ජවිපෙ ප්‍රථම ප්‍රහාරය පල්ලෙකැලේදී සිදුවූ හැටි

ජවිපෙ සාමාජිකයන් යැයි කියන සරසවි සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා දහසකට ආසන්න හමුදා භටයින් සහ පොලිසිය...

ජවිපෙ සාමාජිකයන් යැයි කියන සරසවි සිසුන් අත්අඩංගුවට
ගැනීම සඳහා දහසකට ආසන්න හමුදා භටයින් සහ පොලිසිය
 1989 ජුලි 12වැනිදා රාත්‍රී  පේරාදෙණිය සරසවිය වැටලූ
අතර මේ පසුදින  අලුයම දර්ශනයකි.
-ධර්මන් වික්‍රමරත්න         
ජවිපෙ 1983 ජුලි තහනමින් පසු එහි සන්නද්ධ අංශය 1985 මැදභාගයේදී ආරම්භකල අතර ඒ සඳහා බඳවා ගත් අයට අවි පුහුණුව ලබාදීම සඳහා දෙසතියක සන්නද්ධ පුහුණුවක් ලබාදීම සඳහා කඳවුරු 10ක් පමණ රටපුරා පවත්වන ලදී. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර 1987 මැයි මස වන විට ජවිපෙ සන්නද්ධ අංශයට බඳවාගෙන සිටියේ 125ක පමණ කැරළිකරුවන් පිරිසකි. එක් සාමාජිකයෙකු තව සාමාජිකයෙකුගේ පවුලේ තොරතුරු, ජිවත්වූ ස්ථානයන්, සේවා ස්ථානයන් සහ සැබෑ නමද නොඅසා සිටීම ජවිපෙ සන්නද්ධ අංශයේ ව්‍යූහය සකස්විය. එම කලාව ස්පාඤ්ඤයේ බාස් ප්‍රදේශයේ බෙදුම්වාදී ගරිල්ලා ව්‍යාපාරයෙන් ප්‍රචලිත වූ ආකෘතියකි. ඉන්දු ලංකා ගිවිසුම 1987 ජුලි 29 වැනිදා ආරම්භ කිරීමත් සමඟ 1989 නොවැම්බර් වන විට ජවිපෙ සමඟ ගනුදෙනු කල බහුතරයම වාගේ සන්නද්ධ ක්‍රියාමාර්ග වලට සෘජුව හෝ වක්‍රව සහභාගි කරවාගෙන තිබිණි.

සන්නද්ධ අංශයට 1987 මැයි මසට පෙර බැදුණු කැරළිකරුවන් බහුතරයම විප්ලවයට ප්‍රේමකල, පක්ෂයට ආදරයකල ජනතාවගේ විමුක්තිය, ප්‍රගතිය සහ ජයග්‍රහණය උදෙසා ඇපකැපවී සිටි දැඩි විනයකට යටත්වූ ගරිල්ලා භටයින්යැයි කිව හැකි පිරිසක් විය. මර්ධනකාරි එජාප ආණ්ඩුවට එරෙහිව ජාතික විමුක්ති අරගලයක් සඳහා ජනතාව පෙළගැස්සවීම ඔවුන්ගේ ප්‍රමුඛ කාර්යයක් වී තිබිණි. සමාජවාදී විප්ලවය කැරළිකරුවන්ගේ එකම අරමුණවූ අතර ඒ සඳහා උපරිමයෙන් දිවා රෑ වෙහෙසුනේය. එහෙත් 1987 ජුනි මසින් පසු සන්නද්ධ අංශයට බැදුණු බහුතරයක්ම එවැනි පිරිසක් නොවූහ.

අත්අඩංගුවට ගත් සිසුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටි
 පේරාදෙණිය සරසවියේ උපකුලපති මහාචාර්ය අර්ජුන අලුවිහාරේ, 
ප්‍රහාරය පිළිබඳව පරික්ෂණ ආරම්භ කල මධ්‍යම පළාත් නියෝජ්‍ය 
පොලිස්පති පිලපිටිය හේරත්, පරික්ෂණ මෙහෙයවූ අපරාධ පරික්ෂණ 
දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරා, 
පේරාදෙණිය සරසවියේ ප්‍රබල ශිෂ්‍ය නායිකාවන් අතර සිටි වෛද්‍ය පීඨයේ 
නාත්තණ්ඩියේ චම්පා සෝමරත්න, දන්ත පීඨයේ බද්දේගම ප්‍රියදර්ශනී 
මෙන්ඩිස් සහ නුවර රේණුකා සුබසිංහ(ඉහළ වමේ සිට)
ජවිපෙ 2වැනි කැරැල්ලේ ප්‍රථම ප්‍රහාරය වූ 1987 අප්‍රේල් 15වැනිදා පල්ලකැලේ යුධ හමුදා කඳවුරට පහරදුන් කණ්ඩායම 14 දෙනෙකුගෙන් සමන්විත විය. ඉන් බහුතරයම වාගේ පේරාදෙණිය සරසවියේ සිසුන්ය. ඔවුහු අතර පිටස්තරයින් වශයෙන් සිටියේ දේශපාලන මණ්ඩල සභික ශාන්ත බණ්ඩාර, මධ්‍යම කාරක සභික රුවන්වැල්ල කරවනැල්ලේ කේ.වී.එස්. අමරසිරි නොහොත් තිලක්, කලක් පුහුණු හමුදා සෙබලෙකුව සිටි ජවිපෙ සන්නද්ධ නායකයෙකුවූ වේයන්ගොඩ බණ්ඩාරනායක මාවතේ පදිංචි රත්නායක පතිරණගේ මහින්ද ජයවර්ධන, නුවර ජයන්ත කුමාර ලාල් නොහොත් අජිත් සහ අධිකාරි නොහොත් කෝසලය. පේරාදෙණිය සිසුන් වූයේ කෘෂි පීඨයේ ලක්ෂ්මන් කිත්සිරි ද සිල්වා, ඉංජිනේරු පීඨයේ ප්‍රේමකුමාර් ගුණරත්නම්, දන්ත වෛද්‍ය පීඨයේ චන්ද්‍රසිරි රන්නුගේ, පශු වෛද්‍ය පීඨයේ ලක්ෂ්මන් රංජිත් අබේරත්න, වෛද්‍ය පීඨයේ වාරියප්පෙරුම දොන් දේවප්‍රිය සිසිර කුමාර, හලාවත අඹකඳවිල ලක්ෂ්මන් බෙනඩික් සමන්කුමාර කොස්තා, කෑගල්ල බටුවත්තේ සෝමරත්න සහ තෝලංගමුවේ රංජිත් වීරසිංහ යන අය වේ. ප්‍රහාරක කණ්ඩායමට කාන්තාවන් දෙදෙනෙකුද ඇතුළත් වූ අතර ඔවුන් නම් මහනුවර උසස් බාලිකා විදුහලේ හිටපු ශිෂ්‍යාවක්වූ අචලා ගලප්පත්ති සහ ජවිපෙ පූර්ණකාලීනයෙක්වූ වික්‍රමසිංහ හෙවත් සුද්දාගේ බිරිඳවූ එක්දරු මවක් වන සන්ධ්‍යාය. 

