අලූත් ව්‍යවස්ථාව ගැන ජනමත විචාරනයකට හෙල උරුමයේ නොසතුට
ජාතික හෙළ උරුමය මහින්ද රාජපක්ෂ රජයෙන් ඉවත්වී වසර දෙකක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ...
http://www.sathhanda.com/2016/11/blog-post_766.html
ජාතික හෙළ උරුමය මහින්ද රාජපක්ෂ රජයෙන් ඉවත්වී වසර දෙකක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි.
ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය චම්පික රණවක, සමසභාපති නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, මහනුවර දිස්ත්‍රික් සංවිධායක තුෂාර ස්වර්ණතිලක යන අය එම අවස්ථාවට සහභාගීවූහ.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය චම්පික රණවක මැතිතුමා විසින් “අද දිනට (2016-11-18) ජාතික හෙළ උරුමය මහින්ද රාජපක්ෂ රජයෙන් ඉවත්වී වසර දෙකක් සම්පූර්ණ වන බවත් අද වැනි දිනක ජාතික හෙළ උරුමය විසින් ගනු ලැබූ එම අභියෝගාත්මක තීරණය මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට ප්‍රබල හේතුවක් වූ බවත්” අවධාරණය කර සිටින ලදි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය චම්පික රණවක-
පසුගිය 2014 දී අප විසින් මහරගම තරුණසේවා සභාවේදී පැවැත්වූ අපේ පක්ෂයේ මහසමුළුවෙන් පසුව එනම් 2014 ඔක්තොම්බර් 21 වැනිදා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකර ගැනීම සඳහාත් දූෂණයට තිත තැබීම සඳහාත් යෝජනා 35 කින් සමන්විත යෝජනාවලියක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අප විසින් ඉදිරිපත් කළා. ඉන් අනතුරුව ජනාධිපතිවරණයක් පැවැත්වෙන නිසා එතුමාට එම යෝජනා සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත නොහැකි බව 2015 නොවැම්බර් මාසේ 15 වන දින අපවෙත දන්වා එවන්නට මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කටයුතු කර තිබුනා. එතුමා ඒ තීරණය අපට දැනුම්දුන්නේ සාකච්ඡා වට ගණනාවකින් පස්සේ කියන එකත් අප මෙහිදී සිහිපත් කළ යුතුයි.
ඒ අනුව අපි ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කළා. ඒ සමඟම වෙනත් ආණ්ඩුවක් සහ වෙනත් ජනාධිපති කෙනෙක් බලයට පත්කරගෙන අප විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ඉදිරිපත්කළ ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධන සිදුකරගැනීමට කටයුතු කරන බව අපි රටටම ප්‍රකාශ කර සිටියා. ඇත්තටම මහින්ද රාජපක්ෂ මහතා පැරදුනේ ජාතික හෙළ උරුමය ඒ ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කළ දවසේයි.
ඒ සම්බන්ධයෙන් අපි ඉතාම ආඩම්බර වෙනවා. මොකද ජනමාධ්‍ය, සල්ලි හෝ සල්ලිවලට ගත් මහජන රැලිවලට ජනතාව අතර අප්‍රසාදයට පත් පාලකයෙක් හෝ පාලක කල්ලියක් රැකගන්න බැහැ කියන එක ඒ ජනාධිපතිවරණයේදී ඔප්පුකරන්න අපට හැකියාව ලැබුනා. ඒ ජනවරම, 2015 ජනවාරි මාසේ 08 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලබාපු ජනවරම අප තවදුරටත් ඒවගේම ඉදිරියටත් ආරක්ෂා කරන බවත් ජනවරමට ඡන්දය ලබාදුන් ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකිරීමටත් ක්‍රියාකරන බව මෙහිදී ප්‍රකාශ කළ යුතුයි.
