ලන්දේසි රෝහල ප්‍රතිසංස්කරණය පිටුපස කතාව

සන්ධ්‍යාවේ ආලෝක පහන් දැල්වූ විට කොළඹ කොටුවේ පිහිටි ඩච් හොස්පිට්ල් නොහොත් ඉපැරණි ලන්දේසි රෝහල මන බඳනාසුළු ප්‍රභාවයක් විහිදුවයි. විවේකය ස...

සන්ධ්‍යාවේ ආලෝක පහන් දැල්වූ විට කොළඹ කොටුවේ පිහිටි ඩච් හොස්පිට්ල් නොහොත් ඉපැරණි ලන්දේසි රෝහල මන බඳනාසුළු ප්‍රභාවයක් විහිදුවයි. විවේකය සඳහා මෙන්ම ආහාර පාන කෙරෙහිද සංචාරකයන් සහ දේශීයයන්ගේද සිත් දිනාගෙන ඇති මෙය නවීකරණය කිරීමේ ඇතුල් කතාව ඔබ දන්නේද?

වසර 30ක සිවිල් යුද්ධය අවසන් කල මහින්ද රාජපක්ෂ යුගයේදී තෙවන ලෝකයේ නගරයක සිට මහාද්වීපයේ ඉතා පිරිසිඳු සහ ශෝභමාන නගර වලින් එකක්දක්වා කොළඹ නගරය රැගෙන යාමේ කතාවේදී මෙම ලන්දේසි රෝහල ගැන නොකියවෙන තැනක් නැති තරම්ය.

ෆේස්බුක් හි යාවත්කාලීන වන අපගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් මෙහි නවීකරණයේ නියමුවා ගෝඨාභය රාජපක්ෂයන් බව දැන සිටියත්, එය පිටුපස තිබෙන සමහරක් රස කතා දන්නේ ටික දෙනෙකි.

2011 වසර වන විට මහින්ද රාජපක්ෂයන්ගේ දෙවැනි පාලන කාලය ඇරඹී තිබුණි. 2009 වන විට යුද්ධයද අවසන් කර තිබුණු බැවින් 2010 මැතිවරණ වලින්පසුව ජනාධිපතිවරයා නාගරික සංවර්ධන කටයුතු ඔහු යටතට ගෙන තිබුණි. ආරක්ෂක අමාත්‍යාංශයද පැවතුනේ ජනාධිපතිවරයා යටතේ බැවින් එවකට ආරක්ෂක ලේකම් වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ව නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් හැටියටද පත් කෙරිණි. නාගරික සංවර්ධන අධිකාරිය (UDA) ආරම්භ කෙරුණේ 1978 දී ජේ ආර් ජයවර්ධනයන්ගේ පාලන කාලයේදී පාර්ලිමේන්තු පනතකට අනූවය. ජේ ආර් සහ ආර් ප්‍රේමදාස යුගවලදී මෙම අමාත්‍යාංශයෙන්උපරිම ඵල නෙළාගත්තද චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති සමයේදී මෙම අමාත්‍යාංශයද අනෙකුත් අමාත්‍යාංශ සේම උදාසීන සහ අක්‍රමවත් භාවයක් පෙන්නුම් කරන ලදී.

1994 සිට 2009 දක්වා අමාත්‍යවරුන් ගනනාවක් යටතේ පාලනය වූවද නාගරික සංවර්ධනය නමට පමණක් සීමාවී තිබුණි.

මෙලෙස නිදාසිටි නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයුම් මැදිරිය වෙත මානුශික මෙහෙයුම් අවසන් වූවායින් පසු ගෝඨාභයගේ ආගමනයත් සමග එය අළු ගසා නැගිටගත් සෙයක් පෙණිනි. එහි අධ්‍යක්ෂකවරුන් වෙත තමන්ගේ බලය නිසි පරිදි භාවිත කොට නාගරික සංවර්ධනය, අලංකරණය මෙන්ම තවත් බොහෝ දෑ කිරීමට ගෝඨාගේ පෞද්ගලික මැදිහත්වීම සහ උපදෙස් හේතු සාධක විය.

