ගල්ලෙන බිඳලා
- ධර්මන් වික්‍රරමරත්න ලාංකීය ඉතිහාසයේ ප්‍රථමවරට කිසිදු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව කොළඹදී පැවැත්වූ දැවැන්තම ජනතා රැළිය මාර්තු 17 ඊයේ පැවැ...

http://www.sathhanda.com/2016/03/blog-post_187.html
- ධර්මන් වික්‍රරමරත්න
ලාංකීය ඉතිහාසයේ ප්‍රථමවරට කිසිදු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව කොළඹදී පැවැත්වූ දැවැන්තම ජනතා රැළිය මාර්තු 17 ඊයේ පැවැත්විණි. යුනියන් පෙදෙසේ සිට දසතින් බැලූ විට ඔසුසල දක්වාද, ටී. බී ජයා මාවත දක්වාද, වොක්ෂෝල් වීදියද එකම හිස් ගොඩක් විය. එමෙන්ම මෑත ඉතිහාසයේ විපක්ෂය මගින් සංවිධානය කරන ලද රටේ ඕනෑම තැනක පැවති උද්යෝගිමත් සහ ජවසම්පන්න රැළියද එය විය. මෙයට පෙර විපක්ෂය සංවිධානයකල උද්යෝගිමත් රැස්වීමක් ලෙස විපක්ෂයේ පක්ෂ 5ක්වූ ජනතා විමුක්ති පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, සමසමාජය, නව සමසමාජය සහ බාල තම්පෝගේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය 1979 අගෝස්තු මස හයිඩ් පිටියේදී එජාප ආණ්ඩුවේ ත්‍රස්තවාදී මර්ධන පනතට එරෙහිව පැවැත්වූ ජන රැළියද හැදින්විය හැකිය. එම රැස්වීමේ එදා මුලසුන දැරුවේ ජවිපෙ උපතිස්ස ගමනායක වන අතර එම ඒකාබද්ධ විපක්ෂයේ කථිකයන් වූයේ රෝහණ විජේවීර, පීටර් කේනමන්, වාසුදේව නානායක්කාර , අතාවුද සහ බාල තම්පෝය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 54කින් සමන්විත ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් ඊයේ පැවති රැස්වීම වැදගත් වූයේ 21වැනි සියවසේ ස්වාධීන රාජ්‍යයන්ගේ පැවත්ම සහ ශ්‍රී ලංකාව මුහුණදෙන වර්තමාන අභියෝග සමඟ සැසඳවීමෙනි. එදා 1951දී හඬක් නොමැති ජනතාවට නායකත්වය දුන් අධිරාජ්‍යවාදි බටහිරට ගැති එක්සත් ජාතික පක්ෂයට(එජාප) එරෙහිව එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකයන් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය(ශ්‍රිලනිප) ගොඩනැගීමට සහායවූ ඩී.ඒ රාජපක්ෂයන්ට තිබූ එඩිතරභාවය ආදර්ශයට ගනිමින් මෙදා ඔහුගේ පුත් මහින්ද රාජපක්ෂ හඬක් නැති ජනතාවට හඬක්වීමට සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයින් වෙනුවෙන් සටන් වැදීමට පෙරමුණ ගැනීම ඓතිහාසික සංසිද්ධියකි. මව්බිමේ නාමයෙන් පොදු සතුරාවූ එජාපය පැරදවීමට සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයින් වෙනුවෙන් එජාප විරෝධීන්ට ඔහු ඊයේ විවෘතව ආරාධනා කළේය.
එජාපයට සහ එජාප ගැති පිරිස් විසින් වර්තමානයේ ප්‍රාණ ඇපයට ගෙන සිටින ඩාර්ලි පාරේ නෛතික ශ්‍රිලනිපයට විකල්පයක් ලෙස සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයින්ගේ මෙහෙයවීමෙන් ගොඩනැගී ඇති බලවේගය නව උපතකට විදුලන කාලය පැමිණ ඇති බව ඊයේ සපථ කළහ. නෛතික ශ්‍රිලනිපයේ වර්තමාන නායකත්වය පළමුව ව්‍යවස්ථා විරෝධීවද, දෙවනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂක මහින්ද රාජපක්ෂ කුමන්ත්‍රණකාරී ලෙසද(මහින්ද රාජපක්ෂ පරාජය වනවා වනවාමයි දෙවරක් ජාතිය අමතා පැවසීමෙන්ද, ශ්‍රිලනිප සහ සන්ධානයේ ප්‍රධාන ලේකම්වරුන් මැතිවරණයට තෙදිනක් ආසන්නව ඉවත්කර වෙනත් දෙදෙනෙකු එම තනතුරු සඳහා පත්කිරීම වැනිදෑ) පරාජය කරමින් එජාප අගමැතිවරයෙක් පත්කර ගත්තේය.
