ගාල්ල ගිනිගත් හැටි...!
ඉහළ වමේ සිට, දකුණු පළාතේ ආඥාපති වශයෙන් කටයුතු කල කර්නල් ලක්ෂ්මන් අල්ගම, ජවිපෙ 2වැනි කැරැල්ලේ හම්බන්තොට, මාතර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික් ඇ...
http://www.sathhanda.com/2016/09/dharman-wickramarathne_26.html
ශ්‍රී ලංකාවේ පරිපාලන බෙදීම් අනුව උතුරින් කළුතර දිස්ත්‍රික්කයෙන්ද ඊසාන සහ නැගෙනහිර දිසාවෙන් රත්තපුර දිස්ත්‍රික්කයෙන්ද සීමාවී ඇති ගාලු දිස්ත්‍රික්කය නිරිතදිග තෙත් කලාපයට අයත් ප්‍රදේශයකි. අක්මීමන, අම්බලන්ගොඩ, බද්දේගම, බලපිටිය, බෙන්තර ඇල්පිටිය, ගාල්ල, හබරාදූව, හිනිදුම, කරන්දෙණිය සහ රත්ගම යන මැතිවරණ කොට්ඨාශවලින් සමන්විත ගාල්ල දිස්ත්‍රික්කයේ වර්ග ප්‍රමාණය කිලෝමීටර් 1,652කි. දකුණු පලාතට අයත් ගාල්ල දිස්ත්‍රික්කයේ අගනගරය වූයේ ගාල්ලය.
ක්‍රි.ව 3 සහ 4 සියවස් වනවිට ගාලු දිස්ත්‍රික්කය පෙර අපර දෙදිග වෙළදාමේ භාවිතාවූ ප්‍රදේශයක් ලෙස පිළිගැනීමට චීන සහ අරාබි වෙළදුන්ගේ වාර්තා වලින් පැහැදිලිය. එයට ප්‍රධාන හේතුවක් වූයේ කඩතොලු සහිත සමුද්‍ර තීරයකින් ගාලු දිස්ත්‍රික්කයේ බටහිර මුහුණත සම්පූර්ණයෙන් ආවරණය වීමය. අරාබි දේශාටන සටහන්වල එය කලාහ් ලෙසින්ද චීන වාර්තාවල ලෝ ලේ ලෙසින්ද හදුන්වා ඇත. ක්‍රි.ව 545දී කොස්මස් විසින්ද ක්‍රි.ව 1000දී මුස්ලිම් ජාතික ඇල් මසූදි විසින්ද ක්‍රි.ව 1340දී ඉබන් බතූතාද ක්‍රි.ව 1410දී චීන ජාතික ඩෙන්හෝද ක්‍රි.ව 1505දී ලොරෙන්සෝද ක්‍රි.ව 1592දී ප්‍රථම ඉංග්‍රීසි නෞකාවද ක්‍රි.ව 1640 ලන්දේසි ජාතික කොස්ටර්ද ඉදිරිපත්කල මූලාශ්‍රවල ගාල්ල පිළිබඳව සඳහන්ව ඇත. මහාවංශය, බෝධිවංශය සහ පූජාවලිය ආදී කෘතීන්ද ජනප්‍රවාද සහ ජනශ්‍රැති මගින්ද ගාල්ල දිස්ත්‍රික්කයේ දේශීය ඓතිහාසික මූලාශ්‍ර පිළිබඳව තොරතුරු හෙළිකර තිබේ. ගාලු ප්‍රදේශය ක්‍රි.ව 14 සියවසින් පසු පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යන විදේශීය ආක්‍රමණයන්ට ලක්විය.
ජවිපෙ 2වැනි කැරළි සමය වූ 1986 සිට 1990 දක්වා රටේ දිස්ත්‍රික්ක 25 ජවිපෙ ක්‍රියාකාරී වූයේ දිස්ත්‍රික්ක 19ක පමණි. උතුරේ දිස්ත්‍රික්ක 5ද නැගෙනහිර මඩකලපුව දිස්ත්‍රික්කයේද ජවිපෙ කැරළිකරුවන් ක්‍රියාත්මක නොවීය. ජවිපෙ වැඩකල දිස්ත්‍රික්ක 19 වඩාම ක්‍රියාකාරි දිස්ත්‍රික්ක වූයේ දිස්ත්‍රික්ක 9කි. ඉන් එකක් වූයේ ගාල්ල දිස්ත්‍රික්කයය. රටපුර දිස්ත්‍රික්ක 19 ජවිපෙ පාලනය කළේ කලාප 5ක් වශයෙනි. ඒ අනුව එක් කලාපයක් වූ දකුණු කලාපයට හම්බන්තොට, මාතර, ගාල්ල සහ කළුතර අයත්ය. මෙම දකුණු කලාපයේ දේශපාලන සහ සන්නද්ධ නායකයා ලෙස 1988/89 කටයුතු කළේ ජවිපෙ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායකය.
