පාද යාත්‍රා ඉතිහාසයේ නොමැකෙන සටන්

- ධර්මන් වික්‍රමරත්න ඒකාබද්ධ විපක්ෂය මගින් ජන සටන නමින් පස්දින පාද යාත්‍රාවක් 2016 ජුලි 28 සිට අගෝස්තු 1 දක්වා ලක්ෂ සංඛ්‍යාතික ජනයාගේ ස...

- ධර්මන් වික්‍රමරත්න
ඒකාබද්ධ විපක්ෂය මගින් ජන සටන නමින් පස්දින පාද යාත්‍රාවක් 2016 ජුලි 28 සිට අගෝස්තු 1 දක්වා ලක්ෂ සංඛ්‍යාතික ජනයාගේ සහභාගිත්වයෙන් පැවැත්වීම දේශපාලන ක්ෂේත්‍රයේ මෑත කාලයේ ඇතිවූ සුවිශේෂි සිද්ධියකි. එම පාගමන පැවතියේ යෝජිත ව්‍යවස්ථා මර උගුලට, පළාත් පාලන ඡන්ද කල් දැමීමට, බදු බර වැඩිකර මිල ඉහළ දැමීමට, රට ඉන්දියාවේ කොලනියක් කරන එට්කා ගිවිසුමට, ගොවි සහන සහ පාසැල් නිල ඇදුම් කප්පාදුවට, දේශපාලන දඩයමට, රණවිරු පළිගැනීම් වලට ඇතුළු කරුණු ගණනාවකට එරෙහිවය. පේරාදෙණිය පාලම අසල සිට පාද යාත්‍රාව කොළඹ ලිප්ටන් වටරවුමට පැමිණියේ කිලෝ මීටර් 112ක් දුර ගෙවාගෙනය.

ජන සටන පාද යාත්‍රාව ජුලි 28 සිට අගෝස්තු 1 දක්වා දින 5ක් පැවති අතර එයට වරින්වර විවිධ ප්‍රදේශවලදී පාගමනට එක්වෙමින් ගමන් කිරීම සඳහා සහ මඟදෙපස සිට දිරිගැන්වීමට ලක්ෂ 20කට ආසන්න ජනකායක් සම්බන්ධවූ බව ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම ප්‍රකාශ කළේය. පාද යාත්‍රාවෙන් රටට දුන් ලොකුම පණිවිඩය වූයේ ‘යහපාලන’ ආණ්ඩුවේ ක්‍රියා පිලිවෙතට එරෙහිව අති බහුතර පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාමාර්ග වලට සහාය පලකරන බවකි. ශ්‍රිලනිප පාක්ෂිකයින්ද මුළුමන්ම වාගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 51දෙනාට හිමිවන බවකි. මහින්ද රාජපක්ෂගේ මෙහෙයවීමෙන් 1992 මර්තු 16 සිට අප්‍රේල් 1 දක්වා පුරා දින 17ක් පැවති කොළඹ සිට කතරගමට ගිය පාද යාත්‍රාවට වඩා මෙවර 2016 පැවැත්වූ පාද යාත්‍රාවට මුහුණදීමට සිදුවූ අභියෝගයන් රැසකි.

ඉන් ප්‍රධාන වුයේ 1992 පාද යාත්‍රාවේදි එවකට තිබූ එජාප ආණ්ඩුවට එරෙහිව ශ්‍රිලනිප ඇතුළු විපක්ෂයේ සහාය එයට හිමිවූවද මෙවර එනම් 2016දී පාර්ලිමේන්තුවේ කථානායක පත්කල නිල විපක්ෂයවූ මන්ත්‍රීවරුන් 15දෙනෙකුගෙන් යුත් දෙමල ජාතික සන්ධානයේ සහායද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෛතික පාර්ශවය නියෝජනය කරන ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරුන් 12 දෙනාද ඇතුළත් 41 දෙනෙකුගේ සහායද එජාප ආණ්ඩුවට පක්ෂව හිමිවීමය. මන්ත්‍රීවරුන් 6දෙනෙකුගෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණ සහායද පාද යත්‍රාවට එරෙහිව වක්‍රව හිමිවූයේද එජාප ආණ්ඩුවටය.