තෙවනුව සන්ධානයේ සැබෑ මහජන නියෝජිතයින්වන ආණ්ඩුවට එරෙහි මන්ත්‍රීවරුන් 54දෙනෙකුගෙන් යුත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පාර්ලිමේන්තුවේ නිල ප්‍රධාන විපක්ෂය ලෙස සදාචාර විරෝධිවද කපා දමමින් මන්ත්‍රීවරුන් 16කින් යුත් ද්‍රවිඩ සන්ධානය ප්‍රධාන විපක්ෂය ලෙස කථානායකවරයා පිළිගත් අතර කථානායක පත්කල එම විපක්ෂනායකවරයා මන්ත්‍රීවරුන් 6 දෙනෙක් ගෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්කර ගත්තේය. කතානායක පත්කල ආණ්ඩුවේම ජාතික විධායක සභාවේ පළුවක්වූ විපක්ෂනායකවරයාගේ පක්ෂය ආණ්ඩුවේ ජනතා විරෝධී අයවැයටද පක්ෂව ඡන්දය දුන්නේය. මේ අනුව දැන් පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය ජනතාවගේ සැබෑ ආණ්ඩු විරෝධී විපක්ෂය නොවේ. මෙම ව්‍යාජ ප්‍රජාතන්ත්‍ර විරෝධී හවුලට එරෙහිව ආණ්ඩු විරෝධී විපක්ෂයවන ඒකාබද්ධ විපක්ෂය මගින් යළි 1956 විප්ලවයක් බිහිකල යුතු බව ඊයේ රැස්වීමට පැමිණි ජනකාය පසක් කළහ.
හයිඩ් පිටියේදී ඊයේ සිදුවූයේ ගම නගරය වටලෑමකි. ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 75ක් ග්‍රාමීයව ජීවත්වන අතර එහි සැබෑ දේශපාලන නායකයා වන්නේ ගමේ පළාත් පාලන මන්ත්‍රීවරයාය. ශ්‍රිලනිපයේ අවසානවරට සිටි සහ සිටින පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් සියයට 90කටත් වඩා සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයන් වශයෙන් දැන් එළිපිටම මහින්ද රාජපක්ෂ සිය ජාතිකවාදී නායකයා ලෙස පිළිගෙන සිටී. ඩාර්ලි පාරේ ශ්‍රිලනිප මූලස්ථානය හෝ මැතිවරණ කොමසාරිස් පිළිගත් ශ්‍රිලනිප පක්ෂය සහ ලාංජන තවදුරටත් ඔවුනගේ සිත්තුළ හුදු නාමමාත්‍රික පුවරු පමණි. සරලව කිවහොත් ලාංකීය මොඩලය අනුව ගමේ දේශපාලනය හඳුනාගත් සැබෑ ශ්‍රිලනිපයක් විනා එජාපය සමඟ එකගෙයි කන අධිරාජ්‍යවාදීන් සහ ප්‍රතිගාමිත්වය වෙනුවෙන් පෙනී සිටින බෝඩ් ලෑලි ශ්‍රිලනිපයක් කිසිවෙකුට අවැසි නැත. එවැනි නිවට පසුගාමී චින්තනය මත සිදුවන්නේ රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ ඉකුත් සතියේ සිදුවූවාක් මෙන් ජාතික සේවක සංගමයේ මැර ප්‍රහාරයට ශ්‍රිලනිප නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා ගොදුරුවීම වැනි සිදුවීම්ය.
ශ්‍රිලනිපය යනු කාලයේ තාලයට හැඩගැසුණු දේශපාලන සම්ප්‍රදායකි. එය යටත් විජිත යුගයේ දේශපාලනයේ සිට ජනසම්මතවාදය දක්වා ගලායන නොනවතින දහරාවකි. එම මොඩලය විප්ලවවාදි එකක් නොවේ. එමෙන්ම කොම්ප්‍රදෝරු ධනේෂ්වර එකක්ද නොවේ. එය බහුතර ජනතාවගේ හදගැස්ම මැනවින් හඳුනාගත් මැද මාවතේ දේශපාලන ප්‍රවාහයකි. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම ලාංකේය සැබෑ ශ්‍රිලනිප දේශපාලන මොඩලය නියෝජනය කරන අතර ඔවුන්ගේ අක්මුල් අකා මකා දමා නෛතික ශ්‍රිලනිපයට කිසිදු ඉදිරි මැතිවරණයකින් ජයගත නොහැක. ඒකාබද්ධ විපක්ෂය සමඟ ගනුදෙනු කරන සන්ධානයේ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් ඉවත්කර නෛතික ශ්‍රිලනිපයට ඉදිරි මැතිවරණ වලින් ජයගත හැකියැයි යමෙකු පවසන්නේනම් එය බලහත්කාරයෙන් ගැහැණියක ගැබ්ගැන්වී යැයි උපන්ගෙයි නපුංසකයෙකු කරන කථාවටත් වඩා හාස්‍යජනකය.

