‘ලෝකල්’ ලෙනින්ගේ රතු හමුදාව
ඉහළ වමේ සිට, හෙන්රිගේ පියා යූ. ඊ පෙරේරා, මවවන ලියාපදිංචි වෛද්‍ය නිලධාරිනි බෝගා මොඩ් චාලට්, හෙන්රිගේ වැඩිමහල් සොහොයුරියන් සහ සොහොයුරන්වන...

https://www.sathhanda.com/2016/08/dharmam-wickramarathne.html
ඉහත කණ්ඩායම් අතරින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ලැබූ සහ සිරදඬුවමට ලක්වූ ප්‍රථම සිංහල ජාතිකයා වූයේ උඩුවරගේ හෙන්රි පෙරේරාය. ලෙනින් නොහොත් විශ්වන් නොහොත් රත්නම් ලෙසද ඔහු හැදින්විණි. ඔහු රතු හමුදාව නොහොත් රතු භටයෝ සංවිධානය නැමති කණ්ඩායමේ නායකයා විය. ලෙනින් ලෙස ඔහු කුඩා කාලේදීම නම් කළේ හෙන්රිගේ පවුලේ ඥාතියෙකුවූ සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්.එම් පෙරේරාය. විශ්වන් ලෙස ඔහුව නම් කළේ ප්ලොට් නොහොත් දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානයයි. රත්නම් ලෙස ඔහුව නම් කළේ වව්නියාවේ ගාන්ධියන් ව්‍යාපාරයේ නායකයෙකුවූ වෛද්‍ය සෝමසුන්දරම් රාජසුන්දරම්ය. උඩුවරගේ හෙන්රිගේ රතු භටයෝ සංවිධානයේ මව් සංවිධානය වූයේ උමා මහේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් 1980 ආරම්භ වූ ප්ලොට් සංවිධානය වේ. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ(එල්.ටී.ටී.ඊ) 1977 සිට 80 දක්වා සභාපතිවරයා වූයේද උමා මහේෂ්වරන්ය.
උඩුවරගේ හෙන්රිගේ වතගොත සොයා මහාධිකරණය හමුවේ 1985 විභාගයට ගත් වාර්තාද, කෝට්ටේ නගර සභාව, ඔහුගේ රාජගිරියේ මහගෙදර, බාප්පාගේ දෙහිවල, සොහොයුරෙකුගේ දොම්පේ සහ බිරිඳගේ වව්නියාවේ නිවෙස්වල අයද සාකච්ඡාවට ලක් කළෙමු. මේ දිග හැරෙන්නේ හෙන්රිගේ කිසිදා නොඇසූ එම ඉතිහාස කථාවය.
![]() |
උඩුවරගේ හෙන්රි පෙරේරාගේ ජීවිතයේ විවිධ අවස්ථාවන්. |
හෙන්රිගේ සියා උඩුවරගේ ඇල්බට් පෙරේරාය. ඔහුගේ මුල් පරපුර මහනුවර උඩුවර ග්‍රාමයෙන් පැවතෙන්නෙකි. ඇල්බට් පෙරේරා වෘත්තියෙන් රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පියෙකි. ඇල්බට් 1922 විවාහවූයේ රාජගිරිය අමරතුංග ආරච්චිගේ රොස්ලින් පෙරේරා සමඟය. එම දෙපලට ඊබට්, ඔල්ගා, පර්සි සහ එඩ්වඩ් නමින් දරුවන් සිව්දෙනෙකි. පළමු දරුවා වූයේ හෙන්රිගේ පියාවන උඩුවරගේ ඊබට් පෙරේරාය. ඔහුගේ කෙටි නම වූයේ යූ.ඊ පෙරේරාය. ඔහු උපන්නේ 1924 නොවැම්බර් 19වැනිදා රාජගිරියේ කලපළුවාවේදීය. යූ.ඊගේ කණිටු සොහොයුරාවූ එඩ්වඩ් අවසානය දක්වාම උඩුවගේ හෙන්රි පෙරේරාගේ අයිතින් වෙනුවෙන් නොබියව පෙනී සිටියෙකි. වසර 1938 අප්‍රේල් 20 උපන් එඩ්වඩ් පේරාදෙණිය සරසවියෙන් ආර්ථික විද්‍යා උපාධිධාරියෙකු ලෙස සමත්වූයේ 1967දීය. සිය පවුලේ ආභාෂය අනුව සරසවි වියේ සිටම සටන්කාමියෙකුවූ එඩ්වඩ්ගේ ශිෂ්‍යභාවයද වරෙක වසර කිහිපයක්ම තහනමට ලක්විය. එඩ්වඩ්ගේ දේශපාලන ගුරුවරයා වූයේ මහාචාර්ය ඒ. ජේ විල්සන්ය. ඇත්ත පුවත්පතේ විශේෂාංග කතුවරයෙකුද වශයෙන් කටයුතු කල ඔහු අධ්‍යාපන, උසස් අධ්‍යාපන ඇතුළු අමාත්‍යවරුන්ගේ මාධ්‍ය ලේකම්වරයෙකු වශයෙන් වසර ගණනාවක්ම කටයුතු කළේය. වර්තමානයේ එඩ්වඩ් සංචාරක සේවා උපදේශකයෙකි.
