බැසිල්ගේ මවුබිම සාකච්චාව

• ජනසටන පාද යාත්‍රාවට ආණ්ඩුව බයවෙලා කියලා කට්ටියක් කියනකොට තවත් කට්ටියක් කියන්නේ සද්දෙ දැම්ම තරමට සාර්ථක නැහැ කියලා. ඒ ගැන ඔබේ අදහස කුමක්...

• ජනසටන පාද යාත්‍රාවට ආණ්ඩුව බයවෙලා කියලා කට්ටියක් කියනකොට තවත් කට්ටියක් කියන්නේ සද්දෙ දැම්ම තරමට සාර්ථක නැහැ කියලා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ආණ්ඩු විරෝධී බලවේගවල න්‍යාය පත්‍රයේ එක් සිද්ධියක් හැටියට ජනසටන පාද යාත්‍රාව සඳහන් කරන්න පුළුවන්. රටට අහිමි වුණු දේවල් සහ දැනට අහිමි වෙමින් පවතින දේවල් ආරක්ෂා කරගෙන රට බේරා ගැනීමට යන ගමනේ එක් සන්ධිස්ථානයක් තමයි පාද යාත්‍රාව. පාද යාත්‍රාව සාර්ථකද අසාර්ථකද කියලා බලන්න වෙන්නෙ එහි මූලික පරමාර්ථය ඉටු කළාද නැද්ද කියන කරුණ සමඟයි. ආණ්ඩුව කරවන අයට යන පාර හරිද වැරැදිද කියලා සිහි බුද්ධියෙන් කල්පනා කිරීමට පාද යාත්‍රාව විශාල බලපෑමක් කළා කියලා මං හිතනවා.

• මෙම පාද යාත්‍රාව සංවිධානය කිරීමට ඔබ දායකත්වය ලබාදුන්නේ කොහොමද?
පාද යාත්‍රාව ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ආණ්ඩු විරෝධී සියලු බලවේගවල එකමුතුවෙන් සංවිධානය කෙරුණා. එහිදී මට පැවරුණු වගකීමක් වුණේ පළාත් පාලන නියෝජිතයන් ඊට එක් කරගැනීම. ඒ කටයුතු සාර්ථකව සිදුවුණා කියලා මං හිතනවා.

• ඔබ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පෙර පාද යාත්‍රාවේ සියලු සංවිධාන කටයුතු සිදුකර අවසන් කර තිබූ බව ඇතැම් පළාත් පාලන නියෝජිතයන් ප්‍රකාශ කළා. මෙය සත්‍යයක්ද?
පාද යාත්‍රාව මුළුමනින්ම මං සංවිධානය කළේ නැහැ. මට යම් කිසි වැඩකොටසක් පැවරුණා. ඉන් යම් කොටසක් පමණක් සාර්ථකව කළා කියලා මං හිතනවා.

• මහනුවර සිට කොළඹ දක්වා පැමිණි 'ජනසටන' පාද යාත්‍රාවේ ගමන් කිරීමට ඔබ සූදානමින් සිටියද?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට තිබෙන තරම් ශාරීරික ශක්තියක් සහ මානසික ශක්තියක් මට නැහැ. ඒ වුණත් 'ජනසටන' පාද යාත්‍රාවේ යම්කිසි කොටසකට පාගමනින් සම්බන්ධ වෙන්නයි හිතාගෙන හිටියේ.

• නමුත් ඔබ එහෙම කිව්වට බන්ධනාගාරගත වුණු ගමන්ම රෝහල්ගත වුණා. එසේ නොවුණා නම් ඔබ පාද යාත්‍රාවේ ගමන් කරන්නේ කෙසේද කියලා සමහරු ප්‍රශ්න කරනවා.
මං රෝහල්ගත වුණේ වෛද්‍ය උපදෙස් අනුව. මෙවර ඇප ලබාදීමෙන් අනතුරුවත් මං රෝහලේ දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ගත්තා. කෙනකු රෝගී වෙන එක අසනීපයක් හැදෙන එක දෛවය විසින් තීන්දු කරන්නේ. ඒක කාටවත් නවත්තන්න බැහැ.

