මහනුවර සිට හම්බන්තොට දක්වා සංවර්ධන කොරිඩෝවක් ඇති කරනවා

බස්නාහිර මහනගරයට අමතරව ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවලටත් සංවර්ධනය ගෙන යමින්, වර්තමානයේ ලෝක ආර්ථිකය හා ලෝකය තුළ ඇති ඉල්ලූම දෙස බලා සංවර්ධන කො...

බස්නාහිර මහනගරයට අමතරව ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවලටත් සංවර්ධනය ගෙන යමින්, වර්තමානයේ ලෝක ආර්ථිකය හා ලෝකය තුළ ඇති ඉල්ලූම දෙස බලා සංවර්ධන කොරිඩෝවක් මහනුවර සිට හම්බන්තොට දක්වා ඇති කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සි‍ටියේ අද (31) බත්තරමුල්ල සුහුරුපායේදී පැවැති ලෝක නගර දිනය– (World Cities Day) සැමරුම් උත්සවයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

ශ්‍රී ලංකාවේ අප අලූත් ව්‍යාපෘතියක් භාරගෙන තිබෙනවා. එම ව්‍යාපෘතියෙන් සිදු කෙරෙන්නේ මහනගර ඉදිකිරීම පමණක් නොවේ. මෙම වගකීම භාර එක් අමාත්‍යංශයක් ඔබ රට සතුව තිබීම අගය කළ යුතු බව ඉන්දියාවේ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු මා සමග පැවසුවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වෙනස එය බව ද ඔවුන් පැවසුවා. මෙම වැඩකටයුතු සිදු කෙරෙන්නේ අමාත්‍යංශය මගිනුයි. අනෙක් රටවල මෙම වැඩකටයුතු භාරදී තිබෙන්නේ සංස්ථාවලට සහ මණ්ඩලවලටයි. නැතිනම් කාර්ය සාධක බලකාවලටයි.

මෙම වැඩකටයුතු සිදු කිරීම සඳහා අමාත්‍යංශයක් පිහිටුවීමෙන් දේශපාලන නායකත්වයක් ලබාදී එම නායකත්වය යටතේ මෙම මහනගර සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා. බස්නාහිර මහනගර අමාත්‍යංශය ඇති කිරීමටත් එක් හේතුවක් තිබුණා.

1977 වසරේදී මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තීරණය කර තිබුණා. එම වැඩකටයුත්ත භාරදී තිබුණේ වාරිමාර්ග අමාත්‍ය ගාමිණී දිසානායක මහතාටයි. 1978 වසරේදී ගාමිණී දිසානායක මහතා කැඳවා මහවැලිය වාරිමාර්ග අමාත්‍යංශයෙන් ඉවත් කොට මහවැලි සංවර්ධන අමාත්‍යංශය යනුවෙන් නව අමාත්‍යංශයක් පිහිටුවීමට ජේ.ආර්. ජයවර්ධන මහතා කටයුතු කළා. ඒ සඳහා වෙනම අධිකාරියක් පිහිටුවීමටත් කටයුතු කළා. මෙම තීරණය ගන්නට එපා යැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙකු ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළා. මෙම තීරණය ගතහොත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව අක්‍රිය වේවි යැයි ඔවුන් පැවසුවා. තමාට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නැති කිරීමට උවමනාවක් නැති බවත් මහවැලි ව්‍යාපාරය රජයේ ප්‍රධානම ව්‍යාපාරය වන හෙයින් ඊට මූලිකත්වයක් දිය යුතු බවත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එම නිලධාරීන්ට පැවසුවා. වසර 30 කින් අවසන් කිරීමට නියමිත සංවර්ධන කාර්යය වසර 10 කදී අවසන් කිරීම මහවැලි සංවර්ධන අමාත්‍යංශය පිහිටුවීමේ අරමුණ බව ද ජයවර්ධන මහතා පැහැදිලි කර දුන්නා.

එම කටයුත්ත සඳහා නායකත්වය ලබාදීමටත් එම වැඩකටයුතු වෙනම සිදු කිරීමටත් අමාත්‍යංශයක් උවමනයි. එම අමාත්‍යංශය පිහිටුවන්නේ මහවැලි ව්‍යාපෘතිය කඩිනමින් සිදු කිරීමට පමණයි. ගාමිණී දිසානායක මහතාට මෙම වගකීම පවරා ඒ සඳහා වෙනම නිලධාරීන් පිරිසක් ද යොදවන බව ජේ.ආර්. ජයවර්ධන මහතා එකළ පැවසූ ආකාරය මට මතකයි.

