විල්පත්තුව ගැන ජනපතිගේ තීන්දුව ගණන් නොගෙන ඇමති රිෂාඩ් වැඩ?

විල්පත්තු අභයභූමිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෙන තිබෙන දැඩි තීන්දුව යුද්ධයෙන් විපතට පත් මුස්ලිම් හා සිංහල ජනතාව එහි යළි පදිංචි කරවීමට කිසිදු...

විල්පත්තු අභයභූමිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෙන තිබෙන දැඩි තීන්දුව යුද්ධයෙන් විපතට පත් මුස්ලිම් හා සිංහල ජනතාව එහි යළි පදිංචි කරවීමට කිසිදු බාධාවක් වී නැතැයි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා පවසයි.

විල්පත්තු අභයභූමිය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටළු පිළිබදව අමාත්‍යවරයාගෙන් තොරතුරු විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ විල්පත්තු රක්ෂිතය විනාශ කොට නොමැති බව ජනාධිපතිවරයාද පිළිගෙන ඇති බවයි.

විවිධ පිරිස් හා ජනමාධ්‍ය තමන් අක්කර දාහත් දහසක් එළිකොට මුස්ලිම් ජනතාව පදිංචි කොට ඇති බව පැවසුවද, යුද්ධයෙන් විපතට පත්වූ මන්නාරම දිස්ත්‍රික්කයේ මුස්ලිම් හා සිංහල පවුල් යළි පදිංචිව සිටින්නේ ඔවුන්ගේ ඉඩම්වල බවද රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයා කියා සිටියේය.

ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ඇති නීති රීති කිසිවක් තමන් උල්ලංඝනය කොට නැති බවත් මන්නාරම් දිසාපතිවරයා සිංහල බෞද්ධ පුද්ගලයෙකු බැවින් බලහත්කාරයෙන් මුස්ලිම් පවුල් එම දිස්ත්‍රික්කය තුළ පදිංචි කිරීමට එතුමාගෙන් ඉඩක් ලැබෙන බව කවරෙකුටවත් විශ්වාස කළ නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

බොහෝ පිරිස් විලපත්තු ලෙස සමස්ත භූමියම හදුන්වනු ලැබුවත්, ඊට මන්නාරම දිස්ත්‍රික්කයේ විශාල ප්‍රදේශයක් අයත් වන බවත් මුස්ලිම් හා සිංහල ජනතාව යළි පදිංචි වී සිටින්නේ අභය භූමියට අයත් නොවන එම ප්‍රදේශයේ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

යුද සමයේදී මන්නාරම දිස්ත්‍රික්කයෙන් එල්.ටී.ටී.ඊ.ය විසින් පලවා හරින ලද සිංහල හා මුස්ලිම් පවුල් එම පළාතේම යළි පදිංචි නොවී වෙන කුමන පළාතක පදිංචි වන්නේදැයි ප්‍රශ්න කරන අමාත්‍යවරයා දේශපාලන හා වෙනත් ජාතිවාදී ආකල්ප හා වාසි මත ගෙන යන මෙම ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද සදහන් කළේය.

ජනාධිපතිවරයා විල්පත්තු අභය භූමිය සම්බන්ධයෙන් ගන්නා ලද දැඩි තීන්දුව නිසා තමන් රජය අතහැර අමාත්‍ය ධූරයෙන්ද ඉවත් වන බවට ජනමාධ්‍ය විසින් තවත් අසත්‍ය ප්‍රචාරයක් ගෙන යන නමුත් මේ යහපාලන රජය නිර්මාණය කිරීමට තමන් හා තම පක්ෂය ජීවිත අවදානම පවා නොතකා ගත් උත්සාහය සිහිපත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ අසීරුවෙන් නිර්මාණය කරගත් රජය අතහැර යාමට කිසිදු අවශ්‍යතාවයක් හෝ ගැටළුවක් පැන නැගී නොමැති බවයි.