ගෝඨාගේ නගරාලංකරණ කටයුතු ඔබ සියළු දෙනාම දැක ඇතැයි සිතමු. කොළඹ නගරයේ කසල බැහැරවීම ක්‍රමවත්ව සිදු කිරීම,ඉපැරණි ගොඩනැගිලිවල වටිනාකම නොනසා ප්‍රතිසංස්කරනය කිරීම, මේ වන විට නැවතත් පැරණි දුගඳ හමන තත්ත්වයට පත්වෙමින් ඇති බේරේ වැව පිරිසිඳු කර අලංකාර කිරීම, අධික වැසි ඇතිවීමකදී කොලඹ නගරය යටවීමෙන් ආරක්ෂා කරගැනීමට පිළියම් යෙදීම, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ තවත් නගර බොහෝමයක් අලංකාර කිරීම, ව්‍යායාම් කිරීමට සහ විවේක ගැනීම සඳහා උයන් සහ මංමාවත් ඇති කිරීම සහ වෙනත් බොහෝ ව්‍යාපෘති වලට පිඹුරුපත් සකස් කෙරුණේ ගෝටා අතිනි. ව්‍යාපෘති පිළිබඳ හීන දැකීමට පමනක් නොව ඒවා සැබෑ කිරීමටද ගෝඨාභය හපනෙක් විය.

එවකට මම ආර්ථික කටයුතු පිළිබඳ අමාත්ය ගරු බැසිල් රාජපක්ෂ මහතා යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙහි සභාපති වශයෙන් කටයුතු කලෙමි. ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන් ලෙස විවිද අවස්ථාවන් වලදී අපට ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසුනි.

එලෙස අප හමුවූ අවස්ථාවක්දී ගෝඨා කොළඹ කොටුවේ පිහිටි ලන්දේසි රෝහල ගැන විමසනවා මම ශ්‍රවණය කලෙමි. ඒ වන විට එම ගොඩනැගිල්ලපැවතුනේ ශ්‍රී ලංකා පොලීසිය යටතේ එහි සුළු නිලධාරීන්ගේ නේවාසිකාගාරයක් ලෙස වුවත් එහි වහලවල් කැඩී වල් බිහිවී ඉතා නරක කලදසාවක් ලබා තිබූනි.

“මොන අමාත්‍යාංශෙටද ඒ ගොඩනැගිල්ල අයිති?”

ගෝඨාගේ පැණයට පිළිතුරක් සභාවේ කිසිවෙකුත් දැන සිටියේ නැත. නමුත් මා ආපසු කාර්‍යයාලයට පැමිණ කල විමසීම්වලදී එයට පිළිතුර මට ලැබුණි. ගොඩනැගිල්ලේ අයිතිය තිබුනේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියටයි.

කිසියම් අමාත්‍යාංශයක් විසින් මෙම ගොඩනැගිල්ලේ අයිතිය කලකට පෙර අපගේ අමාත්‍යාංශයට පවරා දී තිබුනි . ඒ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියටය විසින් මෙම පැරණි ගොඩනගිල්ල සුඛෝපභෝගීහෝටලයක් බවට පත් කිරීමට අදහස් කොට තිබුන නිසාය. මෙයට විදේශීය ආයෝජකයෙක් මුලින් ඉදිරිපත්වී තිබුණු නමුත් පැවති යුද්ධය නිසා ආයෝජකයාගේ උනන්දුව මෙය කෙරෙහි හීනව ගොස් ඇත. යුද්ධය අවසන් වීමත් සමගම ඔහු නැවතත්මෙම ගොඩනැගිල්ල ගැන විමසීම කරන්නට පටන්ගෙන තිබුණි. නමුත් කිසිවෙකු ඒ ගැන අපගේ අවධානයට යොමු කොට තිබුනේන් නැත.