හමුදා කඳවුරට පහරදීමේ සැලසුමේ සාකච්ඡාව ආරම්භ වුයේ 1987 අප්‍රේල් 14 පස්වරු 5ටය. නායකයා වූ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ශාන්ත බණ්ඩාර එහි ප්‍රධානත්වය ඉසිලීය. සාකච්ඡාව පැවතියේ පේරාදෙණිය මාර්ස් ශාලාවේ 44 කාමරයේය. එහි නිල නේවාසිකයා වූයේ ජයශ්‍රී ගුණසේකරය. මාර්ස් නේවාසිකාගාරයේ උඩ තට්ටුවේ 44 කාමරය පිහිටි අතර එහි නිත්‍ය නේවාසිකයන් වශයෙන් ජයශ්‍රී සමඟ ‘ගජේ’ ගසාගෙන සිටියේ වෛද්‍ය පීඨයේ මත්තේගොඩ සතරසිංහ, ඇල්පිටියේ සුනිල් කුමාර, දික්වැල්ලේ බන්දු එදිරිසිංහ, ගම්පොල සෙනරත් තෙන්නකෝන් ඇතුළු පිරිසකි. බැල්කනිය රජවත්ත පැත්තට මුහුණලා තිබුණු අතර ඒ අන්තයේ අන්‍යධයන සේවකයින්ගේ නිල නිවාස පිහිටා තිබිණි. කාමරයේ ඉහළින් අඩි තුනක පමණ ජයශ්‍රී විසින්ම පැන්සලෙන් සිතුවමට නඟන ලද චේගුවේරාගේ රූපයක් විය. කොරිඩෝවේ ජයශ්‍රී විසින්ම වටපිටින් ගෙනඑන ලද බිගෝනියාස් ඇතුළු විසිතුරු මල් පෝච්චි විය. අවුරුදු නිවාඩු සමය හෙයින් වෙනදා ‘ගජේ’ ගසන කිසිවෙකු එදින නොසිටියහ. ආපනශාලාවද වසාදමා තිබූ අතර සරසවිය පාළුවට ගොස් තිබිණි. 

පේරාදෙණිය සරසවියේ මාර්ස් ශාලාවේ 44 කාමරයේ ඇදන් 3 සහ මේස දෙකේ වාඩිවී සිටියේ පල්ලකැලේ ප්‍රහාරය සැලසුමේ නායකයා වූ ශාන්ත බණ්ඩාර, 44 කාමරයේ නේවාසිකව සිටින ජයශ්‍රී සමගින් ප්‍රහාරයට එක්ව සිටි 14 දෙනාය. මෙයට සහභාගිවූ පේරාදෙණිය සරසවි සිසුන් බහුතරයම වාගේ සහභාගි වූයේ අවුරුදු නිවාඩු දිනවල ‘ලොකු වැඩක්’ ඇති බැවින් නිවෙස්වලට නොගොස් නවතින ලෙසට ජවිපෙ විසින් කරන ලද ඉල්ලීමක් හේතුවෙනි. වැඩේ කුමක්දැයි ඔවුන් දැනගත්තේ අප්‍රේල් 14වැනිදා සවස 5ට ජයශ්‍රීගේ 44 කාමරයට යෑමෙන් පසුවය. ඔවුන්ට එනවිට සිලි සිලි බෑගයක දැමු අතිරේක කමිසයක් සහ කලිසමක්ද මුදල් පසුම්බිය සහ හැදුනුම්පත රහිතව රුපියක් 100ක මුදලක් රැගෙන එන ලෙසද දන්වා තිබිණි. එම සිසුන් බහුතරයම වාගේ කෑගල්ලෙන් පැමිණ සිිටි අය වූ අතර ඔවුහු පාසැල් වියේදි රංජිතම් ගුණරත්නම් හරහා ජවිපෙට එක්වු පිරිසකි. 

