රවිරාජ් නඩු තීන්දුව - වීරයන් ද්‍රෝහියන් කිරීමේ පරාජිත මෙහෙයුම

වත්මන් යහපාලනය කරළියට ආ ඉකුත් 2015 ජනවාරි 08 වැනිදා සිදුවූ දේදුනු විප්ලවයත් සමඟ දෙන්නම් බැටේ න්‍යායෙන් අපේ රහස්‌ පොලිසිය හෙවත් සීඅයිඩීය න...

වත්මන් යහපාලනය කරළියට ආ ඉකුත් 2015 ජනවාරි 08 වැනිදා සිදුවූ දේදුනු විප්ලවයත් සමඟ දෙන්නම් බැටේ න්‍යායෙන් අපේ රහස්‌ පොලිසිය හෙවත් සීඅයිඩීය නිර්මාණය කළ රහස්‌ පරීක්‍ෂක කතා මාලාවේ එක්‌ වෘත්තාන්තයක්‌ පසුගිය 23 වැනි සිකුරාදා මධ්‍යම රාත්‍රියේදී නිමාවට පත් විය.

ඒ දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්‌ත්‍රික්‌ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නීතිපතිවරයා හරහා අධි චෝදනා ගොනු කරමින් නඩු පැවරූ නාවික හමුදා බුද්ධි අංශයේ රණවිරුවන් තිදෙනකු සහ තවත් නාමික විත්තිකරුවන් තිදෙනකු එම නඩුවෙන් නිදොස්‌ කොට නිදහස්‌ කිරීමට අධිකරණය තීන්දු කිරීමත් සමඟිනි.

විශේෂ ජූරි සභාවක්‌ ඉදිරියේදී විභාග වූ මෙම නඩුවේදී ජූරියේ ඒකමතික තීරණයකට අනුව කොළඹ අලුත්කඩේ අංක එක මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා විසින් එම තීන්දුව ප්‍රකාශ කරනු ලැබීය. ඒ වන විට එදින මධ්‍යම රාත්‍රිය ද පසුවී තිබිණි. එහෙයින් මෙම නඩු තීන්දුව මෙරට අධිකරණ ඉතිහාසයට එක්‌වූ නව වාර්තාවක්‌ ද විය. 

මෙහිදී මෙම නඩුවේ තිදෙනකු නාමික විත්තිකරුවන් වූයේ යෑයි අප කියා සිටියේ කුමක්‌ නිසාද? ඒ නඩු විභාගයේදී ඔවුන් අධිකරණය ඉදිරියේ පෙනී නොසිටිය බැවිනි. නඩුවේ ප්‍රධාන විත්තිකරු වූ කරුණා පාර්ශ්වයේ හිටපු සාමාජිකයන් වන පලනසාමි සුරේෂ් නොහොත් සාමි ශිවකාන්තන් විවේකානන්දන් නොහොත් චරන් සහ හිටපු පොලිස්‌ නිලධාරියකු වූ ෙµබියන් තුෂේන් නමැත්තන් එම තිදෙනා විය.

මේ අතරින් චරන් සහ තුෂේන් මේ වන විට විදේශයකට පලා ගොස්‌ සිටින අතර පලනසාමි සුරේෂ් නොහොත් සාමි මියගොස්‌ ඇති බවක්‌ද කියෑවිණ.

කෙසේ වෙතත් මෙම නඩු තීන්දුවත් සමඟ ඝාතනය කෙරුණු නඩරාජා රවිරාජ් මහතාගේ පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේ අධිකරණයේ තීරණය පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බවකි.

මෙරට අධිකරණ පද්ධතියේ විශ්වසනීයත්වයක්‌ නොමැති බව මෙම තීන්දුවෙන් පැහැදිලි වන බවක්‌ ද කී හෙතෙම යුද අපරාධ පිළිබඳ විමර්ශනය සඳහා තම පක්‍ෂය විදේශීය අධිකරණ ක්‍රියාවලියක්‌ ඉල්ලා සිටින්නේ එනිසා බවද සඳහන් කරනු ලැබීය. ඔහුගේ ඒ කතාව වේලුපිල්ලේ ප්‍රභාකරන්ට මරණ සහතික ඉල්ලන වත්මන් බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ බළලා මල්ලෙන් එළියට පැන්න තවත් අවස්‌ථාවක්‌ ලෙසද හඳුන්වා දිය හැකිය.