ගාල්ල දිස්ත්‍රිික්කයේ ජවිපෙ දිසා ලේකම්වරු වශයෙන් 1986 සිට 1989 නොවැම්බර් දක්වා කටයුතු කළේ හම්බන්තොට ආරියසේන නොහොත් සුගත්, වලස්මුල්ලේ ධර්මවර්ධන ඒ. මුණසිංහ නොහොත් අජන්ත, එල්.එච්. ගාමිණී ගුණසේකර නොහොත් රිචඩ්, කැකණදුර සිරිවර්ධන නොහොත් විජිත යන අයවේ. රෝහණ විජේවීර 1989 නොවැම්බර් 13 ඝාතනය වීමෙන් පසු ජවිපෙ නව නායක සමන් පියසිරි ප්‍රනාන්දු විසින් ගාල්ල දිසා ලේකම් ලෙස 1989 නොවැම්බර් අවසානයේදී පත්කරන ලද්දේ ගොඩකවෙල චන්ද්‍ර රාජ් නිශ්ශංක නොහොත් සී.ආර්. නිශ්ශංකය. විජේවීරගේ ඝාතනයෙන් පසු පසුකාලීනව රටපුරා ජවිපෙ දිස්ත්‍රික් ලේකම්වරුන් මියයෑම්, අත්අඩංගුවට පත්වීම් සහ පළායෑම් නිසා එම තනතුරුවලට කෙටිකාලීන බොහෝ දෙනෙක් පත්වු බැවින් එම පත්කලා යැයි කියන බහුතරයකටම වාගේ නිල පිළිගැනීමක් නොමැත. ගාල්ල දිස්ත්‍රික්කයේ ඉහත කී ධර්මවර්ධන මුණසිංහ හැර සෙසු සියළු ලේකම්වරුන් එම වකවානුවේදීම ඝාතනයට පත්විය.
ජවිපෙ කැරළිකරුවන් විසින් ගිනි තබා විනාශ කරන ලද ලංගම බස්රථ කිහිපයක් ඉදිරිපිටින් ගමන්කරන ගම්වැසියන් පිරිසක්. |
ගාල්ලේ 1986 සිට 1989 දක්වා සිටි ජවිපෙ දිස්ත්‍රික් ලේකම්වරුන්වූ ආරියසේන නුවරඑළිය ගාමිණී විද්‍යාලයේ භෞතික විද්‍යා ගුරුවරයකි. අසූවේ ජුලි වර්ජකයෙකු වශයෙන් රැකියාව අහිමිවීමෙන් පසු ජවිපෙ පූර්ණකාලීනයෙකු වූ ආරියසේන හම්බන්තොට සහ කොළඹ දිසා ලේකම් වශයෙන්ද කටයුතු කළේය. පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ 1978 සභාපතිවරයා වශයෙන් ධර්මවර්ධන මුණසිංහ කටයුතු කරනවිට එහි ලේකම් වූයේ ඩී.එම් ආනන්දය. වලස්මුල්ල වරාපිටිය විදුහල, බද්දේගම රතනසාර පිරිවෙන සහ වරාපිටිය විදුහලෙන් උසස් අධ්‍යාපනය ලැබූ මුණසිංහ 1977දී පේරාදෙණිය සරසවියට ඇතුළත්ව 1981 උපාධිධාරියෙකු වශයෙන් සමත්ව කලක් ගාල්ල බහු තාක්ෂණිය ආයතනයේ කථිකාචාර්යවරයෙකු විය. ගම්පහ දිසා ලේකම් වශයෙන්ද කටයුතු කර ඇත. ගම්පහ මුදුන්ගොඩ මැදවත්තේ උපන් ගාමිණී ගුණසේකර කැලණි සරසවියේ 1980 ජනසංනිවේදන ගෞරව උපාධිධාරියෙකි. අසූවේ ජුලි වර්ජකයෙකුවූ ඔහු පසුව ජවිපෙ නිල නොවන වෘත්තීය සමිතියවූ සමස්ථ ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් විය. කැකණදුර සිරිවර්ධන කලක් මාතර දිසා ලේකම් වශයෙන්ද කටයුතු කරන ලදී.