එම නිසා අපත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ ආණ්ඩුවක් පිහිටුවා වගකීම් භාරගෙන සැලසුම් සකසා තිබෙනවා. අප සියලූදෙනාම එක්ව පිහිටවූ ජාතික ආණ්ඩුව යටතේ එකට හිතන මොහොතක මහනගර සංවර්ධන වැඩකටයුත්ත කිරීමට නම් වෙනම අමාත්‍යංශයක් පිහිටුවිය යුතු බව සාකච්ඡා කොට තීරණයකට එළඹුණා. මා ඇතුළු ඒ කාරණයට උනන්දු බොහෝ දෙනෙකු ඊට එකඟවුණා. ඒ කැපවීම නොකළහොත් මේ වැඩ කටයුතු සාර්ථකව සිදු කරන්නට බැහැ.

අපට ඉදිරියේදී කිරීමට වැඩකටයුතු රාශියක් තිබෙනවා. මහනගරය ඉදිකිරීම දුෂ්කර කාර්යයක් බව කිව යුතුයි. චම්පික රණවක ඇමැතිතුමාට එම වැඩකටයුත්ත භාර දී තිබෙනවා. ඔහු ඒ සඳහා දක්‍ෂ පුද්ගලයෙක්. ලංකාවේ ඉංජිනේරුවෙක්. ඒ අනුව අපට ඉදිරියට ගමන් කිරීමට ශක්තිය තිබෙනවා. එතුමාත්, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාත් මේ වැඩකටයුත්ත භාරගෙන මේ වන විට මූලික කරුණු අවසන් කර තිබෙනවා.
අප මහනගරයක් ඉදිකළ යුත්තේ ඇයි? වත්මන් ලෝකයේ ආර්ථික දියුණුව රදා පවතින්නේ මහනගර තුළයි. ඇමරිකාවේ ආර්ථිකය දෙස බලන්න. නිව්යෝක් නගරය, චිකාගෝ නගරය, හූස්ටන් නගරය සහ ලොස් ඇන්ජලීස් නගර ඇමරිකා ආර්ථිකය සඳහා විශාල පිටුබලයක් ලබාදෙනවා. සමස්ථ එංගලන්තයේම දියුණුව ගෙන යන්නේ ලන්ඩන් නගරයෙනුයි.

ප්‍රංශයේ දියුණුව නගර දෙක තුනක් මත රදාපවතිනවා. ලෝකයේ දියුණු රටවල් සැකසී ඇත්තේ ඒ ආකාරයටයි. චීනයේ දියුණුව පිළිබඳව සලකා බැලූවහොත් ඩෙන් ෂොන්පිං මැතිතුමන්ගේ ප්‍රතිසංස්කරණවලින් අනතුරුව ෂැන්හයි නගරය, බීජිං නගරය ආදී නගර තුන හතරකින් ආරම්භය සිදු වුණා. අනතුරුව තවත් නගර බිහි කොට සියලූම නගර ඒකාබද්ධ කළා. අවසානයේ කැන්ටන් නගරය, ෂෙන්චන්ග් නගරය, හොංකොං නගරය, මැකාවෝ නගරය එකතු කොට ෆර්ල් රිවර් ඩෙල්ටා ලෙස නම් කළා. ෂැන්හායි නගරයේ එක් පසක පූ‍දොං යනුවෙන් කලාපයක් ඇති කළා. ඔවුන් රට පුරා දියුණුව ඇති කළේ මේ නගර කේන්ද්‍ර කර ගනිමිනුයි. අද මුළු ලෝකයේම දියුණුව රදාපවතින්නේ නාගරීකරණය නිසයි. බස්නාහිර පළාත මහනගරයක් ලෙස සංවර්ධනය කිරීමට අප තීරණය කළේ එම හේතුව නිසයි.
හොංකොං නගරය, ෂැන්හයි නගරය වැනි භූමි ප්‍රමාණයක් සහිත ඉඩක ශ්‍රී ලංකාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය පිහිටුවීම අපගේ අරමුණයි. එවිට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය තවත් වැඩිවනු ඇති. විදේශිකයින් ශීඝ්‍ර වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන මහනගරයක අවශ්‍යතාවය වැඩි වැඩියෙන් අපට දැනෙන්නට පටන් ගෙන තිබෙනවා.
දකුණු ඉන්දියාව ගතහොත් රිවේන්ද්‍රම්, බැංගලෝර්, හයිද්‍රාබාද්, චෙන්නායි, අමරාවති ආදී විශාල නගර තිබෙනවා. එම නගරවල සාමාන්‍යයෙන් කෝටියක පමණ ජනගහණයක් සිටිනවා. නමුත් අපගේ කොළඹ නගරයේ ජනගහණය කොපමණද?

