විග්නේශ්වරන් මහ ඇමතිතුමා අත්අඩංගුවට ගනු

උතුරේ ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් අත්අඩංගුවට අරගෙන ඇප නැතුව රක්ෂිත බන්ධනාගාර ගත කරාවි දැයි තමන් බලාගෙන සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක...

උතුරේ ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් අත්අඩංගුවට අරගෙන ඇප නැතුව රක්ෂිත බන්ධනාගාර ගත කරාවි දැයි තමන් බලාගෙන සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේ අද(26)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

 ගම්මන්පිල මෙහිදී මෙසේද සඳහන් කළේය.

විග්නේශ්වරන් මහ ඇමතිතුමා අත්අඩංගුවට ගනු

සැප්තැම්බර් 24 සෙනසුරාදා යාපනයේ දී එල්ලුංග තමිල් නමින් විරෝධතාවයක් පැවැත්වුණා. මේ විරෝධතාවයෙන් කියන්නේ උතුරේ සිංහලයින් පදිංචි කරන්න එපා. බුදු පිලිම අළුතින් ඉදි කරන්න එපා කියලා. සිංහල ශිෂ්ඨාචාරය ව්‍යාප්ත වී තිබුණේ දකුණේ නොවේ, උතුරු සහ නැගෙනහිර පලාත් වල. කඳුරුගොඩ විහාරයේ තිබුණු අනුරාධපුර යුගයේ බුදු පිලිම කුඩු කලා. කිල්ලවෙඩ්ඩි ඓතිහාසික බෝධිය කපා දැම්මා. දෙමළ බෙදුම්වාදින් විනාශ කළ නටබුන් ස්ථාන අද අඳුර ගන්න බුදු පිලිම ඉදි කිරීම වරදක් ද? ඒ වගේම හමුදාවේ සිටින සාතිශය බහුතරය බෞද්ධයින්. ඒ අයට වන්දනා කිරීම සඳහා හමුදා කඳවුරු අවට බුදු පිලිම ඉදි කිරීම වරදක් ද?

1981 දී කොළඹ නගරයේ සිංහලයින් 51%ක් සිටියා. අද ඉන්නේ 28%යි. යුද්ධය නිසා උතුරු සහ නැගෙනහිර පලාත් වලින් දෙමළ මුස්ලිම් අය ඇවිත් කොළඹ පදිංචි වුණා. අන්තම අන්තවාදි සිංහල සංවිධානය ලෙස හඳුන්වන අය වත් ඒ අයට යන්න කියලා උද්ඝෝෂණය කලේ නෑ“ බස්නාහිර පලාතෙන් දෙමළුනි පිටවව්“ කියලා. දෙමළ බෙදුම්වාදින් කොළඹ නගරයේ බෝම්බ පුපුරුවලා පාසල් දරුවන් කෑලි කෑලි වලට ඉරලා සුදු ඇඳුම ලෙයින් රතු පාට කලා. අනාරක්ෂිත ගම්මාන වලට කඩා වැදිලා කිරි බොන පුංචි දරුවන් කකුල් දෙකෙන් අරන් මොල කෑලි එලියට පනින තුරු ඔළුව ගස් වල ගැහුව්වා. රට රකින්න යුද බිමට ගිය අපේ තරුණයෝ දහස් ගණනින් මිනී පෙට්ටියෙන් ගෙදර එව්වා. එවැනි පසුබිමක ජනතාවට කෙතරම් වේදනාවක් කේන්තියක් ඇති උනත් එම වේදනාව කේන්තිය උද්ඝෝෂණයක් බවට පෙරලලා දෙමළුනි බස්නාහිරින් පිටවව් කියල අපි කවුරුවත් කිව්වේ නෑ. 

1981 දී උතුරු පලාතේ ජනතාවගෙන් 8%ක් සිංහල. ඒ අය උතුරු පලාත අත් හැරියේ යුද්ධය නිසා. ඒ අයට නැවත පදිංචි වෙන්න අයිතිය තිබිය යුතුයි. ඒ වගේම ලංකාවේ ඕනෑම පලාතක දෙමළ අයට ජීවත් වෙන්න තිබෙන අයිතියම සිංහල අයට උතුරු පලාතේ තිබිය යුතුයි. ඒ නැතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)ඌ වගන්තිය යටතේ ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති පලාතක වාසය කරන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකු වන විග්නේශ්වරන් මහතාට මෙතරම් ඉක්මනට ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් අමතක වීම කණගාටුවට කරුණක්.

