රුහුණු සරසවියේ ‘නිහඬ කළ සෙවනැලි’

රුහුණු විශ්වවිද්‍යාලය දිස්වන අයුරු.  අසූව දශකයේ රාජ්‍ය ත්‍රස්තවාදය ඉදිරියේ මුළු මහත් සමාජයම දණගසා සිටි මොහොතක ඒ සියල්ලටම එරෙහිව පෙරට පැ...

රුහුණු විශ්වවිද්‍යාලය දිස්වන අයුරු.
 අසූව දශකයේ රාජ්‍ය ත්‍රස්තවාදය ඉදිරියේ මුළු මහත් සමාජයම දණගසා සිටි මොහොතක ඒ සියල්ලටම එරෙහිව පෙරට පැමිණියේ සරසවි සිසුන්ය. රාජ්‍ය භීෂණය, ශිෂ්‍ය මර්ධනය, නිදහස් අධ්‍යාපන කප්පාදුව, ජාතික අර්බුදය, ඉන්දියන් හමුදා ආක්‍රමණය ඇතුළු කරුණු ගණනාවක් හමුවේ සංවේදීවූ මෙම සිසුන්ගෙන් බහුතරයක් ජවිපෙ 2වැනි කැරැල්ලට සෘජුව සහ වක්‍රව බද්ධ විය. අවසානයේදී භීෂණ යුගය පැවති 1986 සිට1990 දක්වා මියගිය සරසවි සිසු සංඛ්‍යාව 396කි. අතුරුදහන් වූ සංඛ්‍යාව 227කි. එලෙස ඝාතනයට ලක්වූ සිසුන් 396 අතරින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් 107ක් සහ කැලණිය විශ්ව විද්‍යාලයේ 64 දෙනා පිළිබඳව මෙම ලිපි මාලාව මගින් කලින් ප්‍රථමවරට තොරතුරු අනාවරණය කළෙමු. මෙවර ප්‍රථමවරට හෙළි කරනුයේ එසේ ඝාතනය වූ රුහුණු සරසවියේ සිසුන් 53 දෙනෙකු පිළිබඳවය.

සරසවිය වූකලී නොදැනුමට එරෙහි වූවන් දැනුම් ලබන්නට වෑයම් කරන තැනය. සත්‍ය දකින්නවුන් එම සත්‍ය අනුනට දක්නට සැලැස්වීම සඳහා වෙර දරන්නාවූ තැනය. ගවේශකයින් මෙන්ම විද්‍යාර්තයින්ද එකට ඥාන ගවේෂණය සිදුකරන තැනය. වින්තනය සහ අධ්‍යාපනයේ ප්‍රමිතීන් ප්‍රකාශයට පත්කරන්නා වූ තැනය. එහෙත් ජවිපෙ 2වැනි කැරළි සමයේදී සියල්ල උඩු යටිකුරුවූයේ නොසිතූ ලෙසිනි.

රුහුණු සරසවියේදී 2015 ජුනි 20වැනිදා විරු සිසු සැමරුමට ගොස් සිටියදී ලියුම්කරුට අතීතය ආවර්ජනය විය. එකල රුහුණු සරසවියේ සටන්කාමී සිසු නායකයින් අතර ඉදිරියෙන්ම සිටියේ ඩී.ආර්. නිශ්ශංක, ඥාණසිරි පල්ලියගුරු, ප්‍රේමචන්ද්‍ර කොඩිතුවක්කු, කේ.ටී. නිමල්සිරි වැනි පිරිසකි. ඔවුන් පමණක් නොව රුහුණු සරසවියේ සිසුන් 53ක් ජවිපෙ 2වැනි කැරළි සමයේ ඝාතනයට පත්විය. මාතර ජනරජ මාවතේ ආනන්ද කුමාරගේ නිවසේදී අසූව දශකයේදී රුහුණේ සිසු නායකයින් සහ ක්‍රියාකාරිකයින් ඉදහිට හමුවූ අයුරුත් මැදියම වතතුරු කථාබස් කල අයුරුත් සිහිපත් විය. රුහුණේ පමණක් නොව සියළු සරසවිවල අසූවේ දශකයේ අග භාගයේදි බහුතරයක් සරසවි සිසු නායකයින් වෘත්තීය පුවත්පත් කලාවේදියෙකු වශයෙන් ලියුම්කරු 1984 සිට ඇසුරුකර ඇත.

පාර්ලිමේන්තුවේදී 1967 අධ්‍යාපන අමාත්‍යාංශයේ අයවැය කාරක සභා අවස්ථාවේදී රුහුණට විශ්ව විද්‍යාලයක අවශ්‍යතාවය ප්‍රථම වරට ඉදිරිපත් කරන ලද්දේ දෙවිනුවර අතුරු මැතිවරණයෙන් 1967දී පත්වූ ශ්‍රිලනිප මන්ත්‍රී රොනී ද මැල්ය. හැත්තෑවේ මැතිවරණයෙන්ද ශ්‍රිලනිපයෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය කල ද මැල් පසුව එජාපයට එක්විය. එජාප ආණ්ඩුව 1977 ජුලි 21වැනිදා පත්වීමෙන් පසු එහි මුදල් ඇමතිවරයාවූ රොනී ද මැල්ගේ මැදිහත්වීමෙන් ඒ පිළිබඳ මහාචාර්ය එම්.බී ආරියපාලගේ ප්‍රධානත්වයෙන් 1977 ඔක්තෝබර් පත්කල කමිටුවකින් රුහුණු විශ්වවිද්‍යාලය පිහිටුවීමට හොදම නගරය මාතර බවට 1978 ජනවාරි මස නිර්දේශ කරන ලදී. රුහුණු විශ්ව විද්‍යාලයීය විද්‍යායතනය මාතර මැදවත්තේදී 1978 අගෝස්තු 27 ආරම්භ කරන ලද්දේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසිනි. ආරම්භයේ ඉතා අඩු පහසුකම් මැද ආරම්භ වූ රුහුණු සරසවිය 1984 පෙබරවාරි 1වැනිදා සිට අංග සම්පූර්ණ විශ්ව විද්‍යාලයක් බවට උසස් කරන ලදී. එහි පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු ආරම්භ වූයේ 2003 ජුනි මසදීය. රුහුණු සරසවියේ ගෘහ නිර්මාණ ශිල්පියා ජෙෆ්රි බාවාය.

රුහුණු සරසවියේ සිසුන්ට ජවිපෙ දේශපාලන පන්ති ප්‍රථම වරට පැවතියේ 1978 අවසානයේදීය. ශ්‍රාස්ත්‍ර පීඨයේ සිසුවෙකුවූ වල්ස්මුල්ලේ උයන්ගොඩ එයට මූලික විය. පසුකාලයේ ඔහු රුහුණු සරසවියේ සහකාර කථිකාචාර්යවරයෙකුද විය. රුහුණු සරසවි ශිෂ්‍ය සභාවේ ජවිපෙ සභාපතිවරයෙකු වශයෙන් ප්‍රථමයෙන් පත්වූයේ රණසිරි ගුණන්දාහන්දිය. රත්ගම දේව පතිරාජ විදුහලේ ආදි ශිෂ්‍යයෙකුවූ ගුණන්දාහන්දි ජවිපෙ 2වැනි කැරළි සමයේදී 1987 දෙසැම්බර් 9වැනිදා හික්කඩුවේදී කොල කොටි විසින් වෙඩිතබා ඝාතනය කරන ලදී. ශිෂ්‍ය සභා එජාප ආණ්ඩුව මගින් තහනම් කලවිට රුහුණු සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව පිහිටුවීමට නායකත්වය දුන්නේ එහි ශ්‍රාස්ත්‍ර පීඨයේ අනුරාධපුරයේ ආනන්ද කුමාර(නයිස්)ය. රුහුණු සරසවියේ ප්‍රථම උපාධිධාරි කණ්ඩායමේ සාමාජිකයෙකුවූ ජවිපෙ නිහාල් ගලප්පත්ති රුහුණු සරසවියෙන් 1995 පාර්ලිමේන්තුවට පත්වූ ප්‍රථම මන්ත්‍රීවරයාය. ජවිපෙ 2වැනි කැරැල්ලේ අම්පාර දේශපාලන ලේකම්වරයා වූයේද ඔහුය.

