ජනාධිපතිගේ ප්‍රකාශයෙන් කාලැබුණු ජවිපෙ නිකුත් කල මාධ්‍ය නිවේදනය

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ නිවේනදයක් නිකුක් කර ඇත. ඉන් ඔවුන...

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ නිවේනදයක් නිකුක් කර ඇත.

ඉන් ඔවුන් කියා සිටින්නේ පසුගිය ජනාධිපතිවරණයේදී යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඡන්දය දුන් ලක්ෂ 62ක ජනතාවගේ අභිලාශයට හා ජනවරමට ජනාධිපතිවරයා අභියෝග කර ඇති බවයි.

ඒ බව දැක්වෙන සම්පුර්ණ නිවේදනය මෙසේය.

“අපරාධ පිළිබඳ පරීක්‍ෂණ හා නෛතික කටයුතු දුර්වල කරන ප‍්‍රකාශ එපා!

ඊයේ (ඔක්.12) පදනම් ආයතනයේ පැවැති උත්සවයකදී වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කරන ලද ප‍්‍රකාශයක් අද (13) සියලුම පුවත්පත් ප‍්‍රධාන ශීර්ෂපාඨය සහිතව වාර්තා කර තිබේ. සී.අයි.ඩී.ය, එෆ්.සී.අයි.ඩී. ය හා අල්ලස් කොමිසම දේශපාලන න්‍යායපත‍්‍රවලට අනුව කටයුතු කරන බවට සැක පළකරමින් කර තිබෙන එම ප‍්‍රකාශය ඉතා බරපතළ එකක් ලෙස අපි දකිමු. පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදු වූ වංචා, දූෂණ හා අපරාධවලට එරෙහිව යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් ලක්ෂ 62ක ජනතාවගේ අභිලාශයට හා ජනවරමට ජනාධිපතිවරයා තම කතාවේදී අභියෝග කර තිබෙන බව පෙනේ.

පසුගිය කාලය තුළ සිදු වූ වංචා, දූෂණ හා අපරාධ පිළිබඳව පරීක්ෂණ පවත්වන ආයතන විසින් කරන කටයුතු වැරදියට අර්ථකථනය කරමින් ආණ්ඩුවට එරෙහිව ආරක්ෂක අංශ තුළ යම් මතයක් හැදීමට පරාජයට පත් රාජපක්‍ෂ කණ්ඩායම උත්සාහ දරන්නේ නම් කළ යුත්තේ, එම උත්සාහයන් පැරදවීම මිස පරීක්ෂණ පවත්වන ආයතන දුර්වල වන ලෙස හා අධෛර්යයට පත්වන ලෙස කටයුතු කිරීම නොවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මූල්‍ය අපරාධ කොට්ඨාසයත් අල්ලස හෝ දූෂණ කොමිසමත් දේශපාලන න්‍යායපත‍්‍රයකට අනුව කටයුතු කරන්නේ දැයි ප‍්‍රශ්න කරන ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය සරල නැත. එය එසේ වන්නේ ඔහු වත්මන් ආණ්ඩුවේ නායකයාත්, රාජ්‍ය නායකයාත් වන නිසාය. ඉහත ආයතන හසුරුවන්නේ කාගේ හෝ දේශපාලන න්‍යාය පත‍්‍රයකට නම් ඒ කාගේදැයි ජනාධිපතිවරයා රටට පැහැදිලි කළ යුතුය. දැනටත් වත්මන් ආණ්ඩුවට සම්බන්ධව සිටින බරපතළ චෝදනා ඇති ඇමතිවරු කිහිප දෙනෙක් පිළිබඳවම විවිධ දූෂණ චෝදනා ඇතත් ඒ ගැන පරීක්ෂණ නොපවත්වන බව රටම දනී. ඒවා සිදු වන්නේද දේශපාලන න්‍යාය පත‍්‍රවලට අනුව දැයි පැහැදිලි විය යුතුය.

මෙහිදී ස්වාධීන කොමිෂන් සභා පිළිබඳවද ජනාධිපතිතුමා සදහන් කර තිබේ. ස්වාධීන කොමිෂන් සභා පත්කරනු ලැබුවේ 19 වන සංශෝධනයට අනුව වත්මන් ආණ්ඩුවේද මැදිහත් වීම සහිතවය. එය ජනතාවගේත් සිවිල් සමාජ කණ්ඩායම්වලත් ඉල්ලීමක් වූ අතර ආණ්ඩුව ජනතාවට දුන් ප‍්‍රධාන පොරොන්දුවක්ද විය. තනි පුද්ගලයෙක් විසින් ඉහත ආයතන මෙහෙයවනවා වෙනුවට සමහර අඩුපාඩු සහිතව වුවත් කොමිෂන් සභාවක් විසින් මෙහෙයවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් ගත් කල හොඳ දෙයකි. ඒ නිසා ස්වාධීන කොමිෂන් සභාවලට සම්බන්ධ අය රාජ්‍ය පාලනය නොදන්නා අය ලෙස පවසා එම ආයතන හෑල්ලු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක.

සැබෑ ලෙසම වංචාව දූෂණය හා අපරාධ පිළිබඳව කරන පරීක්ෂණ දුර්වල කිරීමට හේතු වන සේ ඊට අදාළ ආයතන දුර්වල කිරීමට හේතු වන ප‍්‍රකාශ හෝ ක‍්‍රියාමාර්ග ජනවරමේ අර්ථයට පිටු පෑමකි. එසේම එය පසුගිය පාලන කාලය තුළ මහා පරිමාණ මූල්‍ය වංචා හා අපරාධවලට සම්බන්ධ වූ බවට චෝදනා ලැබූවන් සතුටට පත් කිරීමක් හා පරීක්‍ෂණ පවත්වන ආයතනවලට එරෙහිව ඔවුන් නඟන බොරු චෝදනාවලට දිරි දීමකි. පරීක්‍ෂණ පවත්වන ආයතන අක්‍රීය කිරීමකි. දැන් වර්තමාන ආණ්ඩුවේ සමහර අයටද අල්ලස් හෝ දූෂණ චෝදනා, බලය අනිසි ලෙස යෙදවීමේ චෝදනා, එල්ල වීමට පටන් ගෙන තිබේ. ඒවා පිළිබඳව පරීක්ෂණ පවත්වන ආයතන මෙලෙස බිය වද්දා දුර්වල කිරීම දැනටමත් වංචා දූෂණවල නියැලෙන හා ඉදිරියේ එසේ කිරීමට සැරසී සිටින අයට එවැනි අපරාධ කිරීම සඳහා ඉඩ දීමක්ද වේ.

එබැවින් පසුගිය කාලයේ මහජන මුදල් වංචා කළ, මූල්‍ය අපරාධ හා වෙනත් අපරාධවලට සම්බන්ධ අය පිළිබඳව කරන පරීක්ෂණ හා නෛතික කටයුතු දුර්වල කිරීමට කටයුතු නොකරන ලෙසත් තවමත් පරීක්ෂණ පටන් ගෙන නැති එහෙත් මූල්‍ය වංචා හා අපරාධවලට සම්බන්ධ සියලු දෙනා පිළිබඳවද පරීක්ෂණ කඩිනම් කරන ලෙසත්, ජනවරමට ගරු කරන ලෙසත් අපි ආණ්ඩුවට බලකර සිටිමු.

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3441642784669205685

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item