• දීර්ඝකාලීනව ප්‍රතිකාර ගතයුතු රෝගයක් නැත්නම් යම්කිසි ආබාධයක් ඔබට තිබෙනවාද?
අවුරුදු 6ක පමණ කාලයක් තිස්සේ නිසි වෛද්‍ය ප්‍රතිකාර ගන්න මට වෛද්‍යවරුන් නියම කළා. අවුරුදු 6ක කාලයක් තිස්සේ මං ප්‍රතිකාර ගන්නවා. මං වෛද්‍ය ප්‍රතිකාර ගන්නෙ ඇමෙරිකාවෙන්. මං අවසන්වරට ශ්‍රී ලංකාවට ආවට පස්සෙ අවුරුදු එකහමාරක් තිස්සේ මට ඇමෙරිකාවෙන් වෛද්‍ය ප්‍රතිකාර ගන්න බැරිවුණා. දැනට අපේ රටේ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගන්නවා.

• අවුරුදු එකහමාරක් පමණ කාලයක් තිස්සේ ඔබට ඔබගේ දරු පවුල මුණගැසී නැහැ. ඇමෙරිකාවේ සිටින ඔවුන් ඔබට කියන්නේ මොනවද?
අවුරුදු එකහමාරක් තිස්සේ මට මගේ දරු පවුල බලන්න විදියක් නැහැ. ඒ ගැන ඔවුනුත් මමත් ඉන්නේ වේදනාවකින්. මට විදේශගත වෙන්න අධිකරණයෙන් අවසර නැහැ. මගේ දෙවැනි දියණියගේ පළමු දරුවාගේ පළමුවැනි උපන්දිනය යෙදිල තිබුණේ පසුගිය අඟහරුවාදා. ඒ සිඟිති දරුවා තවම මං දැක්කේ නැහැ.

• මේව අතඇරලා දාලා ඔවුන්ගේ ළඟට එන්න කියලා ඔබගේ දරුවන් කියන්නේ නැද්ද?
මගේ බිරිය හා දරුවන් තිදෙනා ඇමෙරිකාවේ පදිංචි වී සිටිනවා. දරුවන් තිදෙනාම විවාහකයි. ඔවුන්ටත් දරුවන් ඉන්නවා. මං මෙහෙ ඉන්නෙ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා දේශපාලනයේ ඉන්නතුරු පමණයි.

• මේ තත්ත්වයන් හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා 2020 වසරේදී අගමැති අපේක්ෂක ලෙස තරග කරනවාද? එසේත් නොමැතිනම් ඊට පෙර පාර්ලිමේන්තුව තුළ ඔළුගෙඩි වෙනස්වෙලා මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය ලබාගැනීමේ සූදානමක් තිබෙනවාද?
රට බේරාගැනීම සඳහා යම්කිසි න්‍යාය පත්‍රයක් අනුව අපි වැඩකටයුතු කරගෙන යනවා. එහි පළමු කාරණය තමයි දැනට සිදුවන හානි අවම කරගෙන මේ රට ආරක්ෂා කරගැනීම. ඊට පසුව තවත් අපේ වැඩපිළිවෙළ තියෙනවා. ඒවා දැන්ම හෙළි කිරීම සුදුසු නැහැ.

• අසරණ මිනිසුන් බන්ධනාගාරගත වුණාම කිසිම පිළිසරණක් නැහැ. නමුත් ඇතැම් දේශපාලනඥයන් බන්ධනාගාරගත වෙලා රෝහල් ගතවෙන තරමට බන්ධනාගාර රෝහලක් වෙනම ස්ථාපිත කරන්න වෙයි කියලා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රකාශ කරල තිබුණා.
ඒක හොඳ යෝජනාවක්. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා මේ කතාව කිව්වේ ආසියාවේ අගවිනිසුරුවරුන් ඇතුළු විද්වතුන් සිටි සමුළුවකදී. මං විතරක් නෙවෙයි මාත් එක්ක බන්ධනාගාරගත වුණු නිලධාරීන් කිහිප දෙනකුම ජාතික රෝහලෙන් ප්‍රතිකාර ගන්නවා. මාව ඉලක්ක කරගෙන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ කතාව කළා නම් ඒක ජනාධිපතිතුමාට සුදුසු නැහැ.

• අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඔබට ඩීල් තිබෙනවාද?
2015 ජනවාරි 08 වැනිදායින් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් සමඟ මං හමුවෙලා කිසිම දෙයක් කතා කරලා නැහැ. මඟුල් ගෙදරකදී අවමඟුල් උත්සවයකදී සාමාන්‍ය දෙයක් කතා කරලා ඇති. නමුත් කිසිම දේශපාලන ඩීල් එකක් කාගෙත් එක්කවත් මට නැහැ. දුරකතනයෙන්වත් වෙනත් කෙනකුගේ මාර්ගයෙන්වත් මං ජනාධිපතිතුමාටවත් අගමැතිතුමාටවත් කතා කරලා නැහැ.

• ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස ඔබ පිළිගන්නවාද?
නැහැ.

• ඒ ඇයි?
මං දේශපාලනය කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දේශපාලනය කරනතුරු පමණයි. ඒක නිසා යම් තැනක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය නැතිනම් මං ඒ ස්ථානයේ ඉන්නේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පක්ෂයේ නායකත්වයට පත්වුණු දිනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් මං ඉවත් වුණා.

• ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කැමැත්තෙන් බාරදුන්නද? නැතිනම් පක්‍ෂයේ සභාපති ධුරය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඉල්ලා සිටියාද? ඇත්තටම සිදුවුණේ මොකක්ද?
ඒ වෙලාවේ මං හිටියේ ඇමෙරිකාවේ. ඒක නිසා ඇත්තටම සිදුවුණේ කුමක්ද කියල මං දන්නේ නැහැ. පක්‍ෂයේ සභාපති ධුරය දීපු එක වැරැදියි කියලවත් සභාපති ධුරය ගත්තු එක වැරැදියි කියලවත් මං කියන්නේ නැහැ.

• ඔබට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වය තිබෙනවාද?
ඒක මං දන්නේ නැහැ. ඔය එක්කෙනෙක් පත්තරේකට කියලා තිබුණා මගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි කියලා. වාර්ෂික දායකත්වය ලබාගෙන මං පක්‍ෂ සාමාජිකත්වය ලබාගත් කෙනෙක්. ඒ සාමාජිකත්වය තියෙනවාද? නැද්ද? කියලාවත් මං දන්නේ නැහැ.

• ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කඩන කොන්ත්‍රාත් එක ඔබ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් භාරගෙන තිබෙන බවටත් චෝදනාවක් එල්ල වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න දෙයක් නැහැ. දැන් පක්‍ෂය කඩලා ඉවරයි.

• ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැඩුවේ කවුද?
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමයි පක්‍ෂය කැඩීමට මුල්වුණේ. මෙතන ක්‍රම දෙකක් තියෙනවා. පක්‍ෂය දුර්වල කිරීම එකක්. අනෙක පක්‍ෂය කැඩීම. පක්‍ෂය දුර්වල කිරීම ආරම්භ කළේ පක්‍ෂයෙන් ඉවත් වෙලා ගිය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මහ මැතිවරණයට දින 2ක් තියෙද්දි ඉවත් කළේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා. පක්‍ෂයේ කැඩීමේ කටයුතු ආරම්භ වුණේ ඒ අවස්ථාවේදියි. ආසන සංවිධායක ධුර වෙනස් කරලා පක්‍ෂයේ ජාතික ලැයිස්තුව වෙනස් කරලා ප්‍රශ්න ගණනාවක් ඇති කළේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමයි. අදත් ආසන සංවිධායක ධුර 40ක් වෙනස් කරලා. වැඩිම මනාප ඡන්ද ගත්තු අය ඉවත්කරලා තියෙනවා. පක්‍ෂය කැඩෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නියම ප්‍රතිපත්ති තියෙන්නේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එක්ක. පක්‍ෂයේ සියලුම දෙනා ඉන්නේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එක්ක. ඒක නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩෙන්නේ නැහැ. මුළු පක්‍ෂයම ඉන්නේ අපිත් එක්ක. ඕනෑම පක්‍ෂයක් කියන්නේ එහි ප්‍රතිපත්ති සහ සාමාජික සංඛ්‍යාවයි. එතන තමයි පක්‍ෂයක් තියෙන්නේ.

• ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැඩෙනවාට කැමැති එක්සත් ජාතික පක්‍ෂය නිසා ඔබ මේ ඉටුකරන්නේ එහි අවශ්‍යතාවක්ද කියන සාධාරණ සැකය මතුවෙනවා නේද?
එහෙම එකක් නැහැ. මං දැක්කා ලස්සන පුවත්පත් දැන්වීමක්. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගිත්වයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ සංවත්සරය තියෙනවා කියලා. එක්සත් ජාතික පක්‍ෂයේ සංවත්සරය තියෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පමණක් නොවෙයි, එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අරගෙන වගේ. ඒකෙන්ම පේනවා, ඩීල් එක තියෙන්නේ කොතනද කියලා.

• නමුත් යුද්ධය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතු බව පවසමින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව එදා එක්සත් ජාතික පක්‍ෂය සමඟ යම් එකඟතාවකට යන්න සූදානම් වුණා නේද?
ඔව්. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ස්ථාවර පාර්ලිමේන්තුවක අවශ්‍යතාව තිබුණා. එහිදී සියලුම
පක්‍ෂවලට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ආරාධනා කළා. එක්සත් ජාතික පක්‍ෂය සමඟ යම් එකඟතාවකට පැමිණීමට සාකච්ඡා කළා. නමුත් එක්සත් ජාතික පක්‍ෂය අවංකව ක්‍රියා කළේ නැහැ. මේ නිසා කරු ජයසූරිය මහතා ප්‍රමුඛ 17 දෙනෙක් ආණ්ඩුවට එකතු වුණා. ඒක ජාතික ආණ්ඩුවක් නොවේ. එහිදී ක්‍රියාත්මක වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති. නමුත් වත්මන් ජාතික ආණ්ඩුව තුළදී ක්‍රියාත්මක වෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්ති පමණයි.

• රනිල් වික්‍රමසිංහ මහතා විපක්‍ෂ නායක වෙලා ඉන්න වෙලාවක එක්සත් ජාතික පක්‍ෂයේ අභ්‍යන්තරයෙන් ඔහුට විරුද්ධව මතුවූ බලවේගවලින් වික්‍රමසිංහ මහතා බේරාගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ක්‍රියා කළා නේද?
කවුරු මොනවා කිව්වත් ඒ වෙලාවේ සිටි නිල විපක්‍ෂ නායකයාට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා සැලකිය යුතු ආකාරයට සැලකුවා.

• ඒක රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්‍ෂ මහතා අතර තිබුණු ඩීල් එකක් නෙවිද?
නැහැ. දැන්නේ ඩීල් තියෙන්නේ. ඒ ගැන මං කලින් කිව්වා. ඉතිහාසයේ ඉඳලා හැම රාජ්‍ය නායකයෙක්ම එවකට සිටි විපක්‍ෂ නායක සමඟ බොහොම සුහදතාවයෙන් සාකච්ඡා කරලා වැඩ කරලා තියෙනවා. ඒ වගේ තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එවකට විපක්‍ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැඩ කළේ.

• එහෙමනම් වර්තමාන විපක්‍ෂයෙන් ආණ්ඩුව සමඟ යම් යම් එකඟතා අනුව කටයුතු කිරීම වරදක් නැහැ නේද?
යම් යම් කරුණු ගැන කතාබහ කළාට වරදක් නැහැ. නමුත් දැන් ඉන්න විපක්‍ෂ නායක තේරුවේ ආණ්ඩුවෙන්. අය - වැය ඡන්ද විමසීමේදී විරුද්ධ විය යුතු විපක්ෂය ආණ්ඩුවට පක්‍ෂව ඡන්දය ලබාදෙනවා. එහෙම දේවල් වෙන්නේ කොහොමද? වර්තමාන ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය 'ජනසටන' පාද යාත්‍රාව සාර්ථකව සංවිධාන කළාම ඒකට වැඩියෙන්ම පහර ගැහුවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහත්තයා. ඒවා තමයි නියම ඩීල්. විපක්‍ෂ නායක ධුරය හිමිවෙලා තියෙන දෙමළ ජාතික සන්ධානයත් 'ජනසටන' පාද යාත්‍රාව විවේචනය කරනවා. කිසිම අදාළත්වයක් නැහැ. අපි පාද යාත්‍රාව ගියේ දෙමළ ජාතික සන්ධානයටවත්, ජනතා විමුක්ති පෙරමුණටවත් විරුද්ධව නොවේ. අපි ගියේ ආණ්ඩුවට විරුද්ධව. එහෙමනම් දෙමළ ජාතික සන්ධානයට, ජනතා විමුක්ති පෙරමුණට රිදෙන්නේ ඇයි?