ජවිපෙ විසින් ගාල්ල දිස්ත්‍රික්කය දේශපාලන කළාප 4කට වෙන්කර තිබිණි. ඒ අනුව ගාල්ල කලාපයට ගාල්ල, පෝද්දල සහ අක්මීමන යන කොට්ඨාශද, හබරාදූව අහංගම කලාපයට හබරාදූව, අහංගම, ඉමදූව, උඩුගම යන කොට්ඨාශද, හික්කඩුව අම්බලන්ගොඩ කලාපයට රත්ගම, හික්කඩුව, අම්බලන්ගොඩ, බද්දේගම යන කොට්ඨාශද, බෙන්තර ඇල්පිටිය කලාපයට බෙන්තර, බලපිටිය, ඌරුගස්මංහන්දිය, කරන්දෙණිය, ඇල්පිටිය, පිටිගල යන කොට්ඨාශද අයත් විය. කැරැල්ලේ උච්චතම අවස්ථාවක්වූ 1989දී පිළිවෙළින් එම ගාල්ලේ ජවිපෙ දේශපාලන කලාපවල ලේකම්වරුන් වූයේ හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ කලක් සේවය කල දෙවුන්දර අතුල නොහොත් ප්‍රේමරත්න,සිල්වා නොහොත් ගුණසිරි, පල්ලේවෙල සහ ජයන්තය. එම කලාප 4ට අයත්වූ ජවිපෙ කොට්ඨාශ 17ටද වෙනමම කොට්ඨාශ ලේකම්වරුන් 17දෙනෙක් විය. ගාල්ල දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම් වූයේ මහේෂ් කළුආරච්චිය. ඔහු යටතේ කලාප හතරේ නායකත්වය බෙන්තර ඇල්පිටියේදී විජේසිංහටද, හික්කඩුව අම්බලන්ගොඩදී සපරමාදුටද, ගාල්ලේදී සුදර්ශනටද හබරාදූව අහංගමදී විතානටද හිමිවිය. ගාල්ල කලාපයේ සන්නද්ධ නායකයා වූ සුදර්ශන පොද්දල පොලිසියෙන් අවි ලබාගැනීමට එල්ලකල ප්‍රහාරයෙන් මිය ගියේය.
ජවිපෙ ගාල්ල දිසා කමිටුවේ රැස්වීම් පැවතියේ දිසා ලේකම්ගේ ප්‍රධානත්වයෙනි. එයට ගාලු දිසාවේ කළාප 4 දේශපාලන ලේකම්වරුන්ද ගාල්ලේ සන්නද්ධ ලේකම්ද, ශිෂ්‍ය අංශයේ නායකයා සහ කාන්තා අංශයේ සංවිධායකවරියද සහභාගි වේ. වසර 1989 වන විට ගාලු දිසාවේ කාන්තා අංශයේ නායිකාවක්වූ සුජාතා සහ ශිෂ්‍ය අංශයේ නායකයෙකුවූ නිහාල් ජයවීර මෙම රැස්වීම් වලට සහභාගි විය. දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරයා එහි තීරණ ගාල්ලේ ජවිපෙ කලාප 4 සන්නද්ධ කලාප ලේකම්වරුන් 4 දෙනාට දැනුම්දෙන අතර ඔවුන් විසින් සිය කලාපයට අයත් කොට්ඨාශ සන්නද්ධ ලේකම්වරුන් සමඟ නිරතුරුව සැලසුම් සකස් කරනු ලබයි. දකුණු පළාතේ දේශපාලන සහ සන්නද්ධ නායකයාවූ ජවිපෙ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක දකුණු කලාපයට අදාළ දිස්ත්‍රික්ක 4 වන හම්බන්තොට, මාතර, ගාල්ල සහ කළුතර දිසා ලේකම්වරුන් 4 සහ සන්නද්ධ දිසා ලේකම්වරුන් 4 දෙනා සමඟ හොරණ ගෝනපොල ගමනායකට අයත් නිවසකදී රැස්වී මාසිකව දිස්ත්‍රික් සැලසුම් සකස් කරනු ලබයි. කැරැල්ල අවසාන කාලයේ එසේ සතිපතාද රැස්වී තිබිණි. ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නායක සමන් පියසිරි ප්‍රනාන්දු සෑම දිස්ත්‍රික්කයකදීම විශේෂ අවස්ථාවලදී හමුවන්නේ අදාළ දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම් සහ කලාප සන්නද්ධ ලේකම්වරුන් පමණි. ගාල්ල දිස්ත්‍රික්කයේ එය පැවැත්වූයේ ඉමදූව නිවසකදීය.
අගමැති ප්‍රේමදාස 1988 දෙසැම්බර් 19 පැවති ජනපතිවරණයෙන් ජයගත් පසු ත්‍රස්තවාදී මර්ධන පනත සහ හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන මාස 3කට අධික කාලයක් රඳවාගෙන සිටි මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයේ පිහිටි හමුදා කඳවුරේ සිටි 99 දෙනෙක්ද, බූස්ස කඳවුරේ සිටි 114 දෙනෙක්ද ජවිපෙ ඉල්ලීමක් අනුව 1989 ජනවාරි 12 වැනිදා නිදහස් කරන ලදී. මින් බොහෝ දෙනෙකු යළිත් ජවිපෙට පූර්ණකාලීනව එක්වූ අතර ඉන් බහුතරයක් යොමුවූයේ ජවිපෙ දකුණු කලාපයටය.
