ලියුම ගැන ඇහුවහම කිරිඇල්ල අද මාධ්‍යවේදියාට අමු කුණුහරපෙන් බැනවදි [AUDIO]

කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයනාංශය සඳහා තාවකාලික කථිකාචාර්යවරයෙකු බඳවාගන්නැයි යොමුකර තිබූ ලිපිය සම්බන්ධව උසස් අධ්‍යාපන හා මහාමාර්...

කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයනාංශය සඳහා තාවකාලික කථිකාචාර්යවරයෙකු බඳවාගන්නැයි යොමුකර තිබූ ලිපිය සම්බන්ධව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් 'අද' පුවත්පත ඊයේ (29දා) විමසා සිටි අවස්ථාවේදී විශ්වවිද්‍යාල පනත යටතේ ඇමතිවරයෙකුට එවැනි ඉල්ලීමක් කිරීමට බලය තිබෙන බවත්, ලිපියක් යැවීමට නොහැකි නම් ඇමතිවරයෙකුගෙන් පලක් නොවන බවත් අපහාසාත්මක සහ අශීලාචාර වචනයෙන් බැණ වදිමින් ප්‍රකාශ කළේය.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ පෙබරවාරි 08 වැනිදා ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අත්සන සහිතව යොමුකර තිබූ මෙම ලිපියේ නිවැරදිතාව පිළිබඳව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයාගෙන් පෙරේදා (28) දිනයේදී විමසීමක් කිරීමේදී ඔහු සඳහන් කළේ මෙම ලිපියේ කිරිඇල්ල මහතාගේ නිල මුද්‍රාව සඳහන්ව නැති බැවින් එය ව්‍යාජ ලෙස සකස් කළ එකක් විය හැකි බවයි.


ඊයේ දිනයේදී ඒ පිළිබඳව ඇමතිවරයාගේ අවධානයට යොමු කරවන බවට මාධ්‍ය ලේකම්වරයා පෙරදින සඳහන් කළ බැවින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දුරකථනය මාර්ගයෙන් සම්බන්ධ කරගනිමින් මෙම ලිපියෙ සත්‍ය තත්ත්වය පිළිබඳව අපි විමසා සිටියෙමු.
එහිදී ඇමතිවරයා දැක්වූ අදහස් පහතින් දැක්වේ.

“ඒකේ තියෙන්නේ 'සුදුසුකම් පරීක්ෂා කර බලා' කියලනේ. ඇමතිවරයෙකුට බලය නැත්නම් ඉතිං ලියුමක් ලියන්න. විශ්වවිද්‍යාල පනත යටතේ ඇමතිවරයාට බලය තියෙනවා විශ්වවිද්‍යාලවලට නිර්දේශ නිකුත් කරන්න. අපි ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි)ද? ඔයා හිතන්නේ ඇමතිවරු කියන්නේ ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) කියලද? මම කියලා තියෙන්නේ සුදුසුකම් පරීක්ෂාකර බලා අවශ්‍ය දේ කරන්න කියලයි. ඔයා ඒ කෑල්ල දැක්කේ නැද්ද? අයිසේ මේ මම කියන්නේ ඇමතිවරයා කියන්නේ ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) නෙමේ. 

තමුසේ විශ්වවිද්‍යාල පනත කියවලා තියෙනවද? තමුසෙලා පනතක්වත් කියවලා නෑ තමුසෙලා නිකන් මේ කොනක් අල්ලගෙන. ඉස්සෙල්ලා විශ්වවිද්‍යාල පනත කියවනවා. ඇමතිවරයාට නියෝග නිකුත් කරන්න බලතල ඒකේ තියෙනවා. 'සුදුසුකම් පරීක්ෂා කර බලා..' තමුසෙලා විශ්වවිද්‍යාල පනත කියවනවා ඕයි ඉස්සෙල්ලා. යහපාලන ආණ්ඩුව ආවට අපි මේ බලතල පාවිච්චි කළේ නෑ. ඒකයි වැරැද්ද. ගිය ආණ්ඩුව කාලේ ඒ බලතල සම්පූර්ණයෙන්ම පාවිච්චි කළා. අපි කිසිම බලතලයක් පාවිච්චි කරලා නෑ.

නිර්දේශ නිකුත් කරන්න ඇමතිවරයාට බලය තියෙනවා. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) වගේ මහින්ද රාජපක්ෂ කාලේ උඩ බලන්නේ හිටියේ. මහින්දගේ කාලේ අර කැළණිය විශ්වවිද්‍යාලයේ විශේෂයෙන්ම සුනන්ද මද්දුම බණ්ඩාර (උපකුලපති මහාචාර්යය සුනන්ද මද්දුම බණ්ඩාර) මෛත්‍රීපාලට එරෙහිව කතා කළා ටී.වී. එකේ. ඒත් අපි ඒ අයට ඉන්න හැරියා. අපි ඒ අයව අයින් කළේ නෑ. 

