‘ලෝකල්’ ලෙනින්ගේ රතු හමුදාව

ඉහළ වමේ සිට, හෙන්රිගේ පියා යූ. ඊ පෙරේරා, මවවන ලියාපදිංචි වෛද්‍ය නිලධාරිනි බෝගා මොඩ් චාලට්, හෙන්...

ඉහළ වමේ සිට, හෙන්රිගේ පියා යූ. ඊ පෙරේරා, මවවන ලියාපදිංචි වෛද්‍ය නිලධාරිනි බෝගා මොඩ් චාලට්, හෙන්රිගේ වැඩිමහල් සොහොයුරියන් සහ සොහොයුරන්වන රම්‍ය කාන්ති, නාලනී, චිත්‍රා, රංජිත්, විරාජ් සහ කණිටු සොහොයුරාවන තිස්ස.
ජවිපෙ 1983 ජුලි පක්ෂ තහනමට පෙර, පසු සහ ජවිපෙ 2වැනි කැරැල්ල පැවති 1986 සිට 1990 දක්වා ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිරින් පරිබාහිරව සන්නද්ධ අරගලය විශ්වාස කල වාමාංශික කණ්ඩායම් 7ක් ක්‍රියාත්මක විය. ඒවා අතර උඩුවරගේ හෙන්රි පෙරේරාගේ රතු භටයෝ, ජයතිලක ද සිල්වාගේ සමාජවාදී ජනතා ව්‍යාපාරය, ගීගනගේ චන්ද්‍රසිරිගේ ජවිපෙ නව ප්‍රවණතාවය, වත්තේගම මඩවල බාවා අබ්දුල් කාදර්ගේ කඳුරට විමුක්ති පෙරමුණ, ජෝ සෙනෙවිරත්නගේ විකල්ප කණ්ඩායම සහ ඒ තුළ ගොනුවු කළුආරච්චිගේ ධනපාලගේ අවිස්සාවේල්ල අධ්‍යාපන කවය සහ ජනතා සංගමය වේ. මෙහි ඇතැම් කණ්ඩායම්වල ක්‍රියාකාරිකයෝ ඉන්දියාවේ සහ උතුරු නැගෙනහිර පළාතේ අවි පුහුණුවද ලැබීය. එකල ඇතැම් පුවත්පත් එම කණ්ඩායම් හැදින්වූයේ සිංහල කොටි හෝ රතු කොටි කියාය.

ඉහත කණ්ඩායම් අතරින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ලැබූ සහ සිරදඬුවමට ලක්වූ ප්‍රථම සිංහල ජාතිකයා වූයේ උඩුවරගේ හෙන්රි පෙරේරාය. ලෙනින් නොහොත් විශ්වන් නොහොත් රත්නම් ලෙසද ඔහු හැදින්විණි. ඔහු රතු හමුදාව නොහොත් රතු භටයෝ සංවිධානය නැමති කණ්ඩායමේ නායකයා විය. ලෙනින් ලෙස ඔහු කුඩා කාලේදීම නම් කළේ හෙන්රිගේ පවුලේ ඥාතියෙකුවූ සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්.එම් පෙරේරාය. විශ්වන් ලෙස ඔහුව නම් කළේ ප්ලොට් නොහොත් දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානයයි. රත්නම් ලෙස ඔහුව නම් කළේ වව්නියාවේ ගාන්ධියන් ව්‍යාපාරයේ නායකයෙකුවූ වෛද්‍ය සෝමසුන්දරම් රාජසුන්දරම්ය. උඩුවරගේ හෙන්රිගේ රතු භටයෝ සංවිධානයේ මව් සංවිධානය වූයේ උමා මහේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් 1980 ආරම්භ වූ ප්ලොට් සංවිධානය වේ. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ(එල්.ටී.ටී.ඊ) 1977 සිට 80 දක්වා සභාපතිවරයා වූයේද උමා මහේෂ්වරන්ය.

උඩුවරගේ හෙන්රිගේ වතගොත සොයා මහාධිකරණය හමුවේ 1985 විභාගයට ගත් වාර්තාද, කෝට්ටේ නගර සභාව, ඔහුගේ රාජගිරියේ මහගෙදර, බාප්පාගේ දෙහිවල, සොහොයුරෙකුගේ දොම්පේ සහ බිරිඳගේ වව්නියාවේ නිවෙස්වල අයද සාකච්ඡාවට ලක් කළෙමු. මේ දිග හැරෙන්නේ හෙන්රිගේ කිසිදා නොඇසූ එම ඉතිහාස කථාවය.

  උඩුවරගේ හෙන්රි පෙරේරාගේ ජීවිතයේ විවිධ අවස්ථාවන්.
වසර 1955 දෙසැම්බර් 31 මරදාන ද සොයිසා රෝහලේදී උපන් උඩුවරගේ හෙන්රි පෙරේරා දිගුකලක් පදිංචිව සිටියේ සිය පියාට අයත් රාජගිරිය යු.ඊ පෙරේරා මාවතේ 72 දරණ නිවසේ සහ එයට යාබද අංක 64 නිවසේය. හෙන්රි ප්‍රථමයෙන් පාසැල් ගියේ කොළඹ නාලන්දා විදුහලටය. ඒ 1961 ජනවාරි 3වැනිදාය. පසුව 4 වැනි ශ්‍රේණිය දක්වා 1965 ඔක්තෝබර් 13වැනිදා නාලන්දයෙන් ඉවත්ව කොළඹ මහා බෝධි මහා විද්‍යාලයට ඇතුල්වූයේ 1965 ඔක්තෝබර් 25වැනිදාය. මහාබෝධි විදුහලේ 7වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා 1969 ජුනි 30වැනිදා ඉන් ඉවත්ව 1970 ජනවාරි 10වැනිදා ඔහුගේ දෙමාපියන් විසින් විද්දෝදය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක්වූ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයට ඇතුල්කරන ලදී. පසුව ඉන්ද 1971 ජනවාරි 20වැනිදා ඉවත් කරගෙන එදිනම කොළඹ ආනන්ද විදුහලට ඇතුලත් කල අතර අපොස සාමාන්‍ය පෙළ සමත්වීමෙන් පසු 1973 පෙබරවාරි 22වැනිදා ආනන්දයෙන්ද සමුගත්තේය. පසුව කලමණාකරණ සහ නායකත්ව පුහුණුව පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක්ද හැදෑරිය.