උඩුවරගේ හෙන්රිගේ පියාවූ යූ.ඊ පෙරේරා අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්ද සහ වෙස්ලි යන විදුහල්වලිනි. යූ,ඊ පෙරේරා 1945 අගොස්තු 2වැනිදා අවාහ වූයේ බොරැල්ලේදී 1925 ජනවාරි 23 උපන් වේයන්ගොඩ පදිංචි ලියාපදිංචි වෛද්‍ය නිලධාරිනියකවූ බෝගවතී මොඩ් චාලට් විජේසිංහ සමඟය. එම දෙපලට දරුවන් 7කි. උඩුවරගේ හෙන්රි පෙරේරා එම පවුලේ 6වන දරුවාය. හෙන්රිගේ වැඩිමහල් සොයුරු සොහොයුරියන් වූයේ සෞඛ්‍ය සේවා කළමණාකාරිනියක්වූ රම්‍ය කාන්ති, වාම දේශපාලන ක්‍රියාකාරිනියක්වූ නාලනී, හෙදි සොහොයුරියක්වූ චිත්‍රා, ලංගම සේවක මණ්ඩල කළමනාකරුවෙක්වූ රංජිත් සහ පහත්බිම් සංවර්ධන මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරියෙකුවූ විරාජ්ය. කණිටු සොහොයුරා වූයේ නාවික හමුදාවේ කපිතාන් තිස්සය. උඩුවගේ හෙන්රි අද සිටියේනම් ඔහුට බාප්පා සහ මාමා කියන ඥාති දූ පුතුන් 9 දෙනෙකි.
සාම්ප්‍රදායික වාමාංශික දේශපාලනය සමඟ ගැට ගැසුණු හෙන්රිගේ නිවසට ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) දේශපාලනය ගෙන ආවේ හෙන්රිගේ අයියාවූ උඩුවරගේ රංජිත් පෙරේරාය. කොළඹ නාලන්දා විදුහලේ උසස් පෙළ හදාරමින් සිටියදී 1969 ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයෙකුවූ බලපිටියේ ලක්ෂ්මන් හරහා රංජිත් ජවිපෙට එක්විය. හැත්තෑ එකේ අප්‍රේල් 5වැනිදා කොළඹ ප්‍රධාන ස්ථානයන් අල්ලා ගැනීමේ කණ්ඩායමේ ඔහුද ක්‍රියාකාරිකයෙකු විය. පසුව එය අවසන් මොහොතේ නායකයින්ගේ උපදෙස් මත නතර කෙරිණි. හෙන්රිගේ නිවසට ප්‍රථම වරට පොලිසිය පැමිණෙන්නේ 1971 අප්‍රේල් 03වැනිදා රංජිත් අත්අඩංගුවට ගැනීමටය. සැඟවි සිටි රංජිත්ට පසුව ලංගම පානදුර ඩිපෝවේ පිරිවැය ලිපිකරුවෙකු ලෙස 1971 ජුලි 01 රැකියාවක් ලැබිණි. වසර 1972 අප්‍රේල් රැකියාවෙන් ඉවත්වීමට රංජිත්ට සිදුවූ ජවිපෙ යළි නඟා සිටුවීම සඳහා ඔහු යළි ජවිපෙට එක්වන්නේ එලියේ සිටි ජවිපෙ ප්‍රේමපාල හේවාබටගේ ඇතුළු නායකයින්ගේ උපදෙස් මතය. පසුව ජේ. සමරතුංග නොහොත් බෝල සමරේ සහ රත්නපුර සමරජීව සමඟ 1972 නොවැම්බර් 21වැනිදා රංජිත් පොලිස් අත්අඩංගුවට පත්වුවද ඉන් පැනයෑමට බෝල සමරේ සමත් විය. යාපනය හැමන්හිල් ඇතුළු බන්ධනාගාර 8ක ජවිපෙ කැරළිකරුවෙකු ලෙස අත්අඩංගුවේ සිටි රංජිත් නිදහස් වූයේ 1975 ජනවාරි 21වැනිදාය. පසුව යළි ලංගම සේවයට එක්වූ රංජිත් 2012 අප්‍රේල් 17වැනිදා විශ්‍රාම ගියේ ලංගම සේවක මණ්ඩල කළමනාකරුවෙක් ලෙසය.