හමුදාපති නලීන් සෙනෙවිරත්නගේ අණින් 1988 මුල්භාගය වන විට දකුණේ පළවන ගැමුණු, 4වන ගැමුණු, පළමුවන පාබල සහ තුන්වන පාබල යන සේනාංග ස්ථානගතවී සිටියේය. රජය මගින් දකුණු පලාත සඳහා හමුදා සම්බන්ධීකරණ නිලධාරින් තිදෙනෙක් පත්කරන ලදී. ඒ අනුව ගාල්ලට කර්නල් මහින්ද ෆැක්ට්‍රික් ප්‍රනාන්දු ගාල්ලටද, මාතරට කර්නල් කේ. පී. වී පතිරණද, හම්බන්තොටට කර්නල් පීරිස්ද පත්කරන ලදී. දකුණු පළාතේ ආඥාපති වශයෙන් කර්නල් ලක්ෂ්මන් අල්ගම පත්කරන ලදී ,හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජනරාල් සිසිල් වෛද්‍යරත්න 1989 අප්‍රේල් 19වැනිදා අදාළ දිස්ත්‍රික්කවලට ගොස් හමුදා දිස්ත්‍රික් සම්බන්ධීකරන නිලධාරින් සමඟ කඩිනම් ප්‍රහාරක සැලසුම් සකස් කරන ලදී. හමුදාව මගින් ඒකාබද්ධ මෙහෙයෙුම් ඒකකය(ඔෆ් කම්බයින්) 1989 අගෝස්තු 4 පිහිටුවීමත් සමඟම ජවිපෙ කැරළිකරුවන් මැඩලීම වඩාත් විධිමත් විය. ඕනෑම රජයේ හෝ ව්‍යාපාරික ආයතනයක් විවෘත කර පවත්වාගෙන යෑමට හදිසි නීතිය යටතේ පත්කෙරුණු මෙම සම්බන්ධිකරණ නිලධාරිනට හැකි බව මහජන ආරක්ෂක පනත යටතේ ගැසට් කළ රෙගුලාසි වල දැක්විණි. එම රෙගුලාසි යටතේ තවදුරටත් සඳහන් වූයේ වාණිජ, කර්මාන්ත සහ කෘෂිකාර්මික අංශයන්හි ඕනෑම ආයතනයක් ව්‍යාපාරික ආයතනයක් බවය.
නිල ඇදුම් රහිත සිවිල් ඇදුමින් සැරසුන ස්වයංක්‍රීය අවි ගත් මෙවැනි තරුණයින් ආරක්ෂකඅංශ සමඟ රටපුරාම එක්වූ අතර මේ 1989 ගාල්ලේදී 28ශ්‍රී 9520 ට්‍රක් රථයෙන් ගමන්කරන එවැනි දසුනකි. |
දකුණේ හමුදා ආඥාපතිවූ 1963 මැයි 10 හමුදාවට බැදුණු කර්නල් ලක්ෂ්මන් අල්ගම ඔප්ස් කම්බයින් ඒකකයේ දෙවැනියා විය. ලක්ෂ්මන් අල්ගමගේ එක්කුස උපන් සොහොයුරාවූ සීමාසහිත ස්ටාර් බ්‍රෑන්ඩ් මෙඩිකෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ 42 හැවිරිදි සරත්චන්ද්‍ර අල්ගමද ජවිපෙ විසින් 1989 අප්‍රේල් 11වැනිදා නුගේගොඩ පාගොඩ පාරේද මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩිතබා ඝාතනය කරන ලදී.
ගාල්ල දිස්ත්‍රික්කයේ හිල්ටොප් මන්දිරය, ගාල්ල වලව්වත්ත, අහංගම කොටිගල, තල්ගස්විල, තල්ගහවත්ත නාකියාදෙණිය යන ප්‍රදේශවල හමුදා ඛණ්ඩ ස්ථාපිත කර තිබිණි. ගාල්ල හමුදා සම්බන්ධීකාරක නිලධාරි ෆැට්ට්‍රික් ප්‍රනාන්දු මෙන්ම දකුණු ආඥාපතිද ගැමුණු හේවා බලකායට අයත් විය. ප්‍රථමයෙන් ඔහු 1988 අවසානය වනවිට ගාල්ල දිස්ත්‍රික්කය තුළ ජවිපෙ කැරළිකරුවන්ට එරෙහිව අනුකම්පා විරහිත මෙහෙයුමක් දියත් කල අතර 1988 දෙසැම්බර් වන විට ගාල්ලේ ජවිපෙ ක්‍රියාකාරිත්වය මුළුමනින්ම වාගේ අඩපණ කිරීමට සමත් විය. ගාලු දිස්ත්‍රික් කලාප ලේකම්වරයෙකුවූ වැල්ලවායේ බන්දුසේන නොහොත් තිලකරත්න, ගාල්ල දඩල්ලේ බස් කොන්දොස්තරවරයෙකුවූ ගුණපාල සහ ඔහුගේ පුත්‍රයා වන අනුර නොහොත් වසන්ත ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්විමෙන් පසු ඔත්තුකරුවන් බවට පත්වූ බවට චෝදනා එල්ලවූ අතර ඔවුන් හරහා 1988 අවසාන භාගයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ සාමාජිකයන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. වසන්ත අත්අඩංගුවට ගත්තේ හබරාදූව අගුරුගහ උප තැපැල් කාර්යාලය අසළ වැඩිහිටි දීමනා පැහැර ගැනීමට කල සැලසුමකදීය.
