වෙළෙන්දෝ ගොඩ මහජනතාව ගස්‌ වැට්‌ බද්දේ යහපාලන මුහුණුවර මෙන්න

පසුගිය කාලය පුරාම වැට්‌ පිළිබද විශාල කතිකාවක්‌ ඇති විය. ඊට හේතු වුයේ වත්මන් රජයේම අයවැයෙන් මුලින් ගෙනා වැට්‌ යෝජනාව වෙනස්‌ කරමින් අගමැති ...

පසුගිය කාලය පුරාම වැට්‌ පිළිබද විශාල කතිකාවක්‌ ඇති විය. ඊට හේතු වුයේ වත්මන් රජයේම අයවැයෙන් මුලින් ගෙනා වැට්‌ යෝජනාව වෙනස්‌ කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පසුව ගෙනා සියයට 15 දක්‌වා වැට්‌ වැඩි කිරීමේ යෝජනාවට සමාජයේ දසතින්ම විරෝධය පළ වීමයි. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ වෙළෙද ප්‍රජාවද සිය කඩ සාප්පු වසමින් හර්තාල් ව්‍යාපාර දියත් කරන ලදී. මේ සඳහා රට පුරා පිහිටි වෙළෙද සංගම් ඒකාබද්ධව සමස්‌ත ලංකා වෙළෙද සංගම් එකමුතුව නමින් සංවිධානයක්‌ද බිහි කර ගනු ලැබිණි. එම සංගමය විසින් රට පුරා විවිධ නගරවල කඩ සාප්පු වසමින් දියත් කළ විරෝධතා ව්‍යාපාර නිසා රජය බලවත් අපහසුතාවට පත් විය. අවසානයේ එම වෙළෙද සංගම් එකමුතුව විසින් එම හර්තාල් ව්‍යාපාර නතර කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊට මැදිහත් වී වෙළෙදුන්ට ඇති ගැටළු විසදා දෙන බවට දුන් පොරොන්දුවක්‌ නිසාය. එහෙත් එසේ තිබියදී සමස්‌ත ලංකා වෙළෙද සංගම් එකමුතුවේ ප්‍රධාන නිලතල දරන වෙළෙද ව්‍යාපාරිකයන්ගේ කඩ සාප්පු නොයෙකුත් චෝදනා එල්ල කරමින් රේගුවෙන් සීල කරන ලදී. මෙය වෙළෙදුන් වැට්‌ වැඩි කිරීමට එරෙහිව සිදු කළ හර්තාල් ව්‍යාපාරවලට නායකත්වය දුන් අය මර්දනය කිරීමට ගත පියවරක්‌ බවටද රජයට චෝදනා එල්ල විය. කවර උත්සහ ගත්තත් එම වැට්‌ වැඩි කිරීමේ උත්සාහය අසාර්ථක වුයේ අධිකරණයෙන් වැට්‌ වැඩි කිරීමට මුලින් තහනම් නියෝගයක්‌ ලබා දීමත්, පසුව අධිකරණයෙන් එම වැට්‌ බදු (සංශෝධන) පනත් කෙටුම්පත ශුන්‍ය පනතක්‌ බවට තීන්දු කිරීමත් නිසාය. ඒ අවස්‌ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කීවේ යළි එම පනත කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. ඒ අනුව එම නව වැට්‌ බදු (සංශෝධන) පනත් කෙටුම්පත අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් වූ අතර ඒ සමගම වැට්‌ පිළිබද යළිත් කතාබහ වන්නට පටන් ගෙන තිබේ.

මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ, මේ නව වැට්‌ බදු (සංශෝධන) පනත් කෙටුම්පතට ඉකුත් සැප්තැම්බර් 13 වැනිදා අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලැබිණි.ඒ අනුව සියයට 15 දක්‌වා වැට්‌ බද්ද වැඩි කිරීමට අදාළ නව සංශෝධන පනත් කෙටුම්පත ඉදිරි අයවැයට (2017) පෙර පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කර ගැනීම රජයේ සැලසුමයි. නව සංශෝධන පනත් කෙටුම්පතට අනුවද සියයට 15 දක්‌වා වැට්‌ වැඩි කිරීමේ යෝජනාව එලෙසම ඉදිරිපත්ව තිබේ. එහෙත් එයට ඇතැම් සංශෝධන ඇතුළත් කර තිබේ. බොහෝ දුරට පෙර අත්දැකීම් නිසා මෙවර ශ්‍රීලනිප සංශෝධනද ඇතුලත් කර අලුත් වැට්‌ යෝජනාව සකස්‌ කරන්නට ඇතැයි අපට සිතිය හැකිය. එසේම වෙළෙද ප්‍රජාවගේ විරෝධයද මෙහෙදී සලකන්නට ඇති බවට සැකයක්‌ නැත. ඒ අනුව සිදු කර ඇති වෙනස්‌කම් අතර ප්‍රධානතම වෙනස්‌කමක්‌ වන්නේ තොග හා සිල්ලර වෙළෙඳාම වැට්‌ බද්දට යටත් වන වෙළෙඳ පරිමාව වසරකට රු. මිලියන 12 සිට රු. මිලියන 50 දක්‌ වා ඉහළ දැමීමයි. මේ තුළින් බොහෝ දුරට සුළු වෙළෙඳ ප්‍රජාව වැට්‌ බද්දෙන් නිදහස්‌ වනු ඇත . මේ අනුව වසරකට මිලියන 50 කට අඩු වෙළෙඳ ආදායමක්‌ ලබන ව්‍යපාරික ප්‍රජාව වැට්‌ බද්දට යටත් නොවුණත්, පොදුවේ මහජනතාවට වැට්‌ වැඩි වීමේ බර දරන්නට සිදු වේ. එනම් මහජනතාවට සියයට 11 සිට සියයට 15 දක්‌ වා "වැට්‌" වැඩිවීම එලෙසම ක්‍රියාත්මක වන බවයි. මේ පසුබිම තුළ රජයේ "වැට්‌" වැඩි කිරීමේ අලුත් යෝජනාවේ බලපෑම් පිළිබඳව අපගේ අවධානය යොමු කරමු.

රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය බදු අදායමයි. එහෙත් මේ වන විට රජයේ බදු ආදායම හොඳටම අඩු වී ඇත. ඒ නිසා රජයේ බදු ආදායම වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්‌ බවත් අපි පිළිගනිමු. ඒ ගැන කිසිඳු විවාදයක්‌ නැත. එහෙත් රජය "වැට්‌" වලින්ම මේ බදු ආදායම වැඩි කර ගැනීමට යන්නේ ඇයි? එයට හේතු වී ඇත්තේ රජය විසින් ණය ගැනීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දී ලබා දී ඇති පොරොන්දුවකි. එම අරමුදලේ ණය වාරික ඉදිරියටත් බාධාවකින් තොරව ලබා ගැනීමට නම් රජයට තමන් විසින් එම අරමුදලට එකඟ වූ පොරොන්දු එලෙසම ඉටුකිරීමට සිදුවේ. පසුගියදා මහ බැංකු මුලස්‌ථානයේදී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ ලියුම්කරු ඇසු ප්‍රශ්නයකට ලැබුණු පිළිතුරකින්ද මෙය තහවුරු විය. "වැට්‌" වලින්ම බදු ආදායම වැඩි කරගත යුතු බවට ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල විසින් අපට කොන්දේසියක්‌ පනවා තිබේද යන්න ගැන මේ ලියුම්කරු ප්‍රශ්න කළ අතර එයට පිළිතුර ලෙස ප්‍රකාශ වූයේ මූල්‍ය අරමුදල එවැනි කොන්දේසියක්‌ පනවා නැති බවත් අපේ රජයට බදු ආදායම වැඩි කරන ආකාරය ගැන තීරණ ගැනීමට නිදහස තිබෙන බවත්ය. එහෙත් ඒ සමගම ප්‍රකාශ වූයේ මූල්‍ය අරමුදලින් "වැට්‌" වැඩි කිරීමට රජයට කොන්දේසි පනවා නැති නමුත් රජය විසින් "වැට්‌" වැඩි කිරීම හරහා රජයේ බදු ආදායම වැඩි කර ගන්නා බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දුවක්‌ ලබාදී තිබෙන බවයි. ඒ අනුව රජය විසින්ම එම අරමුදලට ලබා දී ඇති පොරොන්දුව කඩ නොකර කටයුතු කිරීමේ අවශ්‍යතාව නිසා නව පනතින්ද සියයට 4 ක වැට්‌ වැඩි කිරීම එලෙසම ගෙනවිත් තිබේ. රජය වැට්‌ වැඩි කිරීමෙන් රැස්‌කර ගැනීමට යන්නේ රු. බිලියන 100 ක (රු. කෝටි 10,000 ක) බදු ආදායමකි .මේ ආදායම රැස්‌කර ගැනීමට තවත් වෙනත් විකල්ප කොතෙකුත් තිබේ. රු.50 ක්‌ පමණ වියයුතු සිගරට්‌ටුවක මිල තවමත් පවතින්නේ රු. 35 ක පමණ මට්‌ටමේය. ඒ නිසා සිගරට්‌ වැඩි කිරීමෙන් පමණක්‌ වුවද රජයට ඔය කියන බදු ආදායම පහසුවෙන්ම උපයා ගත හැකිය. එවැනි හැකියාවක්‌ තිබුණත් රජය ඒ කිසිවක්‌ සිදු නොකර "වැට්‌" හරහාම රජයේ බදු ආදායම වැඩි කර ගැනීමට යන "රහස" මේ මුල්‍ය අරමුදලට දුන් පොරොන්දුවයි.

