නිදහස් අධ්‍යාපනය ගැන සිතමු

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් නිදහස් අධ්‍යාපනයට පහරක් වැදුනා. ඒ ඔවුන් නිදහස් අධ්‍යාපනයෙන් ලැබෙන ...

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් නිදහස් අධ්‍යාපනයට පහරක් වැදුනා. ඒ ඔවුන් නිදහස් අධ්‍යාපනයෙන් ලැබෙන උපාධියක්, එනම් කොළඹ විශ්වවිද්‍යාලයේ වෙදකම් හා සැත්කම් පිළිබඳ උපාධිය මුදලට ගැනීමට සූදානම් වූ නිසා. ඒත් මාලබේ විද්‍යාලය නිදහස් අධ්‍යාපනයට පහරක් නොවෙයි. ඒ කියමනට අකමැති අය ඉන්න පුළුවන්. ඒ අය මට විරුද්ධව ලියාවි. මා අරයගෙ මෙයාගෙ අතකොළුවක් කියලත් කියාවි. ඒත් මා ලියන්නේ ඒ ඒ අය සතුටු කිරීමට නොවෙයි. මෙය අප තවත් පැහැදිලි කරගත යුතුයි. නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ කුමක් සඳහා ද? හතළිහේ දශකයට පෙරත් කන්නන්ගර මහතා ඉගෙන ගන්නට පෙරත් සුද්දන්ගෙ කාලෙ ලංකාවේ නිදහස් අධ්‍යාපනය තිබුණා. සුද්දන් එන්න පළමුව මෙරට තිබූ අධ්‍යාපනයට කවුරුවත් ගෙවුවේ නැහැ. අඩු තරමෙන් රජයවත් ගෙවුවේ නැහැ. ඇත අතීතයේ මහාවිහාරය හා අභයගිරිය රජුගේ ආධාර ලැබූ බව ඇත්ත. ඒ දාන මාන ආදියෙන්. වැටුප් හැටියට නෙවෙයි. කෝට්ටෙ කාලෙත් එහෙමයි. අපේ සංස්කෘතියේ අධ්‍යාපනය අනෙක් දෙයින් වෙන්කර තිබුණේ නැහැ. ඔබ මේ ලිපි කියවීමෙන් යමක් ඉගෙන ගන්නවාද දන්නේ නැහැ. ඉගෙන ගත්තත් මට කවුරුන්වත් ඒ සඳහා ගෙවන්නේ නැහැ. මා බලාපොරොත්තුවන්නේත් නැහැ. මගේ ජීවිතයේ ඉගෙනීම, ඉගැන්වීම, කියා දෙකක් නැහැ. මහාවිහාරයේ හරි අභයගිරියේ හරි අද කියන අර්ථයෙන් නිදහස් අධ්‍යාපනයක් තිබුණේ නැහැ. ඒ කියන්නෙ ඒ කාලෙ ගෙවලා ඉගෙන ගත්ත කියන එක නොවෙයි.

ඉංගිරිසි කාලෙත් නිදහස් අධ්‍යාපනයක් තිබුණා. අද නිදහස් අධ්‍යාපනය කියන්නේ ඉගෙනීම සඳහා තමන් මුදල් ගෙවන්නේ් නැහැ කියන එක. ඒ කාලෙ සිංහලෙන් හරි දෙමළෙන් හරි ඉගැන්වූ පාසල්වල මුදල් අයකෙළේ නැහැ. ඒ පාසල්වල ඉගෙන ගත් අය ගුරුවරුන් නොතාරිස්වරුන් ආදීන් වුනා. ඉහළ කියන රැකියාවලට යෑමට පුළුවන් වුනේ ඉංගිරිසි පාසල්වල, ඒ කියන්නෙ ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගැන්වූ පාසල්වල ඉගෙන ගත් අයට පමණයි. එදා ඉංගිරිසියෙන් ඉගැන්වූ ගුරුවරුන්ට සිංහලෙන් ඉගැන්වූ ගුරුවරුන්ට වඩා වැටුප් ලැබුණා. ඉංගිරිසි පාසල්වල ඉගෙන ගන්න මුදල් ගෙවන්න වුනා. ඇතැම් පාසල්වල නැති බැරි අයට ඉගැන්වීමට ශිෂ්‍යත්ව ක්‍රමයක් තිබුණා. අපේ අම්මාත් නැති බැරි අයෙක්. ඇගේ පියා ඈ ඉතා කුඩා කල ම මියගිහින්. ඇයට බාල සොහොයුරකු ද සිටියා. ආච්චි අම්මා දරු දෙදෙනා හදාගැනීමට උදේ පාන්දර නැගිට ආප්ප පිච්චුවා. අම්මා පාසල් යන ගමන් ඒ ආප්ප කඩේට ගිහින් දුන්නා. අම්මා ගියේ වෑකඩ නම් ගමේ සිංහල පාසලට. ඇය සිංහල ගුරුවරියක් වූවා. ඇයටත් ආච්චි අම්මාටත් වුවමනාව තිබුණා මාමාට ඉංගිරිසි අධ්‍යාපනයක් ලබා දෙන්න. ආච්චි අම්මා හරි ධෛර්යවන්තයි. අම්මාත් එහෙමයි. ආච්චි අම්මා අප සමග කී කතාවකට අනුව ඇය පාණදුරේ ශ්‍රී සුමංගල විදුහලේ එකල විදුහල්පති ගිණිගේ මහතා හමුවී මාමාට ශි’ෂ්‍යත්වයක් ලබාගෙන තිබෙනවා. අම්මා පසුව ඔහුට වියදම් කර මරදානේ කාර්මික විද්‍යාලයට යවා තිබෙනවා. මාමා අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් ගොඩනැගිලි පරීක්‍ෂකවරයකු වුනා.