ජවිපෙ 2වැනි කැරැල්ලේ දකුණු කලාපයේ දේශපාලන සහ යුධ නායක වශයෙන් කටයුතු කල ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක මුළුමනින්ම වාගේ බිඳ වැටුණු ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන සහ සන්නද්ධ ක්‍රියාකාරකම් යළි වහාම ගොඩනැගීම සඳහා 1989 පෙබරවාරි වනවිට මාතර දිස්ත්‍රික්කයේ සන්නද්ධ අංශයේ ඉදිරිපෙල නායකයින් 10 දෙනෙකු මාතර දිසා ලේකම් විජිත සමගින් වහාම ගාල්ල දිස්ත්‍රික්කයට අනුයුක්ත කෙරිණි. ඒ අනුව ගාල්ල දිසා ලේකම් ලෙස විජිත පත්වූ අතර ඔහු සමඟ මාතර දිස්ත්‍රික්කයෙන් ගාල්ලට පැමිණි මුල්පෙලේ නායකයින් අතර මාතර සන්නද්ධ ලේකම්වරයෙකුවූ වික්‍රමසිංහ, සන්නද්ධ ක්‍රියාකාරිකයින් වූ කොටපොල අතුල, මුලටියන විතාන, මොරවක සුදර්ශන, මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන කලාප නායකයින් වූ ප්‍රේමරත්න, අතුල, සිල්වා, ගුණසිරි සහ පල්ලේවෙල ඇතුළු අය වූහ.
ඝාතනයට ලක්වූ ජවිපෙ කැරළිකරුවෙකුගේයැයි කියන සිරුරක් මුහුදු වෙරළඅසළ කළපුවකට ගොඩගසා තිබූ අයුරු. |
කර්නල් ලක්ෂ්මන් අල්ගම විසින් මුළුමනින්ම වාගේ බිඳ දමා තිබූ ගාල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ ගොඩනැගීම ඉතා අසීරු අඩියකට පැමිණ තිබිණි. ජවිපෙ ක්‍රියාකාරිකයින් සහ සාමාජිකයින් සොයා ගැනීමට නොහැකි තැනට පසුබැස තිබිණි. උදව් කරන හිතවතුන් භීතියට පත්ව නිවෙස්වලට ජවිපෙ අය පැමිණෙනවාට පවා මනාපයක් නොතිබිණි. ඔත්තුකරුවන් සහ ගෝනිබිල්ලන් තැන තැන සිටි නිසා වැඩ කිරීමට නොහැකි වාතාවරණයක් ගොඩනැගී තිබිණි. ජවිපෙ දකුණු කලාප නායකයාගේ උපදෙස් පරිදි විශාල ප්‍රහාර කිහිපයක් ක්‍රියාත්මක කල අතර ඒ තුළ ආරක්ෂක අංශ එක් තැනකට ස්ථානගත කිරීමටත්, පක්ෂ ක්‍රියාකාරිකයින්ගේ සහ ජනතා විශ්වාසය නැවත ලබාගැනීමටත් ඔවුහු සමත් විය.
පිටිගල පොලිසියට 1989 අප්‍රේල් 21වැනිදා අළුයම 3 ජවිපෙ මගින් ප්‍රහාරයක් එල්ල කිරීමේන් අනතුරුව අවි ආයුධ පැහැර ගන්නා ලදී. එහිදී පොලිස් නිළධාරියෙකුවු සොයිසාද පිටිගල පොලිසියේ සහායට පැමිණි හතරවන ගැමුණු හේවා බලකායේ හමුදා භටයෙකුවූ එස්.කේ. ජේ ද සිල්වාද කැරළිකරුවන් අතින් මිය ගියේය. පිටිගල පොලිස් ස්ථානයට පහර දුන්නේ 13 දෙනෙකුගේ පිරිසකි. ඉන් 9 දෙනෙක්ම මාතරින් ගාල්ලට අනුයුක්ත කල අය වූහ. එක් අයෙකුගේ කකුලට වෙඩි වැදි එම කකුල වෛද්‍ය උපදෙස් මත ඉවත් කිරීමට සිදුවිය. එමෙන්ම බෙන්තොට පොලිසියට 1989 අගෝස්තු 10 ප්‍රහාරයක් එල්ල කර එහි සියළු ආයුධ ලබාගැනිමට කැරළිකරුවන් සමත් විය. කැරළිකරුවන් 13 දෙනෙකු බෙන්තර ඇල්පිටිය පොලිස් ප්‍රහාරයට සහභාගිවූ අතර ප්‍රහාරය උදෑසන 6.05ට ආරම්භ වී විනාඩි 10 තුළ නිමා විය. කැරළිකරුවන් උදෑසන 5.50 පමණ හමුදා ඇදුමින් සැරසී බෙන්තර පාලම අසළ වාහන පරික්ෂාවකද නිරතවී තිිබිණි. තුවාලවූ කැරළිකරුවෙකු ගාල්ල සමූපකාර රෝහළට ඇතුළ් කෙරිණි. නාගොඩ තල්ගස්වල හමුදා මුරපොලට පහරදුන් කැරළිකරුවන් ගාල්ල ඇල්පිටිය සහ කොටිගල හමුදා ඒකකය ඇතුළු ස්ථාන කිහිපයකටද ප්‍රහාර එල්ල කරන ලදී.