බංගලාදේශයේ ඩකා නගරය, කල්කටා නගරය ආදී විශාල නගර තිබෙනවා. ඒ අයුරින් සුවිසල් නගරයක් ශ්‍රී ලාංකික අපත් බිහි කර ගත යුතුයි. එවිට ඉන්දියන් සාගරයට යම් බලපෑමක් කරන්න අපටත් අවස්ථාවක් ලැබෙනවා. මෙම මහනගර සංවර්ධන වැඩසටහන අප ආරම්භ කර තිබෙන්නේ මෙම අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහායි. ඇතැම්විට මෙම නගරය ශ්‍රී ලංකාවේ දියුණුම කොටස බවට පත් විය හැකියි. එම නිසා ශීඝ්‍ර සංවර්ධනය මෙරටට ළඟා කර ගැනීම ඉතා පහසු වනවා. ඊළඟ දසක දෙක තුනට අවශ්‍ය තාක්‍ෂණය සමග අප ඉන්දියන් සාගරය මැද විශාලතම නගරය බිහි කරනවා. එම මහනගරය බිහිවන්නේ සිංගප්පූරුව සහ ඩුබායි නගර අතරමැදයි. නගර බිහිකිරීම පාඨලී චම්පික රණවක ඇමැතිතුමාට භාරයි. එවිට සෙසු අයට සේවා සැපයීමේ පහසුකම් සැලසෙනවා. අප ඉදිකරන මහනගරයේ ලෝකය සමග තරග කළ හැකි ආර්ථිකයක් බිහි කළ යුතුයි. අප මේ මහනගරය ඇරඹුවේ ඒ අදහස ඉටුකර ගැනීම නිසයි.
බස්නාහිර මහනගරයට අමතරව ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවලටත් සංවර්ධනය ගෙන යනවා. ජපන් ආධාර ඇතිව මහනුවර නගරය පේරාදෙණියේ සිට කුණ්ඩසාලය දක්වා විශාල නගරයක් බවට පත් කරනවා. මහනුවර කොළඹ එක්කිරීම සඳහා මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කර තිබෙනවා. ඒ මගින් කුරුණෑගල ශීඝ්‍ර දියුණුවක් ලබනවා. සමහර කර්මාන්ත වයඹ කුලියාපිටිය ප්‍රදේශයේ ඉදිකරනවා. එමෙන්ම ඒ ප්‍රදේශයට සංචාරක ව්‍යාපාරයත් ගෙන යනවා. එවිට මෙම ප්‍රදේශයේ තිබෙන ආර්ථික දියුණුව වයඹ පළාතටත් ගමන් කරනවා.

දකුණ සංවර්ධන වැඩසටහන යටතේ ගාල්ල සහ මාතර සංවර්ධනය කිරීමට අප සැලසුම් කළා. සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය සහ සෙසු සේවා අංශ දියුණු කිරීම අපගේ සැලසුම්වලට ඇතුළත් වනවා. හම්බන්තොට සම්බන්ධයෙන් එක් ප්‍රශ්නයක් තිබුණා. එම ප්‍රදේශය සංවර්ධනයට කළ යුත්තේ කුමක් දැයි අප කල්පනා කළා. ණය ගෙවා ගන්න බැරි වරායක් එහි තිබෙනවා. එමෙන්ම ණය ගෙවාගන්න බැරි ගුවන් තොටුපළක් ද තිබෙනවා. අප මේ පිළිබඳව චීන ආණ්ඩුව සමග සාකච්ඡා කළා. ලංකාව සහ චීන සමාගම සමග ඒකාබද්ධව හම්බන්තොට වරාය බදුදීමට අප තීරණය කළා. තවත් සමාගමකට මත්තල ගුවන් තොටුපොළ බදුදීමට තීරණය කළා. මේ නිසා අපට ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදලක් විදේශ විනිමය ලෙස ලැබෙනවා. මේ තීරණය ගැනීම නිසා අපට ඉහත ආයතන සඳහා ණය ගෙවීමෙන් බේරෙන්නට හැකි වුණා.

හම්බන්තොට ප්‍රදේශයත් විශාල නගරයක් ලෙස දියුණුවීමට නියමිතයි. එහි විශාල කර්මාන්තකරණයක් සිදු වෙනවා. මේ සියලූම සංවර්ධන ව්‍යාපෘති දෙස බැලූවිට සංවර්ධන කොරිඩෝවක් ආකාරයට ශ්‍රී ලංකාව දියුණු වන ආකාරය දැකගත හැකියි. මහනුවර සිට කොළඹ, හම්බන්තොට, වැල්ලවාය දක්වා එම දියුණුව ගමන් කරනවා. විශාලතම දියුණුව ඇති වන්නේ එම සංවර්ධන තීරුව පදනම් කරගෙනයි. ඒ වැඩකටයුත්ත සිදු කිරීමට නම් අපේ ආර්ථිකය වෙනස් විය යුතුයි. නව සංචාරක ව්‍යාපාර ඇති විය යුතුයි. නව කර්මාන්ත, ඩිජිටල් ව්‍යාපාර සියල්ලෙහිම දියුණුවක් ලැබිය යුතුයි. වසර 20 ක් ඇතුළත මේ දියුණුව ශ්‍රී ලංකාවේ ඇති කිරීම අපගේ අරමුණයි. අපට ඒ සඳහා අවස්ථාව ලැබී තිබෙනවා. අප නොසිතූ ආකාරයකට ඉදිරියේදී මේ දියුණුව අත්කර ගැනීමට හැකි වේවි.