හෙන්රිගේ සියා උඩුවරගේ ඇල්බට් පෙරේරාය. ඔහුගේ මුල් පරපුර මහනුවර උඩුවර ග්‍රාමයෙන් පැවතෙන්නෙකි. ඇල්බට් පෙරේරා වෘත්තියෙන් රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පියෙකි. ඇල්බට් 1922 විවාහවූයේ රාජගිරිය අමරතුංග ආරච්චිගේ රොස්ලින් පෙරේරා සමඟය. එම දෙපලට ඊබට්, ඔල්ගා, පර්සි සහ එඩ්වඩ් නමින් දරුවන් සිව්දෙනෙකි. පළමු දරුවා වූයේ හෙන්රිගේ පියාවන උඩුවරගේ ඊබට් පෙරේරාය. ඔහුගේ කෙටි නම වූයේ යූ.ඊ පෙරේරාය. ඔහු උපන්නේ 1924 නොවැම්බර් 19වැනිදා රාජගිරියේ කලපළුවාවේදීය. යූ.ඊගේ කණිටු සොහොයුරාවූ එඩ්වඩ් අවසානය දක්වාම උඩුවගේ හෙන්රි පෙරේරාගේ අයිතින් වෙනුවෙන් නොබියව පෙනී සිටියෙකි. වසර 1938 අප්‍රේල් 20 උපන් එඩ්වඩ් පේරාදෙණිය සරසවියෙන් ආර්ථික විද්‍යා උපාධිධාරියෙකු ලෙස සමත්වූයේ 1967දීය. සිය පවුලේ ආභාෂය අනුව සරසවි වියේ සිටම සටන්කාමියෙකුවූ එඩ්වඩ්ගේ ශිෂ්‍යභාවයද වරෙක වසර කිහිපයක්ම තහනමට ලක්විය. එඩ්වඩ්ගේ දේශපාලන ගුරුවරයා වූයේ මහාචාර්ය ඒ. ජේ විල්සන්ය. ඇත්ත පුවත්පතේ විශේෂාංග කතුවරයෙකුද වශයෙන් කටයුතු කල ඔහු අධ්‍යාපන, උසස් අධ්‍යාපන ඇතුළු අමාත්‍යවරුන්ගේ මාධ්‍ය ලේකම්වරයෙකු වශයෙන් වසර ගණනාවක්ම කටයුතු කළේය. වර්තමානයේ එඩ්වඩ් සංචාරක සේවා උපදේශකයෙකි.

උඩුවරගේ හෙන්රිගේ පියාවූ යූ.ඊ පෙරේරා අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්ද සහ වෙස්ලි යන විදුහල්වලිනි. යූ,ඊ පෙරේරා 1945 අගොස්තු 2වැනිදා අවාහ වූයේ බොරැල්ලේදී 1925 ජනවාරි 23 උපන් වේයන්ගොඩ පදිංචි ලියාපදිංචි වෛද්‍ය නිලධාරිනියකවූ බෝගවතී මොඩ් චාලට් විජේසිංහ සමඟය. එම දෙපලට දරුවන් 7කි. උඩුවරගේ හෙන්රි පෙරේරා එම පවුලේ 6වන දරුවාය. හෙන්රිගේ වැඩිමහල් සොයුරු සොහොයුරියන් වූයේ සෞඛ්‍ය සේවා කළමණාකාරිනියක්වූ රම්‍ය කාන්ති, වාම දේශපාලන ක්‍රියාකාරිනියක්වූ නාලනී, හෙදි සොහොයුරියක්වූ චිත්‍රා, ලංගම සේවක මණ්ඩල කළමනාකරුවෙක්වූ රංජිත් සහ පහත්බිම් සංවර්ධන මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරියෙකුවූ විරාජ්ය. කණිටු සොහොයුරා වූයේ නාවික හමුදාවේ කපිතාන් තිස්සය. උඩුවගේ හෙන්රි අද සිටියේනම් ඔහුට බාප්පා සහ මාමා කියන ඥාති දූ පුතුන් 9 දෙනෙකි.

හෙන්රිගේ සීයාවන උඩුවරගේ ඇල්බට් පෙරේරා සහ මිත්තණියවන අමරතුංග ආරච්චිගේ රොසලින් පෙරේරා 1922 විවාහ වූදා, හෙන්රිගේ පියාවන උඩුවරගේ ඊබට් පෙරේරා සහ මව වන බෝගවතී මොඩ් චාලට් විජේසිංහ 1945දී විවාහවූදා, හෙන්රි සහ ජෙයපාලනී පෙරේරා යුවල 1989 ඔක්තෝබර් 23 වව්නියාවේදී විවාහ වූදා(ඉහළ සිට)
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු වශයෙන් 1940 සිට 1947 දක්වා සේවය කල හෙන්රිගේ පියාවූ යූ. ඊ. පෙරේරාට 1947 බ්‍රිතාන්‍ය පාලකයින්ට එරෙහිව ඇතිවූ මහා වැඩ වර්ජනයෙන් පසු සේවය අහිමිවිය. ඉන්පසු ඔහු පූර්ණකාලීනව සමසමාජ පක්ෂයෙන් වාමාංශික දේශපාලනයට පා තැබීය. මෙයට වසර 63කට ප්‍රථම 1953 අගෝස්තු 12 ඓතිහාසික හර්තාල් වර්ජනය කැඳවූ වෘත්තීය සමිති 4 එක් නායකයෙකු වූයේ ලංකා කම්කරු සම්මේලනයේ ප්‍රධාන ලේකම්වූ මේ යූ.ඊ පෙරේරාය. එම හර්තාලය කැඳවූ සෙසු නායකයින් තිදෙනා වූයේ ලංකා කම්කරු සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් එම්. ජී. මෙන්ඩිස්, ලංකා කම්කරු සංගමයේ එම්. සුබ්බයියා සහ ලංකා වෙළඳ සේවක සමිතියේ ප්‍රධාන ලේකම් පී බාල තම්පෝය. සමසමාජ පක්ෂයෙන් පසුව අස්වූ යූ.ඊ පෙරේරා කෝට්ටේ අංක 1 දරණ කොට්ඨාශයට 1954 තරඟ කර ජය ගත්තේය. තෙවරක් බටහිර රාජගිරිය(රාජගිරිය ඔබේසේකරපුර) කොට්ඨාශය ජයගත් යූ. ඊ කෝට්ටේ පළාත් ආණ්ඩු සභාවේ උප සභාපති වශයෙන්ද 1960 ජනවාරි සිට 1962 දෙසැම්බර් දක්වා කටයුතු කළේය. පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරි සමසමාජ පක්ෂයට 1956දී එක්වූ ඔහු එහි වෘත්තීය සමිති ලේකම්වරයාද විය. ශ්‍රිලනිපයට 1964දී එක්වූ ඔහු ශන්මුගදාසන්ගේ චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ 1968 සිට ක්‍රියාකාරි විය. ජවිපෙ 1971 අප්‍රේල් කැරළි සමයේදී අත්අඩංගුවට පත්ව මැගසින් බන්ධනාගාරයේ රිමන්ඩ් ගතවූ යූ.ඒ පෙරේරා පසුව 1972 සිට 1978 දක්වා වේයන්ගොඩ සහ තුල්හිරිය පෙහෙකම්හලේ පිරිස් කලමණාකරු විය. දේශපාලනයෙන් හම්බ නොකල මිනිසෙකුවු ඔහු 1987 අප්‍රේල් 8වැනිදා මිය ගියේය.