උඩුවරගේ හෙන්රිගේ නිවසේ තිබුණේ මෙවැනි වමේ දේශපාලන පරිසරයකි. පියාගේ සොහොයුරන් පවා ක්‍රියාකාරි වූයේ වාමාංශික දේශපාලන පසුබිමක් තුළය. උඩුවරගේ හෙන්රි ජවිපෙට එක්කර ගත්තේ පාලිත ශ්‍යාම්දාස්ය. ඒ 1971 නොවැම්බර් මසය. කලින් කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව එහි පූර්ණකාලීනයෙකුවූ පාලිත ශාම්දාස් බල්ගේරියාවේ පැවති තරුණ උළෙලට පවා සහභාගිවූවකි. විජේවීර 1968 හමුවීමෙන් පසු ජවිපෙ පූර්ණකාලීනයෙකු වූ ශ්‍යාම් 71 කැරැල්ලේ යෝධ පුරුෂයන් සේ සිතා සිටි බොහෝ දෙනා කැරැල්ලට පෙර සහ පසුව ඇද වැටෙද්දී ප්‍රේමපාලගේ නායකත්වයෙන් 71 අප්‍රේල් කැරැල්ලෙන් පසු යළි ජවිපෙ නඟා සිටුවීමට කැපවී කටයුතු කළ අයෙකි. ගාමිණී බාස්ගේ පාවාදිමක් මත 1972 ජනවාරි 1වැනිදා ශාම්දාස් අත්අඩංගුවට ගනු ලැබීය. එහෙත් කෙටි කලකින්ම හෙන්රි ජවිපෙ දේශපාලන න්‍යායන්ගෙන් බැහැර වූවේය. ඔහු වෙනත් මඟක් සෙවීය. ඔහු කොමියුනිස්ට් රාජ්‍යයක අනාගතය පිළිබඳවත් එයට සිය අරගලකාරි දායකත්වය පිළිබඳවත් ඇති අසීමිත විශ්වාසයෙන් පසුවිය.
ජවිපෙ සාමාජිකයෙකුයැයි කියමින් හෙන්රිව 1974 මැයි මස කොටුවේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව මැගසින් සහ බෝගම්බර බන්ධනාගාරයේ රඳවන ලදී. ද්‍රවිඩ සන්නද්ධ සංවිධානවල සාමාජිකයින්වූ මොහාන්. රාජන්, කුමාර්, නඩේසන් ඇතුළු කිහිප දෙනෙක් සමඟද හෙන්රි සබදතා ගොඩනගා ගනී. වසර 1976 සැප්තැම්බර් කිසිදු චෝදනාවක් නොමැති නිසා ඔහු නිදහස් කරන අතර ඉහත සිරකරුවන් බැලීමට බන්ධනාගාරයටද ඔහු කිහිපවරක් ගියේය. එසේ හදුනාගත් මනිපායිහි ඉන්බම් 1976 දෙසැම්බර් නිදහස්වූ පසු හෙන්රිගේ රාජගිරියේ නිවසේ නවාතැන් ගත් අතර හෙන්රිද 1977 ජනවාරි දින කිහිපයක් ඔහුගේ මනිපායිහි නිවසේ නතර විය. ඉන්බම් 1979 වෙඩිතබා යාපනයේදී ඝාතනයකර තිබිණි. මර්ජ් අනුග්‍රහය යටතේ යාපනයට ගොස් 1980 ජුලි 13 සහ 14 මානව හිමිකම් සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීමටද හෙන්රි දායක විය.