පාද යාත්‍රාවලට විදේශීය සහ දේශීය ඉතිහාසයද බෙහෙවින් පොහොසත්ය. දහඅටවන සියවසේ අවසාන කාර්තුවේ දේශපාලන විමුක්තිය සහ මානව අයිතිවාසිකම් උදෙසා එදා පා ගමන් නමින් හැදින්වූ එය වර්තමානයේ පාද යාත්‍රා නම් වේ. එවැනි පාද යාත්‍රා සිය ගණනක් පිළිබඳව ලොව පුරා අසන්නට ලැබිණි. පාද යාත්‍රාවක් යනු එක් දිනකට වඩා නිශ්චිත අරමුණක් හෝ අරමුණු වෙනුවෙන් පෙළපාලියක ස්වරූපයෙන් පයින් ගමන් ගන්නා මිනිසුන් සමූහයකගේ එකතුවකි. පාද යාත්‍රාවක් මගින් දේශපාලන අරමුණු ප්‍රවර්ධනයටත්, ජනමනස හැඩගැන්වීමටත්, ජනයාගේ උද්යෝගය වැඩිකිරීමටත් පාද යාත්‍රා මගින් සාධනීය කාර්යභාරයක් ඉටුකර ඇතිබව ජගත් ඉතිහාසය සාක්ෂි දරයි.

හිරු නොබසින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව මහත්මා ගාන්ධි විසින් ඉන්දියාවේදී 1930 මාර්තු 12වැනිදා අරඹන ලද පාද යාත්‍රාව ඒ සියල්ල අතරින් වැදගත් තැනක් ගනී. එම පා ගමනේ අරමුණ වූයේ ඉංග්‍රීසි ආණ්ඩුව වෙතින් බලපත්‍රයක් ලබාගැනීමෙන් තොරව ලුණු නිෂ්පාදනය කිරීමේ නීතිය බිඳ බලපත්‍රයකින් තොරව ලුණු නිෂ්පාදනයකර බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට අභියෝග කිරීමය. ඉන්දියාවේ පැවති එම පාද යාත්‍රාව සබාමර්ති ආශ්‍රමයෙන් අරඹන විට ගාන්ධි සමඟ එක්වී සිටියේ 100කට ආසන්න පිරිසකි. දින 24ක් පුරා කිලෝමීටර් 390ක දුරක් ගෙවා 1930 අප්‍රේල් 6වැනිදා ඩැන්ඩි වෙරළට ලඟාවන විට එයට එක්ව සිටි පිරිස ලක්ෂ ගණනකි. නීතිය බිඳ ලුණු නිෂ්පාදනයට වෙරළට පැමිණි ගාන්ධිගේ පාද යාත්‍රාව හේතුවෙන් ඉන්දියානු නිදහස් සටන සාමාන්‍ය ජනතාව අතරටද ගලා ගියේය. නිදහස් සටනට ඉන්දියානු කාන්තාවන්ද එක්වූයේ ලුණු පාද යාත්‍රාවෙන් පසුවය. ඉන්දියාව 1942 නිදහස ලබාගැනීමේදී එම පාද යත්‍රාවෙන් ලැබුණු ශක්තිය අසමසමය.

මාටින් ලූතර් කිං සහ මාවෝ සේතුං පවා පාද යාත්‍රා ගොස් ඇත. වර්ණභේදවාදයෙන් පීඩිත ඇමරිකානුවන්ගේ සිවිල් අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සටන්කල මාටින් ලූතර් කිං සිවිල් අයිතිවාසිකම් පනත සම්මතකර ගැනීම සඳහා 1963 සංවිධානය කරන ලද දෙදින පාද යාත්‍රාව 1965 එම පනත සම්මතවීමට සුවිශේෂි මෙහෙයක් කළේය. චීන විප්ලවයේ පුරෝගාමියෙකුවූ මාවෝ සේතුං 1934 ඔක්තෝබර් 16 සිට 1935 ඔක්තෝබර් 22 දක්වා වසරක පමණ කාලයක් ඇදී ගිය කිලෝමීටර් දහස් ගණනක් දුරින් යුත් විප්ලවීය න්‍යාය මත පදනම්ව පැවැත්වූ පාද යාත්‍රාවෙන් විනාශ මුඛයට භාජනය වී තිබූ දැවැන්ත චීන දේශය යලිත් ප්‍රපාතවත් ජාතියක් බවට පත් කළේය. එම පාද යාත්‍රාවේ ගමන්කල චීන කොමියුනිස්ට් පක්ෂය නායකත්වය දුන් චීන රතු හමුදාව, කුම්මිංටාං හමුදාවේ ප්‍රහාරවලට මුහුණදෙමින් ජී යැංසි සිට ෂැංසි පලාතට පැමිණියේ කිලෝ මීටර් 9,012 මඟගෙවා ගෙනය.

