ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන් නම් සරසවි ගමන සිහිනයක්‌මයි

අනතුරක සේයාවක්‌ දුටු සැණින් ඉබ්බා සිය හිස තට්‌ටේ සඟවා ගන්නේය. ඒ... උගේ ආරක්‍ෂාව වෙනුවෙනි. කුමන අතකට පෙරළුව ද තව තවත් ආරක්‍ෂා වනවා විනා තට...

අනතුරක සේයාවක්‌ දුටු සැණින් ඉබ්බා සිය හිස තට්‌ටේ සඟවා ගන්නේය. ඒ... උගේ ආරක්‍ෂාව වෙනුවෙනි. කුමන අතකට පෙරළුව ද තව තවත් ආරක්‍ෂා වනවා විනා තට්‌ටේ සඟවා සිටින හිස ඌ කිසි විටෙකත් එළියට දමන්නේ නැත.

එහෙත් අවට සිදුවන සියල්ල කෙරෙහි දැඩි අවධානයකින් පසුවෙයි. සියල්ල සන්සුන් වී අනතුර පහ වූ ඇසිල්ලේ ඌ හිස එළියට දමන්නේය.

මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද එලෙස තට්‌ටේ හිස සඟවාගෙන සිටින ඉබ්බකු සේ යෑයි කීම අතිශයෝක්‌තියක්‌ නොවේ. මෙවර විශ්වවිද්‍යාලවලට තේරී පත්ව සිටින සහ සුදුසුකම් ඇතත් විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්‌ථාව අහිමිව සිටින දරුවන්ගේ දෙමවුපියනට කප්පරක්‌ ප්‍රශ්නය. එහෙත් ඒ කිසිවකට පිළිතුරු ලබා ගැනීම සඳහා ඔවුන්ට ක්‍රමයක්‌ නැත. කොමිෂන් සභාව මගින් ප්‍රසිද්ධියට පත්කර ඇති 0112695301, 0112695302, 0112692357, 0112675854 යන දුරකථන අංකවලට අමතා පිළිතුරක්‌ ලබාගැනීම යනු අතිශය භාරදූර කර්තව්‍යයක්‌ බවට පත්වී තිබේ. බොහෝ විට එම දුරකථන අංක කාර්ය බහුලය. එසේ නැතහොත් දිගින් දිගටම නාද වීම හැර ප්‍රතිචාර දක්‌වන්නෙක්‌ නැත. ඒ අතර අභියාචනා භාරදීම සඳහා කොළඹ වෝඩ් ෙdපදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණෙන පිරිස දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. සුදුසුකම් ඇතත් ප්‍රවේශ අවස්‌ථාව අහිමි වූ නගරයෙන් බැහැර ගම් ප්‍රදේශවල දරුවෝ හසරක්‌ නොදැන වල්මත් වුවන් තරම් අසරණ තත්ත්වයට පත්ව සිටිති. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට තට්‌ටේ හිස සඟවාගෙන සිටින්නටත් ඈත එපිට ගම්වල දරුවන්ට වල්මත් වුවන් සේ සිටින්නටත් සිදුවූයේ ඇයි?

