පුද්ගල නිදහස ද ? ෆැසිස්ට්වාදය ?

ජාතිවාදය සහ ජාතිකවාදය අතර ඇතැම්හු දාර්ශණික ලෙස මහා බරපතල වෙනස් කම් ගැන වාද කරනු කොතෙකුත් දැක ඇත. එහෙත් මට නම් මෙම වචන දෙක අතර ප්‍රායෝගික...

ජාතිවාදය සහ ජාතිකවාදය අතර ඇතැම්හු දාර්ශණික ලෙස මහා බරපතල වෙනස් කම් ගැන වාද කරනු කොතෙකුත් දැක ඇත. එහෙත් මට නම් මෙම වචන දෙක අතර ප්‍රායෝගිකව ඇත්තේ කෙස් ගසකටත් තරම් අඩු වෙනසකි.එම නිසා මම නම් මේ වචන දෙක වැඩි වෙනසකින් තොරව භාවිත කරමි.

සමහර වැරදි හදා ගත හැක.සමහර වැරදි හදා ගැනීමට නොහැක.සමහර වැරදි හදා ගැනීමට නම් ඊට බරපතල වන්දියක් ගෙවිය යුතුය. පාරේ යන විට බයික් එක පෙරලීම නිසා ඉදිරිපස ලාම්පුව බිඳීම හදා ගත හැක.නමුත් කෙනෙකු හැපී මියගිය හොත් එන යළි කිසිදා හදාගත නොහැක. යම් හෙයකින් හැපෙන කෙනාගේ කකුලක් බිඳී ගිය හොත් එය කාලයක් යන විට යථාතත්ත්වයට පත්කර ගත හැක.මේ නිසා පුද්ගලිකව/ සමාජයක් / රටක් / ලෝකයක් ලෙස මිනිසා කරන ඇතැම් වැරදි වල අර්ථභාරය ද වෙනස්ය.ඒවායේ ප්‍රථිපල සහ සුවවීම්ද මේ නිසා වෙනස්ය.

සැලසුම් වල ප්‍රථිපල

ආර්ථිකයන්ට කරන බොහොමයක් මැදිහත් වීම් සැලසුම් ඓතිහාසිකව ගත්විට බරපතල අර්බුධයන් නිර්මාණය කර ඇතැයි යනු මගේ අදහසයි.ඒකීය පුද්ගලයන්ගේ නිදහස් හා අන්‍යෙන්‍ය කැමැත්තෙන් සිදුවන ගනුදෙනු වලින් පරිබාහිරව රජයක් ආණ්ඩුවක් විසින් කරනු ලබන සැලසුම් යනු කිසිවිටක තිරසාර බවකින් යුතු නොවන දෙයක් වේ.

තිරසාර බවකින් නොවුන මෙම සංවර්ධනය කෘතිම දිය බුබලකට සමාන යැයි මට සිතේ.කොයි වෙලේ හෝ පුපුරා යාමට ඉඩ ඇත.මෙය ඇමරිකාවට මෙන්ම ලංකාවටද පොදු යතාර්ථයක්ය.මුදලේ වටිනාකම් මහ බැංකු ව විසින් තීරණය කිරීමේ සිට පේවින් බ්ලොක් අල්ලා තණ පිඩලි අල්ලා මල් වවා නගර අලංකරණය දක්වා මෙම බුබුලමය තත්ත්වය මම දකිමි. ඒ නිසා..ලස්සන මල් වලින් ඇස් අන්ධකාර නොකරගන්න !!

ඇසට පෙනෙන දෙයින් එහාට දකිමු.

නිදහස් රටක් වූ ඇමෙරිකාවේ බලයට පත්වූ විවිධ රජයන් සහ පාලකයන් ආර්ථිකයට සිදු කල විවිධ මැදිහත් වීම් සේම ලොව සෑම රටක්ම පාහේ දේශපාලනිකව රජයන් තුලින් කරන මැදිහත් වීම් ද අපි දකිමු. යම් රටක රජයේ සැලසුම් වලින් කරන භෞතික සංවර්ධන ක්‍රියාවලින් තුල දැකිය හැකි ඇසට පෙනෙන දේ නම් !! සංවර්ධනයයි !! වඩාත් නිවැරදිව කියන්නේ එය හුදු භෞතික සංවර්ධනයක්ය පමණි.