කොල්ලුපිටියේ පිහිටි බාල තම්පෝ ලේකම්ධූරය දැරූ එවකට 4වැනි ජාත්‍යන්තරයේ ලංකා ශාඛාවවූ විප්ලවීය මාක්ස්වාදී පක්ෂය සමඟ 1978 අගෝස්තු මස සිට සබදතා ඇතිකරගත් උඩුවරගේ හෙන්රි පසුව ලංකා වෙළඳ සේවක සංගමයේ සිංහල පුවත්පත වූ ‘ආරම්භය’ පුවත්පතේ කතුවරයා වශයෙන් 1981 නොවැම්බර් දක්වා කටයුතු කළේය. එම සමිතියේම නේවාසිකව සිටමින් පූර්ණකාලීනයෙකුව සිටි හෙන්රිගේ ආරම්භක මාසික වැටුප රුපියල් 750කි.
විප්ලවීය ගරිල්ලා පෙරමුණක් ගොඩනැගීම පිළිබඳව ඔහු කොල්ලුපිටියේ ඇලෝයි ඇවන්‍යුහි මර්ජ් නොහොත් ජාතින් අතර යුක්තිය සහ සමානාත්මතාව ව්‍යාපාරය, නුවර සත්‍යෝදය සමාජ සමීක්ෂණ කේන්ද්‍රය, නුවර සමාජ අධ්‍යයන කේන්ද්‍රය, මරදාන සමාජීය සහ සාමයික කේන්ද්‍රය ඇතුළු ආයතන රැසක ක්‍රියාකාරිකයින් සමඟ සාකච්ඡාකර තිබිණි. එමෙන්ම වෘත්තීය සමිති සංවිධාන වශයෙන් ලංකා ජාතික ගරු සම්මේලනය, ලිපිකරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය ඇතුළු සංවිධාන සමඟද සම්බන්ධතා පවත්වාගෙන ගියේය. විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් ප්‍රකාශයට පත්කල ‘අර්බුද’, ‘විමසුම’ ඇතුළු මාසික සඟරාවලට ලිපි සපයමින්ද ඔහු තම මතවාදය ගෙන ගියේය. හෙන්රි වෘත්තියෙන් පර්යේෂකයෙකි.
රතු හමුදාව බිහිකිරීමේ අදහසට වඩාත්ම දිරිගැන්වූ අයෙකු වූයේ වව්නියාවේ ගාන්ධියන් ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය සෝමසුන්දරම් රාජසුන්දරම්ය. වතුකරයෙන් ජාතිවාදී ගැටුම් නිසා 1977න් පසු පලාගිය පසුව වව්නියාවේ අනවසර ගොවීන් බවට පත්වූ දෙමළ වතු කම්කරුවන් වෙනුවෙන් ගාන්ධියන් ව්‍යාපාරය පෙනී සිටියේය. ගාන්ධියන් ව්‍යාපාරයේ එම ව්‍යාපෘතිය සඳහා විදේශ ආධාර ලබාදුන්නේ නෙදර්ලන්තයේ නෝවිබ් ආයතනය මගිනි. පර්යේෂකයෙකු වශයෙන් හෙන්රි කල කටයුතු සඳහා ඔහුට ගාන්ධියන් ව්‍යාපාරයෙන් දිමනාවක්ද හිමිවිය. වව්නියාවේ පදිංචි වතුකරයේ තරුණයින් දෙමළ බෙදුම්වාදයට යොමුකිරීම එහි අරමුණක් බව ප්‍රකාශ කල එජාප ආණ්ඩුව 1983 අප්‍රේල් 6වැනිදා එම සංවිධානයේ නායක වෛද්‍ය රාජසුන්දරම් ත්‍රස්තවාදී මර්ධන පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලදී. වැලිකඩ බන්ධනාගාරයේ එම පනත යටතේ රඳවාගත් කුට්ටමනී යෝගචන්ද්‍රන් සහ ගනේෂනාදන් ජෙගනාදන් ඇතුළු 35 දෙනෙකු 83 කළු ජූලියට මුවාවී 1983 ජුලි 25වැනිදා සංවිධානාත්මක පිරිසක් විසින් බන්ධනාගාරය තුළදීම ඝාතනය කල අතර ඊට දෙදිනකට පසු වෛද්‍ය සෝමසුන්දරම් ඇතුළු තවත් 17දෙනෙකුද එහිදීම කපා කොටා මරා දමන ලදී. උතුරේ ත්‍රස්තවාදී සැකකරුවන් සේ නම් කරන ලද අත්අඩංගුවට ගත් දෙමළ සිරකරුවන් නිදහස් කරගැනීම සඳහාද හෙන්රි කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයට සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වෙත 1982 මැයි 31වැනිදා ලිපි යවා තිබිණි.