එසේම ඊට පසුදා ඉන්දියාවේ 'ද හින්දු' පුවත්පතට ප්‍රකාශයක්‌ කරමින් නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා තවත් විශ්මිත හෙළිදරව්වක්‌ද කර තිබිණ. ඔහු එහිදී කියා තිබුණේ රවිරාජ් ඝාතනය කරනු ලැබුවේ හමුදා බුද්ධි අංශ වන අතර ඒ පිළිබඳ සීඅයිඩීය සතුව සාක්‍ෂි රැසක්‌ තිබෙන බවය.

එසේම රවිරාජ් ඝාතනයට සම්බන්ධ වූ පොඩි මිනිසුන් නොව මහ මොළකරුවන් සිටින බැවින් ඔවුන් පිළිබඳ විධිමත් විමර්ශනයක්‌ සිදු කළ යුතු බවක්‌ද ඔහු හින්දු පුවත්පකට කීය.

එසේ නම් රවිරාජ් පාර්ශ්වයේ නීතිඥවරයා ලෙස පෙනී සිටි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා මේ කියන්නේ සීඅයිඩීය මෙම නඩුවේදී තමන් සතුව තිබූ සාක්‍ෂි වසන් කළ බවද? නිසි විමර්ශනයක්‌ සිදු නොකළ බවද?

නැත. සුමන්තිරන්ට වැරදී ඇත. පැහැදිලිවම සීඅයීඩීයේ ෂර්ලොක්‌ හෝම්ස්‌ලා මෙහිදී කළේ රවිරාජ් ඝාතනයට විත්තිකරුවන් කළ නාවික හමුදාවේ බුද්ධි අංශ රණවිරුවන් තිදෙනා දංගෙඩියට යෑවීම සඳහා සාක්‍ෂි නිර්මාණය කිරීමය. එසේ කරන්නට ගොස්‌ පොට පැටලී ඇන ගැනීමය.

අප එසේ කෙළින්ම කියනුයේ වරක්‌ සීඅයිඩීයේ එවන් තුට්‌ටු දෙකේ වැඩක්‌ මෙම නඩු විභාගය අතරතුරදී මහාධිකරණය හමුවේ හෙළිදරව් වී දැඩි ලෙස විනිසුරුවරයාගේ දෝෂදර්ශනයටද ලක්‌වූ නිසාය.

එය සිදුව තිබුණේ මෙම නඩුවේ පැමිණිල්ලේ එක්‌ සාක්‍ෂිකරුවකු වූ කුවේට්‌ ගුවන් සේවයේ රාජකාරි කරන ඇන්ජලෝ රෝයිගේ සාක්‍ෂිය ලබාගත් අවස්‌ථාවේදීය.

නඩරාජා රවිරාජ් ඝාතනය කෙරුණු ඉකුත් 2006 වසරේ නොවැම්බර් 10 වැනිදා රාජකාරියට යැම සඳහා ඇන්ජලෝ රෝයි මහතා සිය කාර්යාලීය රථයෙන් නාරාහේන්පිට මාතා පාර ඔස්‌සේ ගමන් කරමින් සිටියේය. රවිරාජ් මහතාගේ ඝාතනය සිදු වන්නේ ඇන්ජලෝ රෝයි එසේ පැමිණෙමින් සිටියදී ඔහුගේ දෑස්‌ ඉදිරිපිටය.

ඔහු නඩුවේ සාක්‍ෂිකරුවකු වූයේ ඒ හෙයිනි. එහෙත් ඇන්ජලෝ රෝයි මහතා මෙම නඩුවේ සාක්‍ෂි දීමට පැමිණෙන දිනට පෙරදා එක්‌ අපූරු දෙයක්‌ සිදු විය. ඒ නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස නම් කර සිටි නාවික හමුදා බුද්ධි අංශයේ කොමදෝරු ප්‍රසාද් චන්දන හෙට්‌ටිආරච්ගේ ඡායාරූපයක්‌ වයිබර් තාක්‍ෂණය ඔස්‌සේ ඇන්ජලෝ රෝයිගේ ජංගම දුරකථනයට ලැබීමය.