රජයක සැලසුම් වලින් කරන සංවර්ධනය යනු කුමක්ද ? එය තිරසාරබවින් යුතු සංවර්ධනයක් ලෙස මම නොදකිමි.ඇසට හසුවන ක්ෂණික කාපට් පාරවල් පාලම් ජොගින් ට්‍රැක් සේම දහසක් බෞතිකමය ගොඩනැගීම් ඒකීය මිනිස් මිනිස් අවශ්‍යතාවලින් ගොඩ නැගුනු කැමැත්තවල් නොව පිටින් ඉඳන් උඩින් ලබා දුන් දේවල්ය.

ණය කඳු වලින් හයිවේ හදමින් කළ කාපට් කිරීම් සංවර්ධනය මම දකිනුයේ එලෙසිනි.ලංකාවේ දැන් පවතින යහපාලන රජයට එවැනි දෙයක් වත් කරගත නොහැකිවී ඇත්තේ ඔවුන් ගිනිකන්දේ උඩටම විත් සිටින නිසාය.. මේ කිසිම සංවර්ධනයක් තිරසාර නැත. සරලව කියන්නේ නම් ඒ එකක් වත් ඇත්ත සංවර්ධනයක් නොවේ.

සියලු වැඩ අධික ණය මත සිදුකල ඒවාය .සියල්ල පිටින් සිට කල සැලසුම් යැයි මම සිතමි . ඒවා එකක්වත් ඒකීය මිනිසුන්ගේ පුද්ගලික නිදහසින් යුතු ව ගොඩ නැගෙන ස්වාර්ථයන් තෘප්තිමත් කරන සංවර්ධනයක් නොවේ.

පාරවල් හැදීම සංවර්ධනය නොවේ.!

ඒකීය පුද්ගල ස්වාර්ථයට පරිබාහිරව සිද්ධ වෙන සියලුම සංවර්ධනයන් වල අර්බුධයන් එම සංවර්ධනයන් තුලින්ම උපයා ගනු ඇත.එවැනි සංවර්ධයන්හි දිග පළල ලොකු පොඩි කම ශක්තිමත් දුර්වල කම වැනි විවිධ තත්ත්වයන් මත අර්බුධයන්හි රූපයන් විවිධ ලෙස වෙනස් විය හැක.නමුත් මූලයන් එක සමානය.

පුද්ගලයාගේ කැමැත්තට ට පිටින් ඇති සංවර්ධනය වනාහී නිසැකවම අතෘප්තිකරබව අපේක්ෂා භංගත්වය ඇති කරන හේතුවකි.එය වළකා ලන එයට බාධා කරන සැලසුම් අහස උසට තට්ටු ගසා කාපට් දැමූ පාරවල් හදා පාර දෙපස මල් වවා විදුලිය අධ්‍යාපනය සෞඛ්‍ය නොමිලේ කොතරම් දුන්නද කිසි ම ඵලයක් නැති දෙයකි.. හේතුව නම් !! පුද්ගල කැමැත්තවල් ඇත්තේ ඒවාට හසුනොවන මානයේ නිසාය.

සැබෑ සංවර්ධනය

රටක පුරවැසියන්ට තමන්ගෙ රුචියන් සහ හැකියා අනුව තම ජීවිතයන් ගොඩ නගා ගැනීම ට සමත් වටපිටාවක් ඇති විට පමණක් තිරසාර සංවර්ධනයක් ඇත.අතෘප්තකාර භාවයන් සහ අසහනයන් ඇතිවීම ට මුල් වනුයේ පුද්ගල අපේක්ෂාවලට නිදහස ඇහිරීමේ පරිමාව මතය. දියුනු රටවල ජාතිකවාදි න්ට අඩුවෙන් ඇති එම පරිමාව නොදියුනු රටවල වැඩියෙන් ඇත්තේ මේ නිසාය.