ආරක්ෂක අංශ මගින් හබරාදූව මැද්දෙගෙදර සිංහරාජ අඩවියට මායිම්ව තිබූ ජවිපෙ පුහුණු කඳවුරකට 1989 මාර්තු 6වැනිදා අලුයම 5ට ප්‍රහාරයක් එල්ල කල අතර එහි සිටි 35 දෙනෙකු අතරින් කැරළිකරුවන් 6 දෙනෙකු ඝාතනය කිරීමටද මාතර ඉරේෂා ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද සමත් විය. කොටිගල හමුදා කඳවුරේ සිටි 5 සහ 4 ගැමුණු බලකායන් වල භටයින් එයට එක්ව සිටියහ.
දකුණු පළාතේ දිසාලේකම්වරුන් 4දෙනා සහ සන්නද්ධ ලේකම්වරුන් 4දෙනා කලාප නායක උපතිස්ස ගමනායක සමඟ දෙසතියකට වරක් සාකච්ඡා පැවැත්වූයේ ගමනායකගේ නමට මිලදී ගෙන තිබූ හොරණ ගෝනපොළ මෙම නිවසේදීය. |
ගාල්ල මහ ඇමති කාර්යාලය පරිශ්‍රයේදී කාර් බෝම්බයක් පිපිරවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු 1989 ජුනි 28වැනිදා ඝාතනයට ලක්විය. එම කාල බෝම්බය ඇටවූ මෝටර් රථය අම්බලන්ගොඩදී කලින් දින පැහැරගෙන හික්කඩුවට ගෙනවිත් බෝම්බය සවිකර තිබිණි. මෙය අදියර 3කින් ක්‍රියාත්මකවූ සැලසුමකි. හික්කඩුව නාරිගම ප්‍රදේශයේ පදිංචි රජයේ උසස් නිලධාරියෙකුගේ නිවසට පෙරදින රාත්‍රී 12ට පැමිණ වාහනය පැහැරගත් අතර එවුන් පසුදින පෙරවරු 10.30 දක්වා නිවාස අඩස්සියේ රඳවනු ලැබීය. පැහැරගත් වාහනය හික්කඩුව නගරයේ නිවසක ගරාජයක් තුළදී කිලෝ 110ක ජෙලග්නයිට් පුරවන ලද කාර් බෝම්බයක් සවිකර එය පෙරවරු 10.30ට පුපුරන අන්දමින් සකස්කර දකුණේ මහඇමති අමරසිරි එතනට පැමිණෙන විට බෝම්බ ඇටවූ රථය එහි හැප්පවීමය. මහඇමති අමරසිරි එදින නොපැමිණි හෙයින් බෝම්බ ඇටවූ කාර් රථය රැස්වීම් ශාලාව අසළ තබා පැමිණි අතර එය පිපිරීමෙන් කිහිප දෙනෙකුම ඝාතනයට පත්විය. එම දැවැන්ත ප්‍රහාරයෙන් පසු නගර වැසියන්ගේ අවධානය යළි දිනාගැනීමට කැරළිකරුවෝ සමත් විය.
දකුණු පළාත් මහ ඇමති එම්.එස් අමරසිරිගේ බිරිඳ ඝාතනය කල අතර ඔහුගේ නාගොඩ නිවසටද වෙඩි ප්‍රහාර එල්ල කර තිබිණි. හබරාදූව එජාප මන්ත්‍රී සහ ගාල්ල දිසා ඇමති ජී. වී. එස්. ද සිල්වා 1988 මැයි 1 ගාල්ලේදීද හිටපු එජාප මන්ත්‍රී දයා සේපාලි සේනාධීර 1989 අගෝස්තු 29වැනිදා ඇල්පිටියේදීද, අක්මීමන එජාප සංවිධායක සරත් නානායක්කාර 1988 නොවැම්බර් 27වැනිදා හබරාදූවේදී ඝාතනය කරන ලදී. ඔවුන් ඝාතනය කිරීමෙන් පසු ආරක්ෂක නිලධාරින් සතුව තිබූ අවිධ කැරළිකරුවන් විසින් පැහැගෙන ගොස් තිබිණි. හිටපු මන්ත්‍රීනි දයා සේපාලි ඝාතනය කිරීමට කැරළිකරුවන් පැමිණ තිබුණේ වැලි ලොරියක් තුළ සැගවීගෙනය. ගාල්ල දිස්ත්‍රික්කය තුළ පොලිස් හෝ හමුදා ආරක්ෂාවක් නොමැතිව ගමන්ගත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූයේ අම්බලන්ගොඩ උපන් නීතිඥ බුද්ධික කුරුකුලරත්නය.