ඡායාරූපය එවා තිබුණේ රවිරාජ් විමර්ශන සිදු කළ රහස්‌ පොලිසියේ ෂර්ලොක්‌ හෝම්ස්‌ කෙනෙකි. එසේ ඡායාරූපය එවීමෙන් නොනැවතී අධිකරණයට පැමිණ සාක්‍ෂි දීමේදී එම ඡායාරූපයේ සිටින නාවික හමුදා බුද්ධි නිලධාරියා පැහැදිලිව හඳුනා ගන්නා ලෙසද රහස්‌ පොලිසිය ඔහුගෙන් ඉල්ලීමක්‌ කර තිබිණි.

එහෙත් නියම මහත්මයකු වූ ඇන්ජලෝ රෝයි එසේ නොකළේය. ඔහු කළේ අධිකරණය ඉදිරියේ සිය සාක්‍ෂිය ලබා දී තමන්ට මුහුණ දීමට සිදුවූ සිද්ධිය මෙරට නමක්‌ දරා සිටින ජනාධිපති නීතිඥවරයකු හමුවී හෙළිදරව් කිරීමය.

පසුව ඒ කතාව මෙම නඩුවේ විත්තියේ නීතිඥ මහතා වූ අනුජ ප්‍රේමරත්න මහතාට දැන ගැනීමට ලැබී ඔහු ඒ බව අධිකරණයට දැනුම් දුන්නේය. නඩු විභාගය පැවත්වූ මහාධිකරණ විනිසුරුවරයා රහස්‌ පොලිසියට දැඩි ලෙස අවවාද කරමින් දොස්‌ පැවරුවේ එහිදීය.

මින් පෙනී යන්නේ රවිරාජ් ඝාතන විමර්ශනයේදී නාවික හමුදා රණවිරුවන් ගස්‌ යවන්නට සීඅයිඩීය සාක්‍ෂි නිර්මාණය කළ බව නොවේද? ඇතැම්විට දැන් නීතිඥ සුමන්තිරන් මහතා කියන පරිදි රහස්‌ පොලිසිය එසේ සාක්‍ෂි නිර්මාණය කිරීමට යැමේදී වැදගත් සාක්‍ෂි වසන් වූවාද විය හැකිය. එහෙත් එය දන්නේද රහස්‌ පොලිසියම ය.

ඉකුත් 2015 වසරේ ජනවාරි 08 යහපාලනය බිහිවීමෙන් පසු රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් වසර නවයකට පසු යළි විමර්ශන ආරම්භ කළ සීඅයිඩීය මුලින්ම සැකකරුවන් පස්‌ දෙනකු අත්අඩංගුවට ගනු ලැබිණි.

එකී පස්‌දෙනා වූයේ නාවික හමුදා කපිතාන් සම්පත් මුණසිංහ - කොමදෝරු ප්‍රසාද් චන්දන හෙට්‌ටිආරච්චි - නාවික හමුදා සෙබලුන් වන ගාමිණී සෙනවිරත්න - ප්‍රදීප් චමින්ද සහ රවිරාජ් මහතා ඝාතනය කෙරුණු කාලසීමාවේ ජනාධිපති ආරක්‍ෂක අංශයේ සේවය කළ පොලිස්‌ නිලධාරියකු වූ ප්‍රීති විරාඡ් මනම්පේරිය.

එහෙත් ඒ ආරම්භයේදීම නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කෙරුණු දින තමන් සිටියේ ඉන්දීය ප්‍රභූවරයකුගේ සංචාරයක්‌ හේතුවෙන් ඔහු සමඟ කන්කසන්තුරය වරාය නාවික කඳවුරට ගොස්‌ බව කපිතාන් සම්පත් මුණසිංහ පැහැදිලිව ඔප්පු කර පෙන්වීම නිසා නීතිපතිවරයාගේ උපදෙස්‌ මත ඔහුව මුදා හරින්නට සීඅයිඩීයට සිදුවිය.

සීඅයිඩීය රවිරාජ් ඝාතන විමර්ශනය පටන් ගැන්මේදීම අනා ගත්තේ එසේය. එහෙත් විමර්ශන දිගටම සිදු කෙරිණි. අවසානයේ රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් ලියන ලද කතාව අධිකරණය හමුවට ගෙන යැම සඳහා අපේ සීඅයිඩීයේ මහත්වරුන්ට සුපුරුදු ලෙසම රජයේ සාක්‍ෂියක්‌ සොයා ගැනීමට අවශ්‍ය විය.

