහලේකම්තුමාට ස්වර්ණමය අවස්ථාවක් උදා වී ඇත. රුසියානු, ඇමරිකානු සහ තුර්කි හමුදා සිරියාවේ සහ උතුරු ඉරාකයේ අවසන් මෙහෙයුමක් අරඹා ඇත. ශ්‍රී ලංකාවේදී සිදු වූ අතපසු වීම එහි නොවන්නට මහා ලේකම් මහතා වහාම මැදිහත් වීමක් කළ යුතුය. ශ්‍රී ලංකාවේ සංචාරයෙන් එතුමා “උගත් පාඩම” එය නම් සිරියාවේ සහ උතුරු ඉරාකයේ අන්තිම සටනින් මිනිස් ජීවිත හානිය අඩු වන ආකාරය දෙස බලා අපි සියල්ලෝ සතුටු වෙමු.

– චන්න ජයසුමන



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6595505566858137343

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item