සීපා එපා ඇයි?

https://www.sathhanda.com/2015/09/cepa-sri-lanka-india.html
සීපා ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධ කතා බහ යළි පෙරට පැමිණ තිබේ. ඒ අගමැති රනිල් වික‍්‍රමසිංහ සිය ප‍්‍රථම නිල සංචාරය සඳහා පසුගිය සතියේ ඉන්දියාවට යාමත් සමඟය.
ඔහුගේ සංචාරයේදී සීපා ගිවිසුම අත්සන් කිරීම සඳහා එකඟතාවක් වනු ඇතැයි එක් පිරිසක් බිය පළ කරන අතර මෙම සංචාරය තුළ එවැනි ගිවිසුමක් අත්සන් කිරීම කෙසේවෙතත් එවැන්නක් ගැන කතා කිරීම පවා සිදුවන්නේ නැතැයි ආණ්ඩුව ප‍්‍රකාශ කරයි.
කෙසේවෙතත් සීපා ගිවිසුම අත්සන් නොකරන බවට ආණ්ඩුව පොරොන්දුවක් දෙන්නේද නැත. සැබැවින්ම සීපා ගිවිසුම එයට පක්ෂ අය පවසන ආකාරයට ලංකාවේ ආර්ථිකය වර්ධනය කරන්නක්ද? නැතිනම් එයට එරෙහි අය පවසන ආකාරයට ලංකාවට එරෙහි ආර්ථික ආක‍්‍රමණයක්ද?
මේ ලිපිය එම සංවාදය සඳහා වන කරුණු කිහිපයක් ඉදිරිපත් කරයි.
සීපා යන කෙටි නමින් හැඳින්වෙන්නේ ලංකාවත් ඉන්දියාවත් අතර අත්සන් කිරීමට යෝජිත විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුමකි. (Comperhenire Economic Partnership Agreement – CEPA) මෙය ඍජුවම සම්බන්ධ වන්නේ ඉන්දියාවත් ලංකාවත් අතර වෙළෙඳ ගනුදෙනුවලටය.
ඒ අතරින් පළමුව අවධානයට යොමු කළ යුතුව ඇත්තේ 1998 දෙසැම්බර් මාසයේදී එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග විසින් ඉන්දියාව සමඟ අත්සන් කළ ඉන්දු-ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමය. (Free Trade Agreement – FTA) මෙම වෙළෙඳ ගිවිසුම 1998 අගෝස්තුවේදී ඉදිරිපත් කරන ලදුව සාකච්ඡුා වට හතරක් පමණ පවත්වා කඩිමුඩියේ අත්සන් කරන ලද්දකි.
එය 2000 ජනවාරි 1 දින සිට ක‍්‍රියාත්මක විය. එම ගිවිසුම නිසා ඉන්දියාව ලංකාවට කරන භාණ්ඩ වෙළෙඳාම වාර්ෂිකව ඩොලර් මිලියන 500 සිට 3500 දක්වා වැඩි කර ගත් අතර ලංකාව ඉන්දියාවට භාණ්ඩ අපනයනය කර උපයන ආදායම ඩොලර් මිලියන 40 සිට 325 දක්වා වැඩි විය. ප‍්‍රතිශතයක් ලෙස ගතහොත් වැඩිවීම සමාන ප‍්‍රතිශතවලින් සිදුව ඇති බව ඉලක්කම්වලින් තහවුරු කළ හැකි වුවත් ලංකාව ඉන්දියාවට භාණ්ඩ විකුණා ලබන ආදායම මෙන් දස ගුණයක් පමණ ඉන්දියාවෙන් භාණ්ඩ ගෙන්වීම සඳහා වැය කර තිබේ. මෙම වෙළෙඳ හිඟය ඉන්දියාවට වාසිදායක වන අතර ලංකාවේ ආර්ථිකය විනාශ කරයි. අනෙක් අතට ඉන්දියාවට භාණ්ඩ අපනයනය කර ලබන ඩොලර් මිලියන 325 ආදායමෙන් වැඩිම කොටස ඇත්තේ වනස්පති සමාගමටය. එය ඉන්දීය සමාගමක් නිසා ඒ මුදලද යළි ඇදී යන්නේ ඉන්දියාවටය.