පසුගිය වසරේ (2015) උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි දරුවන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා වන අවම ඉසෙඩ් ලකුණු ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද්දේ පසුගිය මස 20 වැනිදාය. අවම ඉසඩ් ලකුණු නිකුත් කිරීම සඳහා ඉසඩ් ලකුණු ක්‍රමය ආරම්භ වූ දා සිටම පැවැති ක්‍රමවේදය මෙවර වෙනසකට ලක්‌කර තිබිණි. මේ දක්‌වා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අවම ඉසඩ් ලකුණු නිකුත් කරන ලද්දේ ද ඒ ඒ උපාධි පාඨමාලාවන්ට අනුව පොදුෙවිය. එනම් වෛද්‍ය විද්‍යා උපාධි පාඨමාලාවට ඇතුළත්වීම සඳහා නිකුත් කරන ලද අවම ඉසඩ් ලකුණට ඉහළ සියලුම දරුවන් ඒ ඒ විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කර ගැනිණි. එහෙත් මෙවර අවම ඉසෙඩ් ලකුණු නිකුත් කර ඇත්තේ ඒ ඒ විශ්වවිද්‍යාලයන්හි ඒ ඒ උපාධි පාඨමාලාවන්ට වෙන වෙනමය. එනම් කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත්වීම සඳහා අවශ්‍ය අවම ඉසඩ් ලකුණු වෙනමත් ඒ අයුරින් සෙසු වෛද්‍ය පීඨයන් සඳහා ඇතුළත්වීම සඳහා අවශ්‍ය ඉසඩ් ලකුණු වෙන වෙනමත් වශයෙනි. අවම ඉසඩ් ලකුණු නිකුත් කරන තෙක්‌ ප්‍රතිපාදන කොමිෂන් සභාව හැර වෙනත් කිසිවකු මෙම නව ක්‍රමවේදය පිළිබඳ දැන සිටියේ නැතැයි සිතිය හැකිය. කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ප්‍රවේශ අත්පොතේ ද සඳහන් වන්නේ අයදුම් කරන විශ්වවිද්‍යාලය හා පාඨමාලාව සඳහා පමණක්‌ සිසුන් තෝරා ගන්නා බවය. ඒ හැර අදාළ විශ්වවිද්‍යාලවලට වෙන වෙනම අවම ඉසඩ් ලකණු නිකුත් කරන බවත් අත්පොතේ කොතැනක හෝ සඳහන් නොවේ. සාමාන්‍යයෙන් පවතින ක්‍රමවේදය වෙනස්‌ කෙරෙන්නේ නම් ඊට වර්ෂ තුනකටවත් පෙර ඒ බව ප්‍රසිද්ධියට පත්කළ යුතු බවට නියමයක්‌ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අධිකරණයෙන්ම ලබා දී ඇතැයි එහි සේවකයෝ පවසති. පූර්ව දැනුවත් කිරීමක්‌ තබා ප්‍රවේශ අත්පොතේ හෝ සඳහන් නොවන නව ක්‍රමවේදයක්‌ ක්‍රියාවට නැගීමේ අවශ්‍යතාව කාගෙද, කුමන අරමුණක්‌ ඒ තුළ ගැබ්වී ද යන්න සොයා බැලිය යුතුය.

ඒ ඒ විෂය ධාරාවන්ගෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය සංඛ්‍යා ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව සාමාන්‍ය ප්‍රවේශය යටතේ කලා විෂය ධාරාව සඳහා තෝරාගෙන ඇති පිරිස 7674 කි. සෙසු විෂය ධාරාවන්ට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී දීප ව්‍යාප්ත කුසලතාව සලකා බැලෙන ප්‍රතිශතය සියයට 40 කට සීමා වන නමුත් කලා විෂය ධාරාවට එවැනි සීමාවක්‌ නැත. එනම් සියයට සියයම තෝරා ගැනෙන්නේ දීපව්‍යාප්ත කුසලතාව අනුව යෑයි කියනු ලැබේ. විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු කිසිදු විනිවිදභාවයකින් සිදු නොකෙරෙන්නේය යන චෝදනාව ප්‍රතිපාදන කොමිෂන් සභාවට එල්ල වන්නේ අදක ඊයෙක සිට නොවේ. දිගු කලක සිට එල්ල වන එම චෝදනාව චෝදනාවක්‌ ම වූවා මිස කෙරුණු සොයාබැලීමක්‌ හෝ පිළියමක්‌ හෝ නැත. ඒ චෝදනාව අතිශයින් නිවැරදි බව මෙවර අවම ඉසඩ් ලකුණු නිකුත් කිරීමේදී ඔප්පු වී තිබේ.

