ඉන්දියාවේදී යුද අවි පුහුණුව ලැබූ අවිස්සාවේල්ලෙන් බිහිවූ ‘රතු ගැන්සිය’

ඉහළ වමේ සිට, අවිස්සාවේල්ල වාම කණ්ඩායමේ ක්‍රියාකාරිකයින් 8 දෙනෙකුට ඉන්දියාවේදී මාස 5ක අවි පුහුණුවක්...

ඉහළ වමේ සිට, අවිස්සාවේල්ල වාම කණ්ඩායමේ ක්‍රියාකාරිකයින් 8 දෙනෙකුට ඉන්දියාවේදී මාස 5ක අවි පුහුණුවක් ලබාදුන් ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායකයාවූ තිරු කේ. පද්මනාභ, මාක්ස්වාදී න්‍යායෙන් වඩාත් පන්නරය ලබාදුන් ආචාර්ය නිව්ටන් ගුණසිංහ, ඉන්දිය අවිපුහුණුව සම්බන්ධීකරණය කල විකල්ප කණ්ඩායමේ නායකයෙකුවූ ජෝ සෙනෙවිරත්න, අවිස්සාවේල්ල කණ්ඩායමේ එක් මංකොල්ලයක්වූ උඩබාගේ වතුයායේ ලක්ෂ 4 මංකොල්ලයට අනුබල දුන් බවට පොලිසිය චෝදනාකල වර්තමානයේ නෙදර්ලන්තයේ ඇමස්ටඩෑම්  සරසවියේ ආරාධිත මහාචාර්යවරයෙකුවන ආචාර්ය රාමනුජන් මානික්කලිංගම් නොහොත් මොහාන්, පරික්ෂණ මෙහෙයවූ ජේෂ්ඨ පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරා සහ අධිකරණයේදී විමලසේන නිදහස් කරගැනීමට 1988 ජුනි 24වැනිදා මැදිහත්වූ පසුව අර්ධ මිල්ටරි කණ්ඩායමක්වූ ප්‍රා මගින් 1989 අගෝස්තු 28වැනිදා ඝාතනයට කල නීතිඥ කාංචන අබේපාල.
ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය රටේ ඉතිහාසයට විශාල වශයෙන් බලපෑමක් ඇතිකල ලොකු කථාවකි. කම්කරු පන්ති ව්‍යාපාරයේ සටන් මෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට සහ රදළවාදයට එරෙහිව කල නිදහස් සටනද එය හා බැදී පවතී. ලංකාවේ මාක්ස්වාදයේ පියා ලෙස සැලකෙන පිලිප් ගුණවර්ධන උපන්නේ හේවාගම් කෝරළයේ කොස්ගම ගම් පියසේය. එය සීතාවක රාජසිංහ රජු යටතේ පෘතුගීසින්ට එරෙහිව සටන් වැදුණු ශ්‍රේෂ්ඨ රණකාමින්ගේ තෝතැන්නක්ද විය. පිලිප් වූ කලී කෙස් පැලෙන තර්ක ගොඩනැඟූ න්‍යායවාදියෙකු නොවීය. ඔහුට දේශපාලනයේ ප්‍රායෝගික ප්‍රවේශයක් තිබුණේය. පිලිප්ගේ ආගමනයෙන් කැලණි මිටියාවත හරහා හමාගිය වාම දේශපාලනය පසු කළෙක ලාංකීය සමාජයට ප්‍රබල බලපෑමක් එල්ල කළේය.

හැටේ දශකය අවසානයේ රටපුරා ව්‍යාප්තවු රෝහණ විජේවීරගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) විප්ලවීය දේශපාලනය අවිස්සාවේල්ල ආසනයට 1968 ජනවාරි මස හදුන්වා දුන්නේ හිඟුරල රාජා දිසානායකය. ඔහු එවකට ජි.අයි.ඩී ධර්මසේකරගේ අනුගාමිකයෙකුවූ අතර පසුව ධර්මසේකර සමගින් ජවිපෙන් 1970 ජනවාරි ඉවත්ව මෘතෘභූමි ආරක්ෂක සංගමයේ පුරෝගාමි පූර්ණකාලීනයින් 57 දෙනා අතර විය. අවිස්සාවේල්ල ඇස්වත්ත හන්දියේදී 1971 අප්‍රේල් 2වැනිදා ලේක්හවුස් පුවත්පත් බෙදාහරින වෑන් රථයක් ගිනිතබා විනාශ කළේද රාජා දිසානායකගේ නායකත්වයෙන් එම කණ්ඩායමේ පිරිසක් විසිනි. රාජා වර්තමානයේ ආයුර්වේද වෛද්‍යවරයෙකි.

ජවිපෙ දේශපාලනය අවිස්සාවේල්ල සහ ඒ අවට ගම්වල ප්‍රචලිත කිරීමේ ගෞරවය හිමිවන්නේ 1968 මැද භාගයේ සිට එහි පූර්ණකාලීනයින්වූ පසුව ජවිපෙ 71 අප්‍රේල් කැරැල්ලේ පොලිස් කොට්ඨාශ ලේකම්වරුන්වූ තුම්මෝදර ටී.ඩී ප්‍රේමරත්න(හංවැල්ල) පුවක්පිටියේ පදිංචි පොල්වත්තේ තෙලඹුගලගෙදර ටිකිරිබණ්ඩාර(අවිස්සාවේල්ල) සහ බටත්තේ දොන් ප්‍රේමරත්න(කොස්ගම) යන තිදෙනාය. හංවැල්ල පොලිසියට එල්ලකල ප්‍රහාරයෙන් හංවැල්ල පොලිසියේ සාජන් තෝමස් ඝාතනයට පත්විය. අවිස්සාවේල්ල සහ ඒ අවට 71 අප්‍රේල් කැරළි සමය වනවිට ප්‍රබල ක්‍රියාකාරිකයින් අතර දැල්තර පොඩි නිමල් සහ විතාරණ, හංවැල්ලේ විල්සන්, තුම්මෝදර ලීලාරත්න, ඉංගිරියේ පී. වික්‍රමරත්න ඇතුළු පිරිසක් විය. එවකට ජවිපෙ කෝට්ටේ කලාපයට වැලිකඩ සිට අවිස්සාවේල්ල දක්වා පොලිස් කොට්ඨාශ 9ක් අයත්වූ අතර එහි ප්‍රථම දිසා ලේකම් වූයේ මහරගේ දොන් නෙවිල් නිමලරත්න නොහොත් නිමල් මහරගේය. අප්‍රේල් කැරැල්ල වන විට දිසා ලේකම් වූයේ ලක්ෂ්මන් චන්ද්‍රසේන ප්‍රනාන්දු නොහොත් කළු ලකීය. අප්‍රේල් කැරැල්ලේ 2වැනි විත්තිකරුවූ ලයනල් බෝපගේද එකල කොස්ගම කම්හලේ ඉංජිනේරු පුහුණු අභ්‍යාසලාභියෙකු ලෙස සේවයකල අතර ජවිපෙ පන්ති කොස්ගම සහ ඒ අවට පැවැත්වීමට ක්‍රියාකාරීව දායක විය.