ශාන්ත බණ්ඩාර ප්‍රහාරක කණ්ඩායමේ සාමාජිකයන්ට කියා සිටියේ ඉන්දු ලංකා ගිවිසුම රජය මගින් අත්සන් කිරීමට නියමිත අතර ඒ යටතේ පැමිණෙන ඉන්දිය හමුදාවට සහ ආණ්ඩුවේ නිති විරෝධී ක්‍රියාදාමයන්ට එරෙහිව අවි ආයුධ අවශ්‍ය බැවින් මෙම ප්‍රහාරය සිදුකරන බවය. කවදා හෝ දිනක හිරු පායද්දී වේලාසනින් අවදි වී සිටීම ප්‍රයෝජනවත් වනු ඇතැයි රෝහණ විජේවීර කර ඇති ප්‍රකාශයක්ද ඔහු අවධාරණය කළේය. එහිදී පැවති දීර්ඝ දේශනයේදී ශාන්ත බණ්ඩාර කියා සිටියේ අද රෑ ශ්‍රී ලංකාවේ ස්ථාන ගණනාවකට පහර දෙන බවත් ජාතික විමුක්තිය සඳහා දිග්ගැස්සුන ගරිල්ලා යුද්ධයක් හෙට අළුයම සිට ඇරඹෙන බවත්ය. පල්ලෙකැලේ හමුදා කඳවුරේ විශාල සිතියමක් පෙන්වමින් ඔහු ප්‍රහාරය සඳහා යන ස්ථාන පෙන්වා දුන්නේය. ප්‍රහාරයේ නායක හිටපු හමුදා සෙබළ මහින්ද කඳවුර පිළිබඳව නිසි අවබෝධයකින් පසුවිය. දෙදිනකට පෙර මිතුරෙකු හමුවීමට මහින්ද කඳවුරටද ගොස් තිබිණි. 

1984 ජුනි 19 පොලිස් වෙඩි පහරින් මියගිය පේරාදෙණියේ
 වෛද්‍ය සිසු පත්මසිරි අබේසේකර 1984 මාර්තු මස සනාතන මන්දිරිය
ඉදිරිපිටදී. දකුණේ සිට වෛද්‍ය පීඨයේ 82/83 කණ්ඩායමේ
 පත්මසිරි අබේසේකර, නාවලපිටියේ කේ. විජේරත්නම්, දික්වැල්ලේ බන්දු එදිරිසිංහ,
 රාගල අතුල විජේසිංහෙ සහ  කුරුණෑගල සමන් චන්ද්‍රසිරි වේ.
මෙහිදී ශාන්ත බණ්ඩාර පෙන්වා දුන්නේ පල්ලකැලේ කඳවුරට අළුතින්ම ටී56 ඇතුළු ආයුධ 300ක් පමණ ගෙනවිත් ඇති බවත් ඒවා පැහැරගත් විගස වෙනත් රථ දෙකකින් මාතලේ සහ ගම්පොල ග්‍රාමීය ප්‍රදේශයකට ගෙනගොස් එම අවි රහසිගතව ගබඩා කිරීමට කොන්ක්‍රීට් වලවල් හෙවත් ආමරි තනා ඇති බවත්ය. කාමරයේ මේසය උඩ බිස්කට් පෙට්ටි දෙකක එක පෙට්ටියක බෝම්බ 12ක්ද අනෙක් පෙට්ටියේ බෝම්බ 13ක් බැගින් විය. එම බෝම්බ තනා තිබුණේ අඟල් 2 එස්ලොන් බට අගල් 6 දිග කෑලිවලට කපා දෙපැත්තේ පියන් දෙක ඇලවීමෙනි. මැදට බෝම්බ නිෂ්පාදන ද්‍රව්‍ය දමා ජෙලට්නයිට් පුරවා සීල්කර තිබිණි. වෝල්ට් 9 බැටරියක් ඇතුළත හයිකර තිබූ අතර එයට ජැක් එකක් ගසා අතින් තද කල විට ක්‍රියාත්මක කිරිමට සකස් කර තිබිණි. මෙය ප්‍රාථමික නිෂ්පාදනයක් වුවද එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ශාන්ත පිරිසට පැහැදිලි කළේය. සහභාගිවන කිහිප දෙනෙක් බෝම්බ නිෂ්පාදනය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව එක්දින පුහුණුවකටද මෙයට මාස කිහිපයකට පෙර ජවිපෙ විසින් යොමුකර තිබිණි. එම එක්දින පුහුණු බෝම්බ පාඨමාලා දඹුල්ල සහ නාවලපිටිය කැලෑ ප්‍රදේශයක 1986 මුල්භාගයේ සිට ආරම්භ වී තිබිණි. වරකට 12 බැගින් එහි පුහුණුවීම් පවත්වා තිබිණි. 

සාකච්ඡාව නිමාවූයේ උදෑසන දෙකටය. රාත්‍රී ආහාරයට බිස්කට් කා ජලය පානය කරන ලදී. ජයන්ත නොහොත් අජිත් විසින් මහනුවරින් රාත්‍රී 10.15ට පැහැරගෙන ආ හයිඑස් වෑන් රථයක් ප්‍රහාරය සඳහා යෑමට සූදානම් කර තිබිණි. එහි රියදුරුගේ අත්පා සහ කට බැද එම වාහනයේ බිම දිගාකර තිබිණි. ජයන්ත යනු කැලෑබොක්ක වතුයායේ වැටුප් පැහැරගැනීමේ කණ්ඩායමේද ප්‍රබල ක්‍රියාකාරිකයෙකි. වෑන් රථය මාර්ස් නේවාසිකාගාරය අසළට ගෙන ආවේ සරසවිය හරහා නොව පිටත පාරෙනි. හමුදා නිල ඇදුමට සමාන ඇදුම් වාහනයට පටවාගත් අතර ඒවා මගදි ඇද ගැනීමට තීරණය විය. පොලිස් මාර්ග බාධක පිළිබඳව වෑන් රථයට ඉදිරියෙන් යතුරු පැදියෙන් ගොස් විපරම් කළේ පේරාදෙණිය දෙවැනි වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙකුවූ කෑගල්ල තෝලංගමුවේ රංජිත් වීරසිංහ නොහොත් රුවන්ය. ප්‍රහාරයෙන් පසු රංජිත් යටිබිම්ගතව ජවිපෙට ක්‍රියාකාරිව එක්විය. වෛද්‍ය උපාධිය සම්පූර්ණ නොකළ ඔහු වර්තමානයේ කොට්ටාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි. ප්‍රහාරක කණ්ඩායම ගිය පසු ශාන්ත සහ අමරසිරි මාර්ස් ශාලාවෙන් නික්ම වෙනත් කටයුත්තකට බැහැර විය. 