සාම්ප්‍රදායික වාමාංශික දේශපාලනය සමඟ ගැට ගැසුණු හෙන්රිගේ නිවසට ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) දේශපාලනය ගෙන ආවේ හෙන්රිගේ අයියාවූ උඩුවරගේ රංජිත් පෙරේරාය. කොළඹ නාලන්දා විදුහලේ උසස් පෙළ හදාරමින් සිටියදී 1969 ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයෙකුවූ බලපිටියේ ලක්ෂ්මන් හරහා රංජිත් ජවිපෙට එක්විය. හැත්තෑ එකේ අප්‍රේල් 5වැනිදා කොළඹ ප්‍රධාන ස්ථානයන් අල්ලා ගැනීමේ කණ්ඩායමේ ඔහුද ක්‍රියාකාරිකයෙකු විය. පසුව එය අවසන් මොහොතේ නායකයින්ගේ උපදෙස් මත නතර කෙරිණි. හෙන්රිගේ නිවසට ප්‍රථම වරට පොලිසිය පැමිණෙන්නේ 1971 අප්‍රේල් 03වැනිදා රංජිත් අත්අඩංගුවට ගැනීමටය. සැඟවි සිටි රංජිත්ට පසුව ලංගම පානදුර ඩිපෝවේ පිරිවැය ලිපිකරුවෙකු ලෙස 1971 ජුලි 01 රැකියාවක් ලැබිණි. වසර 1972 අප්‍රේල් රැකියාවෙන් ඉවත්වීමට රංජිත්ට සිදුවූ ජවිපෙ යළි නඟා සිටුවීම සඳහා ඔහු යළි ජවිපෙට එක්වන්නේ එලියේ සිටි ජවිපෙ ප්‍රේමපාල හේවාබටගේ ඇතුළු නායකයින්ගේ උපදෙස් මතය. පසුව ජේ. සමරතුංග නොහොත් බෝල සමරේ සහ රත්නපුර සමරජීව සමඟ 1972 නොවැම්බර් 21වැනිදා රංජිත් පොලිස් අත්අඩංගුවට පත්වුවද ඉන් පැනයෑමට බෝල සමරේ සමත් විය. යාපනය හැමන්හිල් ඇතුළු බන්ධනාගාර 8ක ජවිපෙ කැරළිකරුවෙකු ලෙස අත්අඩංගුවේ සිටි රංජිත් නිදහස් වූයේ 1975 ජනවාරි 21වැනිදාය. පසුව යළි ලංගම සේවයට එක්වූ රංජිත් 2012 අප්‍රේල් 17වැනිදා විශ්‍රාම ගියේ ලංගම සේවක මණ්ඩල කළමනාකරුවෙක් ලෙසය.

උඩුවරගේ හෙන්රිගේ නිවසේ තිබුණේ මෙවැනි වමේ දේශපාලන පරිසරයකි. පියාගේ සොහොයුරන් පවා ක්‍රියාකාරි වූයේ වාමාංශික දේශපාලන පසුබිමක් තුළය. උඩුවරගේ හෙන්රි ජවිපෙට එක්කර ගත්තේ පාලිත ශ්‍යාම්දාස්ය. ඒ 1971 නොවැම්බර් මසය. කලින් කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව එහි පූර්ණකාලීනයෙකුවූ පාලිත ශාම්දාස් බල්ගේරියාවේ පැවති තරුණ උළෙලට පවා සහභාගිවූවකි. විජේවීර 1968 හමුවීමෙන් පසු ජවිපෙ පූර්ණකාලීනයෙකු වූ ශ්‍යාම් 71 කැරැල්ලේ යෝධ පුරුෂයන් සේ සිතා සිටි බොහෝ දෙනා කැරැල්ලට පෙර සහ පසුව ඇද වැටෙද්දී ප්‍රේමපාලගේ නායකත්වයෙන් 71 අප්‍රේල් කැරැල්ලෙන් පසු යළි ජවිපෙ නඟා සිටුවීමට කැපවී කටයුතු කළ අයෙකි. ගාමිණී බාස්ගේ පාවාදිමක් මත 1972 ජනවාරි 1වැනිදා ශාම්දාස් අත්අඩංගුවට ගනු ලැබීය. එහෙත් කෙටි කලකින්ම හෙන්රි ජවිපෙ දේශපාලන න්‍යායන්ගෙන් බැහැර වූවේය. ඔහු වෙනත් මඟක් සෙවීය. ඔහු කොමියුනිස්ට් රාජ්‍යයක අනාගතය පිළිබඳවත් එයට සිය අරගලකාරි දායකත්වය පිළිබඳවත් ඇති අසීමිත විශ්වාසයෙන් පසුවිය.

ජවිපෙ සාමාජිකයෙකුයැයි කියමින් හෙන්රිව 1974 මැයි මස කොටුවේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව මැගසින් සහ බෝගම්බර බන්ධනාගාරයේ රඳවන ලදී. ද්‍රවිඩ සන්නද්ධ සංවිධානවල සාමාජිකයින්වූ මොහාන්. රාජන්, කුමාර්, නඩේසන් ඇතුළු කිහිප දෙනෙක් සමඟද හෙන්රි සබදතා ගොඩනගා ගනී. වසර 1976 සැප්තැම්බර් කිසිදු චෝදනාවක් නොමැති නිසා ඔහු නිදහස් කරන අතර ඉහත සිරකරුවන් බැලීමට බන්ධනාගාරයටද ඔහු කිහිපවරක් ගියේය. එසේ හදුනාගත් මනිපායිහි ඉන්බම් 1976 දෙසැම්බර් නිදහස්වූ පසු හෙන්රිගේ රාජගිරියේ නිවසේ නවාතැන් ගත් අතර හෙන්රිද 1977 ජනවාරි දින කිහිපයක් ඔහුගේ මනිපායිහි නිවසේ නතර විය. ඉන්බම් 1979 වෙඩිතබා යාපනයේදී ඝාතනයකර තිබිණි. මර්ජ් අනුග්‍රහය යටතේ යාපනයට ගොස් 1980 ජුලි 13 සහ 14 මානව හිමිකම් සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීමටද හෙන්රි දායක විය.

කොල්ලුපිටියේ පිහිටි බාල තම්පෝ ලේකම්ධූරය දැරූ එවකට 4වැනි ජාත්‍යන්තරයේ ලංකා ශාඛාවවූ විප්ලවීය මාක්ස්වාදී පක්ෂය සමඟ 1978 අගෝස්තු මස සිට සබදතා ඇතිකරගත් උඩුවරගේ හෙන්රි පසුව ලංකා වෙළඳ සේවක සංගමයේ සිංහල පුවත්පත වූ ‘ආරම්භය’ පුවත්පතේ කතුවරයා වශයෙන් 1981 නොවැම්බර් දක්වා කටයුතු කළේය. එම සමිතියේම නේවාසිකව සිටමින් පූර්ණකාලීනයෙකුව සිටි හෙන්රිගේ ආරම්භක මාසික වැටුප රුපියල් 750කි.