මාමා පසුව මා කොළඹ පාසල්වලට යැවීමට මුල් වුනා. මට නිදහස් අධ්‍යාපනය හිමි වුනා. මාමා මට විශ්වවිද්‍යාලයට යන තෙක් ම පොතපත අරන් දුන්නා. මා විශ්වවිද්‍යාල උපාධිය පමණක් නොව ආචාර්ය උපාධිය ලබාගත්තෙත් රජයේ මුදලින්.ඒ මට ගණිතය පිළිබඳ රජයේ ශිෂ්‍යත්වය ලැබුණ නිසා. අපේ අවුරුද්දට අවුරුදු දෙකකට පසු රජයේ ශිෂ්‍යත්වය අහෝසි කළා. අද ලංකාවේ ජීවත්වන රජයේ මුදල්වලින් ම ආචාර්ය උපාධියත් ලත් කිහිප දෙනා අතරෙන් මා වයසින් අඩුම තැනැත්තා විය හැකියි. මහළු වයසේ මොහොකින් හරි වයස අඩුම තැනැත්තා වෙන්න පුළුවන් නම් එකත් හොඳයි. මා මේ කරුණු සඳහන් කරන්නේ ඔබේ අනුකම්පාව දිනගැනීමට නෙවෙයි. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල මගේ ඇඟේ තිබෙන බව කීමට. ඒත් අප මේ ප්‍රශ්න ගැන හැඟීම් අවුස්සාගන්න ඕනෑ නැහැ.

කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ ඉංගිරිසි පාසල්වල. සිංහල පාසල්වල ඒ කාලෙත් නිදහස් අධ්‍යාපය තිබුණා. කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපන යෝජනාවට පසුව එ ජා ප සාමාජිකයන් වූ බොහෝ දෙනා විරුද්ධ වුනා. එකල එ ජා පක්‍ෂයක් තිබුණේ නැහැ. වෙල්ලාල නායකයන් එයට විරුද්ධ වුනා දෙමළ ඊනියා අඩුකුල ජනයාට උසස් අධ්‍යාපනය ලැබෙනවාට එරෙහිව. විග්නේෂ්වරන්ගේ සීයා කෙනකු වූ පොන්නම්බලම් රාමනාදන් නිදහස් අධ්‍යාපනයට වගේ ම සර්වජන ඡන්දයටත් විරුද්ධ වුනා. කන්නන්ගර මහතා නොහිටින්න අද විසුරුණු දෙමළ ජනකායක් බටහිර රටවල නැහැ. ඒත් දෙමළ ජනයාගේ සර්වජන ඡන්දයටත් විරුද්ධ වූ අයගෙන් පැවත එන විග්නේෂ්වරන් ප්‍රමුඛ වෙල්ලලායන් අද ඒ ජනයාගේ ම ඡන්දයෙන් පත්වී ඒ ජනයා ඉංගිරිසින් වෙනුවෙන් සිංහලයන්ට විරුද්ධව යොදාගන්නවා. ජේ ආර් ජයවර්ධනලා නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වුනා. විද්‍යාලංකාර පිරිවෙනේ භික්‍ෂූන් වහන්සේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළා. ජේ ආර් විද්‍යාලංකාර භික්‍ෂූන් වහන්සේට අඩත්තේට්ටම් කළා. ලංකා සමසමාජ පක්‍ෂයත් නිිදහස් අධ්‍යාපනයට පක්‍ෂ වුනා. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ඇති කිරීමත් සමග තවත් දෙයක් කළා. ඒ සිංහලෙන් හා දෙමළෙන් ඉගැන්වීම. එය ක්‍රමයෙන් පංතියෙන් පංතිය ඉහළට යන විධියට සකස් කළා. එවිට අවසානයේ දී ඉංගිරිසි පාසල් කියා පාසල් වර්ගයක් නැතිවුනා. 1961 ලංකා විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිංහලෙන් හා දෙමලෙන් ඉගැන්වීම ආරම්භ කළා. පේරදෙණියේ විද්‍යා පීඨයේ සිංහලෙන් ඉගැන්වීම ආරම්භ වුනේ 1965 දී. අපට අපේ සංස්කෘතියත් සමග හිතන්න පුළුවන් සිංහලෙන් විතරයි. ඉංගිරිසියෙන් හිතන්න සූදානම් වෙන කොට ම අප අපේ සංස්කෘතියෙන් ඉවත්වෙලා.

කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ රජයේ පාසල්වල. ඇතැම් රජයේ නොවන පාසල් ද කන්නන්ගර මහතා අනුගමනය කළා. එහෙත් නිදහස් අධ්‍යාපනය නැති පාසල කොටසක්් ඉතිරි වූනා. අදත් ඒ සමහර පාසල්වල අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් මුදල් අය කරනවා. කිසිවකු අද ඒ පාසල් රජයට ගත යුතුය කියා උද්ඝෝෂණය කරනු මා අසා නැහැ. කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපනය නැති බැරි අයට නොගෙවා අධ්‍යාපනය ලබා දීමට මිස ඇති හැකි අය මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගැනීම වැළැක්වීමට නොවෙයි. අප මේ කරුණ හොඳින් අවබෝධ කරගත යුතුයි. නිදහස් අධ්‍යාපනය ලබාදීම යනු කිසිම අධ්‍යාපනයක් මුදල් ගෙවා ලබාගැනීම නැති කිරීම නොවෙයි. ඒ එසේ නම් ශාන්ත තෝමස්, ශාන්ත ජෝසෆ් ආදී පාසල් පවත්වාගෙන යන්නට දෙන්න බැහැ. ඒ විතරක් නොවෙයි අද හැමෝම පාහේ යන ආධාරක පංති පවත්වන්නත් බැහැ.

නිදහස් අධ්‍යාපනය රැකියා ලබාදීම සඳහාත් නොවෙයි. යම් අධ්‍යාපනයක් ලැබීම යම් යම් රැකියා ලබාගැනීමේ දී සුදුසුකම් වෙන බව ඇත්ත. නිදහස් අධ්‍යාපනය සිංහල හා දෙමළ පාසල්වලට පමණක් සීමා වූ කාලයේ ඒ පාසල්වල උගත් අයට ගුරුවරයකු, නොතාරිස්වරයකු වීමට වඩා ඉහළ යැයි කියන රැකියාවක් කිරීමට බැරි වුනා. නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ අයට වෛද්‍යවරුන් ඉංජිනේරුවන් සරසවි ඇදුරන් පරිපාලන නිලධාරීන් පමණක් නොව පඬියන් වීමේ අවස්ථාව ද ලැබුණා. ඒත් එයින් කියැවෙන්නේ නැහැ ඒ තනතුරු නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ අයට පමණක් සීමා විය යුතු ය කියා. එහෙම නම් ශාන්ත තොමස් ත්‍රිත්ව ආදී විදුහල්වල උගත් අයට කිසිම රැකියාවක් හිමිවෙන්න බැහැ. එංගලන්තයේ හැරෝ ඊටන් වින්චෙස්ටර් ආදී පෞද්ගලික පාසලක ඉගෙන මුදල් ගෙවා බටහිර රටක විශ්වවිද්‍යාලයක ඉගෙන ගත් අයට මෙරට රැකියා කිරීමට බැරි ද? අනෙක් පැත්තට නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ අය ලංකාවේ පමණක් රැකියා කළ යුතු ද? යම් යම් රැකියා ඇත්තේ සීමිත ප්‍රමාණයක් නම් එහි දී සුදුස්සන් තෝරා ගැනීමේ දී ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනයෙන් ද සිංහල ද බෞද්ධ ද ආදී කරුණු සලකා බැලීමට බැහැ. නිදහස් අධ්‍යාපනයෙන් කෙරෙන්නේ රැකියා සඳහා සුදුසුකම් ලබාගැනීමට ආධාර වීම මිස රැකියා ලබාදීම නොවෙයි.

මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.

(https://www1.kalaya.org)

නලින් ද සිල්වා



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 1768737817882038283

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item