අසූව දශකය මැද භාගයේදී රුහුණේ ජවිපෙ සිසුන්ට නැගීඑන නව දේශපාලන රිද්මයට මුහුණදිමට සිදුවිය. ඒ අනුව ආචාර්ය වික්‍රමබාහුගේ සහ වාසුදේවගේ නායකත්වයෙන් යුත් නව සමසමාජ පක්ෂයේ රුහුණු සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින්වූ මාතර හේවාපතිරණ, ගිංතොට ප්‍රසන්න හිරිමුතුගොඩ සහ කාරියප්පා ඇතුළු කිහිපදෙනෙක් ජවිපෙ සමඟ මතවාදීව ගැටෙන්නට විය. එයට දයා පතිරණගේ නායකත්වයෙන් යුුත් කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයට සහායදුන් රුහුණු සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපති විද්‍යා පීඨයේ ප්‍රියංකර ගුණවික්‍රම ඇතුළු රුහුණේ සිසුන් කිහිප දෙනෙක්ද එක්වී තිබිණි.

රුහුණු සරසවියේදී ඒ වනවිට එජාප සමවාදී ශිෂ්‍ය සංගමය මගින් මැර බලය ස්ථාපිතකර තිබිණි. කැලණි සරසවියේ එය 1978 සිට ගෝනවල සුනිල්ගේ අදිසි නායකත්වයෙන්ද, මොරටු සරසවියේ 1983 සිට ගයාකාන්ත, විමල් රංජිත් ඇතුළු පිරිසගේ මෙහෙයවීමෙන්ද, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේදී උපකුලපති කරුණාසේන කොඩිතුවක්කුගේ ආශිර්වාදයෙන්ද එම මැර තර්ජන ජවිපෙ ඇතුළු පොදු සිසුන්ට ඒ ආකාරයෙන්ම එල්ල විය. වසර 1986 ජනවාරි වන විට රුහුණු සරසවියේ ඒ අනුව දේශපාලන කණ්ඩායම් 3ක් විය. ඒ එජාපයේ සමවාදී කණ්ඩායම, පොදු සිසුන් ලෙසින් පෙනී සිටි ජවිපෙ කණ්ඩායම සහ දෙමළ බෙදුම්වාදයට පක්ෂවූ නසසප, විකොස, ස්වාධීන ශිෂ්‍ය ඇතුළු පිිරිසගේ කණ්ඩායම ලෙසය. ජවිපෙ විසින් සන්නද්ධ කේඩර්වරුන් පුහුණු කිරීම සඳහා 1986 ජුලි මස ඇරඹුණු දේශප්‍රේමි ශිෂ්‍ය ව්‍යාපාරය අන් සරසවිවල මෙන් රුහුණු සරසවියේදි අදිසිව ආරම්භ වූයේ 1986 ඔක්තෝබර් මසය. එම දේශප්‍රේමි ශිෂ්‍ය ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් ජවිපෙ සිසුන් පොදු සිසුන් සමඟ එක්ව රුහුණු සරසවියේ එජාප සමවාදී සහ සමවාදින්ට සහායදුන් ශිෂ්‍ය කණ්ඩායම් වලට 1986 දෙසැම්බර් 7වැනිදා ප්‍රබල ප්‍රහාරයක් එළිපිට එල්ල කරමින් ජවිපෙ බලය රුහුණු සරසවියේ ස්ථාපිත කළේය. අනතුරුව ගෘහස්ථ ක්‍රීඩාගාරය, ආපනශාලා ඇතුළු සියළු ස්ථනවල බලය ඔවුන් සතු කරගන්නා ලදී.

රුහුණු සරසවිය 1978 අගෝස්තු 27 ආරම්භ කිරීමේ පුරෝගාමියාවු
රොනි ද මෙල්, ජවිපෙ 2වැනි කැරැල්ල පරාජයෙන් පසු එයට සම්බන්ධ යැයි
චෝදනා ලත් සිසුනට යළි උපාධිය හැදෑරීම සඳහා මානව දයාවෙන්
කටයුතු කල උපකුලපති මහාචාර්ය චන්ද්‍රසිරි නිරිඇල්ල,
ආරක්ෂක හමුදා මගින් 1987 නොවැම්බර් 13වැනිදා දබරැල්ලේදී
පැහැරගෙන 1988 පෙබරවාරි 14දා ඝාතනය කල රුහුණු සරසවියේ
සහකාර කථිකාචාර්ය සත්‍යපාල වන්නිගම(37), රුහුණු සිසුන්ගේ නවාතැනක්වූ
ජනරජ මාවතේ ආනන්ද කුමාරගේගේ නිවසේදී ඔහු ලියුම්කරුට අතීතය
ආවර්ජනය කරමින්, රුහුණේ ප්‍රථම උපාධිධාරි කණ්ඩායමේ සාමාජික
ශ්‍රී ලංකා ප්‍රගතිශිලි පෙරමුණෙන් 1995දී  ප්‍රථමවරට පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙකුවූ
ජවිපෙ නිහාල් ගලප්පත්ති, සිය ආචාර්ය උපාධි නිබන්ධනය සඳහා ජවිපෙ ප්‍රභවය
සහ එහි සන්නද්ධ හැසිරීම පිළිබඳව විශ්ලේෂනාත්මක අධ්‍යයනයක් සිදුකරන රුහුණු
සරසවියේ ඉතිහාස අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය දේව මයිකල් ද සිල්වා(ඉහළ වමේ සිට).
රුහුණු සරසවිය තුළ අසූව දශකයේ මැද භාගයේදී ජවිපෙ අභ්‍යන්තර කමිටුවේ සාමාජිකයන් වූයේ ඥාණසිරි පල්ලියගුරු, ඩී.ආර්. නිශ්ශංක, කේ.ටී.එස් දේවානන්ද, කේ.ටී නිමල්සිරි සහ උපාලි වැලිකඩආරච්චිය. මින් 4 දෙනෙක්ම ඝාතනයට පත්විය. ජවිපෙ වෙනුවෙන් 1986 මුල්භාගයේ රුහුණු සරසවියේ ජවිපෙ අභ්‍යන්තර කමිටුව සම්බන්ධීකරණය කළේ සේනකය. පසුකාලීනව එය 1988 මැදභාගය දක්වා සිදුකළේ මාතර දිසා ලේකම්ව සිටි කැකණදුරේ විජිතය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය රුහුණු සරසවිය වෙනුවෙන් 1985 සිට 1987 දක්වා නියෝජනය කළේ නිශ්ශංක, නිමල්සිරි, රුවන් පතිරණ, හේවා පතිරණ(නසසප), හිරිමුතුගොඩ (විකොස) ඇතුළු අයවේ.

සරසවි සිසු නායකයින් 310ක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඉන්දු ලංකා ගිවිසුමට පෙර 1987 ජුනි 22වැනිදා අළුයම එකවර ක්‍රියාත්මක විය. එහෙත් අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ ලේඛනයේ සිටි 88 දෙනෙකු පමණි. හදිසි නීති රෙගුලාසි 87යටතේ එසේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ මාස 3කට ආසන්න කාලයක් රඳවාගත් සරසවි සිසුන් 88 දෙනා අතර රුහුණු සරසවියේ සිසුන් 22ක් වූ අතර ඔවුන් නම් විද්‍යා පීඨයේ තිලක් ගුණවර්ධන, බී.ඒ. විජේසිරි, හරිස්චන්ද්‍ර, එන්.ඩී. රුවන් පතිරණ, තිලක් කීරවැල්ල, සරත් පීරිස්, සිරිමාන්න, එම්.බී. ජයසිරි, පී.එස්.කේ ආරියවංශ, ප්‍රසන්න හිරිමුතුගොඩ, ඊ.ඒ එදිරිසිංහ, කෘෂි විද්‍යා පීඨයේ ඩේමියන් වීරක්කොඩි, ආර් සමරසිංහ, නිමල් පතිරණ, වාණිජ පීඨයේ ඩී.ආර් නිශ්ශංක, ශ්‍රාස්ත්‍ර පීඨයේ විස්මන් පෙරේරා, බී.එල්.කේ නන්දසේන, ඩී. මයිකල් ද සිල්වා, විමලසිරි, එම් ධම්මතිලක, ප්‍රේමතිලක සහ ජනිදාස වේ. මෙම සිසුන් සමඟ එම දිනයේදීම අත්අඩංගුවට ගත් ජවිපෙ ක්‍රියාකාරිකයින් 126 දෙනාද රඳවා තිබුණේ මැගසින් බන්ධනාගාරයේදීය.

ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ අරමුදල් තර කිරීම සඳහා 1988 පෙබරවාරි 5වැනිදා රුහුණු සරසවියේ නන්දා මාලනිගේ පවන සංගීත ප්‍රසංගයද සරසවි ගෘහස්ථ ක්‍රිඩාගාරයේදී පවත්වනු ලැබීය. එමගින් ලැබු ශුද්ධ ලාභය රුපියල් 43,000කි. අසූව දශකයේ අවසානයේදී අත්අඩංගුවට ගත් රුහුණු සරසවි සිසුන් නිදහස් කරගැනීම සහ සහන සලසා ගැනීම සඳහා උපකුලපති මහාචාර්ය ජී.පී සමරවික්‍රම, ශ්‍රාස්ත්‍ර පීඨාධිපති මහචාර්ය ජී.එස් රණවැල්ල, කෘෂි විද්‍යා පීඨයේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ සභාපති ඩේමියන් වීරක්කොඩි ඇතුළු පිරිසක් ක්‍රියාකාරිව මැදිහත් විය.