තමුසේ විශ්වවිද්‍යාල පනත කියවලා තියෙනවද? ඔයා විශ්ව විද්‍යාල පනතේ ඇමතිවරයාගේ බලතල කියවලා තියෙනවද? අයිසේ මේ තමුසෙලා අපෙන් ප්‍රශ්න කරන්න ඉස්සෙල්ලා තමුසෙලා පනත කියවලා ඇමතිවරයාගේ බලතල මොනවද කියලා බලනවා. තමුසේ විශ්ව විද්‍යාල පනතේ ඇමතිවරයාගේ බලතල කියවලා තියෙනවද? තමුසෙලා මේ පෑනක් ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) ගහගෙන හිටියට තමුසෙලා මාධ්‍යවේදීන්ද? විශ්ව විද්‍යාල පනත කියවලා මට කතාකරන්න ඕන. 

තමුසෙලා මාධ්‍යවේදීන් නෙමේ හෙඩ්ලයින් බලාගෙන වැඩ කරන අය. ඔයා මගේ බලතල ගැන අහන්න ඔයා විශ්වවිද්‍යාල පනත කියවන්න ඕන. තමුසෙලා මාධ්‍යවේදීන් නෙමේ ඕයි. තමුසෙලා නිකන් මේ පෑනක් ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) ගහගෙන ඉන්න එවුන්. ඉස්සෙලා මගේ බලතල කියවන්න. විශ්වවිද්‍යාලවලට නියෝග දෙන්න මට පනතේ බලතල තියෙනවා. හැබැයි මම තදින්ම බලතල පාවිච්චි කරලා නෑ. මම කියන්නේ සුදුසුකම් පරීක්ෂා කර බලා... ඔයාට තේරෙන්නේ නැද්ද"

පසුව ඊයේ (29) දිනයේ දී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කළේ විශ්ව විද්‍යාල පනතේ 19 වැනි වගන්තිය අනුව විශ්ව විද්‍යාල සදහා නිර්දේශ ලබාදීමට ඇමතිවරයාට බලය තිබෙන බවයි. එසේම තමන් සඳහන් කර ඇත්තේ සුදුසුකම් සොයා බලා තාවකාලික කථිකාචාර්ය තනතුරක් ලබා දීමට බවද එහි සඳහන් වෙයි.

පොදුවේ තියෙන විධිවිධානයක් යම්කිසි කෙනෙකුට වාසි සහගත ලෙස භාවිත කරනවා කියන්නේ යහපාලනයට විරුද්ධයි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා

ඇමතිවරයා සඳහන් කරන පරිදි 19 වැනි වගන්තියෙන් එවැනි දෙයක් පවසා නැතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය. එසේම ඇමතිවරයා පනත අර්ථකථනය කිරීම හරහා ලිපියක් නිකුත් කරනවාට වැඩි වරදක් කර තිබෙන බවද ඔහු කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු සභාපතිවරයා, “19 වැනි වගන්තියේ තියෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පොදු දිශානතිය සම්බන්ධයෙන් හා ඒ විශ්වවිද්‍යාල පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇමතිවරයා වගකිවයුතුයි කියන එක. ඒකෙන් අදහස් වෙන්නේ නෑ විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය කටයුතුවලට මේ විදිහට සම්බන්ධ වෙන්න අයිතියක් තියෙනවා කියලා. නීතියේ වගන්තිවල තියෙන ප්‍රශ්නයක් තමයි ඒවා ඕන ඕන විදියට තමන්ට අවශ්‍ය විදියට අර්ථකථනය කරන්න පුළුවන්. එහෙම අර්ථකථනය කරන සිරිතක් නෑ. මේක පොදු වගන්තියක්. ඒකෙන් කියන්නෙ ඇමතිවරයාගේ වගකීම. නමුත් ඒකෙන් කියන්නෙ විශ්වවිද්‍යාල දෛනික කටයුතුවල වගකීම නෙමෙයි. 

විශ්වවිද්‍යාල කටයුතු නිසි ලෙස සිදුවෙන්නේ නැත්නම්, ඒ විශ්වවිද්‍යාල කටයුතු නිසිලෙස බිඳවැටිලා නම් ඒ වගේ දෙයකදි ඇමතිවරයාගේ වගකීම තහවුරු කරන්න තමයි පොදු දිශානතිය තියෙන්නේ. එහෙම නැතිව එදිනෙදා වෙන පත්වීම් සම්බන්ධයෙන් වෙන දේ නෙමෙයි. මේවා අවභාවිත කරලා තමයි ඇමතිවරු කටයුතු කරන්නේ. අධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් මැදිහත් වුණේ පළමු අවස්ථාවට. 

අනධ්‍යයන කාර්යමණ්ඩලය බඳවාගනිද්දී ඇමතිවරයාගේ ලිස්ට් එකෙන් තමයි බඳවාගන්නේ. මම නම් කවදාවත් දැකලා නෑ මේ වගේ වගන්තියක් මේ වගේ ක්‍රියාවක් සාධාරණීකරණය කරගන්න භාවිත කරනවා. එතකොට ඒකෙන්ම පෙන්වනවා ඇමතිවරයා මේ කාර්යයට සුදුසු නෑ කියලා. පොදුවේ තියෙන විධිවිධානයක් යම්කිසි කෙනෙකුට වාසි සහගත ලෙස භාවිත කරනවා කියන්නේ යහපාලනයට විරුද්ධයි. ඇමතිවරයා ලියුම නිකුත් කරලා කර තිබෙන වරදට වැඩි දෙයක් කරලා තියෙනවා මේ විදියට පනත අර්ථකථනය කිරීම මගින්" යනුවෙන්ද සඳහන් කළේය.

ada.lk



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2071239931488688163

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item