ඉන්දු-ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට (FTA) අන්තර්ගත වන්නේ දෙරට අතර භාණ්ඩ වෙළෙඳාම පමණි. එහෙත් යෝජිත සීපා (CEPA) ගිවිසුමට භාණ්ඩ හා සේවා දෙකම අයත් වේ. 2003 වසරේදී රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාව සිටි අවධියේදී සීපා ගිවිසුම අත්සන් කිරීමට සූදානම් වූයේ නිදහස් වෙළෙඳ ගිවිසුම ලංකාවට බරපතළ ආර්ථික හානියක් කරන බව තහවුරු වී තිබියදීය. නමුත් එල්ල වූ බරපතළ විරෝධතා නිසා සීපා ගිවිසුම අත්සන් කළ නොහැකි විය.
2015දී රනිල් වික‍්‍රමසිංහ යළි අගමැති වූ පසුව එය අත්සන් කිරීමට සූදානම් වන බවට විවිධ ආරංචි පැතිර යයි. ආණ්ඩුව මෙවර ඉන්දීය සංචාරයේදී එය අත්සන් නොකරන බව ප‍්‍රකාශ කළද අත්හැර දමා ඇති බව නිල වශයෙන් ප‍්‍රකාශ කර නැත. නිදහස් වෙළෙඳ ගිවිසුමට වඩා වෙනස්ව සීපා ගිවිසුම ක්ෂේත‍්‍ර හතරක් පිළිබඳ ආර්ථික ගිවිසුම් අන්තර්ගත කර ගනී.
1. ඉන්දියාව හා ලංකාව අතර භාණ්ඩ වෙළෙඳාම
2. ඉන්දියාව හා ලංකාව අතර සේවා වෙළෙඳාම
3. රටවල් දෙක අතර ආයෝජකයන් පැමිණීම
4. ඉන්දියාව හා ලංකාව අතර පුද්ගලයන් සංක‍්‍රමණය නිදහස් කිරීම
මේ එක් එක් ක්ෂේත‍්‍රයට අදාළව ගිවිසුම මඟින් ඇති කරන කොන්දේසි ලංකාවේ සුළු පරිමාණ හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ටද වෘත්තිකයන්ටද පොදුවේ කම්කරුවන්ට හා රැකියා විරහිතයන්ටද අහිතකර පරිසරයක් නිර්මාණය කරන බවට චෝදනා එල්ල වී තිබේ. ගිවිසුමට අනුව ඉන්දියාවට මැදිහත් විය නොහැකි ලාංකිකයන්ට පමණක් වෙන් කර ඇති ක්ෂේත‍්‍ර ඇත්තේ හතරක් පමණි. ඉතිරි සියලූ කටයුතු සඳහා ඉන්දියාවට සම්බන්ධ විය හැක.
1. මුදල් පොලියට දීම (මින් අදහස් වන්නේ ඉන්දියාවට බැංකු හා ලීසිං විවෘත කරන අතර එම ඉන්දීය බැංකුවලට මුදල් පොලියට දීම කළ නොහැකිය.)
2. උකස් ගැනීම
3. අමෙරිකානු ඩොලර් මිලියන 1කට වඩා අඩු සිල්ලර වෙළෙඳාම (ඩොලර් මිලියන 1කට වඩා වැඩි වියදමකින් කරනා සුපිරි වෙළෙඳ සැල් ජාලයක් හරහා) සිල්ලර වෙළෙඳාමටද ඉන්දීය සමාගම්වලට පිවිසිය හැකිය.
4. වෙරළාසන්න ධීවර කර්මාන්තය (ඉන්දියාවට ධීවර කටයුතු කළ නොහැකි බවට සීමා පනවා තිබෙන්නේ වෙරළාසන්නයේ මිස අවම වශයෙන් ලංකාවට අයත් මුහුදු සීමාවේවත් නොවේ.)
මීට අමතරව ක්ෂේත‍්‍ර ගණනාවක ඉන්දියානු සමාගම්වල ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ගිවිසුම මඟින් ලංකාවේ ආණ්ඩුව එකඟ වී ඇත. සමස්ත ගිවිසුම ගැන විග‍්‍රහ කිරීම දීර්ඝ වශයෙන් කළ යුතු එකක් නිසා ආරම්භයක් ලෙස එහි අඩංගු කරුණු කිහිපයක් තැනින් තැන ගෙන අවධානය යොමු කරමු.