රුහුණු සරසවිය 1988 ආරම්භයේ සිට ජවිපෙ 2වැනි කැරැල්ලේ මූල කඳවුරක් බවට පත්විය. එයට කළින් 1987 මුල්භාගය වන විට ශ්‍රී ජයවර්ධනපුර සරසවිය සහ පේරාදෙණිය සරසවියද ජවිපෙ මූල කඳවුරු බවට පත්වී තිබිණි. මොරටු සරසවිය සහ එන්.ඩී.ටී තාක්ෂණික පීඨයේ කොටසක් කැරැල්ලේ බෝම්බ නිෂ්පාදනය කිරීමේ ස්ථානයක් ලෙස ප්‍රචලිත විය. රුහුණු සරසවියේ කෘෂි පීඨය කඹුරුපිටිය මාපලානේ පිහිටියේ අක්කර 125කින් සමන්විත ගොවිපොලක් කේන්ද්‍ර කරගෙනය. 1988 ජනවාරි සිට සරසවිය වසා දමන තෙක් රුහුණු කාෂි පීඨය මාතර සහ ඒ අවට දිස්ත්‍රික්කයන්හිද, ශිෂ්‍ය අංශයේද සන්නද්ධ පුහුණුව ලබාදීමේ දෙදින කඳවුරු පැවැත්විණි. වරකට 30 දෙනෙකු බැගින් එවැනි කණ්ඩායම් 20ක් පමණ එම කාලය තුළ පුහුණුව ලබාදී තිබිණි. රාත්‍රී 6ට මාතර නගරයට එක්රැස්වන එවැනි පුහුණුව ලබන කණ්ඩායම් වල පිටස්තර සාමාජිකයෝ රාත්‍රී 7ට සරසවියට පැමිණ එදින රාත්‍රිය සිසු නේවාසිකාගාරවල ගතකර පසුදින උදෑසන 4 සිට පුහුණුවීම් අරඹනු ලබයි. පුහුණුව අවසානයේ දෙදිනකට පසු තෙවැනි දින දිවා ආහාරයෙන් පසු ඔවුහු විසිර යති.

රුහුණු සරසවියේ උපාධි අපේක්ෂකයින් වශයෙන් ජවිපෙ 2වැනි කැරැල්ලේ
ප්‍රබලතම ක්‍රියාකාරින් වශයෙන් කටයුතුකල 8දෙනාගෙන් ඝාතනයට ලක්වු 6දෙනා
ඉහළ වමේ සිට මෙසේය. ජවිපෙ ශිෂ්‍ය අංශයේ සන්නද්ධ නායකයෙකුවූ
දෙබරවැව ඥාණසිරි පල්ලියගුරු, ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ඇල්පිටිය සහ
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය කලාප සන්නද්ධ ලේකම්වූ
පන්ගමුවේ ප්‍රේමචන්ද්‍ර කොඩිතුවක්කු, ජවිපෙ සමාජවාදී කාන්තා සංගමයේ
ජාතික සංවිධායිකා දොඩම්ගස්ලන්දේ අප්පුකුට්ටි දේවගේ ස්වර්ණලතා
නොහොත් දීපිකා මුතුහෙට්ටි, ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නායකයින්වූ
ගොඩකවෙල ඩී. ආර් නිශ්ශංක සහ දෙබරවැව කේ. ටී. නිමල්සිරි,
මොරවක කලාපයේ සන්නද්ධ ලේකම්වරයෙකුවූ කුරුණෑගල ලේකම්ගේ වික්‍රමසිංහ.
ලංකාවේ අන් සියළු සරසවි මෙන් රුහුණු සරසවියේ අධ්‍යයන කටයුතු 1988 මැද භාගයේදී ඇන හිටියේය. රුහුණු සරසවියේ මැද වත්තේ පිහිටි විද්‍යා සහ කලා පීඨ ගොඩනැගිලිවල හමුදා කඳවුරු 2ක් 1988 ඔක්තෝබර් 8වැනිදා පිහිටුවනු ලැබීය. පසුව මාපලාන කෘෂි විද්‍යා පීඨයේද හමුදා කඳවුරක් ස්ථාපනය කරන ලදි. මැදවත්තේ පිහිටි හමුදා කඳවුරු දෙකෙන් එකක්ද මාපලාන කෘෂි පීඨයේ කඳවුරද 1989 පෙබරවාරි 20 වැනිදා ඉවත් කරන ලදී. ඉවත්කරන ලද හමුදා කඳවුරු වල භටයෝ 100කට ආසන්න ප්‍රමාණයක් විය. රුහුණු සරසවියේ පිහිටවූ ඉතිරි හමුදා කඳවුරුද 1989 දෙසැම්බර් මස 3වැනිදා ඉවත්කරන ලදී. කුප්‍රකට එළියකන්ද වධ කඳවුරද 1989/90 කාලයේ පිහිටියේ රුහුණු සරසවියේ ශිෂ්‍ය නේවාසිකාගාරයක්වූ බ්‍රවුන්ස් හිල්හිදීය.

රුහුණු සරසවිය තුළ 1986 සිට 1990 දක්වා වකවානුවේදී ශිෂ්‍ය ව්‍යාපාරය තුළ පුර්ණකාලීනව සහ හිතවතුන් වශයෙන් සිසුන් සිය ගණනක් එක්වී තිබිණි. ඒ අතර කෘෂි පීඨයේ බණ්ඩාරවෙල ඩී.එෆ් රත්නායක, වැලිගම චන්ද්‍රරත්න, මොරවක කේ.ටී.එස් දේවානන්ද, වත්තල ඩේමියන් වීරක්කොඩි, කුළියාපිටියේ ධනවතී, කළුතර තමාරා ප්‍රියදර්ශනී, ගම්පහ සරත් පතිරණ, රේණුකා ප්‍රියංගිකා, බෙලිඅත්තේ ලලිත් බේරගොඩ, පෝද්දල ගුණවර්ධනද, ශ්‍රාස්ත්‍ර පීඨයේ තිස්සමහාරාමයේ ප්‍රේමදාස විජේසිංහ, දෙනියායේ ජයනි , මිදිගම කරුණාසේන, පොලොන්නරුවේ විජේරත්න බණ්ඩා, යක්කලමුල්ලේ මාෂල් දයාසිරි, ඩී. මයිකල් ද සිල්වා, තංගල්ලේ නිමල් ෆැන්ස්සිස්, මිදිගම ධර්මසිරි ප්‍රියන්ත, ලොකුගේ(උපතිස්ස ගමනායක බණ්ඩාරගම නිවසේ අත්අඩංගුවට පත්වන කාලයේදී ඔහුගේ සොහොයුරෙකු මෙන් පෙනීසිටි මොහු එහිදී පළායැමට සමත්විය)ද, වෛද්‍ය පීඨයේ බදුල්ලේ තුසිත, බෙලිඅත්තේ රත්නවීර, අම්පාර ඉගිනියාගල ඥාණසිරි සහ තංගල්ලේ නිහාල් ඇතුළු පිරිසක් වේ.

එමෙන්ම වාණිජ පීඨයේ අකුරැස්සේ නිහාල් මැද්දේගොඩ, බදුල්ලේ පියසේන ඇතුළු අයද, විද්‍යා පීඨයේ විල්පිට ජයන්ත, තංගල්ලේ චන්ද්‍රදාස, රත්ගම ෂෙල්ටන් කුමාරසිරි, සූරියවැව චන්ද්‍රසිරි, බෙලිඅත්තේ රුවන් පතිරණ, දිල්රුක්ෂි මීදෙනිය(පසුකාලිනව ඇයගේ සැමියා වුයේ ලාල් කාන්තය), යක්කලමුල්ලේ දිනසිරි හේවගේ, රවි ආරියසේන ඇතුළු පිරිසක් වේ. පළමු වසරේ විද්‍යා පීඨ සිසුවෙකුවූ රවි ආරියසේන මානව හිමිකම් ශිෂ්‍ය සංවිධානයේ දිස්ත්‍රික් සංවිධායකයෙකුවූ අතර කැරැල්ලේ පරාජයෙන් පසු මාතර දිස්ත්‍රික් ජවිපෙ කටයුතු වලට සහ මාතර මව් පෙරමුණේ කටයුතු වලට එක්විය. අනතුරුව 1991 තායිලන්තය බලාගිය ආරියසේන වර්තමානයේ ඇමරිකාවේ ටෙක්ස්සාස් ප්‍රදේශයේ ජීවත්වේ. ජීවිතය බේරාගැනීමට සමත්වු රුහුණු ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් සිය ගණනක් අතරින් කිහිප දෙනෙකු ජවිපෙ 2වැනි කැරැල්ලේදී ජවිපෙ දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්, කලාප සන්නද්ධ ලේකම්, කලාප දේශපාලන ලේකම්, කාන්තා අංශයේ කලාප ලේකම්වරියන් ඇතුළු තනතුරු දැරූ බවට ආරක්ෂක අංශ මගින් හෙළිකරගෙන තිබිණි.

