සිංහලයට තවත් කැපිල්ලක්‌

අප අධ්‍යාපනය ලබන කාල වකවානුවේත්, ගුරු වෘත්තියට පිවිසිදා සිට අද වන තුරුත් උසස්‌ පෙළ සිංහල විෂය නිර්දේශයට වරකට ඇතුළු වූයේ එක්‌ නව කතාවකි. එක්...

අප අධ්‍යාපනය ලබන කාල වකවානුවේත්, ගුරු වෘත්තියට පිවිසිදා සිට අද වන තුරුත් උසස්‌ පෙළ සිංහල විෂය නිර්දේශයට වරකට ඇතුළු වූයේ එක්‌ නව කතාවකි. එක්‌ නාට්‍ය පිටපතකි. මෙවර දෙදහස්‌ දහනවය විෂය නිර්දේශය උදෙසා නවකතා තුනක්‌ සමග නාට්‍ය පිටපත් තුනක්‌ නියමිතය. ඕනෑම සිසු දරුවකු හට එයින් තමන්ට රුචි නව කතාවක්‌ තමන්ට රුචි නාට්‍යයක්‌ තෝරාගත හැකි බව මා සමග පැවැසුවේද මේවා නිර්දේශ කළ මහාචාර්යවරයෙකි. ගැටලුව ඇත්තේ එතැන නොවේ. කලා විෂය ධාරාව තෝරා ගන්නා සිසු සිසුවියන් ගැන අපි හොඳින්ම දනිමු. ඔවුන්ගේ මානසික ශක්‌තිය කවරේද යන්නත් වසර හතළිහක්‌ පුරා අත්විඳ තිබේ. මෙතරම් නවකතා ප්‍රමාණයක්‌, මෙතරම් නාට්‍ය කෘති ප්‍රමාණයක්‌ නියමිත බව දැනගත් මොහොතේම කලා විෂය ධාරාව හදාරන දරුවෝ සිංහල විෂය හැදැරීමට බියවෙති. සෘජුව එය හැදැරීම ප්‍රතික්‍ෂේප කරති. එවිට සිංහල විෂයට පමණක්‌ නොව, අපේ භාෂාවට සාහිත්‍යයට යන කල දවස කුමක්‌ද?

විෂය මාලා සංවර්ධන මධ්‍යස්‌ථානය ඇතුළු අධ්‍යාපනය පිළිබඳ බොහෝ අංශ එක්‌ රැස්‌කොට ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවන්ට යෙදුණු බව අධ්‍යාපන ක්‍ෂේත්‍රය පිළිබඳව සැලකිලිමත්වන බොහෝ දෙනා දනිති. එය සිදුවූයේ 1986 වසරේ සම්මත වූ පාර්ලිමේන්තු පනතකිනි. මහරගම ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීමේදී මුල්තැන ගෙන ක්‍රියා කළේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. එතැන් සිට පාසල් විෂය නිර්දේශ සකස්‌ කිරීමේ බලතල සියල්ල පැවරුණේද මේ ආයතනයටමය. එහිදී විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන්ද, විෂය දැනුමෙන් සන්නද්ධ වෙනත් වියතුන්ගෙන්ද උපදෙස්‌ ලබා ගැනීමේ ඉඩ හසරද මේ ආයතනයට පැවරුණු බව අපි දනිමු. මේ නිලධාරීහු බොහෝ කාලයක්‌ ඒ අනුව ක්‍රියා කළහ. දැනට පාසල්වල උසස්‌ පෙළ උදෙසා උගන්වනු ලබන සිංහල විෂය නිර්දේශය සැකසීමේ කටයුත්තට මෙය ලියන මම සහභාගි වූ බව නොසඟවා හෙළි කරමි. එහි අඩුපාඩු නැතැයි අපි නොකියමු. කිසියම් අඩුපාඩුවක්‌ ඇත්නම් එය මෙරට ඇතැම් සරසවි ඇදුරන්ම භාරගත යුතු බව නොපැකිලිව සඳහන් කරමු. කවර අඩු ලුහුඬුකම් ඇතත් එය ක්‍රියාත්මක වෙද්දී දෙදහස්‌ දහනවය උදෙසා කිසිසේත් සුදුසු යෑයි කිව නොහැක්‌කක්‌ සිදුවන බව ඉතා කනගාටුවෙන් හෙළි කළ යුතුය.

