මළගෙදරකදී වෙඩි තබන්න හැදූ පාතාලයේ 3ක් දැලේ

සම්පූර්ණ මුහුණු ආවරණය කර ගත් හිස්වැසුම් පැලඳ යතුරුපැදියකින් අතුරුගිරිය ශාන්තාලෝකගම අවමංගල්‍ය නිවසකට ගොස් අතුරුගිරිය ලඩියා නමැති අයගේ ගෝලය...

සම්පූර්ණ මුහුණු ආවරණය කර ගත් හිස්වැසුම් පැලඳ යතුරුපැදියකින් අතුරුගිරිය ශාන්තාලෝකගම අවමංගල්‍ය නිවසකට ගොස් අතුරුගිරිය ලඩියා නමැති අයගේ ගෝලයින් පිරිසක් ඝාතනය කිරීමට පැමිණි රණාලේ පාතාල කල්ලියක ගෝලයින් තිදෙනකු වෙඩි තැබීමට සූදානම් වූ අවස්ථාවේදී ඔවුන් සමග පොර බදා පෙරේදා (11) රාත්‍රී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය සඳහන් කරයි. අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතාට ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් පිරිසක් අවමංගල්‍ය පැවැති නිවසේ රැකවල් ලා සිටිමින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. යම් හෙයකින් බීමත්ව පැමිණි මෙම සැකකරුවන්ට වෙඩි තැබීමක් සිදු කළේ නම් විශාල පිරිසකට ජීවිත හානි වීමට ඉඩ තිබූ බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

වසර හතරක පමණ කාලයක සිට අතුරුගිරිය ලඩියා හෙවත් නලීන් චතුරංග සහ මිනීමැරුම් සහ අවි ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින රණාලේ සමයං හෙවත් අනුර උදයංග දෙපිරිස අතර පවතින ගැටුම් හේතුවෙන් මේ වන විට සිව්දෙනෙකු පමණ ඝාතනයට ලක් වී ඇතැයි පොලිසිය පවසයි

මෙම දෙපිරිසේ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ඉකුත් වසරේ දෙසැම්බර් මස 16 වන දින අලුයම මාලබේ අරංගල ප්‍රදේශයේදී මංගල්‍ය අවස්ථාවකට සහභාගි වී නැවත යමින් සිටි අතුරුගිරිය ලඩියාගේ කණ්ඩායමකට ටී 56 ගිනි අවි දෙකකින් වෙඩි තබා පලා ගොස් ඇත්තේද මෙම අත්අඩංගුවට ගත් කණ්ඩායම බව මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත. ඒ සඳහා යොදා ගත් ගිනි අවියක් ද උණ්ඩ තොගයක් ද මේ වන විට සොයාගෙන ඇත.

එසේම එම වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක කෙරෙන දිවයිනේ සුප්‍රසිද්ධ හිමිනමකට අයත් බව කියන පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථයක් ද අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර එම පාසල් වෑන් රථයේ රියැදුරු ලෙස කටයුතු කල පුද්ගලයාද වන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ තොරතුරු මත සොයා ගත් ගිනිඅවිය ගිනිඅවි සම්බන්ධ මනා නිපුණතාවක් ඇති පුද්ගලයකු විසින් පාසල් බෑගයක රැගෙන යා හැකි පරිදි අඩියක් පමණ දිගට සිටින සේ කොටකර සකස් කර ඇති බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරුගිරිය කොරතොට අල්විස් වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 23 සහ 32 වයස්වල පුද්ගලයින් වන අතර මේ ඝාතන හා පහරදීම්වලට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය. අත්අඩංගුවට ගත් පිරිස කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1543935988351423730

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item