විප්ලවීය ගරිල්ලා පෙරමුණක් ගොඩනැගීම පිළිබඳව ඔහු කොල්ලුපිටියේ ඇලෝයි ඇවන්‍යුහි මර්ජ් නොහොත් ජාතින් අතර යුක්තිය සහ සමානාත්මතාව ව්‍යාපාරය, නුවර සත්‍යෝදය සමාජ සමීක්ෂණ කේන්ද්‍රය, නුවර සමාජ අධ්‍යයන කේන්ද්‍රය, මරදාන සමාජීය සහ සාමයික කේන්ද්‍රය ඇතුළු ආයතන රැසක ක්‍රියාකාරිකයින් සමඟ සාකච්ඡාකර තිබිණි. එමෙන්ම වෘත්තීය සමිති සංවිධාන වශයෙන් ලංකා ජාතික ගරු සම්මේලනය, ලිපිකරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය ඇතුළු සංවිධාන සමඟද සම්බන්ධතා පවත්වාගෙන ගියේය. විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් ප්‍රකාශයට පත්කල ‘අර්බුද’, ‘විමසුම’ ඇතුළු මාසික සඟරාවලට ලිපි සපයමින්ද ඔහු තම මතවාදය ගෙන ගියේය. හෙන්රි වෘත්තියෙන් පර්යේෂකයෙකි.

රතු හමුදාව බිහිකිරීමේ අදහසට වඩාත්ම දිරිගැන්වූ අයෙකු වූයේ වව්නියාවේ ගාන්ධියන් ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය සෝමසුන්දරම් රාජසුන්දරම්ය. වතුකරයෙන් ජාතිවාදී ගැටුම් නිසා 1977න් පසු පලාගිය පසුව වව්නියාවේ අනවසර ගොවීන් බවට පත්වූ දෙමළ වතු කම්කරුවන් වෙනුවෙන් ගාන්ධියන් ව්‍යාපාරය පෙනී සිටියේය. ගාන්ධියන් ව්‍යාපාරයේ එම ව්‍යාපෘතිය සඳහා විදේශ ආධාර ලබාදුන්නේ නෙදර්ලන්තයේ නෝවිබ් ආයතනය මගිනි. පර්යේෂකයෙකු වශයෙන් හෙන්රි කල කටයුතු සඳහා ඔහුට ගාන්ධියන් ව්‍යාපාරයෙන් දිමනාවක්ද හිමිවිය. වව්නියාවේ පදිංචි වතුකරයේ තරුණයින් දෙමළ බෙදුම්වාදයට යොමුකිරීම එහි අරමුණක් බව ප්‍රකාශ කල එජාප ආණ්ඩුව 1983 අප්‍රේල් 6වැනිදා එම සංවිධානයේ නායක වෛද්‍ය රාජසුන්දරම් ත්‍රස්තවාදී මර්ධන පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලදී. වැලිකඩ බන්ධනාගාරයේ එම පනත යටතේ රඳවාගත් කුට්ටමනී යෝගචන්ද්‍රන් සහ ගනේෂනාදන් ජෙගනාදන් ඇතුළු 35 දෙනෙකු 83 කළු ජූලියට මුවාවී 1983 ජුලි 25වැනිදා සංවිධානාත්මක පිරිසක් විසින් බන්ධනාගාරය තුළදීම ඝාතනය කල අතර ඊට දෙදිනකට පසු වෛද්‍ය සෝමසුන්දරම් ඇතුළු තවත් 17දෙනෙකුද එහිදීම කපා කොටා මරා දමන ලදී. උතුරේ ත්‍රස්තවාදී සැකකරුවන් සේ නම් කරන ලද අත්අඩංගුවට ගත් දෙමළ සිරකරුවන් නිදහස් කරගැනීම සඳහාද හෙන්රි කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයට සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වෙත 1982 මැයි 31වැනිදා ලිපි යවා තිබිණි.

සාකච්ඡා සහ ක්ෂේත්‍රයේ වසර කිහිපයක අත්දැකීම්වලින් පසු උඩුවරගේ හෙන්රි ප්ලොට් සංවිධානය සමඟ බද්ධවූ සිය රතු හමුදා සංවිධානය පිහිටුවූයේ 1982 ඔක්තෝබර් මස තලවතුගොඩදිය. එහි හෙන්රි සමඟ සමාරම්භක සමාජිකයන් වූයේ වැල්ලවත්ත පොලිටෙක් ආයතනයේ ශිෂ්‍යයෙකුවූ ගාල්ල වක්වැලේලේ පදිංචි අජිත් නන්දන නොහොත් ඇලන් සහ විමලදාසන් නොහොත් රමේෂ්ය. උතුරු දකුණ එක්කර සමාජවාදී රාජ්‍යයක් ගොඩනැගීම සඳහා කේඩර්වරුන් පුහුණු කිරීමට සහ සන්නද්ධ බලයක් ගොඩනැගීමටද ප්ලොට් සංවිධානය සිය මව් සංවිධානය වශයෙන් සැලකීමටද එහිදී තීරණය විය. ඒ සඳහා අවශ්‍ය මුදල් බැංකු මංකොල්ලකෑමෙන්ද අවශ්‍ය අවි ආයුධ පොලිස් සහ හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ලකර ලබා ගැනීමට එහිදී තිරණය විය. පසු කාලයේ නැගෙනහිරදී සිදුවූ හමුදා ප්‍රහාරයකින් විමලදාසන් මියගොස් තිබිණි. වසර 1982 ඔක්තෝබර් 21වැනිදා පැවැත්වෙන ජනපතිවරණය වර්ජනය කිරීමටද මෙම රතු හමුදාව සංවිධානය තීරණය කෙරිණි. හෙන්රි වව්නියාව සහ යාපනය සමඟ නිරතුරුවම සම්බන්ධකම් පැවැත්වූ අතර වාර ගණනාවක් එහි ගොස් තිබිණි. කොළඹ වෛද්‍ය පීඨයේ සිසුවෙකුවූ ජෑන් සමඟද ඔහු සබදතාවයක් ඇතිකරගත් අතර 1983 ජුලි කලබලවලින් පසුව ජෑන් වෛද්‍ය උපාධිය අතහැර දෙමළ සන්නද්ධ අරගලයට පූර්ණකාලීනව එක්වූයේ ටෙලෝ සංවිධානය හරහාය.

ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ චෝදනා ලබාසිටි හෙන්රි චෝදනා දෙකකට වරදකරු කරමින් එක් චෝදනාවකට බරපතල වැඩ සහිතව වසර 10 බැගින් එකවර ගෙවීයන පිරිදි කොළඹ මහාධිකරණය මගින් 1987 ජුලි 16 නියම කිරීමෙන් පසු ඔහු බන්ධනාගාර නිලධාරින් සමඟ අධිකරණ ශාලාවෙන් එදින පිටව යද්දී.
රතු හමුදාව සංවිධානය 1983 ජුලි 13වැනිදා තලවතුගොඩදී හමුවූ අතර එහිදී රටපුරා සිය වගකීම් ක්‍රියාකාරින්ට පවරන ලදී. ඒ අනුව කොළඹ සරසවියේ කලා පීඨයේ සිසුවෙකුවූ නුගේගොඩ පදිංචි දයා සේනාධීරට කොළඹ සරසවිය තුළ සංවිධානයේ වැඩ කටයුතු ව්‍යාප්ත කිරීමටද, ජගත් සේනාරත්නට කොළඹ දිස්ත්‍රික්කය කටයුතු භාරවද, අජිත් නන්දන ශිෂ්‍ය අංශය භාරවද, විමලදාසන් වතු කම්කරුවන් භාරවද, මාතර උයන්ගොඩ රාජා විජේතිලක සාමාජිකයන් බදවා ගැනීම භාරවද, හෙන්රි වෘත්තීය සමිති අංශය භාරවද පත් කෙරිණි. එදිනම තීරණයක් ගනු ලැබුවේ සංවිධානයේ කටයුතු සඳහා ප්ලොට් නායක උමා මහේෂ්වරන් හමුවී මූල්‍යමය ආධාර, අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය ලබාගැනීමය. රතු හමුදා මෙහෙයුම් කටයුතු 1983 ජුලි 19වැනිදා යළිත් රැස්වූ අතර එහිදී සංවිධානයේ ව්‍යවස්ථාවද කෙටුම්පත් කරන ලදී. පසු කලෙක එහි නායකයෙකු බවට පත්වූයේ ලංකා ගුරු සංගමයේ සභාපති එච්.එන් ප්‍රනාන්දුය. කථිකාචාර්ය සේනානායක ඇතුළු නීති සිසුන් කිහිප දෙනෙක්ද රත්මලාන අත්තිඩියේ රොහාන් විජේසේකර, රාජගිරියේ පි. විජේගුණවර්ධන, වත්තල ප්‍රේමසිර වික්‍රමරත්න, වැල්ලම්පිටියේ ඩබ්ලිව් පී. ආරියදාස වරෙක ඔහුට සහාය ලබාදී තිබිණි. ජවිපෙ කලක් ක්‍රියාකාරිකයෙකුව සිට 1975දී රිමාන්ඩ් බන්ධනාගාරයේදී හෙන්රි සමඟ දේශපාලන මිතුරෙකුවූ පරාක්‍රමද රතු හමුදාවේ ක්‍රියාකාරකම්වලට වරින් වර එක්වූහ.

ප්ලොට් නායක උමා මහේෂ්වරන් සමඟ හෙන්රි අත්අඩංගුවට ගැනීමට පෙර දෙවරක් සාකච්ඡා පවත්වා තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස 1984 ජනවාරි මස නුවර සිට යාපනයට බස් රථයෙන් කදීර් සමඟ ගොස් බැස පේදුරු තුඩුවේ ප්ලොට් කාර්යාලයකදී අවි ආයුධ කිහිපයක් භාරගෙන පසුදින ලොරි රථයක රියදුරු සහ සහායක සමඟින් එම ආයුධ ලොරියේ සඟවා කොළඹට ගෙන එන ලදී. පසුව පස්වරු 5ට කොළඹින් බැස නුවර බසයක පටවාගෙන උඩිස්පත්තුව සිය නවාතැනේ ඇදයට සඟවා තබන ලදි. නැවතවරක් 1984 පෙබරවාරි මස පළමු සතියේ යාපනයට ගියේය. ප්ලොට් සංවිධානයේ සිංහල ප්‍රකාශන සහ ගුවන්විදුලි වැඩසටහන් සඳහා ප්ලොට්හි ෂර්ලි කන්දප්පාට සහාය දීමටද රතු හමුදාව එකඟ විය. එවරද ලොරියකින් කාඩ්බෝට් පෙට්ටියක බහා ගෙනේඩ් බෝම්බ තොගයක් කොළඹට ගෙනවිත් බස්රථයකින් නුවරට ගෙනගොස් උඩිස්පත්තුවේ සිය නවාතැනේ සඟවා තබන ලදි. මෙම සියළු අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය උපයෝගි කරගෙන කොළඹ ඇතුළු දකුණු පලාතේ බැංකු කිහිපයකින් මුදල් කොල්ලකා රතු හමුදා සංවිධානයේ වැඩ කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම අරමුණ විය. ගරිල්ලා භටයින් පුහුණු කිරීම සහ වනගත ස්ථානයක් සොයා ගැනිමටද සැලසුම් සකස් කෙරිණි. එම කාලය තුළ හෙන්රි මහනුවර ලංකා සමාජ ආයතනයේ පර්යේෂකයෙක් සහ මහනුවර පිහිටි පෞද්ගලික කේබල් රූපවාහිනී සේවයක සේවය කළේය.

ලංකා කම්කරු සම්මේලනයේ එවකට ප්‍රධාන ලේකම් සහ හෙන්රිගේ පියාවූ යූ. ඊ. පෙරේරා සහ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරයෙකුවූ ඒ වෛද්‍යලිංගම් චීනයේ 1954දී පැවති ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ සමුළුවේදි  ශ්‍රිලංකාව නියෝජනය කරමින්(ඉහල ඡායාරුපය), හෙන්රිගේ බාප්පාවන කොමියුනිස්ට් තරුණ සම්මේලනයේ නියොජ්‍ය ලේකම් ඇත්ත පුවත්පතේ හිටපු විශේෂාංග කර්තෘ උඩුවරගේ එඩ්වඩ් පෙරේරා සහ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ සභාපතිවු ධර්මසිරි සේනානායක 1964 ඉතාලියේ පැවති ජාතික විමුක්ති ව්‍යාපාරය පිළිබඳව ලෝක සමුළුවකට සහභාගි වෙමින්(පහළ වම), හෙන්රිගේ අයිතින් වෙනුවෙන් නොබියව පෙනීසිටි එඩ්වඩ් පැපිලියානේ සිය නිවසේ 2016දී අතීතය ආවර්ජනය කරමින්(පහල දකුණ).
ප්‍රථම වරට 1983 නෙවැම්බර් මස 8වැනිදා ඉන්දියාවට බෝට්ටුවෙන් ප්ලොට් සාමාජිකයින් සමඟ යන හෙන්රි ප්ලොට් සංවිධානයේ ඉහළ නායකයින් සමඟ රතු හමුදා සංවිධානයේ අරමුණු වලට සහාය ගැනීම සඳහා ඉන්දියාවේ සාකච්ඡා පැවැත්වීය. යළිත් 1984 පෙබරවාරි 25වැනිදා යාපනයට යන හෙන්රි එහිදී ජයචන්ද්‍රන් හමුවි තවත් ද්‍රවිඩ තරුණයින් 15 දෙනෙකු සමඟ බෝට්ටුවකින් ඉන්දියාවේ රාමදත්තපුරම් වෙත ගොඩබසිනු ලබයි. එහිදී සංවිධානයේ ඉදිරි ක්‍රියාමාර්ග සමඟ ප්ලොට් සාමාජිකයින් සමඟ සාකච්ඡාවකද නිරත වේ. දකුණේ සිංහල තරුණයින් ප්ලොට් සංවිධානය යටතේ ඉන්දියාවේ 1984 දෙසැම්බර් සිට 1985 ජනවාරි දක්වා ගිනිඅවි පුහුණුවක් ලබාදීමට ප්ලොට් සංවිධානය එකඟවන අතර ඒ සඳහා තරුණයින් යොමුකිරීමේ වගකීම හෙන්රි වෙත පැවරේ. යළිත් 1984 මාර්තු 3වැනිදා ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් යාපනයට පැමිණෙන හෙන්රි යළි නුවර නවාතැනට පැමිණියේය.