උපදෙස්‌ සැපයීමට සිටින්න වුන් අනවශ්‍ය ලෙස සිය අණසක පැතිරවීමට පටන්ගෙන තිබීම ඊට හේතුව ලෙස දැක්‌විය යුතුය. මේ ක්‍රියාදාමයෙහි පෙරමුණ ගෙන සිටින්නෝ අප දැන හඳුනන්නෝ වෙති. මේ ලියන මොහොතේත් ඔවුන් සමග පෞද්ගලික අමනාපයක්‌ අප සිත්වල නොමැත. එහෙත් ඔවුනට නොපෙනෙන මහා ෙ€දවාචකයක්‌ අපට පෙනෙන බැවින් මෙය ලියන බව දයාබරව පැවසිය යුතුය. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට වඩා හොඳින් පාසල් දරුවන්ගේ මානසික ස්‌වභාවය ගැන පාසල් ගුරුවරුන් වන අපි දනිමු. ඔවුන්ගේ රුචි අරුචිකම්ද හඳුනාගෙන ඇත්තෙමු. එමෙන්ම පාසල් ගුරුවර ගුරුවරියන්ගේ හැටිද දනිමු. ඒ නිසාම අලුත් විෂය නිර්දේශය සිංහල විෂය වළ පල්ලට ඇද දැමීමට ගන්නා ප්‍රයත්නයක්‌ය යන්න අපට පැහැදිලිය.

අප අධ්‍යාපනය ලබන කාල වකවානුවේත්, ගුරු වෘත්තියට පිවිසිදා සිට අද වන තුරුත් උසස්‌ පෙළ සිංහල විෂය නිර්දේශයට වරකට ඇතුළු වූයේ එක්‌ නව කතාවකි. එක්‌ නාට්‍ය පිටපතකි. මෙවර දෙදහස්‌ දහනවය විෂය නිර්දේශය උදෙසා නවකතා තුනක්‌ සමග නාට්‍ය පිටපත් තුනක්‌ නියමිතය. ඕනෑම සිසු දරුවකු හට එයින් තමන්ට රුචි නව කතාවක්‌ තමන්ට රුචි නාට්‍යයක්‌ තෝරාගත හැකි බව මා සමග පැවැසුවේද මේවා නිර්දේශ කළ මහාචාර්යවරයෙකි. ගැටලුව ඇත්තේ එතැන නොවේ. කලා විෂය ධාරාව තෝරා ගන්නා සිසු සිසුවියන් ගැන අපි හොඳින්ම දනිමු. ඔවුන්ගේ මානසික ශක්‌තිය කවරේද යන්නත් වසර හතළිහක්‌ පුරා අත්විඳ තිබේ. මෙතරම් නවකතා ප්‍රමාණයක්‌, මෙතරම් නාට්‍ය කෘති ප්‍රමාණයක්‌ නියමිත බව දැනගත් මොහොතේම කලා විෂය ධාරාව හදාරන දරුවෝ සිංහල විෂය හැදැරීමට බියවෙති. සෘජුව එය හැදැරීම ප්‍රතික්‍ෂේප කරති. එවිට සිංහල විෂයට පමණක්‌ නොව, අපේ භාෂාවට සාහිත්‍යයට යන කල දවස කුමක්‌ද?

කලා විෂය ධාරාව හැදැරීමට පෙලඹෙන බොහෝ දරු දැරියෝ අනෙක්‌ විෂය ධාරාවන් හැදැරීමට සුදුසුකම් නොලැබූ හෙයින්ම මෙය තෝරා ගන්නෝ වෙති. මෙය සත්‍ය තත්ත්වය විනා කලා විෂය ධාරාව හදාරන දරුවන්ට කරන මදිපුංචිකමක්‌ නොවේ. එකම පාසලක හෝ එකම පන්ති කාමරයක විවිධ රුචිකම් ඇති දරුවෝ වෙති. මෙහිදී ඔවුනට කැමති කැමති නවකතා නාට්‍ය තෝරාගත හැකිද? ඔවුනට ඒ උගන්වන්නේ කවුරුන්ද? එක විෂයකට ගුරුවර ගුරුවරියන් කී දෙනකු අවශ්‍ය වේද? උක්‌ත මහාචාර්යවරයා පැවැසුවේ දරුවන්ට නවකතාව ඉගැන්වීම අවශ්‍ය නැති බවත්, නවකතා විඳින ආකාරය ඉගැන්විය යුතු බවත්ය.