පාද යාත්‍රා පිළිබඳව ශ්‍රි ලංකාවේ පළමු වාර්තාගතවීම වන්නේ මත්පැන් උවදුරට එරෙහිව වලිසිංහ හරිස්චන්ද්‍රගේ නායකත්වයෙන් 1913දී පැවති දීර්ඝ පාගමනය. පසුව 1957 ජුලි මාසයේදී ජුනි 26වැනිදා අත්සන් කෙරුණු අගමැති එස්.ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක සහ ෆෙඩරල් පක්ෂ නායක චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව එය රට පාවාදිමක් ලෙස විග්‍රහ කරමින් එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්. ජයවර්ධන කොළඹ සිට මහනුවර බලා ගමන් ගන්නා පාද යාත්‍රාවක් සංවිධානය කළේය. එය කොළඹදී 1957 ඔක්තෝබර් 3වැනිදා ආරම්භවූ අතර පළමු දින බාධා මැද කඩවත දක්වා ගමන් කළේය. දෙවන දින කඩවත පසුකොට කිලෝමීටර් 5ක් ගිය පසු ඉඹුල්ගොඩදී ගම්පහ මන්ත්‍රී එස්. ඩී. බණ්ඩාරනායක ඇතුළු විශාල පිරිසක් පාර හරහා වාඩි වී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීම නිසා අත්හැර දැමීමට සිදුවිය. තරුණ විරැකියාවට එරෙහිව කොමියුනිස්ට් තරුණ සම්මේලනය 1969 ජුලි 20 රත්නපුරයෙන් ආරම්භකල තෙදින පාද යාත්‍රාව කොළඹ ගෝර්ඩන් උද්‍යානයෙන් ජුලි 22වැනිදා නිමාවූයේ කිලෝමීටර් 85ක් පැමිණීමෙනි.

ඉකුත් සතියේ පැවති පාද යාත්‍රාවට පෙර ලාංකීය ඉතිහාසයේ විශාලතම පාද යාත්‍රාව කොළඹ ටවුන්හෝල් සිට කතරගම දක්වා පැවැත්වූයේ 1992 මාර්තු 16 සිට අප්‍රේල් 1වැනිදා දක්වාය. දින 17ක් පැවති එම පාද යාත්‍රාව විපක්ෂ ඒකාබද්ධ කමිටුව වෙනුවෙන් මෙහෙයවූයේ හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රිලනිප මන්ත්‍රී නීතිඥ මහින්ද රාජපක්ෂය. එජාප ආණ්ඩුවේ භීෂණය, මර්ධනය සහ පීඩනයට එරෙහි පැවති කිලෝ මීටර් 213ක දුරින් යුත් පාද යාත්‍රාව එජාප ආණ්ඩුවේ ගමන් මඟ 1994 මහ මැතිවරණයෙන් පරාජය කිරීමට බලපෑ ප්‍රබල සිදුවීමක්ද විය. වරෙක 2001 දෙසැම්බර් 9වැනිදා බලයට පත්වූ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් එජාප ආණ්ඩුව විසුරුවා හැර මහා මැතිවරණයක් පවත්වන ලෙසට බලකරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් දේශහිතයිශී ජාතික ව්‍යාපාරය මගින් 2003 අගෝස්තු සහ සැප්තැම්බර් මාසයන්හිදී පාද යාත්‍රාවන් දෙකක් පැවැත්වුයේ 2002 රනිල්-ප්‍රභාකරන් ගිවිසුම සහ අන්තර්වාර ස්වයං පාලන අධිකාරි යෝජනාව හරහා කරලියට පැමිණි බෙදුම්වාදී වෑයමට එරෙහිවය. එමගින් නැගුණු උද්ඝෝෂණ ව්‍යාපාර හේතුවෙන් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් එජාප රජය 2004 අප්‍රේල් 6වැනිදා විසුරුවන ලදී.