• රනිල් වික්‍රමසිංහ මහතා විපක්‍ෂ නායක වෙලා ඉන්නකොට සිරිකොත පක්‍ෂ මූලස්ථානයට එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසකගෙන්ම දැඩි ප්‍රහාරයක් එල්ල වුණා. ඒ අවස්ථාවේදී සිරිකොත වටේ මාර්ගය කාපට් කරලා විරෝධතාව මැඬ පැවැත්වීමට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා කටයුතු කළා නේද?
සමහරු ඔහොම කියනකොට තවත් කට්ටියක් කියනවා, මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා දේශපාලන පක්‍ෂ කැඩුවා කියලා. අනෙක් පැත්තෙන් කියනවා, එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා ආරක්‍ෂා කළා කියලා. මේ දෙකෙන් හරි මොකක්ද? දෙකෙන් එකයි කියන්න ඕන. ප්‍රබල විපක්‍ෂයක් ලෙස එක්සත් ජාතික පක්‍ෂය තියෙන්න ඕන කියන එකයි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ මතය වෙලා තිබුණේ.

• ඒ වෙලාවේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්‍ෂ නායකත්වය ආරක්‍ෂා කරන්න උපකාර කළාට ප්‍රතිඋපකාර මේ වෙලාවේදී රාජපක්‍ෂවරුන්ට ලැබෙනවාද?
අපි කාගෙන්වත් කිසිම ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ආණ්ඩුවට විරුද්ධව අපි කටයුතු කරනවා. ආණ්ඩු විරෝධීව ලැබෙන සැලකිලි හොඳටම පේනවානේ. මේ දේශපාලන පළිගැනීම් හොඳින්ම සිදුවෙනවා. ඒ දේවල් අඩු නැතිවම රාජපක්‍ෂවරුන්ටත් ලැබෙනවා. තමන් නිල විපක්‍ෂ නායක විදියට පත්කරගත්තු ආර්. සම්බන්දන් මහතාට නම් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා හොඳට සලකන බව පේනවා.

• ඉතින් නිල විපක්‍ෂ නායක ගැන ඒ කාලෙදි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාත් සොයා බැලුව නේද?
ඔව්. එහි වරදක් නැහැ. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සොයා බැලුවටත් වඩා හොඳින් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා විපක්‍ෂ නායක ආර්. සම්බන්දන් මහතා ගැන හොයනවා. මොකද විපක්‍ෂයේ බහුතරයකට විපක්‍ෂ නායක ධුරය නොදී සම්බන්දන් මහතා පත්කරන්නේ මේ ආණ්ඩුව. ඒක නිසා කොහොමටත් විපක්‍ෂ නායක සම්බන්දන් මහතා ගැන හොයන්න ඕන. සම්බන්දන් මහතාත් ඊට ආණ්ඩුවට හොඳින් ප්‍රතිචාර දක්වන බවක් පේනවා.

• රාජපක්‍ෂවරුන්ට එල්ලවෙන බරපතළ චෝදනා ගැන ඔබ කියන්නේ මොනවාද?
ඔය මඩගහන්න එල්ල කරන සියලුම චෝදනා බොරු බව අධිකරණයේදී ඔප්පු වේවි. මේ කරන්නේ දේශපාලන පළිගැනීම් පමණයි. මට චෝදනා එල්ලවෙලා තියෙන්නේ මං අල්ලස් ගත්තා කියලා නොවෙයි, මේ රටේ පොදු මහජනතාවට අල්ලස් දුන්නා කියලයි. වන්දි ගෙවීම්, නිවාස ආධාර, කොඩි කණු දුන්නා. දුප්පත් ජනතාවට බෙදුවා කියලා තමයි චෝදනා එල්ල වෙන්නේ. මේවා අධිකරණවල විභාග වෙන නිසා මීට වඩා මේ ගැන කතාකරන්න මං කැමැති නැහැ.