ජාතිකවාදයට පදනමක් නැත

අද ජාතික රාජ්‍යයන් යනු හුදෙක් භූගෝලීයව වෙනස් කම් පමණක් ඇති ප්‍රපංචයක් යැයි මම සිතමි.සංස්කෘතික වෙනස් කම් හෝ චාරිත්‍ර සම්ප්‍රදායන් වල වෙනස් කම් නැති හෝල්සේල් ජ්‍යාත්යන්තර වාදී යන අර්ථයක් මින් ගම්‍ය නොවේ. එය ඊට වෙනස්ව පසුගිය දශකයන්හි තාක්ෂණයේ සහ නිෂ්පාදනයේ වෙළඳපොලේ සිද්ධ වූ අතිමහත් දැවැන්ත විප්ලවීය වෙනස් කම් යන අර්ථයෙන් ගත යුතුය.

සංස්කෘතිමය වශයෙන්ද වෙන කවරදාටත් වැඩිය විවෘතව අනාවරණය වන ලොවක් තුල ආර්ථිකමය වශයෙන් ජාතිකමය වැඩ පිලිවෙලවල් වල ඇති බංකොලොත්කම සහ අනුචිත බව මේ නිසා වඩාත් තීව්ර වේ.සෑම අංශයකම සිද්ධ වෙන ක්ෂණික දැවැන්ත පෙර නොවූ විරූ වෙනස් කම් හා රජයන් වල සැලසුම් අතර නොපෑහෙන ගැටුම අද දවසේ සකල විධ අර්බුධයන් වල තිඹිරි ගෙය වේ.

පිපිරීමට ආසන්න ගිනි කන්දක්

රජයේ සැලසුම් සහ දේශපාලන හෙයියම්මාරු වලින් ලොව එකතු කරගෙන සිටින්නේ විරැකියාව අතෘප්තිය අසහනය ආදී කටුක ප්‍රතිපලයන්ය. මෙය පුපුරායනුයේ කොයි ලෙසටද යන්න ගැන අනාවැකි කිව නොහැක.නමුත් දරුණු වන බව නම් නිසැකය.ඇමෙරිකාවේ ට්රම්ස් ගෙන් සේම ලංකාවේ චම්පික /නලින් /අමරසේකර සිංහලේ රාවණා දෙමළ සන්ධාන මුස්ලිම් කල්ලි බොදු බලය වැනි අනෙක් විධ සංවිධානයන්ගෙන් මේ අතෘප්තියන් පෝෂණය ලබයි. 

තරුණ කොටස් වඩ වඩාත් ජාතික වාදි ආරක්ෂණ ක්‍රම වලට ගමන් කරනුයේ තමාගේ හතුරා අන්ජාතින් ය යන අදහසිනි.මෙම ජාතිකවාදයේ සිට පහත් ජාතිවාදය දක්වා රූටා යාමට වැඩි වෙලාවක් නොගනී.වෙනත් රටවල නිෂ්පාදනයන්ට ශ්‍රමිකයන්ට සේම තම රටේම සහෝදර ජාතියකටත් එරෙහිව යාමට ඉඩ ඇත. ජාතිවාදය සහ ජාතිකවාදය අතර වෙනස කෙස් ගසකටත්අඩුයැයි මම කියනුයේ එහෙයිනි.

රජයන් ආර්ථිකය තුලට මැදිහත්ව විකෘති කරන වෙළඳපොලක විරැකියාව අතෘප්තිය අසහනය කාපට් දමා වැසිය නොහැක.අනෙක් අතට තව තවත් බදු ගසා සහනාධාර වරප්‍රසාද තුලින් බෙදමින් ද සමනය කල නොහැක. මහින්ද රජය සහ රනිල් රජය යන දෙකම මේ ක්‍රමවේද වලින් වෙනස් නොවේ. එසේම ලංකාවේ පේන තෙක් මානයක එවැනි වෙනසක් නියෝජනය කරන දේශපාලකයෙක් ද නැත.