අධ්‍යාපනය සඳහා සියයට 6ක් වෙන්කරන ලෙස ආණ්ඩුවට බලකිරීම සඳහා විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් ජවිපෙ සහ රාජ්‍ය නොවන සංවිධාන ජාලයකද සහාය ඇතිව ගාල්ල සිට කොළඹටද පාද යාත්‍රාවක් 2012 සැප්තැම්බර්හිදී පැවැත්විණි. ඒ හා සමගාමීව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහයෝගයද ඇතිව පේරාදෙණිය සරසවියේ සිට පාගමනක් කොළඹ බලා සංවිධානය කර තිබිණි. එමෙන්ම යහපාලන ආණ්ඩුවේ අධ්‍යාපන කප්පාදුවට සහ ශිෂ්‍ය මර්ධනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙන් තවත් පාගමනක්ද 2015 නොවැම්බර් මස පේරාදෙණිය සරසවියේ සිට කොළඹ බලා සංවිධානය කෙරිණි.

එජාපයේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට එරෙහිව එජාප හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන්වූ ශිලාල් ලක්තිලක සහ මෛත්‍රී ගුණරත්න යන දෙපලගේ නායකත්වයෙන් එජාපයේ ඉහළ නායකයින් දෙදෙනෙකුගේද ආශිර්වාදයෙන් දෙව්නුවර දේවාලේ සිට කොළඹට පැමිණීමට නියමිතව තිබූ පාද යාත්‍රාව 2013 ඔක්තෝබර් ආරම්භකිරීමෙන් පසු එජාපයේම එයට එරෙහි පිරිසක් විසින් කුරුදු පොලු ප්‍රහාරයක් එල්ලකර පලවා හරින ලදී. ඒ පිළිබඳව ඔවුහු චෝදනා කළේ මාතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මංගල සමරවීරටය.