"වැට්‌" වැඩි කිරීම සියයට 15 දක්‌ වා සියයට 4 කින් එලෙසම සිදු කළත් මෙහිදී තොග හා සිල්ලර වෙළෙඳාම වැට්‌ බද්දට යටත් වන වෙළෙඳ පරිමාව වසරකට රු. මිලියන 50 දක්‌ වා ඉහළ දැමීම සිදුකර තිබේ. මේ නිසා සිදුවන්නේ වසරකට රු. මිලියන 50 කට අඩු (වැට්‌ බද්දට යටත් වන භාණ්‌ඩවලින් ලබන) වෙළෙඳ ආදායමක්‌ ලබන සියලු වෙළෙඳ ප්‍රජාව වැට්‌ බද්දට යටත් නොවීමයි. මේ තුළින් රජය අපේක්‍ෂා කරන්නේ කඩ සාප්පු වසමින් වැට්‌ බද්දට විරෝධය කළ කරමින් හර්තාල් කළ වෙළෙඳ ප්‍රජාවගේ විරෝධය නැති කර ගැනීමට විය හැකිය. නව යෝජනාව අනුව වසරකට රු. මිලියන 50 කට අඩු පිරිවැටුමක්‌ ඇති කිසිඳු වෙළෙන්දෙක්‌ "වැට්‌" සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය නොවේ. කලින් රජය යෝජනා කර තිබුණේ රු. මිලියන 12 ක වාර්ෂික පිරිවැටුමකි. ඒ අනුව දිනක වෙළෙඳ පිරිවැටුම රු. 33333 ට වැඩි සියලු දෙනාම "වැට්‌" බද්දට යටත් විය. දැන් මේ වෙළෙඳ පරිමාව වසරකට රු. මිලියන 50 දක්‌ වා වැඩි කර ඇති නිසා දැන් දිනකට රු. 138889 කට වැඩියෙන් වැට්‌ බද්දට යටත් වන භාණ්‌ ඩවලින් වෙළෙඳ ආදායමක්‌ ලබන ව්‍යාපාරිකයන් "වැට්‌" බද්දට යටත් වන අතර ඊට අඩු වෙළෙඳ ආදායමක්‌ ලබන්නන් වැට්‌ බද්දට යටත් නොවේ. මේ නිසා සහ නව පනතේ තවත් විධිවිධාන නිසා සංශෝධනය හරහා තොග හා සිල්ලර වෙළෙඳ ප්‍රජාවට තුළ මතු වන ගැටලු බොහෝ දුරට සමනය වී ඇතැයි පැවසේ. කෙසේ වෙතත් ඒ ගැන සමස්‌ත ලංකා වෙළෙද සංගම් එකමුතුව මෙසේ කියයි.

'අප විසින් රජයට ඉදිරිපත් කළ ප්‍රධාන යෝජනා දෙකටම සාර්ථක ප්‍රතිචාර නව පනතින් ලබා දීල තියෙනවා. ඒ ගැන අපි මුදල් ඇමැතිතුමාටත්, මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ටත් ස්‌තූතිවන්ත වෙනවා. එසේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අපේ සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවට පොරොන්දු වී තිබුණේ, නව වැට්‌ බදු පනත ඉදිරිපත් කිරීමට පෙර සංගමය සමග සාකච්ඡා කරන බවයි. එවැනි සාකච්ඡාවක්‌ සඳහා ජනාධිපතිවරයා පසුගිය අගෝස්‌තු 22 දා අප සංගමයට දින ලබාදී තිබුණා. එහෙත් ඒ සඳහා වෙනත් දිනයක්‌ ලබාදීමේ එකඟතාව මත එම සාකච්ඡාව අවලංගු වුණා. සාකච්ජාව සදහා වෙනත් දිනයක්‌ ලැබෙනු ඇතැයි අපේක්‌ෂාවෙන් සිටියත් එහෙත් ජනාධිපතිවරයාගේ පොරොන්දුව පරිදි අප සංගමයට සාකච්ඡාවක්‌ නොදීම අලුත් වැට්‌ බදු පනත ඉදිරිපත් කිරීමට රජය ක්‍රියා කර තිබෙනවා. කෙසේ වෙතත් නව වැට්‌ යෝජනාව මගින් බොහෝ විසදුම් ලැබී තිබීම සතුටට කරුණක්‌. දැන් අපි තවදුරටත් මේ පනතේ බලපෑම් ගැන සලකා බලා අවශ්‍ය සංශෝධන තිබුනොත් ඒවා අධ්‍යනය කර සුදුසු සංශෝධන අපි මුදල් ඇමැතිවරයාට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා"