ප්‍රතිපාදන කොමිෂන් සභාව ම පවසන ආකාරයට කලා විෂය ධාරාව යටතේ සිසුන් ඇතුළත් කෙරෙන්නේ දීපව්‍යාප්ත කුසලතා පදනම මත පමණක්‌ ම නම් කලා විෂය ධාරාව සඳහා තෝරාගෙන සිටින සංඛ්‍යාව 7674ක්‌ නම් එම සිසුන්ගේ ඉසඩ් ලකුණු අනුපිළිවෙළට පෙළගැස්‌වූ විට 7674 වැනිsයාගේ ඉසඩ් ලකුණට වැඩියෙන් ලැබ විශ්වවිද්‍යාල ප්‍රවේශය අයදුම් කළ එම විෂය ධාරාවේ කිසිදු සිසුවකුට ප්‍රවේශ අවස්‌ථාව අහිමි විය නොහැකිය. මෙවර කලා විෂය ධාරාවේ ඉසඩ් ලකුණු අනුව අවම ඉසඩ් ලකුණ වන්නේ 0.3319 කි. ඒ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කලා පීඨයට ඇතුළත් වූ ශිෂ්‍යයකුගේය. ඔහු 7674 වැනියාය. 0.3319 යනු උසස්‌ පෙළ විභාගයේ විෂයයන් තුනටම 'එස්‌' සාමර්ථ්‍යයක්‌ පමණක්‌ ලැබූවකු බව නිසැකය. තෝරාගෙන ඇත්තේ දීපව්‍යාප්ත කුසලතා මත පමණක්‌ නම් මෙම ශිෂ්‍යයාට ඉහළ ප්‍රතිඵල ලැබූ කලා විෂය ධාරාවේ කිසිදු ශිෂ්‍යයකුට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි විය නොහැකිය. කෙතරම් හාස්‍යයක්‌ද? ප්‍රතිපාදන කොමිෂන් සභාව රටට කියන්නේ තමන් කියන දේ පිළිගන්නා ලෙසද? විභාගයේදී 'එස්‌' සාමර්ථ්‍යයන් තුනක්‌ ලබා 0.3319 ඉසඩ් ලකුණට නැගෙනහිර විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ඇතුළත් කරන විට එම විෂය ධාරාවේ එම ප්‍රතිඵලවලට වඩා ඉහළ ප්‍රතිඵල ලැබූ සිසුන් දහස්‌ ගණනකට විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්‌ථාව අහිමි වී ඇති බව ප්‍රතිපාදන කොමිසම නොදන්නේද? කලා විෂය ධාරාවට සිසුන් තෝරාගෙන ඇත්තේ දීපව්‍යාප්ත කුසලතා පදනම මත නොව වෙනත් සුවිශේෂී ක්‍රමයකට බව පැහැදිලිය. වැඩි ප්‍රතිඵල ලබා විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි සිසුන් දහස්‌ ගණනක්‌ සිටින විට 'එස්‌' තුනක්‌ ලැබූ ශිෂ්‍යයකු විශ්වවිද්‍යාලයකට ඇතුළත් කිරීමේ මහඟු අවස්‌ථාව හිමි කර දිය හැක්‌කේ සුවිශේෂී ක්‍රමයකින් හැර අන් කවර නම් ක්‍රමයකටද? ප්‍රතිපාදන කොමිසමේ ප්‍රවේශ අංශය කටයුතු කර ඇත්තේ උතුරු නැගෙනහිර වෙනමත් සෙසු පළාත් වෙනමත් සලකා බලා නොවේද යන සැකය අප හමුවේ පවතියි. ප්‍රකාශයට පත්කර ඇති දීප ව්‍යාප්ත කුසලතාව කොතැනින් හෝ ඛණ්‌ඩනයට ලක්‌වී ඇත. එලෙස ඛණ්‌ඩනය වූ නාමලේඛනයක්‌ සකස්‌ කිරීම සඳහා යොදාගත් පදනම දීප ව්‍යාප්ත කුසලතාව යෑයි ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අර්ථ දැක්‌වීම කෙතරම් භයානකද? 