මෙවර 2016 ජුලි 28 සිට අප්‍රේල් 1දක්වා පැවති පාද යාත්‍රාව පේරාදෙණියේ සිට කොළඹ පුරහල බලා පැමිණි දුර ප්‍රමාණය කිලෝ මීටර් 112කි. ලියුම්කරු මෙම දින 5 තුළම එක් දිනකදී පාද යාත්‍රාව ස්ථාන 3කදී පමණ නිරීක්ෂණයට ලක්කල අතර දැවැන්තම පිළිගැනීම් තිබුණේ ජුලි 29වැනිදා කෑගල්ල නගරයේදීය. එයට 25,000ක ආසන්න පිරිසක් එක්ව සිටියහ. පාර දෙපස හිස් ගොඩක් සේ දිස්වූ අතර ගම් නියම්ගම් වලින් මිනිසුන් නගරයට පැමිණ තිබිණි. මඟ දෙපස නිල් ධජ පතාක සහ සුබපැතුම් බැනර් ලෙලදෙනු දක්නට ලැබිණි. ඉන් දහස් ගණනක් කෑගල්ලේ සිට ගලිගමුව දක්වා පෙළපාලියේ කොටසට එක්වනු දක්නට ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්ගේ සංවිධාන ශක්තිය කෑගල්ලේදී මැනවින් කැපී පෙනිනි. මන්ත්‍රී තාරක බාලසූරියද එයට දායක විය. දින 5 තුළ පාද යාත්‍රාවේ ගමන් කල අය වෙනුවෙන් ඇස ගැටුණු දන්සැල් සංඛ්‍යාව 143ක් විය. ගම්පහ බැලුම්මහර හන්දිය සහ ඒ අවට පමණක් දන්සැල් 7ක් විය. මෙම දන්සැල් වලින් පාද යාත්‍රාවේ ගමන් කරන්නන්ට සීනි සම්බල් පාන්, අයිස් පැකට්, පැණි කොමඩු, පිපිඥ්ඥා, කිරිබත්, ලුණුමිරිස් සමඟ මංඥොක්කා, තම්බපු මුංඇල සහ කඩල, ජල බෝතල්, වීදුරුවලට දමන ලද සිසිල් බීම, බත් පැකට් වැනි දෑ දක්නට ලැබිණි. මාර්ගයේ දෙපස නිවෙස් සහ කඩසාප්පු සිය ගණනක් බීම සඳහා ජලය බට මගින් බීමට සලසා තිබිණි මුහුණ සේදිමට අවශ්‍යනම් ජලය පිරවූ බැරල්ද තැන් කිහිපයක විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දින 5හේම පාද යාත්‍රාවට ස්ථාන ගණනාවකදී එක්වූ අතර ඇතැම් ස්ථානයන්හි පයින්ද ආරක්ෂක උපදෙස් මත ඇතැම් ස්ථානයන්හිදී වාහනයකින්ද ගමන් කරනු දක්නට ලැබිණි. ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික සංවිධායකවූ ඩලස් අලහප්පෙරුම, සෙසු නායකයින් වූ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුළු කිහිපදෙනෙක්ම පෙළපාලිය ඉදිරියෙන්ම ගමන් කළේය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියළු දෙනාම පාද යාත්‍රාවට දින ගණනාවක්ම සහභාගිවූ අතර මන්ත්‍රීවරුන් 25ක් පමණ දින 5හේම පාද යාත්‍රාවට එක්ව සිටිනු දක්නට ලැබිණි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සාලින්ද දිසානායක සමඟ එක්වූ ආධාරකරුවන්ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නාමල් රාජපක්ෂ සහ හිටපු පළාත් ඇමති ඩී.වී උපුල් සමඟ එක්වූ ආධාරකරුවන්ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් පවිත්‍රා වන්නිආරච්චි සහ රංජිත් සොයිසා සමඟ එක්වූ ආධාරකරුවන්ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් අක්මීමන රමේෂ් පතිරණ සහ මොහාන් සිල්වාද, කළුතර දිස්ත්‍රික්කයෙන් කුමාර වෙල්ගම, පියල් නිශාන්ත සමඟ එක්වූ ආධාරකරුවන්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එස්.එම් චන්ද්‍රසේන සමඟ එක්වූ ආධාරකරුවන්ද, පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් රොෂාන් රණසිංහ සමඟ එක්වූ ආධාරකරුවන්ද ඇතුළු බොහෝ මන්ත්‍රීවරුන් සමඟ එක්වූ පිරිස් පාද යාත්‍රාවට එක්කලේ නව ජවයකි. පාද යාත්‍රාව සංවිධානය කිරීමෙහිලා සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න දින 5දීම දැක්වූ කැපවීමද මෙහිලා ඉහළින් කැපී පෙනින. මෙයට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, පළාත් සභා සහ පළාත් පාලන වල හිටපු සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් අති බහුතරයද දින ගණනාවක්ම පාද යාත්‍රාවට එක්වී සිටිනු දක්නට ලැබිණි.

විමල් වීරවංශගේ නායකත්වයෙන් ජාතික නිදහස් පෙරමුණේ දහස් ගණන් සාමාජික සංඛ්‍යාවක් පාද යාත්‍රාවට දැවැන්ත සටන්කාමීත්වයක් සපයනු ලැබීය. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වූ කළුතර ජයන්ත සමරවීර, මොණරාගල උදය ශාන්ත, මාතර නිරෝෂන ප්‍රේමරත්න, අනුරාධපුරයේ වීරකුමාර දිසානායක එහි ඉදිරියෙන්ම විය. වාසුදේව නානායක්කාරගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ටී.ඩී තිලකසිරි ඇතුළු ක්‍රියාකාරිකයෝ සිය ගණනක් පෙළපාලියේ ගමන් ගත්තේ විරෝධයේ අධිෂ්ඨානය නමින්වූ සටන් පාඨ හඬ නගමිනි. ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, නියෝජ්‍ය ලේකම් අනිල් සොයිසා ඇතුළු සමසමාජ ක්‍රියාකාරිකයෝ විශාල පිරිසක්ද නිරතරුව පෙළපාලියට එක්විය. කොමියුනිස්ට් පක්ෂය නිල වශයෙන් මෙයට සහභාගි නොවන බව එහි ලේකම් ඩිව් ගුණසේකර ප්‍රකාශ කර තිබුණද කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ සහ දකුණු පළාත් සභා ඇමති වීරසුමණ වීරසිංහ ඇතුළු කොමියුනිස්ට් පාක්ෂිකයින් විශාල පිරිසක් පාද යාත්‍රාවේ දින කිහිපයක්ම ගමන් කරනු දක්නට ලැබිණි. ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර නම් දක්නට නොලැබිණි.