ඊළඟ වතාවේ ආරක්ෂක ලේකම් මුණගැසුනු විට මම මේ පිළිබඳ සියළු විස්තර පවසා මේ පිළිබඳ ඔහුගේ ඇති උනන්දුවට හේතුව පිළිබඳවද අසා සිටියෙමි.

“ඕක හෝටලයක් කරන්න එපා නාලක. හෝටලේකට එන්න පුළුවං මිනිස්සු කිහිපදෙනාටයි. අපි ඕක හුඟ දෙනෙකුට එකවර එන්න පුළුවං විදිහෙ තැනක්කරමු. ඔය කොටුව පලාතම අපිට සංචාරක කලාපයක් කල හැකියි”

මෙම නිර්මාණශීලී මිනිසාගේ අදහස ගැන මම අතිශයින් සතුටු වුනෙමි.

පසු දින අරලියගහමන්දිරයේ පැවති භාන්ඩාගාර ලේකම් ආචාර්‍ය පී බී ජයසුන්දර මහතා විසින් සංවිධානය කොට තිබූ ෂැන්ග්‍රිලා හෝටල් සමූහය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන්තැබීමේ අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ මමද ,ආරාධිත අමුත්තන් අතරේ සිටියෙමි.
තේ පානය වෙලාවේ අමුත්තන් අතරේ සිටි ආරක්ෂක ලේකම්වරයා සහ අමාත්‍යවරයා වෙත ලං වූ මම නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලන්දේසි රෝහල වෙත බැලුම් හෙලන බව ඇමතිතුමාට දැනුම්දුන්නෙමි.

“නාලකට පිස්සුද?”

බැසිල් රාජපක්ෂ කලබල වී ඇති සෙයකි.

“ඒ ගොඩනැගිල්ලේ හෝටලයක් හදන්න දෙනව කියල පොරොන්දුවෙලා ඉවරයි කියල ඔයාට අමතකද ?.”

ඇමතිතුමාගේ කතා ස්වරූපය දුටු මට කවුරුන් හෝ කාක්කෙක් මගේ සහ ගෝඨාගේ කතාබහ පිළිබඳව ඔහුගේ කණේ තබා ඇති බව වැටහුනි. කවුරු කලත් කේලම අකුරටම කියා ඇති බව ඇමතිතුමාගේ නුරුස්සුම් සහගත ප්‍රතිචාරයෙන් පැහැදිලි විය.

ආරක්ෂක ලේකම් තුමා විසින් කාරණය පැහැදිලි කරදීමට උත්සාහ කලද බැසිල් ඇමතිතුමා සිටියේ කතාකිරීමට අතරම් සාමකාමී මානසිකත්වයකින් නොවන බවපෙනුනි. කතාව දුරදිග ගියොත් ගෝඨාබයටද තරහ යාමට ඉඩ තිබූ බව මට වැටහුනි.

නමුත් වාසනාවකට මෙන් අන් අයෙකුගේ අහිංසක බාධාකිරීමක් හමුවේ සිදුවීමට ගිය පිපිරීම වැලකිණි.

පැය කිහිපයකට පසුව ඇමතිතුමාගෙන් ඇමතුමක් මගේ දුරකථනයේ සටහන් විනි. නැවතත් දෝස්මුරයක් අහන්නට ලැබේදෝයි කල්පනා කරමින් මම දුරකථනය ඇමතුවෙමි. නමුත්මෙවර ඇසුණේ බැසිල්ගේ නිවුණු කටහඬයි.

“නාලක, ගෝටා අයියට මොනවද අරක ඕනෙ කිව්වෙ?”

නාගරික සංවර්ධන අධිකාරියේ කොලඹ කොටුව සංචාරක දිස්ත්‍රික්කයක් කරවීමේ සැලසුම පිළිබඳව සහ ලන්දේසි රෝහල එහි මූලික අංගයක් වීමේ සම්භාවිතාව පිළිබඳ මම ඇමතිතුමාව දැනුවත් කලෙමි.