ගාල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ දේශපාලන අංශයේ පූර්ණකාලීන සාමාජිකයන් සංඛ්‍යාව 1989 අගෝස්තු වන විට 1500ක් ඉක්මවා තිබූ අතර සන්නද්ධ අංශයේ මුල් පෙළේ පිරිස 20ක් පමණ විය. පොද්දල පොලිසියට පහරදීමට සූදානම්වූ දිනට පෙරදින ආරක්ෂක අංශ මගින් කරන ලද වැටලීමකදී සිදුවූ ප්‍රහාරයෙන් ඉන් තිදෙනෙකු මරණයට පත්විය. එහෙත් සතියකට පසු පෝද්දල පොලිසියටද ප්‍රහාරයක් එල්ලකර ආයුධ පැහැර ගැනිමටද පොලිසිය ගිනිබත් කිරීමටද කැරළිකරුවන් කටයුතු කළහ. එහිදී ජවිපෙ මුල්පෙල කැරළිකරුවෙකුවූ මොරවක සුදර්ශන මියගියේය. පොද්දල ප්‍රහාරයෙන් පසු අකුරැස්ස දෙදියගල වනාන්තරයට කැරළිකරුවන් පසු බැස්සේය.
එජාප නොවන එහෙත් ඉන්දු ලංකා ගිවිසුමට සහාය දුන් ලසසප, කොප, මහජන පක්ෂය, නසසප ඇතුළු ගාලු දිස්ත්‍රික්කයේ විපක්ෂයේ දේශපාලන නායකයින් සහ ක්‍රියාකාරිකයින් ගණනාවක්ම ජවිපෙ මගින් ඝාතනයට ලක්කරන ලදී. ඉන් ප්‍රධානම සිද්ධිය වූයේ ගාලු දිසාවේ වාම නායකයෙකු සහ ගුරු සංගම් ජාතික නායකයෙකුවූ හබරාදූව දකුණු හරුමල්ගොඩ බටහිර පදිංචි 1936 නොවැම්බර් 26දා උපන් දකුණු පළාත් සභා මන්ත්‍රී ජෝර්ජ් රත්නායක 1988 සැප්තැම්බර් 14වැනිදා හප්පාදුවේදී පිහියෙන් ඇන ඝාතනය කිරිමය. රජයේ ආයුර්වේද වෛද්‍යවරියක් වූ ජේර්ජ්ගේ බිරිඳ බන්දුමතී වූ අතර දරුවන් වූයේ ඉන්ද්‍ර, චන්ද්‍ර සහ මැණික්ය.
ගාල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙට සම්බන්ධ අය ආරක්ෂක අංශ මගින්ද එජාපය හෝ ආණ්ඩුවට සම්බන්ධ අය ජවිපෙ විසින්ද 1988 නොවැම්බර් සිට 1990 මාර්තු දක්වා ඝාතනය කරන ලද්දේ තරඟයට මෙනි. ඒ අතරින් ගාල්ලේදී අත්අඩංගුවට ගත් අප්පුකුට්ටි දේවගේ ස්වර්ණලතා නොහොත් දීපිකා මුතුහෙට්ටි සහ හිනිදුම චාමිනී මුතුහෙට්ටි නොහොත් වරුණිගේද, නියෝජ්‍ය පොලිස්පති(දකුණු පළාත්) ප්‍රේමදාස උඩුගම්පලගේ මවවූ ඇලිස් චන්ද්‍රාවතී(77) ඇතුළු පවුලේ පස්දෙනෙක් 1988 ජුලි 24වැනිදා ගාල්ල උළුවිටිකේ හිදීද, බලපිටියේ පාතමුලේලේ කුලසේනද සිල්වා ඇතුළු එකම ඥාති පවුලකට අයත් 7ක් 1988 නොවැම්බර් 19වැදිදාද, අම්බලන්ගොඩ පෝරම පනියන පදිංචි මල්ලියාවඩු සෝමතුංග ඇතුළු එකම පවුලේ 8 දෙනෙකුගේ ඝාතනයන්ද ඒ අතර කැපී පෙනිණි. ප්‍රේමදාස උඩුගම්පලගේ කණිටු සොහොයුරන්වූ පද්මසිරි යුධ හමුදාවේ මේජර් වරයෙකු වශයෙන්ද කුලසිරි පොලිස් පරික්ෂකයෙකු වශයෙන්ද එකල සේවය කරමින් සිටියහ.
බෙන්තර සහ ගිංගඟේ මළසිරුරු පාවී යෑම සුළභ දසුනක් විය. වසර 1989 සැප්තැම්බර් 21 දිනයේදී පමණක් බෙන්තර ගඟේ මළසිරුර විශාල සංඛ්‍යාවක් පාවියනු දක්නට ලැබුණු බව ආණ්ඩුවේ ඩේලි නිවුස් පුවත්පත වාර්තා කර තිබිණි. පොලිස් විශේෂ කාර්ය බලකාය(එස්.ටී.එෆ්)හි සේනා විධායක ආර්.කේ.එල්. කරුණාසේන 1988 දෙසැම්බර් 10 නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එස්.ටී.එෆ් බලකාය 1988 ජුලි 7න් පසුව දකුණු පළාතේ කිසිම ආරක්ෂක කටයුත්තකට සහභාගිවි නැති බැවින් දකුණු පළාතේ සිදුවන පැහැරගැනීම්, පුද්ගලයින් අතුරුදහන්වීම් සහ ඝාතනයන් පිළිබඳව එම බලකාය හවුල් නොමැති බවය.