“නැගිටිව් දෙමළුනි“ සංවිධානය කලේ උතුරේ මහ ඇමති විග්නේශ්වරන් මැතිතුමා. තම නිල ලිපි ශීර්ෂ යොදා ගෙන තමයි ජනතාවට විරෝධතාවයට සහභාගි වෙන්න කියලා ආරාධනා පත්‍ර යැව්වේ. ඒ වගේම පලාත් සභාවේ වාහන සහ නිලධාරීන් වැනි රාජ්‍ය දේපල මේ විරෝධතාවයට භාවිතා කළා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙමළ බෙදුම්වාදි උද්ඝෝෂණයක් රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන්නේ. එෆ්සීඅයිඩී දැන් විග්නේශ්වරන් අත්අඩංගුවට අරගෙන ඇප නැතුව රක්ෂිත බන්ධනාගාර ගත කරාවි දැයි අපි බලා ගෙන ඉන්නවා.

අපට මතකයි තිස්ස අත්තනායක මැතිතුමා සිරිසේන - රනිල් රහස් ගිවිසුමක් හෙලි කරලා ජාතිවාදය ඇවිස්සුවා කියලා පොලීසිය එතුමාව අත්අඩංගුවට ගත්තා. නීතිපති එතුමාට එරෙහිව නඩු දැම්මා. උතුරේ හමුදා කදවුරු ඉවත් කරනවාය, උතුරේ ත්‍රස්තවාදයට නිදහස දෙනාවය කියලා ඇත්තටම මේ මහ පොළවේ අද සිදුවෙන දේවල් තමයි එතුමන් එදා කළින් හෙලිදරව් කලේ. වෙන්න තියෙන දේ කලින් කිව්වා කියලා එතුමන්ව අත්අඩංගුවට ගත්තනම් උතුරට සිංහලයන් එපා බුදු පිළිම එපා කියමින් සෘජුවම ජාතිවාදය අවුස්සන විග්නේෂ්වරම් මහත්තයට එරෙහිව, නීතිය නමන පොලිස්පති තුමන් , නීතිය කොත්තු දමන නීතිපති තුමන් නීතිය ක්‍රියාත්මක කරන දෙස අපි අවධානයෙන් දෑස් දල්වා බලා සිටිනවා. විග්නේශ්වරන් කෙසේ වෙතත් විග්නේශ්වරන් අත්අඩංගුවට ගත යුත්තේ ඇයි කියලා තාර්කිකව හේතු දක්වන මාව නම් ජාතිවාදය ඇවිස්සීම යටතේ අත්අඩංගුවට ගන්න ඉඩ තිබෙනවා.

අන්තවාදයට නන්දිකඩාල් යා හැක

අද ලස්සන නාට්‍යයක් තියෙනවා. දෙමළ බෙදුම්වාදීන්ගේ තිර රචනයකට සම්බන්දන් සුමන්දිරම් විග්නේෂ්වරම් එකම නාට්‍යෙය් තමන්ට පැවැරුණු චරිතය රගපානවා. එදා එස් ජේ වී චෙල්වනායකන් මැතිතුමා උතුරේ අපි වෙනම රටක් හදනවා, වෙනම මුද්දර ගහනවා කියමින් උද්ඝෝෂණ කරමින් තර්ජනය කරමින් තමයි උතුරට ෆෙඩරල් ඉල්ලුවේ. මේ අය දන්නවා වාද විවාද කරලා ලංකාවේ ෆෙඩරල් බලය තියා කිසිම දෙයක් ගන්න බෑ මොකද කිසිම නීතිමය පදනමක් නෑ. ෆෙඩරල් බලය තියා පාලාත් සභාවක්වත් ඉල්ලන්න නෛයිතික පදනමක් නෑ.