මෙවර ක්‍රමවේදය අනුව අවම ඉසඩ් ලකුණු නිකුත් කර ඇත්තේ ඒ ඒ විශ්වවිද්‍යාලවලට වෙන වෙනමය. පූර්ව දැනුවත් කිරීමකින් තොරව ක්‍රියාත්මක කළ එම ක්‍රමවේදය නිසා සිසුහු විශාල පිරිසක්‌ ප්‍රවේග අවස්‌ථාව අහිමිව දැඩි අසාධාරණයකට ලක්‌ව සිටිති. මීට පෙර පැවැති ක්‍රමයට අනුව ඒ ඒ පාඨමාලාවන්ට අදාළව වෙන වෙනම ඉසඩ් ලකුණු නිකුත් කෙරිණි. විශ්වවිද්‍යාලවලට වෙන වෙනම වර්ග කිරීමක්‌ වූයේ නැත. එහෙයින් නිකුත් කරන ලද අවම ඉසඩ් ලකුණට ඉහළින් සිටි සිසුන් කුමන හෝ විශ්වවිද්‍යාලයකට ඇතුළත් කෙරිණි. අදාළ පාඨමාලාව ඇති අයදුම්කරු නොඉල්ලූ විශ්වවිද්‍යාලයකට වුවද ඇතුළත් වීමේ අවස්‌ථාව හිමිවිය. එහෙත් මෙවර සිසුන්ට ඇතුළත් වීමට අවස්‌ථාව ලැබෙන්නේ අයදුම් කර ඇති විශ්වවිද්‍යාලවලට පමණි. තමන් ලබා ඇති ඉසඩ් ලකුණු අනුව අනුමාන කර අයදුම් කළ විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට අවස්‌ථාව නොලැබූ සිසුන් සිටියදී එම සිසුන්ට වඩා අඩු ඉසඩ් ලකුණු ලැබූ එහෙත් අයදුම් කළ සිසුන්ට විශ්වවිද්‍යාල වරම් හිමි වී ඇත. මෙම තත්ත්වය බලවත් අසාධාරණයකි. එහි අසම්පූර්ණ වගකීම ප්‍රතිපාදන කොමිෂන් සභාව භාරගත යුතුමය. මන්ද මෙවර අවම ඉසඩ් ලකුණු නිකුත් කෙරෙන්නේ ඒ ඒ විශ්වවිද්‍යාලවලට වෙන වෙනම බවට ප්‍රතිපාදන කොමිෂන් සභාව කොහේවත් සඳහන් කළේ නැත. විශ්වවිද්‍යාලවලට වෙන වෙනම ඉසඩ් ලකුණු නිකුත් කෙරෙන හෙයින් ඇතළත් වීමට අපේක්‍ෂා කරන විශ්වවිද්‍යාල උපරිම වශයෙන් අයදුම්පතේ සඳහන් කළ යුතුය යන පණිවුඩය දෙමවුපියන්ට, සිසුන්ට සන්නිවේදනය කිරීමට ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර නොගැනීමේ ආදීනව විඳීමට සිදුවී ඇත්තේ කප්පරක්‌ දුක්‌ඛ දොaමනස්‌සයන් හමුවේ උසස්‌ පෙළ විභාගය ඉහළින් සමත් වූ දරුවන්ටය. මෙවර විශ්වවිද්‍යාලවලට අයදුම් කරන ආකාරය සම්බන්ධයෙන් කොමිෂන් සභාව මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය ඔස්‌සේ දැනුවත් කිරීම් කළ ද එය සාර්ථක වූයේ නම් මෙවන් බැරෑරුම් තත්ත්වයක්‌ උද්ගත වන්නේ නැත. ඇතැම් දිස්‌ත්‍රික්‌කයන්හි ඉහළ තරාවන්හි (Raබනි) සිටින සිසුන්ට ද විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්‌ථාව අහිමි වී තිබේ. කලා විෂය ධාරාව යටතේ දීපව්‍යාප්ත කුසලතා පදනම මත 7674 දෙනෙක්‌ තෝරා ගෙන ඇතත් දිවයින තරාව හයදහස්‌ ගණන්වල සිටින සිසුන්ට අවස්‌ථාව අහිමි වී තිබේ.

