ජාතික ආරක්‌ෂාව අනතුරට දමා අතුරුදන්වූවන්ට දොර ඇරීම

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක්‌ පිහිටුවීම සඳහා වූ මුල් අදහස මූලිකව ඉදිරිපත් කරනු ලැබුවේ මානව අයිතිවාසිකම් පිළිබඳ එක්‌සත් ජාතීන්ග...

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක්‌ පිහිටුවීම සඳහා වූ මුල් අදහස මූලිකව ඉදිරිපත් කරනු ලැබුවේ මානව අයිතිවාසිකම් පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ මහ කොමසාරිස්‌වරයා පසුගිය වසරේ දී මානව අයිතිවාසිකම් කවුන්සිලයේ 30 වන සැසියේ දී ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වූ නිර්දේශයන් තුළින් බව සඳහන් කළ යුතුව ඇත. මේ සම්බන්ධයෙන් කොමසාරිස්‌වරයාගේ වාර්තාවේ 25 වන නිර්දේශයේ සඳහන් වන්නේ, අතුරුදන් තැනැත්තන් පිළිබඳව ශ්‍රී ලංකා රජය ස්‌ථාපනය කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාව විසුරුවා ස්‌වාධීන ආයතනයක්‌ ස්‌ථාපනය කළ යුතු බවය.

මේ නිර්දේශවල සෘජු ප්‍රතිඵලයක්‌ වශයෙන් ශ්‍රී ලංකා රජය එක්‌සත් ජනපදය හා තවත් රටවල් කිහිපයක්‌ හා එකතුව ශ්‍රී ලංකා රජයට විරුද්ධව ගෙන එනු ලැබු යෝජනා සම්මතයේ ක්‍රියාකාරි කොටසේ 4 වන ඡේදයේ සඳහන් කළේ අතුරුදන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයක්‌ ස්‌ථාපනය කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බවයි.

මේ අනුව මෙම පනත් කෙටුම්පත ගෙන එනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා ජනතාවගේ අවශ්‍යතාවයකට නොව මර්දනකාරී බටහිර බලවේගවල හා බෙදුම්වාදීන් ගේ අවශ්‍යතාවය ඉටු කිරීමට බව අප ගේ සාමූහික විශ්වාසයයි.

පනත් කෙටුම්පතේ ''අතුරුදන් වූ තැනැත්තකු'' යන අර්ථ නිරූපනයට අනුව මෙම පනත උතුරු හා නැගෙනහිර පළාත්වල හටගත් සන්නද්ධ ගැටුම් සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ මෙහෙයවීමෙන් අතුරුදන් වී ඇති තැනැත්තන්ට සීමා කිරීමට දරා ඇති උත්සාහය ගැන අපි විමතියට පත්වීමු. මෙ රටේ සිදුවී ඇති අතුරුදන්වීම් බොහෝමයකට වගකිව යුත්තේ ත්‍රස්‌තවාදීන් ය. එහෙත් අතුරුදන්වීම් සම්බන්ධයෙන් වගකීම ශ්‍රී ලංකා රජය වෙත යොමු කිරීමට මෙම පනත උත්සාහ දරයි. 13 වන වගන්තියේ අතුරුදන් වූවන් අනුස්‌මරණය කිරීම සඳහා ප්‍රතිපාදන සලසා ඇත්තේ රටවැසියන් රැකීමට ත්‍රිවිධ හමුදාව ගත් ක්‍රියාමාර්ග හෙළාදකිමින් ත්‍රස්‌තවාදීන් සැමරීම බව පැහැදිලි ය.

කාර්යාලයේ සංයුතිය

පනත් කෙටුම්පතේ 3 වන වගන්තියේ ''ඕ.එම්.පී.'' යනුවෙන් හඳුන්වන ලබන අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක්‌ පිහිටුවීමට යෝජනා කර ඇති අතර, එය පොදු මුද්‍රdවක්‌ සහිත අවිචින්න පැවැත්මක්‌ ඇති සංස්‌ථාපිත මණ්‌ඩලයකි (3(2) වගන්තිය). මෙම කාර්යාලය ව්‍යවස්‌ථා සභාවට විසින් පත් කරනු ලබන ශ්‍රී ලංකා සමාජයේ බහුත්ව ස්‌වභාවය පිළිබිඹු වන සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සංයුත්ත වේ (4 (1) හා 4(2) (අ) වගන්ති). දැනට ව්‍යවස්‌ථා සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්‌ෂ නායක සම්බන්ධන්, රාධිකා කුමාරස්‌වාමි, සිබ්ලි අසීස්‌, ඒ.ටී. ආරියරත්න ඇතුළු ඡන්දය පාවිච්චි කළ හැකි සාමාජිකයන් 9 දෙනෙකුගෙන් සමන්විතය. ඉන් 5 දෙනෙක්‌ අගමැති හා විපක්‌ෂ නායක විසින් පත් කළ අය වේ. මේ අනුව වර්තමාන ව්‍යවස්‌ථා සභාවේ බහුතරයක්‌ විසින් තෝරාගන්නා ඕ.එම්.පී. කාර්යාලයේ හත් දෙනා කවර ස්‌වරූපයේ අයවනු ඇත් ද යන්න පිළිබඳ යම් ඉ`ගියක්‌ අපට සපයයි.