1992 දී එක්සත් ජාතින්ගේ සංවිධානය සම්මත කරගත්ත ජාතික ජනවාර්ගික ආගමික සහ භාෂාමය සුලු ජනකොටස් ප්‍රකාශනයේ සියළුම අයිතිවාසිකම් අපි ලබාදීලා ඉවරයි. ඒ නිසා මේ අය තර්ජනය තමයි භාවිතා කරන්නේ මේ අසාධාරණ ඉල්ලීම් අපෙන් ලබා ගන්න. එදා වෙනම රටක් ප්‍රකාශ කරනවා කියලා තර්ජනය කලා. වෙල්ලු පිල්ලේ ප්‍රභාකරන් බෝම්බ පත්තුකරලා ගම්මාන වලට පැනලා මිනිස්සු මරලා තර්ජනය කරා. සිංහල ජනතාව බය කරන්න දැන් ප්‍රභාකරන් නෑ. බිල්ලෙක් නැතුව බය කරන්න බෑ. ඒ නිසා විග්නේෂ්වරම්ට බාරදීලා තියෙන්නේ. විග්නේෂ්වරම් මහ ඇමතිතුමා අන්තවාදි ලෙස උතුරේ රගපානවා දෙමළින් දෙමළ ජනතාව අමතමින්. සම්බන්දන් සුමන්දිරම් දෙන්නා එකතුවෙලා දකුණේ අයට කියනවා බලන්න අපි නම් නෑ අන්තවාදිව හැසිරෙන්නේ විග්නේෂ්වරම් නම් අන්තවාදීව හැසිරෙනවා කියලා.

සම්බන්දන් සුමන්දිරම් දෙන්නා අපිට කියනවා දෙමළ ජනතාව විග්නේෂ්වරම් වටේ එකතු වෙමින් තියෙනවා ඒක නිසා බෙදන බලයක් ඉක්මන්ට බෙදන්න නැත්නම් අපි දුර්වලවේලා විග්නේෂ්ව බලවත් වෙන්න පුලුවන්. මේක රගපැමක් ඒක නිසා විග්නේෂ්වරම් බිල්ලට බයවේලා නම් බලය බෙදන්න එපා ඉට වඩා ලොකු බිල්ලෙක් වුණු වෙල්ලු පිල්ලේ ප්‍රභාකරන්ට නන්දිකාඩල් වල අත්වෙච්ච ඉරනම ඔනෑම අන්තවාදියෙකුට ලබා දෙන්න අපි තවමත් සවිමත්ය කියලා පනිවිඩය සිංහල සමාජයට ලබා දෙනවා.

විග්නේෂ්වරම්ගේ සහය වෙන්නේ ඒකාබද්ධ විපක්ෂයට ද?

ඒ වගේම ආණ්ඩුවේ ඇමතිවරයෙක් ප්‍රකාශ කරා විග්නේෂ්වරම් උද්ඝෝෂණ කිරිමෙන් වාසි වෙන්නේ ඒකාබද්ධ විපක්ෂයටයි ඒක නිසා ඒ අයගේ වුවමනාවටයි මේ උද්ඝෝෂණ පැවැත්වෙන්නේ. ඒකට වාසුදේව මහත්මයාගේ සහ විග්නේවරම් මහත්මයාගේ තියෙන ඥාතිත්වයත් බාවිතා කරන්න පුළුවන් කියලා.

මට කරුණක් කියලා දෙන්න පුළුවන් නමුත් ඒක තේරුම් ගන්න මොළය දේනන බෑ. එතුමා තමන්ට ලැබුණු බුද්ධියේ දිග පලල මාධ්‍ය ඉදිරියේ දිග හැරීමක් කරලා තියෙන්නේ. වාසුදේව මැතිතුමාට විග්නේෂ්වරම් මැතිතුමා සමග ලේ ඥාතිත්වයක් නෑ. දෙදෙනාගේ දරුවන් විවාහයට පත්වෙලා තියෙනවා. චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිධුරයේ සිටියදී සිරිමාවෝ මැතිනිය අගමැතිධුරයේ සිටියදී චන්ද්‍රිකා මැතිනියගේ එකම සහෝදරයා සිරිමාවෝ මැතිනියගේ එකම පුතා වන අනුර බණ්ඩාරනායක මහතා ආණ්ඩුවට විරුද්ධව එජාපය සමග දේශපාලනය කරා.වාසුදේව මැතිතුමාගේ පුතා දරන්නේ මා දරන ජාතිකවාදී දේශපාලන මතයයි. අම්මට බැරිනම් පුතාව පාලනය කරන්න. අක්කට බැරි නම් මල්ලීව පාලනය කරන්න විවාහයකින් ඇතිවුණු බැදියාවක් කොහොම දෙයියනේ වාසුදේව මැතිතුමා පාලනය කරන්නේ. පාලනය කරන්න ඔනෙත් නෑ. 

