53’ හර්තාලයට දැන් වසර 63යි
හර්තාල සටන්කාමියෙකු පහරදී පොලිස් අත්අඩංගුවට ගත් අවස්ථාවක් -ධර්මන් වික්‍රමරත්න දිනය : 1953 අගෝසතු 12වැනිදාය.ඇය නමින් ඇසි අක්කාය. මොරට...
http://www.sathhanda.com/2016/08/53-63.html
හර්තාල සටන්කාමියෙකු පහරදී පොලිස් අත්අඩංගුවට ගත් අවස්ථාවක් |
-ධර්මන් වික්‍රමරත්න
දිනය : 1953 අගෝසතු 12වැනිදාය.ඇය නමින් ඇසි අක්කාය. මොරටුව පදිංචිකාරියකි. රතුකොඩියක් අතින් ගත් ඇසි අක්කා ධාවනය වෙමින් තිබෙන දුම්රියට රතුකොඩියක් අල්ලා නැවතුන පසු රියදුරු සහ සේවකයින් බිමට බස්සවන ලදී. අනතුරුව එහි රැස්වූ කාන්තාවන් සමඟ දුම්රිය ඇන්ජිමේ ගිනිගනිමින් තිබූ ගල්අගුරු සියල්ල ඉවතට ඇද දමා දුම්රිය ක්‍රියා විරහිත කළේය. ඉන් නොනැවතී කිසිදු දුම්රියක් ඉන් ඔබ්බට ගෙන යෑමට නොහැකි වන සේ රේල් පීලිද ගලවා දැම්මෝය. සැනකින් පැමිණි හමුදා භටයින් ඔවුනට තුවක්කු එල්ල කළහ. ඇසි අක්කා සිය හැට්ටය ගලවා තමාගේ පපුවට වෙඩි තියන ලෙසට ඉල්ලා සිටියාය. කලහකාරි පිරිස් රොක්වන ස්ථාන සොයා එදිනම පියාසර කල අහස් යානයකට පොල්ගසක් උඩට නැඟගත් මිනිසෙකු විසින් වෙඩි තබන ලදී. වෙඩි පහරින් අහස් යානය බිමට පතිත නොවූවද අලාභහානි සිදුවිය.
මේ හරියටම මෙයට වසර 63කට පෙර එනම් 1953 අගෝස්තු 12වැනිදා පැවති හර්තාලයේ සිදුවීම් දෙකකි. එය වූ කලී ලාංකීය කම්කරු ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ තීරණාත්මක අවස්ථාවකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් 1948 මිදීමෙන් අනතුරුව ඇතිවූ ප්‍රථම බහුජන නැගිටීමද එය විය. යටත් විජිත ගහණයෙන් මිදුණු ශ්‍රී ලංකාව තුළ නැවත ආර්ථික සමාජීය සහ සංස්කෘතික නිදහස තහවුරු කිරීම වෙනුවට තවදුරටත් විදේශ මූල්‍යායතනවල යෝජනාවලට ගොඳුරුවීම මෙම නැගිටීමට පාදකවූ ආසන්නම හේතුව වේ.
දුම්රිය මාර්ගය මොරටුවේදී රේල්පීලි දමා උද්ඝෝෂණකරුවන් විසින් හරස්කර තිබු අන්දම |
ශත 25ට සපයන ලද හාල් සේරුව ශත 70 දක්වා වැඩිවීම ඇතුළු අතවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීම, ප්‍රවාහන ගාස්තු වැඩිවීම ආදීය සෘජුවම බලපෑවේ නාගරික කම්කරුවන්ටය. එහෙත් හර්තාලයට එක්වූ පිරිස වන කම්කරුවන්, ලිපිකරුවන්, ගරුවරුන්, ගොවින්, සිසුන්, නිලධාරින්, කාන්තාවන්, භික්ෂූන් ඇතුළු පිරිස එයට එක්වූයේ කිිසිදු භේදයකින් තොරවය. කම්හලේ, ගොවිබිමේ, වැඩපොලේ, සරසවිය ඇතුළු විවිධ කේෂේත්‍රයන්හි පිරිස් අතර විරෝධතා ව්‍යාපාර පැන නැගුණේ මුළුමනින්ම සැලසුම් සහගත නොවේ.