හෙන්රි සේවයකල සහ නවාතැන්ගත් සැටලියට් රූපවාහිනී ආයතනයේ කළමනාකරු ලෙස සේවය කරන්නේ තලවතුගොඩ පදිංචි රංජිත් පෙරේරා නොහොත් කණ්නාඩි රංජිත්ය. ව්‍යාපාරික ස්ථානය වැසූ බැවින් නවාතැනෙන් ඉවත්වන ලෙස ඔහු හෙන්රිට දැනුම් දෙනු ලබයි. නුවර නවාතැනද හෙන්රිට සොයා දුන්නේ සමාජ විද්‍යාඥයිනගේ සංගමය ඇතුළු සංවිධාන කිහිපයක පරිවර්තකයෙකු ලෙස කටයුතු කරන කණ්නාඩි රංජිත්ය. නුවර උඩිස්පත්තුවේ නවාතැනට හෙන්රි 1984 අගොස්තු 28වැනිදා පැමිණෙන විට එහි මුරකරු විසින් කාමරය සෝදිසි කර ඇති බව දැකගන්නට ලැබුණු අතර සඟවා තිබූ අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය පෙට්ටි දෙක එලෙසින්ම තිබිණි. හෙන්රි වහා එම පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් කාඩ්බෝඩ් පෙට්ටි වත්තේගම දුම්රිය ස්ථානය අසළ පදිංචි සිල්වා නම් මිතුරෙකුගේ නිවසේ තබන්නේ එය පොත් ටිකක් බවත් තෙදිනකින් නැවත පැමිණ එය රැගෙන යන බවත් පවසමිනි. යළි 1984 සැප්තැම්බර් 2වැනිදා නුවරදී පරාක්‍රම හමුවන හෙන්රි සිය නවාතැනේ සඟවා ඇති අවි ආයුධ පසුදින කොළඹ යන බසයේ ගෙන එන බවද කැලණියේ කිරිබත්ගොඩදී එය පස්වරු 5ට වෑන් රථයකින් පැමිණෙන පුද්ගලයෙකුට භාරදීමටද ක්‍රමවේදයක් සකසා ගනී.

කොළඹ එන බසයට 1984 සැප්තැම්බර් 3වැනිදා අවි ආයුධ සැඟවූ කාඩ්බෝඩ් පෙට්ටියක්ද සමඟ හෙන්රි ගොඩවන අතර පෙරවරු 11.15ට කරලියද්දේදී පොලිස් කණ්ඩායමක් විසින් ලැබුණු ඔත්තුවකට අනුව බස්රථය නතර කරනු ලබයි. එහිදී ආයුධ ඇතුළත් පෙට්ටිය සමඟ එය ගෙනආ බවට හඳුනාගත් උඩුවරගේ හෙන්රි පෙරේරා තෙල්දෙණිය පොලිස් ස්ථානයට ගෙන එනු ලබයි. එහි නවීනතම ආයුධ 4ක් පොලිස් අත්අඩංගුවට පත්විය. සැනකින් නුවර සහකාර පොලිස් අධිකාරි සහ යුධ හමුදා භට කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ හෙන්රි අත්අඩංගුවට ගන්නා අතර ඔහුගෙන් ලැබුණු වැඩි තොරතුරු අනුව වත්තේගම සිල්වාගේ නිවසට යන ආරක්ෂක අංශ එහි සඟවා තිබූ පුපුරණද්‍රව්‍ය අඩංගු පෙට්ටිද අත්අඩංගුවට ගනී. කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුවට රැගෙන ආ හෙන්රි 1984 සැප්තැම්බර් 6 වැනිදා දීර්ඝ කටඋත්තරයක්ද ලබා ගන්නා ලදී. වැඩිදුර විමර්ශන සඳහා උඩුවරගේ හෙන්රි යාපනයේ ගුරුනගර් සහ මුලතිව් හමුදා කඳවුර වෙත හෙළිකොප්ටරයකින්ද ගෙන යන ලදි.

නුවර දිස්ත්‍රික්කයේ වත්තේගමදී 1984 අප්‍රේල් 1වැනිදා සිට සැප්තැම්බර් 4 අතර කාලය තුළදී නීත්‍යානුකූලව බලයක් නොමැතිව පුපුරණ ද්‍රව්‍ය සහ පීඩාකාරි ආයුධ ළඟතබා ගැනීම සම්බන්ධව චෝදනා දෙකක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ හෙන්රිට එල්ලවී තිබිණි. නඩු අංක 1832/85 මගින් රජයේ නීතිපති ශිවකුමාර් පසුපති ඉදිරිපත්කල චෝදනා යටතේ නඩුව විභාග කළේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ තුන්මුල්ල හන්දියට නුදුරෙන් පිහිටා තිබූ කොළඹ මහාධිකරණයේ අංක 3 උසාවියේය. එහි විනිසුරු වූයේ එච්.ඩබ්ලිව් සේනානායකය. මෙම නඩුව 1986 ජුනි 06වැනිදා ආරම්භ කල අතර රහස් පොලිසියට විත්තිකරු කරන ලද පාපොච්ඡාරණය ඔහු ස්වෙච්ඡාවෙන් කල එකක් බව අධිකරණය පිළිගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් හෙන්රි නඩු විභාගය දක්වා සහ දඬුවම් නියම කරන තෙක් මැගසින්, මහර, ගාල්ල, වැලිකඩ, මීගමුව ඇතුළු බන්ධනාගාර රැසක රඳවාගෙන සිටියේය. වරෙක හෙන්රි 1986 ජනවාරි 10වැනිදා අළුයම 2.30ට වීදුරුවක් බිඳ තවත් සිරකරුවන් දෙදෙනෙකු සමඟ මීගමුව බන්ධනාගාරයේ තාප්පයෙන් පැන යාමට සමත් විය. ඔහු අල්ලා ගැනීමට ඔත්තුවක් සපයන අයෙකුට රුපියල් 10,000ක ත්‍යාගයක් ලබාදෙන බව පොලිසිය නිවේදනය කළේය. ඔහු සමඟ පැනගිය අනෙක් සැකකරුවන් දෙදෙනා වූයේ ජයරත්න සහ රහුමාන්ය. ඒ දෙදෙනාම පිළිවෙලින් වසර 11ක් සහ වසර 8ක් සිර දඬුවම්වලට ලක්වූ අය විය. පලාගිය හෙන්රි යළිත් රත්නපුර කිරිඇල්ලේදී පොලිසියට හසුවූ අතර යළිත් බන්ධනාගාර ගත කෙරිණි.