අම්බලන්ගොඩ පොලිසිය මගින් 1989දී අත්අඩංගුවට ගත් කැරළිකරුවන් පරිහරණය කල අවි ආයුධ කිහිපයක් |
වසර 1989 අවසාන භාගය වන විට ගාල්ල දිස්ත්‍රික්කයේද හම්බන්තොට දිස්ත්‍රික්කය මෙන් කැරැල්ලේ නායකයින් සහ ක්‍රියාකාරිකයින්ට එරෙහිව විවිධාකාර චෝදනා විය. ඉන් චෝදනා කිහිපයක් වූයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් විජිතගේ පෙම්වතියවූ උපාධි අපේක්ෂිකාවක්වූ දිස්ත්‍රික්කයේ කාන්තා කලාප නායිකාවක් සමඟ මාතර දිසා ලේකම් ගාමිණි ගුණසේකර නොහොත් අතුරලිය විසින් ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට තැත්කර තිබිමය. ජවිපෙ දකුණු කලාප නායක ගමනායක විසින් ඇය බදුලු දිස්ත්‍රික්කයේ කාන්තා අංශයට මාරුකරන ලද්දේ එයට තාවකාලික පිළියමක් ලෙසිනි. එහෙත් එහි යෑම ප්‍රතික්ෂේප කල ඇය ජවිපෙ දේශපාලනයටද සමුදුන්නාය. බද්දේගම කොට්ඨාශයේ දේශපාලන ලේකම්වරයෙකුවූ අකුරැස්සේ වැලිකැටියේ උපන් පූර්ණකාලීනයෙකු සහ ඇල්පිටිය කොට්ඨාශයේ දේශපාලන ලේකම්වරයෙකුවූ හක්මන පොත්තවෙල උපන් පූර්ණකාලීනයෙකු වූ අයෙක්ද පිටිගල ප්‍රදේශයේ එක්දරු මවක් සමඟ ඇයගේ සැමියාගේ විරෝධතාවයද නොතකා බලහත්කාරයෙන් සබදතාවයක් පැවැත්වූ අතර එය නතර නොකල හෙයින් කැරළිකරුවන්ගේම වෙඩිතැබීමකින් චූදිතයන් දෙදෙනාම මරණයට පත්විය.
ගාල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ ක්‍රියාකාරිකයින් අතර සිටි ගණනක් 1989 මැද භාගයේ සිට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වීමෙන් පසු ඝාතනයට ලක්විය. ඒ අතර ඖෂධවේදියෙක් වූ හිනිදුම ගුණසිරිද, බලපිටියේ නලීන් කුමාර, කුමාර කන්දේ සුජීව, බැද්දේගෙදර තිලක්, හමුදා භටයෙකුවූ ජයලත්, මීගහගොඩ ජයන්ත සහ බෝපගේ හබරාදූව කොක්වත්තේ සුනිල් සහ ටියුඩර් ඇතුළු පිරිසක් විය. පොලිස් අත්අඩංගුවට පත්වීමට පෙර ලුණුමෝදර ඩික්මන් සියදිවි නසාගෙන තිබිණි. ගාල්ල දිස්ත්‍රික්කයේ ආරක්ෂක අංශ කඳවුරු සහ ඇතැම් පොලිස් ස්ථානයන්හිද පෞද්ගලික නිවාස කිහිපයකද රැඳවුම් කඳවුරු ලෙස හදුන්වාදෙමින් පවත්වාගෙන ගිය වධකඳවුරු රැසක් විය. ගාල්ල දිස්ත්‍රික්කය තුළ 1989 සිට 1990 දක්වා ජවිපෙ 2වැනි කැරැල්ලට සම්බන්ධව සිටි පළමු පෙළ සහ දෙවැනි පෙළ බොහෝ දෙනෙකු ඝාතනයට ලක්වූවද දිවි බේරාගැනීමටද පිරිසක් සමත් විය.
ජවිපෙ 1971 සහ 1986/90 කැරළි දෙකෙන්ම ලාංකීය ඉතිහාසයට එක්කල කරුණු සහ අත්දැකීම් බොහෝය. අලුත් ගමනක් තෝරා ගත්තවුන්ගේ ගුණයන් සහ අත්දැකීම් මෙන්ම දුර්වලකම්ද දැකගන්නට ලැබිණි. සංහාර සමයක මෙවැනි සටහන් බොහෝය. මෙහි පළවූයේ ගාලු දිස්ත්‍රික්කයේ එම ඉතිහාසයෙන් පැතිකඩකි.(ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, 434/3 ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: ejournalists@gmail.com)The writer ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384.
--ධර්මන් වික්‍රමරත්න
Related