එජාප පෙලපාලියට පොලිස් ආරක්ෂාවය. අන්තරේ පෙලපාලියට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය. එකම රටේ නීති දෙකකි. සරසවි සිසුන්ට මාසයකටම දවසක් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර වලින් පිදුම් ලැබීමට අවාසනාවන්තයින්ය. මෙය විරුවා මරුවා කරවන යුගයකි. සැම පොලිස් ස්ථානයකම බුද්ධි අංශ ඉදිරියේදී විවෘත වන්නේ මේ සරසවි සිසු සටන්කාමීන් ඉඹලා පිළිගැනීම සඳහාය. ජාතික අරමුණකින් තොරව විජාතිකයින් සතුටු කරමින් බලය රැකගැනීම වෙනුවෙන් කරන මේ දේශපාලනයේ අවසානයක ආරම්භය සිදුවන බව පැහැදිලිය.
අලුත්ම වෙනස අදුරේ අතපත ගෑමය. පාලම් බෝක්තු, වරායවල්, හයිවේ හැදීම කෙසේ වෙතත් දැන් තිබුණු කරන්ට් එකක් හරිහමකට නැත. දෛනික ජිවිතයේ කොටසක් කඩා වැටිලාය.දැන් පැය හතහමාරකට විදුලිය කාලසටහනක් යටතේ විසන්ධි කෙරේ. චන්ද්‍රිකා කුමාරතුංගගේ පාලන කාලයේදී විදුලිබල සේවක වැඩවර්ජනයක් ඇති විය. විදුලිය දින කිහිපයක් ඇණ හිටියේය. කරුවල ජයසූරිය එම නමින් බෞතිස්ම වූයේද එජාප ආණ්ඩුව කාලයේ විදුලි කප්පාදුවක් හේතුවෙනි. ඉකුත් ආණ්ඩු කාලයේ වසර 9ක් පුරා එවැනි ලයිට් කැපිල්ලක් නොමැත.ඔක්කොම කුණු බේරුවල බොක්කට කිවාසේ නොහැකියාව වසාගැනීමට සියළු පව් බැර වන්නේ මහින්ද රාජපක්ෂ ගිණුමටය. එදා කැළණිතිස්සට කොටි ගුවනින් පහර දුන්නද පැය 4න් ලයිට් ආවේය. දැන් ඔක්කොම කරුවලේය.මේවා දවල් මිගෙල් රෑ දනියෙල් බොරු රඟපෑම්ය. ඇතැම් විදුලි ඉංජිනේරුවන්ගේ කඩාකප්පල් ක්‍රියාකාරකම් නිසා පාඩුයි කියා හෙට අනිද්දාට ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කලද පුදුමයක් නැත.
ඉන්දියාවට අතපාන්නට සිදුවී ඇත්තේ ඔවුන්ගෙන් ගත් ණය කොන්දේසි අනුවය. මීට පෙර ආණ්ඩුව ණය ගත්තේ චීනය සහ ජපානයෙනි. ඒවාට කොන්දේසි නැත. පොළිය අඩුය. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදෙන ණය ඉකුත් ආණ්ඩුව ඉවත දැමුවේ ඔවුන්ගේ රාජ්‍ය සම්පත් විකිණීම, පෞද්ගලීකරණය කිරීම, රාජ්‍ය සේවය කප්පාදු කිරීම යන කොන්දේසි වලට යටත්වීමට නොහැකි බැවිනි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බාරදෙන විට ණය පොලී වාරිකය රුපියල් බිලියන 436කි. ආදායම රුපියල් බිලියන 1,195කි. ආණ්ඩුව භාරදෙන විට ණය ගෙවීම් රාජ්‍ය ආදායමින් සියයට 36ක් විය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව භාර ගන්නා විට එම ණය ගෙවීම් රාජ්‍ය ආදයමින් සියයට 44.27ක් විය. මහ බැංකු දත්ත අනුව 2015 අවසාන වන විට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයේ සිටියේ නම් ණය ගෙවීම්වල ප්‍රතිශතය රාජ්‍ය ආදායමින් සියයට 28.24 දක්වා අඩුවනු ඇත. යහපාලන ආණ්ඩුව යටතේ වර්තමානයේ ණය පොලී වාරිකය සහ රාජ්‍ය ආදායම අතර අනුපාතය සියයට 45.3කි.