සාකච්ඡා සහ ක්ෂේත්‍රයේ වසර කිහිපයක අත්දැකීම්වලින් පසු උඩුවරගේ හෙන්රි ප්ලොට් සංවිධානය සමඟ බද්ධවූ සිය රතු හමුදා සංවිධානය පිහිටුවූයේ 1982 ඔක්තෝබර් මස තලවතුගොඩදිය. එහි හෙන්රි සමඟ සමාරම්භක සමාජිකයන් වූයේ වැල්ලවත්ත පොලිටෙක් ආයතනයේ ශිෂ්‍යයෙකුවූ ගාල්ල වක්වැලේලේ පදිංචි අජිත් නන්දන නොහොත් ඇලන් සහ විමලදාසන් නොහොත් රමේෂ්ය. උතුරු දකුණ එක්කර සමාජවාදී රාජ්‍යයක් ගොඩනැගීම සඳහා කේඩර්වරුන් පුහුණු කිරීමට සහ සන්නද්ධ බලයක් ගොඩනැගීමටද ප්ලොට් සංවිධානය සිය මව් සංවිධානය වශයෙන් සැලකීමටද එහිදී තීරණය විය. ඒ සඳහා අවශ්‍ය මුදල් බැංකු මංකොල්ලකෑමෙන්ද අවශ්‍ය අවි ආයුධ පොලිස් සහ හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ලකර ලබා ගැනීමට එහිදී තිරණය විය. පසු කාලයේ නැගෙනහිරදී සිදුවූ හමුදා ප්‍රහාරයකින් විමලදාසන් මියගොස් තිබිණි. වසර 1982 ඔක්තෝබර් 21වැනිදා පැවැත්වෙන ජනපතිවරණය වර්ජනය කිරීමටද මෙම රතු හමුදාව සංවිධානය තීරණය කෙරිණි. හෙන්රි වව්නියාව සහ යාපනය සමඟ නිරතුරුවම සම්බන්ධකම් පැවැත්වූ අතර වාර ගණනාවක් එහි ගොස් තිබිණි. කොළඹ වෛද්‍ය පීඨයේ සිසුවෙකුවූ ජෑන් සමඟද ඔහු සබදතාවයක් ඇතිකරගත් අතර 1983 ජුලි කලබලවලින් පසුව ජෑන් වෛද්‍ය උපාධිය අතහැර දෙමළ සන්නද්ධ අරගලයට පූර්ණකාලීනව එක්වූයේ ටෙලෝ සංවිධානය හරහාය.
ප්ලොට් නායක උමා මහේෂ්වරන් සමඟ හෙන්රි අත්අඩංගුවට ගැනීමට පෙර දෙවරක් සාකච්ඡා පවත්වා තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස 1984 ජනවාරි මස නුවර සිට යාපනයට බස් රථයෙන් කදීර් සමඟ ගොස් බැස පේදුරු තුඩුවේ ප්ලොට් කාර්යාලයකදී අවි ආයුධ කිහිපයක් භාරගෙන පසුදින ලොරි රථයක රියදුරු සහ සහායක සමඟින් එම ආයුධ ලොරියේ සඟවා කොළඹට ගෙන එන ලදී. පසුව පස්වරු 5ට කොළඹින් බැස නුවර බසයක පටවාගෙන උඩිස්පත්තුව සිය නවාතැනේ ඇදයට සඟවා තබන ලදි. නැවතවරක් 1984 පෙබරවාරි මස පළමු සතියේ යාපනයට ගියේය. ප්ලොට් සංවිධානයේ සිංහල ප්‍රකාශන සහ ගුවන්විදුලි වැඩසටහන් සඳහා ප්ලොට්හි ෂර්ලි කන්දප්පාට සහාය දීමටද රතු හමුදාව එකඟ විය. එවරද ලොරියකින් කාඩ්බෝට් පෙට්ටියක බහා ගෙනේඩ් බෝම්බ තොගයක් කොළඹට ගෙනවිත් බස්රථයකින් නුවරට ගෙනගොස් උඩිස්පත්තුවේ සිය නවාතැනේ සඟවා තබන ලදි. මෙම සියළු අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය උපයෝගි කරගෙන කොළඹ ඇතුළු දකුණු පලාතේ බැංකු කිහිපයකින් මුදල් කොල්ලකා රතු හමුදා සංවිධානයේ වැඩ කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම අරමුණ විය. ගරිල්ලා භටයින් පුහුණු කිරීම සහ වනගත ස්ථානයක් සොයා ගැනිමටද සැලසුම් සකස් කෙරිණි. එම කාලය තුළ හෙන්රි මහනුවර ලංකා සමාජ ආයතනයේ පර්යේෂකයෙක් සහ මහනුවර පිහිටි පෞද්ගලික කේබල් රූපවාහිනී සේවයක සේවය කළේය.
