අගමැති චීන ගුයාන් වරාය සහ බහාලුම් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත චොංජිං මහනගරයේ ගුයාන් වරාය සහ බහාලුම් පර්යන්තයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. චොංජිං මහනගර...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත චොංජිං මහනගරයේ ගුයාන් වරාය සහ බහාලුම් පර්යන්තයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

චොංජිං මහනගර කේන්ද්‍රයට කිලෝමීටර 15ක් දුරින් පිහිටා ඇති ගුයාන් වරාය සහ බහාලුම් පර්යන්තය යැංසි නදිය ආසන්නයේ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද්දේ 2013 වසරේදීය.

පැරණි සේද මාවතේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වූ යැංසි නදිය ආශ්‍රිතව රට අභ්‍යන්තරයේ වරාය සහ බහාලුම් පර්යන්ත ගණනාවක් ඉදිකර ඇති අතර ඒ අතරට එක්වූ නවතම පර්යන්තය ගුයාන් වරාය සහ බහාලුම් පර්යන්තයයි. චොංජිං මහනගරයේ සංවර්ධනය සඳහා යැංසි නදී ආර්ථික කලාපය භාවිත කිරීමේ වැඩපිළිවෙළෙහි මූලික ව්‍යාපෘතියක් ලෙස ද මෙම වරාය සහ බහාලුම් පර්යන්තය හැඳින්විය හැකිය.

මෙම පර්යන්තයේ භාණ්ඩ බෑම සහ පැටවීම සඳහා ජැටි 16ක් ඉදිකර ඇති අතර එක්වර ටොන් 5000 ක භාණ්ඩ හැසිරවිමේ ශක්‍යතාව ද සතුය. යැංසි නදිය ඉවුරේ මීටර් 2800ක් පුරා විහිදෙන ආකාරයට බහාලුම් පර්යන්තය ඉදිකර ඇති අතර අධිවේගී මාර්ග හා දුම්රිය මාර්ග සම්බන්ධතාව ද ඉදි කෙරෙමින් පවතී.

මෙම බහාලුම් පර්යන්තයේ සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු 2018 වසරේ නිම කිරීමට බලාපොරොත්තු වන අතර ඉන් පසු අභ්‍යන්තර බහාලුම් පර්යන්තයන් අතර මුලික ස්ථානයක් අත්පත් කර ගැනීමේ සහ ජල, මහාමාර්ග, දුම්රිය හා ගුවන් ප්‍රවාහන පද්ධති එකට යා කෙරෙන ජාතික ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත්වීමේ හැකියාව ද සතු වනු ඇතැයි චොංජිං බලධාරීහු අපේක්‍ෂා කරති.

මේ වසරේ ජනවාරියේ දී චීන ජනාධිපති ෂි ජින්පිං මහතා වරාය නිරීක්‍ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව පැවසූයේ “මෙම ව්‍යාපෘතිය පොරොන්දු ඉටු කිරීමේ සහ සැපිරීමේ පරිපූරණත්වයට උදාහරණ ලෙස ගත හැකි” බවය. ිශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වෙළෙද හා නාවුක ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය කිරීමේ ක්‍රියාවලියේ දී ගුයාන් වරාය වැනි අභ්‍යන්තර වරායන් හා සම්බන්ධ වීමේ හැකියාව සහ අවශ්‍යතාව පිළිබඳව ද ශ්‍රී ලාංකීය නියෝජිත පිරිස මෙහිදී අවධානය යොමු කළහ.

ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, බස්නාහිර මහනගර සැලසුම් ව්‍යාපෘතියේ සභාපති අජිත් ද කොස්තා, සංවර්ධන ඒජන්සියේ කළමනාකරණ අධ්‍යක්‍ෂ මංගල යාපා, දකුණු සංවර්ධන මණ්ඩලයේ සභාපති ශිරන්ත හේරත්, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ උපදේශක රයන් රොක්වුඩ්, ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැන් ලියැං යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
 
adaderana



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6190721801073231280

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item