ඒ වගේම ඒ ජනපතිවරණයේ විජයග්‍රහණයෙන් පසුව තවත් වැදගත් දේශපාලනික ජයග්‍රහණ ගණනාවක්ම අපට දිනාගත හැකිවුනා. ඉන් පළමු ජයග්‍රහණය තමයි ජනාධිපතිධූරයේ අත්තනෝමතික බලතල අහෝසි කරලා ඒ ධුරය ප්‍රජාතන්ත්‍රකරණය කිරීමට හැකිවීමයි. අද ජනාධිපතිවරයාට තමන්ගේ ඕනෑ එපාකම්වලට අනුව ඇමතිවරු පත්කරන්නවත් රාජ්‍ය සේවයට නිළධාරීන් පත්කරන්නවත් එසේත් නැත්නම් අධිකරණයට තමන්ට පක්ෂ පුද්ගලයින් පත්කරන්නවත් බැහැ. ඒ වගේම තමන්ට කැමති විදියට පාර්ලිමේන්තුව විසිරවීමට හෝ අධිකරණය පාලනය කරන්නත් බැහැ. මේ වනවිට ස්වාධීන මැතිවරණ කොමිසම ඇතුළු කොමිෂන් සභා පත්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අධිකරණය ස්වාධීන වෙලා තිබෙනවා. ඒ වගේ වැදගත් දේශපාලන ජයග්‍රහණයන් කිහිපයක් ලැබුවත් අප විසින් ආරම්භ කරන ලද ඒ ක්‍රියාදාමය තවමත් සමාප්තවී නොමැතිබව මෙහිදී සිහිපත් කළයුතුයි.
පසුගිය ජනපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් මහමැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණටත් බලය ලැබීමට ප්‍රධාන හේතුවක් වුනේ පහුගිය පාලන සමයේදී මේ රටේ ඉහවහා ගිය දූෂණය පිළිබඳ ගැටලුවයි. මේ රටේ ජනතාවට මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය සාධන පිළිබඳව එහෙමත් නැත්නම් සංවර්ධනය ක්‍රියාදාමය පිළිබඳව ජනතාව තුළ විවාදයක් තිබුනේ නැහැ. ඔහුගේ කාලයේ විශාල යටිතල පහසුකම් ප්‍රමාණයක් ඉදිවුනා. හැබැයි ඒ සංවර්ධනයේ විශාල අසංතුලිතකමක් තිබුනා කියන එක ඉතා පැහැදිලියි. උදාහරණයක් ලෙස පහුගිය 2004-2014 වසර 10තුළ හම්බන්තොටට සමස්ත රාජ්‍ය ආයෝනවලින් 30%ක් යොදවද්දි ප්‍රධානම පරිපාලන දිස්ත්‍රික්කය වන කොළඹට 3%ක්වත් වෙන්කලේ නැහැ.
එහෙත් එහිදී කිසිවෙකු රාජපක්ෂ මහතාගේ කාර්ය සාධනය පිළිබඳ ප්‍රශ්න කලේ නැහැ. නමුත් ජනතාවට ප්‍රශ්නයක් වුනේ ඒ මහා සංවර්ධනය පිටු පස්සේ සමාන්‍ය ප්‍රමාණයේ දූෂණයක් නොව මහා ජාතික මංකොල්ලයක් සිදුවන බවට ප්‍රකාශවීම හා ඒ පිළිබඳව සාක්ෂි ඉදිරිපත්වීමයි. එහිදී දූෂණයට එරෙහිව ප්‍රබලම පෙනීසිටියේ අපයි. නමුත් ඒ දූෂණය පිළිබඳව ජනතාවගේ අභිලාෂයන් තවම ඉෂ්ඨ වෙලා නැති බවත් අතීත දූෂණකයන්ට දඩුවම්දීම පිළිබඳව ජනතා අභිලාෂය ඉෂ්ඨ කරන්න මේ ආණ්ඩුව සමත්වී නැතිබවත් මෙහිදී ප්‍රකාශ කළ යුතුයි. ඒ නිසා මේ අරගලය අප ඉදිරියටත් පවත්වාගෙන යනබව වැඩිදුරටත් අවධාරණය කළයුතුයි.
ජනතාව වැඩිමනක් බලාපොරොත්තුවුනේ අතීත වැරදි වලට දඩුවම් දීමට වඩා මේ ආණ්ඩුව වැරදි නොකර ඉදියි කියන එකයි. පෙර කණ්ඩායම මෙන් මේ ආණ්ඩුව දූෂණ වලට යටත් නොවෙයි කියලයි. නමුත් ඒ පිළිබඳවත් ජනතාවට විශාල සැකසංකා ඇතිවෙලා තිබෙනවා. බැදුම්කර සිද්ධිය වගේ සිදුවීම් ඒ සැකසංකා වලට හේතුවෙලා තිබෙන බවත් මෙහිදී අවධාරණය කළයුතුයි. ඒ නිසා වහාම ඒ තත්වය නිවැරදි කරලා ජනතාවගේ සැකසංකා දුරු කිරීමට කටයුතු කළයුතුයි. ලෝකය පුරාම දුෂණයට එරෙහිව අළුත් හඬක් මතුවෙමින් පවතිනවා. ඒ නිසා අපේ රටේත් සිදුවු දූෂණයන් සම්බන්ධයෙන් ඍජු සහ දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළයුතු යැයි අප මෙහිදී යෝජනා කර සිටිනවා.