හෙන්රි සේවයකල සහ නවාතැන්ගත් සැටලියට් රූපවාහිනී ආයතනයේ කළමනාකරු ලෙස සේවය කරන්නේ තලවතුගොඩ පදිංචි රංජිත් පෙරේරා නොහොත් කණ්නාඩි රංජිත්ය. ව්‍යාපාරික ස්ථානය වැසූ බැවින් නවාතැනෙන් ඉවත්වන ලෙස ඔහු හෙන්රිට දැනුම් දෙනු ලබයි. නුවර නවාතැනද හෙන්රිට සොයා දුන්නේ සමාජ විද්‍යාඥයිනගේ සංගමය ඇතුළු සංවිධාන කිහිපයක පරිවර්තකයෙකු ලෙස කටයුතු කරන කණ්නාඩි රංජිත්ය. නුවර උඩිස්පත්තුවේ නවාතැනට හෙන්රි 1984 අගොස්තු 28වැනිදා පැමිණෙන විට එහි මුරකරු විසින් කාමරය සෝදිසි කර ඇති බව දැකගන්නට ලැබුණු අතර සඟවා තිබූ අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය පෙට්ටි දෙක එලෙසින්ම තිබිණි. හෙන්රි වහා එම පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් කාඩ්බෝඩ් පෙට්ටි වත්තේගම දුම්රිය ස්ථානය අසළ පදිංචි සිල්වා නම් මිතුරෙකුගේ නිවසේ තබන්නේ එය පොත් ටිකක් බවත් තෙදිනකින් නැවත පැමිණ එය රැගෙන යන බවත් පවසමිනි. යළි 1984 සැප්තැම්බර් 2වැනිදා නුවරදී පරාක්‍රම හමුවන හෙන්රි සිය නවාතැනේ සඟවා ඇති අවි ආයුධ පසුදින කොළඹ යන බසයේ ගෙන එන බවද කැලණියේ කිරිබත්ගොඩදී එය පස්වරු 5ට වෑන් රථයකින් පැමිණෙන පුද්ගලයෙකුට භාරදීමටද ක්‍රමවේදයක් සකසා ගනී.
කොළඹ එන බසයට 1984 සැප්තැම්බර් 3වැනිදා අවි ආයුධ සැඟවූ කාඩ්බෝඩ් පෙට්ටියක්ද සමඟ හෙන්රි ගොඩවන අතර පෙරවරු 11.15ට කරලියද්දේදී පොලිස් කණ්ඩායමක් විසින් ලැබුණු ඔත්තුවකට අනුව බස්රථය නතර කරනු ලබයි. එහිදී ආයුධ ඇතුළත් පෙට්ටිය සමඟ එය ගෙනආ බවට හඳුනාගත් උඩුවරගේ හෙන්රි පෙරේරා තෙල්දෙණිය පොලිස් ස්ථානයට ගෙන එනු ලබයි. එහි නවීනතම ආයුධ 4ක් පොලිස් අත්අඩංගුවට පත්විය. සැනකින් නුවර සහකාර පොලිස් අධිකාරි සහ යුධ හමුදා භට කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ හෙන්රි අත්අඩංගුවට ගන්නා අතර ඔහුගෙන් ලැබුණු වැඩි තොරතුරු අනුව වත්තේගම සිල්වාගේ නිවසට යන ආරක්ෂක අංශ එහි සඟවා තිබූ පුපුරණද්‍රව්‍ය අඩංගු පෙට්ටිද අත්අඩංගුවට ගනී. කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුවට රැගෙන ආ හෙන්රි 1984 සැප්තැම්බර් 6 වැනිදා දීර්ඝ කටඋත්තරයක්ද ලබා ගන්නා ලදී. වැඩිදුර විමර්ශන සඳහා උඩුවරගේ හෙන්රි යාපනයේ ගුරුනගර් සහ මුලතිව් හමුදා කඳවුර වෙත හෙළිකොප්ටරයකින්ද ගෙන යන ලදි.