කඳවුර ආක්‍රමණය කල ජවිපෙ කණ්ඩායමේ නායකයා වූයේ කලක් හමුදා සෙබලෙකු වු මහින්දය. ඔහු එක් කණ්ඩායමක නායකයෙකු විය. අනෙක් කණ්ඩායමේ නායකයා ජයන්තය. ජයන්ත සමඟ කාන්තාවන් දෙදෙනාවූ අචලා සහ සන්ධ්‍යා එක්විය. කඳවුරේ භටයින් එදින රෑ අවුරුදු සාදයක් පවත්වා තිබූ බැවින් අළුයම 3ට පමණ ප්‍රහාරක කණ්ඩායම වෑන් රථයෙන් එනවිට කඳවුරේ සෙබළුන් කිහිපදෙනෙකු ඒ ඉදිරිපිට ගඟේ නාමින් සිටිනු දක්නට ලැබිණි. එබැවින් ඔවුන් කඳවුරට යනතුරු විනාඩි 30ක් පමණ ප්‍රමාද කරන ලදි. 

ප්‍රහාරක කණ්ඩායමට කඳවුරට ඇතුළු වන විට අළුයම 3.30 පමණ විය. ප්‍රථමයෙන් කතුන් දෙදෙනා ඇතුල්වන ආරක්ෂක කුටිය අසළට ගොස් එහි මුරට සිටි සෙබළුන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදිණි. වහා පැමිණි ජයන්ත සහ තව අයෙකු මුරට සිටි දෙදෙනා යටත් කරගෙන ඔවුන්ගේ අත්පා සහ කට බැඳ ඔවුන් සතු ගිනි අවි 2 පැහැර ගන්නා ලදී. ජයන්ත සහ මහින්ද සතුව ඩබර් බැරල් අවි 2ක් ප්‍රහාරයට ගෙනආ අතර සියල්ලන් අතර පිහි සහ ලනු කැරළි විය. අතවශ්‍ය මොහොතකදී හැර කිසිදු හමුදා භටයෙකු ඝාතනය නොකරන බවට උපදෙස් දී තිබිණි. මහින්දගේ නායකත්වයෙන් අනෙක් කණ්ඩායම පල්ලෙකැලේ හමුදා කඳවුරේ වෙනත් දිසාවකින් කමිබි පහත්කර ඇතුළට ගියේය. මහින්ද සුදු ටී ෂර්ට් එකකින් සහ කලිසමකින් සැරසී විදුලි පන්දමක් අතැතිව සිටියේය. සෙසු අය හමුදා ඇදුමෙනි. ඇතමෙකු පැලද සිටියේ සපත්තු නොව සෙරප්පුය. එම දිසාවේ මුරට සිටි භටයා නින්දේ පසුවූ අතර, ‘සෙන්ටි උඹ නිදිනේද’ යැයි කියා මහින්ද පහරක් ගැසීය. ‘සොරි සර්’ කියා සෙබලා කියන විටම ඔහු යටත්කරගෙන බැද දමන ලදී. පසුව ප්‍රධාන ආරක්ෂක කුටියේ සෙබළුන් 3ක් යටත් කරගෙන එහි දම්වැල් දා ඉබි යතුරු දා තිබූ ටී56 ස්වැංක්‍රීය අවි 13ක් ඔවුන්ටම කියා ඉබි යතුරු විවෘත කර ලබාගන්නා ලදී.

පල්ලකැලේ හමුදා කඳවුරෙන් අවි පැහැර ගැනිමේ ප්‍රහාරය 
සැලසුම් කිරීමේ නායක ජවිපෙ දේශපාලන මණ්ඩල සභික
 ශාන්ත බණ්ඩාර,  එහි දෙවැනියාවූ මධ්‍යම කාරක සභික 
රුවන්වැල්ලේ කේ. අමරසිරි, සම්බන්ධීකරණය කල හැටන්
 ජයශ්‍රී ගුණසේකර, ප්‍රහාරක කණ්ඩායමේ සාමාජිකයින් 14දෙනා 
අතර සිටි පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ කෑගල්ලේ ප්‍රේමකුමාර් ගුණරත්නම්, 
පශු වෛද්‍ය පීඨයේ අම්පාරේ ලක්ෂ්මන් අබේරත්න, වෛද්‍ය පීඨයේ 
කෑගල්ලේ සිසිර කුමාර සහ හලාවත බී. කොස්තා, දන්ත වෛද්‍ය පීඨයේ 
තිස්සමහාරාමයේ සී රන්නුගේ(ඉහළ වමේ සිට).
මේ වන විට ප්‍රහාරක කණ්ඩායම සතුව ටී56 ගිනි අවි 12ක් සහ සබ් මැෂින් ගන් 7ක් විය. දැන් විනාඩි 20ක් පමණ ගතවී අවසන්ය. යටත් කරගෙන අත්පා බැඳගෙන සිටි සෙබළුන් සංඛ්‍යාව 6කි. ඔවුන් ස්ථාන 2ක විය. එක් වරම ජයන්ත කියා සිටියේ දෑත් බැද තිබූ සෙබලෙක් පැනගිය බවය. වහාම පසුබසින ලෙසට මහින්ද නියෝග දුන් අතර විනාඩි 5කට පමණ පසු කඳවුරේ සීනුව නාද විය. ප්‍රහාරක කණ්ඩායම වෙන් වෙන්ව කඳවුරෙන් පළාගිය අතර කඳවුර තුළින් නොකඩවා වෙඩි ප්‍රහාර එල්ල විය. එවිට වේලාව අළුයම 4 පමණ වන්නට ඇත. යළි ඇදුම් මාරුකරගත් ප්‍රහාරක කණ්ඩායම අවි 19 ඔසවාගෙන මඟට පැමිණියද අනෙක් වෑන් රථය පැමිණ තිබුණේ නැත. අවට කැලෑවේ සහ නිවෙස් අසළද අවි සැඟවු පිරිස වෙන් වෙන්ව අවි කිහිපයක්ද රැගෙන පළායෑමට සමත් විය. අවි 10ක් කැරළිකරුවන් විසින් ප්‍රහාරයෙන් පසු එදිනම අළුයම මහමඟ ගමන් කරමින් තිබූ රථයක් පැහැර ගනිමින් එයට අවි පටවා වෙනත් තැනකට ගෙන යෑමට සමත්විය. කිසිවෙකු හසුවූයේ නැත. 