ඒ වගේම අපි අතිගරු ජනාධිපතිතුමාගෙනුත් ගරු අග්‍රාමාත්‍යතුමාගෙනුත් ඉල්ලා සිටින්නේ සියලුම ජනතාවගේ ප්‍රර්ථනාව හා අවශ්‍යතාව මත බැඳුම්කර සිද්ධිය ඇතුළුව විශේෂ චෝදනා සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් පිහිටුවා හෝ පවතින අධිකරණයක් තුළ විශේෂ ක්‍රියාදාමයක් අනුගමනය කර සියලු වැරදිකරුවන්ට කඩිනමින් දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම දූෂණය පිළිබඳ කොමිසමේ බලතල පාර්ලිමේන්තු පනතක් මඟින් පුළුල්කර අනාගතයේ මෙවැනි දූෂණ සිදු නොකිරීමට රජය විසින් කටයුතු කරන්න අවශ්‍යයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම සඳහාවූ පාර්ලිමේන්තු අනුකමිටු 06හි වාර්තා කියන්නේ ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ මෙහෙයුම් කමිටුවේ වාර්තා නොවෙයි. මේවා හුදෙක් ඒ අනුකමිටුවල වාර්තා පමණයි. ඒ සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීම පාර්ලිමේන්තුව විසින් ඉදිරි කාලයේදී සිදු කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ යෝජනාවන් මේ වනවිටත් පාර්ලිමේන්තුවේ මෙහෙයුම් කමිටුව වෙත ඉදිරිපත් කරලා තිබෙනවා.
එම යෝජනා මඟින් නව ව්‍යවස්ථා සම්පාදනයේදී හෝ මේ තිබෙන ව්‍යවස්ථාව සංශෝධනයේදී අවධානය යොමුකළ යුතු කරුණු දෙකක් පිළිබඳව අපි අවධාරණය කර සිටියා. රාජ්‍යයේ ස්ථාවරත්වය ආරක්ෂා කළයුතුයි යන්න ඉන් පළමු වැන්නයි. ආරක්ෂක, ආර්ථික, දේශපාලනික, පාරිසරික වශයෙන් හෝ වෙනත් කිසියම් ආකාරයකින් රාජ්‍යයේ ස්ථාවරභාවයට බාධාවන් සිදුවන ආකාරයේ කිසිඳු ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකළ යුතුයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ පුළුල්වීමක් ද සිදුවිය යුතුයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩකඩ ලබාදිය යුත්තේත් රාජ්‍ය ස්ථාවරත්වය රැකෙන පරිද්දෙනුයි. මේ අන්ත දෙකම සමතුලිතතාවයකට පත්කරන ව්‍යවස්ථාවක් නිර්මාණය වියයුතුයි යන්න අපේ ස්ථාවරයයි.
ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අපගේ දෙවන යෝජනාව වන්නේ නව ව්‍යවස්ථා සංශෝධනය මහා සම්මුතියකින් ඉදිරිපත් වියයුතුය යන්නයි. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතැම් පුද්ගලයින්ගේ සහ ඇතැම් කණ්ඩායම්වල අවශ්‍යතා මත නොව මහා සම්මුතියකින් යුතුව ඉදිරිපත් වන්නක් වියයුතු බවට අප තරයේ අවධාරණය කරසිටිනවා. අතීතයේ අපේ හැදුව ව්‍යවස්ථාදෙකම 2/3 බලයකින් එකපක්ෂයක් විසින් තම අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් නිර්මාණය කරගන්නා ලද ඒවායිත 1972 ව්‍යවස්ථාව සිරිමාවෝ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී.ල.නි.පය විසින් ඒක පාර්ශිකව සම්මත කරගන්නා ලද එකක් වුනා.