නුවර දිස්ත්‍රික්කයේ වත්තේගමදී 1984 අප්‍රේල් 1වැනිදා සිට සැප්තැම්බර් 4 අතර කාලය තුළදී නීත්‍යානුකූලව බලයක් නොමැතිව පුපුරණ ද්‍රව්‍ය සහ පීඩාකාරි ආයුධ ළඟතබා ගැනීම සම්බන්ධව චෝදනා දෙකක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ හෙන්රිට එල්ලවී තිබිණි. නඩු අංක 1832/85 මගින් රජයේ නීතිපති ශිවකුමාර් පසුපති ඉදිරිපත්කල චෝදනා යටතේ නඩුව විභාග කළේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ තුන්මුල්ල හන්දියට නුදුරෙන් පිහිටා තිබූ කොළඹ මහාධිකරණයේ අංක 3 උසාවියේය. එහි විනිසුරු වූයේ එච්.ඩබ්ලිව් සේනානායකය. මෙම නඩුව 1986 ජුනි 06වැනිදා ආරම්භ කල අතර රහස් පොලිසියට විත්තිකරු කරන ලද පාපොච්ඡාරණය ඔහු ස්වෙච්ඡාවෙන් කල එකක් බව අධිකරණය පිළිගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් හෙන්රි නඩු විභාගය දක්වා සහ දඬුවම් නියම කරන තෙක් මැගසින්, මහර, ගාල්ල, වැලිකඩ, මීගමුව ඇතුළු බන්ධනාගාර රැසක රඳවාගෙන සිටියේය. වරෙක හෙන්රි 1986 ජනවාරි 10වැනිදා අළුයම 2.30ට වීදුරුවක් බිඳ තවත් සිරකරුවන් දෙදෙනෙකු සමඟ මීගමුව බන්ධනාගාරයේ තාප්පයෙන් පැන යාමට සමත් විය. ඔහු අල්ලා ගැනීමට ඔත්තුවක් සපයන අයෙකුට රුපියල් 10,000ක ත්‍යාගයක් ලබාදෙන බව පොලිසිය නිවේදනය කළේය. ඔහු සමඟ පැනගිය අනෙක් සැකකරුවන් දෙදෙනා වූයේ ජයරත්න සහ රහුමාන්ය. ඒ දෙදෙනාම පිළිවෙලින් වසර 11ක් සහ වසර 8ක් සිර දඬුවම්වලට ලක්වූ අය විය. පලාගිය හෙන්රි යළිත් රත්නපුර කිරිඇල්ලේදී පොලිසියට හසුවූ අතර යළිත් බන්ධනාගාර ගත කෙරිණි.
![]() |
රාජගිරිය යූ.ඊ පෙරේරා මාවතේ පිහිටි උඩුවරගේ හෙන්රි උපන් නිවස(ඉහල) සහ ජිවත්වූ නිවස වර්තමානයේ දිස්වන අයුරු(පහල) |
නීතිඥ එම් සෝමසුන්දරම් සහ කඩවත ගනේමුල්ලේ පදිංචි නිතිඥ දුෂ්‍යන්ත සමරසිංහ හෙන්රිගේ නඩුවට පෙනීසිටි නීතිඥවරුන් අතර විය. නඩුවේ පැමිණිල්ල මෙහෙය වූයේ රජයේ නිතිඥවරුවන් වන කෝලිත ධර්මවර්ධන සහ ලලිත්ද සිල්වාය. මෙම නඩුව පිළිබඳව පරික්ෂණ මෙහෙය වූයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරි චන්ද්‍රා ජයවර්ධන, සහකාර පොලිස් අධිකාරි බ්‍රයන් අමුණුගම, පොලිස් පරික්ෂක මෙන්ඩිස්, තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රියාර්ඩීන් ඇතුළු කණ්ඩායමක් මගිනි. දඬුවම් නියම කිරීමෙන් පසු වැලිකඩ සිරගෙදර ටේලර් පාටියේ වැඩට ඔහු යොමුවිය. හෙන්රි 1987 අප්‍රේල් 3වැනිදා ලිපියක් ලියමින් ඉල්ලා සිටියේ ත්‍රස්තවාදී සිරකරුවන්ගේ අංශයට ඔහු මාරු කරන ලෙසය. එසේ නොකිරිමෙන් පසු ඔහු ආහාර වර්ජනයක් සිදුකළේය. එයට හේතු වූයේ ජවිපෙට සම්බන්ධ සැකකරුවන් වෙතින් එල්ලවූ තර්ජනයන් බව කියති.