පසු කලෙක වසර 1987 රජය පෙරළිමට කුමන්ත්‍රණය කිරීමේ 2වැනි මහ නඩුව ලෙස හැදින්වූ 1987 නඩුවට විත්තිකරුවන් 23 දෙනෙකු නම්කර තිබුණු අතර ඉන් 10 දෙනෙකු අවිස්සාවේල්ලේ ජනතා විප්ලවකාරි සංවිධානය නොහොත් අවිස්සාවේල්ල කණ්ඩායමේ සාමාජිකයින් විය. ඔවුන් මුළුමනින්ම වාගේ කොස්ගම සහ ඒ අවට උපන් වසර ගණනාවක් ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයින් වූහ. මෙම නඩුව විකල්ප කණ්ඩායමට එරෙහි නඩුව ලෙසට ඇතැම් මාධ්‍ය මගින් නම්කර තිබුණද සත්‍ය තත්ත්වය වූයේ එම ක්‍රමන්ත්‍රණ නඩුවේ චෝදනා ලැබු 23දෙනාගෙන් 12දෙනෙකු විකල්ප කණ්ඩායමට අයත්වූ අතර ඉන් 10 දෙනෙකු අවිස්සාවේල්ල කණ්ඩායමේ සාමාජිකයන් බවය. විකල්ප කණ්ඩායමේ නායකයා කරකාර තෝමස් ජෝර්ජ් නොහොත් ජෝ සෙනෙවිරත්න වූ අතර න්‍යායචාර්යවරයා වුයේ අහංගම විතානගේ මරියෝ දයා ජයතිලක ද සිල්වා නොහොත් කේ.කේය. අවිස්සාවේල්ලෙන් බිහිවූ කණ්ඩායමේ නායකයා මඩපාතගේ විමලසේන වූ අතර සම්බන්ධීකාරකවරයා වූයේ කළුආරච්චිගේ ධනපාලය.

අවිස්සාවේල්ලේ කොස්ගම සහ ඒ අවට පදිංචි මෙම නඩුවේ චූදිතයන් හා සාක්ෂිකරුවන්ව සිට නිදොස්වූ අවිස්සාවේල්ල කණ්ඩායමේ හිටපු නායකයින්, ක්‍රියාකාරිකයින් සහ හිතවතුන් මෙන්ම ජවිපෙ එහි සිටින මුල් පුරුක් සමඟද ලියුම්කරු සාකච්ඡා කළේය. එමෙන්ම එම නඩුවට අදාළ සටහන් සහ චූදිතයින් පොලිසිය වෙත කරන ලද ප්‍රකාශද, මෙම සිද්ධි මාලාවට අදාළ වතගොතද අධ්‍යනයකර අසූව දශකයේ මුල්භාගයේදී කොස්ගම ඇතුළු අවිස්සාවේල්ලෙන් බිහිවූ එම කණ්ඩායම පිළිබඳව කථාවයි මේ.

ජනතා විප්ලවකාරි සංවිධානය නොහොත් අවිස්සාවේල්ල කණ්ඩායම ප්‍රථමයෙන් ඇරඹුණේ මඩපාතගේ විමලසේනගේ නායකත්වයෙන් අධ්‍යයන කවයක් ලෙසිනි. විමලසේන 1969 ආරම්භයේදී ජවිපෙට එක්වු අතර 71 අප්‍රේල් කැරැල්ලේදී පාසැල් ශිෂ්‍යයෙකු වශයෙන් එයට සහභාගි විය. පසුව ජවිපෙ පූර්ණකාලිනයෙකු බවට පත්විය. අනතුරුව 1980දි ජවිපෙන් ඉවත්වූයේ න්‍යායික සහ වෙනත් මතවාදී ගැටලු හේතුවෙනි. ඉන්පසු ඔහු විසින් කුඩා කණ්ඩායමක් ගොඩනැගූ අතර කොස්ගම ඇතුළු අවිස්සාවේල්ල ජවිපෙ ක්‍රියාකාරිකයින් රැසක්ද 1981 සිට ජවිපෙන් මතවාදිව ඉවත්වී විමලසේනගේ කණ්ඩායමට එක්විය. විමලසේනගේ නිවසේ ජාත්‍යන්තර ගරිල්ලා ව්‍යාපාර, විවිධ විදේශීය වාමාංශික විෂයන් පිළිබඳ සාකච්ඡා පැවැත්වූ අතර කුඩා කණ්ඩායමක් ලෙසට ඔවුහු ආණ්ඩු විරෝධී අරගලයටද කොළඹ සහ රටේ විවිධ ස්ථානවලදී එක්විය. ගරිල්ලා අරගලයක් සිදුකර එම පහරදීම් හරහා ජනතාව දිනාගැනීම එම කණ්ඩායමේ අරමුණ විය. පොදු ජනතාව වෙනුවෙන් වාමාංශික ව්‍යාපාරයක් ගොඩනැගීමට දායකවීමද ඔවුන්ගේ අරමුණ විය. ආණ්ඩුව වෙනස්කර වැඩක් නොවන බවද රාජ්‍ය වෙනස්කල යුතු බවද මතය විය.

අවිස්සාවේල්ල කණ්ඩායම සමඟ පූර්ණකාලීනව එක්වූ අය 14 පමණ විය. අර්ධකාලීනව එක්වූ අය 10ක් පමණ විය. ඉංගිරිය පුස්වැල පදිංචි උඩවත්ත රාළලාගේ සුබරත්න, අටලුගම විදුහල්පති ජිනසේන, ගෝනගල්දෙණියේ පියදාස, මාවල්ගම රණපාල රූපසිංහ, මහරගම සුමිත්, ගොඩමුණිගේ ධර්මසේන, හංවැල්ලේ සුරවීර සහ කනම්පැල්ල කඩුලුමුල්ල පදිංචි කපුගේ රත්නපාල ඇතුළු පිරිසක් ඒ අතර විය. එමෙන්ම අවිස්සාවේල්ලේ මෙම කණ්ඩායම දිරිගැන්වූ අය 25 පමණ සිටි අතර ඔවුනට නුවර ආචාර්ය ප්‍රින්ස් නිව්ටන් ගුණසිංහ, කටුගස්තොට ජයරත්න මලියගොඩ, කාන්තාව සහ මාධ්‍ය සාමුහිකයේ ලීනා අයිරින් සපුතන්ත්‍රි, ලංකා ගුරු සංගමයේ පද්මිණී පල්ලියගුරු, ඇස්වත්තේ ගුණතිලක, නිහාල්, හේමචන්ද්‍ර ඇතුළු පිරිසක් අයත්වේ. ලීනා අයිරින් රාජගිරියේ රිය අනතුරකට ලක්ව මියයන්නේද අවිස්සාවේල්ල කණ්ඩායමේ අධිකරණ කටයුත්තකට සහාය ලබාගැනීම සඳහා යමින් සිටියදීය.

