මගේ පසුපස දැවැන්ත සෙවණැල්ලක් තියෙනවා - ලක්මිණි කරුණාආරච්චි

ලක්මිණි කරුණාආරච්චි , යොවුන් රංගන ශිලිපිනියකි. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකම රංගනයේ යෙදෙන ඇය, සිය කලා කටයුතු පිළිබද ආලින්දයට අදහ...


ලක්මිණි කරුණාආරච්චි , යොවුන් රංගන ශිලිපිනියකි. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකම රංගනයේ යෙදෙන ඇය, සිය කලා කටයුතු පිළිබද ආලින්දයට අදහස් දැක්වූයේ මෙසේ ය.

ඔබේ පවුලේ තොරතුරු පිළිබද කතා කළොත්?

මගේ පියා කේ. ඒ. රත්නපාල. මීට වසර දෙකකට පෙර මිය ගියා. මව බී.‍ ඉන්ද්‍රාණි මුතුකුමාර .ඇය ගෘහණියක්. වැඩිමල් සොයුරෙක්, බාල සොයුරන් දෙදෙනෙක් සහ නංගි, මගේ පවුලේ අනෙක් සාමාජිකයන් විදිහට හඳුන්වන්න පුළුවන්.

ඔබේ පාසල?

බණ්ඩාරවෙල සුදර්මා බාලිකා මහා විද්‍යාලය
කලා ලොවට සම්බන්ධ වුණේ කොහොමද?

මම උසස් පෙළ කරලා කොළඹ රැකියාවකට පැමිණියා. ඒ අතරවාරයේදී ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ ‘එයා තමයි මෙයා’ විනෝදාත්මක චිත්‍රපටයේ ටෙනී අයියගෙ නැගණියගෙ චරිතය රඟ දක්වන්න ආරාධනාවක් ලැබුණා. එය තමයි මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ. එනිසා මා සිනමාවට හඳුන්වාදීමේ ගෞරවය හිමි වෙන්නේ ටෙනිසන් කුරේ මහත්තයටයි .

ඔබ පුංචි තිරයට සම්බන්ධ වුණේ නැද්ද?

අවස්ථා කීපයක්ම ලැබුණා. ඒත් මම රැකියාවක් කරන නිසා සීමාසහිත ටෙලි නිර්මාණ ගණනකට තමයි දායක වුණේ.

ඒ පිළිබඳ සඳහන් කරන්න පුළුවන්ද?

ස්වර්ණවාහිනියේ ප්‍රචාරය වූ මොණරකිරිල්ලී ටෙලි නාට්‍යයේ රඟපෑවා. මේ දිනවල විකාශය වන “කළු කුරුල්ලා” ටෙලි නාට්‍යයේ සහ “ආටක නාටක” ටෙලි නාට්‍ය මාලාවේ රඟපානවා.

අනාගත බලාපොරොත්තු මොනවද?

මම දැනට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. මගේ රංගන කෞශල්‍යය වැඩි දියුණු කරගෙන දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් වීම තමයි බලාපොරොත්තුව. ඒ සඳහා ප්‍රවීණ ශිල්පීන්ගෙ සහ ශිල්පිනියන්ගේ උපදේශ හා මාර්ගෝපදේශකත්වය මට ප්‍රයෝජනවත් වේවි.

රංගන කලාව පිළිබඳ අවබෝධයකින්ද ඔබ කටයුතු කරන්නෙ?

මේ ක්ෂේත්‍රය ගැන යම් අවබෝධයක් තිබෙනවා. අපේ ප්‍රවීණයන්ගේ ඇසුරින් හා ඒ අයගේ අත්දැකීම් මතින් මගේ අවබෝධය වැඩි දියුණු කර ගනිමින් ඉන්නවා. අපි ජීවිතේ කුමන හෝ චරිතයක් අනුකරණය කරනවා. එය ස්වභාවිකයි.

රංගන ශිල්පිනියක් වශයෙන් ඔබ එසේ අනුකරනය කරන චරිතයක් තිබෙනවාද?

මම බොහෝ දෙනකුට කැමතියි. ඒ අතරින් චාන්දනී සෙනෙවිරත්න රංගන ශිල්පිනියට මම විශේෂත්වයක් දක්වනවා.

ඇගේ චරිතාංගය තුළින් ඔබේ රංග ප්‍රභාවට යමක් එකතු කර ගන්නවද?

චාන්දනී සෙනෙවිරත්න ශිල්පිනියගේ රංගන විලාශයත්, දෙබස් උච්ඡාරණයත් මම බෙහෙවින්ම අගය කරනවා.


ඔබේ රැකියා කටයුතු සමඟ කලා කටයුතු කිරීම සඳහා කොහොමද කාලය කළමනාකරණය කර ගන්නේ?

විවේකය නම් ටිකක් මදි . ඒ වුණාට රැකියා කටයුතු කරගෙන යන ගමන් ඒකටත් හානියක් නොවන පරිදි කලා කටයුතුත් කරගෙන යනවා.

රංගන වේදියකු හෝ වේදිනියකගේ රංගන කෞශල්‍ය ප්‍රගුණ කර ගැනීමේ හොඳ ම ස්ථානය වේදිකා නාට්‍ය රංගනය. ඒ සඳහා ඔබ යොමු වී නැද්ද?

වේදිකා නාට්‍ය රංගනයටත් මං කැමතියි. මට ඒ සඳහා ආරාධනාත් ලැබිලා තිබෙනවා. මගේ රැකියා කටයුතුත් සමඟ ඒකට කාලය මිඩංගු කිරීමේ ගැටලුසහගත තත්ත්වයක් තිබෙනවා. වේදිකා නාට්‍ය සඳහා විශාල කැපවීමක් කළ යුතුයි.