රාජගිරිය යූ.ඊ පෙරේරා මාවතේ පිහිටි උඩුවරගේ හෙන්රි උපන් නිවස(ඉහල) සහ ජිවත්වූ නිවස වර්තමානයේ දිස්වන අයුරු(පහල)
ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ චෝදනා ලබාසිටි හෙන්රි එක් චෝදනාවකට බරපතල වැඩ සහිතව වසර 10ක් බැගින් එකවර ගෙවීයන පරිදි චෝදනා දෙකකට වරදකරු කරමින් වසර 10 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය මගින් 1987 ජුලි 16 නියම කලේය. දඬුවම් නියම කිරීමෙන් පසු අධිකරණයේ අවසර පරිදි විත්තිකරුවු උඩුවරගේ හෙන්රි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ‘සිරගෙවල් තුළදී දේශපාලන සිරකරුවන් මරාදැමීම අද එතරම් විශේෂ දෙයක් නොවන බැවින් යම් හෙයකින් 1983 ජුලි මස ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත යටතේ රඳවාගත් සැකකරුවන් 53දෙනෙකු ඝාතනය කලාක් මෙන් තමාවත් මරාදමනු ලැබුවහොත් තම මළසිරුර යාපනය සරසවියේ වෛද්‍ය සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා භාරදෙන ලෙස ඉල්ලා සිටියේය. ජයග්‍රහණය නැතිනම් මරණය අප දිනන්නෙමු’ යැයි විත්තිකරු අධිකරණය හමුවේ එහිදි පැවසීය. එදින මෙම අධිකරණ තීන්දුව දැකබලා ගැනීමට දිවයින අධිකරණ වාර්තාකරු රූපසිරි විද්‍යාරත්න සමඟ ලියුම්කරුද එක්ව සිටියහ.

නීතිඥ එම් සෝමසුන්දරම් සහ කඩවත ගනේමුල්ලේ පදිංචි නිතිඥ දුෂ්‍යන්ත සමරසිංහ හෙන්රිගේ නඩුවට පෙනීසිටි නීතිඥවරුන් අතර විය. නඩුවේ පැමිණිල්ල මෙහෙය වූයේ රජයේ නිතිඥවරුවන් වන කෝලිත ධර්මවර්ධන සහ ලලිත්ද සිල්වාය. මෙම නඩුව පිළිබඳව පරික්ෂණ මෙහෙය වූයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරි චන්ද්‍රා ජයවර්ධන, සහකාර පොලිස් අධිකාරි බ්‍රයන් අමුණුගම, පොලිස් පරික්ෂක මෙන්ඩිස්, තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රියාර්ඩීන් ඇතුළු කණ්ඩායමක් මගිනි. දඬුවම් නියම කිරීමෙන් පසු වැලිකඩ සිරගෙදර ටේලර් පාටියේ වැඩට ඔහු යොමුවිය. හෙන්රි 1987 අප්‍රේල් 3වැනිදා ලිපියක් ලියමින් ඉල්ලා සිටියේ ත්‍රස්තවාදී සිරකරුවන්ගේ අංශයට ඔහු මාරු කරන ලෙසය. එසේ නොකිරිමෙන් පසු ඔහු ආහාර වර්ජනයක් සිදුකළේය. එයට හේතු වූයේ ජවිපෙට සම්බන්ධ සැකකරුවන් වෙතින් එල්ලවූ තර්ජනයන් බව කියති.

උඩුවරගේ හෙන්රිට 1971 නොවැම්බර් මස ජවිපෙ පන්ති තියා ජවිපෙට බදවා ගත් පාලිත ශාම්දාස්, හෙන්රි අයත් ප්ලොට් සංවිධානයේ නායකයාවූ උමා මහේෂ්වරන්, ඔහු සමඟ එකට වැඩකල ෂර්ලි කන්දප්පා, රතු හමුදාවට සහාය ගැනීම සඳහා හෙන්රි සාකච්ඡා කල වව්නියාවේ ගාන්ධියන් ව්‍යාපාරයේ වෛද්‍ය සෝමසුන්දරම් රාජසුන්දරම්, මර්ජ් ආයතනයේ හිටපු සභාපතිවරුන්වූ පෝල් කැස්පස් පියතුමා සහ චාල්ස් අබේසේකර, මරදාන සමාජීය සහ සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂක තිස්ස බාලසූරිය පියතුමා, සිය දේශපාලන වැඩපිළිවෙල පිලිබදව හෙන්රි සාකච්ඡාකල වෘත්තීය සමිති නායකයින්වූ ලංකා ජාතික ගරු සම්මේලනයේ සභාපති ජෝර්ජ් රත්නායක, ලිපිකරු සේවා සංගමයේ සභාපති ගුණසේන මහානාම, හෙන්රිගේ රතු හමුදාවේ පසුකාලීනව නායකයෙකුවූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් එච්. එන්. ප්‍රනාන්දු, මානව හිමිකම් වෙනුවෙන් අධිකරණයේ එකල පෙනිසිටි නීතිඥවරුන්වූ ලංකා වෙළෙඳ සේවක සංගමයේ බාල තම්පෝ සහ ප්‍රින්ස් ගුණසේකර(ඉහළ වමේ සිට).
හෙන්රිගේ පියාවූ යූ.ඊ පෙරේරා 1987 අප්‍රේල් 8 වැනිදා මරණයට පත්වන විට හෙන්රි සිටියේ රාගම මහර බන්ධනාගාරයේ සැකකරුවෙක් වශයෙනි. පියාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට ඒම සඳහා අවසරය බන්ධනාගාර කොමසාරිස්ගෙන් ඉල්ලා සිටියද එය නොලැබිණි. පසුව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් බර්නාඩ් සොයිසා මැදිහත්වී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගෙන් කල ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් හෙන්රිව පැයක කාලයකට ඒ සඳහා ගෙනවිත් තිිබිණි. හෙන්රි එහිදී බන්ධනාගාරයේ අවසරය මත පහත ශෝක පණිවිඩය පවුලේ ඥාතීන්ට භාරදුන්නේය. එහි මෙසේද සඳහන්ය. ‘කොමියුනිස්ට් අනාගතය කරා ඉදිරියට පිය නැගීමේ උදාර අදිටන පවුලේ සහ පෙලපතේ සියල්ලන් තුළ වඩාත් සවිමත් කිරීමේ මහඟු වගකීම කවර තත්ත්වයන් තුළ හෝ සපුරාලීම පියාට කලහැකි හොදම ගෞරවය බව මගේ අදිටනය.’ යූ.ඊ පෙරේරාගේ මරණය කොළඹ සහ ඒ අවට වාමාංශික ක්‍රියාකාරිකයින් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් විප්ලවීය ආචාරය මැද බොරැල්ල කනත්තේදී සිදුවිය.

ඉන්දු ලංකා ගිවිසුම 1987 ජුලි 29වැනිදා අත්සන් කිරීමත් සමඟම එහි කොන්දේසියක් අනුව උතුරේ මෙන්ම දකුණේද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ නඩු යටතේ දඬුවම් ලැබූ, චෝදනා ලැබූ සහ සැකපිට අත්අඩංගුවට ගෙන සිටි සියළු දෙනා නිදහස් කරන ලදි. ඒ අනුව උඩුවරගේ හෙන්රි පෙරේරාද 1989 ජනවාරි 27වැනිදා නිදහස ලැබීය. නිදහස ලැබූ හෙන්රි සිය ඥාතීන් සහ හිතවතුන්ගෙන් සමුගෙන යළි වව්නියාවට ගොස් ප්ලොට් සංවිධානයට ක්‍රියාකාරීව එක්වූ අතර රම්බකුලම් ප්ලොට් කඳවුරේ ස්ථානගත විය. එහි සැලසුම් සහ ජාත්‍යන්තර අංශයේ මුල් පෙළේ ක්‍රියාකාරිකයෙකු විය.