ඉන්දියාවේ මදුරාසියේ සූලෙයිමෙඩුහි 1986දී ගිය විජය කුමාරතුංග ඇතුළු මහජන පක්ෂයේ නායකයින් දෙමළ බෙදුම්වාදී ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය සමඟ පැවැති සාකච්ඡාවකින් පසු. වමේ සිට ඔසී අබේගුණසේකර, චන්ද්‍රිකා කුමාරතුංග, විජය, ඊ.පී.ආර්.එල්.එෆ් නායක කේ. පද්මනාභ සහ එල්. කේතීස්වරම්.
සිය දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීම, පූර්ණකාලීනයින් නඩත්තු කිරීම, සම්බන්ධීකරණය වැනිදෑ සඳහා අවශ්‍ය මුදල් අවිස්සාවේල්ල කණ්ඩායම සුපුරුදු පරිදි අන් සෑම විප්ලවවාදී කණ්ඩායමක් මෙන්ම සොයා ගත්තේ සොරකම් සහ මංකොල්ලකෑම් වලනි. කණ්ඩායම වෙනුවෙන් ඒවා සැලසුම් කළේද මෙහෙයවූයේ කළුආරච්චිගේ ධනපාලය. ඒ අනුව ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් උඩබාගේ වත්තේ රුපියල් ලක්ෂ 4ක් 1985 දෙසැම්බර් 10ද, දැරණියගල වරකතැන්නේ එච්. ඒ සේනාරත්නට අයත් 167,000ක මුදලක් 1985 මාර්තු 4වැනිදාද, කිරිදිවැල ලීබඩු සාප්පුවකින් වෑන් රථයක්ද පැහැරගෙන තිබිණි. තඹේගම වත්ත රුපියල් ලක්ෂ 7ක කොල්ලය අසාර්ථක විය. සේනාරත්නගේ මුදල් පැහැරගැනීම සාර්ථකවූ අතර එහිදී යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදි ධනපාල හදිසි අනතුරකට ලක්විය. එය මෙම කණ්ඩායම පිළිබඳව පොලිස් පරික්ෂණ සාර්ථක කරගැනීම සඳහා බෙහෙවින් ඉවහල් විය. බම්බලපිටිය ගීන් කැබින් අසළ එයාර්ලංකා කාර්යාලයේ මුදල් කොල්ලකෑමට ධනපාල විසින් ලිවිස් පෙරේරා සමඟ සාකච්ඡාකර තිබුණේ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ(පීකිං පිළ) නායක නාගලිංගම් ශන්මුගදාසන්ගේ නිවසේදීය. එහෙත් එය ක්‍රියාවට නැගීමට නොහැකිවූයේ ධනපාල අත්අඩංගුවට පත්වු නිසාය. ඉන්දිය අවි පුහුණුව, මංකොල්ලකෑම් සැලසුම් සහ විකල්ප කණ්ඩායම අතර සාකච්ඡා පැවති ප්‍රධාන ස්ථානය වූයේ ක්‍රිස්ට්‍රෝට් රංජිත් කුමාර් හෙන්රි නොහොත් හැරී භාරකාරිත්වය දැරූ වැල්ලවත්තේ ලිලී මාවතේ පිහිටි බාලසුප්‍රමනියම් සිවගුණානන්දන්ගේ නිවසේදීය.

අවිස්සාවේල්ලෙන් 1982දී බිහිවූ ජනතා විප්ලවකාරි සංවිධානයේ
නිර්මාතෘ සහ නායක කොස්ගම පදිංචි මඩපාතගේ විමලසේනගේ
ජිවිතයේ විවිධ අවස්ථාවන් ඉහළ වමේ සිට වයස අවුරුදු 9, 1983දී,
අත්අඩංගුවෙන් නිදහස්වී 1987 ජුලි 07 වැනිදා සහ වර්තමානයේදී.
ඉන්දියාවේදී මාස 5ක කාලයක් යුධ අවි පුහුණුව සඳහා අවිස්සාවේල්ලේ කණ්ඩායමේ සාමාජිකයින් 8 දෙනෙකු විකල්ප කණ්ඩායමේ සම්බන්ධීකරණයෙන් ඉන්දියාවට ගියහ. එම ගිය පිරිස වූයේ මඩපාතගේ විමලසේන, හෝලෝ පතිරගේ ලිවේරිස් කල්දේරා, ගොඩිගමුව මුදියන්සෙලාගේ ධර්මසේන, ආර්. ඒ. ජයරත්න, කාරියවසම් ඉදිපොලගේ සරත් ගාමිණි, සපුතන්තිගේ කරුණාසේන දයානන්ද, කන්දමුල්ලගේ කරුණාදාස සහ පියදාස ගාල්ලගේ වේ. මෙම කණ්ඩායම ගුවන් මගින් ඉන්දියාවට ගියේ කටුනායක සිට ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් බලාය. ඒ 1985 අප්‍රේල් 12, 14, 16 යන දිනයන්හිදීය. ත්‍රිවේන්ද්‍රම් නුවරට කලින් ගොස් සිටි ජෝ සෙනෙවිරත්න ගුවන්තොටුපොලට පැමිණ මොවුන් පිළිගත් අතර මෙම අයගේ අවි පුහුණු වැඩසටහන ඊ.පී.ආර්.එල්.එෆ් සමඟ සම්බන්ධීකරණය කළේ ඔහුය. නුවර ගොවි කම්කරු මධ්‍යස්ථානයේ පෙරියසාමි මුත්තුලිංගම් නොහොත් මුත්තුද මෙහිදී ජෝට සහාය විය.

එම කණ්ඩායම ප්‍රථමයෙන් ගීන් ලොජ්හි නැවතුන අතර පසුදින මදුරාසිය බලා බස් රථයෙන් පැමිණියහ. ඊ.පී.ආර්.එල්.එෆ් නායක පද්මනාභ මෙහිදී ප්‍රථමවරට අවිස්සාවේල්ල කණ්ඩායම හමුවී සාකච්ඡා කල අතර පාඨමාලාව අවසානයේදීද නායක පද්මනාභ ඔවුන් යළිත් හමුවිය. ඊ.පී.ආර්.එල්.එෆ් අවි පුහුණු කඳවුර ස්ථාපනය කර තිබුණේ තුම්ඹකොනම් හිදීය. දිළිදු ගැමියන්ගේ රටකජු වගාවන් එම ප්‍රදේශයේ දැකගැනිමට හැකිවූ අතර කඳවුර පිහිටියේ නීලගිරි කන්දේය. ජල පහසුකම් ලබා ගත්තේ ගලාගිය දොලකිනි. ඉතා ඈතින් තව පුහුණු කඳවුරු 2ක් දිස්විය. ඉන්දිය රජයේ නිල නොවන අනුග්‍රහයද මේවාට ලැබි තිබිණි.

පුහුණු කඳවුරේ දවසේ කටයුතු ඇරඹෙන්නේ උදෑසන 4.30ටය. දුඹුරු කොට කලිසමකින් සහ අත් කොට බැනියමකින් සැරසී කිලෝමීටර් 4ක පමණ දුරක් ඇවිද ව්‍යායාම කල යුතුය. පසුව ඒ පිටින්ම කඳවුරට පැමිණ ව්‍යායාම් කල යුතුය. උදෑසන ආහාරය පෙරවරු 7ටය. ගරිල්ලා යුධ පන්ති ඇරඹෙන්නේ උදෑසන 9ටය. එය භාරව සිටියේ සිංහල හොදින් කථා කල හැකි කන්තලේ ද්‍රවිඩ ජාතිකයෙකුවූ මොහාන්ය. ඔහු වර්තමානයේ කැනඩාවේ පදිංචිය. ආයුධ පිළිබඳව න්‍යායික පුහුණුවෙන් පසු දිවා ආහාරය දහවල් 2ටය. රාත්‍රී 7 පමණ ආහාරය ගෙන නිදාගනු ලබයි. මාස 5ක් ඔවුහු එහිදී මෝටාර්, ගෑස් වෙපන්, එස්.එම්.ජී, ඒක් 47 ඇතුළු නවීනතම අවි පුහුණුව ලැබුහ. බිම් බෝම්බ සවිකිරීම පුපුරුවාහැරීම පිළිබඳව පුහුණුවක්ද එයට අයත් විය. රාත්‍රී මුර සේවයක්ද කණ්ඩායම් ක්‍රමයට ක්‍රියාත්මකය. කඳවුරුවලට ප්‍රහාරාත්මක පහරදිම් පිිළිබඳව කිඹුලා, හාවා, රිලවා, දිවියා වැනි නම්වලින් හැදින්වෙන න්‍යායික සහ ප්‍රායෝගික අභ්‍යාසද සතිපතා පැවැත්විණි. ඇතැම් අවස්ථාවන්හිදී රාත්‍රී 1ට ඇහැරවමින් කඩිනම් ප්‍රහාරවලට සූදානම් වන අන්දමද ප්‍රායෝගිකව උගන්වන ලදී. ආහාර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය කඳවුරෙන් සැපයෙන අතර තමාට කැමති පරිදි ඒවා පිස ගැනිම පුහුණුව ලබන පිරිස විසින්ම සිදුකරන ලදී.