මේ වැඩකටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා අප සියලූම පක්‍ෂ ඒකරාශී කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා. අඩු ගණනේ මුල් වසර පහේදීවත් පක්‍ෂය කුමක් දැයි පිටුපස හැරී බැලිය යුතු වන්නේ නැහැ. අප තීරණ ගන්නවා. ක්‍රියාත්මක කරනවා. සියලූදෙනා සමගම සාකච්ඡා කළ යුතු නිසා තීරණ ගැනීමට කල්ගත විය හැකියි. පාර්ලිමේන්තුවේ එකඟතාවලට පැමිණි පසු අප වැඩ ඇරඹිය යුතුව තිබෙනවා.

අපට ස්වර්ණමය අවස්ථාවක් ලැබී තිබෙනවා. තවදුරටත් අප දුප්පත් රටක් ලෙස ජීවත් විය යුතු නැහැ. වෙනත් රටවල් අප පසුකරගෙන යනතුරු බලාගෙන සිටිය යුතු නැහැ. මුල් වසර 5 ඇතුළත අප සංවර්ධනයේ අඩිතාලම දමනවා නම් ඉන්පසුව අපට බය නැතිව ඉදිරියට යාමට හැකියාව ලැබෙනවා. ඔබටත් ඔබේ දරුවන්ටත් ශ්‍රී ලංකාවේ සතුටින් ජීවත් වීමට හැකි අනාගතයක් උදා වෙනවා. අප සියලූදෙනා එකතු විය යුත්තේ ඒ වැඩකටයුත්ත ඉටුකර ගැනීම සඳහායි. ඒ සඳහා බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යංශයට විශාල වැඩකටයුත්තක් පැවරී තිබෙනවා. මහනගර වැඩපිළිවෙළ සාර්ථක නොවූවහොත් වෙනත් කිසිවක් සාර්ථක වන්නේ නැහැ. ඉදිරියේදී සාර්ථක වන්නේ ඔබේ අනාගතයයි. ඔබේ දරුවන්ගේ අනාගතයයි.

අප මහවැලි ව්‍යාපාරය සැදූ අයුරින් නිවාස ඉදිකළ අයුරින් ශ්‍රී ජයවර්ධනපුර අගනුවර බිහිකළ අයුරින් මේ වැඩකටයුත්තත් සාර්ථක කරගනිමු. දියුණුව ඉදිරියට ගෙන යමු. මෙය දැවැන්ත කාර්යභාරයක් ලංකාවේ සිදුවන දෙවන අවස්ථාවයි. අනුරාධපුරය යුගය යනු අපගේ ස්වර්ණමය යුගයයි. එකළ මාතොට යනුවෙන් විශාල තොටුපොළක් තිබුණා. ගෝකන්න යනුවෙන් තවත් තොටුපොළක් තිබුණා. එහි මැද මහනගරයක් තිබුණා. එකළ එක් මෝසමකින් ශ්‍රී ලංකාවට පැමිණෙන නැව් නැවත ගියේ අනෙක් මෝසමේදීයි. එලෙස එන විදේශිකයින්ට කාලය ගත කිරීමට ස්ථාන අවශ්‍ය වුණා. එම ස්ථානය වූයේ අනුරාධපුරයයි. එදා මන්නාරමේ සිට ත්‍රීකුණාමලය දක්වා දියුණු සංවර්ධන කොරිඩෝවක් එකළත් තිබුණා.

වර්තමානයේ අප ලෝක ආර්ථිකය දෙස බලා ලෝකයේ ඉල්ලූම දෙස බලා එම සංවර්ධන කොරිඩෝව මහනුවර සිට හම්බන්තොට දක්වා ඇති කරනවා. එම සංවර්ධන කොරිඩෝවේ කේන්ද්‍රය වන්නේ බස්නාහිර මහනගරයයි. එහි වැඩකටයුතු ආරම්භ කොට සාර්ථක කර ගැනීම සඳහා ඔබ සියලූදෙනාගේම සහය අපේක්‍ෂා කරනවා. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4509443035287952596

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item