උඩුවරගේ හෙන්රිගේ බිරිඳවූ වව්නියාවේ ජෙයපාලනී කනපතිපිල්ලෙයි සහ කිසිදා හෙන්රි නොදුටු එකම දරුවාවන වර්තමානයේ 26හැවිරිදි දියණිය හෙන්සි ජෙරෝලන් පෙරේරා 2016 වව්නියාවේදී.
උඩුවරගේ හෙන්රි 1989 ඔක්තෝබර් 23වැනිදා වව්නියාවේදී අවාහ වූයේ ජෙයපාලනී කනපතිපිල්ලෙයි සමඟය. වසර 1962 දෙසැම්බර් 22වැනිදා උපන් ජෙයපාලනී වව්නියාවේ තෙක්කුලපායිකුලම්හි පදිංචිකාරියකි. විවාහ වනවිට ඇයට වසර 27කි. හෙන්රිට 33කි. සිව්දරු පියෙකු වූ ජෙයපාලනීගේ පියා වෘත්තියෙන් ගොවියෙකි. ප්ලොට් සංවිධානයේ 1984 සිට ක්‍රියාකාරිනියක්වූ ඇය සෙට්ටිකුලම් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබිය. පවුලේ වැඩිමලා වූ ඇයට සොහොයුරන් 2ක් සහ සොහොයුරියක් සිටිති. ඇය වැඩිදුර අවි පුහුණුව ලැබුවේ ඉන්දියාවේදීය. හෙන්රි සහ ජෙයපාලනී අතර දැන හැදුනුම්කම ගොඩනැගුණේ ගාල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට කොළඹ බලා ඔවුන් දෙදෙනා සැකකරුවන් ලෙස අධිකරණය ගෙන ඒමේදීය. සෙට්ටිකුලම් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරයේ වසර 2කට ආසන්න කාලයක් තබාගෙන සිටි ජෙයපාලනී පසුව කිසිම චෝදනාවක් නොමැතිව නිදොස් කොට නිදහස් කරන ලදී. නිදහසින් පසුවද ඇය හෙන්රි බැලීමට බන්ධනාගාරයට කිහිපවරක් පැමිණියාය.

හෙන්රි සමඟ වව්නියාවේදී විවාහවූ ජෙයපාලනී වර්තමානයේ පදිංචිව සිටින්නේ වව්නියාවේ සිය දෙමාපියන් සමඟය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ අත්අඩංගුවට හෙන්රි පත්වන විට ඔහුගේ බිරිඳ ජෙයපාලනී සිව්මස් ගැබිණි මවකි. එම දරුවාවූ දියණියවන හෙන්සි ජෙරෝලන් පෙරේරා උපන්නේ 1990 ජුලි 11වැනිදාය. පියාවූ උඩුවරගේ හෙන්රි මෙන්ම දියණිය හෙන්සි ජෙරෝලින්ද කිසිදා ඔවුනොවුන් සජීවිව දැක නැත. වර්තමානයේ හෙන්සි 26 හැවිරිදි උසස් අධ්‍යාපනය හදාරන තරුණියකි. උඩුවරගේ හෙන්රිගේ මව(ඇය 2013 අප්‍රේල් 17 මියගියාය) මෙන්ම සොයුරු සොයුරියෝද හෙන්රිගේ බිරිඳ සහ දියණියට ලෙන්ගතුය.

හෙන්රිගේ පියා යූ. ඊ පෙරේරා(64) 1987 අප්‍රේල් 8වැනිදා මියගිය අතර ඔහුගේ දේහය විප්ලවීය ආචාර මැද රාජගිරියේ සිට බොරැල්ල සුසානභූමිය වෙත ගෙනයන අයුරු.
ද්‍රවිඩ බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ප්ලොට් ඇතුළු වෙනත් දෙමළ බෙදුම්වාදී සංවිධාන වලට එරෙහිව ඇතිවූ ගැටුමේදී වව්නියාවේ ප්ලොට් කඳවුර අතහැර එහි සාමාජිකයින් 1990 පෙබරවාරි මස පසු බැසගොස් සැඟවීමට ගත් තීරණයේදී හේන්රි අත්අඩංගුවට පත්විය. ඒ අනුව හෙන්රි ඇතුළු කණ්ඩායමක් 1990 පෙබරවාරි 21වැනිදා එල්.ටී.ටී.ඊ සංවිධානයේ පිරිසකට හසුවන අතර ඔහු සමඟ පසුබැස යමින් සිටි ප්ලොට් සන්නද්ධ නායක මානිකදාසන් ඇතුළු කිහිපදෙනෙක් පසු බැසගොස් ඉන්දියාවට පලායෑමට සමත්විය. එල්.ටී.ටී.ඊ අත්අඩංගුවට පත් ප්ලොට් පිරිසෙන් ඇතමෙකු ඝාතනය කලද හෙන්රි ඇතුළු කිහිපදෙනෙක් එල්.ටී.ටී.ඊහි කඳවුරේ ඔවුන්ගේ අත්අඩංගුවේ වසර එකහමාරක පමණ කාලයක් පසුවිය. එල්.ටී.ටී.ඊ කොටි සංවිධානය සහ රජයේ හමුදාව අතර මාස 14කට පසු 1990 ජුනි මස ඇරඹි දරුණු ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස කොටි කඳවුරේ සිරකරගෙන සිටි හෙන්රි ඇතුළු පිරිසද එම කඳවුරේ සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයින් රජයේ ආරක්ෂක හමුදා සමගින් ඇතිවූ ප්‍රහාරයක ප්‍රතිඵලයක් ලෙස1991 ජුලි මස ඝාතනයට ලක්විය.

ලෝකයේ නොමියන ව්‍යාපාරයක්වූ මාක්ස්වාදී ව්‍යාපාරය වෙනුවෙන් සිය ජීවිතය එහි අරමුණු වෙනුවෙන් කැපකරන්නේ කිහිපදෙනෙකි. රාජගිරිය ඔබේසේකරපුර පෙරේරා පරපුරද එයට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකාවේ එවැනි අතලොස්ස අතරින් එක් පුරුකකි. ඊ.යූ පෙරේරා මෙන්ම ඔහුගේ කණිටු සොහොයුරාවූ එඩිවඩ්ද, ඊ.යූගේ පුතුන් දෙදෙනෙකුවූ රංජිත් සහ හෙන්රිද වාමාංශික ව්‍යාපාරයට කැපවූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඔවුන්ගේ ඇතැම් දේ ඇතමෙකුට වැරදි විය හැකිය. තවත් අයෙකුට නිවැරදි විය හැකිය. කෙසේ වුවද ඔවුහු මියෙන බව දැන දැනම මාක්ස්වාදී ව්‍යාපාරයට අසීමිතව ප්‍රේම කළහ.
 
 (ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: ejournalists@gmail.com) The writer ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384.
 

















 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 7908509025539915952

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item