දීප ව්‍යාප්ත හර්තාලයක් පවත්වන බවට ගත් තීන්දුව දැනුම්දීම සඳහා 1953 අගෝස්තු 11වැනිදා ගෝල්ෆේස් පිටියේ රැස්වීම අමතන ආචාර්ය එන්.එම් පෙරේරා. |
මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන විසින් 1953 ජුලි 23වැනිදා ඉදිරිපත් කල අයවැය යෝජනාවලට ඇරඹුණු විරෝධතාවයන් 1953 ජුලි අවසානය වනවිට උණුසුම් ස්වරූපයක් ගෙන තිබිණි. කොළඹ, කැලණිය, අරකාවිල, ගම්පහ, කුරුණෑගල, අනුරාධපුර, වැලිගම, ගාල්ල, මාතර, රත්නපුරය, මඩකලපුව, යාපනය ආදී විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ, රැස්වීම්, කළුකොඩි දැමීම්, කෑම පැයේ විරෝධතා සහ පිකටින් වැනිදෑ පැවැත්විණි.
වෛද්‍ය එස්.ඒ වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ලංකා කොමියුනිස්ට් පක්ෂය, ආචාර්ය එන්.එම් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ලංකා සමසමාජ පක්ෂය, පිලිප් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් විප්ලවකාරි ලංකා සමසමාජ පක්ෂය 53 හර්තාලයට නායකත්වය දුන්නේය. එජාප විරෝධී සකලවිධි බහුතර කොටස්ද අරගලයට එක්වූයේ කොන්දේසි විරහිතවය.
හර්තාල සංවිධායකයෙක් පැවසූ පරිදි හර්තාල සංවිධානයට උරදුන් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු පවසා ඇති අන්දමට ඉර හඳ පවතින තුරු හාල් සේරුව ශත 25ට දෙනවා කියූ ආණ්ඩුව හිටි හැටියේ එය ශත 70 ක් කිරීම පාසැල් සිසුන්ගේ කිරි, බනිස් අහෝසි කිරීම වැනි දෑට එරෙහිව ආණ්ඩුවට එරෙහිව මෙම නැගී සිටීම සිදුවිය. එම විරෝධතාවන්හි අවසාන ප්‍රතිඵලය අගෝස්තු 12 හර්තාලය වේ. හර්තාලය යනු ඉන්දියාවේ කෙරුණාක් මෙන් සිවිල් නීති කල කිරීමක් බව පසක් විය. වසර 1953ට පෙර ශ්‍රී ලංකාවේ එවැනි හර්තාලයක් දකින්නට නොලැබිණි.
හර්තාල් තීරණය ගනු ලැබුවේ ලංකා කම්කරු සමිති සම්මේලය මෙහෙයවීමෙන් 1953 ජුලි 20 පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති සාකච්ඡාවකදීය. එජාප ආණ්ඩුවේ ජනතා විරෝධී ප්‍රතිපත්ති වලට විරෝධය දක්වමින් එක්දින සංකේත වර්ජනයක් සහ විරෝධතා ව්‍යාපාරයක් රටපුරා පැවැත්වීමට එහිදී තීරණය විය. මෙයට පෙරහුරුවක් ලෙස වරාය කම්කරුවන් දහස් ගණනක් 1953 ජුලි 21වැනිදා පැය 3ක සංකේත වර්ජනයක් කරමින් ප්‍රථම ප්‍රහාරය දියත් කලහ. රත්මලාන දුම්රිය කම්කරුවන් දහස් ගණනක්ද බලධාරින්ගේ කාර්යාලය වටලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් එදිනම දියත් කළහ. පෑලියගොඩ තරුණ සංගමය 60,000කගේ අත්සනින් යුත් පෙත්සමක් ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට භාර දුන්නහ. සුපුරුදු පරිදි වර්තමානයේ මෙන් එදාද ආණ්ඩුවේ පුවත්පත් මෙම උද්ඝෝෂණ හැදුන්වූයේ රාජ්‍ය විරෝධී කඩාකප්පක්කාරි වැඩ ලෙසය.