රටේ අපනයන ආදායම, විදේශ ආයෝජන, කොටස් වෙළෙඳපොළ, ආර්ථික වර්ධනය කඩා වැටී ඇත. මහබැංකු බැඳුම්කර වංචාවට දැන් වසරක් ගොස් ඇති අතර එම වසර තුළ සිදුවූ අලාභය කෝටි 12,000ටත් අධිකය. බැඳුම්කර වංචා හොරුන් තවමත් නිදැල්ලේය. වැට් බද්ද වැඩිකිරීමෙන් පමණක් ආණ්ඩුව අවම වශයෙන් රුපියල් බිලියන 10ක වාසියක් ලබා ගනී. වැට් බද්දේ බර පැටවුණේ ජනතාව මතය. ආලපාලු ආර්ථික ඔස්තාර් එදා කීවේ සන්ධාන ආණ්ඩුව ඉන්ධන වලින් රුපියල් බිලියන 40ක් ලාබයක් ගන්නා බවය. දැන් ඉන්ධන මිල එදාට වඩා සියයට 70කින් පමණ අඩුය. ඒ අනුව එම රුපියල් බිලියන 40ත් ඉතිරිය. රාජ්‍ය සේවකයින් ලක්ෂ 14කට ආසන්න අයට රුපියල් 10,000 බැගින් පඩි වැඩිකිරීමට වාර්ෂිකව වැය වන්නේ රුපියල් බිලියන 168කි. මින් රුපියල් 2,500 බැගින් සන්ධාන ආණ්ඩුව රාජ්‍ය සේවකයින් ලක්ෂ 14කට වැඩි පඩි වශයෙන් ගෙවීමට අයවැයෙන් ඒ වන විටත් වෙන්කර තිබිණි. ඇමරිකන් ඩොලරය පමණක් 148 දක්වා දැන් ඉහළ ගොස් ඇත.

රට පුරාම ඝාතන සංස්කෘතිය ඔඩු දුවමින් පවතී. දෙහිවල කවුඩානේ නිවසක සිව් දෙනෙකු පෙරේදා පුලුස්සා තිබුණේය. නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලගේ පුත්‍රයාට රාජකීය ක්‍රිකට් ක්‍රිකට් තරඟ කාලයේ ඇතිවූ පහරකෑමකින් රෝහල් ගතවීමටද සිදුවිය. පාතාලයේ යළි බූවල්ලෙකු ලෙසින් පැතිරෙමින් පවතී. මිනිමැරුම්ය, රටපුරා විදුලිය විසන්ධී වීම්ය. ගොවි, ධීවර, කම්කරු, ශිෂ්‍ය අරගල දසතිනි. සංවර්ධනය ඇනහිට ඇත. නොහැකියාවෙන් මව්බිම අනතුරේය. ජනතා මනස වෙනතකට යොමු කරමින් ආර්ථික කඩා වැටීම් වලින් ජයගැනීම සඳහා බදුබර සහ භාණ්ඩ සහ සේවා මිල වැඩිකිරීමට කටයුතු කරයි. තිරිගු පිටි මිල කිලෝව 7.50කින් නැග්ගේය. පාන් ගෙඩිය රුපියල් 3කින් පමණ වැඩිවනු ඇත. අනිකුත් කෙටි ආහාර පානද එයට සරිලන ලෙස මිල ඉහල යනු ඇත. ආණ්ඩුව නෝ ඇක්ෂන් ටෝක් ඔන්ලිය.

නෛතික ශ්‍රිලනිපයට ඒකාබද්ධ විපක්ෂය නයාට අදුකොල මෙනි. ප්‍රසන්න රණතුංග සහ දිලුම් අමුණුගම මන්ත්‍රීවරුන් ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කලද ඒ කිසිවකින් ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් 54 දෙනාගෙන් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 41දෙනා නිහඬකල නොහැකි බව දැන් පසක්වී ඇත. නෛතික ශ්‍රිලනිප නායකයින්ගේ තර්ජන, ගර්ජන ඒකාබද්ධ විපක්ෂය අළුයම ලූ කෙල පිඩක් සේ නොසලකා හැර ඇත. සත්‍යය නිහඬව බලාසිටී. අසත්‍යය තම වංචාව සඟවා ගැනීමට කෑ මොරදේ. යම් දෙයක අවසානය තවත් දෙයක ආරම්භය වනු ඇත. රෝසා ලක්සම්බර්ග් කියු පරිදිම චලනය නොවන්නෝ තමන් බැඳ ඇති යදම් නොදකින්නෝය.
(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)
Related