විමලසේනගේ පියා මඩපාතගේ කරුණාරත්න, මව මිරිහානගේ
සෙ‍ෙලස්තිනා හාමි, බිරිඳ ධම්මිකා සිරියලතා සහ 1989 සැප්තැම්බර් 5
ආරක්ෂක හමුදා අතින් ඝාතනයට පත්වූ බිරිඳගේ
සොහොයුරවන ගාමිණී සුසන්ත(ඉහළ වමේ සිට)
මාස 5ක පුහුණුව නිමාවෙන් පසු යළි ලංකාවට පැමිණියේ බෝට්ටුවෙනි. එදින පස්වරු 2ට කුඹකෝනා ප්‍රදේශයෙන් මන්නාරමේ කල්ලඩි කඳවුර ආසන්න ප්‍රදේශයට පැමිණෙන විට රාත්‍රී 12 පමණ විය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රා මඟහැරමින් ගමන සිදුකිරීම ප්‍රමාදයට හේතුවිය. පසුව කැලෑ මාර්ගයකින් මඩු පල්ලිය අසළට ගොස් එතැන් සිට අනුරාධපුරයට පැමිණ දුම්රියෙන් කොළඹට ලඟා විය. කොළඹින් යළි නුවර පේරාදෙණිය 993 දරණ තැන පිහිටි ගොවි කම්කරු මධ්‍යස්ථානයට ගොස් වැඩසටහන ගැන සාකච්ඡා කෙරිණි. එම පුහුණුව සඳහා දෙවන කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් 1985 දෙසැම්බර් මස පිටත්වීමට නියමිතව තිබිණි. එම දෙවන කණ්ඩායමට කොළඹ සරසවි ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපති දයා පතිරණ ඇතුළු දකුණේ සිංහල ජාතිකයින් 15ක් ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය මගින් තෝරාගෙන තිබිණි. එහෙත් කලින් ඉන්දියාවට ගිය ප්‍රථම කණ්ඩායමේ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්වීමත් සමඟ එය ඇණ හිටිණි.

අවිස්සාවේල්ල කණ්ඩායමද ඇතුළත්වූ රජය පෙරළිමට කුමන්ත්‍රණය කිරීමේ 2වැනි මහ නඩුව කොළඹ මහාධිකරණය ඉදිරියේ 1987 ජනවාරි 20වැනිදා විභාගයට ගැනුණු අතර එහිදී විත්තිකරුවන් 23 දෙනෙකුට අධිචෝදනා භාරදීම සිදුවිය. මින් 12 දෙනෙකු විකල්ප කණ්ඩායමට අයත්විය. එක් අයෙකු වූයේ ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක කේ. පද්මනාභ නොහොත් රංජන්ය. ඉතිරි 10දෙනා අවිස්සාවේල්ල ජනතා විප්ලවකාරි සංවිධානයේ ක්‍රියාකාරිකයින් වේ. මෙයට අමතරව රජයේ සාක්කිකරුවන් 127දෙනා අතර අවිස්සාවේල්ල ජනතා විප්ලවකාරි සංවිධානයේ නායකයින් සහ ක්‍රියාකාරිකයින් 21 විය. මෙම නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සියළුම දෙනාට වසර දෙකහමාරක් බන්ධනාගාර ගතවිමටද සිදුවිය. මෙම විත්තිකරුවන් 23 දෙනාට විරුද්ධව මහාධිකරණයේ නඩු පවරනු ලැබුවේ රජයට විරුද්ධව ප්‍රචණ්ඩ ක්‍රියා හා රජය පෙරැළීමට කුමන්ත්‍රණය කිරීම, එම අරමුණු ඇතිව අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය රැස් කිරීම හා ළඟ තබා ගැනීම, මුදල් මංකොල්ලකෑම, අවි පුහුණුව සදහා පුද්ගලයන් ඉන්දියාවට යැවීම, රජය පෙරළීම සඳහා ජනතාව උසිගැන්වීම යන කරුණු ඇතුළත් චෝදනා 14ක් මත හදිසි නීති රෙගුලාසි සහ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට විරුද්ධව මෙම නඩුව 2481/87 යටතේ පවරා තිබුණි.

එම චූදිතයින් 23 දෙනාගෙන් විකල්ප කණ්ඩායමට අයත්වූ 12 වූයේ දයා ජයතිලකද සිල්වා, මර්ජ් ආයතනයේ ජෝ සෙනෙවිරත්න, ධර්මසේකර සමගින් ජවිපෙන් ඉවත්වූ මෘතෘභූමි ආරක්ෂක සංගමයේ සාමාජිකයෙක්ව සිටිමින් ශ්‍රී ලංකාවේ ඇමරිකන් තානාපති කාර්යාලයට 1971 මාර්තු 6 පහරදීමට සම්බන්ධ බවට චෝදනා එල්ලවී පසුව නිදහස්වූ දයාපාල තිරාණගම නොහොත් ලොකු සිල්වා, කැලණි සරසවියේ සහාය කථිකාචාර්ය පුල්සරා නයනි ලියනගේ නොහොත් පුල්සි, චින්තන ද සිල්වා නොහොත් කමල්, පූර්ණකද සිල්වා නොහාත් ලලිත් නොහොත් පි.එල්, නුවර ගොවි කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක පෙරියසාමි මුත්තුලිංගම් නොහොත් මුත්තු, රාමනුජන් මානික්‍යලිංගම්, දුම්රිය සේවකයෙකුවූ සපුතන්ත්‍රිගේ කරුණාසේන දයානන්ද නොහොත් ශාන්ත, ක්‍රිස්ටෝම් රංජිත් කුමාර නොහොත් හෙන්රි, ඉක්බාල් නොහොත් ඉබ්බා සහ නිදහස් වීමෙන් පසුව 1988 මැයි 18වැනිදා ආරම්භවූ ප්‍රා සංවිධානයේ සම නායකයාවූ තුයිහන්දිගේ සරත් සිල්වා නොහොත් පොඩි සිල්වා නොහොත් සෝමසිරි සිල්වා නොහොත් කුමාර වේ.

නඩුවේ චූදිතයින් 23 අතරින් අවිස්සාවේල්ල ජනතා විප්ලවකාරි සංවිධානයට අයත් 10 දෙනා වූයේ ආර්. ඒ ජයරත්න නොහොත් ජෙගන්, කාරියවසම් ඉඳිපොලගේ සරත් ගාමිණී නොහොත් ස්ටැන්ලි, පියදාස ගාල්ලගේ නොහොත් සිරිල්, ලිවේරිස් කල්දේරා නොහොත් ඩිකී, ගොඩිගමුව මුදියන්සේලාගේ ධර්මසේන නොහොත් රාළහාමි, කන්දමුල්ලගේ කරුණාදාස නොහොත් ලියෝ, ඊරියගල්ල කංකානම්ලාගේ කරුණාරත්න නොහොත් සුදා, කෝරාලලාගේ පියදාස නොහොත් මැනේජර්, ආරියදාස නොහොත් දැරණියගල ආරි, පේලි ආරච්චිගේ චිත්‍රසේන නොහොත් මයිකල්ය.