දිනය 1987 අප්‍රේල් 15වැනිදාය. උදෑසන 6 පමණ විය. ප්‍රහාරකයින් රැගෙන ගිය ගිනි අවි 2ක් කඳවුර අවට සෝදිසි මෙහෙයුමේදී හමුදාවට හමුවිය. අවසානයේ ගම්මානයම කැලැඹී තිබුණුද හමුදා සෝදිසි මෙහෙයුම ඇරඹුණේ උදෑසන 7ට පමණය. කොස්තා පමණක් හමුදා අත්අඩංගුවට පත්ව පැය කිහිපයකින් නිදහස් කර තිබිණි. ඔහු කියා සිටියේ තමා තේ කොළ වෙළදාමේ නිරතවන අයෙකු බවය. සියළු දෙනාම පමණක් නොව හමුදාව සහ රජයද සිතා සිටියේ මෙය දෙමළ බෙදුම්වාදී ඊරෝස් සංවිධානයේ වැඩක් බවය. එහෙත් කිසිවෙකු ප්‍රහාරයේ වගකීම භාර ගත්තේ නැත. කුඩාඔය කඳවුරටද පහරදීම නිසා ඊරෝස් සංවිධානය වෙත සැකය ප්‍රබලව එල්ල විය. රහස් පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරන ලදී. සඟවා තැබු ස්වැංක්‍රීය අවි 7ක් ජවිපෙ කැරළිකරුවන් මගින් යළි පසුදින පස්වරුවේ එම සඟවා තැබූ ස්ථානවලින් රැගෙන යෑමට සමත් විය. 

ජවිපෙ විසින් පල්ලකැලේ හමුදා කඳවුරට පහරදී අවි පැහැර ගැනීමට අමතරව එදිනම එනම් 1987 අප්‍රේල් 15 රටපුරා ප්‍රහාර 5ක් සංවිධානයකර තිබිණි. ඒවා නම් දියතලාව හමුදා කඳවුරේ කොටසකට පහරදී ආයුධ පැහැර ගැනීම සහ එහි පැමිණීමට නියමිත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම, අවිස්සාවේල්ල සාලාව හමුදා අනුඛණ්ඩයට පහරදී අවි පැහැර ගැනීම, ගාල්ල කොටුවේ හමුදා අනුඛණ්ඩයෙන් ආයුධ පැහැර ගැනීම, තණමල්විල කුඩාඔය හමුදා පාසැලට පහරදී අවි පැහැර ගැනීමය. දේශපාලන මණ්ඩල සභිකයන් කිහිප දෙනෙකු මෙහි වගකීම් ගත් අතර අවසාන මොහොතේදී එම ප්‍රහාර එල්ල කිරීමට ගත් තීරණ අවසන් මොහොතේදී කල් දැමිණි. එයට හේතුව බුද්ධි අංශවලට යම් හෝඩුවාවක් ලැබී තිබිමය. එහෙත් පල්ලෙකැලේ හමුදා කඳවුර, කුඩාඔය සහ ගාල්ලේ හමුදා කඳවුරු ප්‍රහාර භාරව සිටි අයට එය සන්නිවේදනය වී නොතිබිණි. පල්ලකැලේ ප්‍රහාරය යම් තරමකට සාර්ථක වූ අතර කුඩාඔය ප්‍රහාරය මුළුමනින්ම මැඩපැවැත්වීමට ආරක්ෂක අංශවලට හැකිවිය. ගාල්ල කොටුවට පහරදීමට ගිය කණ්ඩායම මීටියාගොඩ පොලිසිය අසළ මාර්ග බාධකයකයදී අළුයම 12ට අත්අඩංගුවට ගන්නා ලදි. එහි නායකයා පොලිස් අත්අඩංගුවේදී ග්‍රාමාරක්ෂකයින්ට පහරදී පොලිසියෙන් පැනගිය අතර පිටිගල පියල් විජේසිංහ ඇතුළු සෙසු අය පොලිසියේ රඳවා පසුව අධිකරණයට ඉදිරිපත්කර මාස 3කට පසු ඇප ලබාදෙන ලදී. එහිදී ඔවුහු කියා සිටියේ එදිරිවාදී කණ්ඩායමක පිරිසකට පහරදීමට යන බවකි. 

පල්ලෙකැලේ ප්‍රහාරයට සම්බන්ධවූ පේරාදෙණිය සරසවිය සිසුන්ගේ නම් හෙළිවන්නේ අහඹු සිද්ධියකිනි. ඒ කෘෂි පීඨයේ පළමු වසරේ සිසුවෙකු වන ලක්ෂ්මන් කිත්සිරි ද සිල්වා 1987 මැයි 17වැනිදා අත්අඩංගුවට ගැනීමත් සමඟය. පින්නවල මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටියදී රංජිතම් ගුණරත්නම් මගින් ජවිපෙට එක්වූ ලක්ෂ්මන් කිත්සිරි කෑගල්ල පදිංචිකරුවෙකි. උපාධිය සමත්වීමෙන් පසු ඔහු වර්තමානයේ දකුණු පළාතේ රජයේ රෝහළක කථන සහ භාෂා උපදේශකයෙකු වශයෙන් වෙනත් නාමයකින් සේවය කරයි. දෙදරු පියෙකි. 