එහිදී ඔවුන් හැරුණේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගනු ලැබූ පොලිස්‌ නිලධාරියා වූ ප්‍රීතිවිරාඡ් මනම්පේරි වෙතටය. මේ මනම්පෙරි යනු කවරෙක්‌ද? ඉකුත් යුද සමයේ ගුවන් හමුදා නිලධාරියකු ලෙස රාජකාරි කළ නිශාන්ත ගජනායක සමග එක්‌ව කොළඹ සිටි ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස්‌ කප්පම් ගැනීමේ සිද්ධියකට මන්ම්පෙරි චූදිතයකු වී සිටින්නේය.

එසේම කප්පම් ගැනීම් කොල්ලකෑම් ඇතුළු තවත් අපරාධ කිහිපයක්‌ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව රටේ විවිධ ප්‍රදේශවල මහාධිකරණ නඩු කිහිපයක්‌ම අදටත් විභාග වෙමින් ඇත. ප්‍රීතිවිරාඡ් මනම්පේරිගේ සැබෑ පැටිකිරිය එය විය.

එම තත්ත්වය හමුවේ රවිරාජ් ඝාතන විමර්ශනයේ රජයේ සාක්‍ෂිකරුවකු ලෙස තමන් තෝරා ගැනීමට සීඅයිඩීය සැරසෙද්දී ප්‍රීතිවිරාඡ් මනම්පේරි කිසිදු කේවල් කිරීමකින් තොරවම එයට එකඟ වී තිබිණ. ඇතැම්විට මෙහිදී තමන්ට එරෙහිව රට පුරා ඇති අපරාධ නඩුවලට නීතිපතිවරයා හරහා යම් සහනයක්‌ ලබා ගන්නට හැකි යෑයි මනම්පේරි කල්පනා කළා ද විය හැකිය.

කෙසේ වෙතත් අවසානයේ නීතිපතිවරයාගෙන් ලැබුණ කොන්දේසි සහිත සමාවක්‌ යටතේ මනම්පේරි රවිරාජ් ඝාතන නඩුවේ පැමිණිල්ලේ ප්‍රධාන තුරුම්පුව වෙමින් රජයේ සාක්‍ෂිකරු ලෙස නම් කෙරිණ.

ඒ අනව රවිරාජ් ඝාතන නඩුවේ රජයේ සාක්‍ෂිකරු ලෙස මහාධිකරණය ඉදිරියට පැමිණි ප්‍රීතිවිරාඡ් මනම්පේරි එහිදී කියා සිටියේ කුමක්‌ද? ඒ කතාව කෙටියෙන් කිවහොත් මෙසේය.

පොලිසියට එක්‌වූ මනම්පේරි කලකට ඉහත නැඟෙනහිර පළාතේ රාජකාරි කෙරූවෙකි. එහිදී ඔහුට කරුණා අම්මාන් පාර්ශ්වයේ සාමාජිකයන් වූ මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනකු වන ශිවකාන්තන් විවේකානන්දන් නොහොත් චරන් සහ පලනසාමි සුරේෂ් නොහොත් සාමි හඳුනාගන්නට ලැබෙන්නේය.

මේ කාලයේ මනම්පේරි කරුණා පාර්ශ්වයේ සාමාජිකයන් සමඟ එක්‌ව නැඟෙනහිර පිහිටි කොටි කඳවුරු ඉලක්‌ක කර ප්‍රහාර එල්ල කරන්නටද ගොස්‌ ඇත. එහෙත් මේ පොලිස්‌කාරයා කොටින්ට ගහන්නට කරුණා පාර්ශ්වය සමඟ එක්‌වී තනියම නැඟෙනහිර කැලෑ පීරුවේ කාගෙන් අහල ද කියන එකනම් දැන ගැනීමට ලැබුණේ නැත.

මෙසේ කොටින්ට ගහන්න කැලේ යද්දී දිනක්‌ මනම්පේරි ඇතුළු කණ්‌ඩායමක්‌ පොලිස්‌ විශේෂ කාර්ය බළකායට හසුවී ඇත. ඒ සිද්ධියෙන් පසු කලුතර ප්‍රදේශයට පැමිණ රාජකාරිය කරන්නට මනම්පේරිට සිදුවන්නේය.