ඉන්දු ලංකා ගිවිසුම 1987 ජුලි 29වැනිදා අත්සන් කිරීමත් සමඟම එහි කොන්දේසියක් අනුව උතුරේ මෙන්ම දකුණේද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ නඩු යටතේ දඬුවම් ලැබූ, චෝදනා ලැබූ සහ සැකපිට අත්අඩංගුවට ගෙන සිටි සියළු දෙනා නිදහස් කරන ලදි. ඒ අනුව උඩුවරගේ හෙන්රි පෙරේරාද 1989 ජනවාරි 27වැනිදා නිදහස ලැබීය. නිදහස ලැබූ හෙන්රි සිය ඥාතීන් සහ හිතවතුන්ගෙන් සමුගෙන යළි වව්නියාවට ගොස් ප්ලොට් සංවිධානයට ක්‍රියාකාරීව එක්වූ අතර රම්බකුලම් ප්ලොට් කඳවුරේ ස්ථානගත විය. එහි සැලසුම් සහ ජාත්‍යන්තර අංශයේ මුල් පෙළේ ක්‍රියාකාරිකයෙකු විය.
![]() |
උඩුවරගේ හෙන්රිගේ බිරිඳවූ වව්නියාවේ ජෙයපාලනී කනපතිපිල්ලෙයි සහ කිසිදා හෙන්රි නොදුටු එකම දරුවාවන වර්තමානයේ 26හැවිරිදි දියණිය හෙන්සි ජෙරෝලන් පෙරේරා 2016 වව්නියාවේදී. |
හෙන්රි සමඟ වව්නියාවේදී විවාහවූ ජෙයපාලනී වර්තමානයේ පදිංචිව සිටින්නේ වව්නියාවේ සිය දෙමාපියන් සමඟය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ අත්අඩංගුවට හෙන්රි පත්වන විට ඔහුගේ බිරිඳ ජෙයපාලනී සිව්මස් ගැබිණි මවකි. එම දරුවාවූ දියණියවන හෙන්සි ජෙරෝලන් පෙරේරා උපන්නේ 1990 ජුලි 11වැනිදාය. පියාවූ උඩුවරගේ හෙන්රි මෙන්ම දියණිය හෙන්සි ජෙරෝලින්ද කිසිදා ඔවුනොවුන් සජීවිව දැක නැත. වර්තමානයේ හෙන්සි 26 හැවිරිදි උසස් අධ්‍යාපනය හදාරන තරුණියකි. උඩුවරගේ හෙන්රිගේ මව(ඇය 2013 අප්‍රේල් 17 මියගියාය) මෙන්ම සොයුරු සොයුරියෝද හෙන්රිගේ බිරිඳ සහ දියණියට ලෙන්ගතුය.
![]() |
හෙන්රිගේ පියා යූ. ඊ පෙරේරා(64) 1987 අප්‍රේල් 8වැනිදා මියගිය අතර ඔහුගේ දේහය විප්ලවීය ආචාර මැද රාජගිරියේ සිට බොරැල්ල සුසානභූමිය වෙත ගෙනයන අයුරු. |
ලෝකයේ නොමියන ව්‍යාපාරයක්වූ මාක්ස්වාදී ව්‍යාපාරය වෙනුවෙන් සිය ජීවිතය එහි අරමුණු වෙනුවෙන් කැපකරන්නේ කිහිපදෙනෙකි. රාජගිරිය ඔබේසේකරපුර පෙරේරා පරපුරද එයට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකාවේ එවැනි අතලොස්ස අතරින් එක් පුරුකකි. ඊ.යූ පෙරේරා මෙන්ම ඔහුගේ කණිටු සොහොයුරාවූ එඩිවඩ්ද, ඊ.යූගේ පුතුන් දෙදෙනෙකුවූ රංජිත් සහ හෙන්රිද වාමාංශික ව්‍යාපාරයට කැපවූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඔවුන්ගේ ඇතැම් දේ ඇතමෙකුට වැරදි විය හැකිය. තවත් අයෙකුට නිවැරදි විය හැකිය. කෙසේ වුවද ඔවුහු මියෙන බව දැන දැනම මාක්ස්වාදී ව්‍යාපාරයට අසීමිතව ප්‍රේම කළහ.
(ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: ejournalists@gmail.com) The writer ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384.
Related