“මටත් හිතෙන්නෙ ඒ වැඩේ හොඳයි වගේ.”

ඇමතිතුමා ධනාත්මකවී ඇත. මෙම කාර්‍යය සඳහා ඔහුගේද අදහස් හා උපදෙස් බොහෝමයක් මෙම සංවාදයේදී මට දැනගන්නට ලැබුණි.

“එහෙනං ඒ බිල්ඩිමේ අයිතිය UDA එකට දෙන්න. හැබැයි නාලක සේරම වැඩ වල ප්‍රගතිය ඔයාලට බලන්න වෙනව.”

සුභාරංචිය දැනුම්දීම සඳහා ඊලඟ දිනයේදී මම ආරක්ශක ලේකම් තුමා හමුවීමට ගියෙමි.

“මගෙ මිනිස්සු දැනටමත් වැඩේ පටන් ඇරන් නාලක” ගොඨාබයගේ සිනාසෙමින් පැවසීය. ” ගොඩනැගිල්ලේ අයිතිය ට්‍රාන්ස්ෆර් කරන වැඩේ ඔයා UDA චෙයාමන්ට කතාකරල කරල දෙන්න ”

ගෝඨාගේ වචනවලින් මට තේරුම්ගත්තේ මම නඩුව බේරන්නට යනවිට සොහොයුරන් දෙන්නා කලින්ම සමාදාන වී නව ව්‍යාපෘතියට අත ගසා ඇති බවයි. රාජපක්ෂලාගේ ගෝරි හබරල කොලේට වැටුනු පිනි වගේ කියා දන්න අය කියන්නේ ඒ නිසාය.

දින කිහිපයක් ඇතුළතදී ගරාවැටී තිබුණු ලන්දේසි රෝහල තුල අති රමණීය සාප්පු සංකීර්ණයක ආරම්භය දැකීමට කිරීමට තරම් අප වාසනාවන්ත වීමු. කලකට ඉහත තුවාලකරුවන්ගෙන් හා ලෙඩුන්ගෙන් පිරී තිබුණු වාට්ටු ආපනශාලා සහ නවීන පන්නයේ ඇඳුම් සාප්පු බවට පත් කෙරිණ. විශාල බිත්ති, තේක්ක වලින් සෑදූ බාල්ක, දැවමය දොරවල් සහ ජනේල ලන්දේසි ගෘහ නිර්මාණ රසය එලෙසම පෙන්වමින් අදටත් එහි ඇත. මෙහි සෑම ආපනශාලාවකම සහ සාප්පුවකම සියල්ල ලන්දේසි අභ්‍යන්තර සැකැස්ම එලෙසින්ම තබා නිර්මාණය කිරීමට නිර්මාණකරුවෝ උත්සුක වූහ. මෙය නගරය් තුල දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇදගන්නා ප්‍රධානතම ස්ථාන අතර පවතින්නට එයද එක් හේතුඒක් වී ඇත. ලන්දේසි රෝහල පමනක් නොව මුලු පැරණි කොටුව ප්‍රදේශයම අද වන විට වෙනස්ව ගොසිනි. වසර හතරකට ඉහත මෙය අවට පරිසරය ගරාවැටී තිබූ තත්ත්වය නැවත කිසි කෙනෙකුට මතක් කරදීමට හෝ ලකුනක් මෙහි නවීකරණය කිරීම් වලදී ඉතිරි කර නොමැත. ඒ තරම් අලංකාරයක් ඉපැරණි රෝහලක් තුළින් ගෝඨාම නොදකින්නට අදටත් මෙය ගරාවැටුණු ගොඩනැගිල්ලක් ලෙසින් කොලඹ නගරය අවලස්සන කරනු ඇත.

– නාලක ගොඩහේවා



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 9160716557169501727

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item