• ඔබට තිබුණු දේපළ ප්‍රමාණයක් රාජසන්තක කළා කියලා ආණ්ඩුව පසුගියදා ප්‍රකාශ කළා.
කඩුවෙල හෝ මල්වානේ මගේ නමට හෝ මගේ අයිතියට කිසිම ඉඩමක් ඇත්තේ නැහැ. මගේ කිසිම දෙයක් මෙතෙක් රාජසන්තක කරලත් නැහැ. මගේ ඉඩම් ඉදිරියේදී ගන්න ඉන්නවා නම් ඒක දේශපාලන පළිගැනීමක් කියලා කියන්න පුළුවන්.

• එතකොට මාතර තිබෙන ඉඩමක් ගැනත් කතා වෙනවා
මාතර තියෙන ඉඩම මගේ බිරියගේ නංගිගේ. ඒ ඉඩමට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒකත් මේ වන විට අධිකරණයේ තියෙන ප්‍රශ්නයක් නිසා මං කතා කරන්න කැමැති නැහැ.

• ඔබ කියන විදියට රාජපක්‍ෂවරුන්ට මෙහෙම අසත්‍ය චෝදනා එල්ල කරනවා නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නේද?
ඔව්. ඒ සියලුම කරුණු ගැන නීතිඥයන් සමඟ සාකච්ඡා කරමින් තිබෙනවා. තව දෙයක් කියන්න ඕන. මගේ ඥාතියකුගේ දේපළක් හෝටල් පාසලක් කරනවා කියලා එක්කෙනකු කියල තියෙනවා. ඔය කියන කෙනා වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති උල්ලංගනය කරමින් හෝටලයක් ගහගත්තා. ඒක ආණ්ඩුවට ගන්න ගිය වෙලාවේ දේශපාලන පළිගැනීමක් නොවන විදියට ඒක නතර කරන්න කටයුතු කළා. එහෙම කරගත්තු කට්ටිය තමයි දැන් අපිට අභූත චෝදනා එල්ල කරන්නේ. ඒ අපිට චෝදනා කරන කෙනාගේ හෝටලය නම් හෝටල් පාසලකට ඉතාම සුදුසුයි.

• ඔබ පළාත් පාලන ආයතනවලට කොඩි කණු බෙදුව එකට එස්.බී. දිසානායක අමාත්‍යවරයා සුදුහුනු ගානවා කියලා සමහරුන් එස්.බී. දිසානායක අමාත්‍යවරයාට චෝදනා එල්ල කළා.

අමාත්‍යාංශය භාර ඇමැති විදියට එස්.බී. දිසානායක මහතා පාර්ලිමේන්තුවේදීත් එහි වරදක් නැති බවට පිළිතුරු ලබාදීලා තියෙනවා. ඔය කතාව එහෙම කිව්වට තවත් වෙනත් කතාවකුත් එස්.බී. දිසානායක මහතා කිව්වා. ඒක කිව්වේ යම් කෙනකුගේ බලපෑමකට. ඒ බලපෑම් කළේ ඇයි කියලත් මං දන්නවා. ඒ ඇරෙන්න මාත් එක්ක එස්.බී. දිසානායක මහතාගේ විශේෂ සම්බන්ධයක් නැහැ.

• ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 65 වැනි සංවත්සරයට ඔබ සහභාගි වෙනවාද?
නැහැ.

• හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට සහභාගි වෙනවාද?
ඒ ගැන කියන්න මං හරියට දන්නේ නැහැ. ඒක දැනගන්න ඕන මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගෙන්මයි.