විග්නේෂ්වරම් මැතිතුමාගේ නාඩගම් වලින් අපිව සවිමත් වෙනවා නම් වහාම මේවා නතර කරා නම් හරිනේ රටේ නීතිය පාවිච්චි කරලා. විග්නේෂ්වරම් මැතිතුමා අත්අඩංගුවට ගත යුතුයි. ජාතිවාදය, ආගම්වාදය වැපිරිම, රාජ්‍ය දේපල අවභාවිතය යන චෝදනා තුන හොදටෝම ඇති අත්අඩංගුවට ගන්න. ඒකාබද්ද විපක්ෂයත් එක්ක එකුත වෙලා නම් කරන්නේ එයි අපි ශක්තිමත් වෙනවා නම් අපි ශක්තිමත් වෙන එක ආණ්ඩුවට පාඩුයිනේ. ඒ නිසා ඔහු අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න.

විග්නේෂ්වරම් මහ ඇමතිතුමා 2015 නොවැම්බර් මාසයේ නන්දුකාඩාල් ගිහිල්ලා මහවිරු සමරුව කරපු වෙලාවේ අත්අඩංගුවට අරගෙන හිරේ දැම්මා නම් හාමුදුරුවරු හිරේ දැම්මා වගේ මේ ප්‍රශ්න මතුවෙන්නේ නෑනේ. දැන් මහින්ද අමරවීර මැතිතුමන්ලා ඒකාබද්ධ විපක්ෂය ශක්ත්මත් කරමින් ඉන්නවා කියලා පෙනවා. එහෙමනම් මේ ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් කරමින් ඉන්නවා කියලත් කෙනෙකුට තර්ක කරන්න් පුලුවන්. මොකද තර්කය විග්නේෂ්වරම් මහ ඇමතිතුමා උතුරේ කරන දේවල් වලින් ශක්තිමත් වන්නේ ඒකාබද්ධ විපක්ෂයයි උතුරේ ඔවුන්ට එසේ හැසිරිමට ඉඩ දීලා නිහඩව නිවටව බලා සිටින්නේ ආණුඩුවයි.

ඇරිස්ටොටියානු තාර්කයේ කියනවා සියළු මිනිසුන් ජලය බොති. ඇරිස්ටොටල් ද මිනිසෙකි. ඒනිසා ඇරිස්ටොටල් ද ජලය බොයි කියලා. ඒ අනුව අදාල ඇමතිතුමාගේ තර්කය අනුව නම් ඒකාබද්ධ විපක්ෂය සවිමත් කරමින් සිටින්නේ ආණ්ඩුවයි. අපි කියනවා එහෙම සවිමත් කරන්න එපා විග්නේෂ්වරම්ට නීතිය ක්‍රියාත්මක කරලා ඔහුව නිහඩ කරන්න. ඔහු අක්‍රිය කරන්න. ඔහු තවදුරටත් ක්‍රියාකාරි වුණොත් දෙමළ බෙදුම්වාදය යලි හැරවිය නොහැකි අන්නදමට සවිමත් විමේ අවදානම් තියෙනවා. 

නමුත් දැන්වත් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකර ආණ්ඩුවනිවට නිහඩව බලා සිටියොත් දෙමළ ඊලමත් බිහිවෙන එකනම් නතර කරන්න කාටවත්ම පුළුවන් වෙන් නෑ.

දකුන ජාතිවාදී ද?

ඒ වගේම ඇතැමෙක් අපෙන් ප්‍රෂ්න කරන්න පුළුවන් මේ ප්‍රශ්නය අරගෙන අපි දකුනේ ජාතිවාදයක් නිර්මාණය කරනවා කියලා. ඒ අයට අපි කියන්න කැමතියි ලංකා ඉතිහාසයේ කවදාද විග්නේෂ්වරම් උතුරේ කරපු පන්නයේ උද්ඝෝෂණයක් ලංකාවේ දකුණේ තිබුණේ. දෙමළ ජනතාවට ලංකාවේ අහවල් ප්‍රදේශයෙන් ඉවත් වෙන්න කියලා. 