රුහුණු සරසවියේ ඝාතනයට ලක්වූ සිසුන් 53 දෙනා අතරින් සිසු නායකයින් සහ ක්‍රියාකාරිකයින්ගේ ඝාතනයන් සිදුකල ආකාරය මෙසේ සංෂිප්ත කර දැක්විය හැකිය. ඥාණසිරි පල්ලියගුරු කෘෂි පීඨයට 1981 පැමිණියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෙබරවැව ප්‍රදේශයෙනි. බෙනට් නමින්ද හැදින්විණි. ජවිපෙ ශිෂ්‍ය අංශය යටතේම වෙනමම ක්‍රියාත්මකවූ සන්නද්ධ අංශයේ ප්‍රධානියාය. ජවිපෙ මගින් යුධඅවි ලබාගැනීමට කටුනායක ගුවන් හමුදා කඳවුරට දෙවන වරටද 1988 අප්‍රේල් 22 එල්ල කල ප්‍රහාරයට කැරළිකරුවෙකු ලෙස එක්විය. බොරැල්ල මැගසින් බන්ධනාගාරයට 1988 දෙසැම්බර් 13 වැනිදා ප්‍රහාරයක් එල්ලකර එහි රඳවාගෙන සිටි ජවිපෙ සැකකරුවන් 221 දෙනෙකු නිදහස් කරගැනීමේ ජවිපෙ ප්‍රහාරක කණ්ඩායමේ මුල් පෙළේ ක්‍රියාකාරිකයෙකි.

ගාල්ල ජවිපෙ සන්නද්ධ ලේකම් ලෙස ඥාණසිරි 1989 අග භාගයේ පත්වී පැමිණි විගස ගාල්ල ඉදුරුවේදී ආරක්ෂක හමුදා ‘ඇම්බුස්’ උඟුලට(සැගවී සිට එම ස්ථානයට පැමිණෙන අය අත්අඩංගුවට ගැනීම) හසුවීමෙන් අත්අඩංගුවට පත්විය. පසුව තෙලිජ්ජවල ජෝන් ඩෙල්ෆ් වත්තේ හමුදා අනුඛණ්ඩයේ රඳවා ගනු ලැබීය. එම කඳවුරේ සිටි ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වූ දික්වැල්ලේ සිල්වා රැගෙන ක්ෂණික විහිදුම් බලකායේ භටයින් 4 දෙනෙකු තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බතීගමට රැගෙන ගියවිට කැරළිකරුවන් විසින් හමුදා භටයින්ට ප්‍රහාරයක් එල්ලකර ඔවුන් ඝාතනයකර සිල්වාද බේරගෙන අවිද පැහැරගෙන ඝාතනයට ලක්වූ හමුදා භටයින්ගේ සිරුරු පාළු ලිදකට දමා තිබිණි. එයට ප්‍රතිචාරයක් ලෙසින් කඳවුරේ රඳවාගෙන සිටි ඥාණසිරි පල්ලියගුරු, මාතර හිටපු දිසා ලේකම් විජිත, ජවිපෙ සන්නද්ධ ක්‍රියාකාරිකයෙකුවූ හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ කලක් සේවය කල දෙවුන්දර අතුල ඇතුළු සිව් දෙනෙක් පසුදින ඝාතනය කර එම ලිදටම දමා තිබුණු බවට චෝදනාවකි.

 ජවිපෙ 2වැනි කැරළි සමයේ රුහුණු සරසවි සිසුන්ව සිටියදී ඝාතනය වු
53දෙනාගෙන් කිහිප දෙනෙක් ඉහළ වමේ සිට මෙසේය.
වෛද්‍ය පීඨයේ අකුරැස්සේ කිත්සිරි රාජරත්න, වලස්මුල්ලේ ජී. ප්‍රේමවර්ධනද,
කෘෂිවිද්‍යා පීඨයේ කොලොන්න ප්‍රියන්ත විජේපාලද, මානව සම්පත් සහ සමාජ විද්‍යා පීඨයේ
රිදියගම කුලසිරි විදානපතිරණ, අම්පාර සමන් ගජවීර,
නාකුළුගමුව ඒ.පී. නිහාල්, වැලිගම විපුල් එදිරිරත්න, නාකුළුගම නිහාල් රාජපක්ෂ,
පාතේගම රතනසාර හිමි, පන්නල පියරත්න හිමි, අකුරැස්සේ ලැන්ටි වික්‍රමරත්න,
නක්කල කුසලඥාන හිමි, පූජ්‍ය මත්තල පියදස්සි හිමි, කෘෂි විද්‍යා පීඨයේ
හොරණ අජිත් ජයතිලක, මාදම්පේ උපාලි වැලිකඩආරච්චි, බුත්තල ඒ. එම්. තිලකරත්න,
අකුරැස්සේ සමන් බේරුගොඩ, එන්. විමලසේන, කඹුරුපිටිය නිහාල් ගුරුළුමුල්ල,
දෙබරවැව ඥාණසිරි පල්ලියගුරුද, විද්‍යා පීඨයේ දෙඹරවැව කේ. ටී නිමල්සිරි,
බලංගොඩ ආර්. ජේ පතිරණ, උරුබොක්කේ ගාමිණී රාජපක්ෂ, අකුරැස්සේ ඊ. ජී සුමිත්‍ර,
අහංගම තිස්ස කුමාර, ගාල්ලේ ලලිත් ලියනගේ, රත්මලේ මහින්ද ජයවර්ධන,
කුරුණෑගල  ලේකම්ගේ වික්‍රමසිංහ, රංජිත් විදානපතිරණ ,රත්ගම සමන් දඩල්ලගේ,
තංගල්ල වසන්ත ඇත්ගම, අහංගම තිලක් ප්‍රසන්න ද සිල්වා, ප්‍රින්ස් සමරසුරිය,
මොණරාගල කේ. එම් උදයරත්න බණ්ඩාරද, වාණිජ පීඨයේ ගොඩකවෙළ ඩී.ආර්. නිශ්ශංක වේ.
ප්‍රේමචන්ද්‍ර කොඩිතුවක්කු කෘෂි විද්‍යා පීඨයට 1981 පැමිණියේ හම්බන්තොට පන්නගමුව ග්‍රාමයේ සිටය. ක්‍රියාකාරි ශිෂ්‍ය නායකයෙකි. අවසාන වසරේ උපාධි අපේක්ෂකයෙකි. බර්ටි, තුෂාර සහ විජේසිංහ යන නමින් හැදින්විණි. කලක් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ කලාපයේ සන්නද්ධ ලේකම් විය. ජවිපෙ මගින් යුධ අවි ලබාගැනීමට කටුනායක ගුවන් හමුදා කඳවුරට දෙවන වරටද 1988 අප්‍රේල් 22 එල්ල කල ප්‍රහාරයට කැරළිකරුවෙකු ලෙස එක්විය. පසුව එහිදී අත්අඩංගුවට පත්විය. අනතුරුව මැගසින් බන්ධනාගාරයේ සැකපිට රඳවා තැබූ කොඩිතුවක්කු ඇතුළු ජවිපෙ කැරළිකරුවන් 221 දෙනෙකු 1988 දෙසැම්බර් 13 වැනිදා මැගසින් බන්ධනාගාරයට ප්‍රහාරයක් එල්ල කර නිදහස් කරගැනීමට ජවිපෙ සමත් විය.

අනතුරුව 1989 මුල්භාගයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ඇල්පිටිය කලාපයේ ජවිපෙ සන්නද්ධ ලේකම්වරයාවූ කොඩිතුවක්කු පසුව මාතර දිස්ත්‍රික්කයේ කලාපයක සන්නද්ධ ලේකම්වරයා වශයෙන් 1989 මැද භාගයේදී කටයුුතු කළේය. වසර 1989 අවසාන භාගයේදි ඇඹිලිපිටිය කලාපයේ සන්නද්ධ ලේකම්වරයා වශයෙන් කටයුතු කල ඔහු 2වැනි කැරැල්ල පරාජයට පත්වීමෙන් පසු උඩවලවේ වනාන්තරයට 1990 ජනවාරි මස පසුබැස ගිය ජවිපෙ කැරළිකරුවන්ට නායකත්වය දුන් අයෙකි. වසර 1990 අගෝස්තු මස ඔහු භාරයේ සඟවා තිබුණු කිලෝ 30ක පමණ රත්තරන් ඇතුළු සම්පත් කොල්ලකෑම සඳහා ජවිපෙම ක්‍රියාකාරිකයින්වූ තිස්සමහාරාමයේ සුදර්ශන සහ පාලිත ඇතුළු පිරිසක් විසින් කොලොන්න ගම කන්දේදී පිහියෙන් ඇන ඝාතනය කරන ලදී.