• අලුත් දේශපාලන පක්‍ෂයක් ගැන කතාවෙනවා. එහි සත්‍යයක් තිබෙනවාද?
අලුත් දේශපාලන පක්‍ෂයක් නොවේ, ආණ්ඩු විරෝධී නව දේශපාලන බලවේගයක් ගොඩනඟනවා. ඒක නතර කරන්න කිසිවකුට බැහැ. මීළඟ පළාත් පාලන මැතිවරණය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්නේ මේ නව දේශපාලන බලවේගයයි.
• ඒකට නායකත්වය දෙන්නේ කවුද?

මේ රටට ආදරය කරන දහස් ගණනක් ඊට නායකත්වය දෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාටත් ඊට එක්වන ලෙස අපි ආරාධනා කරනවා.

• එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ වෙන්නේ නැද්ද?
පක්‍ෂයෙන් කැඩීමක්වත්, නව පක්‍ෂයෙක් හැදීමක්වත් මෙතන වෙන්නේ නැහැ. මෙතන සිදුවෙන්නේ ආණ්ඩු විරෝධී දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති, විද්වතුන්, සිවිල් සංවිධාන බුද්ධිමතුන් ඇතුළු රැසක් එක්වී ආණ්ඩු විරෝධීව දේශපාලන බලවේගයක් ගොඩනැඟීම. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් ඒ ඇතුළේ ඉන්නවා.

• නමුත් නව බලවේගයක් ඉදිරිපත් වුණොත් එමඟින් එක්සත් ජාතික පක්‍ෂයට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී යම් වාසියක් අත්වෙන්න පුළුවන් නේද?
අපි දැන් විරුද්ධ පක්‍ෂයේ ප්‍රබලයා බවට පත්වෙලා ඉවරයි. ප්‍රබලයන් අතර දුබලයා වීමේ සටනට ඉදිරි මාස 4දී මුහුණදීලා අපි ජයග්‍රහණය කරනවා. මං ඉතා වැදගත් කාරණයක් කියන්නම්. ඉදිරියේදී කැඩෙනවාද? නැද්ද? කියලා තීරණයක් ගන්න ඕන ආණ්ඩුවයි. හංසයාගෙන් එකට ඉල්ලපු කට්ටිය බෙදෙනවාද? නැද්ද? රනිල් වික්‍රමසිංහ මහතා, මෛත්‍රිපාල සිරිසේන මහතා බෙදිලද? එකටද? ඡන්දෙ ඉල්ලන්නේ කියල අපි බලාගෙන ඉන්නේ. විරුද්ධ පක්‍ෂය බෙදන්නේ නැහැ. හංස සන්ධානයෙන් ආවත් රනිල් මහතා සහ මෛත්‍රිපාල මහතා වෙන වෙනම ආවත් ඕනෑම දේකට ජනතාව වෙනුවෙන් අපේ නව දේශපාලන බලවේගය සූදානම්. දැන් ඒකට සංවත්සර පවත්වන්න යන අය පළාත් පාලන මැතිවරණයේදී දෙකට බෙදෙනවාද? ඒක නිසා දෙකඩ වෙනවාද? නැද්ද? කියන ප්‍රශ්නය අහන්න ඕන අපෙන් නොවේ, වත්මන් ආණ්ඩුවෙනුයි.

• ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර යළි සමඟියක් ඇතිකිරීමට පිරිසක් උත්සාහ ගන්නවා නේද?
ඒක මං හරියට දන්නේ නැහැ. එක්කෙනෙක් ගහගෙන ගහගෙන යනවා. අනිත් එක්කෙනා පන්සල් ගිහිල්ලා මෛත්‍රි කරන බවක් තමයි මට නම් පේන්නේ.

• මීළඟ ජනාධිපතිවරණයට නව දේශපාලන සන්ධානයෙන් ඉදිරිපත් වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාද?
ඒ ගැන නම් මං දන්නේ නැහැ.

• ඔබ නක්ෂත්‍ර විශ්වාස කරනවාද?
විශ්වාස කරන්නෙත් නැහැ. නොකරන්නෙත් නැහැ.

• ඔබට රාජයෝග එහෙම තියෙනවා කියලා නක්ෂත්‍රකරුවන් එහෙම කියලා නැද්ද?
එහෙම දෙයක් තියා මාව හිරේ යනවා කියලවත් ඔවුන් කියලා තිබුණේ නැහැනේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

දේශපාලන 1040352026995882740

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item