අපේ රටවල් හුරුව සිටින්නේ රජයේ මැදිහත් වීම් වලට නිසා .රජයෙන් ඉවත්ව පුද්ගල ස්වාර්ථය මත ගමන් කිරීමට නුහුරු බවක් ඇත.ඇමරිකාවේ මේ නුහුරුව අඩු හෙයින් ට්ර්ම්ප්ස්ලා දැන්ම විශාල ඡන්ද ගණනකට නොගියත් ලංකාවේ ට්රම්ස්ප්ලාට නම් බලයක් තහවුරු කරගන්න එතරම් අසීරු නොවනු ඇත.

අතෘප්තයන් අපේක්ෂාභංගත්වයන් අසහනයන් යනු කාළයක් පුරා විවිධ රජයන් වල වැරදි සැලසුම් වලින් උපත ලැබූ ප්‍රතිඵල වල එකතුවයි.

මෙම වැරදිවල එකතුව වූ අපේක්ෂාභංගත්වයන් වලට සමාජයේ සක්‍රීය කොටස් ( විශේෂයෙන් තරුණ කොටස් ) ප්‍රතිචාර දක්වනුයේ බුද්ධිමත්ව සිතා බලා නොව බොහෝ විට ක්ෂණික අවේගයන්ගෙනි. පැරණි වාමවාදි විප්ලව දිහා බලන විට එය පැහැදිලිය. අද වමේ අයද කුනුබක්කියට වැටුනු තතු තුල මේ පීඩනයන් ගලා යන මාවත කුමක්ද ? මෙය ෆැසිසිට්වාදය ජාතිවාදය වැනි මුහුණුවරක් ගත හැකි අනතුර මේ නිසා බෙහෙවින් වැඩිය.

මාවත් දෙකක් ඇත.

තිරසාර සංවර්ධනයක් යන්න හඳුනාගෙන පුද්ගල නිදහස සමග යන ස්ව කැමැත්තට ඉඩ ඇති වෙළදපොලක අවශ්‍යතාව අද ලොව තුල වෙන කවරදාකටත් වැඩිය මතුකර ඇත.රජය සීමිත බලයක නැවතී මිනිසුන්ට මිනිස් ස්භාවයන්ට ඉඩ දීම එක මාවතකි.අනෙක් මාවත නම් විවිධ හැඩයන්ගෙන් යුතු ෆැසිසිට් වාදයය. අතර මැද ෂෝට් කට් හෝ විකල්ප ඇති බව මට නම් දැකිය නොහැක.

වැරදි හදා ගැනීමට තවමත් ප්‍රමාද නැත

ලංකාව මෙන්ම ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන රජයන් වල සැලසුම් වල ප්‍රතිවිපාක අද දවසේ දේශපාලනය අර්බුධ වල වැදගත්ම සාධකයයි.අපට තවමත් මෙම වැරදි හදා ගත හැක. තරමක් අසීරු බව ඇත්තකි. නමුත් ආර්ථිකයන් නිදහස් කරමින් විකෘතිතාවයන් සුව කර ගැනීමට තවමත් ප්‍රමාද නැත. එහෙත් අපේ හුරුවන් ඇබ්බැහියන් ඊට සුදානම් ද? ප්‍රශ්ණය එයයි.!! මෙය තේරුම්ගෙන ඒ ඒ රටේ ඒකීය පුද්ගලයන් නිදහස්ව කටයුතු කරන්නට පටන් ගන්නා තරමට ඒ ඒ රට අද පවතින අර්බුධ වලින් ගොඩ එනු ඇත.

- ක්‍රිෂ්ණ රාමනායක

(මෙම ලිපියෙහි අන්තර්ගතය සත්හඩහි මතය නොවන අතර  ක්‍රිෂ්ණ රාමනායක සමඟ සංවාදයට විවෘතය)



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 6401348258843840416

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item