පාද යාත්‍රාවේ සුවිශේෂි ලක්ෂණය වූයේ එහි ගමන් ගත් සියයට 30කට වැඩි පිරිසක් කාන්තාවන් වීමය. ඉන් බොහෝ දෙනා වයස 30ත් 60ත් අය අතර වූහ. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්වූ රත්නපුරයේ පවිත්‍රා වන්නිආරච්චි, ගාල්ලේ ගීතා කුමාරසිංහ, අම්පාරේ ශ්‍රියානි අබේවික්‍රම වැනි අය දින ගණනාවක්ම එයට සටන්පාඨ කියමින් පාද යාත්‍රාවට නායකත්වය දෙමින් තිබිණි. සබරගමු පළාත් සභා මන්ත්‍රීනි ලංකා සමසමාජ පක්ෂයේ වත්සලා ජනාදරී පද්මසිරි පාද යාත්‍රාවේ අවසන් දිනය පුරා දක්නට ලැබූ අතර රක්ත වර්ණයෙන් සැරසුන කෑගල්ලේ සමසමාජ කාන්තා ක්‍රියාකාරිනියන් සිය ගණනකට ඇය සටන්කාමී නායකත්වයක් සපයනු ලැබීය. ‘යහපාලනය’ වෙනුවෙන් එදා පෙනී සිටි මධූෂා රාමසිංහ දින 5 පුරාම කාන්තාවන් කණ්ඩායමක් සමඟ සටන් පාඨ හඬ නගමින් යෑම මඟදෙපස සිටි සැමගේ අවධානයට ලක්විය.

සමස්ථ ලංකා සමෘද්ධි මහා සංගම් සහ කාර්යාල නිලධාරින්ගේ සංගමය එහි සභාපති ඉන්ද්‍රජිත් බණ්ඩාර අබේසේකරගේ නායකත්වයෙන් පාද යාත්‍රාවේ දින ගණනාවක්ම සමෘද්ධිලාභින් සිය ගණනක් සමඟ සටන්පාඨ හඬ නගමින් ගමන් කරනු දක්නට ලදී. දිවි නැගුම යටතේ දුන් සහන සමෘද්ධිලාභීන්ට ලබාදෙන ලෙසද දිවි නැගුම නිලධාරින්ගේ වෘත්තීය අයිතීන් කප්පාදුවට එරෙහිවද ඔවුන් අත පුවරු විය. සමස්ථ ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් සහ කාර්යාලීය නිලධාරි සංගමයේ භාණ්ඩාගාරික රෝහිත සේනාධීර, සුබසාධක භාණ්ඩාගාරික උපාලි ඒකනායක සහ විධායක සභික රන්දෙණියද ඔවුනට නායකත්වය දෙන ලදී. රණවිරුවන් රෝද පුටුවල සිට තමනට හිමිවිය යුතු අයිතීන් නොලැබීම පිළිබඳව අවනඩුව ඔවුන් ප්‍රදර්ශනය කල පුවරුවල ලියා තිබිණි. ජනහිතවාදී කලාකරුවෝ නියෝජනය කරමින් ඕෂධී හේවාමද්දුම, ගාමිණී ජයලත් ඇතුළු විශාල කලාකරුවන් පිරිසක් එක්ව සිටියහ. වෘත්තීය සමිති, සිවිල් සහ දේශපාලන සංවිධාන ගණනාවක් පාද යත්‍රාවට එක්ව සිටි අතර සමස්ථ ලංකා පළාත් පාලන සංසදය, ප්‍රගතිශීලි බැංකු සේවක සංගමය ඒ අතර විය.

