විජය නන්දසිරි මහතාගේ අවසන්ස කටයුතු 11දා

අභාවප්‍රාප්තවූ ප්‍රවීණ රංගධරයෙක් සහ වේදිකා නාට්‍ය නිෂ්පාදකයෙක්ද වූ විජය නන්දසිරි මහතාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා 11දා සිදු කිරීමට නියම...

අභාවප්‍රාප්තවූ ප්‍රවීණ රංගධරයෙක් සහ වේදිකා නාට්‍ය නිෂ්පාදකයෙක්ද වූ විජය නන්දසිරි මහතාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා 11දා සිදු කිරීමට නියමිතය.

විජය නන්දසිරි මහතා ඊයේ (08දා) අභවප්‍රාප්ත විය. මියයන විට 69 වැනි වියේ පසු වූ ඒ මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාව වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 1966 අමරදාස ගුණවර්ධනයන් නිෂ්පාදනය කළ විදුර දේව නාට්‍යය හරහා ප්‍රසිද්ධ වේදිකාවට පැමිණි විජය නන්දසිරි මහතා අවසන වශයෙන් දායක වූ රංගනය වන්නේ පෙරේදා කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේදී වේදිකාගත වූ අජිත් මෙන්ඩිස්ගේ අලුත් හොරෙක් ඕනෑ නාට්‍යයයි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරා චරිතය තුළින් සිය ප්‍රතිභාපූර්ණ රංගන කෞෂල්‍යය මැනවින් ප්‍රකට කළ විජය නන්දසිරි මහතා අනතුරුව සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු, මහාසාර, නාට්‍යවලටද, දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑණා, ජසයා හා ලෙංචිනා, ආනන්ද ජවනික, ටී.බී. ඉලංගරත්නයන්ගේ ශෛලාසනය, ලූෂන් බුලත්සිංහලයන්ගේ තාරාවෝ ඉගිලෙති, හෙන්රි ජයසේනයන්ගේ කුවේණි සහ ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ඒකාධිපති, හේමසිරි ලියනගේගේ නරියා සහ කේජු කෑල්ල සයිමන් නවගත්තේගමයන්ගේ සුභ සහ යස ආදී වේදිකා නාට්‍ය 50කට අධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබාදුන්නේය.

එසේම ඔහු නිර්මාණය කළ වෘෂභ රාජ සහ කුස පබාවතී නාට්‍යද බොහෝ ප්‍රේක්ෂක අවධානයට ලක්විය.එසේම ඔහු මෑතකාලීනව රංගනයෙන් දායක වූ රවීන්ද්‍ර ආරියරත්නගේ බල්ලොත් එක්ක බෑ, අජිත් මෙන්ඩිස්ගේ අලුත් හොරෙක් ඕනෑ, සරත් කුලාංගගේ දෙයියොත් දන්නෙ නෑ සහ ප්‍රියන්ත රංජන්ගේ මල්වඩම් අනවශ්‍යයි නාට්‍යද ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ රංගගත කෙරිණි.

ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ නෑදෑයෝ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි විජය නන්දසිරි යස ඉසුරු, සඳකඩ පහණ, බංගලි වළලු, සසර සහ රේල් පාර, බහුබූතයෝ, සිකුරු හතේ, කිං හන්තර් සිනමා පට සේම මෑතකාලීනව ප්‍රදර්ශනය වූ ගිරිරාජ් කෞෂල්‍යගේ සුහද කොකා හරහාද බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි කරගැනීමට සමත් විය.

එමෙන්ම සිරස රූපවාහිනියේ විකාශය වූ පුංචි පහේ මං වැඩසටහනේ නිවේදකයා වශයෙන් ඔහු සිය රසික ප්‍රජාව තව තවත් පුළුල් කරගන්නටද සමත් විය. සිය රංගන හැකියාව හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය මැනවින් දිනාගත් විජය නන්දසිරි මහතාගේ දේහය මේ වනවිට 156/1, ටෙම්ප්ලර්ස් පාර, කලාපුර, ගල්කිස්ස ලිපිනයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (11දා) සිදු කිරීමට නියමිතව තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6969625763529213012

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item