රජය පෙරළීමට කුමන්ත්‍රණය කරායැයි පැවරූ මෙම 2වැනි මහ නඩුවේ ඉහත චූදිතයන් 10දෙනෙකු රහසිගතව සැගවී සිටීම නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. ඉන්දු ලංකා ගිවිසුම යටතේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ අංක 1 සහ 2 නඩුවලටද ත්‍රස්තවාදය මර්ධන පනත යටතේ අත්අඩංගුවට ගත් පිරිස්ද, චූදිතයන්ද, වැරදිකරුවන්දවූ බහුතරයක් සැකකරුවන් 1988 අප්‍රේල් 22 පොදු සමාවක් යටතේ අවස්ථා කිහිපයකදී නිදහස් කළේය. ඒ අනුව මෙම නඩුවේ චූදිතයන් 23 දෙනාගෙන් 13 දෙනෙකු නිදහස් විය. මින්පසු රාජ්‍ය විරෝධී කටයුතුවල නොයෙදෙන බවට ලිඛිත පොරොන්දුවක් දීමද සිදුවිය. පසුව නීතිඥ ප්‍රින්ස් ගුණසේකරගේ උපදෙස් පිට නීතිඥ කාංචන අබේපාල 1988 ජුනි 28වැනිදා අභියාචනාධිකරණයට සිය සේවාදායකයා වන මඩපාතගේ විමලසේන බලහත්කාරයෙන් රහස් පොලිසිය මගින් රජයේ සාක්කිකරුවෙකු බවට පත්කිරීමට එරෙහිව ඉදිරිපත්කල කරුණු දැක්වීමෙන් පසු අභියාචනාධිකරණය විසින් රඳවාගෙන සිටි අවිස්සාවේල්ල කණ්ඩායමේ නායක මඩපාතගේ විමලසේන 1988 ජුලි 7වැනිදා නිදහස් කරන ලදී. පසුව සැගවී සිටි චූදිතයින් 8ක්ද අධිකරණයට භාරවීමෙන් පසු නිදහස් විය. නඩුව විභාග වූයේ කොළඹ මහාධිකරණ විනිසුරු අමීර් ඉස්මයිල් ඉදිරියේදීය. විත්තිකරුවන් වෙනුවෙන් කුමාර් පොන්නම්බලම්, බාල තම්පෝ, දුෂ්‍යන්ත සමරසිංහ, ඒන්ස්ලි සමරජීව ඇතුළු නීතිඥයෝ කිහිපදෙනෙක් පෙනී සිටියහ.

මෙම නඩුවේ චූදිතයන්ව සිට නිදහස්වූ 23 ගෙන් සිව් දෙනෙක් 2016 වනවිට මිය ගොස්ය. ඔවුන් නම් ආර්.ඒ ජයරත්න, පියදාස ගාල්ලගේ, ලිවේරිස් කල්දේරා සහ දැරණියගල ආරියදාස වේ. ජවිපෙ මගින් ලිවේරිස් කල්දේරා 1989දී ඝාතනයට ලක්වූ අතර සෙසු තිදෙනාගේ මරණ ස්වභාවික මරණයන්ය. එමෙන්ම කණ්ඩායමේ නායකයෙකුව සිටිමින් රජයේ සාක්කිකරුවෙකුවූ කළුආරච්චිගේ ධනපාල නිදහසින් පසු යළි ජවිපෙ සන්නද්ධ අංශයට 1988 අගභාගයේදි එක්වූ අතර 1989 සැප්තැම්බර් 2 ආරක්ෂක හමුදා පැහැරගැනීමෙන් පසු ධනපාල ඝාතනයට ලක්විය.

මෙම නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අවිස්සාවේල්ල කණ්ඩායමේ පහත සියළුම දෙනාට වසර දෙකහමාරක් පමණ බන්ධනාගාර ගතවිමටද සිදුවිය. එමෙන්ම අත්අඩංගුවට ගැනීමේදී ඔවුහු බෞද්ධාලෝක මාවතේ වර්තමාන අල්ලස් කොමිසම පිහිටි එවකට පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය, ලොන්ඩන් පෙදෙසේ විශේෂ රැඳවුම් ඒකකය, කොටුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ 4වැනි තට්ටුව, පුවක්පිටිය ආතර් ෆීල්ඩ් වතු බංගලාවක පිහිටි විශේෂ රැඳවුම් ඒකකය, පොලිස් ස්ථානවූ කුරුදුවත්ත, ගාල්ල වරාය, කොම්පඤ්ඤවීදිය යන පොලිස් ස්ථානවල රිමාන්ඩ් මැදිරිවලද රඳවා ගෙන වධ බන්ධනවලට ලක්ව අවසානයේ බොරැල්ලේ මැගසින් රිමාන්ඩ් බන්ධනගාරයේ එච් සහ බී වාට්ටුවල රඳවා තබාගන්නා ලදී.

අවිස්සාවේල්ලෙන් බිහිවූ එම වාම කණ්ඩායමේ නායකයින්ව සිට වසර දෙකහමාරකට අධික කාලයක් අත්අඩංගුවේ සිට නිදහස්වූ කඩුගොඩ ධර්මසේන ගොඩිගමුව නොහොත් රාලහාමි එදා සහ අද,  කොස්ගම පේලි ආරච්චිගේ චිත්‍රසේන, කඩුගොඩ පේලිආරච්චිගේ ලයනල්, කඩුගොඩ ගාමිණී රණසිංහ, 71 අප්‍රේල් කැරැල්ලේදී හංවැල්ල පොලිසියට පහරදුන් කණ්ඩායමේ සාමාජිකයෙකු වන එවකට 15 හැවිරිදි පුවක්පිටියේ රූපනන්දන පුංචිබණ්ඩාර නොහොත් පොඩි ටිකිරි(ඉහළ වමේ සිට)
කොස්ගම බැරේගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවූ 1951 පෙබරවාරි 1වැනිදා උපන් මඩපාතගේ විමලසේන 1971 සිට 1980 දක්වා ජවිපෙ පූර්ණකාලීනයෙකු විය. කලක් ජවිපෙ කෝට්ටේ දිසා සංවිධායකවරයෙකු ලෙස කටයුතු කළේය. විමලසේනගේ පියා කොස්ගම මහ විද්‍යාලයේ මුරකරුවෙකු වශයෙන් කටයුුතු කල අතර දරුවන් 4 දෙනෙකි. ඔහු ජෝර්ජ් ලෙසද හැදින්විණි. බිරිඳ තෙන්නකෝන් මුදියන්සේලාගේ ධම්මිකා සිරියලතාය. දෙදරු පියෙකි. ඉන්දියාවේ 1985දී මාස 5ක යුධ අවි පුහුණුවක් ලැබූවෙකි. විමලසේන අත්අඩංගුවට ගනු ලැබුවේ 1985 දෙසැම්බර් 18වැනිදා විහාර මහා දේවි උද්‍යානයේදීය. පසුව එදින සිට 1986 අප්‍රේල් 18 දක්වා කොළඹ ලොන්ඩන් පෙදෙසේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේද, 1986 අප්‍රේල් 19වැනිදා සිට 1986 ජුලි 10වැනිදා දක්වා ගාල්ල බූස්ස කඳවුරේද, 1986 ජුලි 11 සිට 1987 මාර්තු 20 දක්වා කොළඹ මැගසින් බන්ධනාගාරයේද, 1987 මාර්තු 21 සිට මීගමුව බන්ධනාගාරයේද අත්අඩංගුවේ තබා සිටි විමලසේන 1988 ජුලි 7වැනිදා නිදහස් කරන ලදී. විමලසේනගේ බිරිඳගේ සොහොයුරා වන තෙන්නකෝන් මුදියන්සෙලාගේ ගාමිණී 1989 සැප්තැම්බර් මස 5 මහරගමදී ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්ව පසුව ඝාතනයට ලක්වූ අතර ඔහුගේ සිරුර සීතාවක ගඟේ පාවෙමින් තිබියදී පවුලේ ඥාතීන්ට දැකගැනීමට හැකිවිය.