මෙවර ජුලි 28වැනිදා ආරම්භවූ නුවර කොළඹ පාද යාත්‍රාව ආරම්භ වූයේ පේරාදෙණිය පාලම අසළිනි. එයට හේතුව වූයේ නුවර නගරයේ එජාප ප්‍රවර්ධන වැඩසටහනක්ද එම මොහොතේ පැවැත්වෙන බවට පොලිසිය අධිකරණයට කල කරුණු ඉදිරිපත් කිරීමකින් පසු දෙන ලද නියෝගයක් අනුවය. එහෙත් එදින දවස පුරා නුවර නගරයේ කොඩි කොඩිවැල් එල්ලා තිබුණද විධිමත් සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් දක්නට නොලැබිණි. ප්‍රථම දින පා ගමන මාවනැල්ලෙන් නිමාවීමට තිබුණද පොලිසිය මාවනැල්ල අධිකරණයෙන් කල ඉල්ලීමක් අනුව පෙලපාලියට මාවනැල්ල නගරයට ඇතුල්වීමට තහනම් කර තිබිණි. මාවනැල්ල නගරයේද එජාප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් දක්නට නොලැබුණද කොල කොඩි එල්ලා තිබිණි. ඒ අනුව පාද යාත්‍රාවේ දෙවැනි දින ආරම්භය සිදුවූයේ මාවනැල්ල නගරය පසුකර උතුවන්කන්දෙනි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජුලි 29වැනිදා පෙරවරුවේ මාවනැල්ලේ උත්සව කිහිපයකට සහභාගිවිය. ඒ අතර මෙඩේරිගම විද්‍යාලයේ සහ මාවනැල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති රැස්වීම්ද විය. එයට ඇමතිවරුන්වූ රවුෆ් හකීම්, කබීර් හෂීම්, රංජිත් සියඹලාපිටියද එයට එක්ව සිටියහ.

පාද යාත්‍රාව පේරාදෙණියෙන් ඇරඹුණේ ලක්ෂයකට අධික ජන සංඛයාවකගේ සහභාගිත්වයෙනි. එහිදී නුවර දිස්ත්‍රිකයේ විවිධ ආසන වල ශ්‍රිලනිප පාක්ෂිකයින්ගේ උද්යෝගය කැපී පෙණිනි. මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙලිය රඹුක්වැල්ල, ලොහාන් රත්වත්ත, දිළුම් අමුණුගම ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආධාරකරුවන් දස දහස් ගණන් ඒ අතර විය. ප්‍රථම දින මුල්භාගයේදී විදිපුරා පාද යාත්‍රාව දෙගොඩ තලා ගලායෑම කිසිවෙකුට නැවතීමට නොහැකි විය.
 
පාද යාත්‍රාව ප්‍රථම දින එනම් ජුලි 28 කිලෝමීටර් 16ක් ගෙවා ගනේතැන්නට පැමිණියේ පේරාදෙණිය, පිලිමතලාව, කඩුගන්නාව සහ හිගුල පසුකරමිනි. දෙවන දින ජුලි 29වැනිදා එය උතුවන්කන්දෙන් ඇරඹූ අතර මොලගොඩ, කෑගල්ල, ගලිගමුව හරහා නෙළුම්දෙනියට පැමිණියේ කිලෝමීටර් 25ක් ගෙවාගෙනය. ජුලි 30 තෙවන දිනය සෙනසුරාදා වූ අතර නෙළුම්දෙණියෙන් ආරම්භවූ පාද යාත්‍රාව වරකාපොල, වේවැල්දෙණිය, කලගෙඩිහේන, ගම්පහ හරහා නිට්ටඹුවට පැමිණියේ කිලෝමීටර් 28ක් පසුකරමිනි.