ඉන්දියානු සමාගමක් මඟින් කරන ඩොලර් ලක්ෂයකට වැඩි ආයෝජනවලදී සමස්ත කාර්ය මණ්ඩලයෙන් 10%ක්ද තාක්ෂණික වෘත්තික සේවාවන්ගෙන් 50%ක්ද
ඉන්දියානුවන් යොදා ගැනීමට අනුමැතිය දීම
ලංකාවේ සිනමාහල් 25ක් ඉදි කර එහි අයිතියෙන් 50%ක් තමන් සන්තකයේ තබා ගැනීමට ඉන්දියාවට ඉඩ සැලසෙන අතර එම සිනමාශාලාවල දර්ශන කාලයෙන් 40%ක් වෙන් වන්නේ ඉන්දියාවෙන් ආනයනය කරන චිත‍්‍රපට සඳහාය.
වෙළෙඳාම සඳහා ලංකාවට එන ඉන්දියානුවන්ට මාස හයක් දක්වා කාලයකට වීසා නිකුත් කිරීම.
ඉන්දියානුවකුට ලංකාවේ බහුවිධ සංචාරක වීසා ලබාගැනීම සඳහා ඔවුන් ව්‍යාපාර කටයුතු සඳහා පැමිණෙන බවට ඕනෑම ඉන්දියානු වෙළෙඳ සංගමයකින් ලබා ගන්නා ලිපියක් ප‍්‍රමාණවත්ය. ඒ සඳහා ඉන්දියානු රජයේ වගකීමක් නැත.
කොන්ත‍්‍රාත් පදනම මත රැකියා කිරීම සඳහා ඉන්දියානුවන්ට ලංකාවට පැමිණීමට වීසා ලබා දෙන අතර ඒ සඳහා අවශ්‍ය වන්නේ සේවා ගිවිසුමක් ඇති කර ගත් බවට ලිපියක් ඉදිරිපත් කිරීම පමණි.
සමාගම් අතර සේවකයන් මාරු කිරීමේදී ගිවිසුම් කාලය සඳහා ලංකාවේ රැඳී සිටීමට වීසා නිකුත් කෙරෙනු ඇත.
සමාගමක කළමනාකරුවකුට, විධායක නිලධාරියකුට හෝ වෘත්තිකයකුට ලංකාවට එන විට ඔහුට හෝ ඇයට පමණක් නොව මුළු පවුලටම වීසා නිකුත් කරන අතර පවුලේ අනෙක් සාමාජිකයන්ටද ලංකාව තුළ රැකියා කිරීමේ අයිතිය ලබාදී ඇත. එසේ රැකියා කරන අය ස්වාධීන වෘත්තිකයන් ලෙස සැලකෙන අතර එම වෘත්තිකයන්ගෙන් පවුලේ සාමාජිකයන්හටද වීසා ලබා ගත හැක. මෙලෙස වැල්පොලී ක‍්‍රමයට ඉන්දියානුවන්ට ලංකාවට පැමිණ ලංකාවේ රැුකියා වෙළෙඳපොළ අත්පත් කර ගත හැක.
සීපා ගිවිසුම ලංකාවේ පෞද්ගලික සේවාවන්හි යෙදෙන වෛද්‍යවරුන්, නීතිඥයන්, වාත්තු විද්‍යාඥයන්, මිනින්දෝරුවන්, ඉංජිනේරුවන්, තාක්ෂණ නිලධාරීන්, පෙදරේරුවන්, වඩු කාර්මිකයන්, පෞද්ගලික ආරක්ෂක නියාමකයන්, බාබර්වරුන්, ඇඳුම් මසන්නන්, ගණකාධිකාරවරුන්, පොත් තබන්නන්, ඉංග‍්‍රීසි මාධ්‍ය ගුරුවරුන්, පෞද්ගලික බස් රියදුරන්, ගරාජ් කාර්මිකයන්, සාත්තු සේවකයන් ආදී විශාල සේවා ප‍්‍රමාණයක සේවයේ නියුතු වූවන්ගේ රැකියා අවදානමක හෙළනු ඇත.
දැනටමත් සාරියේ සිට සුවඳ කූරේ සිට යතුරු පැදිය හා මගී බස් රථය දක්වා ඉන්දියාව විසින් අත්පත් කරගෙන ඇති භාණ්ඩ වෙළෙඳපොළේ ඉන්දියානු ආර්ථික ආධිපත්‍යය අලූත් වටයකින් තහවුරු කෙරෙනු ඇත.
මේ සීපා ගිවිසුමේ නරක පැත්ත ගැන කෙටි සටහනක් පමණි. සීපා ගැන තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කළ හැක.
lankaviews ඇසුරෙන්
lankaviews ඇසුරෙන්
Related