අප්පුකුට්ටි දේවගේ ස්වර්ණලතා ශ්‍රාස්ත්‍ර පීඨයේ පළමු වසර සිසුවෙකු වශයෙන් 1985දී ඇතුළත් වූ අතර පසුව සති කිහිපයකින්ම ජවිපෙ පූර්ණකාලීනයෙකු විය. දොඩම්ගස්ලන්දේ පදිංචි 1965 උපන් ස්වර්ණලතා අධ්‍යාපනය ලැබුවේ රූද්දගොඩ මහා විද්‍යාලයෙනි. ඇය දීපිකා මුතුහෙට්ටි, මනෝරි ලෙසද හැදින්විණි. ජවිපෙ සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායකවරිය වශයෙන් සිටියදී 1988 දෙසැම්බර් 8වැනිදා ගාල්ල කරාපිටිය රෝහල අසළ 4වැනි පටුමගේ පිහිටි ජවිපෙ රහසිගත සම්බන්ධීකරණ ස්ථානයකට යමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය. ඇය සමඟ ජවිපෙ ක්‍රියාකාරිනියක්වු හිනිදුම තලන්ගල්ලේ එම්.ජී. කරුණාවතීගේ වැඩිමහල් දියණියවූ චාමිනී මුතුහෙට්ටි නොහොත් වරුණිද අත්අඩංගුවට ගනු ලැබුවාය. දෙදෙනාම ඉමදූව කොටිගල හමුදා කඳවුරට ගෙනයෑමෙන් පසු වධබන්ධන සහ තිරස්චින අතවරවලට මුහුණ දීමෙන් අනතුරුව ඝාතනයට ලක්විය.

රත්නපුර ගොඩකවෙල උපන් ඩී.ආර්. නිශ්ශංක අඩුවෙන් කථාකල වැඩියෙන් වැඩකල සිසු නායකයෙකි. රුහුණු සරසවියේ වානිජ විද්‍යා අවසන් වසරේ ශිෂ්‍යයෙකි. ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 1988 සිට 1989 සැප්තැම්බර් දක්වා ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළේය. ජවිපෙ 2වැනි කැරැල්ලේ පරාජයත් සමඟම ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරයා වශයෙන් පත්වූ නිශ්ශංක ජවිපෙ විනාශයෙන් පසු යළි ගොඩනැගීමට පුරෝගාමි ප්‍රයත්නයක් දැරූ මුල් කණ්ඩායමේ ක්‍රියාකාරිකයෙකි. ඒ පිළිබඳව දිවුලපිටිය පොලිස් වසමට අයත් බල්ලපාන අන්නාසි වත්තේදී පැවති කමිටු සාකච්ඡාවකදි 1990 අප්‍රේල් 2වැනිදා ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්වූ පිරිස අතර ඔහුද විය. නිශ්ශංක විසින් පදවන ලැබූ යතුරු පැදියද ඇතුළුව එහි පැමිණි සිටි අයගේ යතුරුපැදි 6ක්ද හයිඑස් වෑන් රථයක්ද, අවි ආයුධ කිහිපයක්ද එහිදී අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර විය. පසුව නිශ්ශංක 1990 අප්‍රේල් 5 වැනිදා ඝාතනයට ලක්විය.

හම්බන්තොට දෙබරවැව පදිංචි කේ. ටී නිමල්සිරි දෙබරවැව මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා රුහුණු සරසවියේ විද්‍යා පීඨයට 1984 ඇතුල් විය. රුහුණේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව තුළ ඔහු නායකත්වය ගත්තේය. පසුව ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස 1990 ජනවාරි සිට මාර්තු දක්වා කටයුතු කළේය. ඔහු 1990 පෙබරවාරි 27වැනිදා ඇහැලියගොඩදී පැහැරගත් ආරක්ෂක අංශ ඔහු මත්තේගොඩ කඳවුරට ගෙන එන ලදී. කොළඹ නාවල පිහිටි නාවල කුෂන් වර්ක්ස්හි සේවය කල ආනන්ද කුමාරගේ ගෙන් ප්‍රශ්න කිරීමට නිමල්සිරි සමඟ නිසාන් බ්ලුබර්ඩ් මෝටර් රථයකින් 1990 මාර්තු 2වැනිදා රැගෙන ඇවිත් තිබිණි. එහිදී ආනන්දගේ භාරයේ තිබූ නිමල්සිරි ලබාදුන් රුපියල් 50,000ක මුදලද එදිනම මිරිහාන ජුබිලි කනුවට ගොස් එහි පදිංචි වසන්ති රන්වල භාරයේ තිබු නිමල්සිරි ලබාදුන් රුපියල් ලක්ෂ 2කද ආරක්ෂක අංශ සමඟ අදාල ස්ථානයන්ට ‍ගොස් ඔවුනට භාරදීමට නිමල්සිරි කටයුතු කරන ලදී. පසුව නිමල්සිරි 1990 මාර්තු 17වැනිදා ඝාතනයට ලක්විය. සෙසු ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් ආරක්ෂක අංශ වෙත කොටුකර ගැනීමට මඟපෙන්වීමට ක්‍රියාකල බවට චෝදනාවක් ඔහුට විය.

රුහුණු සරසවියේ සිසුන් පිරිසක් 1985 භක්ති ගී පුහුණුවීමක් කරමින් සිටියදී.
මෙහි රතු පාටින් රවුම්කර ඇත්තේ  ඝාතනයට ලක්වු
හම්බන්තොට පන්ගමුවේ ප්‍රේමචන්ද්‍ර කොඩිතුවක්කුය. දකුණේ සිට සිටගෙන සරත්,
ධර්මසේන, ප්‍රේමචන්ද්‍ර කොඩිතුවක්කු, නිමල්, රත්නායක,
ඇන්ටන් පෙරේරා(වර්තමානයේ කෘෂි පීඨයේ ආචාර්යවරයෙකි),
සමන්, ප්‍රජා, ජයනි වේ. වාඩිවී වමේ සිට මාලා, වැලිඅරාව, රේණුකා ප්‍රියංජනී සහ දීපාය.
ඉදගෙන වයලීන් වාදනය කරනුයේ අජිත්ය. බටනලා වාදක සුනිල්ය.
හිටගෙන වයලින් වාදනය කරන්නේ දමයන්තිය. පසුපසින් ධම්මිකා වේ.
කිත්සිරි ප්‍රේමලාල් රාජරත්න වෛද්‍ය පීඨයේ 1981 කණ්ඩායමේ සාමාජිකයෙකි. තෙවන වසරේ සිසුවෙකි. අකුරැස්ස කරඹ පදිංචිකරුවෙකි. පිය මියගොස්ය. පවුලේ එකම පිරිමි දරුවාය. සොහොයුරියක්ද සිටී. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකි. අන්තර් විශ්ව විද්‍යාල වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙකි. ගාල්ල දිස්ත්‍රික් පුරවැසි කමිටුව ගොඩනැගීමේදී සහ සම්බන්ධීකරණයේදී මැදිහත්ව කටයුතු කළේය. ගාල්ල මහා විදියේදී 1989 අගෝස්තු අත්අඩංගුවට පත්ව වලව්වත්ත හමුදා කඳවුරේ රඳවා ගැනීමෙන් පසු ඝාතනයට ලක්විය. ජී. ප්‍රේමවර්ධන වෛද්‍ය පීඨයේ 87 කණ්ඩායමේ සාමාජිකයෙකි. වලස්මුල්ල පදිංචිකරුවෙකි. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ ක්‍රියාකාරිකයෙකි. අන්තරේ මැදිහත් වීමෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සරසවි සිසු දෙමාපිය සංවිධානය ගොඩනැගීමේදී ක්‍රියාකාරි මෙහෙයක් කළේය. හක්මන පොලිසියේ උප පොලිස් පරික්ෂක ජයතිලක විසින් 1989 දෙසැම්බර් හක්මන අලුත් පාර හන්දියේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයට ලක්විය.