සිව්වන දින එය නිට්ටඹුවෙන් ආරම්භ වූ අතර කිලෝමීටර් 30ක් පසුකොට කිරිබත්ගොඩින් නිමාවිය. කඩවත සිට කිරිබත්ගොඩ දක්වා සවස 5 සිට රාත්‍රී දක්වා ප්‍රධාන සෑම මංසංදියකම දහස් ගණන් පිරිස් පැමිණ සිටියේ පවුල් පිටිනි. එම ප්‍රදේශවල සිටි සමස්ථ පිරිස කෑගල්ලට වඩා වැඩිය. එහි නායකත්වය ගෙන සාර්ථකව ගම්පහ තුළ පාද යාත්‍රා වැඩසටහන තුළ මුළු බරම කර ගසා තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිනුවන්ගොඩ ප්‍රසන්න රණතුංගය. විශේෂයින් සිව්වන දින සංවිධාන කටයුතුවලදී ගම්පහ, දොම්පෙ සහ මහර පෙදෙස් වලින් දස දහස් ගණන් පිරිස් පෙළපාලියට එක්වීමට සංවිධානාත්මකව පැමිණ සිටියහ. ඔවුහු ගම්පහ හිටපු මන්ත්‍රී සරණ ගුණවර්ධන, දොම්පෙ හිටපු ප්‍රාදේශීය සභා සභාපති මිලාන් ජයතිලක සහ මහර පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප්ගේ ආධාරකරුවන් වූහ. පාගමන අවසානයේ එදින පැවති රැස්වීමට අතිවිශාල පිරිසක් එක්වූ අතර එහි සංවිධාන ශක්තිය විදහාපෑවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කැලණිය ප්‍රසන්න රණවීරය. සන්ධානයේ මඑපෙ මන්ත්‍රී සිසිර ජයකොඩි දින ගණනාවක්ම පාද යාත්‍රාවේ ඉදිරියෙන්ම විය.

අවසාන දින එනම් අගෝස්තු 1වැනි සඳුදා පාද යාත්‍රාව ඇරඹුණේ කිරිබත්ගොඩ නගරයෙනි. එය කැලණිය, පෑලියගොඩ, මරදාන, ඩාර්ලි පාර ඔස්සේ ලිප්ටන් වටරවුමේ පුරහල අසලට කිලෝමීටර් 13ක් පසුකරමින් ඇතුළු වූයේ පස්වරුවේදීය. ඒ වන විටත් අවසන් රැස්වීමට සහභාගිවීමට අතිවිශාල පිරිසක් ලිප්ටන් වටරවුමට පැමිණ තිබිණි. පාද යාත්‍රාවේ මුල්කොටස ලිප්ටන් වටරවුමට ඇතුල්වී අවසන් කොටස එයට ඇතුල්වන විට පැය 2කට වඩා ගතවිය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට ලක්ෂ ගණනක් එක්ව තිබිණි. එම වටරවුමේ දවටගහ පල්ලිය අසල සිට පැරණි ඇලෙක්සැන්ඩ්‍රා විදුහල දක්වාද, වොඩ් පෙදෙසින් දන්ත රෝහල දක්වාද, කොටුව දෙසට හයිඩ් පිටිය දක්වාද මහරගම දෙසට ජේ.ආර්. ජයවර්ධන සංකෘතික කේන්ද්‍රය දක්වාද සෙනඟ පැතිර ගොස් තිබිණි. බැලූ බැලූ අත එකම හිස් ගොඩක් මෙන් යායකි. රැස්වීම අමතා ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම පොලොන්නරුව මන්ත්‍රී රොෂාන් රණසිංහ විසින් සපයන ලද ලොරියක සකස්කරන ලද වේදිකාවක නැගී කථා පැවැත්වූහ.

පාද යාත්‍රාව දිනූ රට රැකගැනීමට වෙරදරන ජනතාවට ගෙන ආවේ ජව ජවයකි. බලයකි. එය ජනතාගේ ස්වෙච්ඡා සහභාගිත්වයෙන් යුත් ව්‍යාපාරයක්ම විය. එයට අති බහුතර ජනතා සහභාගිත්වය ලැබුණේ එය සමස්ථයක් ලෙස ගත්කල ජාති, ආගම්, පක්ෂ සහ පාට වලින් ඔබ්බට ගිය වැඩපිලිවෙලක් තිබූ බැවිනි. ලාංකීය ඉතිහාසයේ පැවැත්වූ දැවැන්තම පාද යාත්‍රාව පමණක් නොව වැඩිම ජනකායක් එක්වූ අවස්ථාවක් ලෙසද එය ඉතිහාසයට එක්වී හමාරය.
 
(The writer ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 8405542059618751784

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item