එය සරසවියට ගැළපෙන බවට ගැටලුවක්‌ නැත. එහෙත් කිසිසේත් එය පාසල් සිසුවියන්ට නොගැළපෙන බව අපි ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කොටගෙන ඇත්තෙමු. සරසවිය උගන්වන තැනක්‌ නොවේ. ඉගෙන ගන්නා තැනකි. එහෙත් පාසල එසේද? වරක්‌ සරසවි සිසු සිසුවියන්ට මා පුවත්පතකට ලියූ විචාරයක්‌ කියවන ලෙස මහාචාර්යවරයෙක්‌ දැනුම් දුන් වෙලේ ඔවුන්ට නියමිත ප්‍රශ්නවලට පිළිතුරු දැන ගැනීම උදෙසා වැල නොකැඩී මා සොයා ආ අයුරු මෙහිදී මට සිහිපත් වෙයි. සිසු සිසුවියන්ගේ පැමිණීම නවතා ගැනීම උදෙසා මට මහත් වෙහෙසක්‌ ගැනීමටද සිදුවිය. සරසවි වරම් ලැබූවෝ එසේ වෙත් නම් පාසල් සිසු සිසුවියෝ කවරාකාර වෙත්ද?

වාර විභාග ප්‍රශ්න පත්තරවලට මෙන්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවත්වන උසස්‌ පෙළ සිංහල ප්‍රශ්න පත්‍රයටත්, මේ සියලු කෘතිවලින් ප්‍රශ්න ඇතුළත් කළ යුතුය. එයින් ප්‍රශ්න පත්‍රය කවර තරාමේ දිගු බවකින් යුක්‌ත වේද? උත්තර පත්‍ර සමීක්‍ෂණ උපදෙස්‌ කවර ස්‌වභාවයක්‌ ගනීද? මේවා සමීක්‍ෂණය කරන ගුරුවර ගුරුවරියන්ට අත්වන ෙ€දජනක ඉරණම කුමක්‌වේද? මේ කිසිවක්‌ මේ විෂය නිර්දේශය සැකසීමට බලහත්කාරයෙන් පෙරමුණගත් ආචාර්ය මහාචාර්යවරුන් සිතූ බවක්‌ නොපෙනේ. අන් කවරක්‌ සමඟ ක්‍රීඩා කළත් අධ්‍යාපනය සමග ක්‍රීඩා නොකළ යුතුමය.

දැනට ඉගැන්වෙන කාව්‍ය සංග්‍රහයට ඇතුළත් පද්‍ය රචනා සංඛ්‍යාව විසිතුනකි. කෙටි කතා සංග්‍රහයට කතා දොළසක්‌ ඇතුළත්ය. මේවා ප්‍රමාණාත්මක වශයෙන් දෙගුණ වී තිබේ යයි පැවසීමේ ද වරදක්‌ නොපෙනේ. මේ බර කාටද? උසස්‌ පෙළ කලා අංශයේ සිංහල විෂය තෝරාගත් අසරණ දරුවාට නොවේද? ජී. බී. සේනානායකගෙන් අනතුරුව කාව්‍ය නිර්මාණයට පිවිසිය වුන්ගේ නිර්මාණ සංග්‍රහ කර ඇති බවද දැන ගන්නට ලැබුණි. එහිදී ඇති වන ප්‍රශ්නය කොළඹ යුගයේ පළමුවැනි හා දෙවැනි පරපුරේ කවීන් අතින් සාර්ථක කාව්‍ය නිර්මාණ බිහි නොවුණේද යන්නයි.