මාර්ග බාධක යොදා ගනිමින් පාර අවහිර කරගෙන සිටින විරෝධතා කරුවන්ට කළුතරදී පහරදී පලවා හරින අයුරු. |
හර්තාලය වෙනුවෙන් කම්කරු සමිති කල ආයාචනයේ මෙසේද සදහන් විය. ‘ රෝහල්, ඩිස්පැන්සරි, සහ වෛද්‍ය ආයතනවල සේවය කරන්නන්ද, එම ආයතන වලට ආහාර සහ ඖෂධ සපයන්නන්ද, එදින වැඩ කල යුතුය. ඔවුහු එසේ වැඩ කිරීමේදී කළු පටියක් පැලදීමෙන් තම විරෝධය පලකල හැකිය.’ මවිබිම සහ සමසමාජයේ පුවත්පත් සටන මුවහත් කළහ. කොළඹ නගරයේ 1953 අගෝස්තු 11වැනිදා එන්.එම්, කේනමන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් රැස්වීමක්ද පැවැත්විණි. පේරාදෙණිය සරසවි සිසුන් පොලිස් බැටන් ප්‍රහාර නොතකා මහනුවර නගරයේ පෙලපාලි ගියෝය.
හර්තාලයට සහාය පළකරමින් වසා දැමූ කඩසාප්පු බලහත්කාරයෙන් විවෘත කරන පොලිස් භටයින් |
මේ සියළු හර්තාල්, උද්ඝෝෂණ, අතරතුරදී රටේ සිවිල් පාලනය මුළුමනින් ඇන හිටිනි. ආණ්ඩුවේ කැබිනට් රැස්වීම පවා තිබුනේ නැවකය. හර්තාලය අතිමහත් ලෙස සාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙස අගොස්තු 13 සහ 14 යන දිනවල හර්තාල් විරෝධතා ඇදී ගියේය. ඒ අතරතුර අගෝස්තු 13වැනිදා හර්තාලය තවදුරටත් ගෙනයෑම අනතුරක් වශයෙන් සලකමින් කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය සහ විප්ලවකාරි සමසමාජ පක්ෂය වෙනුවෙන් එහි නායකයින් වන පීටර් කේනමන් සහ එන්.එම්. පෙරේරා සහ පිලිප් ගුණවර්ධන හර්තාලය නතර කොට නැවත වැඩට ගොස් තම තමන්ගේ කටයුතු කරගෙන යන ලෙසට ජනතාවට ආයාචනය කළෝය. හර්තාලය නිසා ජේ.ආර් ජයවර්ධනට මුදල් ඇමති තනතුරින් ඉවත්විමටද සිදුවිය.
සටන් මර්ධනය කිරීමට යෙදූ පොලිස් සහ හමුදා සමඟ ඇතිවූ ගැටුම් තුළින් කිහිප දෙනෙක් මිය ගියහ. රජය මගින් එදින හවස හදිසි නිිතිය පනවන ලදි. කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇදිරි නීතියද පැනවිය. මව්බිම සහ සමසමාජ පුවත්පත් මුද්‍රණය කරන මුද්‍රණාලවලට සීල්තබා පුවත්පත් පාලනයක් ඇතිකරන ලදී. හර්තාලයට සහභාගිවීමේ ‘වරදට’ ප්‍රාදේශීය නායකයින් සහ ක්‍රියාකාරිකයින් 499 දෙනෙකුට නඩු පැවරිණි.
හමුදා වෙඩි පහරට ලක්ව හර්තාලයේදී මියගිය පිටකොටුවේ කේ. එඩ්වින්ගේ දේහය අවසන් ගෞරවය සඳහා තබා තිබූ අයුරු. |
ජීවිත11ක් බිලි ගනිමින් 1953 අගොස්තු මස ඇතිවූ හර්තාලයේ කම්කරු පන්තියට නිසි නායකත්වයක් දීමට වාමාංශික පක්ෂ අසමත් විය. හර්තාලයේ වාසිය පසුකාලීනව ශ්‍රිලනිපයට යෑමේ ප්‍රතිඵලයක් ලෙස 1956 මැතිවරණයේදී එජාප ආණ්ඩුවේ පරාජය සිදුවිය. සටන් තීරණ ගැනීම්, ඒවා ක්‍රියාත්මක කිරීම පමණක් නොව ඉන් උපරිම ප්‍රතිඵල නෙලා ගැනීමද, වෘත්තීය සමිති ව්‍යාපාරයේ වගකීමක් බව 53 හර්තාලය කම්කරු පන්තියට ලබාදුන් ලොකුම පාඩම බව බොහෝ දෙනාගේ මතය විය.
(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)
Related