ඊ. ජී සුමිත්‍ර කඳනගොඩ විද්‍යා පීඨයේ 86 කණ්ඩායමේ සාමාජිකයෙකි. අකුරැස්සේ ඉඹුල්ගොඩ පදිංචිකරුවෙකි. වැඩිමහල් සොහොයුරියන් 4 දෙනෙක් සහ සොහොයුරන් 2කි. දෙණියායේ මොරවක කලාපයේ ජවිපෙ දේශපාලන අංශයේ කොට්ඨාශ නායකයාය. මොරවක අලපලාදෙණියේ ජාසින් කන්දේ පිහිටි කඳවුරකදී 1989 ඔක්තෝබර් 13වැනිදා අක්‍රීයව තිබූ බෝම්බයක් පරික්ෂා කිරීමේදී ඇතිවූ පිපිරීමකින් එම ස්ථානයේදීම මරණයට පත්විය. ඔහුගේ අවසන් කටයුතු ජවිපෙ විප්ලවීය උත්තමාචාර මැද කැරළිකරුවන් විසින් සිදුකරන ලදී. ජවිපෙ ශිෂ්‍ය අංශයේ පූර්ණකාලීනයෙකුවු ඔහුගේ කණිටු සොහොයුරාද මසකින් පසු ආරක්ෂක හමුදා අතින් ඝාතනයට ලක්විය.

ලේකම්ගේ වික්‍රමසිංහ විද්‍යා පීඨයේ 86 කණ්ඩායමේ සාමාජිකයෙකි. කුරුණෑගල නාගොල්ලාගොඩ මිදිවලාන පදිංචිකරුවෙකි. ජවිපෙ මගින් යුධ අවි ලබාගැනීමට කටුනායක ගුවන් හමුදා කඳවුරට දෙවන වරටද 1988 අප්‍රේල් 22 එල්ල කල ප්‍රහාරයට කැරළිකරුවෙකු ලෙස එක්විය. පසුව අකුරැස්ස වැලිගම කොට්ඨාශයේ සන්නද්ධ ලේකම් විය. දකුණු පළාත් සභා ඡන්දය 1988 ජුනි 09වැනිදා පැවති අවස්ථාවේදී ඡන්ද පොලකට ආරක්ෂාව ලබාදුන් හමුදා භටයින් 5 දෙනෙකු යටත් කරගත් වික්‍රමසිංහ ඇතුළු ජවිපෙ කැරළිකරුවන් පිරිසක් ඔවුන්ගෙන් අවි ලබාගැනීමෙන් පසු එම අරමුණ පිළිබඳව ඔවුනට දේශනයක් දෙන ලදී. මෙහිදී අවි රහිතව සිටි කෝප්‍රල් මෙන්ඩිස් විසින් සිය බදයේ රඳවා තිබූ බෝම්බයක් දමා ගැසීමෙන් වික්‍රමසිංහ එතැනම මරණයට පත්විය. සෙසු කැරළිකරුවන් පළායන ලදි. ජවිපෙ රණහඩ ගුවන්විදුලිය පසුදින ඔහුගේ වීරත්වය අගය කල අතර විනාශයට හේතුවූයේ ප්‍රමාදය බව කියා සිටියේය.

විපුල් එදිරිරත්න ශ්‍රාස්ත්‍ර පීඨයේ 85 කණ්ඩායමේ සාමාජිකයෙකි. දෙවන වසරේ සිසුවෙකි. වැලිගම පැලෑන පොකුණවත්ත පදිංචිකරුවෙකි. පැලෑන ශ්‍රී වජිරඥාන මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර 1964 අගෝස්තු 17වැනිදා උපත ලැබිය. පියා විල්බට් ධීවර කාර්මිකයෙකු වූ අතර විපුල්ට සොයුරු සොහොයුරියන් 5කි. අකුරැස්ස වැලිගම කලාපයේ ජවිපෙ දේශපාලන නායකයෙකි. කැටන්වල හමුදා කඳවුර මගින් අකුරැස්ස බස්නැවතුම්පොලේදී 1989 අප්‍රේල් 4වැනිදා අත්අඩංගුවට ගෙන කැටන්වල හමුදා කඳවුරේ රඳවා ගන්නා ලදී. පසුව ලේනබටුව වැව අසළ 1989 මැයි 12 වැනිදා මරා පුළුස්සා දමා තිබිණි. සමන් බේරුගොඩ කෘෂි පීඨයේ 1985 කණ්ඩායමේ ශිෂ්‍යයෙකු වූ අතර අකුරැස්ස බංගම පදිංචිකරුවෙකි. ප්‍රගතිශීලි පවුල් පසුබිමකින් පැමිණි අයෙකි. පියා තැපැල් ස්ථානාධිපතිවරයෙකි. කොල කොටි මගින් හදුන්වා ගත් කණ්ඩායමක් විසින් නිවසට පැමිණ ඔහුගේ පියා සහ බාල සොහොයුරන් යන දෙදෙනාටම වෙඩි තැබීමෙන් ඝාතනය ලක්විය. වෙඩි වැදී බරපතල තුවාල ලැබූ සමන්ගේ මව තෙමසක් රෝහල් ප්‍රතිකාර ලැබීය. බාල සොහොයුරන් දෙදෙනෙකු සහ එක් සොහොයුරියක්ද සිටීයේය. සමන්ද 1989 ඔක්තෝබර් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයට ලක්විය.

රුහුණේ කෘෂි පීඨයේ 1984 කණ්ඩායම සත්ව විද්‍යා අංශය පිටුපසදී.
රතු පාටින් රවුම් කර ඇත්තේ ඝාතනයට ලක්වු හම්බන්තොට දෙබරවැව ඥානසිරි පල්ලියගුරුය.
පී. ජී. දයන්ත තිස්ස කුමාර විද්‍යා පීඨයේ 86 කණ්ඩායමේ සාමාජිකයෙකි. පළමු වසරේ සිසුවෙකි. අහංගම දික්කුඹුර අන්දුගොඩ පදිංචිකරුවෙකි. ලේඛකයෙකි. ජවිපෙ මාතර දිස්ත්‍රික් කමිටුව මගින් 1988 දෙසැම්බර් 31වැනිදා ප්‍රකාශයට පත්කරන ලද අරගලය නැමති මුද්‍රිත සඟරාවේ සම සංස්කාරකවරයෙකි. ජවිපෙ 2වැනි කැරළි සමයේ දිස්ත්‍රික් කමිටුවක් මගින් නිකුත්කල එකම සවිස්තරාත්මක සඟරාව එය වේ. ජවිපෙ ශිෂ්‍ය අංශයේ අකුරැස්ස මාලිම්බඩ කලාප නායකයෙකි. ආරක්ෂක අංශ මගින් කලගෙඩිහේනේදී පැහැරගෙන යෑමෙන් පසු ඝාතනයට ලක්විය. ඩී. එම්. මහින්ද ජයවර්ධන විද්‍යා පීඨයේ 86 කණ්ඩායමේ සාමාජිකයෙකි. රත්මලේ බඹරැන්ද පදිංචිකරුවෙකි. පියා විදුහල්පතිවරයෙකි. තලහිටියාගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා බණ්ඩාරනායක මහා විද්‍යාලය, විජිත මහා විද්‍යාලය සහ මාතර රාහුල විදුහලෙන් අධ්‍යාපනය හැදෑරිය. ජේෂ්ඨ පුවත්පත් කලාවේදි සුනිල් මාධව සංස්කරණය කල දිවයිනේ 8වැනි පිටුවට ලිපි ලියූ ලේඛකයෙකි. බතීගම හමුදා කඳවුරට අයත් 30 ශ්‍රී 6654 දරණ වාහනයෙන් රත්මලේදී 1989 අප්‍රේල් 1වැනිදා පැහැරගෙන යෑමෙන් පසු ඝාතනයට ලක්විය.

වසන්ත ඇත්ගම විද්‍යා පීඨයේ 87 කණ්ඩායමේ සාමාජිකයෙකි. සංජීව ගමගේ ලෙසද හැදින්විණි. තංගල්ල ගොයම්බොක්ක වෙලේවත්තේ පදිංචිකරුවෙකි. වැලිගම බටවල පාතේගෙම සැනසුම නිවසේදී 1989 ඔක්තෝබර් 23 වැනිදා දහවල් 12 අත්අඩංගුවට ගත් අතර පසුව 1989 දෙසැම්බර් 10 දක්වා මාතර පොලිස් අධිකාරි භාරයේ රඳවා ගන්නා ලදී. පසුව ඝාතනයට ලක්විය. වසන්ත සමඟ අත්අඩංගුවට ගත් පියල් සූරියආරච්චි පසුව නිදහස්කර තිබිණි. ප්‍රියන්ත විජේපාල කෘෂි පීඨයේ 82 කණ්ඩායමේ සාමාජිකයෙකි. කොලොන්න පනාමුරේ පදිංචිකරුවෙකි. කඹුරුපිටිය කලාපයේ ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිකයෙකි. රුහුණු සරසවිය යළි විවෘත වීමෙන් පසු 1990 මුල් භාගයේදී යළි සරසවියට පැමිණි අතර කඹුරුපිටියේදී ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්වීමෙන් පසු ඝාතනයට ලක්විය.