එසේ කාලයක්‌ සිටින අතරතුරදී ප්‍රීතිවිරාඡ් මනම්පේරි ජනාධිපති ආරක්‍ෂක අංශයට එක්‌ වී ඇත. මේ අතරේ දිනක්‌ අහම්බයකින් මෙන් ඔහුට නැඟෙනහිරදී හඳුනාගෙන සිටි කරුණා පාර්ශ්වයේ සාමාජිකයා වූ සාමි මුණගැසෙන්නේය.

එහිදි දැන් තමන් කොළඹ සිට වැඩ කරන්නේ යෑයි මනම්පේරිට කියන සාමි තමන් සමඟ එකතුව වැඩ කරන ලෙසට ආරාධනාවක්‌ද කර ඇත. මනම්පේරි එයට එකඟ වන්නේය. ඔහුට අනුව නම් ඒ රට ගැන තිබූ කැක්‌කුම නිසාය.

මේ අනුව දිනක්‌ මනම්පේරිට දුරකථන ඇමැතුමක්‌ දෙන සාමි පසු දිනයේ තමන් කොටි නායකයකු ඝාතනය කරන්නට සැලසුම් කර ඇති බැවින් ඒ සඳහා එක්‌වන්න යෑයි ආරාධනා කරන්නේය. එහිදී රට ගැන සිතූ මනම්පේරි දෙවරක්‌ කල්පනා නොකරම ඊට එකඟ වී ඇත.

පසුව එදිනම කොළඹ හුණුපිටිය ගංගාරාමය ආසන්න නාවික හමුදා බුද්ධි කඳවුර ආසන්නයේදී තමන් හමුවන ලෙස සාමි මනම්පේරිට කියන අතර ඔහු එහි ගොස්‌ සාමි මුණගැසෙන්නේය.

එහිදී කොටි නායකයා ඝාතනය කරන අයුරු කතිකා කර ගැනීමෙන් පසු සාමි මනම්පේරිට යතුරු පැදියක්‌ දී පසු දින එනම් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කෙරුණු 2006 වසරේ නොවැම්බර් මස 10 වැනිදා උදෑසන බොරැල්ල කනත්ත අසලට එන ලෙස ඔහුට දැනුම් දෙන්නේය.

ඒ සමඟ සාමිගෙන් ලැබුණු යතුරුපැදියේ නැගී තමන් එවකට නතර වී සිටි කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි නවාතැනට යන මනම්පේරි පසුදා උදැසන කතා කරගත් පරිදිම බොරැල්ල කනත්ත ළඟට එන්නේය. එහිදී ඔහුව මුණ ගැසෙන සාමි යතුරු පැදියද රැගෙන නාරාහේන්පිට මාතා පාර වෙත යන ලෙස කරන දැනුම් දීමකට අනුව ඔහු එහි ගොස්‌ ඇත.

එසේ මාතා පාර අසලට ගොස්‌ සිටියදී එක්‌වරම මනම්පේරිට වෙඩි හඬක්‌ ඇසෙන අතර ඒ සමඟම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා දිවවිත් මනම්පේරිගේ යතුරු පැදියට නගින්නේය. ඒ සමඟ මනම්පේරි ඒ ඝාතකයාවත් රැගෙන ගංගාරාමය අසල නාවික කඳවුර ආසන්නයට යතුරු පැදිය ධාවනය කරන්නේය. 

අවසානයට මනම්පේරි කීවේ එදා ඒ වෙඩි තැබීම සිදු කර දිවවිත් තමන් සිටි යතුරු පැදියට නැග්ගේ නාවික හමුදා බුද්ධි අංශයේ කොමදෝරු ප්‍රසාද් චන්දන හෙට්‌ටිආරච්චි කියාය. ඔහු වෙඩි තැබුවේ කොටි නායකයකුට නොව පාර්ලිමේන්තු මන්ත්‍රි රවිරාජ්ට බව තමන් දැන ගත්තේ එදින රාත්‍රි ප්‍රවෘත්ති බලද්දී බවද ඔහු සඳහන් කළේය.