ලොව සිටින දක්ෂතම රංගනවේදීන්, වේදිකා නාට්‍ය කලාව තුළින් පන්නරය ලබා පැමිණි අය. ඔබ ඒ සඳහා කැමැති නැද්ද?

එවන් දක්ෂ රංගන ශිල්පිනියක වෙන්න මමත් කැමැතියි.

දක්ෂ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකුගෙන් ඔබට අවස්ථාවක් ලැබුණොත්?

මට යමක් ඉගෙනගෙන, මගේ තිබෙන අඩුපාඩු සම්පූර්ණ කරගෙන, හොඳ රංගන ශිල්පිනියක් මා තුළින් බිහි කරීමට අවස්ථාවක් ලැබුණොත් , ඒ ගැන මම සැළකිලිමත් වෙනවා. වේදිකාව රංගනයේ විශ්වවිද්‍යාලයක් කියලා මමත් පිළිගන්නවා.

වර්තමානයේ රංගන ශිල්පියකුට තිබෙන ප්‍රතිචාර ගැන ඔබ කොහොමද දකින්නෙ?

හොඳයි කියලා හිතෙනවා. වෙනදට වඩා ප්‍රේක්ෂක ප්‍රතිචාර හා අවධානය හොඳයි. සිනමා ශාලාවලට වුණත් ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳ බවයි හැ‍ඟෙන්නේ.

ඔබ සිනමාව හා රූපවාහිනිය යන මාධ්‍ය දෙකේම සිටිනවා. වඩාත් කැමැති මොන මාධ්‍යයටද?

මම වඩාත්ම කැමැති සිනමාවට. එහිදී අපගේ රංගනය පුළුල් පරාසයක් තුළ විහිදෙනවා.

වර්තමානයේදී සිනමාවට වඩා රූපවාහිනිය තුළින් ජනප්‍රියවීමේ ප්‍රතිශතය වැඩියි නේද?

ඒ වුණාට මම කැමැති සිනමාවට. මම වැඩියෙන්ම රැඳිල ඉන්නෙ සිනමාවේ . අනික මම මේ ක්ෂේත්‍රයට පැමිණි යේත් සිනමාව තුළිනුයි.

ඔබට අවශ්‍ය ජනප්‍රිය නිළියක් වීමටද? දක්ෂ නිළියක් වීමටද?

දක්ෂ නිළියක් වීම. ඒක තමයි මගේ අරමුණ.

ඔබ තාරුණ්‍යය ගෙවන සොඳුරු යුවතියක්. ඒ වගේම යොවුන් රංගන ශිල්පිනියක්. ඔබට දැනෙන ආකාරයට ‘ආදරය’ පිළිබඳ අර්ථකථනය කළොත්?

ආරදය සුන්දරයි. අපේ ජීවිතයට අවශ්‍යම දෙයක්. අපට විවිධ ආකාරයට ආදරය ලැබෙනවා. මවුපියන්, සහෝදර, නෑදෑ හිතවත් අයගේ ආදරය ලබමින් ජීවිතේ විඳිනවා.

ඔබට ඒ අය හැරෙන්න තවත් විශේෂ කෙනෙක්ට ආදරය කරනවද?

ඔව්. මමත් එවන් ආදරයක මිහිර ලබනවා. ආදරය තුළින් තමයි අපි ජීවත් වෙන්නෙ.

ඔබේ කලා ජීවිතයට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය ප්‍රමාණවත්ද?

ඒ අය මගේ රැකියාවටයි, කලා කටයුතුවලටයි උපරිම සහයෝගයක් ලබා දෙනවා. ඒ අයගේ සහයෝගය නොලැබෙන්න අද මට කලා කටයුතුවල නිරත වෙන්න බැරි වෙනවා. මම පසුබසින ඇතැම් අවස්ථාවලදීත් ඒ අය තමයි මා දිරිමත් කරමින් ඉදිරියට ගෙනියන්නෙ.

ඕනෑම පුද්ගලයකුගෙ ජීවිතය සාර්ථක කරගන්න විවේචනය අවශ්‍යයි. ඔබේ කලා ජීවිතයටත් එවන් විවේචන එනවද?

විවේචන එනවා. අඩුපාඩු පෙන්වා දෙනවා. වැඩියෙන්ම මා විවේචනය කරන්නෙ, අඩුපාඩු පෙන්වන්නෙ මගේ පවුලෙ අය. මට ඒක විශාල ශක්තියක්. ඒ ශක්තිය මට ඉදිරියටත් ලැබේවි කියන එක මට විශ්වාසයි.

ඔබේ ජීවිතේ ලැබූ ජයග්‍රහණ පිටුපස සිටින දැවැන්ත සෙවණැල්ල කවුද?

මගේ අම්මා

වර්තමාන තත්ත්වය හා සසඳන විට රංගන ශිල්පිනියකට රංගනය වගේම නර්තනය, ගායනය වගේ අංශ කීපයකින්ම දක්ෂතාව අවශ්‍ය වෙනවා.ඒ අංශවලින් ඔබ ශක්තිමත් ද?

ඒ අංශ තුනම සඳහා මට හැකියාව තිබෙනවා. ඒවා ප්‍රගුණ කරමින් ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තුව.

ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දකින්න පුළුවන් ඔබේ නිර්මාණ මොනවාද?

වී. සිවදාසන් මහතාගේ ‘පාටක් නැති ආදරයක්’ සිනමා පටයේ සහ ටෙලි නාට්‍ය දෙකක් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් හමුවට එනවා. නාලන් මෙන්ඩිස් මහතාගේ නිර්මාණයකටත් ඇරියුම් ලැබී තිබෙනවා.

සංවාද සටහන නිශාන්ත මෙන්ඩිස්





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 189253638824555761

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item