මෙම සිසුන්ට අභියාචනා ඉදිරිපත් කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කරන නමුත් මෙලෙස අභියාචනා ඉදිරිපත් කරන වැඩි ඉසඩ් ලකුණු සහිත සිසුන්ට ප්‍රවේශ අවස්‌ථාව ලබාදිය හැකි වන්නේ දැනට තෝරාගෙන සිටින සිසුන් ඉවත් වුවහොත් පමණි. වෛද්‍ය, ඉංජිනේරු, දන්ත වෛද්‍ය වැනි ඉහළ පාඨමාලා සඳහා තේරී සිටින සිසුන් එම පාඨමාලාවන්ගෙන් ඉවත් වන්නේ නැත. එසේ හෙයින් එම පාඨමාලා වැනි ඉහළ පාඨමාලා සඳහා අභියාචනා ඉදිරිපත් කරන සිසුන්ට කළ හැකි සාධාරණය කුමක්‌දැයි විමසිය යුත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන්ම පමණි. අභියාචනාවලින් සියයට අනූවක්‌ පමණ ප්‍රතිඵලයකින් තොරවම විසිකිරීමට සිදුවනු ඇතැයි එහි ආරංචි මාර්ග අනාවරණය කරයි. අභියාචනා ඉදිරිපත් කිරීමට සිදුවී ඇත්තේ සිසුන්ගේ වරදකින් නොව ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පූර්ව දැනුවත් කිරීමේ අඩුපාඩුව නිසාය. එම තත්ත්වය යටතේ වුව අභියාචනා සඳහා රුපියල් 500 ක ගාස්‌තුවක්‌ ගෙවිය යුතුය. වගකිවයුතු ආයතනයකින් සිදු වූ නිවැරදි කළ නොහැකි වරදක්‌ වෙනුවෙන් සිසුහු මුදලින් ද වන්දි ගෙවති.

අනෙක්‌ අතට ප්‍රවේශ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ හා විශ්වවිද්‍යාල ලියාපදිංචි වීමේ දබකසබැ ක්‍රමය ද පිටිසර පළාත් දෙමවුපියන් සිසුන් බරපතළ අපහසුතාවකට ලක්‌කරන්නකි. ලියාපදිංචි වීමේදී දබකසබැ ක්‍රමය අනිවාර්ය කර ඇති හෙයින් එමගින් ද විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්‌ථාව අහිමි විය හැකි තත්ත්වයක්‌ පිටිසර ප්‍රදේශවලින් වාර්තා නොවුවහොත් පුදුමය. එමෙන්ම සෑම පාඨමාලාවක්‌ සඳහා ප්‍රතිපාදන කොමිෂන් සභාව කේතයක්‌ (මබසජදරා) හඳුන්වා දුන් නමුත් ලියාපදිංචි වීම සඳහා පාඨමාලා දක්‌වා ඇත්තේ කේතයන්ගෙන් තොරවය. එයද ලියාපදිංචි වන්නන් අපහසුතාවට පත්කිරීමකි.

දහතුන් වසරක්‌ අධ්‍යාපන කඩඉම් පසුකර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබීම යනු අලියෙක්‌ ඉඳිකටු සිදුරකින් රිංගා යැම හා සමාන පරිශ්‍රමයක්‌ දැරිය යුතු තත්ත්වයකි. පවතින තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කර ලියාපදිංචි වීම ඊටත් එහා යන අතිශය අපහසු කර්තව්‍යයක්‌ බවට පරිවර්තනය වෙමින් පවතී. මෙවර සිසුන්ට සිදුවී ඇති අසාධාරණය මෙන්ම ප්‍රවේශ අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලය ද මේ වන විට මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

මෙම සියලුම අවුල් සහගත තත්ත්වයන්ට හේතුව විශ්වවිද්‍යාල ප්‍රවේශ කටයුතු එක්‌ චරිතයක්‌ මත දොaලනය වීමය. ප්‍රවේශ කටයුතුවල ඒකාධිකාරීභාවය වෙනුවට ඒ සඳහා කිහිපදෙනකුගෙන් යුත් කමිටුවක අවශ්‍යතාව අප විසින් පෙන්වා දෙනු ලැබුවේ පසුගිය ආණ්‌ඩුව සමයේදීය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීමක්‌ අනුව නීති විරෝධී අයුරින් රුහුණ විශ්වවිද්‍යාලයට සිසුවියක ඇතුළත් කිරීමේ නිර්ලඡ්ජිත සිද්ධියෙන් පසුවය. ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අදත් පිනුම් ගසමින් අසරණ දරුවන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ සිහිනය සුන්නත්දූලි කරන්නේ එම සිද්ධියේ ප්‍රබල මෙහෙකරුවන් වීම කෙතරම් අභාග්‍යයක්‌ද? කිසිදු විනිවිදභාවයකින් තොරව සිදුකරන විශ්වවිද්‍යාල ප්‍රවේශ ක්‍රියාවලියට සුජාතභාවයක්‌ දීම සඳහා වත්මන් ආණ්‌ඩුව හෝ පියවර ගත යුතු ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 373993044926128158

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item