ඒ කතාව හරිම ලස්‌සනය. හොඳ ක්‍රියාදාම චිත්‍රපටයකට නම් කියලා වැඩක්‌ නැත. එසේම මේ කතාව රවිරාජ් නඩුවේ සාක්‍ෂිකරුවකු ලෙස අධිකරණය ඉදිරියට පැමිණ කියා සිටියේ රවිරාජ් ඝාතකයා යතුරු පැදියේ නංවාගෙන ගිය බව තමන්ම කියන රට පුරා මහාධිකරණ නඩු කිහිපයක චූදිතයකු වූ ප්‍රීතිවිරාඡ් මනම්පේරිය.

ඒ අනුව අද අධිකරණයේ වීශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්න කරන පැමිණිල්ලේ හෙවත් රවිරාජ් පාර්ශ්වයේ නීතිඥවරයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාගෙන් අපට අසන්නට ඇත්තේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු ලෙස අධිකරණය ඉදිරියට පැමිණි ප්‍රීතිවිරාඡ් මනම්පේරිගේ මේ සාක්‍ෂියේ ඇති විශ්වසනීයත්වය කුමක්‌ද කියාය.

ජනාධිපති ආරක්‍ෂක අංශයේ සේවය කළ මනම්පේරි ඒ ආසන්නයේ තිබෙන නාවික බුද්ධි කඳවුරේ සිටි කොමදෝරු ප්‍රසාද් චන්දන හෙට්‌ටිආරච්චිව කලක සිටම හඳුනාගෙන සිටියා විය නොහැකිද? අපි ඒ ප්‍රශ්නය මතු කරන්නේ සුමන්තිරන් මහතාට තව ටිකක්‌ හොඳින් කල්පනා කර බලන්නටය.

එසේම අධිකරණයට චෝදනා කරන්නට පෙර සුමන්තිරන් මහතාට අවධානය යොමු කිරීම සඳහා තවත් කරුණක්‌ පෙන්වා දීමට ද අපට හැකියාව ඇත. ඒ මේ නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු වූ ලියනාරච්චිගේ අබේරත්න නමැති පොලිස්‌ නිලධාරියා මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී සිදු කළ ප්‍රකාශය කුමක්‌ද යන්න සොයා බලන ලෙසය.

එමෙන්ම රවිරාජ් ඝාතනයේ ප්‍රධාන චූදිතයකු වූ ශිවකාන්තන් විවේකානන්දන් නොහොත් චරන් විදේශයකට පැන ගියේ කෙසේද යන්නද සොයා බැලිය හැකිය.

රජයේ සාක්‍ෂිකරුවකු ලෙස ප්‍රීතිවිරාඡ් මනම්පේරි සිය සාක්‍ෂිය මගින් රවිරාජ් ඝාතනයේ වෙඩික්‌කරු හෙවත් මිනීමරුවා කරන්නට හැදූ නාවික හමුදා බුද්ධි අංශයේ කොමදෝරු ප්‍රසාද් චන්දන හෙට්‌ටිආරච්චි යනු කවරෙක්‌ද?

මිනිසුනේ දැන ගන්න. ඔහු කවරෙක්‌දැයි අපි මෙතෙක්‌ කලක්‌ හෙළි නොකළෙමු. එහෙත් අද ඒ හෙළිදරව්ව කරන්නෙමු. ප්‍රසාද් චන්දන හෙට්‌ටිආරච්චි යනු ඒ බිහිසුණු යුද සමයේ රටේ ප්‍රධානම ආර්ථික මර්මස්‌ථානයක්‌ව තිබූ කොළඹ වරාය ත්‍රස්‌තවාදී ප්‍රහාරයන්ගෙන් බෙරා ගැනීම සඳහා බුද්ධි මෙහෙයුම් දියත් කළ නිලධාරියාය. එසේත් නැතහොත් වීරයාය.

එකල කොළඹ වරාය සුණු විසුණු කර දමන්නට එල්ටිටීඊ ත්‍රස්‌තයන් අවස්‌ථා ගණනාවකදී උත්සාහ දැරීය. එහෙත් ඒ සියල්ල පුස්‌සක්‌ වූයේ හෙට්‌ටිආරච්චිලාගේ කැපවීම නිසාය.

රවිරාජ් ඝාතන නඩු විභාගයෙන් නිදහස හිමිවීමෙන් පසු ප්‍රසාද් චන්දන හෙට්‌ටිආරච්චි නම් වූ ඒ වීරයා සහ ඔහු සමඟ වසර දෙකක්‌ පුරා එකට සිරවී සිටි අනෙකුත් නාවික බුද්ධි විරුවන් දෙදෙනා සමඟ ද මොහොතක්‌ කතා කරන්නට එදා අධිකරණයේදී අපට අවස්‌ථාව ලැබිණි.