යාපනේ විශ්ව විද්‍යාලයේ සිංහල වෙස් නැටුම නැටුවා කියලා සිංහල සිසුන්ට පහර දුන්නා. ලංකාවේ අනෙකුත් සෑම විශ්ව විද්‍යාලයකම දෙමළ දරුවෝ ඉන්නවා විතරක් නෙවෙයි සංස්කෘතික අංග ඉදිරිපත් කරනවා. කවුරුවත් විරෝධය පල කරලා නෑ. ඒ වගේම දෙමළ දරුවෝ නැත්නම් අපේ සිංහල දැරියෝ කොණ්ඩෙට මල් ගහලා තිලකේ තියලා තදපාට සාරි ඇදලා දෙමළ ගීතය පුරුදු වෙලා එකට නැටුම ඉදිරිපත් කරා. සංහිදියාව දකුණේ තියෙනවා මෙහෙට සංහිදියාව උගන්වන්න එන්න එපා. උතුරේ තමයි සංහිදියාව නැත්තේ. මේ රටේ ජනාධිපතිවරයා කියනවා උතුරේ අය සංහිදියාව දන්නනවා පාඩම් කියා දිය යුත්තේ දකුනේ ජනතාවටයි කියලා. ජනාදිපතිතුමා කියන්නේ විග්නේවරම් වගේ අපිටත් හැසිරෙන්න ද? විග්නේස්වරම්ලා දිරිමත් කරන්නේ වත්මන් ආණ්ඩුවයි. විග්නේෂ්වරම්ට නීතිය ක්‍රියාත්මක නොකර අද නැතත් හෙට දිනයේ සිංහල විග්නේෂ්වරම්ලා බිහිවෙවි ඒකට වගකියන්න ඔනේ වත්මන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමන්ය කියලායි අපි කියන්නේ.

දුමින්ද දිසානායකට අම්බලංගොඩින් පිලිතුරු

සංධානය දෙකට කැඩුනොත් ඒකාබද්ධ විපක්ෂයත් ශ්‍රිලනිපයත් දෙකම පැරදිලා මී ලඟ මැතිවරණ එජාපය ජයග්‍රහණය කරාවි කියලා මීට දවස් තුනකට කලින් දුමින්ද දිසානායක ඇමතිතුමා කිව්වා. සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒකාබද්ධ විපක්ෂයත් දෙකම පරාජයට පත්වෙලා එක්සත් ජාතික පක්ෂය අනාගත මැතිවරණ ජය ගන්නවා දැකීම දුමින්ද ඇමතිතුමාගේ සිහිනය වෙන්න්ට පුළුවන්. අද ශ්‍රිලනිප මහ ලේකම් වුණත් එතුමා ජනපතිවරණයේ දී කටයුතු කලේ එජාප අපේක්ෂකයා ජයග්‍රහණය කරවන්නයි. අදත් එජාප ආණ්ඩුවේ ඇමති ධූරයක් දරන්නේ එජාප ආණ්ඩුව ශක්තිමත් කරන්නයි. නමුත් දුමින්දගේ සිහිනය සැබෑ වෙන්නේ නෑ කියලා ඊයේ අම්බලන්ගොඩ ජනතාව කිව්වා.

ඊයේ ප්‍රාදේශික 23කින් සමන්විත අම්බලන්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතියට නව නිලධාරි මණ්ඩලයක් පත් කර ගන්න ඡන්දයක් තිබුණා. ප්‍රතිඵලය වුණේ මොකද්ද? ඒකාබද්ධ විපක්ෂයට 47යි. එජාපයට 25යි. සිරිසේන ශ්‍රිලනිපයට 12යි. එජාපය හා සිරිසේන ශ්‍රිලනිපය එක්ව ගත්තත් ඒත් ආසන 37 යි. අම්බලන්ගොඩ කියන්නේ ශ්‍රිලනිප දැවැන්තයෙකු වන දකුණු මහ ඇමති ශාන් විජේලාල්ගේ ආසනය කියන එක අමතක කරන්න එපා. එතුමා ඡන්දය දුන්නු මහ වීදිය ප්‍රාදේශිකය ප්‍රතිඵලය කියන්නත් ලැජ්ජයි. ඒකාබද්ධ විපක්ෂයට නියෝජිතයින් 7යි.එජාප 2යි. සිරිසේන ශ්‍රිලනිපයට බිංදුවයි.

දුමින්ද දිසානායක ඇමතිතුමනි, ඔබේ සිහිනය සැබෑ වෙන්නේ නෑ. පාර්ලිමේන්තු මැතිවරණයේ දී අපි එජාපයට පැරදුනේ තමුන්නාන්සේලා සමග සංධාන ගත වීමෙන් ජනතාව කලකිරීමට පත් වුණු නිසා. අපි ඊ ළඟට එන මොන මැතිවරණය තරග කළත් එජාපයත් සිරිසේන ශ්‍රිලනිපයත් දෙකම එකට තබා පරාජය කරන්න ඒකාබද්ධ විපක්ෂය දැන් සවිමත් කියන එකයි අම්බලංගොඩ ජනතාව රටටම ලබා දෙන පණිවිඩය වන්නේ.