ඒ වගේම 1978 දී ජයවර්ධන ජනාධිපතිතුමා විසින් එ.ජාප.යට ගැලපෙන ආකාරයේ ව්‍යවස්ථාවක් සම්මත කරගත්තා. ඒ එක ව්‍යවස්ථාවක්වත් ජනමත විචාරණයක් සඳහා ඉදිරිපත් කළ ඒවා නොවූ බවත් මෙහිදී විශේෂයෙන් සිහිපත් කළයුතුයි. ඒ නිසා මෙවර ඉදිරිපත්වන ව්‍යවස්ථාව පෙර ඒවා ලෙස ඉදිරිපත් නොකර මහා සම්මුතියකින් ඉදිරිපත් කරන්න කියලා අප ඉල්ලා සිටිනවා.
ජනමත විචාරණයකදී ජනතාව කටයුතු කරන්නේ ජනමත විචාරණයේ දී ඉදිරිපත් වන අරමුණු සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට නොව ඒ මොහොතේ ජනතාව උන්දුවන වෙනත් දේශපාලන කරුණු සම්බන්ධයෙන් මතය ඵලකිරීමට බව මේ වකවානුවේ දී බ්‍රිතාන්‍ය ඇතුළු ලෝකයේ රටවල් කිහිපයකම පැවති ජනමත විචාරණ වලින් ඔප්පු වෙලා තිබෙනවා. ඒ නිසා හදිසි ජනමත විචාරණයකට යොමුවෙලා මේ තියෙන සංහිදියාවත් දේශපාලන ස්ථාවර භාවය හා ආර්ථික සමෘද්ධිය බිල්ලට නොදිය යුතු බව අප මෙහිදී අවධාරණය කරනවා.
ඒ වගේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ රාජ්‍යයේ ඒකීය භාවය සම්බන්ධයෙන් හෝ ආගම ගැන කියවෙන වන 09 වන වගන්තිය කිසිම ආකාරයකින් වෙනස් නොවිය යුතුයි කියන එක අප නැවත නැවතත් අවධාරණය කර සිටිනවා. මේ 09 වන වගන්තිය පදානුගත අර්ථයෙන් ගත්කළ හුදු නාමික ව්‍යවස්ථා සැරසිල්ලක් ලෙස හඳුනාගත හැකිවුවත් ඓතිහාසිකව ගත්කළ බුද්ධාගම මේ රටේ සංස්කෘතිය හා රාජ්‍යය තුළ හිමිකර ගෙන තිබෙන තත්වය සැලකිල්ලට ගෙන දැනට පවතින ආකාරයෙන්ම 09 වන වගන්තිය ඉදිරියටත් පැවතිය යුතු බව අපගේ ස්ථාවරයයි.
ඒ වගේම විධායක ජනාධිපතිධූරය අහෝසිකිරීම සම්බන්ධයෙනුත් මේ වනවිට සාකච්ඡා වෙමින් පවතිනවා. ඇත්තටම අපේ රටේ අද තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රකරණය වූ ජනාධිපතිධූරයක් මිස විධායක ජනාධිපතිධුරයක් නොවෙයි. ඒ නිසා විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම නැමති සටන් පාඨය තුළ අප නැහැ. යම් හෙයකින් ජනාධිපති ක්‍රමය අහෝසිකර පරණ කැබිනට් ක්‍රමයකට යනවානම් ඊට සමගාමීව ඡන්ද ක්‍රමයේත් බලගතු වෙනසක් සිදුවිය යුතු බව ජාතික හෙළ උරුමයේ අදහස වන බවත් මෙහිදී සිහිපත් කළයුතුයි.
මේ අතරතුර බලය බෙදීම සම්බන්ධයෙනුත් යළිත් සාකච්ඡාවක් ඇරඹිලා තිබෙනවා. එහිදී මධ්‍යම ආණ්ඩුව, පළාත් සභා හා ප්‍රාදේශීය සභා වශයෙන් තල තුනකට බලය බෙදිය යුතු බවට සමහරු අදහස් ප්‍රකාශ කරනවා. නමුත් මධ්‍යම රජය හා ප්‍රාදේශීය සභා මට්ටමින් වශයෙන් තල දෙකකට පමණක් බලය බෙදීම ප්‍රායෝගික බව යුතු අපගේ අදහසයි. ඒ වගේම දෙමළ හා මුස්ලිම් ජන කණ්ඩායම් විසින් තම සංස්කෘතික අනන්‍යතාවයන් හා අනෙකුත් දේවල් පවත්වාගෙන යාම සඳහා ජාතික මට්ටමෙන් යම් ඉඩකඩක් සැලසැය යුතුයි. ඒ වගේම ඒ අයට තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගත හැකි වන්නේත් ප්‍රාදේශීය සභා මට්ටමේදී පමණයි. අද තිබෙන පළාත් සභාව කියන්නේ මේ දෙක මැද්දෙන් ආ ක්‍රියාවලියකටයි.