එහිදී කොමදෝරු ප්‍රසාද් කී කතාව ඉතාම අනුවේදනීය එකක්‌ම විය. නිදහසින් පසු දැනෙන සතුට සමඟ ඔහු එය කීවේ මෙසේය. 

'ඔව් එදා 2015 මාර්තු මාසේ 14 වැනිදා.. මම හිටියේ රන්මිණිතැන්න නාවික කඳවුරේ. මට මැසේඡ් එකක්‌ ආවා 15 වැනිදා සීඅයිඩී එකට එන්න කියලා..

'ඒ නිසා මම රහස්‌ පොලිසියට ගියා.. උදේ 8.00 ඉඳන් සවස 4.30 වෙනතුරු මාව පුටුවක වාඩිකරවල තියල පස්‌සේ ප්‍රශ්න කරන්න පටන් ගත්තා. රවිරාජ් මැරුණ දවසේ කොහෙද හිටියේ. තව කවුද මාත් එක්‌ක හිටියේ වගේ ප්‍රශ්න තමයි මගෙන් ඇහැවේ..

'පස්‌සේ රෑ 7.30 ට විතර මාව අත්අඩංගුවට ගන්නවා කියලා යුනිෙµdaම් එක ගලවලා කූඩුවකට දැම්මා.. එතන ඉඳන් 2015 අප්‍රේල් මාසේ 02 වැනිදා වෙනකම්ම මම හිටියේ ඒ කූඩුවේ. ඒක අඩි තුනක්‌ විතර පළල අඩි හයක්‌ විතර දිග කූඩුවක්‌.. හැරෙන්නවත් ඉඩක්‌ තිබුණේ නැහැ..

මාව ඇරස්‌ට්‌ කරපු වෙලේ නම් බිංදුවටම කඩා වැටුණා.. මේ රටට ද අපි සේවය කළේ හිතුණා.. ඒත් බිරිඳයි දරුවෝ දෙන්නයි ගැන හිතලා අන්තිමේ මම හිත හදා ගත්තා..

අප්‍රේල් 02 වැනිදා මාව උසාවියට දාලා රිමාන්ô කළා.. ඒ වෙනකොට සෙනවිරත්නවත් අරගෙන හිටියේ.. එතන ඉඳන් ඉතින් විඳපු දුක්‌ ගැන කියලා වැඩක්‌ නැහැ.. අවුරුදු දෙකක්‌ම හිරවෙලා හිටියේ.. ඒත් දැන්නම් හිතට පුදුම සතුටක්‌ දැනෙනවා..

මොකද අපිට නිදහස හිමි වුණා වගේම මේ අපකීර්තියෙන් නාවික හමුදාව බේර ගන්න ලැබුණු නිසා..'

ඔහු තව බොහෝ දේ කීවේය. අපි ඒ සියලු කතා ඉදිරියේදී ඔබට කියන්නට සුදානමින් සිටින්නෙමු.

ඉතින් පෝරකය පෙනි පෙනී සිටි ඔවුහු අවසානයේ නීතියේ සාධාරණත්වය හමුවේ නිදහස ලැබීය. එහෙත් මෙහිදී වත්මන් යහපාලනයේ අසන්නට අපට එක්‌ ප්‍රශ්නයක්‌ ඇත. ඒ තවත් විරුවන් කී දෙනකුට මෙසේ නින්දා කරන්නට සිතා සිටින්නේද යන්නය.. ලේ කඳුළු හෙළමින් ජීවිත පරිත්‍යාගයෙන් මේ රටට නිදහස දිනා දුන් රණවිරුවන් මෙසේ අසරණයන් කරනුයේ මොන කාලකණ්‌ණිකමකටද කියාය.

නිදහස ලැබූ නාවික හමුදා රණවිරුවන් වන ප්‍රසාද් හෙට්‌ටිආරච්චි, ගාමිණී සෙනවිරත්න සහ ප්‍රදීප් චමින්ද සතුට බෙදා ගිනිමින්

-සමන් ගමගේ 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8225998602597256153

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item