පාර්ලිමේන්තුවේ ප්‍රශ්න වලට උත්තර නෑ

පාර්ලිමේන්තුවේ දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 51ට විවාද සඳහා ලැබෙන්නේ ජවිපෙ මන්ත්‍රිවරුන් හයදෙනාට වෙන් කරන කාලයට සමාන කාලයක්. ඒ නිසා විවාදයක දී අපේ කතා හරියට ටී ටිවෙන්ටි ක්‍රිකට් තරගක් පිති හරඹය වගේ. අපට රටේ ප්‍රශ්න සාකච්ඡා කරන්න තිබෙන්නේ වාචික ප්‍රශ්න විතරයි. නමුත් ඇමතිවරු වාචික ප්‍රශ්න වලට පිලිතුරු නොදෙන නිසා අද පාර්ලිමේන්තුව පුස්සක් වී තිබෙනවා. 

ජනපතිතුමන් මැතිවරණ කාලෙ එතුමන් සරල ජනපති කෙනෙකු ලෙස විශාල පිරිස් අරං විදේශ ගතවෙන්නේ නෑ කියල රටේ ජනතාවය ප්‍රතිඥා දුන්නා. ඒ වගේම එතුමන් පොරොන්දු උනා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමන්ට උපදේශකයන් වැඩියි , ලේකම් වරුන් වැඩියි , ව්‍යාපෘති අධ්‍යක්ෂක වරුන් වැඩියි ඒ නිසා තමන් ජනපති වූ පසු එවැනි තනතුරු අඩු සංඛ්‍යාවක් තමයි පත්කරන්නේ කියල. එතුමන් ඒ ප්‍රතිඥාවට අනුව කටයුතු කරනවාදැයි දැන ගන්න ජනතාවට පරම අයිතියක් තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාගේ විදේශ සංචාරයන්ට සහභාගි වුණු අයගේ විස්තරත් ජනාධිපතිතුමා පත් කර සිටින උපදේශකයන් ලේකම්වරුන් ආදි නිලධාරින් පිලිබඳත් 2016.02.01 දින ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කලා. දැන් මාස අටක් වුණත් අද වන තුරු පිලිතුරු නෑ. හැමදාම මාසයක් කල් ඉල්ලනවා. 

නීති විරෝධිව අත්පත් කර ගත් රාජ්‍ය වත්කම් යලි ලබා ගැනීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය මෙතෙක් දරා ඇති වියදමත් අත්පත් කර ගෙන තිබෙන වත්කම් වල වටිනාකමත් ඇහුව්වා. ඒක ඇහුව්වේ 2016.04.04. අද වන තුරු පිලිතුරක් නෑ. එදාම ඇහුව්වා 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමට ආණ්ඩුවේ නොවන අයට කරපු ගෙවීම් මොනවා ද කියලා. අද වන තුරු පිලිතුරක් නෑ. මැතිවරණ සමයේ ප්‍රභල විවේචනයක් ඒල්ල වුනා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරු හෙලි කොප්ටර් භාවිතා කරනවා මේක වැරදියි කියල. නමත් අපි දැන් දකිනව හැමදාම උත්සව වලට ඇමතිවරු එන්නේ හෙලි කොප්ටර් වලින්. ඒ නිසා ගුවන් හමුදා හෙලිකොප්ටර් භාවිතා කරන ඇමතිවරුන්ගේ සහ නිලධාරින්ගේ තොරතුරු අප්‍රේල් 22 දා ඇහුව්වා. අද වන තුරු පිලිතුරක් නෑ. ණය අර්බූදයට වග කියන්න ඕනෑ රාජපක්ෂ ආණ්ඩුවයි කියලා ප්‍රචාරක දැන්වීම් දාන්න වියදම් කළ මුදල කීය ද කියලා මැයි 17 ඇහුව්වා. අද වන තුරු පිලිතුරක් නෑ. ‍

මේවාට පිලිතුරු නොදන්නවා නොවේ. ඒවාට පිලිතුරු දුන්නාම ආණ්ඩුව අර්බූදයකට යන නිසා කල් මරනවා. සාමාන්‍යයෙන් ප්‍රශ්නයකට මාස තුනක් ඇතුලත පිලිතුරු ලබා දිය යුතුයි සම්මතයක් තිබෙනවා. නමුත් වත්මන් ඇමතිවරු මහජන ප්‍රශ්න ගැන සංවේදි නෑ. ඒ වගේම ඇමතිවරු නිසි කලට නිසි ලෙසට පිලිතුරු දෙන බවට වග බලා ගැනීම කතානායකතුමාගේ වගකීමක්.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5860652949869752494

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item