නව වැට්‌ පනත ගේන්නේ අතීතයට බලනොපාන පරිදි නිසා එහිදී මතු වන තවත් ප්‍රශ්නයක්‌ තිබේ. එනම් අධිකරණය විසින් ශුන්‍ය කළ පනත අනුව රජය කලින් අය කළ වැට්‌ මුදල්වලට කුමක්‌ වන්නේද යන්නයි. ඒකාබද්ධ විපක්‌ෂයේ මහාචාර්ය ජී .එල්. පීරිස්‌ මහතා පවසන්නේ උසාවි නියෝගය අනුව කලින් අය කළ 'වැට්‌' මුදල් රජයට තබා ගැනීමට කිසිදු අයිතියක්‌ නැති බවත් ඒවා නැවත මහජනතාවට ගෙවිය යුතු බවත්ය. මේ ගැන ඉකුත් සැප්තැම්බර් 14 වැනිදා කොළඹ එන්. එම්. පෙරේරා මධ්‍යස්‌ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී, මේ ලියුම්කරු විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒකාබද්ධ විපක්‌ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ කලින් අය කළ 'වැට්‌' මහජනතාවට ගෙවන්න සංශෝධනයක්‌ ගේන බවයි. ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේද කීවේය.

අධිකරණයෙන් ශූන්‍ය කළ පනත අනුව රජය විසින් කලින් අය කළ එකතු කළ වටිනාකම් බදු (වැට්‌) මුදල් නැවත ජනතාවට ගෙවීම සඳහා අලුත් වැට්‌ පනතටත් ඒකාබද්ධ විපක්‌ෂයෙන් සංශෝධනයක්‌ ගෙනෙනවා. පනත ගැසට්‌ කළ පසු පනත් කෙටුම්පතේ තිබෙන්නේ මොනවාද කියලා දැකීමෙන් පසු මේ වැට්‌ සංශෝධන පනත ගැන ඒකාබද්ධ විපක්‌ෂය ලෙස විස්‌තරාත්මක ප්‍රකාශයක්‌ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පනත ගැසට්‌ කළපසු අන්තර්ගතය දැකගන්න පුළුවන්. ඒ අනුව කලින් නීති විරෝධීව රජය විසින් අය කළ වැට්‌ මුදල් නැවත මහජනයාට ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන එම පනත් කෙටුම්පතේ නොමැති වුවහොත් ඒකාබද්ධ විපක්‌ෂය ලෙස එම බදු මුදල් නැවත මහජනයාට ලබාදෙන්න මැදිහත් වීමට අප සුදානම්. අපි අලුත් පනත ඉදිරිපත් වූ පසු ඒ ගැන අධ්‍යයනය කර සුදුසු පියවර ගන්නවා. නීතිවිරෝධීව දැනටමත් අයකර ඇති බදු මුදල් නැවත මහජනතාවට ගෙවීමට අප විසින් පනතට සංශෝධනයක්‌ යෝජනා කරනවා."