ප්‍රහාරය සැලසුම්කල අංක 44 කාමරයේ පිහිටා තිබුණේ පේරාදෙණිය
සරසවියේ මෙම මාර්ස් නේවාසිකාගාරයේය.  
කැරළිකරුවන් විසින් කඳවුරට ප්‍රහාරයට පැමිණි අත්හැරදමා ගිය වෑන් රථයේ ඇදුම් කිහිපයක් තිබිණි. එයට හේතුව වූයේ පේරාදෙණිය සරසවියේදී සිවිල් ඇදුමෙන් සැරසුණු කැරළිකරුවන් කඳවුර ආසන්නයේදී වෑන් රථය තුළම සිය ඇදුම් උඩින්ම හමුදා ඇදුම් ඇදගත් බැවින් අනවශ්‍ය ඇදුම් වාහනය තුළ ගලවා දමා තිබුණි. එහි තිබූ එක් කලිසමක ඇතුල් පැත්තේ එය මසන ලද ටේලර් සාප්පුවේ නාමය ග්‍රෑන්ඩ් ටේලර්ස් කෑගල්ල යන්න රෙද්දකින් මසා තිබිණි. රහස් පොලිසිය ඒ ඔස්සේ කෑගල්ලේ ග්‍රෑන්ඩ් ටේලර්ස් වෙත ගොස් එම කලිසමේ සාම්පලය අඩංගු බිල්පතේ අනු පිටපත් තුනක ලිපිනයන්ට ගියේය. එක් ලිපිනයක පදිංචිකරුවන් අතර පේරාදෙණි කෘෂි පීඨයේ සිසුවෙක්ද විය. සරසවියෙන් ඒ පිළිබඳව විමසා තහවුරු කිරීමේදී ඔහු විභාගය අතරතුර දින දෙකක් නොපැමිණ යළිත් පැමිණ තිබිණි. පසුව ඔහු අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ විමර්ශන අංශයට ගෙන ඒමෙන් පසු සියළු තොරතුරු අනාවරණය කරගැනීමට පොලිසිය සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු නමින් දන්නා 7 දෙනෙකු තෙමසක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය සමත් විය. 

මේ සම්බන්ධයෙන් කල පොලිස් පරික්ෂණ වල ප්‍රධානියා වූයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාවන ජේෂ්ඨ පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරාය. එම කණ්ඩායමට රහස් පොලිසියේ ජේෂ්ඨ පොලිස් අධිකාරි මොහාන් ජයසූරිය, සහකාර පොලිස් අධිකාරි කේ. ගජනායක ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරින්ද නුවර, වත්තේගම, කෑගල්ල, ඇතුළු පොලිසි කිහිපයක පොලිස් නිලධාරින්ද එක්ව සිටියහ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ට වධබන්ධන වලට මුහුණ දීමට සිදුවූ අතර ජේෂ්ඨ පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරා කැරළිකරුවන් අතින් 1987 දෙසැම්බර් 12වැනිදා ඝාතනයට පත්වීමත් සමඟ එම වධබන්ධන ලිහිල් විය. 

පල්ලෙකැලේ ප්‍රහාරක කණ්ඩායමේ නායකයාවූ කලක් පුහුණු හමුදා සෙබලෙකුව සිටි වේයන්ගොඩ බණ්ඩාරනායක මාවතේ පදිංචි රත්නායක පතිරණගේ මහින්ද ජයවර්ධන පසුකාලයේ ත්‍රිකුණාමලයේ කල්ලාර් හමුදා කඳවුරට 1987 ඔක්තෝබර් 4 ජවිපෙ කැරළිකරුවන් සමඟ කඩාවැදී එහි සියළු ආයුධ පැහැරගැනීමට නායකයත්වය දුන් අතර එහිදි මරුමුවට පත්විය. මහින්දගේ සිරුර කැරළිකරුවන් විසින් පලායන විට රැගෙන විත් වනගත පෙදෙසකදී ආචාරය පුද කරමින් භූමදානය කළේය. මැදවච්චියේ වික්‍රම ඇතුළු පිරිසක් එයට එක්විය.

ප්‍රහාරය සැකසුම් කල පේරාදෙණිය සරසවි මාර්ස් ශාලාවේ 44 කාමරයේ නේවාසිකයාව සිටි ගුණසේකර මුහන්දිරම්ලාගේ ජයශ්‍රී පේරාදෙණිය වෛද්‍ය පීඨයට ඇතුල්වූයේ හැටන්, මල්ලිඅප්පු පදිංචි ජයශ්‍රී 1963දී ජනවාරි 7වැනිදා උපන්නේ දික්වැල්ලේ බතීගමය. සොයුරු සොයුරියන් 5 දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනියාය. පත්මසිරි අබේසේකර ඝාතනය කල අවස්ථාවේ සාක්කි දුන් අයෙකි. ගම්පහ කලාප නායකයෙකු වශයෙන් අවසානයේදී කටයුතු කල ජයශ්‍රී විජේවීර ඝාතනයෙන් පසු කුරුණෑගල මහව හේනක ගොවියෙකු වශයෙන් කටයුතු කළේය. මිතුරෙකු හමුවීමට කොළඹට 1990 ජනවාරි 21වැනිදා පැමිණි අවස්ථාවකදී ලේක්හවුස් ඉදිරිපිට රීගල් සිනමා ශාලාව අසලදී අත්අඩංගුවට පත්ව ඝාතනයට පත්විය. පේරාදෙණියේ වෛද්‍ය සිසු පත්මසිරි අබේසේකර 1984 ජුනි 19 ඝාතනය කිරිමේ සිද්ධියෙන් පසු පේරාදෙණියේ වෛද්‍ය සිසුන් ගණනාවක් සටන්කාමි ශිෂ්‍ය ක්‍රියාකාරින් බවට පත්විය. 

පල්ලෙකැලේ ප්‍රහාරයට එක්වූ කිහිප දෙනෙකු පිළිබඳව සංෂිප්ත විස්තරයක් මෙසේය. හලාවත අඹකඳවිල බෙනඩික් කොස්තා වර්තමානයේ වයඹ පළාතේ රෝහලක වෛද්‍යවරයෙකි. බිරිඳ ගුරුවරියකි. දෙදරු පියෙකි. එදා දෙවන වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙකුවූ කෑගල්ල බටුවත්තේ සෝමරත්න වර්තමානයේ රජයේ වෛද්‍යවරයෙකි. හම්බන්තොට දෙබරවැව මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා 1984 ජනවාරි පේරාදෙණිය සරසවියට ඇතුළුවූ චන්ද්‍රසිරි රන්නුගේද වර්තමානයේ දකුණු පළාතේ ප්‍රකට දන්ත වෛද්‍යවරයෙකි. දෙදරු පියෙකි. බිරිඳද දන්ත වෛද්‍යවරියකි. 