රජයේ කාර්යාලයක්‌ සංස්‌ථාපිත මණ්‌ඩලයක්‌ ලෙස නිර්මාණය කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය නොවේ. ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව සංස්‌ථාපිත මණ්‌ඩල නොවේ. අල්ලස්‌ හා දූෂණ මර්දන කොමිසම වුවද සංස්‌ථාපිත මණ්‌ඩලයක්‌ නොවේ. රජයේ කාර්යාලයක්‌ භාරව සිටින රජයේ ධුර දරන්නන් ඔවුන් ගේ සත්භාවමය නොවන ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලිකව වගකිව යුතු ය. ''ඕ.එම්.පී.'' කාර්යාලය මෙසේ සංස්‌ථාපනය කර ඇත්තේ එහි සාමාජිකයන්ට ඔවුන් ගේ වැරැදිවලින් ආරක්‌ෂා වීම සඳහා ආවරණයක්‌ සැපයීමට ද යන සැකය අපට තිබේ. මේ අනුව මෙම කාර්යාලය විසින් ගනු ලබන තිරණ ''ඕ.එම්.පී.'' යන සංස්‌ථාපිත මණ්‌ඩලයක්‌ විසින් ගනු ලබන සාමූහික තීරණ බැවින් එහි සාමාජිකයන් ගේ මෙහෙය විමෙන් ගනු ලබන තිරණවලට පුද්ගලිකව වගකිමෙන් මීදිමට එහි සාමාජිකයන්ට අවස්‌ථාව ලැබේ.

කාර්යාලය සඳහා ජාත්‍යන්තර
ප්‍රජාවෙන් මුදල් ලබා ගැනීම

මෙම කාර්යාලය පවත්වාගෙන යැම සඳහා රජය ඒකාබද්ධ අරමුදලින් ලබාදෙන මුදල් වලට අමතරව දේශිය හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ත්‍යාග, ප්‍රදාන හා පරිත්‍යාග Rජුව ලබා ගත හැකිය. මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක්‌ වන්නේ පනත් කෙටුම්පතේ සිංහල පිටපතේ ''ප්‍රජාව'' යන වචනය නොයොදා හුදෙක්‌ දේශීය සහ ජාත්‍යන්තර ත්‍යාග වශයෙන් සඳහන් වීමය. මෙය සිංහල කථා කරන සාමාන්‍ය ජනතාවගෙන් මෙම කාර්යාලයට මුදල් ලබා ගන්නා නියම මුලාශ්‍රය වසන් කිරීමට දරන ලද ප්‍රයත්නයක්‌ බව පෙනේ. මේ අනුව මෙම කාර්යාලයට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් මුදල් ලබාගත හැකි අතර ඔවුන්ට කාර්යාලයේ "අරමුණු ඉටු කර ගැනීම සඳහා අරමුදල් උපයා ගැනීමට" (21 වගන්තිය) බලය පවරා ඇති අතර ඔවුන් මුදල් ''උපයා ගන්නේ'' කෙසේ දැයි අපට ඇතිවන තවත් ප්‍රශ්නයකි. මෙම කාර්යාලයට තමන් වෙත ලැබෙන තොරතුරුවලින් මුදල් උපයා ගැනීම සඳහා මාර්ග සලසා ඇත්ද යන්න පැහැදිලි කරගත යුතුව ඇත.

ඕ.එම්.පී.යේ බලතල

මෙම කාර්යාලයට දේශීය හෝ විදේශීය හෝ සංවිධානයකින් හෝ යම් තැනැත්තෙකු සමග ගිවිසුම්වලට ඇතුළත් වීමට බලය ලබා දෙන ප්‍රතිපාදන කෙටුම්පතට ඇතුළත් වී ඇත (11 (අ) වගන්තිය). එසේම කාර්ය මණ්‌ඩලය සහ උපදේශකයන් පත්කර ගැනීමට මෙම කාර්යාලයට හැකිය. මේ අනුව විදේශිකයන් බඳවා ගැනීම සඳහා විදේශීය ආයතන සමග ගිවිසුම් ගැසීමට මෙම කාර්යාලයට බලය ලැබේ. එපමණක්‌ නොව මෙම කාර්යාලයේ ශාඛා හා අංශ පිහිටුවීමටත් ඒවාට අවශ්‍ය බලය පවරා දීමටත් පුළුවන. මෙම ප්‍රතිපාදනවල සෘජු ප්‍රතිපලය විදේශිකයන් විසින් පාලනය කරන කාර්යාලයක්‌ බිහි කිරීමයි.