හෝලෝ පතිරගේ ලිවේරිස් කල්දේරා 1951 නොවැම්බර් 25 උපන් අතර ඩිගී ලෙසද හැදින්විණි. පියා ඊටින් වූ අතර මව බේබිහාමිය. කඩුවෙල කොතලාවල ගැමුණුපුර පදිංචිකරුවෙකි. මාලඹේ ශ්‍රී රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ රත්මලාන කාර්මික වැඩපොලේ සේවකයෙකු වශයෙන් 1974දී සේවයට එක්විය. එම ව්‍යාපෘතිය නිමවීමෙන් පසුව කඩුවෙල කොකාකෝලා සමාගමේ සේවකයෙකු වශයෙන් 1976දී එක්විය. එහි සේවය කරන විට 1977දී ජවිපෙට එක්වූ අතර 1979 රැකියාවෙන් ඉවත්ව ජවිපෙ පූර්ණකාලීනයෙක් විය. පසුව 1982දී ජවිපෙන් ඉවත්ව අවිස්සාවේල්ල කණ්ඩායමට 1984දී එක්විය. ඉන්දියාවේ 1985දී මාස 5ක යුධ අවි පුහුණුවක් ලැබූවෙකි. නඩුවේ 13වැනි චූදිතය. බිරිඳ එල්.ඩී පියසීලිය. තිදරු පියෙකි. නිදහස් වීමෙන් පසු දේශපාලනයෙන් ඉවත්ව සිටියදී ජවිපෙ කැරළිකරුවන් විසින් 1989 මැද භාගයේදී වෙඩිතබා ඝාතනය කරන ලදී.

කොස්ගමදී 1955 දෙසැම්බර් 29වැනිදා උපන් ගොඩිගමුව මුදියන්සෙලාගේ ධර්මසේන රාලහාමි ලෙසද හැදින්විණි. නඩුවේ 14වැනි චූදිතය. පියා ගොඩිගමුව මුදියන්සේලාගේ සිරිවූ අතර මව මල්ලවආරච්චිගේ ලිසිනෝනාය. කොස්ගම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. ජවිපෙට 1974දී එක්විය. දෙදරු පියෙකි. බිරිඳ චන්ද්‍රසීලිය. කලක් පෞද්ගලික ආරක්ෂක ආයතනයක නිලධාරියෙකි. ජවිපෙ පූර්ණකාලිනයෙකු වශයෙන් සිට 1982 මුල්භාගයේදී ඉවත්විය. අවිස්සාවේල්ල කණ්ඩායමට1982 අවසන්භාගයේදී එක්විය. ඉන්දියාවේ 1985දී මාස 5ක යුධ අවි පුහුණුවක් ලැබූවෙකි. කොට්ටාව බෝගහ අසළදී ධනපාල විසින් රහස් පොලිසියට කොටුකර දෙන ලදී. සී/ස නැගෙනහිර හේවාගම් කෝරලේ විවිධසේවා සමූපකාර සමිතියේ හිටපු සභාපතිවරයා මෙන්ම වර්තමාන අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකි. කොස්ගම ගොවිජන සංවර්ධන සභාවේ සභාපතිය. මහජන එක්සත් පෙරමුණේ කඩුගොඩ ශාඛාවේ ක්‍රියාකාරිකයෙකි. වර්තමානයේ ව්‍යාපාරිකයෙකි. මුණුබුරු මිනිබිරියන් 2කි.

ආර්. ඒ. ජයරත්න. ජෙගන් නමින් හැදින්විණි. නඩුවේ 10වැනි චූදිතය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සේවකයෙකි. එක්දරු පියෙකි. රුවන්වැල්ල දෙහිඕවිට පදිංචිකරුවෙකි. කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විදුහලේ අධ්‍යාපනය ලැබීය. සිසුවෙකු වශයෙන් ජවිපෙට එක්වී 1971 හංවැල්ල පොලිසියට එල්ලකල ප්‍රහාරයට සම්බන්ධවී පසුව අත්අඩංගුවට පත්විය. අවිස්සාවේල්ල කණ්ඩායමට1981දී එක්විය. ඉන්දියාවේ 1985දී මාස 5ක යුධ අවි පුහුණුවක් ලැබූවෙකි. හෘදයාබාදයකින් 2010දී මිය ගියේය. සිව්දරු පියෙකි. කාරියවසම් ඉදිපොලගේ සරත් ගාමිණි කරවනැල්ල පදිංචිකරුවෙකි. ස්ටැන්ලි නමින්ද හැදින්විණි. රියදුරෙකි. අවිස්සාවේල්ල කණ්ඩායමට1981දී එක්විය. ඉන්දියාවේ 1985දී මාස 5ක යුධ අවි පුහුණුවක් ලැබූවෙකි. නඩුවේ 11වැනි චූදිතය. එක්දරු පියෙකි. සපුතන්තිගේ කරුණාසේන දයානන්ද බණ්ඩාරගම පදිංචිකරුවෙකි. ශාන්ත නමින්ද හැදින්විණි. රත්මලාන දුම්රිය සේවකයෙකි. පසුව අවිස්සාවේල්ල තුනී ලැලි සංස්ථාවේ යන්ත්‍රාගාර සේවකයෙකු විය. අවිස්සාවේල්ල කණ්ඩායමට1981දී එක්විය. ඉන්දියාවේ 1985දී මාස 5ක යුධ අවි පුහුණුවක් ලැබූවෙකි. නඩුවේ 15වැනි චූදිතය. බිරිඳ ගුරුවරියක් වන අතර ඔහු දෙදරු පියෙකි.

දකුණේ සිංහල තරුණයින් පිරිසක් උතුරේ දෙමළ බෙදුම්වාදී
සංවිධානවල මෙහෙයවීමෙන් එදා යුධ පුහුණුව ලබමින් සිටි අවස්ථාවක්.
කන්දමුල්ලගේ කරුණාදාස 1949 ජුනි 25වැනිදා කඩුගොඩදී උපන් අතර ලියෝ ලෙසද හැදින්විණි. පුවක්පිටියේ කැලේගම පදිංචිකරුවෙකි. පියා කන්දමුල්ලගේ පබිලිස් අප්පුහාමි වූ අතර මව ජී. සාතිනෝනාය. සොයුරු සොයුරියන් 10 දෙනෙකි. කරුණාදාස 5 හැවිරිදි වියේදී ගොවියෙකුවූ පියා මිය ගියේය. කඩුගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කම්කරුවෙකු වශයෙන් 1969දීද පසුව අවිස්සාවේල්ල තුනී ලැලි සංස්ථාවේ පොම්ප ක්‍රියාකාරුවෙකු වශයෙන් 1970 සේවයට එක්විය. ලයනල් බෝපගේ විසින් කොස්ගමදී 1970දී පවත්වන ලද ජවිපෙ අධ්‍යාපන පන්තිවලට සහභාගිවී ජවිපෙට එක්විය. 71 අප්‍රේල් කැරැල්ලේදී කොස්ගම ප්‍රහාරයට සම්බන්ධ විය. වසර 2ක් මැගසින් බන්ධනාගාරයේ පසුවිය. චෝදනා නොමැති බැවින් 1973දී යළි නිදහස් වූ අතර තුනී ලැලි සංස්ථාවේ සේවයට යළි 1975දී එක්විය. එහිදී ජවිපෙ වෘත්තීය අංශයේ අවිස්සාවේල්ල සිට කැස්බෑව දක්වා කොට්ටේ කලාපයේ වෘත්තීය අංශයේ අර්ධකාලීනයෙකු විය. 1980 ජවිපෙන් ඉවත් විය.