ප්‍රේමකුමාර් ගුණරත්නම් පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ 85 කණ්ඩායමේ සාමාජිකයෙකු වූ අතර 1965 නොවැම්බර් 18වැනිදා උපන්නෙකි. කෑගල්ල ශාන්ත මරියා සහ පින්නවල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක් වූ රංජිතම් ගුණරත්නම්ගේ කණිටු සොහොයුරාය. ජවිපෙට එක්වූයේ 1981දී පාසැල් සිසුවෙකුව සිටියදීය. පල්ලකැලේ ප්‍රහාරයෙන් සති 6කට පසු එනම් 1987 මැයි 23 ගලගෙදරදී පොලිස් අත්අඩංගුවට පත්විය. පසුව 1988 දෙසැම්බර් 13වැනිදා ජවිපෙ සැකකරුවන් 221 සමඟ බන්ධනාගාරයෙන් පළා යන ප්‍රේමකුමාර් පසුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් විය. ත්‍රිකුණාමලය පාලම් පොට්ටවුර් හිදී 1989 සැප්තැම්බර් 24වැනිදා අත්අඩංගුවට පත්ව කත්තලේ හමුදා නිවෙස් ඛණ්ඩයේ රඳවා තබන ලදී. එම ප්‍රදේශයේ අණදෙන නිලධාරි වූයේ ජනරාල් සරත් ෆොන්සේකාය. පසුව අබේපුස්ස කඳවුරේ කපිතාන් ජයන්ත කොතලාවල යටතේ නිලධාරි සහායකයෙකු ලෙස රඳවාගෙන සිටියදි ප්‍රේමකුමාර් 1990 අගොස්තු මස අස්ථානගත විය. පසුව ගාල්ල සහ බද්දේගම රහසිගතව සැඟව සිට 1991දී ජවිපෙ යළි ගොඬනැගීම සඳහා සෝමවංශ අමරසිංහ සමඟ සබඳතා ගොඩනඟා ගන්නා ලදී. වර්තමානයේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයයෙකි. දෙදරු පියෙකි. 

වාරියප්පෙරුම දොන් දේවප්‍රිය සිසිර කුමාර 1964 පෙබරවාරි 17වැනිදා උපන් අතර කෑගල්ල මඩවල පදිංචිකරුවෙකි. මව ඉංග්‍රීසි ගුරුවරියකවූ අතර පියා මහා විද්‍යාලයක උප විදුහල්පතිවරයෙකි. සොහොයුරිය විද්‍යා උපාධිධාරියක්වූ අතර සොහොයුරා වෛද්‍යවරයෙකි. සිසිර කුමාර පේරාදෙණිය වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු විය. කෑගල්ල පින්නවල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අපොස උසස් පෙළ සමත්වීමෙන් පසු වෛද්‍ය පීඨයට ඇතුළත්වන තෙක් ඔහු අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ස්වෙච්ඡා ගුරුවරයෙකු වශයෙන්ද කලක් සේවය කළේය. පල්ලකැලේ 1986 ප්‍රහාරයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මැගසින්, නුවර බන්ධනාගාරවලද පසුව කුරුදුවත්ත රේස්කෝස් කඳවුරේද රඳවාගෙන සිටි සිසිර කුමාර අවසාන කාලයේ කෑගල්ලේ බහුජන සංවිධානයන්හි ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කල අතර දැරණියගලදී 1989 සැප්තැම්බර් 12වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී. පසුව කෑගල්ල වික්‍රමසිංහ වලව්වේ පිහිටා තිබූ වධ කඳවුරට ගෙන යාමෙන් පසු ඝාතනයට ලක්විය. 

අම්පාර ඉඟිනියාගල දරුවන් තිදෙනෙකුවූ පවුලේ දෙවැනියාවූ ලක්ෂ්මන් රංජිත් අබේරත්න(ටොමා) 83/84 කණ්ඩායමේ සිසුවෙකු වූ පියා ගොවියෙකි. නිහඬ චරිතයක්වූ ලක්ෂ්මන් ජවිපෙ අධ්‍යාපන කඳවුරකට ප්‍රථම වරට සහභාගි වූයේ 1986 මාර්තු 11වැනිදා මාතලේදීය. පල්ලේකැළේ ප්‍රහාරය සම්බන්ධයෙන් පසුව අත්අඩංගුවට ගෙන මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදි 1988 දෙසැම්බර් 13වැනිදා පළා ගියේය. පසුව පන්නල ප්‍රදේශයේ තලම්මැහැර බමිමන්ත විහාරස්ථානයක සිට කුලියාපිටියේ ජවිපෙ ශිෂ්‍ය අංශයේ කලාපීය නායකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී 1989 මැයි 21 අත්අඩංගුවට පත්වූ අතර ඝාතනය කරන ලද ඔහුගේ සිරුර කුලියාපිටිය පන්නල මාර්ගයේ කන්කානියමුල්ල කැලයේ බෝධිය අසලදී පුළුස්සා දමා තිබියදී හමුවිය. 