මේ අලුත් පනත් කෙටුම්පතත් නව සංශෝධන අනුව තොග සහ සිල්ලර වෙළෙදාමේදී ප්‍රධාන කාරණා තුනක්‌ ගැන අවධානය යොමු කළ හැකිය. එනම් දැනටමත් වෙළෙඳුන් සතුව ඇති භාණ්‌ඩ තොගය සඳහා වැට්‌ බදු ගෙව්වා ලෙස රජය විසින් නොසැලකුවොත් එනම් "ඩීම් වැට්‌" නොදුන්නොත් එහිදී එම අත ඇති තොගය විකිණීමේදී වෙළෙඳ ව්‍යාපාරිකයන්ට පාඩු විදීමට සිදුවේ.මේ ප්‍රශ්නයට නව පනතින් විසදුම් ලබා දී තිබේ. එසේම රජයේ නව සංශෝධනය අනුව වසරකට රු. මිලියන 50 කට (එනම් රු. කෝටි 5 කට) අඩු පිරිවැටුමක්‌ ඇති වෙළෙඳුන් වැට්‌ බද්දට යටත් නොවන අතර ඊට ඉහළ පිරිවැටුමක්‌ (වැට්‌ බද්දට යටත් භාණ්‌ඩ වලින්) ඇති සියලු වෙළෙඳ ආයතනවලට "වැට්‌" සඳහා ලියාපදිංචි වීමට සිදුවේ. මේ නිසා න්‍යායාත්මකව සිදුවිය යුත්තේ වැට්‌ බද්දට යටත් එකම භාණ්‌ඩය "වැට්‌" සඳහා ලියාපදිංචි ආයතනයකින් මිලදී ගන්නා විට වැඩි මිලක්‌ ගෙවීමට සිදු වීමත් එම භාණ්‌ ඩයම "වැට්‌" වලට ලියාපදිංචි වී නැති ආයතනයකින් මිලදී ගන්නා විට සාපේක්‌ෂව අඩු මිලක්‌ ගෙවීමට සිදුවීමත්ය. එහෙත් වෙළෙඳපොළ තුළ බොහෝදුරට සිදුවනු ඇත්තේ "වැට්‌" සඳහා ලියාපදිංචි වී නැති වෙළෙඳුන් පවා අදාළ භාණ්‌ඩ වැට්‌ සහිත මිලට විකුණනු ලැබීමයි. එය එසේ සිදුවීමේදී මහජනයාට කොහොමත් සියයට 15 ක වැට්‌ බර (අලුතින් සියයට 4 ක බදු බර) දැරීමට සිදුවේ. එහෙත් වැට්‌ සඳහා ලියාපදිංචි වී නැති ව්‍යාපාරිකයින් මහජනයාගෙන් එම වැට්‌, මුදල් අයකරගෙන රජයට නොගෙවා සිටීමට ඉඩ තිබේ. එසේ වුවහොත් භාණ්‌ඩ හා සේවා මිලදී ගැනීමේදී මහජනතාව ගෙවන ලද එම වැට්‌ මුදල් රජය නොලැබී යයි. ඒ නිසා ඒ බදු මුදල් රජයට අයකර ගැනීම සඳහා ඇති වැඩපිළිවෙළ කුමක්‌ ද යන ප්‍රශ්නය මෙහිදී අපට රජයෙන් ඇසීමට සිදුවේ.

මීළඟ කාරණය වන්නේ වැට්‌ සඳහා ලියාපදිංචි වී නැති වෙළෙඳුන්ගෙන්, වැට්‌ සඳහා ලියාපදිංචි වී සිටින ව්‍යාපාරික ආයතන භාණ්‌ඩ මිලදී ගැනීමේදී ඔවන්ට "වැට්‌ ඉන්වොයිස්‌" ඉදිරිපත් කිරීමට නොහැකි වන නිසා ඔවුන්ගෙන් භාණ්‌ඩ මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත වීමයි. වැට්‌ නොගෙවන අයගෙන් භාණ්‌ඩ මිලදී ගැනීමට නම් එම අයගේ භාණ්‌ඩ සඳහා වැට්‌ බදු ගෙව්වා සේ සැලකීමට නව පනතින් (කොන්දේසි සහිතව) මුදල් අමාත්‍යාංශය සුදානම් බවද පැවසේ. මේ නිසා එම ප්‍රශ්නයටත් විසදුම් ලැබී ඇත. වැට්‌ සඳහා ලියාපදිංචි වී නොමැති වෙළෙඳ ආයතනවලින් බඩු මිලදී ගැනීම සදහා වැට්‌ සඳහා ලියාපදිංචි විශාල වෙළෙඳ ව්‍යාපාරවලට තිබු ගැටලුව ද මෙසේ විසදී ඇත. වෙළෙද ප්‍රජාවගේ බොහෝ ප්‍රශ්න විසදී තිබුණත් එහි අදහස මහජනයාගේ ප්‍රශ්නය විසදී ඇති බව නම් නොවේ. මහජනතාවට වැට්‌ වැඩි වීමේ බර එලෙසම දරන්නට සිදු වන බව සියලු දෙනාම මතක තබා ගත යුතුය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 998525795329484686

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item