වසර 1984 අවාහවූ කරුණාදාසගේ බිරිඳ හෙට්ටිආරච්චිගේ සීලවතීය. දෙදරු පියෙකි. 1971 අප්‍රේල් කැරැල්ලේදී කොස්ගම පොලිසියට එල්ල කල ප්‍රහාරයේදී වෙඩිල්ලක් වැදී ඔහුගේ ඇසකට තුවාල සිදුවිණි. පසුව අත්අඩංගුවට පත්ව වසර කිහිපයක් බන්ධනාගාරගත විය. අවිස්සාවේල්ල කණ්ඩායමට1981දී එක්විය. ඉන්දියාවේ 1985දී මාස 5ක යුධ අවි පුහුණුවක් ලැබූවෙකි. හලාවතදී 1986 මැයි 4වැනිදා පොඩි සිල්වා සමඟ පොලිස් අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදීම පිළිබදව චෝදනාව එල්ලවූයේ හලාවත සිසිර මල්ලිකාරච්චිය. ජෝ, පොඩි සිල්වාද පොලිස් අත්අඩංගුවට පත්වූයේ සිසිර මල්ලිකාරච්චිගේ තොරතුරක් අනුව බවට චෝදනාවකි. ඉන්දියාවෙන් ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයෙන් ගෙන එන ගිනිඅවි කණ්ඩායමේ ප්‍රයෝජනය සඳහා රහසිගතව තැබීමට ආමරියක් හලාවත ප්‍රදේශයේ ඉදිකරමින් සිටි බවට පොලිසිය චෝදනා කළේය. නිදහස් වූයේ 1988 අගෝස්තු 8වැනිදාය. නඩුවේ 16වැනි චූදිතය. වර්තමානයේ මොණරාගල ගොවිතැන් කටයුතුවල නිරත වේ.

කළුආරච්චිගේ ධනපාල, නඩුවේදී රජයේ සාක්කිකරුවෙකු බවට පත්විය. අවිස්සාවේල්ලේ තල්දූව පදිංචිකරුවෙකි. බිරිඳ මීගොඩ සපන්නලාගේ ලීලාවතීය. සිව්දරු පියෙකි. 71 අප්‍රේල් කැරැල්ලට සැකකරුවෙකු වශයෙන් තෙමසක් පමණ අත්අඩංගුවේ පසුවිය. නිදහසින් පසු ජවිපෙන් මතවාදීව ඉවත්විය. කොළඹ සමාජ අධ්‍යයන කවයේ ක්‍රියාකාරිකයෙකි. වෘත්තියෙන් පාපැදි සහ යතුරුපැදි අලුත්වැඩියා කරන කාර්මිකයෙකි. අවිස්සාවේල්ල කණ්ඩායමේ කටයුතු වලට මුදල් රැස්කිරීමේ මූලිකත්වය ගත්තේය. එම සංවිධානය සහ විකල්ප කණ්ඩායම අතර සම්බන්ධීකාරකයා විය. අත්අඩංගුවට පත්වීමෙන් පසු ධනපාලගේ දිවීමට නොහැකි සේ මාංචුදමා සරමක් අන්දවා යතුරු පැදියේ ඉදිරිපසට නංවා එහි පිටුපස රහස් පොලිසියේ සාජන් තෙන්නකෝන් රිවෝලරයක්ද සහිතව නැගී පැමිණ අවිස්සාවේල්ල කණ්ඩායමේ ක්‍රියාකාරින්ගේ නිවෙස්වලට ගොස් නිශ්චිත දිනයකදී ඒ අවට හෝ කොළඹ ස්ථානයකට පැමිණෙන ලෙසට පණිවිඩ තබා එසේ පැමිණෙන විට සැඟවී සිට රහස් පොලිස් නිලධාරින් ඔවුන්ගෙන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

සෙසු ක්‍රියාකාරිකයින්වූ ධර්මසේන, කරුණාසේන, දයානන්ද, වික්‍රමරත්න, මානික්‍යලිංගම් ඇතුළු කිහිපදෙනෙක්ම රහස් පොලිස් නිලධාරින්ට හසුවූයේ ධනපාල නිසා බවට චෝදනාවකි. වසර දෙකහමාරකින් ධනපාල නිදහස් වීමෙන් පසු 1988 ඔක්තෝබර් මස යළිත් ජවිපෙ හිතවතෙකු පත්විය. ආරක්ෂක අංශ නිවසට විත් භාරවෙන ලෙසට කරන ලද දැනුම්දීම මත 1989 ජුනි මස අවිස්සාවේල්ල පොලිසියට භාරවිය. අනතුරුව නිදහස්වී යළි නිවසේ සිටින විට 1989 සැප්තැම්බර් 2වැනිදා සාලාව හමුදා අනුඛණ්ඩය විසින් පැහැරගත් අතර ඝාතනයට ලක්වූ ඔහුගේ සිරුර පසුදින සිතාවක ගඟේ තිබියදී හමුවිය. පවුලේ ඥාතීන් විසින් මළසිරුර ගොඩගෙන අවසන් කටයුතු සිදුකරන ලදී.

කොස්ගමදී 1952 ඔක්තෝබර් 18 උපන් පේලි ආරච්චිගේ චිත්‍රසේන කඩුගොඩ වෙරළුපිටිය පදිංචිකරුවෙකි. මයිකල් නමින්ද හැදින්විණි. පියා සේතං සිංඥා වූ අතර මව කෑරගල අප්පුහාමිගේ පොඩිහාමිය. තිදරු පවුලක බාලයා වූයේ චිත්‍රසේනය. පියාවූ සේතංට පොල්, රබර් ඉඩකඩම් වලින් යහමින් ආදායමක් හිමිවූ අතර පියා ජෝතිෂ්‍යවේදියෙකුද විය. කඩුගොඩ කණිෂ්ඨ විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ සමත් චිත්‍රසේන ජවිපෙ 1971 කැරැල්ලට සහාය දෙන විට වයස 16කි. පසුව කෑගල්ලේ ජවිපෙ දිස්ත්‍රික් සංවිධායක අබේවර්ධන වීරගල්ල මගින් 1975දී ජවිපෙට පූර්ණකාලීනව එක්විය. කොස්ගම පැවති දේශපාලන සාකච්ඡාවන්හිදී කඳවුරු සඳහා අවශ්‍ය ආහාරද ඔහුගේ නිවසින් ලැබිණි. ජවිපෙන් 1981දී ඉවත් විය. 1980දී අවාහවු චිත්‍රසේනගේ බිරිඳ කුසුමා රණසිංහය. අවිස්සාවේල්ල කණ්ඩායමට 1982දී එක්විය. කොට්ටාවේදී ධනපාලගේ සහාය ඇතිව පොලිස් අත්අඩංගුවට පත්වීමට ලක්වූවද බේරියාමට සමත් විය. පසුව කොස්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදි. නඩුවේ 23වැනි චූදිතය. වර්තමානයේ දංඕවිට පෞද්ගලික ආයතනයක සේවය කරයි. පුතුන් දෙදෙනෙකි. මුණුබුරු මිනිබිරියන් සිව් දෙනෙකි.