කුලසිරි විදානපතිරණ ශ්‍රාස්ත්‍ර පීඨයේ 84 කණ්ඩායමේ සාමාජිකයෙකි. රුහුණු රිදියගම මොදරපිලිලේ පදිංචිකරුවෙකි. කැකණදුර හමුදා කඳවුර විසින් 1989 සැප්තැම්බර් 16 මාතර වෙහෙරහේනේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මාතර එළියකන්ද වධකාගාරයේදී ඝාතනයට ලක්විය. සමන් ශාන්ත ගජවීර ශ්‍රාස්ත්‍ර පීඨයේ 85 කණ්ඩායමේ සාමාජිකයෙකි. අම්පාර රජගහතැන්න පදිංචිකරුවෙකි. අම්පාර හමුදා කඳවුර මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයට ලක්විය. ඒ.පී. නිහාල් වාණිජ පීඨයේ 85 කණ්ඩායමේ සාමාජිකයෙකි. නාකුළුගමුව බොරකැටිආරේ පදිංචිකරුවෙකි. පොඩි නිහාල් ලෙසද හැදින්විණි. කැකුණදුර හමුදා කඳවුර මගින් 1989 සැප්තැම්බර් 16 මාතර වෙහෙරහේනේදී අත්අඩංගුවට ගැනිමෙන් පසු එළියකන්ද වධකාගාරයේදී ඝාතනයට ලක්විය. නිහාල් රාජපක්ෂ වාණිජ පීඨයේ 85 කණ්ඩායමේ සාමාජිකයෙකි. ලොකු නිහාල් ලෙසද හැදින්විණි. නාකුළුගමුව ගලගම පදිංචිකරුවෙකි. පැහැරගෙන යාමෙන් පසු ඝාතනයට ලක්විය.

පූජ්‍ය පාතේගම රතනසාර හිමි ශ්‍රාස්ත්‍ර පීඨයේ 86 ප්‍රවිශ්ඨ කණ්ඩායමේ සාමාජිකයෙකි. නාකුළුගමුව වැව්වත්ත පුරාණ විහාරයේ හිමිනමකි. ආරක්ෂක අංශ මගින් 1989 ජනවාරි 17වැනිදා පිටිගලදී අත්අඩංගුවට ගැනිමෙන් පසු වලව්වත්ත හමුදා කඳවුරේදී ඝාතනයට ලක්විය. පූජ්‍ය තරිස්සේ ඥනාලෝක හිමි ශ්‍රාස්ත්‍ර පීඨයේ 85 කණ්ඩායමේ සාමාජිකයෙකි. ආරක්ෂක හමුදා පැහැරගැනීමෙන් පසු ඝාතනයට ලක්විය. පූජ්‍ය පන්නල පියරත්න හිමි ශ්‍රාස්ත්‍ර පීඨයේ 87 කණ්ඩායමේ සාමාජිකයෙකි. අත්අඩංගුවට පත්වීමෙන් පසු ඝාතනයට ලක්විය. පූජ්‍ය නක්කල කුසලඥාන හිමි ශ්‍රාස්ත්‍ර පීඨයේ 87 කණ්ඩායමේ සාමාජිකයෙකි. ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයට ලක්විය. පූජ්‍ය මත්තල පියදස්සි හිමි ශ්‍රාස්ත්‍ර පීඨයේ 87 ප්‍රවිශ්ඨ කණ්ඩායමේ සාමාජිකයෙකි. තිස්සමහාරාම යෝධකණ්ඩියේ බෝධිමහා විහාරයේ භික්ෂුවකි. ආරක්ෂක හමුදා මගින් ගාල්ල කලුවැල්ලේදී 1988 දෙසැම්බර් 1වැනිදා පැහැර ගැනිමෙන් පසු ඝාතනයට ලක්විය. මාතර බස්නැවතුම්පොල අසළ 1988 දෙසැම්බර් 5වැනිදා හමුවූ සිරුරු දෙකෙන් එකක් එම හිමියන්ගේ යැයි සැක කෙරේ.

ලැන්ටි වික්‍රමසිංහ ශ්‍රාස්ත්‍ර පීඨයේ 86 කණ්ඩායමේ සාමාජිකයෙකි. අකුරැස්ස විල්පිට උක්ගස්හේන පදිංචිකරුවෙකි. ආරක්ෂක අංශ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයට ලක්විය. චන්දුසේන මුහන්දිරම් ශ්‍රාස්ත්‍ර පීඨයේ 88 කණ්ඩායමේ සාමාජිකයෙකි. වලස්මුල්ල මිද්දෙණිය පාරේ තලහගහකොරටුව පදිංචිකරුවෙකි. පැහැරගෙන යාමෙන් පසු ඝාතනයට ලක්විය. ජයතිලක කලපුගේ දොන් අජිත් හෙවත් අජිත් ජයතිලක කෘෂි පීඨය ඇතුල්වූයේ 1984 ජනවාරි 02වැනිදාය. හොරණ පදිංචි කරුවෙකි. මොරටුව මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලත් ඔහු 1960 ජුනි 19 වැනිදා උපන්නේය. ඔහුගේ පවුල් පසුබිම ප්‍රගතිශීලි දේශපාලනයට සම්බන්ධය. සිය නිවසේ සිටියදී ආරක්ෂක හමුදා අත්අඩංගුවට ගැනීමෙන් පසු 1989 අවසාන භාගයේදී ඝාතනයට පත්විය.

ඝාතනයට ලක්වූ රුහුණු සරසවි සිසු මොණරාගල බුත්තල ඒ. එම් තිලකරත්න
(රතු පාටින් රවුම් කර ඇත) සිය කණ්ඩායමේ සගයන් සමඟ සීගිරිය 1985 නැරඹීමට ගොස් සිටියදී.
උපාලි වැලිකඩආරච්චි කෘෂි පීඨයට 1981දී එක්වූ මාදම්පේ පදිංචිකරුවෙකි. ජවිපෙ සමාජවාදි ශිෂ්‍ය සංගමයේ දකුණු පළාත් නායකයෙකි. ගාල්ලේදී 1989 අත්අඩංගුවට පත්විමෙන් පසු ඝාතනයට ලක්විය. කෘෂි පීඨයේ ශිෂ්‍යයෙකු වූ ඒ. එම්. තිලකරත්න බුත්තල පදිංචිකරුවෙකි. ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ ක්‍රියාකරුවෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී මොණරාගලදි 1989 අවසානයේදී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්විමෙන් පසු ඝාතනයට ලක්විය.

ගොඩකවෙල පදිංචිකරුවෙකුවූ යාපා පුවක්දණ්ඩාවගේ විමලසේන කෘෂි පීඨයේ 2වන වසර සිසුවෙකි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ රත්නපුර කලාපයේ කටයුතු කළේය. ජවිපෙ වෙනුවෙන් රජය සතියක සටන් විරාම කාලයක් ඒකපාර්ශවිකව 1989 අප්‍රේල් 12වැනිදා සිට ප්‍රකාශයට පත්කර තිබියදී 1989 අප්‍රේල් 14වැනිදා තංගල්ල කට්ටකඩුව ප්‍රදේශයේදී සිය සොහොයුරිය සමඟ යතුරු පැදියෙන් යමින් සිටියදී විමලසේන අත්අඩංගුවට ගන්නා ලදී. රුවන්වැල්ලේ අතිකිරිගල මැණිකෙගෙ කෑල්ල නැමැති ගලවා දැමූ රබර් ඉඩමේ ලඳු කැළෑවක එයට සති කිහිපයකට පසු පමණ පසු හමුවූ පුළුස්සා දැමීම නිසා විකෘති වී ගිය තරුණයින් තිදෙනෙකුගේ මළසිරුරු අතර ඔහුගේ සිරුර යැයි සැකකරන සිරුරක් තිබුණු බව කියති. ඩබ්ලිව්.එච්.එන් ගාමිණී තිලකරත්න විද්‍යා පීඨයේ 84 කණ්ඩායමේ සාමාජිකයෙකි. හලාවත ඉලිප්පදෙණිය මුංගල්දළුව පදිංචිකරුවෙකි. ආරක්ෂක හමුදා අත්අඩංගුවෙන් පසු ඝාතනයට ලක්විය.