පල්ලකැලේ ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයෙන් චූදිතයන් වූ 8 දෙනාගෙන්
හත් දෙනෙකු 1988 දෙසැම්බර් 13වැනිදා බොරැල්ල මැගසින් බන්ධනාගාරයෙන්
ජවිපෙ තවත් සැකකරුවන් 221න් කොටසක් සමඟ පළාගියේ තාප්පය
පුපුරුවා දැමූ මෙම කුහරයෙනි.
ත්‍රස්ත්‍රවාදී මර්ධන පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටි පල්ලෙකැලේ ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරන චූදිතයන් 8ට එරෙහිව 1988දී නඩු අංක 3591/88 යටතේ කොළඹ මහාධිකරණ විනිසුරු අමීර් ස්මයිල් ඉදිරියේ නඩු පවරන ලදී. ප්‍රහාරයට එක්වූ 14දෙනාගෙන් 8 දෙනෙකු පමණක් හදුනාගෙන අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වූ අතර එම 8දෙනා චුදිතයන් කරමින් මෙසේ නඩුව පවරා තිබිණි. එම චූදිතයන් 8 දෙනාගෙන් 6 දෙනෙකුම පේරාදෙණිය සරසවියේ සිසුන්ය. විත්තිකරුවන්ට චෝදනා වූයේ 1987 අප්‍රේල් 1 සිට 1987 අප්‍රේල් 15 අතර කාලයේ පල්ලෙකැලේ යුධ හමුදා කඳවුරට පහරදී යුධ අවි පැහැර ගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව සූදානම් වීම සහ පහරදීම සිදුකොට යුධ අවි පැහැර ගැනිම වේ. නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කෝලිත ධර්මවර්ධන, පාලිත ප්‍රනාන්දු සහ එච්.බි. හුසේන් යන රජයේ නීතිඥවරු පෙනී සිටියහ. විත්තිය වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිවේදී ආර්. අයි. ඔබේසේකර, ඒ. ඩබ්ලිව් යූසුප් සහ චම්පානි පද්මසේකර යන නීතිවේදිහුය. 

රිමාන්ඩි ගතකර සිටි පේරාදෙණිය සරසවියේ මෙම සිසුන් ඇතුළු සියළු සිසුන්ගේ සුභසාධන සහ නිති කටයුතු සඳහා අනුග්‍රහය දක්වමින් එය සම්බන්ධීකරණය කළේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගිනි. එවැනි කටයුතු සඳහා මහජන, ශිෂ්‍ය, ආධාර පමණක් නොව පේරාදෙණිය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව මගින් ගුණදාස කපුගේ ගී සැදෑව 1987 දෙසැම්බර් 19වැනිදා සහ පේරාදෙණිය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව මගින් නන්දා මාලිනී ගේ සංගීත සජ්ජායනය 1988 ජනවාරි 27 වැනිදා පේරාදෙණිය සරසවි ක්‍රීඩාගාරයේදී පවත්වන ලද ප්‍රසංග වලින් අරමුදල් රැස්කර ගන්නා ලදී. 

එම චූදිතයන් 8 දෙනාගෙන් එක් අයෙකු වන කෘෂි පීඨයේ ලක්ෂ්මන් කිත්සිරි ද සිල්වා මාස 18 රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු 1988 නොවැම්බර් 21වැනිදා ඇප මත නිදහස් කරන ලදී. සෙසු විත්තිකරුවන්ට ඇප දියහැකිදැයි සලකා බැලීමට නඩු විභාගය කල්තබන ලදී. අනතුරුව සෙසු චූදිතයින් 7 දෙනා කොළඹ මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් බාරයේ සිටියදී ජවිපෙ විසින් 1988 දෙසැම්බර් 13වැනිදා ප්‍රහාරයක් එල්ලකර නිදහස් කරගැනීමට සමත්වූ ජවිපෙ සැකකරුවන් 221දෙනා අතර විය. පසුව පළාගිය අයට අධිකරණයෙන් 1989 මාර්තු 2වැනිදා වරෙන්තු නිකුත් කෙරිණි. මැගසින් බන්ධනාගාරයෙන් පලාගිය පල්ලකැලේ චූදිතයෙකුවූ 2වැනි විත්තිකාර වෛද්‍ය සිසු ලක්ෂ්මන් කුමාර කොස්තාට පලායෑමේදී ආරක්ෂක අංශවලින් තබන ලද වෙඩි පහරවල් වැදුනු අතර බරපතල තුවාල සහිතව ඔහු මීගමුව රෝහලට ඇතුලත් විය. ජේෂ්ඨ පොලිස් අධිකාරි එඩිසන් ගුණතිලක යළිත් ඔහු එහිදී අත්අඩංගුවට ගත් අතර මහාචාර්ය අර්ජුන අළුවිහාරේගේ මැදිහත්වීමෙන් පේරාදෙණිය රෝහලේදි කොස්තාට සැත්කමක්ද සිදුකරන ලදී. පසුව කොස්තාගේ සෞඛ්‍ය හේතූන් මත 1989 මාර්තු 17 වැනිදා රුපියල් 5,000ක ඇපයක් මත ඔහු මුදාහරින ලදි. 

පල්ලකැලේ යුධ හමුදා කඳවුරට පහරදීම පිළිබඳව චූදිතයන්ට එරෙහිව තිබුණු චෝදනා රජය මගින් 1994දී ඉල්ලා අස්කර ගැනීම නිසා චූදිතයන් නිදහස් විය. එයට හේතුන් අතර විත්තිකරුවන්ගේ පාපොච්ඡාරණ සටහන් කරගත් ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු ජීවතුන් අතර නොමැතිවීම නිසා සාක්කි මෙහෙයවීමට නොහැකි තත්ත්වයක් උදාවීම, ඇතැම් විත්තිකරුවන්ගේ පාපොච්ඡාරණ සිය කැමැත්තෙන් කල ප්‍රකාශ නොවන බව විත්තියෙන් නඟන ලද මුලික විරෝධයන් නිසා ඒ පිළිබඳව තීරණයක් ගැනීමට ‘වොයර්ඩයර්’ අතුරු සාක්ෂි විභාගයක් පැවැත්වීමට සිදුවීම ඇතුළු කරුණු කිහිපයක් හේතු විය.

(ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, 434/3 ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384විද්‍යුත් තැපෑල: ejournalists@gmail.com)The writer ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 8123622746603447407

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item