''ඕ.එම්.පී.''යේ බලතල වලට ඇතුළත් වන තවත් වැදගත් කරුණක්‌ වන්නේ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ විමර්ශනය කිරීමේ මුවාවෙන් දී ඇති බලතලයි. ඒ අනුව ඕනෑම අයකු මෙම කාර්යාලයට කැඳවා වාචික හා ලිත සාක්‌ෂි සටහන් කර ගැනිමට ද, ඔවුන් සම්බන්ධයෙන් ඇති ලේඛන හෝ වෙනත් දෙයක්‌ ''ලබා ගැනීමට ද, ''පොලිස්‌ ස්‌ථානයකට, බන්ධනාගාරයකට හෝ වෙනත් යම් ස්‌ථානයකට දිවා කාලයේ හෝ රාත්‍රි කාලයේ ඕනෑම වේලාවකදී වරෙන්තුවක්‌ නොමැතිව ඇතුළු වී විමර්ශනය කිරීමට සහ ඕ.එම්.පී. විසින් පවත්වනු ලබන යම් විමර්ශන කාර්ය සඳහා අවශ්‍ය යෑයි සලකනු ලබන යම් ද්‍රව්‍යයක්‌ පරික්‌ෂා කිරීමට හා එහි පිටපත් හෝ උධෘත ලබා ගැනීමට, තහනමට ගැනීමට සහ රඳවා තබා ගැනීමට ඕ.එම්.පී. හි යම් නිශ්චිත නිලධාරියෙකුට බලය පැවරීමට'' (12(ඊ) වගන්තිය) ද හැකි වේ.

ඕ.එම්.පී. හි මේ ''නිශ්චිත නිලධාරියා'' කවරකුද යන්න පනත් කෙටුම්පතේ අර්ථකථනය නොවේ. කලින් සඳහන් කළ පරිදි ගිවිසුම්ගතව මෙම කාර්යාලයේ සේවය කරන විදේශිකයෙකු නිශ්චිත නිලධාරියකු ලෙස නම් කිරීමට මේ අනුව මෙම කාර්යාලයට පුළුවන. එබැවින් විදේශිකයන්ට අපගේ හමුදා මූලස්‌ථානයට හෝ බුද්ධි අංශයකට හෝ කඩා පැන එහි ද්‍රව්‍ය තහනමට ගැනීමටත්, ඕනෑම ලේඛනයක්‌ තම භාරයට ගැනීමට හෝ එහි පිටපත් ගැනීමටත්, අපේ රණවිරුවන්ගේ ප්‍රකාශ ගැනීමටත් බලය තිබේ. එසේ ම වෙනත් යම් ලිත නීතියක හෝ එය යටතේ සාදන ලද නියෝගයක පටහැනිව කුමක්‌ සඳහන් වූව ද ඕ.එම්.පී.යේ නියෝග සියලු රජයේ සේවකයන් පිළිපැදිය යුතු ය. (12 (ඉ)))ඇමරිකානු ''විමර්ශකයන්'' ඉරාන හමුදා භටයන්ගේ ප්‍රකාශ ලබාගත් අන්දම අද රහසක්‌ නොවේ. ඉරානයේ දී කටයුතු කළේ බලහත්කාරයෙනි. එහෙත් අප නීත්‍යානුකුලව එම කාර්ය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට සැරසීම කනගාටුවට කරුණකි.

ඕ.එම්.පී.ය හෝ එහි නිලධාරියෙකු කරන විධානයකට අවනත නොවන අයෙකුට විරුද්ධව නඩු පවරා නීතිමය කටයුතු කර ද`ඩුවම් දිමට අවශ්‍ය ප්‍රතිපාදන ද මෙම පනත් කෙටුම්පත තුළට ඇතුළත් කර ඇත (25 වගන්තිය).

