ඇමෙරිකාවේ 9 11 ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 15යි

ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය හා පෙන්ටගනය ඉලක්ක කරමින් එල්ල වූ අල්-කයිඩා ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයේ 9/11 ප්‍රහාරයට වසර 15ක් සපිරෙන ඒ අඳුරු...

ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය හා පෙන්ටගනය ඉලක්ක කරමින් එල්ල වූ අල්-කයිඩා ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයේ 9/11 ප්‍රහාරයට වසර 15ක් සපිරෙන ඒ අඳුරු දිනය අදයි.

2001 සැප්තැම්බර් 11 වැනිදා, එනම් අද (11දා) වැනි දිනයක එල්ල වූ ඒ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය ලෝක ඉතිහාසයේ ගමන් මග වෙනස් කළ සිදුවීමක් බව අතිශෝක්තියක් නොවේ.

නිව්යෝක් හි මැන්හැට්න් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ද්විත්ව කුලුණු බිමට සමතලා කරමින්, ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය පවා අභියෝගයට ලක්කරමින්, මගී ගුවන් යානා හතරක් යොදා ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කිරීමට එවකට අල්-කයිඩා නායක ඔසාමා බින්ලාඩ්න් සිය ම්ලේච්ඡ ත්‍රස්තයන් යොමුකර තිබුණි.

අල්-කයිඩා ත්‍රස්තයන් 19 දෙනෙකු විසින් මෙම සමස්ත ප්‍රහාරය සිදුකර තිබුණු අතර, ඔවුන් කැලිෆෝනියාව බලා පියාසර කළ මගී ගුවන් යානා හතරක් පැහැරගනිමින් මෙම ප්‍රහාරය දියත් කරන්නට වූහ.

ඇමෙරිකන් එයාර්ලයින්ස් හි AA11 සහ AA77 ගුවන් යානා ද්විත්වයත්, යුනියිටඩ් එයාර්ලයින්ස් හි UA175 සහ UA93 යානා ද්විත්වයත් පැහැරගත් මගී ගුවන් යානා අතර විය.

ත්‍රස්තයන් මුලින්ම ඇමෙරිකන් එයාර්ලයින්ස් හි AA11යානයත්, යුනයිටඩ් එයාර්ලයින්ස් හි UA175 යානයත් නිව්යෝක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ උතුරු හා දකුණු කුලුණු වෙත පියාසර කරවමින් හප්පා මහා පිපිරුමක් සිදුකළේය.

ඇමෙරිකන් එයාර්ලයින්ස් හි AA77 ගුවන් යානය පැහැරගත් ත්‍රස්තයන් එය පෙන්ටගනය වෙත පියාසර කරවමින් එම ගොඩනැගිල්ලට කඩා වැදී පිපිරුමක් ඇති කළේය.

සිවුවැනි යානය හෙවත් යුනයිටඩ් එයාර්ලයින්ස් හි UA93 යානය ඇමෙරිකානු මහා මන්ත්‍රණ සභා ගොඩනැගිල්ලේ හැප්පීමට සැලසුම් කර තිබුණත්, එම යානය පෙනිසිල්වේනියා හි හැන්ක්ස්විල් හිදී අනතුරට පත්ව යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත්වූහ.

ඇමෙරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත එල්ල වූ ප්‍රහාරයෙන් පැයකුත් විනාඩි 42කදී මහල් 110 බැගින් වූ ඒ දැවැන්ත කුලුණු දෙක පොළොවට සමතලා වූයේ 3,000කගේ පමණ ජීවිතද අලු දුහුවිලි බවට පත්කරමිනි.

අල්-කයිඩා නායක ඔසාමා බින්ලාඩ්න්ගේ ඝාතනයත් සමග වර්තමානයේදී අල්-කයිඩා ත්‍රස්තයන්ගේ බල පරාක්‍රමය යම් තරමකට හෝ පහව ගියත්, ලෝකයේ සාමයට ඇති වී තිබෙන අලුත්ම ඉස්ලාමීය අන්තවාදය IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය බවට විවාදයක් නැත.

ඇමෙරිකානු 9/11 ප්‍රහාරයෙන් පසුව ලෝකයේ බොහෝ සාමකාමී බටහිර රටවල් රැසක් පසුගිය කාලය පුරාවට දරුණු ත්‍රස්ත අවදානමකට ලක්කළ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ලෝකයට එල්ල විය හැකි බලපෑම ඔසාමා බින්ලාඩ්න් 9/11 ප්‍රහාරය හරහා සිදුකළ මහා විනාශයට වඩා වැඩිවිය හැකි බව ලෝක දේශපාලන විචාරකයන්ගේ මතයයි.

9/11 ප්‍රහාරයේ 15 වැනි වසර කඳුලින් සැමරෙන අද (11දා) දිනයේදී එවන් අඳුරු දිනයක් ලෝකය හමුවේ යළි උදා නොවනු දැකීම සැමගේ ප්‍රාර්ථනය වන්නේද ඒ නිසාමය.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 7751534503099955480

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item