විල්පත්තුව ගැන ජනපතිගෙන් දැඩි තීන්දුවක් 

කෙසේ වෙතත් විල්පත්තුව අභය භූමියට අයත් වන ප‍්‍රදේශය තවදුරටත් පුළුල් කරමින් දැනට වනජීවි දෙපාර්තමේන්තුවට අයත් නොවන ඒ ආශ‍්‍රිත සියලූම වන බිම් ද ඇතුළත්වන ආකාරයට වනජීවි කලාපයක් ප‍්‍රකාශයට පත් කර ගැසට් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා අදාළ අංශවලට උපදෙස් දී තිබිණි. 

එමෙන්ම විල්පත්තුව ඇතුලු සියලූ වනාන්තර නවීන තාක්ෂණය භාවිතා කරමින් ගුවනේ සිට නිරන්තරයෙන්ම නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙලක් කඩිනමින් කි‍්‍රයාවට නැංවීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

කුමන අයුරකින් හෝ සිදු කෙරෙන වනාන්තර හෙළි කිරීම්වලට අදාළව තරාතිරම නොබලා නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ වනාන්තර හෙළි කිරීම් සහ කැලෑ කැපීම්වලට එරෙහිව දැනට පවතින නීතිය තුළ ඇති දඩ මුදල හා සිර දඩුවම පූර්ණ ලෙස කි‍්‍රයාත්මක කරන ලෙස තමා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු කරන බවයි. 

මන්නාරම සහ පුත්තලම දිස්ති‍්‍රක්ක තුළ සිදුවන බව පැවසෙන වන විනාශයන් පිළිබඳ ඇතැම් පාර්ශව එල්ලකරන චෝදනා පරීක්ෂා කර වාර්තාවක් ලබාදීම සඳහා විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් යොදවන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය. 

පරිසර අමාත්‍යාංශයේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වන ජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින්, පරිසර සංවිධාන නියෝජිතයන් මෙන්ම ජනමාධ්‍යවේදින් ද මෙම නිරික්ෂණ කණ්ඩායමට ඇතුළත් විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

අවසර දුන්නේ පසුගිය රජයෙන් 

මෙහිදී නිලධාරින් ජනාධිපතිවරයා වෙත පෙන්වා දුන්නේ විල්පත්තුව අභයභූමිය තුළ කිසිදු පරිසර විනාශයක් සිදුනොවන බවයි. ඇතැම් ජනමාධ්‍ය සහ පරිසර සංවිධාන පෙන්වා දෙන සිදුවීම් විල්පත්තුව අභය භූමි කලාපයෙන් පිටත ප‍්‍රදේශවල සිදු වූ සිදුවීම් බවත් එම ප‍්‍රදේශවල නැවත පදිංචි කිරීම් කටයුතු සඳහා අවසර ලබාදී ඇත්තේ පසුගිය රජයේ පාලන සමයට අයත් 2007 වර්ෂයේ දී බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

එම ප‍්‍රදේශවල වුවද නීති විරෝධි අන්දමින් වන විනාශයන් සිදුකරනවා නම් ඊට එරෙහිව නීතිය උපරිම අන්දමින් කි‍්‍රයාත්මක කරන ලෙස මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා නැවත පදිංචි කිරීම් කටයුතු සඳහා අලූතෙන් ඉඩම් වෙන් කිරීමේදී වනාන්තර ප‍්‍රදේශවලින් දුරස් වූ ඉඩම් ඒ සඳහා යොදා ගැනීමටත්, එම ඉඩම් හඳුනා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් උපදෙස් දුන්නේය. 

මන්නාරම, මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සිදු වූ කැලෑ කැපීමකට අදාළව සිදු කළ වැටලීමකදී බැකෝ යන්ත‍්‍රයක් ඇතුලු උපකරණ කිහිපයක් ද සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට පසුගියදා කටයුතු කළ බවද නිළධාරින් පෙන්වා දුන්හ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2813598382090208125

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item