දෙස්‌ විදෙස්‌ කෙටි කතා අතර අජිත් තිලකසේනගේ කෙටි කතාවක්‌ ද ඇති බව සඳහන් විය. අපි කෙටි කතා කලාවේ වෙනසකට මං හෙළි කළ බස පිළිබඳව පර්යේෂණයන්හි නිරත අජිත් තිලකසේන නම් නිර්මාණකාරකයාට ඉත සිතින් ගරු කරමු. එහෙත් ඔහුගේ කෙටි කතාවක රසය උසස්‌ පෙළ සිසුවකුට හෝ සිසුවියකට විඳගත හැකිද. කියන ආකාරයක්‌ විනා තවත් කීමට දෙයක්‌ නැතැයි කතුවරයාම පවසා තිබෙද්දී ඒවා දරු දැරියන්ට උගන්වන්නේ කෙලෙසද? දෙස්‌ විදෙස්‌ ලේඛක ලේකාවන්ගේ අනන්‍යතා පහදා දෙමින් වසර දෙකක කාලයක්‌ තුළදී ගුරුවරුන්ට විෂය නිර්දේශ සම්පූර්ණ කළ හැකිවේද? පාසල් නිවාඩු කාල ක්‍රීඩා උත්සව හා වෙනත් සංදර්ශන ආදියට ගත වන කාලය ගැන සිතන විට ඉගැන්වීමට ඉතිරි වන්නේ කොතරම් ස්‌වල්ප කාලයක්‌ද? ආචාර්ය මහාචාර්යවරුනි මේ පිළිබඳව මොහොතකටවත් නොසිතුණිද?

විෂය නිර්දේශය පුළුල්වෙද්දී විභාගවලට විචාර පොත් ලියන්න වුන් බහුලවීමද නොවැළැක්‌විය හැක්‌කකි. ඒවායෙහි සැබෑව ලියවේද? එවන් විචාර ග්‍රන්ථ ලියූවකු ලියා තිබූ මුසාවාද හේතු කොටගෙන මෙරට කවියකුගෙන් හොඳ වචනවලින් යමක්‌ අසා ගත් සැටිද මෙහිදී මගේ මතකයට නැඟේ. මෙයින් අවසානයේ දරුවන්ගේ මුදල්වලින් පොත් මුදලාලිලාම පොහොසතුන් බවට පත්වෙති. දරුවෝද, ඇතැම් ගුරුවර ගුරුවරියන්ද අසරණ වෙති.

මීට පෙරාතුව වරක්‌ මා විසින් සමස්‌ත අධ්‍යාපන ක්‍ෂේත්‍රයටම සිදුවන විපතක්‌ ගැන "දිවයින ඉරිදා" සංග්‍රහයෙන්ම හෙළි කෙරිණි. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේද රැව් පිළි රැව් දුණි. එහෙත් ඉන් එපිටට අධ්‍යාපනයට සිදුවූ මෙහෙයක්‌ නැත.

අධ්‍යාපන ඇමැතිතුමනි, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමනි, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂතුමනි උසස්‌ පෙළ සිංහල විෂය නිර්දේශය සැකසීමේදී සිදුවී ඇති බලවත් අසාධාරණය පිළිබඳ ඔබ සියලු දෙනාගේ අවධානය යොමුකරනු මැනවි. කලා අංශයේ දරුවා සිංහල විෂයයෙන් ඈත් වීමට වැට බැඳිය යුතුමය. නැතහොත් භාෂාව සාහිත්‍ය නොදන්නා හිස්‌ හදවත් ඇති යහගුණ නොදත් පරපුරකට පාර කැපෙනු නොඅනුමානය. ජාතික අධ්‍යාපන ආයතනයට උපදෙස්‌ සැපයීම විනා එය ගිල ගැනීමට අන්තගාමී පිටස්‌තර ආචාර්ය මහාචාර්යවරුන්ට ඉඩ නොදෙන මෙන් සිංහල විෂයටත්, භාෂා සාහිත්‍යයටත්, එය හදාරන දරුවන්ටත් ඇති ආදරයෙන්ම ඉල්ලා සිටිමි.

-සුනිල් ගුණවර්ධන



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 7380873256280087329

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item