ඊට අමතරව පළාත් සභාවල ආණ්ඩුකාරවරුන්ගේ බලය ඉවත්කර මහඇමතිවරයාට පැවරිය යුතු බවටත් අදහස් ඉදිරිපත් වෙලා තිබෙනවා අප දුටුවා. නමුත් 1988 දී පළාත් සභා ඇරඹුනු දවසේ පටන් අද දක්වා ලංකාවේ කිසිම ආණ්ඩුකාරවරයෙක් මහජන මතයට විරුද්ධව කටයුතු කරලා නැහැ. ඒ නිසා එලෙස ආණ්ඩුකාරයාගේ බලය ඉවත් කිරීම මේ අවස්ථාවේ සාකච්ඡා කළ නොකළයුතු දෙයක් ලෙස අප විශ්වාස කරනවා.
යම් හෙයකින් 13 වන සංශෝධනයේ සඳහන් සමගාමී ලැයිස්තුවේ බලතල වෙන්කිරීමට අවශ්‍ය නම් බොහොම ප්‍රවේශමෙන් කළයුතු දෙයක්. පළාත් සභාවන් තවදුරටත් ශක්තිමත් වන ආකාරයට සමගාමී ලැයිස්තුවේ බලතල වෙන්කිරීමෙන් රටට ප්‍රයෝජනයක් වන්නේත් නැහැ. ඉඩම්, ජලය, නීතිය හා සාමය වැනි විෂයන් ඒ ඒ පළාත්වල අවශ්‍යතා සැලකිල්ලටගෙන යම් මධ්‍යමික සැලසුමකට අනුව මධ්‍යම ආණ්ඩුව විසින් ක්‍රියාත්මක බලයන් වනවා. පළාත් පොලිසි පිහිටවිය යුතු නැහැ. නමුත් ඒ ඒ පළාත්වල භාෂාවන් උදාහරණයක් ලෙස උතුරේ පොලිසි වලට දෙමළ කථාකළ හැකි පොලිස් නිළධාරීන් බඳවා ගැනීම සිදුකළ යුතුයි. ඊට අමතරව අද කිසිම සිංහල මිනිහෙක් අඹන්ගගෙන් ඉරණමඩුවට ජලය දෙනවට, කන්තලේ වැවෙන් තිරිකුණාමලයේ දෙමළ මිනිසුන්ට ජලය දෙනවටවත් විරුද්ධවෙලා නැහැ. ඒ නිසා අද සමහරු කථාකරන අනවශ්‍ය ජලකොමිසම් පත් කිරීමේ අවශ්‍යතාවයක් රටතුළ මතුව ඇත්තේ නෑ.
ඒ වගේම ප්‍රාදේශීය සභා මට්ටමින්, ග්‍රාමරාජ්‍ය මට්ටමින් යම් යම් සංවර්ධන කටයුතු වලට මැදිහත්වීම් ඒ ප්‍රාදේශීය ඒකක වලට බලය ලබාදිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මේ සියලු කාරණා ඇතුලත් කරලා ව්‍යවස්ථා සංශෝධනයට අදාල විශේෂ යෝජනාවලියක් අප විසින් පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරලා තිබෙනවා. අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා වගේම එය යථාර්තයක් කරගැනීමට කැපවී සිටිනවා.
අවසාන වශයෙන් අද මහජනයාගේ දැවෙන අවශ්‍යතාව මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි. අද වනවිට ඒ සඳහා යම් එකඟතාවයක් ඇතිවෙලා තිබෙනවා. 20 වන සංශෝධනයෙන් ඉදිරිපත්වී ඇති යෝජනාව ඉදිරියට ගෙනයාම වහාම හා නොපමාව සිදුකළ යුතුයි. නොකෙරෙන වැඩ ගැන සාකච්ඡා කරලා කාලය නාස්ති කරලා චනතාව තුළ බලාපොරොත්තු ඇතිකරනවාට වඩා කෙරෙන වැඩක් සිදුකිරීම සැමගේ වගකීම බවත් මෙහිදී අවධාරණය කළ යුතුයි.
මාධ්‍ය ඒකකය,
ජාතික හෙළ උරුමය
Related