කෘෂි පීඨයේ 1982 කණ්ඩායමේ සාමාජිකයෙකු වූ නිහාල් ගුරුළුමුල්ල හඟුරන්කෙත පදිංචිකරුවෙකි. රුහුණු සරසවිය තුළ එජාප සමවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු වශයෙන් සිටියදී පොදු සිසුන්ගේ පහරකෑමට ලක්ව කඹුරුපිටිය ආදපාත රෝහලේදී සති කිහිපයක් ප්‍රතිකාර ගනු ලැබීය. සරසවි වැසීමෙන් පසු ගමට ගොස් ශිෂ්‍ය ක්‍රියාකාරිකම් වල යෙදුණි. ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන පසුව ඝාතනයට ලක්විය. අනිල් ඇහැලියගොඩ විද්‍යා පීඨයේ 85 කණ්ඩායමේ සාමාජිකයෙකි. බලංගොඩ පදිංචි කරුවෙකි. විමල් ලෙසද හැදිනවේ. බලංගොඩදී 1989 නොවැම්බර් මස ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වීමෙන් පසු ඝාතනයට ලක්විය. ආර්. ජේ පතිරණ විද්‍යා පීඨයේ 85 කණ්ඩායමේ සාමාජිකයෙකි. දෙවන වසරේ සිසුවෙකි. බලංගොඩ පෝද්දවල පදිංචිකරුවෙකි. ආරක්ෂක අංශ මගින් 1989 මාර්තු 2වැනිදා හබරාදූවේ බෙරගලදී වෙඩිතබා ඝාතනය කරන ලදී.

ගාමිණී රාජපක්ෂ විද්‍යා පීඨයේ 85 කණ්ඩායමේ සාමාජිකයෙකි. දෙණියාය උරුබොක්ක පදිංචිකරුවෙකි. ආරක්ෂක හමුදා පැහැරගැනීමෙන් පසු ඝාතනයට ලක්විය. උරුබොක්ක පොලිස් වසමේ එජාප ජාතික සේවක සංගම් වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකු වූ ඩබ්ලිව් ඒ සිරිසේනට කැරළිකරුවන් විසින් වෙඩිතැබීමෙන් පසු මෙම පැහැරගැනීම සිදුවූ බව කියති. ලලිත් කුසුම් ලියනගේ විද්‍යා පීඨයේ 86 කණ්ඩායමේ සාමාජිකයෙකි. ගාල්ල පිලාන මඩොවල හප්පාවන පදිංචි කරුවෙකි. ආරක්ෂ අංශ මගින් 1989 ඔක්තෝබර් කොළඹදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයට ලක්විය. රංජිත් විදානපතිරණ විද්‍යා පීඨයේ 1986 කණ්ඩායමේ සාමාජිකයෙකි. ආරක්ෂක හමුදා අත්අඩංගුවට ගැනිමෙන් පසු ඝාතනයට ලක්විය.

ප්‍රියශාන්ත දඩල්ලගේ විද්‍යා පීඨයේ 1986 කණ්ඩායමේ සාමාජිකයෙකි. සමන් නමින්ද හැදින්විණි. රත්ගම බෝපාගොඩ පදිංචිකරුවෙකි. ආරක්ෂක අංශ මගින් ගම්පහ බ්‍රැන්ඩියමුල්ලේදී 1989 මැයි අත්අඩංගුවට ගැනීමේදී ඇතිවූ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු ඇතුළු දෙදෙනෙකු එහිදි ඝාතනයට ලක්විය. කේ. එම් උදයරත්න බණ්ඩාර විද්‍යා පීඨයේ 90 ප්‍රවිශ්ඨ කණ්ඩායමේ සාමාජිකයෙකි. මොණරාගල පදිංචිකරුවෙකි. සුනිල් අපරැක්කගේ 84/85 කණ්ඩායමේ හක්මන මුරුත්තවන පදිංචිකරුවෙකි. තාවකාලික ගුරු පත්වීමක් ලබාගැනීම සඳහා 1988 පෙබරවාරි 27වැනිදා යෑමට ප්‍රථම පැහැර ගැනීමෙන් පසු ඝාතනයට ලක්විය. තිලක් ප්‍රසන්න ද සිල්වා විද්‍යා පීඨයේ 1986 කණ්ඩායමේ සාමාජිකයෙකි. අහංගම තිත්තගල පදිංචිකරුවෙකි. ආරක්ෂක අංශ මගින් 1989 පෙබරවාරි අහංගම සිය නිවසේ සිටියදී පැහැරගෙන යෑමෙන් පසු ඝාතනයට ලක්විය.

රුහුණේ 87 කණ්ඩායමේ සාමාජිකයින්  පිරිසක් කණ්ඩායම් චාරිකාවකදී. රතු පාටින් රවුම් කර ඇත්තේ
විද්‍යා පීඨයේ ඝාතනයට පත් තංගල්ල වෙලේවත්තේ උපන් වැලිගම බටවල පදිංචි වසන්ත ඇත්ගමය.
චන්ද්‍රවංශ විජේසේකර විද්‍යා පීඨයේ 87 ප්‍රවිෂ්ඨ කණ්ඩායමේ සාමාජිකයෙකි. ගල්කිරියාගල පොලිසිය මගින් 1989 ජනවාරි 30 පැහැරගෙන යෑමෙන් පසු ඝාතනයට ලක්විය. ලලිත් රණසිංහ විද්‍යා පීඨයේ 88 කණ්ඩායමේ සාමාජිකයෙකි. තංගල්ල මිහිදු මාවතේ පදිංචිකරුවෙකි. තංගල්ලේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයට ලක්විය. ලෙස්ලි දෙවිනුවර රුහුණු සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ 83/84 කණ්ඩායමේ සාමාජිකයෙකි. ජවිපෙ ක්‍රියාකාරිකයෙකුවූ ඔහු රුහුණු සරසවියෙන් ප්‍රථම වරට අතුරුදහන්වූ පුද්ගලයාය. ඒ 1986දීය. ප්‍රින්ස් සමරසුරිය විද්‍යා පීඨයේ 88 කණ්ඩායමේ සාමාජිකයෙකි. තිස්ස පොලිසිය මගින් 1989 ඔක්තෝබර් 7 වැනිදා අත්අඩංගුවට ගැනිමෙන් පසු ඝාතනයට ලක්විය.

ජවිපෙ 2වැනි කැරැල්ල පරාජයෙන් පසු 1991 සිට 1997 දක්වා යළි සරසවියට උපාධිය හැදෑරීමට පැමිණි එයට සම්බන්ධ යැයි චෝදනා ලැබ නිදහස්ව පැමිණි සහ ජීවිතාරක්ෂාව තකා සැඟවී සිට යළි පැමිණි සිසුන්ට රුහුණු උපකුලපති මහාචාර්ය චන්ද්‍රසිරි නිරිඇල්ල, මහාචාර්ය අලවත්තාගොඩ ප්‍රේමදාස, මහාචාර්ය සුමනසිරි වාව්වගේ ඇතුළු විද්වතුන් සුවිශේෂි මානව දයාවෙන් කටයුතු කරන ලදී. රුහුණු සරසවියේ මහා ශිෂ්‍ය සභාව මගින් පිහිටවූ විරු සිසු පදනම මගින් 80 දශකයේ ඝාතනයට ලක්වූ සිසුන් වෙනුවෙන් විරු සිසු ස්මාරකයක් 1992දී පිහිටුවා විරු සිසු උළෙලක්ද පවත්වන ලදී. මුර්ති ශිල්පි සරත් වීරසිංහ විසින් සකස් කරන ලද එය පසුව 1993දී සමවාදී සිසුන් පිරිසක් විසින් කඩාදමා තිබිණි. 

ජවිපෙ 2වැනි කැරැල්ලේදී බලය ලබාගැනීමට යෙදූ උපක්‍රම සහ එල්බගත් උපායන්ගේ ප්‍රශස්තභාවය පිළිබඳව විවිධාකාර මතභේද තිබුණද මෙම ඝාතනයට ලක්වූ සිසුන් සියළුදෙනාම වාගේ පටු පෞද්ගලීකත්වය තුළ සිරවූ මිනිසුන් නොවේ. ඔවුන්ගේ කෙටිදිවිය තුළ තබගොස් ඇති මතකය යනු යෝධ ධෛර්යකින් සහ විනයකින් පිරි ජීවගුණයකි. ඔවුහු වෛද්‍යවරයෙකු, ගණකාධිකාරිවරයෙකු, ඉංජිනේරුවරයෙකු හෝ උපාධිධරයෙකු වීමෙන් ලැබෙන සුඛ විහරණ වෙනුවට ජනයාගේ අභිලාෂයන් දිනවීමේ සටනට පිවිසුන අයවේ. ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ වැඩ කටයුතු අතර දෝලනය වෙමින් නිවැරදිව බොහෝ දුෂ්කර කර්තව්‍යයන්ට උරදුන් අභියෝග ජයගත් සරසවි සිසුන්ය. දිදුලන හදවතින් පරමාදර්ශී සටහන් බොහෝමයක් ඔවුහු ඉතිහාසයට එක්කර තිබේ.
(ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: ejournalists@gmail.com) The writer ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 7937153022478644051

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item