පියදාස ගාල්ලගේ සිරිල් නමින්ද හැදින්විණි. තැපැල් ස්ථානාධිපතිවරයෙකි. අවිස්සාවේල්ල කණ්ඩායමට 1981දී එක්විය. ඉන්දියාවේ 1985දී මාස 5ක යුධ අවි පුහුණුවක් ලැබූවෙකි. නඩුවේ 12වැනි චූදිතය. රිය අනතුරකින් 2015දී මරණයට පත්විය. ආරියදාස නොහොත් දැරණියගල ආරි වතු කොන්දොස්තරවරයෙකි. අවිස්සාවේල්ල කණ්ඩායමට 1981දී එක්විය. නඩුවේ 22වැනි චූදිතය. කඩුගොඩදී 1955 නොවැම්බර් 4 උපන් පේලියආරච්චිගේ ලයනල්ගේ පියාවූ සුරබියෙල් සිංඤෝ ගොවියෙකි. මව වික්‍රමාරච්චි හීන්මැනිකේය. කඩුගොඩ පාසැලේ අධ්‍යාපනය ලත් ලයනල් වෘත්තියෙන් පෙදරේරුවෙකි. කලක් ජවිපෙ සිට ඉන් ඉවත්ව අවිස්සාවේල්ල කණ්ඩායමට 1981දී එක්විය. තිදරු පියෙකි. ඔහුගේ බිරිඳ මාලනී හේමලතා 2001දී හෘදයාබාධයකින් මිය ගියාය. වර්තමානයේ මහජන එක්සත් පෙරමුණේ ක්‍රියාකාරිකයෙකි. වෘත්තියෙන් කොන්ත්‍රාත්කරුවෙකි.

ඉන්දියාවේ පිිහිටා තිබූ දෙමළ බෙදුම්වාදී අවි පුහුණු කඳවුර  තිබූ අවි ආයුධ කිහිපයක්.
ගොඩිගමුව මුදියන්සේලාගේ ගාමිණී රණසිංහ 1959 නොවැම්බර් 2 උපන් අතර ඌරවල පදිංචිකරුවෙකි. සොයුරු සොයුරියන් 10ක් වන අතර එක් අයෙකුවූයේ මෙම නඩුවේ 14වැනි චූදිතයාය. ඩී.ජී පොන්නම්බලම්ගේ සිරිනිවස වත්තේ සේවය කළේය. අවිස්සාවේල්ල කණ්ඩායමට 1982දී එක්විය. නිදහස් වීමෙන් පසු ඇමති ඉන්දික ගුණවර්ධනගේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු විය. තිදරු පියෙකි. ඔහුගේ බිරිඳ අයිරාංගනීය. වර්තමානයේ ජල සම්පාදන මණ්ඩලයේ පොම්ප ක්‍රියාකරුවෙකි. මිරියගල්ල කංකානම්ලාගේ කරුණාරත්න නඩුවේ 17වැනි චූදිතය. සුදා නමින්ද හැදින්විණි. වඩු කාර්මිකයෙකුව සහ පෙදරේරුවෙකු වේ. ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වශයෙන් 1978 සිට 1981 දක්වා කටයුතු කළේය. අවිස්සාවේල්ල කණ්ඩායම 1982දී එක්විය. දෙදරු පියෙකි

කොස්ගම කඩුගොඩදී 1958 අගෝස්තු 11වැනිදා උපන් වඩුවර කංකානම්ලාගේ වික්‍රමරත්න මීපේ ටයිල් ආයතනයේ හිටපු සේවකයෙකි. ගොවියෙකුවූ පියා ජෙරමියස්වූ අතර මව රයිගමගේ ජේලින් නෝනාය. සොයුරු සොයුරියන් 7කි. ජවිපෙට 1978දී එක්වී පසුව ඉන් ඉවත්ව අවිස්සාවේල්ල කණ්ඩායමට 1981දී එක්විය. පොලිස් කණ්ඩායමක් විසින් 1986 අප්‍රේල් 19වැනිදා කොස්ගමදී අත්අඩංගුවට ගන්නා ලදී. දෙදරු පියෙකි. බිරිඳ මාලනී රම්‍යලතාය. වර්තමානයේ කොන්ත්‍රාත්කරුවෙකි.

පොලිස් පරික්ෂණ අවිස්සාවේල්ල කණ්ඩායමට එරෙහි සිදුකල ප්‍රධානියා වූයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාවන ජේෂ්ඨ පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරාය. එම කණ්ඩායමට රහස් පොලිසියේ පොලිස් අධිකාරි එෆ්.බී. ගුණවර්ධන, සහකාර පොලිස් අධිකාරිවරුන් වන බී.එස්. අමුණුගම, එස්. සේනාරත්න, ඒ.පී.පී ගාල්ලගේ, ඩී.එම්.ටී.බී. පුස්සැල්ල, උප පොලිස් පරික්ෂකවරුන් වන ටී.එම්.බී හමීබ්, එස්. පහලගේ ඇතුළු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරින්ද කිරිදිවැල, අවිස්සාවේල්ල, දැරණියගල, ගල්කිස්ස ඇතුළු පොලිස් ස්ථානවල පොලිස් නිලධාරින්ද එක්ව සිටියහ. වැඩෙන සමාජ අසාධාරණය සහ පීඩනය හමුවේ බැටකන ඉන් අසතුටට සහ කෝපයට පත්වන ජන කොටස් සංවිධානය කොට නිවැරදි මඟක් මෙහෙයවීමට සමත් ව්‍යාපාරයක් නොමැති කල පවතින වමද ඒ සඳහා නායකත්වයක් දීමට අසමත් වන්නේනම් ඒ සඳහා ‘උණක්’ තිබෙන ඉතා උද්යෝගිමත් සහ ක්‍රියාශිලි කොටස් විවිධ මාවත් සහ හුදකලාවේ ඇදීයෑම නොවැලැක්විය හැක්කකි. උතුරේ බෙදුම්වාදින්ගේ සටන්කාමී ව්‍යාපාරවලින් ආශ්වාදය ලබමින් 80 දශකයේ මුල් සහ මැද භාගයන්හි ශ්‍රී ලංකාවේ දකුණේ බිහිවූ සෑම වාමාංශික කල්ලි, කණ්ඩායම් සහ පක්ෂ පොතේගුරුවාදයට යටවී අවසානයේ වාෂ්ප විය. පැරණි වමත්, සාම්ප්‍රදායික වමත්, නව වමත් පටන්ගත්තේ වමෙනි. එහෙත් අවසන් කළේ දකුණෙනි. වමෙන් දකුණට යෑම යනු ජනතාව අත්හැරීමය. වමේ ඉරණම රඳා පවතින්නේ වමේ දෑත්වලම මිස ඉන් පිටත නොවේ. ජවිපෙ 2වැනි කැරළි සමයට පාදකවු අසූව දශකය ඉතිහාසය එයට සාක්ෂි දරයි.
The writer ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384.(ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: ejournalists@gmail.com)



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 4663279266270167680

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item