අතුරුදහන් වූ තැනැත්තන් ගැන පමණක්‌ නොව "අතුරුදන්වීමේ අවස්‌ථානුගත කරුණු පිළිබඳව පරීක්‌ෂණයක්‌ සහ/ හෝ විමර්ශනයක්‌ කිරීම" ද (12 (ආ) වගන්තිය) 'විමර්ශනය කිරීමේ බලතල' යටතේ මේ ආයතනයට පවරා ඇති බව ද මෙහි දී සිහි තබාගත යුතු ය. එ පමණක්‌ නොව අතුරුදන් වූ තැනැත්තන් සම්බන්ධ සිදුවීම් පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගැනීම පිණිස අදාළ බලධාරීන් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම ද (10 (ආ)) මෙහි කාර්යභාරයට අයත් ය.

විමර්ශන බලතල යටතේ සාක්‌ෂි ආඥ පනතට පටහැනිව සිවිල් හෝ අපරාධ නඩු කටයුතුවල දී ලිත හෝ වාචික ආවේශ කළ නොහැකි ප්‍රකාශ හා ලේඛන පිළිගැනීමේ බලය ද (12 (ඇ) (සසස)) ඕ.එම්.පී.යට පවරා ඇත. එA හා සමඟ රහස්‍යභාවයෙන් ලබා දෙන තොරතුරු භාරගැනීමේ ක්‍රමවේදයන් සැකසීම ද ඊට ඇතුලත් ය. (12 (ඇ) (iv) හා (v)).

අතුරුදන් වූ හමුදා නිලධාරීන්ට හා ත්‍රස්‌තවාදීන්ට සමාන ලෙස සැලකීමට නියම කිරීම

13 (T) (vii) යටතේ වින්දිතයන්ගේ සහ අතුරුදන් වූ තැනැත්තන්ගේ ජාතීන්ගේ සමාජීය සහ ආර්ථික තත්ත්වයන් වැඩි දියුණු කිරීමට අදාළ වන්දි ලබාදීම හා අනිකුත් ක්‍රියාමාර්ග ගැනීම ද ඕ.එම්.පී.හි කාර්ය වලට අයත් ය. එA හා සමඟ ම (14) යටතේ කවර හෝ හේතුවක්‌ මත වෙනස්‌කම් දැක්‌වීමකින් තොරව සමානාත්මභාවය මත අතුරුදන් වූ තැනැත්තන්ගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කරන බවට සහතික විය යුතු බව කියා තිබීම මඟින් ත්‍රිවිධ හමුදාවල නිලධාරීන්ට හා සෙබළුනට ද ත්‍රස්‌තවාදීන්ට ද සමානව සැලකීමට මේ පනතින් කරුණු යොදා තිබීම අපගේ බලවත් පිළිකුලට හේතුවන බව නොකියා බැරි ය.

මෙම කෙටුම්පතේ සඳහන් වන තවත් ප්‍රශ්නගත ප්‍රතිපාදනයක්‌ නම් "ඕ.එම්.පී" මගින් සිදුකරනු ලබන විමර්ශනයක ප්‍රතිපලයක්‌ වශයෙන් යම් අතුරුදන් වූවා යෑයි කියන තැනැත්තෙකු නැවත ජීවත්ව සිටින බවට තොරතුරු ලැබූ අවස්‌ථාවක වුව ද තොරතුරු ලබා දිය හැක්‌කේ එසේ අතුරුදන් වූ බව ස`ගවමින් සැ`ගවී සිටි තැනැත්තන්ගේ කැමැත්ත මත පමණක්‌ වීමය. වංචනික ලෙස සැ`ගවී සිටිමින් අපගේ හමුදාව විසින් ඝාතනය කරන ලදැයි චෝදනා කර අපගේ රජයට හා එහි හමුදාවේ කීර්තිනාමය කෙලෙසා ඇති විටෙක වුවද එවැනි වංචනිකයන් ආරක්‌ෂා කිරීමට මෙම පනත් කෙටුම්පත කටයුතු කිරීම පුදුම සහගතය. මෑතක දී සම්මත කෙරුණු තොරතුරු දැනගැනීමේ පනත පවා අදාළ නොවන බවට වගන්ති මෙහි පනවා ඇත. (15 (ii).

මෙම ඕ.එම්.පී. කාර්යාලයට ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය නොවේ. අවශ්‍යතාවය එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පමණි.

මේ අනුව මෙම පනත් කෙටුම්පත බටහිර බලවේගවල ඕනෑ එපාකම්වලට අනුව බෙදුම්වාදීන් ගේ න්‍යාය පත්‍රයට අනුගතව ඉදිරිපත් කළ ලියවිල්ලක්‌ බව ඉතා පැහැදිලිය. මෙය ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‌ෂාවට, පරමාධිපත්‍යයට බලවත් තර්ජනයකි.

ජාතික ඒකාබද්ධ කමිටුව



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

කාලීන 9116818310842832073

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item